වර්තමානයේ ඔබ සහ මම යමක්: ලියයි ද, කියවයි ද, දෙසයි ද ඒ සියල්ල සඳහා අනුප්‍රාණය ලද්දේ අතීතයේ දී අපි: කියවූ, නැරඹූ, ඇසූ දේවලිනි. නමුදු අප ඒ

සියලු දෑ සම්පුර්ණයෙන් ම බදා වැලඳගෙන හෝ සම්පුර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර නැත; එසේ කිරීමට අවශ්‍ය ද නැත. එමෙන් ම ඒ සම්බන්ධයෙන් පුන පුනා ලිවීම හෝ දෙසීම ද අවශ්‍ය නොවේ. මන් ද ඒ සියල්ල ඒ ඒ යුගවලට සාපේක්ෂව වැදගත් ය; රසවත් ය; වටිනාකමෙන් ඉහළ ය. ඉදින් එය එකල අගය කළ යුතුම ය. එහෙත් වර්තමානයේ ඒ සියල්ල හිස මත තබාගත යුතු නැත.

 

deemon

උදාහරණය කිහිපයක් ඉදිරිපත් කරන්නේ නම්: අප පාසල් යන කාලයේ ඩීමන් ආනන්ද විසින් රචිත කෘති කියවූයේ අභ්‍යාස පොත් තුළ සඟවාගෙන ය.

 

වැඩිහිටියන්ට පමණක් ම වෙන් වූ යැයි සඳහන් කුඩා පොත් කියවූයේ ද එසේ ම ය. රහසෙන් නොවූව ද ෂර්ලොක් හෝම් කතා අනන්තවත් කියවා ඇත. කල් ඉකුත් වීමේ දී කරුණාසේන ජයලත්, කුමාර කරුණාරත්න, රාජා. ටී. බස්නායක, එඩ්වඩ් මල්ලව ආරච්චි සහ තවත් එබඳු බොහෝ ලේඛක ලේඛිකාවන්ගේ පොත් රසවින්දේ ද ඉමහත් රුචිකත්වයෙනි. නමුදු කාලය සමග ගමන් කරද්දී ඒ ඒ කාලයට සාපේක්ෂව අපේ කියවීම, නැරඹීම සහ රසවිඳීම වෙනස් මාන කෙරෙහි යොමු විය. කාලයට සාපේක්ෂ ලෙස එම තත්ත්ව වෙනස් වුව ද ඒ ඒ සාහිත්‍ය කලා නිර්මාණ කෙරෙහි ඇති ආසක්තභාවය නොගිලිහිණ. එමෙන් ම ඒ කිසිවක් මාහාර්ඝ වස්තු ලෙස ද නොසැලකිණ.

 

සයිමන් ද සිල්වා, පියදාස සිරිසේන, ඩබ්ලියු. ඒ. සිල්වා පමණක් නොව මාර්ටින් වික්‍රමසිංහගේ කෘති වුව ද නූතන සාහිත්‍ය ප්‍රවණතා අබියස ඉහළ මට්ටමක තැබිය නොහැකි ය. නමුදු එකලට සාපේක්ෂව කියවීමේ පිපාසයෙන් සිටි පාඨක ප්‍රජාවගේ මනදොළ පුරවාලීමට ඔවුන්ගේ නිර්මාණ ඉමහත් පිටිවහලක් විය. එය අගය කරන අතර ම වර්තමානයේ අප කිසිම ආකාරයකින් මේ කිසිදු ලේඛකයෙක්ගේ නිර්මාණ සමග සමපාත වන නිර්මාණ බලාපොරොත්තු නොවිය යුතු ය. වර්තමානයේ සාහිත්‍ය යනු එකල පැවති සාහිත්‍යයට වඩා දියුණු මට්ටමක රස වින්දනයක් මතු නොව දැනුම් සම්භාරයක් මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් ජනතාව දැනුවත් කරන කලා මාධ්‍යයකි.

 

මේ ආකාරයෙන් ම අතීතයේ දී අප විවිධ ඇඳුම් නිර්මාණ කෙරෙහි ද ආසක්ත විය; ඒවා මිලදීගෙන මහත් උජාරුවෙන් ඇන්දේ ය; අගය කළේ ය. නමුදු කාලයාගේ ඇවෑමෙන් ඒ බොහෝ ඇඳුම් විලාසිතා අත්හැර දැමී ය. නවින ඇඳුම් විලාසිතා වැලඳගත්තේ ය. නමුදු වර්තමානයේ ද ඒ ඒ ඇදුම් විලාසිතා කෙරෙහි එදා අප තුළ තිබූ ආසක්තභාවය පිළිබඳ විවිධ අවස්ථාවල, විවිධ ස්ථානවල අදහස් හුවමාරු කරගන්නේ ය. එසේ අදහස් හුවමාරු කරගත්ත ද ඒ ඇඳුම් විලාසිතා යළි අඳින්නට පෙලඹෙන්නේ නැත. එකල පැවති ඇතැම් ඇඳුම් විලාසිතා නව්‍යකරණයට ලක්ව වෙළෙඳපොළට පැමිණිය හොත් නම් එය මිලදී ගෙන අඳින්නට පෙලඹේ. එය මිනිස් ස්වභාවය යි.

