(මහජන සහභාගිත්වයෙන් තොර ව්‍යවස්ථා සංශෝධන)
නැවත වරක් පුළුල් මහජන කතිකාවකින් හා මහජන අවධානයකින් තොරව දේශපාලන පන්තිය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාදාමයක් ආරම්භ කර තිබෙනවා.
රටේ තිබෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා රාමුව තුළ පුරවැසියාට ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන්න අවස්ථාව ලැබෙන්නේ වසර පහක්ට වරක් පැවැත්වෙන මැතිවරණයකදී විතරක් කියන එක මෙමගින් නැවතත් ඔප්පු වෙමින් තිබෙනවා.
මැතිවරණයක් නොමැති කාලය තුළ දේශපාලන පන්තිය විසින් මහජන මතය, හා මහජන සහභාගිත්වයක් නොමැතිව ප්‍රතිපත්ති, හා නීති සම්පාදනය කිරීමේ අධිපතිවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය විසිදෙවෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට දරන උත්සාහය තුළින් පේනවා.
රටක ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ සෘජුව මහජන ජීවිතේට බලපාන කාරණයක්. එහෙත් මෙරට ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මහජන සහභාගිත්වය ලබා ගැනීම දිගින් දිගටම නොවැදගත් කාර්ණයක් ලෙස සලකන බව පේනවා. දේශපාලන පන්තියේ න්‍යායපත්‍රයට අනුව කරනු ලබන මෙවැනි රහසිගත ව්‍යවස්ථා සංශෝධන තමන්ට බලපාන බවට මහජනතාව තුළ පවා සැලකිල්ලක් ඇති බවක් පේන්නෙ නැහැ.
ව්‍යවස්ථා සංශෝධනය ජන ජීවිතයට අතිශයින්ම බලපාන කරුණක් ලෙස සලකා ඒ පිළිබඳව පුළුල් මහජන කතිකාවක් සඳහා වේදිකාවක් සකස් කරදීම ජනමාධ්‍ය විසින් ඉටු කළ යුතු අනිවාර්ය කාර්යයක් වුවද ජනමාධ්‍ය ද දේශපාලන පන්තියේ පාර්ශ්වකරුවන් බැවින් ඒ පිළිබඳව නොසලකා තම දේශපාලන හා ව්‍යාපාරික න්‍යාය පත්‍රය අනුව දෛනික කටයුතුවලවල නියැලෙන බව පේනවා.
මෙම සංශෝධනය තුළ තම සටන් පාඨ තිබෙන බැවින් සිවිල් සංවිධාන ද ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය ගැන මහජන කතිකාවක් සඳහා වේදිකාවක් හදා දීමේ භූමිකාව මග හැර තිබෙනවා.
ස්වාධීන කොමිෂන් සභා නැවතත් ...
විසි දෙවැනි සංශෝධනය යටතේ නැවතත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට විධිවිධාන යොදා තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් ස්වාධීන කොමිෂන් සභා පත් කරනු ලබනවා. රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම, විගණන කොමිසම ආදි කොමිසන් සභා මේ යටතේ ස්ථාපිත කිරීමට විධිවිධාන යොදා තිබෙනවා.
“ක්‍රමයේ වෙනසට” මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දිය හැකි දායකත්වය කෙබඳු ද යන්න පිළිබඳව මෙහි නිර්මාතෘවරුන් අවධානයක් යොමු කළ බවක් පේන්නෙ නැහැ.
මෙම ව්‍යවස්ථා සංශෝධනය දහනවවන සංශෝධනයේ ම දිගුවක් බව පේනවා. මෙම සංශෝධනයේදී එතනින් එහාට කාලීන සමාජ අවශ්‍යතා ගැන අවධානය යොමු කරමින් නිර්මාණශීලී ප්‍රවේශයක් එහි අන්තර්ගතය තුළට ගෙන ඒමට ව්‍යවස්ථා සම්පාදකයින් අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.
නිදසුනක් වශයෙන් අරගලයට පාදක වූ “ක්‍රමයේ වෙනසට” මෙම සංශෝධනයෙන් ලබා දිය හැකි දායකත්වය කෙබඳු ද යන්න පිළිබඳව මෙහි නිර්මාතෘවරුන් අවධානයක් යොමු කළ බවක් පේන්නෙ නැහැ. ගෝඨාභය වැනි අය බලයට පත් වන්නේ පවතින දේශපාලන හා නීති රාමුව හරහා ය.
මහජන මතය විකෘතිකරන්නෝ
ගෝඨාභය බලයට පත්වන්නේ මැතිවරණ ක්‍රියාවලියේ දී මහජන මතය න්‍යාය පත්‍රයකට අනුව විකෘති කිරීමේ ප්‍රතිඵලයක් විදිහටයි. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ජනජීවිතයට, සහ ආර්ථිකයට සිදුවූ හානිය අති දැවැන්තය. එහෙත් ඊට වගකිවයුතු ප්‍රධාන පාර්ශවකරුවන් තවමත් හඳුනාගෙන ඇති බවත් පේන්නෙ නැහැ.
මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට රහසිගතව මුදල් යොදවන ව්‍යාපාරික පන්තිය සහ ධනවතුන් සහ සීමිත මහජන පොදු දේපළක් භාවිතා කරන රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා මැතිවරණ වලදී මහජන මතය විකෘති කරන ප්‍රධානතම බලවේග දෙකයි. ඒ අනුව “ක්‍රමයේ වෙනසක්” ගැන කල්පනා කිරීමේදී මෙම බලවේග දෙක විසින් මැතිවරණ ක්‍රියාදාමයට කරනු මැදිහත්වීම වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය.
