ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර‍ෙය් නව මං සලකුණක් සටහන් කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා අදට (01) හැටතුනක් සපිරෙයි.


අතීතයේ මෙරට පැවතියේ මුළුමනින්ම වාණිජ තරඟකාරිත්වය විසින් මෙහෙයවූ බැංකු ක්‍රමයක් වූ අතර, මෙරට සාමාන්‍ය පොදු ජනතාවට බැංකුකරණය විවෘත වූයේ මහජන බැංකුවේ ආරම්භයත් සමඟයි.

ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මූල්‍ය සේවා සහ නවීන ඩිජිටල් තාක්ෂණය මුසුවූ සේවාවන් රැසක් හඳුන්වාදෙමින් අද වන විට රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම් සහිත මෙරට ප්‍රමුඛතම බැංකුවක් බවට මහජන බැංකුව පත්ව ඇති අතර, දේශයේ අභිමානය ලෙස මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අඛණ්ඩව දායකත්වය සැපයීම සුවිශේෂ කරුණකි. 

 

මේ වන විට දිවයින පුරා පිහිටා ඇති  මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 747ක් වන අතර, 7600කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 300කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් (SBU) තුළින් වසරේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14.7කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

 

ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නඟා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරන පනත යටතේ මහජන බැංකුව පිහිටුවන ලදි. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර සමුපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ටී.බී. ඉලංගරත්න මහතා ය.

 මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමුපකාර ක්ෂේත්‍ර‍ෙය් විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය. 

ඉංග්‍රීසි උගත් ඇති හැකි පෙළැන්තියට පමණක් සීමාවී තිබුණු බැංකු ක්‍රමයේ සීමා වළලු දෙදරා යෑමට මුල පිරුනේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල හා දෙමළ භාෂාවෙන් වැඩ කිරීම ආරම්භ කළ ප්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකිවිය. 

සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමඟම රන් භාණ්ඩ උකස් සේවා කටයුතුවලට ද මහජන බැංකුව 1961 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන් භාණ්ඩ උකස් වෙළෙඳපළ විධිමත් විය.

විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්‍රයන්හි නියැළෙන ගනුදෙනුකාර භවතුන්ට ගැළපෙන පරිදි සන්නම් නාමගත කරන ගිණුම් හඳුන්වාදීමට මහජන බැංකුව පියවර ගෙන  තිබේ. විවිධ ණය යෝජනා ක්‍රම දියත් කරමින් තම ගනුදෙනුකරුවන් වෙත  උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබාදීමට ද මහජන බැංකුව ක්‍රියාකරයි.

වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවතී මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවර සුළු පටු නොවේ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට තෙවසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගී, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත්‍රයන් සඳහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වය විශාලයි. 

ලෝකයේ පුරා විසිරී ඇති බැංකු 900කට  අධික සංඛ්‍යාවක් සමඟ සාර්ථකව ගනුදෙනු කරන මහජන බැංකුව, පුද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම්වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන හා අපනයන කටයුතු සඳහා  විශාල දායකත්වයක් පිරිනමයි.  විශේෂයෙන් රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ඉන්ධන, ඖෂධ, ගෑස් වැනි දෑ ගෙන්වීමේදී මහජන බැංකුව ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කරමින් මෙරට ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවා සපයයි.

 

මහජන බැංකුව, නව ලොවට ගැළපෙන පරිදි සිය ගනුදෙනුකාර භවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් 2015 වසරේදී ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී.

 

මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය තුළින් People’s Wiz ඩිජිටල් ගිණුම් විවෘත කිරීමේ පහසුකම, People’s Wave ජංගම දුරකතන යෙදවුම, People’s Wiz Credit ඩිජිටල් ණය උත්පාදන පද්ධතිය People’s Wyn ආයතනික ජංගම දුරකතන යෙදවුම, People’s Web අන්තර්ජාල බැංකු පහසුකම, People’s pay digital Wallet App යෙදවුම හා People Eze ගිණුම් විවෘත කිරීමේ පහසුකම Virtual Account Opening Service හඳුන්වා දෙන ලදි. මේ වන විට මහජන බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 3.4කට අධික වන අතර, මේ වන විට මහජන බැංකුවේ ගනුදෙනු 75%කට අධික ප්‍රමාණයක් සිදුවන්නේ ඩිජිටල් නාලිකා ඔස්සේය. 

එමෙන්ම  ශ්‍රී ලංකීය ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් පිරිනැමීමෙන් නොනැවතී සිය ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමටද මහජන බැංකුව නිරතුරුව පියවර ගනී. මේ වන විට මහජන බැංකුවේ සියලුම සමාජ සත්කාරක ව්‍යාපෘතින් ‘මහජන මෙහෙවර’ යන සන්නාමය යටතේ දියත් වන අතර, ඒ තුළින් අධ්‍යාපනික, ආගමික, සෞඛ්‍ය ආදි විවිධ ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා මෙහෙවරක නියැළේ.

මහජන  බැංකුවේ විශිෂ්ටත්වය නිරතුරුවම දෙස් විදෙස් සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන,  Lankapay Technovation සම්මාන වැනි දේශීය සම්මාන මෙන්ම තවත් අන්තර්ජාතික සම්මාන ගණනාවක් හිමි කරගෙන තිබේ. විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළදී පමණක් Asian Banker, Asia Money, World Finance, The European, Global Banking & Finance Awards 2023, International Business Magazine, Global Business Review Magazine Awards, Global Banking & Finance Reviwe magazine in UK, Asia digital finance Forum and award (AFTA) ආදි  සම්මාන උලෙළ රැසකදීම මහජන බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත.

ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) හා Daily FT පුවත්පත් විසින් 2018, 2019, 2020, 2021, 2022 හා 2023 වර්ෂයන්හිදී අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ ආයතන අතරට මහජන බැංකුව ඇතුළත්ව ඇත. 

 

PHOTO 2024 07 01 10 02 20

මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ කටයුතු කරන අතර ක්ලයිව් ෆොන්සේකා ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරයි.

 

නවීනතම බැංකුකරණ අත්දැකීම් ශ්‍රී ලාංකික ගනුදෙනුකාර ප්‍රජාවට ලබාදෙමින්, දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීම තම බැංකුවේ අරමුණ බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ ප්‍රකාශ කරයි.

මහජන බැංකුව පිහිටුවා අදට (01) වසර 63ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සභාපතිවරයා එසේ කියා සිටියි.

''ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය බැංකු විසඳුම් සපයාදීම බැංකුවේ අරමුණයි. ගනුදෙනුකාර ප්‍රජාවගේ ජීවිතවලට අමතර වටිනාකමක් එක්කිරීම අපගේ සේවාවල තවත් එක් අරමුණකි. වඩාත් විශ්වාසනීය බැංකුකරුවා ලෙස සහතික වෙමින් විශිෂ්ට බැංකුකරණ සේවාවක් ලබාදීම අපගේ දැක්ම'' යැයි ද සුජීව රාජපක්ෂ පවසයි.

(ජේ. මුණසිංහ)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්