දශක තුනකට පසුව සාෆ් පාපන්දු කුසලානය දිනා ගැනීමේ ශ්‍රී ලාංකික දහසක් බලාපොරොත්තු බිඳ වැටීම පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් අද ජාතියෙන් සමාව අයැද සිටියා.
පරාජයකදී පරිපාලනය විසින් කණ්ඩායම සහ එහි පුහුණුකරුවන් පිට වරද පැටවීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. එහෙත් සභාපතිවරයෙකු ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කිරීම අසාමාන්‍ය සිදුවීමක්.
“ජයග්රහණයකදී අත්පුඩි ගැසීම නරඹන්නන්ගේ කාර්යයක්. පරාජයකදී වගකීම බාර ගැනීම නායකත්වයේ යුතුකමක්” යැයි ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා අද බංග්ලාදේශයේදී කියා සිටියා.
“අපේ නරඹන්නන් බුද්ධිමත්. ඔවුන් මේ පරාජයෙන් නොසැලී ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරය කරන අවංක ක්‍රීඩා ලෝලීන් පිරිසක් වනු ඇති බවට මට කිසිම සැකයක් නැහැ.”
දශක තුනකට පසු බලාපොරොත්තු සුන්වීම
දශක තුනකට පසුව ශ්‍රී ලංකාව සාෆ් පාපන්දු කුසලානය දිනා ගනු ඇතැයි යන විශ්වාසය මෙරට පාපන්දු ලෝලීන් තුළ ගැබ්ව තිබුණා. නමුත් ඒ අපේක්ෂාවන් බොඳව ගියේ ශ්‍රී ලංකාව ඊයේ බංග්ලාදේශය ට ගෝල 4-0කින් පරාජය වූ නිසාවෙන්.
ශ්‍රී ලංකාව අවසන් වතාවට සාෆ් පාපන්දු කුසලානය දිනා ගත්තේ 1995 වසරේ. එම වසරෙන් පසුව එවැනි ජයග්‍රහණයක් පිළිබඳව කතිකාවක් හෝ ගොඩනැගුනේ ශ්‍රී ලංකාව පසුගිය තෙවසර තිස්සේ ලබා ගත් ප්‍රශංසනීය ප්‍රගතිය නිසා යැයි උමාර් ප්‍රකාශ කළා.
“අනූපහෙන් පස්සේ සාෆ් දිනන එකක් ගැන කතා කරන්නවත් පටන් ගත්තේ පහුගිය අවුරුදු දෙක තුනේ ඉඳන්. අද හැම නිවෙසක ම ශ්‍රී ලාංකේය පාපන්දුව ගැන කතා කරනවා. ඒ අපි ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීමේ 207 ස්ථානයේ සිට 184 දක්වා ඉහළට පැමිණෙමින් දැක්වූ දස්කම් නිසායි.”
පරාජය හමුවේ පුහුණුකරුවා ඉවත් කරනවා ද?
“ඒ ඇයි? ඔහු තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තත්ත්වයට ගෙන ඒමට මූලික වුණේ. ඔහු දක්ෂ පුහුණුකරුවෙක්. ඔහු සමග සාකච්ඡා කර ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වනවා.”
බංග්ලාදේශ ජයග්‍රහණය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වසරේ පැරදුනු පළමු තරගය යි. මීට පෙර පැවති තරග හතෙන් පහක් ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එක් තරගයක් ජය පැරදුමින් තොරව අවසන් වුණා. ඒ, මෙවර සාෆ් තරගාවලියේ පළමු තරගයේ භූතානය ට ගෝල 2-2කින් සම වීමයි. සාෆ් තරග බිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය බිඳ වැටීමේ ආරම්භය සිදුවුනේ එතැනින්.
කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩාවේ තිබෙන දුර්වලතාව කලක සිට පැවත එන්නක් බවත් එය නිවැරදි කිරීම අද දවසේ තිබෙන ප්‍රධාන අභියෝගය බවත් ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා පැවසුවා.
“මේ එක පරාජයක් නිසා මෑත කාලයේ දිගටම දස්කම් පෑ කණ්ඩායමක් අවතක්සේරු කිරීම හෝ ඔවුන්ට දොස් පැවරීම සාධාරණ නැහැ. මෙය අවසානය නෙවෙයි. අපි යළි නැගිටිනවා!” ජස්වර් උමාර් අවධාරණය කළා.
ශ්‍රී ලංකාව විදෙස් ක්‍රීඩකයින් (ශ්‍රී ලාංකේය සම්භවයක් තිබෙන) වෙනුවෙන් කළ ආයෝජනය පිළිබඳව ඔබ තවමත් සතුටු වනවා ද?
“ඇත්තෙන්ම ඔව්. මෙවැනි ක්‍රීඩකයින් යොදා ගැනීම මුළු ලෝකයේ ම සිදුවන දෙයක්. ඔවුන් තමයි ශ්‍රී ලංකාව අද අභියෝගාත්මක කණ්ඩායමක් බවට පත්වීමටත්, FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාමටත් උපකාරී වුණේ. ඊයේ අපේ දවස නෙවෙයි. එහෙම වුණා කියලා අපේ පාපන්දුව වැටෙන්නේ නැහැ. හෙට දවසේ තවත් ශක්තිමත්ව පිබිඳීමට ශක්තියක් ලබා ගත්තා පමණයි.”
මීළඟ සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලිය තව මාස අටකින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාකච්ඡා කරමින් සිටින බව සාෆ් පාපන්දු තරගාවලි කමිටුවේ සභාපතිවරයා ද වන ජස්වර් උමාර් කීවේ එහිදී කණ්ඩායම වඩාත් ප්‍රබෝධමත්ව නැගී සිටිනු ඇති බවට විශ්වාසය පළ කරමින්.
“අපි මෙවැනි තරගාවලියන් පවත්වන්නේ නැත්තේ ඊට සුදුසු ක්‍රීඩාංගණ හා පහසුකම් නැති නිසයි. නමුත් එහෙම කියලා අපට නිකම් බලං ඉන්න බැහැ. මම ලංකාවට පැමිණි විගස ක්‍රීඩා ඇමතිවරයාත් සමග මේ ගැන සාකච්ජා කර සුගතදාස ක්‍රීඩාංගණය හා තුරඟ තරග පිටිය නවීකරණය කිරීම ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා” යනුවෙන් ජස්වර් උමාර් වැඩි දුරටත් පවසා සිටියා.
-වර්නන් ගුණසේකර
ක්‍රීඩා සංස්කාරක






