මූල්‍ය වංචා සහ අනන්‍යතා සොරකම් (Identity Theft) වැළැක්වීමට CDS වෙතින් දැඩි ක්‍රියාමාර්ගයක්
ජූනි 30 වැනිදා සිට අදියර 4කින් ගිණුම් "ක්‍රියාකාරී නොවන" (Non-Operative) මට්ටමට
"කොටස් අයිතිය ඒ විදිහටමයි; ලාභාංශත් ලැබෙනවා; හැබැයි KYC අප්ඩේට් කරනකල් විකුණන්න බෑ"
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ආයෝජනය කර වසර ගණනාවකින් කිසිදු ගනුදෙනුවක් සිදුනොකර අතහැර දමා ඇති (Dormant) නිද්‍රාශීලී ගිණුම් දහස් ගණනක කොටස් වෙළෙඳාම් කිරීමේ අවස්ථාව ජූනි 30 වැනිදා සිට තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) තීරණය කර ඇත.
වැඩිබෙහෙවින් සිදුවන මූල්‍ය වංචා වැළැක්වීම සහ ආයෝජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ මෑත ඉතිහාසයේ හඳුන්වා දුන් විශාලතම ආරක්ෂණ වැඩපිළිවෙළ මෙය වන අතර, මෙම ගිණුම් "ක්‍රියාකාරී නොවන සේවාලාභී ගිණුම්" (Non-Operative Client Accounts) ලෙස නම් කිරීමට නියමිතය.
ඩිජිටල් වෙළෙඳාම සාමාන්‍යකරණය වීමත් සමඟ, වසර ගණනාවකින් පරිශීලනය නොකළ ගිණුම් අනන්‍යතා සොරකම් (Identity theft), ව්‍යාජ ලේඛන සකස් කිරීම් හෝ අවසරයකින් තොරව සිදුවන නීතිවිරෝධී ගනුදෙනුවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතී. මෙම පියවර හරහා ආයෝජකයන් සතු වත්කම් සයිබර් සහ මූල්‍ය තර්ජනවලින් ආරක්ෂා කෙරෙන අතර සමස්ත වෙළෙඳපොළේ විශ්වාසනීයත්වය ද ඉහළ යයි.
ගිණුම් හිමියන් දැනගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක්
කොටස් අයිතිය අහිමි නොවේ:
මෙමඟින් ආයෝජකයන් සතු කිසිදු කොටසක් රාජසන්තක කිරීම, අවලංගු කිරීම හෝ වෙනත් පාර්ශ්වයකට පැවරීමක් සිදු නොවේ. ගිණුම් හිමියන්ට හිමි සියලුම සමාගම් ලාභාංශ (Dividends), ප්‍රසාද කොටස් (Bonus shares) සහ හිමිකම් නිකුතු (Rights issues) පෙර පරිදිම අඛණ්ඩව ගිණුමට බැර වේ. අත්හිටුවනු ලබන්නේ මිලදී ගැනීමේ සහ විකිණීමේ වෙළෙඳාම් කටයුතු පමණි.
මාස 7ක අදියර 4ක සැලසුම:
මෙම සීමා කිරීම් එකවර සිදු නොකරන අතර අදියර 4කින් ක්‍රියාත්මක වේ. ඒ අනුව, ජූනි 30 වැනිදා සිට වසර 15ක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රිය වූ ගිණුම් ද, සැප්තැම්බර් 30 සිට වසර 10-15ත් අතර ගිණුම් ද, දෙසැම්බර් 31 සිට වසර 5-10ත් අතර ගිණුම් ද, අවසාන වශයෙන් 2027 ජනවාරි 31 දිනෙන් පසු වසර 3-5ත් අතර කාලයක් අක්‍රියව පවතින ගිණුම් ද මෙලෙස අත්හිටුවීමට නියමිතය.
නැවත සක්‍රිය කරගැනීම (Reactivation):
මෙම තාවකාලික තහනම ඉවත් කරගැනීමට කිසිදු අවසාන දිනයක් (Deadline) පනවා නැත. ආයෝජකයන්ට තමන්ට පහසු ඕනෑම වේලාවක CDS වෙබ් අඩවිය හෝ CSE ජංගම දුරකථන යෙදුම (Mobile App) හරහා සිය පාරිභෝගික හඳුනාගැනීමේ (KYC) තොරතුරු යාවත්කාලීන කිරීමෙන් ගිණුමේ සම්පූර්ණ වෙළෙඳ අයිතිය ක්ෂණිකව නැවත ලබාගත හැකිය.
ජාත්‍යන්තර ප්‍රවණතාව:
ගිණුම් වාර්තා ඩිජිටල්කරණය වීමත් සමඟ ලෝකයේ ප්‍රධාන පෙළේ කොටස් තැන්පතු ආයතන රැසක්ම මේ වන විට වරින් වර පාරිභෝගික තොරතුරු තහවුරු කරගැනීමේ (Periodic KYC reviews) ජාත්‍යන්තර මූල්‍ය රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරමින් සිටී. ශ්‍රී ලංකාව ද එම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීම මෙහිදී කැපී පෙනේ.
මුලාශ්‍රය :
Dormant CSE Accounts Face Trading Freeze under Anti-Fraud Drive







