ශ්‍රී ලංකා රජය සතු ශ්‍රීලංකන් ගුවන් සමාගම දිගින් දිගට ම පාඩු ලැබීම හේතුවෙන් වෙනත් පාර්ශවයකට පැවරීම සම්බන්ධයෙන් වසර ගණනක සිට අදහස් පළවෙමින් තිබේ.


1998 වසරේ සිට 2008 වසර දක්වා මෙම ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සමාගම යටතේ ක්‍රියාත්මක විය.

මේ වන විට, යළිත් ශ්‍රීලංකන් ගුවන් සමාගම "රාජ්‍ය මූල්‍යවලට බරක් නොවන තිරසර ව්‍යවසායන් නිර්මාණය කිරීම" අරමුණු කර ගනිමින් පෞද්ගලිකරණය කිරීම සඳහා 'රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට' (SRU) භාර දී තිබේ.

ලංසු 6ක්

කොළඹ සහ ජෙඩා අතර සෘජු ගුවන් ගමන් යළි අරඹයි
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා වන ලංසු ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය 2024 අප්‍රේල් මස 22 වන දා පස්වරු 2.00ට අවසන් විය.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා පාර්ශව 6කින් ලංසු ඉදිරිපත් වී තිබේ.

එම සමාගම් 6 මෙසේ ය.

1.AirAsia Consulting Sdn. Bhd.
2.Dharshaan Elite Investment Holding (Pvt) Ltd
3.FITS Aviation (Private) Limited
4.Sherisha Technologies Private Limited
5.Treasure Republic Guardians Limited
6.Hayleys PLC

මෙම සමාගම් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අයැදුම් පත් අගැයීමට ලක් කරමින් සිටින බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්පතිරණ බීබීසී සිංහල සේවයට පැවසීය.

"සමාගම් හයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සම්බන්ධ විශේෂ තාක්ෂණ කමිටු වාර්තාව, කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒගොල්ලො තමයි අවසන් තීරණයක් ගත යුත්තේ. ඒ තීරණය එනකම් අපි දැන් බලාගෙන ඉන්නවා," වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අර්බුද

ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල ප්‍රමාදයන් පිළිබඳව චෝදනා රැසක් දෙස් විදෙස් ගුවන් මගීන්ගෙන් පසුගිය කාලය පුරා එල්ල විය.

ශ්‍රීලංකන් ගුවන් යානා ප්‍රමාද වීමට මූලික හේතුව වී තිබුණේ, ගුවන් සේවාව සතු ගුවන් යානා ප්‍රමාණවත් නොවීම ය.

ශ්‍රීලංකන් ගුවන් සේවයට සිය දෛනික ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 24ක් අවශ්‍ය වුව ද, ගුවන් සේවය සතුව සක්‍රීය තත්ත්වයෙන් පවතින ගුවන් යානා සංඛ්‍යාව ඊට වඩා අඩු ය.

ඊට අමතරව, ගුවන් නියමුවන් ඇතුළු සේවක හිඟයක් ද පවතින අතර ගුවන් යානා ප්‍රමාදයට එය ද බලපා තිබිණි.


2021 සිට 2023 දක්වා ලාභ අලාභ

 

ශ්‍රී ලංකන් පිටරටට විකුණවාද? දේශිය සමාගමකට බාර දෙනවාද? - (ආර්.එම්.  මනිවන්නන්)
ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 වසරේදී ලබා තිබූ අලාභය රුපියල් බිලියන 166.37කි.

2022 වසරේදී කරන ලද යම් යම් වෙනස් කිරීම් මත අලාභය අඩකින් පමණ අඩු වූ අතර, සංඛ්‍යාත්මකව එම වසරේ අලාභය රු. බිලියන 74.67ක් විය.

මේ අතර, 2023 වසරේදී එය රු. මිලියන 79.78ක ලාභයක් ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේ ය.

"ශ්‍රීලංකන් ගුවන් සේවයේ තියෙන ගුවන් යානා ගොඩක් කල්බදු ක්‍රමයට ගත්ත ඒවා. ඒවා නඩත්තු කරන්නත්, කල්බදු ගෙවන්නත් විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේ ම, අවුරුදු ගාණක් තිස්සේ දේශපාලනඥයින් තමන්ගේ හිතවතුන්ට රැකියා සපයන ආයතනයක් විදිහටත් ඔය ගුවන් සමාගම පාවිච්චි කළා. මේවා නිසා තමයි මේක දිගින් දිගට ම පාඩු ලබන්න ගත්තේ. 1998 ඉඳලා 2008 දක්වා කාලය තුළ එමිරේට්ස් සමාගම කළමනාකරණය කරපු කාලේ මේක ලාභ ලැබුවා. මෙතන තියෙන්නේ, කළමනාකරණ ගැටලුවක්," මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දුන්නේ ය.

