විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 59 වන උපන්දිනය අදට යේදී තිබේ.
ඒ වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණේ හුණුපිටිය ගංගාරාමයේදීය.
පසුගිය වසරවල නොතිබුණු උද්යෝගයක් අද සජිත්ගේ උපන්දිනයේදී පෙනෙන්නෙ තිබුණේ කරුණු කිහිපයක් නිසාය.
ඒ සිරිකොතෙන් ආ සුබ පණිවිඩයකුත් සමගින්, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක ද ගංගාරාමයට පැමිණි සිටියේය.
ඊට අමතරව රවී කරුණානායක, ෆයිසර් මුස්තාපා, මනෝ ගනේෂන්, දිගම්බරම්, දයාසිරි ජයසේකර වැනි විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජිතයින්ද ඒ පිංකමට එක්වි සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූවක් විය.
සමගියෙන් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, රෝහණ බණ්ඩාර, සුජිත් සංජය, දිලිප් වෙදආරච්චි, චතුර ගලප්පත්ති, චමින්ද්‍රානි කිරිඇල්ල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සජිත්ට සුබපතන්නට ගාංගාරාමයට පැමිණ සිටියා.
දහවල් සම්බුද්ධ පූජාවෙන් පසු අනුශාසනාව සිදුකළ හුණුපිටිය ගංගාරාමාධිපති පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සජිත්ට ආශිර්වාද කළේ අතීතයද සිහිපත් කරමින්ය.
“ කවුරුත් සතුටට පත්වෙනවා, ඔක්කොම එකට එකතුවෙලා, අලුත් ගමනකට සුදානම් වෙනවා. ඒක හොඳයි, ඒක තමයි විය යුත්තේ, දැන් මේ ගමන ඉදිරියටම අරන් යන්න, තාත්තා වගේම ඔබතුමත් ජනතා සේවයට කැපවෙච්ච කෙනෙක්. මට පහුගිය දවසක ලැබුනා ඔබතුමෙගේ තාත්තා එක්ක පොඩි හාමුදුරුවෝ ජනසවිය පටන් ගන්න සැලසුම් හදපු ලිපි ගොණුවක්. එදා එහෙම තමයි තාත්තා වැඩ කළේ, ඔබතුමාටත් ඒ ශක්තිය තියෙනවා, තාත්තටත් දරා ගැනීමේ ශක්තිය තිබුනා. පරිණත දේශපාලඥයෙක් කියන්නේ, දරාගැනීමේ ශක්තිය කොතරම් තියෙනවාද? එපමණකට දුර ඔහුට යන්න පුළුවන්”
අනතුරුව පැමිණි පිරිස සජිත්ට සුබ පතන අතර තුර, ඔවුන් එහි සිටි තවත් කෙනෙකුට සුබ පතන්නට පටන් ගත්තේය.
ඒ සජිත් දුන් ඉඟියක් නිසාය.
“ අද කට්ටියම කෙලොන්නාවේ යන්නේ නැද්ද? එහේනේ කේක් කපන්නේ”
සජිත්, මරික්කාර් දෙස බලමින් එහෙම කියද්දීම, එතන සිටි අයට මරික්කාර්ගේ උපන්දිනයත් අද බව සිහිපත් විය.
මේ අවස්ථාව වාර්තා කිරීමට පැමිණ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිස අතර සිටි ලාල්, මනෝ ගනේෂන් සහ දිගම්බරම් හමුවූ අතර තුර විමසා සිටියේ, වතු කම්කරුවන්ට පෙරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදුන්නාද යන්නය.
ඊට පිළිතුරු දුන් මනෝ ගනේෂන් කිව්වේ…
“ අපිට පොරොන්දු වුනා ඒත් තාමත් දුන්නේ නෑ. අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නෙත් වතු සේවකයින්ට වැටුප් වැඩි කරනවා තියපු නිස, ඒත් පෙරොන්දු විතරයි, ලියලා තියා ගන්න 2029 ජනාධිපති සජිත්. දැන් එයා කියපු හැමදේම හරි, හැමදේම ඇත්ත කියලා රටටම තේරුම්යමින් තියෙනවා.”
මේ අතර සජිත්ගේ උපන්දින සැමරුම අතර තුර සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අසලට පැමිණි එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ලිපියක් රංජිත් මද්දුම බණ්ඩාර අතට දෙමින් කිව්වේ, “අයියා, මේ තමයි අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දවසේ රැස්වෙච්ච වෙලාවේ අපේ එක්වීම ගැන ගත්තු තීරණ ටික. ඔයාලට මේක ලිඛිතව දෙන්න කියලා ලීඩර් මට කිව්වා. ඔයාලගේ 13 වෙනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේක ටේබල් කරන්න පුළුවන්” කියාය.