 

යට කී ආකාරයට ම ‘කොළඹ කවි’ යනු කාලයට සාපේක්ෂව පාඨක දන මහත් අභිරුචියෙන් වැලඳගත් කාව්‍ය සම්ප්‍රදායකි. නමුදු වර්තමානයේ ලාංකීය සහ විදේශීය සාහිත්‍ය ගමන් කර ඇති ස්ථානය දෙස අවධානය යොමු කරන විට ‘කොළඹ කවි’ වර්තමානයට නොගැළපේ; නොකියවයි; රස නොවිඳියි. ඒ, අදාළ කවිවලට ඇති අකමැත්ත නිසා නොවේ; දැන් එම කවිවලට වඩා උසස්, රසවත් කවි: කියවන්නට, විඳින්නට සහ තම තමන්ගේ වින්දනය අනෙකා සමග බෙදාගන්නට පාඨකප්‍රජාව පෙලඹී සිටින බැවිනි; නිර්මාණකරණයේ යෙදෙන්නෝ ද තම තමන්ගේ නිර්මාණ නව මාන කෙරෙහි යොමු කරන බැවිනි.

 

27 01 0

 

අනුරසිරි හෙට්ටිගේ විසින් සම්පාදිත ‘‘මුද්‍රණ යුගයේ කොළඹ කවිය’’ කෘතිය ජනගත කෙරෙන්නේ මෙවන් වාතාවරණයක් තුළ ය. කෘතිය කියවාගෙන යන අතරතුර මෙන් ම සමස්ත කෘතිය ම කියවා අවසන් වූ පසුව ද මට දැනුණු හැඟීම වූයේ: කතුවරයා ‘කොළඹ කවිය’ට දැඩි ලෙස පෙම් බඳින බවයි. එමෙන් ම: ‘කොළඹ කවිය’ට මහත් අසාධාරණයක් වී ඇති බවත්, එය එසේ නොවිය යුතු සහ නොකළ යුතු බවත් සමාජ ගතකිරීමට දරා ඇති උත්සාහයක් බවයි. එය නොකළ යුත්තක් නොවේ. නමුදු කාලයට සාපේක්ෂව සියල්ල වෙනස් වන බව අප නිරන්තරයෙන් ම අවබෝධ කරගත යුතු ය.

 

මගේ පුද්ගලික වින්දනයට සාපේක්ෂව සසඳන විට එකල ‘කොළඹ කවිය’ යනු සැබැවින් ම මා ඉමහත් වින්දනයක් ලැබූ කාව්‍ය ෂානරයකි. විශේෂයෙන් ම එකල රටේ කිසියම් විශේෂ සිදුවීමකින් ඉක්බිති නගරයේ විවිධ ස්ථානවල ද, ගමේ සති පොළේ ද, විවිධ උත්සව (පෙරහැර සහ සැණකෙළි) අවස්ථාවල ද අලෙවි කළ ‘කවි කොළ’ තුළ අන්තර්ගත වූ විවිධ රස කෙරෙහි ආසක්ත විය. ඒ හැරෙන්නට එකල ‘කොළඹ කවිය’ නමැති නාමරකරණය පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබිණ. ඒ අත්දැකීම ලබන්නේ පාසල් පද්ධතිය තුළිනි. එය කාලයක් පුරා මනසේ මෙන්ම හදවතේ ද රැඳී තිබිණ. නමුදු කාලයාගේ ඇවෑමෙන් ‘කොළඹ කවිය’ යනු මතුපිට රසය පමණක් විඳිය හැකි, කවි පදයෙන් පදය චිත්ත රූප මවාගත හැකි මාධ්‍යයක් පමණක් ය යන්න අවබෝධ විය.