ජාතික ගුවන් සේවාව පෞද්ගලීකරණය කළ යුතු ද?

 

ශ්‍රී ලංකන් පිටරටට විකුණවාද? දේශිය සමාගමකට බාර දෙනවාද? - (ආර්.එම්.  මනිවන්නන්)
මහාචාර්ය වසන්ත අතුකෝරළගේ අදහස වී ඇත්තේ, රජය විසින් සමාගම් පවත්වාගෙන යනු ලැබීම නතර කළ යුතු බව ය.

රටේ සාමාන්‍ය ජනතාව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කිසිදු සේවාවක් නොලැබුව ද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලාභ පියවීම සඳහා රටේ සියලු ජනතාව බදු ගෙවිය යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

"රටේ කිහිප දෙනෙක් විතරයි මේ ගුවන් සේවයේ සේවා ලබන්නේ. හැබැයි මේ 'සුදු අලියා' නඩත්තු කරන්න රටේ හැම මනුස්සයෙක් ම බදු ගෙවන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය නතර කළ යුතුයි."

ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව ය.

"පාඩු ලබන ආයතනයක් පවත්වාගෙන යන්න ජනතාවගේ බදු මුදල් යොදවන්නෙ නැතුව, ඒ බදු මුදල්වලින් අධ්‍යාපනය, යටිතල පහසුකම් වගේ දේවල් සංවර්ධනය කළා නම් රටේ ජනතාවට ලොකු වාසියක් අත් වෙනවා. ඒ නිසා මේක පෞද්ගලීකරණය කළ යුතුයි කියන මතයේ තමයි මම නම් ඉන්නේ."

මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධයක් නොමැති බව නිදහස් සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජනක විජයපතිරත්න බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළේ, ප්‍රධාන කොන්දේසි දෙකක් යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට එකඟ වන බව ය.

එම කොන්දේසි දෙක වන්නේ, 51%ක කොටස් රජය යටතේ තබා ගැනීම සහ ශ්‍රීලංකන් ගුවන් සේවය යටතේ ක්‍රියාත්මක වන ලාභ ලබන ආයතන වෙන වෙන ම සමාගම් වෙත නොපැවරීම යි.

ජාතික ගුවන් සේවයක් පැවතීම රටකට වැදගත් ද ?

 

ජනතාවට බරක් වූ 'ශ්‍රී ලංකන්' විකුනන්න යයි
ශ්‍රීලංකන් ගුවන් සේවය රටේ ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාම නිසා අත් වුණු වාසි ද තිබේ.

ඉන් කිහිපයක් මෙසේ ය.

මීට වසර කීපයකට පෙර ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවට ගොස් සිටි වැඩිහිටි පිරිසක් හදිසියේ ම ඉන්දියාවේ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දකුණු ඉන්දීයාවේ කොටු වී සිටියහ. ඔවුන් ඉන්දියාවට රැගෙන ගිය ගුවන් සේවා වෙත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ආපසු ගෙනැවිත් දෙන ලෙස දැනුම් දීම් කීපයක් කර තිබුණ ද, ඔවුන් එම ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදක්වා නොතිබිණි. මෙම පසුබිම යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වී මෙම වන්දනාකරුවන් පිරිස යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගෙන තිබිණි.

ඊට අමතරව, පසුගිය කොවිඩ් වසංගත සමයේ ආරම්භක අවධියේ චීනයේ කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස අවදානම ද නොතකා විශේෂ ගුවන් යානයක් මගින් යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගත්තේ ය.

ජාතික ගුවන් සේවාවක් පවත්වාගෙන යාමෙන් යම් යම් වාසි අත්වුව ද, ඇතැම් රටවල් අලාභ ලැබීම හේතුවෙන් සිය ජාතික ගුවන් සේවා පෞද්ගලීකරණයට පියවර ගෙන තිබේ.

ඊට නිදසුනක් වන්නේ, ලෝකයේ විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවේ රජය සතුව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවය, ටාටා සමාගමට පැවරීම ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කෙටියෙන්

1979 වසරේදී ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට මේ වන විට වසර 45ක ඉතිහාසයක් තිබේ.

මෙය කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කේන්ද්‍රගත කරගෙන ක්‍රියාත්මක වේ.

වර්තමානයේ ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 59ක පිහිටි ගමනාන්ත 113ක් වෙත ගුවන් සේවා සපයයි.

(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :

ශ්‍රී ලංකන් පිටරටට විකුණවාද? දේශිය සමාගමකට බාර දෙනවාද? - (ආර්.එම්. මනිවන්නන්)

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකන් ගොඩගන්න අත ගහයි

ශ්‍රීලංකන් මිලට ගන්න ධම්මිකත් කැමැත්තෙන් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්