leader s

ඊයේ චාමර ගුරුගේ ගෙ නාට්‍යය පෙන්නුවා. කොළඹ කමතෙදි. ඒකෙ නම අපි අතර ඌ. මං බැලුවෙ දෙවෙනි වතාවට.


අපි අතර ඌ නමෙන්ම කියන කතාවක් තියෙනවා. කවුද මේ අපි අතරට ආපු ඌ? නාට්ටියෙ හැටියට නම් ඌ මීයෙක්. රූපකයක් විදිහට පවුල ඇතුලට රිංගන මේ මීයා කවුරු වෙන්න පුළුවන්ද? තවත් පෙම්වතෙක්? දෙමව්පියෙක්? අසල්වැසියෙක්? මේ කවුරු හරි වෙන්න පුළුවන්. නැත්තං මීයෙක් වගේ නොපවතින යමක් වෙන්නත් පුළුවන්. හැබැයි ඌ ඉන්න ඕනි.

පවුල කියන්නෙ රටකටත් රූපකයක්. එක කාලයක් අපි අතර ඌ වුනේ දෙමළ මනුස්සයා. ඊට පස්සෙ අපි අතර ඌ වුනේ මුස්ලිම් මනුස්සයා. දැන් අපි අතර ඌ වෙලා ඉන්නෙ 76 වසරක සාපය. ඊලගට අපි අතර ඌ කවුරු වෙන්න පුළුවන්ද කියලා තෑගි දිනාගන්න පුළුවන්.

api1

 

ලංකාවෙ මම දැකපු ඉරොතිකම වේදිකා නාට්‍යය තමයි 'අපි අතර ඌ'. ඒ තරම් ස්පර්ශයන්, අනුරාගයන්, සිපගැනීම්, සහ ෆෙ‍ටිෂයන් භරිත නාට්‍යයක් මං දැකලා නෑ. ඒ මරාගෙන මැරෙන්න තරම් අනුරාගී පෙම්වතුන්ගේ චරිත නිරූපණය වෙනුවෙන් අකාට සහ කසුනිට මගේ ගෞරවය.

අනුරාගය කියන්නෙ රඟපෑමේදි අමාරුම ඉසව්වක් කියලයි මං හිතන්නෙ. ඒක ඒ හරිම චරිත සමපාතය නැතුව කලොත් වනචර එකක් වෙනවා. බලන් ඉන්න අමාරු වෙනවා. ඒත් මුලු නාට්‍යය පුරාම දිවෙන මේ චරිත දෙක නොනිමෙන අනුරාග සිළුවක් නාට්‍යය පුරාම අරගෙන යනවා.

මේ නාට්‍යය ලංකාවෙ සංස්කෘතික සීමාවක් තල්ලු කරනවා. ඉන්ටිමසිය වේදිකාගත කරනවා.

 

api2

මං මේක දකින්නෙ 90 දශකයෙන් පත්තු වුනු බෝම්බයක් විදිහට. මේ නාට්‍යය එන්නෙ අතීතයෙන්. මේ පරම්පරාවෙ කිසිම කෙනෙක් මේ වගේ නාට්‍යයක් කරන්න නිර්භීත වෙන්නෙ නෑ. නුතන පරම්පරාව කියන්නෙ ලිංගිකව හැකිළුනු පරම්පරාවක්. චාමරගෙ නාට්‍යයේ අපි දකින්නෙ 90 දශකයේ, ලිංගිකත්වයෙන්, ශෘංගාරයෙන් උතුරා යන සාහිත්‍ය, සිනමා කලාපයන් ඇසුරෙ නිර්මාණය වුනු ප්‍රකාශනයක්. ඒක වර්තමානය මත පතිත වෙන බෝම්බයක්.

මේ පෙම්වතුන්ගෙ අර්බුදය බොහො‍් දෙනෙක් දකින්නෙ ඛේදවාචකයක් විදිහට. මේක පිළිතුරු සෙවිය යුතු යමක් විදිහට.

 

api4
ඒත් මට මේක දැනෙන්නෙ අනිවාර්ය වර්ධන සාධකයක් විදිහට. දෙදෙනෙක් අතර සම්බන්ධයකදි අත්‍යාවශ්‍ය වෙන ගැඹුරු කපා ගැනීමේ චාරිත්‍රයක් විදිහට.

