"අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ."
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (නොවැ. 12) පස්වරු 1.30 සිට 6.30 දක්වා පැය පහක් පුරා පාර්ලිමේන්තුවේදී 2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් එලෙස පැවසීය. වත්මන් රජය ඉදිරිපත් කළ තෙවැනි අයවැය මෙයයි.
හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර එදින සවස 6.00ට ඡන්ද විමසීම සිදුවේ. කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වී අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 සවස 6.00ට පැවැත්වීමට නියමිතය.
ආදායම් බදු සහන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වෙනස
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ගෙවන උපයන විට ගෙවන බද්දට (APIT) මෙවර අයවැයෙන් සෘජු සහනයක් හිමිවේ.
* බදු නිදහස් සීමාව ඉහළට: මෙතෙක් රුපියල් 150,000ක් වූ මාසික බදු නිදහස් ආදායම් සීමාව රුපියල් 162,500ක් (වාර්ෂිකව රුපියල් 1,950,000ක්) දක්වා ඉහළ දමා ඇත.
* බදු අනුපාත අඩු වීම: රුපියල් 162,500ට වැඩි ආදායම් සඳහා 6%ක බද්දක් අය කෙරෙන අතර, දෙවන කඩඉමේ පැවති 18%ක බද්ද 12% දක්වා පහත හෙළා තිබේ. නව ක්‍රමය යටතේ 6%, 12%, 18%, 24%, 30% සහ 36% ලෙස බදු කඩඉම් හයක් ක්‍රියාත්මක වේ.
හෙට (නොවැ. 13) සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර ද්‍රව්‍ය කිහිපයක ආනයන බදු සංශෝධනය වේ.
* මිල අඩු වන භාණ්ඩ:
ආනයනික හාල්මැස්සන් කිලෝවක බද්ද රුපියල් 100 සිට රුපියල් 10 දක්වා ද, උම්බලකඩ කිලෝවක බද්ද රුපියල් 302 සිට රුපියල් 10 දක්වා ද අඩු කෙරේ. වියළි මිරිස් කිලෝවක බද්ද රුපියල් 50කින් පහත දමා ඇත.
* සීනි බද්ද ඉහළට:
දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික සීනි කිලෝවක බද්ද රුපියල් 10කින් වැඩි කෙරේ.
* පොත්පත් බද්දෙන් නිදහස්:
පාසල් පෙළපොත්, අභ්‍යාස පොත්, ශබ්දකෝෂ සහ ළමා චිත්‍ර පොත් ඇතුළු සියලුම මුද්‍රිත පොත්පත් VAT බද්දෙන් සම්පූර්ණයෙන් නිදහස් කර තිබේ.
සෞඛ්‍ය සේවයට අලුත් ගිලන් රථ 100ක් සහ රොබෝ තාක්ෂණය
සෞඛ්‍ය ක්ෂේත්රය නවීකරණය කිරීමට සහ හදිසි ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට විශේෂ ප්‍රතිපාදන වෙන් වී ඇත.
* සුවසැරිය ව්‍යාප්තිය:
රුපියල් මිලියන 1,725ක ඉන්දියානු ආධාර යටතේ 1990 සුවසැරිය සේවයට නව ගිලන් රථ 100ක් 2027 වසරේදී එක් කෙරේ.
* රොබෝ ශල්‍යකර්ම පුහුණුව:
රොබෝ තාක්ෂණය යොදාගෙන සිදුකරන ශල්‍යකර්ම පිළිබඳව වෛද්‍යවරුන් පුහුණු කිරීමට රාගම වෛද්‍ය පීඨයේ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවයි.
* තඹුත්තේගම රෝහල සහ ජලභීතිකාව:
තඹුත්තේගම මූලික රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට රුපියල් මිලියන 300ක් වෙන් කෙරේ. 2030 වන විට මෙරටින් ජලභීතිකාව තුරන් කිරීමට විශේෂ එන්නත් සහ වන්ධ්‍යකරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
පොදු ප්‍රවාහනය, නගර සංවර්ධනය සහ නිවාස 70,000ක්
කොළඹට සීමා වූ නවීන මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය යන නගර වෙත ද ව්‍යාප්ත කෙරේ. දැනට ධාවනය වන බස් රථ 120ට අමතරව 2027 වසරේදී තවත් බස් රථ 50ක් එක් කිරීමට නියමිතය.
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ නිවාස 70,000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.
යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගර 10 සංචාරක නගර ලෙස සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 2,700ක් වෙන් කර ඇත.
වන අලි ගැටුමට AI තාක්ෂණය සහ වන්දි ඉහළට
දුම්රියේ ගැටී වන අලි මියයාම වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහ තාප සංවේදී කැමරා යොදාගත් ජාතික නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන්නන්ට ගෙවන වන්දි මුදල් ද විශාල ලෙස ඉහළ නංවා ඇත.
* මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී: රුපියල් මිලියන 1 සිට මිලියන 2 දක්වා
* නිවාස හානි සඳහා: රුපියල් ලක්ෂ 2 සිට මිලියනය දක්වා
* අර්ධ බෙලහීනතාවකදී: රුපියල් 150,000 සිට ලක්ෂ 5 දක්වා
* වෙනත් දේපළ හානි සඳහා: රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 5 දක්වා
වනජීවී සේවා ශක්තිමත් කිරීමට වන සත්ව නියාමකයින් 313ක්, විදුලි වැට නඩත්තු සහායකයින් 3,451ක් සහ අඩවි ආරක්ෂකයින් 114ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. 2026 වසරේදී ද ඩබල් කැබ් රථ 16ක්, සිංගල් කැබ් රථ 84ක්, යතුරුපැදි 181ක් සහ ට්‍රැක්ටර් 9ක් ඇතුළු වාහන ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා එක් කර ඇත.
සංචාරක ස්ථාන සඳහා මාර්ගගත ඊ-ටිකට්පත් පද්ධතියක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 35ක් (සංචාරක අධිකාරියේ මිලියන 133ක දායකත්වය ද ඇතිව) වෙන් කර තිබේ.
කාලගුණ අනතුරු ඇඟවීම්, ආරක්ෂාව සහ රාජ්‍ය සේවයේ වෙනස්කම්
ස්වාභාවික ආපදා කළමනාකරණයට සහ රාජ්‍ය ආයතන නවීකරණයට විශාල මුදලක් වෙන් වී තිබේ.
* කාලගුණ සහ ආපදා සූදානම: JICA ප්‍රදානයක් ලෙස ලැබුණු නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතිය 2027 වසරේදී ස්ථාපනය කෙරේ. එල්නිනෝ අවදානමට මුහුණ දීමට * රුපියල් මිලියන 5,000ක් ද, ආරක්ෂිත මධ්‍යස්ථාන පිළිසකර කිරීමට මිලියන 1,000ක් ද වෙන් කර ඇත. දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි නව පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 120ක් ඉදිකිරීමට සහ වෙරළ කුළුණු 77ක් අලුත්වැඩියා කිරීමට මිලියන 500ක් වෙන් කෙරේ. ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියකට මිලියන 670ක් සහ ආපදා ප්රතිවාර උපකරණ සඳහා මිලියන 500ක් වෙන් වී තිබේ.
* නාගරික ජලගැලීම් සහ තෙල් කාන්දු: පහත්බිම්වල ගංවතුර පාලනයට බහුකාර්ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 1,250ක් යෙදවෙන අතර, ඉන් මිලියන 625ක් රජයේ හිමිකම් ප්රාග්ධනය ලෙස ලබා දේ. මුහුදේ තෙල් කාන්දුවීම් පාලනය කිරීමට ජපාන සහයෝගීතාව යටතේ රුපියල් මිලියන 3,380ක යාත්‍රා හා උපකරණ ලබා ගැනේ.
* ආරක්ෂක සහ නීති අංශ: කොළඹ කොටුවේ අබලන් ගොඩනැගිල්ලක පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) මහල් 15ක නව ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට මිලියන 60ක් ද, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාම ආරම්භ කිරීමට මිලියන 300ක් ද වෙන් වී ඇත.
* රාජ්‍ය සේවය සහ රාජ්‍ය මාධ්‍ය: රාජකාරි සඳහා පෞද්ගලික වාහන භාවිත කරන රාජ්‍ය විධායක නිලධාරීන්ගේ මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා දෙගුණ කෙරේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර ස්ථාපනය කිරීමට මිලියන 600ක් වෙන් කෙරේ. 2009ට පෙර හමුදාවට එක්වූ රණවිරුවන්ගේ දෙමාපියන්ට ගෙවන රුපියල් 750ක මාසික දීමනාව 2027 ජූලි සිට ඉහළ දැමීමට අවධානය යොමු වී තිබේ.
* රාජ්‍ය මාධ්‍ය ආයතන: ඩිජිටල්කරණය සහ නව උපකරණ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයට (ITN) රුපියල් මිලියන 489ක් ද, රූපවාහිනී සංස්ථාවට මිලියන 400ක් ද, ගුවන් විදුලි සංස්ථාවට (එදිනෙදා වියදම් සඳහා) මිලියන 384ක් ද වශයෙන් මුළු රුපියල් මිලියන 1,273ක් වෙන් කර ඇත.
වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි:
පුරවැසි අයවැය 2027: වාර්ෂික අයවැයෙහි ජනතා හිතවාදී අනුවාදයක්
2027 සම්පූූූර්ණ අයවැය කතාවේ වීඩියෝ සබැඳිය
PublicFinance.lk අයවැය දත්ත පුවරුව
මුදල් අමාත්‍යාංශයීය අයවැය ලේඛන සමුදාය
අයවැයට ලැබුණු කැබිනට් අනුමැතිය පහතින්
අයවැය කතාවේ සාරාංශය පහතින්
සබැඳි පුවත්:
2027 අයවැය: පාසල් ඩිජිටල්කරණයට සහ ගුරු දීමනාවලට විශේෂ ප්‍රමුඛතාවක්
2027 අයවැය: වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට, බලශක්තියට නව පිම්මක්



