අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා ක්‍රියා කිරීම නිසා ලංකාවේ රාජ්‍යයේ හා සමාජ-දේශපාලන ක්‍රමයේ ඇති වී තිබෙන ගරා හැලීම තුළ ඒ සියල්ලෙහි බිඳ
වැටීමක් ඇතිවී ඒ නිසා රට බංකොලොත් වී අවසානයේ ලංකාව ලොකු අරාජිකත්වයකට තල්ලු වී යනු ඇතැයි කියන අදහස මා තුළ ඇතිවූයේ අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසුවය.
ඒ වන විට ශ්‍රී ලංකා රාජ්‍යය විශාල ප්‍රමාණයේ අභ්‍යන්තර කැරලි දෙකකට මූහුණ දී ඒවා දුෂ්කර ලෙස පරාජය කර තිබුණද එම කැරලි නිසා රාජ්‍යයට ද, සමාජ දේශපාලන ක්‍රමයට ද බරපතල හානි සිදුවී තිබුණි.
මේ කැරලි දෙකම පරාජය කලේ ඒවා ඇතිවූ වහාම නොව ඒවා බොහෝ දුර දිග ගොස් කැරලිකරුවන් එම කැරලි ජයගන්නට ආසන්න තත්වයකට පත් වීමෙන් පසුවය.
ජවිපෙ දෙවැනි කැරැල්ල මාස 24 ක් තරම් දීර්ඝ කාලයක් අල්ලා ගෙන සිටීමට එම කැරලිකරුවන් සමත් වී තිබුණි.
එල්ටීටීඊය ද ඔවුන්ගේ කැරැල්ල වසර 24 ක් තරම් දීර්ඝ කාලයක් පවත්වා ගෙන යාමට සමත්ව තිබුණි.
බොහෝ කල් පසුවී හෝ මේ බිහිසුණු කැරලි දෙක පරාජය කරන්නට අරක්ෂක හමුදා සමත් වුවද එම කැරලි නිසා ආරක්ෂක හමුදාවන්ට ද, රාජ්‍යයට ද, සිංහල දෙමළ සමාජයට ද, රටේ සමාජ-දේශපාලන ක්‍රමයටද විශාල හානියක් සිදුවී තිබුණි. එම කැරලි නිසා විනාශ වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 150,000කට ත් වඩා වැඩි විය හැකිය. හිංසාවට හා පීඩාවට ලක්වූ අයගේ සංඛ්‍යාව මියගිය අයගේ සංඛ්‍යාව මෙන් තුන් හතර ගුණයක් විය හැකිය.
මෙම කැරලි වලදී කැරලිකරුවන් සේම ආරක්ෂක හමුදාවන් ද තරඟකාරි ලෙස සමාජය මත උපරිම තරමේ කෲරත්වයක් මුදා හැර තිබුණ අතර එම තත්වය සමස්ථ සමාජයේ මනස අඩු වැඩි ප්‍රමාණයකට විකෘති කිරීමට හා රෝගි කිරීමට හේතු වී තිබුණි. එම විශේෂ වටාපිටාව තුළ රට තිබුණේ ලොකූ ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු කිරීම අත්‍යවශ්‍ය තත්වයකය.
අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා හැරීම:
එම කැරලි නිසා ද, නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකු මුල් කොටගත් ආණ්ඩු ක්‍රමය නිසා ද, රාජ්‍යයට හා සමාජ-දේශපාලන ක්‍රමයට සිදුවී තිබුණ බරපතල හානි නිවැරදි කිරීම සදහා ප්‍රතිසංස්කරණ වැඩසටහනක් කරළියට ගැනීම යහපත් ඉදිරි ගමනක් සඳහා රටට නැතුවම බැරි කොන්දේසියක් වී තිබුණද ප්‍රභාකරන් පරාජය කිරීමෙන් ඇති කරගෙන තිබූ ආශ්වාදජනක හැගීම් විසින් එම යථාර්තය තේරුම් ගැනීමට රටට තිබුණ හැකියාව නැති කර තිබුණි.
යුධ ජයග්‍රහනයේ දෙවැනි සංවත්සරයට ආසන්න කාලයේ දී රට ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු කිරීමේ වැදගත් කම රාජ්‍යය නායකයාට (ජනාධිපති මහින්ද රාජපක්ෂට) ඒත්තු ගැන්වීමට මම උත්සාහ කළෙමි. මගේ ඉල්ලීම අනුව ඒ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලද අතර ඊට ජනාධිපති ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ඇමතිවරයෙකු වූ ඩලස් අලහප්පෙරුමද සහභාගි විය.
ඒ ගැන කෙරෙන සාකච්ඡාව පැය තුනක් තරම් දීර්ඝ කාලයක් එක දිගට පැවතියත් මගේ ප්‍රතිසංස්කරණ අදහස හොදින් තේරුම් ගැනීමට ජනාධිපතිවරයා සමත් වූයේ නැත.