 

‘කොළඹ කවියට’ බොහෝ විට උපස්තම්භක කරගත්තේ සතර පදය හෙවත් සිවු පදය යි. එමෙන් ම එය එළිවැට, එළිසමය මෙන් ම ධ්වනිතාර්ථ රහිත ධ්වනිය පමණක් ම ප්‍රමුඛ කරගත් නිර්මාණකරණයක් විය. සරලව ම පවසන්නේ නම් ‘කොළඹ කවිය’ තුළ: ව්‍යංගාර්ථ, වක්‍රෝක්ති, වක්බිණුම් ද නැති තරම් ය. ‘කොළඹ සතර පද කවිය’ එසේ වුව ද එම යුගයෙන් බැහැරව බිහිවූ නිදහස් කාව්‍ය රචක රචකාවෝ විසින්: ව්‍යංගාර්ථ, වක්‍රෝක්ති, වක්බිණුම් සහිත සිවු පද නිර්මාණ බිහි කරන ලදී. ඒ නිර්මාණ සතර පද වුව ද, ඒවායේ එළි වැට, එළිසමය හෝ ය ව හ න් දෝෂ යැයි අර්ථ ගන්වන ලක්ෂණ පැවතිය ද එම නිර්මාණ කියවා, රස විඳ, එහි පතුළට ගමන් කර, අදාළ නිර්මාණ තුළ සැඟව පවත්නා යටි පෙළ කියවාගත හැකි විය.

 

උදාහරණයක් ලෙස ‘කොළඹ කවි’ යැයි හඳුන්වන, සිවු පදයක් සහ නූතන කිවිදියක විසින් රචිත සිවු පද කවියක් ගෙන බලමු.

 

ගොඩ මඩ දෙකම සරු සාරය      පල බරය

කටුරොද ගම්මාන තරමක          පිටිසරය

ඒ ගම මැදින් ගලනා ගඟ            මනහරය

කඩ මංඩිය පිහිටියේ ගම             කෙළවරය

 

කේයස් (සාගර පලන්සූරිය): සුදෝ සුදු

 

EamEduaUcAA6v5Bමෙම නිර්මාණයේ තවත් කවි පංති කිහිපයක් ම අඩංගු වුව ද ඒ සියල්ල උපුටා දැක්වීම අත්‍යවශ්‍ය නොවන්නේ කවිය පිළිබද උනන්දුවක් පවතින සියලු දෙනා ම පාහේ මෙම නිර්මාණය රස විද ඇති බැවිනි.

 

‘සුදෝ සුදු’ නමැති සමස්ත නිර්මාණය පුරාම විහිද පවතින්නේ කතාන්දර ස්වරුපයකි. ඒ හැරෙන්නට එම කාව්‍ය නිර්මාණයේ සැඟව පවත්නා යටි පෙළ අරුතක් නොපවතී. කාව්‍ය නිර්මාණය රස විඳින පාඨකයා හෝ පාඨකාවගේ හදවතට යම් වේදනාවක්, සතුටක් හෝ වෙනත් රසයක් (කතන්දර රසයක්) දැනුණ ද ඔහු හෝ ඇය (එකලට සාපේක්ෂව) සිටිනා ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ඔසවා තබන්නට අදාළ නිර්මාණය සමත් නොවේ. සමස්ත නිර්මාණය ම හුදු සිද්ධි වාචකයක් පමණි.

 

මතු දැක්වෙන්නේ නුතන කිවිදියක වන මනෝරි කෞෂි දිසානායකගේ කාව්‍ය නිර්මාණයකි. එම නිර්මාණය ද සිවු පද ආකෘතියෙන් නිර්මිත ය; එළිවැට සහ එළිසමය ද යොදා ඇත.

 

රැහැන්

යල  මහ දෙකමැ, තාමත් හරි සරුව     මෙහේ

කල  දුටු තැනෙදි, වළ ඉහ ගත් අයද    රැහේ

දළ  නැති ඇතුන් හඬ තළනා අයුරු     ඇහේ

පිල  මත රෑට, අදටත් ‘මැටි පහන’     ගැහේ

නල  රැලි ගිලී කවුළුව ළඟ දැනුත්      තපී

සල  මින් සිනහ, රෑ කළුවර හිතේ      පිපී

මල  සේ , දිවිය විටෙකදි සිල් සුවඳෙ    හැපී

හල  මින් රසය, වස් දඬු හඬ, අහමු     අපී

වළ  කා කුමටැ, දුවනා පය තදින්      බැඳ

රළ  නැග ඒවි, පෙම් වෙරළ ම දකින    ලෙද

ගල  වා තුටින, හදවත්වල ‘රැහැන්’     තද

පල  වා හල යුතුයි දෛවයෙ හිවල්     නද

 

මනොරි කෞෂි දිසානායක: නැකත වැරදුණි

 

මෙම නිර්මාණය සිවු පද හෙවත් සතර පද කවියක් වුව ද සාගර පලන් සූරියගේ ‘සුදෝ සුදු’ නිර්මාණය මෙන් නොව සමස්ත නිර්මාණය පුරා ම අන්තර්ගත වන්නේ ව්‍යංගාර්ථයකි. එමෙන් ම කතුවරිය සමස්ත නිර්මාණය පුරා ම විවිධාකාරයේ: රූපක, සංකේත යනාදිය බහුලව භාවිත කර ඇත. මතුපිටින් දිවෙන අරුත අභිභවන යටි පෙළක් මෙම නිර්මාණයෙහි අඩංගුව පවතී.

