දැන් ලංකාව තිබෙන්නේ සිටින මහා ප්‍රපාත යේ සිට ඊට වඩා බිසුනු හා විශාල ප්‍රපාතයකට ඇද වැටෙන්නට ආසන්න තත්වයකය.



මේ මොහොතේ රට එල්ලී සිටින්නේ ගෝථාභය - රනිල් යන දෙදෙනා එකට අඹරා හදා ගත් රැහැනකිනි. එය ශක්තිමත් නැත. පෙනුමද අවලස්සනය. විකාර රූපිය. එය හොඳ විකල්පයක් නොවෙතත් මේ මොහොතේ රටට ඒ හැර තෝරා ගැනීමට වෙනත් විකල්පයක් ද නැත.

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ මෙම විශේෂ සන්දිස්තානයේදී ලංකාවට එල්ලී සිටීමට සිදුවී වී තිබෙනුයේ එම රැහැනේය. මේ මොහොතේ ශක්තිමත් අලුත් රැහැනකට මාරුවීමේ හැකියාවක් නැත. අසම්මත ආකාරයකට එසේ කිරීමට දරන උත්සහයක් විශාල විනාශයක් ඇතිකිරීමට හේතු විය හැකිය.

පවතින යතාර්තය එය නම් රටේ ආරක්ෂාව සදහා කල යුතුව තිබෙන්නේ එම අවලස්සන දුර්වල රැහැන ශක්තිමත් කිරීම සදහා ක්‍රියා කිරීමය. කඩා වැටීමක් ඇති නොවන ලෙස එල්ලී සිටින එම රැහැන ශක්තිමත් කරගැනීමට අසමත් වෙතොත් ලංකාව ඇද වැටෙනු ඇත්තේ ගොඩ ඒම සරල හෝ පහසු නැති අසීලාචාරත්වයේ මහා ප්‍රපතායකටය.

ඒ සමග දේසපාලන බල අරගලයද අවසන් වී යළි ඉපැරනි මුතුන් මිත්තන් සේ කිසියම් දීර්ග කාලයක් වනචාරි වටා පිටාවක දිවි ගෙවීමට සිදුවනු ඇත.එය බලය සඳහා තරඟ කරන කිසිවකුටත් සතුටු විය නොහැකි බිහිසුනු හා විනාශ කාරි තත්වයක් ලෙස සැලකිය හැකිය.

එවැනි බිහිසුනු විනාශකාරි තත්වයකට රට ඇද වැටීමකට අවශ්‍ය වනු ඇත්තේ කා අතින් හෝ ( ජනාධිපති, අගමැති, ආණ්ඩු පක්ෂය, විරුද්ද පක්ෂය හෝ මහජතාව )සිදුවන එක වරදක් පමණය.


වරද කාගේද?

aserer

ඇත්ත්ටම ලංකාවට වැර දුනේ ඇයි? ලංකාව මෙවැනි බිහිසුනු හා නින්දා සහගත තත්වයකට පත් කිරීමට බල පෑ ඇත්ත හේතු  නිවරදි ලෙස තේරුම් ගැනීමට ලංකාව තවමත් සමත් වී නැත.



ලංකාව අසමත් හා බන්කොලොත් තත්වයකට පත් කිරීමට ඍජු ලෙස හා අනියම් ලෙස දායකවූ සියලු දෙනා ඒ වරදේ මුලු බර රාජපක්ෂ පවුල, එම පවුල් පාලනය මත මත හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 මත පටවා තමන් වෙත පැවරෙන වගකීම් වලින් ඇඟ බේරා ගන්නා ප්‍රතිපතියක පිහිටා ක්‍රියා කරමින් සිටින බව පෙනේ.



රාජපක්ෂ පවුල දූෂනයේදී සියලු පාලකයින් අභිබවා ගිය අසම සම තත්වයක් හිමි කරගෙන සිටින බව සත්‍යකි. එහෙත් රාජ්‍යය පාලනයට අදාල දූෂන විෂයේදී 1978 න් පසු ලංකාව පාලනය කල සියළු ජනාධිපති වරුන් අඩු වැඩි ප්‍රමාණයකට දූෂිතයින් ලෙස සැලකිය හැකිය.

ඔවුන් සියළු දෙනා ඍජු හෝ අනියම් ආකාරයට අයතා ලෙස ධනය උපයා ගත්තේය. සිය ඥාතින්ට හා දේසපාලන ගජ මිතුරන්ට ද අයතා ලෙස ධනය උපයා ගැනීමට අනු බල දුන්නේය. එම කාලය තුළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්දයෙන් කිව හැක්කේ ද එයමය.

සියලු ජනාධිපතිවරුන් සිය ආරක්ෂාව සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ට  ධනය උපයා ගැනීමට පුලුවන් කම ලබාදීම සඳහා නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන්නට ඉඩ දුන්නේය.



