leader s

ඩඩ්ලි සිරිසේන ලොකු ගානක ලිමිටඩ් එඩිෂන් වර්ගයේ වාහනයක් අරගෙන.


මේ ගැන විවිධ අය විවිධාකාරයේ පෝස්ට් ලියලා තිබුන. සමහරු අහලා තිබුනා ඩඩ්ලි මේ වාහනය පදින එකෙන් පොලොන්නරුවෙ ගොවියන්ට මොනවද ලැබෙන්නෙ කියල. කොහොම හරි ඒ ගොඩක් කතාවල  ඩඩ්ලි මේ වාහනය පදින එක ගැන අවුලක් තිබුන.

මේ අවුල එන්නෙ කොහොමද?

හොඳට බැලුවොත් මේක මූලිකවම එන්නෙ ඉරිසියාව කියන තැනින්.

‘පිස්සුද? මට සල්ලි තිබුනත් මං ඔහොම එකක් ගන්නෙ නෑ’ කියල කෙනෙක් කියන්න පුළුවන්. ඔව්, අපි නොගත්තත් ඩඩ්ලි ගත්ත එක ගැනයි ඉරිසියාව. මොකද ඩඩ්ලි ආස දේ ඩඩ්ලි අරන් තියෙනවා. ඒ ආසාවේ අතිරික්තයක් බුක්ති විදීම ගැනයි මේ අවුල එන්නෙ.


georges bataille 121

 ඩඩ්ලිගේ වාහනය සහ අපේ ආශාව තේරුම් ගන්න හොඳම තැන තමයි ජෝර්ජ් බටායි. බටායි මේක විස්තර කරන්නෙ ‘සේක්රඩ් එක්සස්’ නැත්නම් ශුද්ධ වූ අතිරික්තයක් විදිහට.‍ බටායිගෙ ආර්ථිකය ගැන අදහස වුනේ අපි සදාචාරාත්මකව නාස්තියක් විදිහට දකින අතිරික්තය ආර්තිකයට,  ජීවිතයට සහ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත් කියන එකයි.

 
ඩඩ්ලිගේ වාහනය ගත්තොත් ඒකෙ මුදල්මය වටිනාකම එන්නෙ සංකේතාත්මකව. සිම්බොලික් වටිනාකමක් විදිහට. ඒක හරියට ටෝකන් එකක් වගේ. ඩඩ්ලිගේ ආශාව ඒ සීමිත වර්ගයේ වාහනයක් දක්වා ඉහළ යනවා. ඒ ආශාවේ ඉහල යාමට අනුපාතිකව ඩඩ්ලිගේ ඉපැයීම් ඉහල යනවා. ඩඩ්ලි ලංකාවෙ ඉඳන් ඒ ඉපැයීම් ඉහල නංවනවා කියන්නෙ ඒ වෙනුවෙන් තව බොහෝ පිරිසක් වැඩ කරන්න ඕන වෙනවා. ඒ කියන්නෙ  බොහෝ පිරිසක් රැකියා කරන, තම තමන්ගේ පවුල් නඩත්තු කරන ආර්ථිකයක් නිර්මාණය වෙනවා. ඩඩ්ලිට අර වගේ සංකේතාත්මක ආසාවක් තිබුනෙ නැත්තං රජයේ රස්සාවක් කරගෙන මාසෙ පඩියෙන් ජීවත් වෙනවා.

අපිට ධනවාදී වේවා සමාජවාදී වේවා ආර්ථිකය ගැන පොදුවේ තියෙන්නෙ මෙන්න මේ වගේ අදහසක්. උපයනවා, ඉතුරු කරනවා, පුළුවන් නම් ආයෝජනය කරනවා, වර්ධනය කරනවා, හැකිතාක් කාර්යක්ෂම වෙනවා, රිපීට්. මේ චක්‍රය නැවත නැවත කරකවනවා. මේ ක්‍රමයට අනුව නාස්තිය කියන්නෙ දෝෂයක්. අතිරික්තය කියන්නෙ පාපයක්. සුඛෝපභෝගීත්වය කියන්නෙ සැක කළ යුතු තත්වයක්.