ඉන්පසු රාවය 25 වැනි සංවත්සරයේ දී ද ජනාධිපති ඇතුළු අනෙකුත් ප්‍රධාන පක්ෂ නායකයින් එම අවස්ථාවට සහභාගි කර ගනිමින් රට ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු කිරීමේ අවශ්‍යතාව බැරෑරුම් ලෙස ඔවුන් වෙත අවධාරණය කලත් එම ආයාචනය ද ඒ සදහා කෙරෙන සාර්ථක සංවාදයක් බවට පත් වීමක් සිදුවූයේ නැත.
ඉන්පසු "ලංකාව ගලවා ගැනීම" හා "ජාතියේ ඛේදවාචකය" යන නම් වලින් පොත් දෙකක් ලියා පලකරන්නට සිදුවූයේ මාගේ එම ප්‍රවාදය සමාජගත කිරීමේ අවශ්‍යතාව සලකාය.එම ප්‍රවාදයෙන් කියන දේ වූයේ "දිගින් දිගට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා හරින තත්වයක් තුළ රාජ්‍යයේ හා සමාජ-දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන ගරා හැලීම වර්ධනය වී සමාජ-දේශපාලන ක්‍රමයේ ද, ආර්ථිකයේ ද ,කඩා බිඳ වැටීමක් ඇතිවී රට බංකොලොත් හා අරාජික තත්වයකට තල්ලු වීමට නියමීත බවය".
ඉන් පසු එම ප්‍රවාදය සමාජයට ඒත්තු ගැන්වීම සඳහා මට ලියන්නට සිදුවූ ලිපි ගණන සිය ගණනක් විය හැකිය.
මංගල සමරවීර:
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ මංගල සමරවීරගේ චරිතාපදානය දොරට වැඩීමේ උත්සවයේ දේශනය කරන ලදේ මාය. මා එම දේශනයේ කථාව බවට පත් කර ගත්තේ ලංකාවේ අර්බුදයේ අනාගතය පිලිබඳ මාගේ එම ප්‍රවාදයයි. මා එහි දී කීවේ ඉදිරි ජනාධිපතිවරණයෙන් කවරෙකු දිනුවත් රටේ සමාජ-දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ බිද වැටීමක් ඇතිවී රට බංකොලොත් හා අරාජික තත්වයකට පත්කිරීමට නියමිතව තිබෙන බවය.
මා එම විග්‍රහය කළේ නිදහසේ සිටම රටේ කටයුතු සිදු වී තිබූ අවුල් සහගත ස්වරූපය ද පෙන්වා දෙමිනි. මංගල එහිදී කළ ස්තූති කථාවේදී මා කරන ලද විග්‍රහය පිළිගනිමින් විටින් විට බලයට පත්වූ ආණ්ඩු ගණනාවක කොටස්කරුවකු ලෙස ක්‍රියා කිරීම මගින් රටට තමන් අතින් සිදුවී තිබෙන හානියට කණගාටුව පල කලේය.
ජනාධිපතිවරණය කාලයේදී දුරකථනයෙන් කථා කල අවස්ථාවක දී ඔහු මට කීවේ පොත දොරට වැඩීම වෙනුවෙන් මා කරන ලද කථාව විටින් විට දෝංකාරක් ලෙස තමන්ට ඇසෙන බවය. පසුව ඔහු සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වී සමස්ථ ක්‍රමයේ ගැඹුරු වෙනසක් දිනාගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින කෙනෙකු බවට පත්විය.
කිසියම් විශේෂ අවස්ථාවකදී ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කරවා ගැනීම සඳහා පුරෝගාමි භූමිකාවක් ඉටු කිරීමට තමන්ට හැකිවනු ඇතැයි ඔහු විශ්වාස කළ බවද පෙනෙන්නට තිබුණි. ඔහු හැමදාමත් තරුණ පරපුර වෙනුවෙන් පෙනී සිටි කෙනෙකු විය. එහෙත් රටේ අවාසනාවකට ඔහු තරුණ නැඟිටීමට පෙර මිය ගියේය.
තරුණ නැගිටීම ඇතිවන විට ඔහු ජීවතුන් අතර සිටියේ නම් ඔහූ කුමක් කරනු ඇත්ද? තරුණ නැගිටීමේ සැබෑ අපේක්ෂා සපුරා ගැනීම සඳහා එම අරගලය ව්‍යවස්ථාපිත රාමුවකට ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට බලවත් ලෙස පෙන්වා දෙන අතර එම ඉලක්කය සපුරා ගැනීම සඳහා බලවත් ලෙස ඔවුන්ට අධාර කරන පිළිවෙතක් ද අනුගමනය කරනු ඇතැයි සිතමි.
අරාජකත්වයට අත වැනීම:
ඉතා වැදගත්ම දේ ලංකාවේ අර්බුදයේ ගමන් මග පිලිබදව මා කර තිබෙන පුරෝකථනය සැබෑවීම නොව ඊට ඇතුළත් බිහිසුණුම අනාවැකිය ලෙස සැළකිය හැකි රට අරාජික වීම ගැන හා එයට ආවේණික බිහිසුණු, විනාශකාරි ස්වභාවය තේරුම් ගැනීමට රට අසමත් වීමය.