එහෙත් ලංකාවට සිදුවී තිබෙන මේ මහා විනාශය දේසපාලන තන්ත්‍රය අතින් පමණක් සිදුවූ වැරදි නිසා ඇතිවූ විනාශයක් ලෙස සැලකිය නොහැකිය. ඇතිව තිබෙන මහා විනාශයට ඊට අතිරේඛව අඩු වැඩි ප්‍රමානයකට නිලධර තන්ත්‍රය හා රජයේ සේවකයින්ද වග කිව යුතුය.



දේසපාලකයා සමග වැඩ කරන පරිපාලන නිලදාරියාගේ අනුමැතිය නැතිව දේසපාලකයාට පමනක් දූෂිත ගනු දෙනුවල යෙදිය නොහැකිය. දූෂණයේදී දේසපාලකයින් හා උසස් රාජ්‍ය නිලදාරින් එකට කල්ලි ගැසී ක්‍රියා කරන තත්වයක් ඇතිවී තිබෙන්නේ එහි ප්‍රති පලයක් වශයෙනි.

දේසපාලකයාගේ සම්බන්දයක් නැතිව රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක වන දූෂණයක්ද පවතී. ඒ ආශ්‍රයෙන් සිදුවන දුෂණයේ පරිමාවද ඉතා විශාලය.

ආණ්ඩුවට බදු හා බලපත්‍ර ගාස්තු එකතුකරන ආයතන ඒ ආකාරයේ දූෂණයන් රජ කරන ප්‍රධාන ආයතන ලෙස සැලකිය හැකිය. ඒවා භාණ්ඩාගාරයට එකතු කරදෙන ආදායමේ ප්‍රමානය එකතු කර දිය යුතු ආදායමෙන් සියයට 30 ත් 35 ත අතර තරම් පහත් මට්ටමක පවතී. එය ද රජයට ලැබෙන ආදායම් හීන කරන ප්‍රධානම මාර්ගයක් ලෙස සැලකිය හැකිය.

ලංකාවේ වෘත්තීයවේදින් අතර පවතින දූෂනයද ඉහල මට්ට්මක පවතී. ඔවුන් ආදායම් උපයන ක්‍රමවල ප්‍රශ්න තිබෙනවා සේම උපයන සැබෑ ආදායම් වසන් කිරීමේ ප්‍රස්නයක්ද පවතී. ඒ සියලු දෙනාට අතිරේකව සමාජයද අඩු වැඩි ප්‍රමාණයකට දූෂිතය. ඒ නිසා දූෂණය රාජපක්ෂ පවුලට හා ඔවුන්ගේ පවුල් පාලනයට සීමාවු ප්‍රපන්චයක් ලෙස සැලකීම වැරදිය. එය සමස්ථ දේසපාලන හා නිලධරි තන්ත්‍රයද, මුලු මහත් සමාජයද වසාගත් බිහිසුනු පිළිකාවක් ලෙස සැලකිය හැකිය.



රටේ ඇතිවී තිබෙන අසමත් භාවය හා බංකොලොත් භාවය කෙරෙහි දූෂනයට අතිරේකව වෙනත් හේතුද බලපා තිබේ. වර්ග, කුල, ආගම් බේද නිසා ඇතිවූ කල කෝලාහල හා කැරලි ද , එවා  මර්ධනය සඳහා යොදා ගැනුනු  යුද්ද ව්‍යාපාර ද, ඒ නිසා සිදුවු  විශාල ජීවිත හා දේපල විනාශයන්ද, ඒ නිසා රාජ්‍යට,එහි ආයතන ක්‍රමයට හා ආර්ථිකයට  සිදුවූ බරපතල හානිද, ඒ  ආශ්‍රයෙන් රටට දරන්නට සිදුවූ අතිවිශාල ආරක්ෂක වියදම ද එම ලැස්තුවට එකතු කල හැකි  දේවල් ලෙස සැලකිය හැකිය.



# රටට  අවශ්‍ය ප්‍රමානයට වඩා දෙගුනයක් ( ලක්ෂ 15 ක් තරම් විශාල) තරම් විශාල හා අකාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් නඩතුකරන්නට සිදුවී තිබීම ද බංකොලොත් බාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රභල සාදකයක් ලෙස සැලකිය හැකිය.

# විශාල ලෙස පාඩු ලබන ආයතන ගනනාවක් ( ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්තාව වැනි) එම තත්වයෙහි යහපත් වෙනසක් ඇති නොකර දිගින් දිගට පවත්වාගෙන ගෙන යන ප්‍රතිපත්තිය නිසා දරන්නට සිදුවී තිබෙන අති විශාල පාඩුවද,

# රටේ දේසපාලන හා නිලධර තන්ත්‍රයට සුඛෝපභෝගි පැවැත්මක් ලබා දීම සඳහා කරන විශාල වියදමද,

# තිබෙන ආර්ථික සම්පත් ඵලදායි හා ප්‍රසස්ථ ලෙස ප්‍රයෝජයට ගැනීමට අසමත් වීම හා

# පසු කලක ලොකු පොලියකට විදේශ වානිජ වෙළද පොල මාර්ග වලින්  ලබා ගත් ණය යොදා ගනිමින් ආරම්බ කල සංවර්ධන ව්‍යාපාර ආර්ථික වශයෙන් ඵලදායි නොවීම වැනි හේතු ද රටේ ඇතිවී තිබෙන අසමත් කම කෙරෙහි බලපා තිබෙන හේතුන් ලෙස සැලකිය හැකිය.



