අරමුණ පැමිණෙන සංචාරක සංඛ්‍යාව පමණක් නොව ඔවුන් මෙරට තුළ සිදුකරන වියදම් ඉහළ නැංවීමයි
ප්‍රධාන රටවල් 6ක් ඉලක්ක කර ගනිමින් 2027 අප්‍රේල් දක්වා ක්‍රියාත්මක වන පුළුල් ඩිජිටල් ප්‍රවේශයක්
දිවයිනට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණාත්මක වර්ධනයට සමගාමීව මෙරටට ලැබෙන සමස්ත සංචාරක ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් රුපියල් බිලියන 1.5ක මූල්‍ය ආයෝජනයක් සහිත නව අතුරු සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් (Interim Tourism Campaign) ආරම්භ කර තිබේ. 2027 අප්‍රේල් දක්වා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව, චීනය සහ රුසියාව යන ප්‍රධාන පෙළේ සංචාරක වෙළෙඳපොළ 6 කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරේ.
ලබන වසරේ මුල් කාර්තුවේදී රුපියල් බිලියන 5ක පමණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය සන්නාමකරණ ව්‍යාපෘතියට පෙරබිමක් ලෙස මෙම වැඩසටහන සැලසුම් කර ඇත.
2030 ඉලක්කය සහ ආදායම් පරතරය
පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයින් මිලියන 2.36 තුළින් උපයාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක ආදායම, මෙම වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 2.7ක් සහ ආදායම ඩොලර් බිලියන 4.2ක් දක්වා ඉහළ නංවා ගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි. එළඹෙන වසරේදී සංචාරක පැමිණීම මිලියන 3 ඉක්මවා යනු ඇතැයි ගණන් බලා ඇති අතර, 2030 වන විට මෙරට වාර්ෂික සංචාරක ඉපැයීම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 සීමාවට ගෙන ඒම දිගුකාලීන දැක්මයි.
කෙසේ වෙතත්, සංචාරකයින් පැමිණෙන ප්‍රමාණය ඉහළ ගිය පමණින් රටට ලැබෙන ආදායම ඉබේම ඉහළ නොයන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කළේ, මෙම ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නම් සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය දීර්ඝ කිරීම, ඔවුන්ගේ දෛනික වියදම් ඉහළ නැංවීම සහ සාම්ප්‍රදායික සංචාරක කලාපවලින් ඔබ්බට ඔවුන් යොමු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි.
නව අත්දැකීම් සහ යථාර්ථවාදී ප්‍රවේශය
නව ප්‍රවර්ධන උපායමාර්ගය යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 7ක් කෙරෙහි අවධානය යොමු කෙරේ. විවේකී සංචාර, සංස්කෘතික උරුමයන්, ස්වභාව සෞන්දර්යය, ත්‍රාසජනක අත්දැකීම්, සුවතා සංචාරක ව්‍යාපාරය (Wellness), සුඛෝපභෝගී අත්දැකීම් සහ MICE (සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන) සංචාර ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව දියයට කිමිදීම, ආයුර්වේද, විවාහ මංගල්‍යය සහ ආධ්‍යාත්මික සංචාරක අංශද විශේෂයෙන් දියුණු කිරීමට සැලසුම් කර ඇත.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු සැමවිටම මෙරට සැබවින්ම සැපයිය හැකි පහසුකම් හා සේවාවන් සමඟ සමපාත විය යුතු බවයි. ලබාදිය නොහැකි පොරොන්දු ප්‍රවර්ධනය කිරීමෙන් සංචාරක විශ්වාසය බිඳවැටීමේ අවදානමක් පවතින බැවින්, ප්‍රවර්ධන සැලසුම් ප්‍රායෝගික යථාර්ථයන් මත පදනම් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
තාක්ෂණය සහ ගුවන් සේවා සම්බන්ධතාව
ඩිජිටල් තාක්ෂණය, සමාජ මාධ්‍ය වේදිකා (Meta, Google, TikTok) සහ කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ සංචාරක මෙවලම් භාවිත කරමින් මෙරට සංචාරක ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර දෘශ්‍යතාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම, ප්‍රවර්ධනයට සමගාමීව ආසන ධාරිතාව සහ ගුවන් ගමන් වාර ඉහළ නැංවීම සඳහා එමිරේට්ස්, ඉන්ඩිගෝ, ටර්කිෂ් එයාර්ලයින්ස් සහ කටාර් එයාර්වේස් වැනි ප්‍රධාන ගුවන් සමාගම් සමඟ ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් සහ සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ග්‍රාමීය ආර්ථිකයට සෘජු ප්‍රතිලාභ
සංචාරකයින් හෝටල් පරිශ්‍රයෙන් බැහැරව සිදුකරන වියදම් පහසු කිරීම සඳහා ලංකාපේ (LankaPay) සහ දේශීය බැංකු පද්ධතිය ඒකාබද්ධ කරමින් ඩිජිටල් ගෙවීම් ජාල පුළුල් කෙරෙමින් පවතී. එමගින් ප්‍රාදේශීය ව්‍යවසායකයින්ට, සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ට සංචාරක ආදායමේ සෘජු ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසේ.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල එතරම් ප්‍රසිද්ධ නොවූ සුවිශේෂී සංචාරක ගමනාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය අන්තර්ගත නිර්මාණකරුවන් (Content Creators) 100 දෙනෙකුගේ සහභාගිත්වයද ඉදිරියේදී ලබා ගැනීමට නියමිතය.
රුපියල් බිලියන 1.5ක ආයෝජනයේ සාර්ථකත්වය තක්සේරු කිරීම සඳහා ඩිජිටල් දත්ත විශ්ලේෂණ පද්ධති (Dashboards) යොදා ගැනෙන අතර, ලැබෙන ප්‍රතිඵල මත පදනම්ව ප්‍රවර්ධන උපායමාර්ග නිරන්තර සමාලෝචනයට ලක් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
මුලාශ්‍ර :
LANKA NEWS : Tourism Targets $10 Billion Revenue But Faces Delivery Test
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව අතුරු ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වාර්තාව - Daily Mirror