1626 1413395143500320 1351646994983853037 n

 බටායිගේ ආර්ථික දර්ශනය වෙනස්. එයා කියන්නෙ අපි කොහොමත් අපිට ඵලදායීව පාවිච්චි කළ හැකි පමණට වඩා අතිරික්තයක් නිෂ්පාදනය කරනවා. මේ අතිරික්තය නාස්ති නොකලොත් ඒක ප්‍රචන්ඩත්වය, යුද්ධය , අර්බුද ඇති කරන තත්වයන් දක්වා ගමන් කරනවා. ඔය පන්සල් හදන්නෙ, පිළිම හදන්නෙ, මහා පූජා පවත්වන්නෙ මේ ශුද්ධ වූ නාස්තිය වෙනුවෙන් තමයි. ඒක අපි මහා යාගයන් විදිහට ඈත අතීතයේ පටන්ම පාවිච්චි කරපු සංස්කෘතියක්. ඒකෙම ලෞකික වර්ෂන් එක තමයි ඩඩ්ලිගෙ කාර් එක.

 
බටායි කියන්නෙ සුඛෝපභෝගීත්වය ‘සේක්‍රඩ් වේස්ට්’ එකක් කියල. මෙතනදි උත්සව පැවැත්වීම, සැණකෙලි, පාර්ටි, ආර්ට්, පූජා, තෑගි දීම්, කැසිනෝ විශේෂයෙන් ශෘංගාරය කියන කලාපය අයිති වෙනවා. ඒවායින් අරමුණු කරන්නේ ලාභයක් නෙමෙයි. අතිරික්තය පුළුස්සා දැමීමක්.

මේක සමාජයට තේරුම් ගන්න අමාරුයි. මේ මුදල් අර්ථවත්ව ඵලදායීව පාවිච්චි කරන්න ඕන කියල මිත්‍යාවක තමයි ජනතාව ඉන්නෙ. හැබැයි මේ අතිරික්තය තමයි අපිට කියන්නෙ ජීවිතය කියන්නෙ යන්තම් ගැටගසා යුතු දෙයක් නෙමෙයි කියල. ඒක උපරිමයෙන් විඳිය යුතුයි කියල. ආර්ථිකය කියන්නෙ ඵලදායිතාව විතරක් නෙමෙයි කියල. ආශාව කියන්නෙ තාර්කික දෙයක් නෙමෙයි කියල.

ඕනෑම අතිරික්තයක් විසින් ප්‍රකට කරනවා විශාල නිදහසක්. ඒක ස්වාධීනත්වය එක්ක බැදුනු දෙයක්. තමන් අනාගත ලාභයන් ගැන හෝ, මිනිස්සු තමන් ගැන හිතන්නෙ කොහොමද කියන එක ගැන හෝ තවදුරටත් වද වෙන්නෙ නෑ කියල ඩඩ්ලි කාර් එක පැදගෙන යමින් කියනවා.

ඉතින් මේ කාර් එක කියන්නෙ ගමනාගමනය සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක තර්ක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වඩා ප්‍රයෝජනවත් වීම හෝ යහපත් වීම ගැන කාරණයක් නෙමෙයි. ඒක තමන්ගේ අතිරික්තය දහනය කිරීම පිළිබඳ යාතුකර්මයක්. රිචුවල් එකක්.


123 1413395123500322 8393756162213610239 n

 ඒ හින්ද ලක්ෂරි කාර් එකක් අපි දකින කොට අපි ‍මතක තියාගන්න ඕන. මේ නාස්තියක් නෙමෙයි. සමාජය පාලනය කළ නොහැකි ප්‍රචන්ඩත්වයෙන්, විනාශයෙන් ආරක්ෂා කරන සංකේතාත්මක පූජාවක්. මට සල්ලි හම්බුනොත් මං ඩඩ්ලි වගේ කාර් එකක් ගන්න එකක් නෑ. චිත්‍රපටියක් හදයි. හැබැයි ඩඩ්ලිගේ කාර් එකයි, මගේ චිත්‍රපටියයි අතර මට උස් පහත් වෙනසක් නෑ. දෙකම අතිරික්තය දැල්වෙන තැන්.

 

Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -facultyofsex.com)


whatsapp 202507155

 

*web card 1

නවතම පුවත්