නරකාදියෙන් ගැලවීම:

AWEWQ

දැන් ලංකාව ඉන්නේ නරකාදියේය. නරකාදියේ නරකම තැන ලෙස සැලකිය හැකි වැඩි දුක් පීඩා සහිත පලායාමටද පහසු නැති, නරකාදියේ පහල මාලයේ නොව අඩු දුක් පීඩා සහිත පලා යාමට හැකියාවක්ද තිබෙන ඉහල මාලයේය.

ඉතා වැදගත් දේ නරකාදියේ පහල මාලයට නොවැටී ඉක්මනින් පලා යාමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ දොරටු විවෘත කරගනිමින් ඉන් එළියට එන තෙක් එල්ලී සිටින රැහැන ශක්තිමත් කර ගැනීමට හැකියාවක් ඇතොත් එසේ කර ගනිමින් එහි එල්ලී සිටීමය.

එල්ලී සිටින රැහැනේ ශක්තිය ගැන සහතික විය නොහැකිය. එහි දුර්වල කම නිසා නරකාදියේ පහල මාලයට ඇද වැටීමේ අනතුරක්ද පවතී. කඩා බිද වැටීමක් ඇති නොවී ප්‍රතිසංස්කරණ මාවතේ දොරටු විවෘත කර ගනිමින් ඒ ඔස්සේ එළියට පලා යන තෙක් උසුලාගෙන සිටින බර දරා ගෙන සිටීමේ හැකියාවද සමහර විට එයට තිබිය හැකිය.

 
# සාගත තත්වයක් ඇතිවීම වලකා ගත යුතුය.

# රසායන පොහොරවල ප්‍රමුඛ වැදගත් කමක් ලබා දිය යුතුය.

# වඳුරු, රිලා, මොණර ගහනයෙන් ලොකු පංගුවක් අඩු කර දිය යුතුය. ඒ මගින් පමනක් කෘෂි නිමවුම සියයට 20 කින් පමණ වැඩි කර ගත හැකිය.

# වගා කිරීමට කැමති එහෙත් වගා කිරීමට ඉඩම් නැති අයට බලපත්‍ර ක්‍රමයක් යටතේ ඉඩම් ලබා දෙන ක්‍රමයක් ඇති කල යුතුය.

# ආණ්ඩුවේ සියලු ගොවි පලවල් උපරිම මට්ට්ම්කට වගා කරන තත්වයක් ඇති කල යුතුය.

#  වානිජ්‍ය වතුකරය තුල වගා නොකල ඉඩම් විශාල ප්‍රමානයක් තිබෙන අතර ඒවා තාවකාලික බලපත්‍ර ක්‍රමයක් යටතේ වතු කම්කරුවන්ටද අවට ගැමියන්ටද ලබා දිය හැකිය.

# ඉන්දන ලබදීමේදී පුද්ගලික ප්‍රවාහනය දිරිමත් නොකරන පොදු ප්‍රවාහනය දිරිමත් කරන පිලිවෙතක් අනුගමන කල හැකිය. අනෙක් අතට ඉන්දන ලබාදීමේදී ධීවර කරමාන්තයට හා කෘෂිකර්මයට ප්‍රමුඛ වැදගත් කමක් ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කල හැකිය.

# ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය සියළු පියවර ගන්නා අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟවී තිබෙන අකාරයට ප්‍රමාද නොකොට ව්‍යුහමය ප්‍රතිසන්ස්කරන සදහා දොරටු විවෘත කල යුතුය.



රටේ දේසපාලන පක්ෂ පොදු වැඩ සටහනකට එකතු කල හැකි එකම ක්‍රමය එයයි. එය මේ මොහොතේ රටට අවශ්‍ය වී තිබෙන දේසපාලන ස්ථාවර භාවය ලබා දෙමින් මේ අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා වෙනත් ජාත්‍යන්තර ආයතන සමග ගනු දෙනු කිරීමට ශක්තිමත් පදනමක් ලබා දෙයි.

එම ප්‍රතිසන්ස්කරණ වැඩ සටහනට ඇතුලත් නූතන ජාතිය ගොඩනැගීමේ වැඩ සටහන පමණක් වුවුද මෙම අර්බුදය ජය ගැනීමට අවශ්‍ය අති විශාල ගතික ශක්තියක් ලබා දෙයි. එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මැතිවරන වලදී කළු සල්ලි වලට ලැබී තිබෙන වැදගත්කමද අහෝසිකොට පාර්ලිමේන්තු ආණ්ඩුවක් තෝරාගැනීම සඳහා ඉක්මන් නිදහස් හා සාධාරණ මැතිවරනයක් ද ලබා දෙයි.

Victor Ivan(වික්ටර් අයිවන් )

ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)



රට වෙනුවෙන් එකතුවන්න 

 

{gallery}radicalcenter2022531{/gallery}

  

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්