කේප් වර්ඩ් හා ආජන්ටිනාව අතර පැවැත්වෙන ‘ඩේවිඩ් සහ ගොලායත්’ ලෝක කුසලාන පාපන්දු සටන කෙරෙහි ලෝකයාගේ දෑස් යොමුව තිබියදී කේප් වර්ඩ් නායකයාට එරෙහිව නැගී තිබෙන ස්ත්‍රී දූෂණ චෝදනාව පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා.
රයන් මෙන්ඩීස් (Ryan Mendes) ට එරෙහිව මේ චෝදනාව ගොනුකර තිබෙන්නේ නවසිලන්තයේ සිටින කාන්තාවක්.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එක් රසවත්ම අන්දරයක් බවට පත්ව සිටින කේප් වර්ඩ් නමැති කුඩා දූපත් රට මයාමි නගරයේදී ජූලි 4 වැනිදා ආජන්ටිනාව ට එරෙහිව තරගයට පිවිසෙන්නේ ඔවුන්ගේ කණ්ඩායමේ කඳවුර මේ කළු වලාවෙන් වසාගෙන තිබියදී.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තරගමාලාවක් යටතේ චිලී කණ්ඩායම සමග මාර්තු මාසයේ නවසිලන්තයේ පැවති තරගයකින් පසුව කණ්ඩායමේ භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කරමින් සිටි බ්‍රසීලියානු ජාතික කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාව මත නායක මෙන්ඩීස් නවසිලන්ත පොලිසියේ පරීක්ෂණවලට ලක්ව සිටිනවා.
කේප් වර්ඩ් හි එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියාව සිටින මෙන්ඩීස් ඔ්ක්ලන්ඩ් නගරයේ තමන් නැවතී සිටි හෝටල කාමරයට බලෙන් ඇතුළු වී තමාව දූෂණය කළ බවට මේ කාන්තාව චෝදනා කර තිබෙනවා. කාන්තාවගේ පියයුරු, ගෙල හා තොල්පෙතිවල තැළීම් ගණනාවක් තිබුණු බව වාර්තා වන අතර ඇය ඇගේ තුවාලවල පිංතූර පොලිසියට හා බ්‍රසීලියානු ප්‍රවෘත්ති ජාලය වන Globo ට ලබා දී තිබෙනවා.
සිද්ධිය පිළිබඳව කේප් වර්ඩ් නිලධාරීන්ට දන්වා ඇතැයි එම වාර්තා සඳහන් කරනවා. කෙසේ වෙතත්, 36 හැවිරිදි මෙන්ඩීස් ට අපරාධයක් සම්බන්ධයෙන් තවමත් නඩු පවරා නැහැ.
Globo ට අනුව, නවසිලන්ත පොලිසිය විසින් කරගෙන යනු ලබන පරීක්ෂණ හා උසාවියට අදාළ විශ්ලේෂණය සම්පූර්ණ වනතුරු මෙන්ඩීස් ට නඩු පැවරීමක් පිළිබඳව තීරණයක් ගන්නේ නැහැ.
ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අමතරව මෙන්ඩීස් ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා තුර්කිය යන රටවල වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නියැලී තිබෙනවා.
2026 ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා කේප් වර්ඩ් ක්‍රීඩා කළ තරග තුනේ ම මෙන්ඩීස් ආරම්භක ක්‍රීඩකයෙකුව සිටියා. තරගවලියේ ප්‍රබල කණ්ඩායමක් වන 2010 ලෝක කුසලාන ශූර ස්පාඤ්ඤය ට එරෙහි විස්මිත 0-0 තරගය, උරුගුවේ ට එරෙහිව 2-2 තරගය හා කේප් වර්ඩ් ට තරගාවලියේ ‘32 දෙනාගේ වටයේ’ ස්ථානයක් තහවුරු කළ සෙෘදි අරාබිය සමග 0-0 තරගය මීට ඇතුළත්ව තිබෙනවා.

මේ අතර, ලෝක පාපන්දු කුසලානය හිමි කරගෙන සිටින ලියොනල් මෙසීගේ ආජන්ටිනාව ට එරෙහි වෙමින් සිය පාපන්දු ඉතිහාසයේ ලොකුම තරගයට ලෝක කුසලානයේ නවකයින් වන කේප් වර්ඩ් සූදානම් වන මේ අවස්ථාවේ සියලු දෙනාම එක්සත්ව නැගී සිටින ලෙසට එම කණ්ඩායමේ පළපුරුදු ගෝල් රකින්නා වන වෝසිංයා තම රටෙන් ඉල්ලා තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් ලැබූ ලොව කුඩාම රට වන්නේ කේප් වර්ඩ්. ආජන්ටිනාව සමග ෙඑතිහාසික තරගයට පෙර වෝසිංයා සමාජ මාධ්‍යයේ හැඟීම්බර පණිවුඩයක් බෙදා හරිමින්, සියලු දෙනාම එක සිහිනයක් තබා ගන්නා ලෙසට ඉල්ලා තිබෙනවා.
“හෙට අපි පිටියට පිවිසෙන්නේ අපේ ක්‍රීඩාවේ හා අපේ රටේ ඉතිහාසයේ වඩාත්ම ලස්සන පරිච්ඡේදයක් දිගටම ලියාගෙන යාමට ලැබුනු අවස්ථාවක් සමගයි. නමුත් ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුට වඩා, මුළු දේශයක් ම පිටියට පා තබනු ඇති. මොකද හෙට, දූපත් නැහැ. දුරස් බවක් නැහැ. දේශසීමා නැහැ. හෙට, අපි එක් කෙනෙක්. එක ජනතාවක්. එක කොඩියක්. කාබෝ වර්ඩ් වෙනුවෙන් එක හද ගැස්මක්. අපේ ශක්තිය, අපේ සංස්කෘතිය, අපේ ජීවය සහ අපේ ධෛර්යය තරගයේ පළමු මිනිත්තුවේ සිට අන්තිම මිනිත්තුව තෙක් දැනේවා. අපේ භූමිය, අපේ ජනතාව, අපේ සිහිනය!” යනුවෙන් වෝසිංයා පවසනවා.

මේ 40 හැවිරිදි ගෝල් රකින්නා කාබෝ වර්ඩ් කණ්ඩායමේ අපූර්ව ලෝක කුසලාන මෙහෙයුමේ එක් සුවිශේෂී ක්‍රීඩකයෙක්. තරගාවලියේ ඔහුගේ ගෝල් ලබා නොදුන් පිරිසිදු පත්‍රිකා දෙක මගින් ඔහුව FIFA ලෝක කුසලාන ඉතිහාසයේ ලෙජන්ඩ් නාමයන් දෙකක් සමග එක පෙළට තබා තිබෙනවා.
40 වැනි වියට පා තැබීමෙන් පසුව පිරිසිදු පත්‍රිකා කිහිපයක් වාර්තා කළ තෙවැනි ගෝල් රකින්නා බවට වෝසිංයා පත්ව සිටිනවා. ඔහු මේ දක්ෂතාවයේදී එක්වන්නේ එංගලන්තයේ පීටර් ෂිල්ටන් සහ ඉතාලියේ ඩිනෝ සොෆ් සමග. 40 වැනි වියෙන් පසුව පිරිසිදු පත්‍රිකා තුනක් සමග ෂිල්ටන් ලැයිස්තුව මුදුනේ සිටින අතර සොෆ් හා වෝසිංයා සතුව ඒ පත්‍රිකා දෙක බැගින් තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