අපි අතර ඌ, ආදර සම්බන්ධතාමය දෘෂ්ටියකින් බැලුවොත් ඒක සේක්‍රඩ් රිලේෂන්ෂිප් රිචුවල් එකක්. යාගයක්. එකිනෙකා රිදවීම ඇතු‍ලෙන් ගැඹුරුම සතාව එලියට ගන්නා සහ ඒ සතාට ආදරය කිරීමට තරම් සම්බන්ධතාවයක් විශාල වීමේ පැල්ම. ඒක ආදරයේ ශුද්ධ වූ මොහොතක්.

එතනදි මේ මීයා වැදගත්. අපිට පිටින් එන මීයා එක්ක යුද්ධ කරන්න පුළුවන්. මීයා ඝාතනය කරලා විනාශ කරලා දාන්න පුළුවන්. ඒත් මීයො ආපහු එනවා. අපිට මීයො ඕන වෙනවා.

 

api3
දෙන්නෙක් දුරස්ථව හිඳිමින් ආදරය කරලා, ලිවින්ග් ටු ගෙදර විදිහට හෝ එක තැනක ජීවත් වෙන්න ගන්නවා කියන්නෙ ආදර සම්බන්ධයක හරිම අමුතු පරිවර්තනයක්. එක පාරට බාහිරය අහෝසි වෙනවා. දෙන්නෙක් හිස් අවකාශයක  හුදකලා වෙනවා. සියලු රෝගයන් නිරාවරණය වෙන්න පටන් ගන්නවා.

රෝගී මට ආදරය කරන්න රෝගී ඔයාට පුළුවන්ද? මීයා මරා දැමීමේ ජයග්‍රහණයෙන් සහ පරාජයෙන් අපි අපිව තේරුම් ගන්නවා.

අපි අතර ඌ කියන්නෙ ආදරය ගැන හරිම ගැඹුරු ආධ්‍යාත්මික අත්දැකීමක්. චාමර කාලයක් තිස්සෙ මේ ආදරය කියන කාරණය වේදිකාව උඩ ගවේෂණය කරනවා. හොයාගෙන යනවා. තාර්කික විදිහට නෙමෙයි, ජීවිතය, පැවැත්ම ඇතුලෙන් හොයාගෙන යනවා. ඒකෙ මනුස්සමය නුආන්සස් මතු කරන හරිම ලස්සනට.  

api5

 

මේ නාට්‍යයේ මම තවත් කැමතිම කාරණයක් වුනේ 'රිලැක්ස්' කියන එක. වේදිකාව සිදුවීම් අතර කලබල නෑ. අපිට ගොඩක් වෙලාව තියෙනවා. ඒ අයගෙ ගැටුම වගේම ගැටුමට පස්සෙ විඳවීම, දරාගැනීම, හුස්ම වැටීම, පැවතීම එක්ක අපි කාලය ගත කරනවා.

ඒ වගේම චරිතවල ඒ 'රිලැක්ස්' කියන එක දැනෙනවා. හිටගන්න විදිහ, අතපය හසුරුවන විදිහ, ඉරියව්, හඩ පවත්වාගැනීම ඒවා වේදිකාමය ගතියකට වඩා සිනමාවට ඉතා සමීප වෙනවා.

මං හිතන්නෙ චාමරගෙ නාට්‍යය වේදිකාවත් සිනමාවත් අතර පිහිටීමක් කියල. රංගනය, ඒ සියුම්බව වගේ කාරණා ගොඩක් සිනමාරූපීයි. වේදිකාව උඩ ඇත්ත ෆ්‍රිජ් එකක් තියෙනවා. පුළුවන් තරම් හැමදෙයක්ම සැබෑවට සමීප කරනවා.

 

api6

මෑත කාලෙදි මේ වගේ සුවිශේෂ නාට්‍යය දෙකක් බිහිවුනා. එකක් සිංහල අනික ඉංග්‍රීසි. එකක් මේ අපි කතා කරන අපි අතර ඌ. අනික poison. සිනමාවෙ වැදගත්ම කාරණයක් තමයි ඉන්ටිමසි කියන එක. අපිට සිනමා රූපයේ දකින චරිත එක්ක ගොඩනැගෙන සමීපත්වයත් ඉන්ටිමසියත්.  මේ නාට්‍යය දෙකම දෙයාකාරයකින් මේ ඉන්ටිමසි කියන ‍දේ වේදිකාව උඩට අරන් එනවා. ඒක එක විදිහකින්  වේදිකාව විසින් සිනමාව අතික්‍රමණය කිරීමේ සාර්ථක වෑයමක් විදිහටත් කියවන්න පුළුවන්.


Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 18

 

ඡායා උපුටා ගැන්ම : Kenula Pathirathna Photography 

 

whatsapp 202507155

 

*web card 1

නවතම පුවත්