 

දැන් කේයස්ගේ ම තවත් නිර්මාණයක් (සතර පද) සහ නුතන කිවියකුගේ නිදහස් පද්‍ය නිර්මාණයක් සමග සසඳා බලමු.

 

හිමි ඔබ සයුර මැද රුදු සටනක ය            රැයේ 

පොල් අතු පැලේ මම තනිව ම වෙසෙමි              බියේ 

ඇතිමුත් හුරුපුරුදු එඩිතර ගතිය                     ළයේ

තරමක සැකයකින් ඔබ අද   සවස                 ගියේ

 

කේයස් (සාගර පලන්සූරිය): ධීවරී ගීතය

 

මෙම නිර්මාණයේ ද තවත් කවි කිහිපයක් ම තිබුණ ද එය බොහෝ පිරිස් කියවා ඇති බැවින් සම්පූර්ණ නිර්මාණයම උපුටා ගැනීමට අවශ්‍ය නොවේ. කේයස්ගේ නිර්මාණයට පාදක කරගත් අනුභූතියට සමපාත වන, මතු දැක්වෙන නිර්මාණය පිළිබඳ අවධානය යොමු කරමු.  

 

තරුව

 

මට තනිකමක් නොදැනෙයි

ඈතින් සිටින ඔබ

මට තනි රකියි

 

ඔරුව නොපෙනෙයි

එළිය ගෙනෙයි

මා දිහා බලයි

නෙතු නොපියයි

 

ඔරුව පෙරළෙන තරමට

සරාගි රළ පේළි නැග එයි

මොහොතකින් ඔබ නොපනී යයි

මුළු ලොවම කළුවරයි

 

කරවල ගඳ සුළඟ

වැලිතලා සුරංගන වන්

හොරට වගේ දොරට ගසයි

දොර අරින්නට සිතෙයි

ඒත් මට බිය දැනෙයි

උන් දෑසටම වැලි ගසයි

ඔබ දකින්නට දෑස

පරිස්සම් කර ගත යුතුයි

මට සිතෙයි

 

තුෂාර ද සිල්වා: මකරන්ද කාව්‍ය සංග්‍රහය වෙළුම 03

 

Picture 215 701x926කේයස්කේයස්ගේ නිර්මාණය එකපැහැර රස විඳිය හැකි ය; චිත්ත රූප මවාගත හැකි ය. කවියා පවසන්නේ කුමක් ද යන්න පිළිබද අවබෝධ කරගැනිම අපහසු නොවේ. නමුදු තුෂාර ද සිල්වා කවියාගේ නිර්මාණය ඊට සපුරා වෙනස් ය. මතු පිට රසය පමණක් විඳින පාඨක ප්‍රජාවට මෙම නිර්මාණය එසේ ද රස විඳිය හැකි අතර ‘කවිය කියවීම’ ප්‍රගුණ කළ පාඨක ප්‍රජාවට මෙම නිර්මාණයේ යටි පෙළ කියවාගත හැකි ය; එහි සැඟව පවත්නා අරුත ද කියවා රස විදිය හැකි ය.

 

කොළඹ කවිය සහ නූතන කවිය අතර පවත්නා සුවිශේෂී වෙනස එය යි. ඒනයින් බලන විට නූතන කාව්‍ය පාඨක ප්‍රජාව යනු කොළඹ කවිය අභිභවූ කාව්‍ය රස විඳින පිරිසකි. ඔවුන් නුතන කවිය කියවා විඳින රසය කොළඹ කවියක් කියවීමෙන් ඉක්බිති නොවිඳින බව සක් සුදක් සේ පැහැදිලි ය. එබැවින් අප දැන් ‘කොළඹ කවිය’ හිස මත තබාගෙන යා යුතු නැත; නමුදු හැදෑරිය යුතු ය. එසේ හැදෑරීමට රිසි පාඨකයෙක් හෝ පාඨකාවක් සිටී නම් ඔවුන් අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘‘මුද්‍රණ යුගයේ කොළඹ කවිය’’ කියවිය යුතු ම ය. ඒ, මෙම කෘතිය කියවා ලබාගන්නා දැනුම ‘කොළඹ කවිය’ පිළිබඳ ලියවුණු කිසිදු කෘතියකින් ලබාගත නොහැකි බැවිනි.

 



Trans+National New Left MagazineOpiuma Leftසංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි  අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2022/04/30 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්