අරාජික තත්වයක් යන්නෙන් ප්‍රති අධිකාරි බලයක් ඇතිකර ගැනීමකින් තොරව රජයේ අධිකාරි බලය බිද වැටුණු තත්වයකදී ඇති විය හැකි බිහිසුණු සහ අවුල් සහගත තත්වයක් අදහස් කෙරේ. බර්ට්‍රන්ඩ් රසල් "Power: A New Social Analysis" නැමැති කෘතියේ කියා තිබෙන්නේ "ඒකාධිපති තත්වයකටත් වඩා අරාජික තත්වයක් බිහිසුණු හා විනාශකාරී" බවය. ඒ නිසා අරාජික තත්වයක් පරාජය කිරීම සඳහා පළමුවෙන් ඒකාධිපති පන්නයේ පාලනයක් හෝ ඇති කර ගත යුතු බව ඔහු කියයි.
09 වනදා ගෝල්ෆේස් අරගල භූමියේ සිටි විරෝධතා කරුවන්ට අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් පහර දීමේ සිද්ධිය නීතියට පටහැනි, හෙළා දැකිය යුතු, බිහිසුණු, මිලේච්ඡ සිද්ධියක් ලෙස සැළකිය හැකිය.
එහෙත් ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවේ සමහර ප්‍රමුඛ ආධාරකරුවන් ගේ නිවාස, දේපළ හා කලාතුරකින් හෝ ජීවිත ඉලක්ක කොට ගෙන එල්ලවු පහරදීම් ගෝල්ෆේස් අරගල භූමියට එල්ලවූ පහර දීමට වඩා කිහිප ගුණයකින් බිහිසුණු හා මිලේච්ඡ පහර දීම් ලෙස සැළකිය හැකිය.
එම පහර දීම් වලට සාමාන්‍ය මහජනයා ද සම්බන්ධ වන්නට ඇතත් ඒවා මෙහෙයවන ලද අය සමාන්‍ය මහජනයා විය නොහැකිය.
9 වැනි දායින් ආරම්භවී ඉන්පසු ගෙවුණු දින දෙක තුන රට හොඳ සිහිය අහිමි කර ගනිමින් ආවේශවී ක්‍රියා කරන තත්වයකට පත්ව සිටි අතර රට ගමන් ගනිමින් තිබුණේ අරාජිකත්වයේ බිහිසුණු අගාධයට ය.
නව අගමැතිවරයෙකු පත්වීම නිසා සංකේතාත්මක වශයෙන් රටේ ආණ්ඩුවක් ඇති වී අරාජිකත්වය ට යන ගමනේ ලොකු පසු බැස්මක් ඇති විය.
තෝරා ගතයුතු මාවත:
රාජපක්ෂ රෙජීමය පමණක් නොව රටේ පවතින දුෂ්ඨ හා දූෂිත ක්‍රමයද පරාජය කළ යුතුය. එය කල යුත්තේ ව්‍යවස්ථානුකූල ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකින් මිස රට අරාජික කිරීමට හේතුවන බලහත්කාරී ලෙස ආණ්ඩු පෙරලන ප්‍රවේශයකින් නොවේ.
ප්‍රතිසංස්කරණ වැඩසටහන දකුණු අප්‍රිකාවේ මෙන් ප්‍රධාන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන දෙයක් බවට පත් කළ හැකිය.
ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහා ක්‍රියා කරන අතර සුදුසු ආණ්ඩු ක්‍රමයක් සඳහා පොදු එකඟතාවයක් ඇති කර ගනිමින් එම ආණ්ඩුක්‍රමය සඳහා නියෝජිතයින් තෝරා පත් කරගන්නා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නීති රීති හා ප්‍රතිපත්ති ඇති කරගන්නා තැනකට යා හැකිය.
පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමට අවශ්‍ය බලතල මැතිවරණ කොමිසමට ලබා දිය හැක.
ඡන්ද ව්‍යාපාර සඳහා පක්ෂවලට හා අපේක්ෂකයින්ට ලැබෙන අරමුදල් හා වියදම් නියාමනය සදහා අවශ්‍ය ප්‍රතිපත්ති හා විදි විධාන ඇතිකළ හැකිය.
ඒ සියල්ල ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියරයට අයත් වැඩ බවට පත් කළ හැකිය.
පළමු අදියරයේ හා දෙවැනි අදියරයේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩසටහනක අදියර දෙකක් විය යුතු අතර මැතිවරණයෙන් කුමන පක්ෂයක් බලයට ආවද දෙවැනි අදියරයට ඇතුළත් ප්‍රතිසංස්කරණ වැඩසටහන ඒ ආකාරයයෙන්ම ක්‍රියාත්මක කිරීම පැහැර හැරිය නොහැකි ව්‍යවස්ථාපිත වගකීමක් බවට පත් කළ යුතුය.
එක්සත් ජාතින්ගේ සංවිධානය එම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ නිරීක්ෂකයෙකු බවට පත් කර ගැනීම මගින් විශේෂ වශයෙන් අතුරු ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම හා මහජන සහභාගි ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් හා තාක්ෂණ සහය ලබා ගත යුතුය.