මේ අන්දමට රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන වලට ආචාරධර්ම විරෝධී, සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මහජන මතය විකෘති කිරීමට හැකි වී තිබෙන්නේ මෙරට විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් නොමැති නිසාය. විසිදෙවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දී අවම වශයෙන් මෙම කාලීන අවශ්‍යතාවය හෝ ආමන්ත්‍රණය කළ යුතුව තිබිණි.
ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසම විසි දෙවන ව්‍යස්ථා සංශෝධනය මගින් යෝජනා කරනු ලබන සෙසු ස්වාධීන කොමිසන් සභා වලට සමානය.
ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක්
විසි දෙවැනි සංශෝධනය යටතේ යෝජනා කර තිබෙන කොමිසම් සභා අතරට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසම්ක් පිහිටුවීමේ විධිවිධාන ද ඇතුලත් කිරීම් ඉතාම වැදගත්.
ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක කාර්යභාරය වන්නේ රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථාන විසින් භාවිතා කරන සීමිත මහජන පොදු දේපොලක් වන තරංග මාලා උපරිම මහජන යහපත සඳහා භාවිතා කිරීමට පහසුකම් සැලසීමයි.
ඒ අනුව රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ බලපත්‍ර, සමාජීය බහුවිධ බව (pluralism) සහ විවිධත්වය (diversity) පදනම් කරගෙන විවෘත නිර්ණායකවලට අනුව බෙදා දීම, එම මධ්‍ය මධ්‍යස්ථාන විසින් බලපත්‍ර කොන්දේසි ඉටු කරන්නේදැයි වගබලා ගැනීම සහ මැතිවරණ සමයේ රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන අපක්ෂග්‍රාහිත්ය (impartiality) ආරක්ෂා කරන්නේ ද යන්න වගබලා ගැනීම යනාදි කාර්යයන් ඊට ඇතුලත් කරන්න පුළුවන්.
විශේෂයෙන් රට තුළ වාණිජ, මහජන සේවා (public service) සහ ප්‍රජා ගුවන්විදුලි , රූපවාහිනී මධ්‍යස්ථාන පිහිටුවමින් සමාජයේ තියෙන බහුවිධ බව සහ විවිධත්වය ආරක්ෂා කිරීම මෙවැනි කොමිසමක කාර්යයන් අතර වෙනවා.
රාජ්‍ය හිමිකාරත්වය යටතේ තිබෙන රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීම සහ එම මධ්‍යස්ථානවල ප්‍රධානීන් පත් කිරීම ආදියද මෙම කොමිසමට පවරන්න පුළුවන්.
අද අප රටේ දේශපාලන, සමාජ දිශානතිය තීරණය කරන ප්‍රධානතම සමාජයීය ආයතනය බවට රූපවාහිනි මධ්‍යස්ථාන පත්වී තිබෙනවා. මෑතකදී ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාවය (IMS) විසින් ලංකාවම ආවරණය වන ආකාරයට කරපු සමීක්ෂණයකට අනුව ලංකාවේ ජනතාවගෙන් 90% තොරතුරු ලබා ගන්නේ රූපවාහිනි මාධ්‍යයෙන්. විද්‍යුත් මාධ්‍යයන්ට ආවේණික ගති ලක්ෂණ නිසා ඒවාට මහජන මතය හැඩ ගැසීම සඳහා විශාල බලපෑමක් කරන්න පුළුවන්.
රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන විසින් ඉටු කරන භූමිකාව විශේෂයෙන්ම මැතිවරණ සමයේ ඉටුකරන භූමිකාව දැඩි මතභේදයට තුඩු දී තිබෙනවා. නිදසුනක් වශයෙන් මැතිවරණ වලදී මහජන මතය විකෘති කිරීමේ භූමිකාව රූපවාහිනි මධ්‍යස්ථාන විසින් රඟ දක්වන බවට චෝදනා එල්ල වෙනවා.
එහි වගේම ජනවාර්ගිකත්වය, ආගම්, සංස්කෘතිය, පෞද්ගලිකත්වය විෂයෙහි රූපවාහිනි මධ්‍යස්ථාන ඉටුකරන භූමිකාව මානව සංහතියේ අයහපත්ට හේතුවන බවට විවිධ අධ්‍යයන මගින් හඳුනාගෙන තිබෙනවා.
මෙම තත්ත්වය රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක්. අද රට මුහුණ දී තිබෙන අර්බුදය ප්‍රධානම පාර්ශවකරුවෙක් විදිහටත් රූපවාහිනි මධ්‍යස්ථාන හඳුනාගන්න පුළුවන්. ඒ නිසා මෙරට රූපවාහිනී, ගුවන්විදුලි මධ්‍යස්ථාන උපරිම මහජනය යහපත සඳහා යොදා ගැනීමට විසි දෙවෙනි සංශෝධනය භාවිතා කරන්න ඕන.
සෙසු කොමිසන් සභා අතරට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටුවීම්ද ඇතුළත් කිරීමෙන් මෙම අභියෝගය ජය ගන්න පුළුවන්. ආණ්ඩුව හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙවැනි ජනමාධ්‍යයේ ජනප්‍රිය නොවන එහෙත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන එමෙන්ම මානව සංහතියේ යහපතට හේතුවන වන මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්න මැලි වෙන්න පුළුවන්.
ඒත් ජවිපෙට හෝ දෙමළ ජාතික සන්ධානයට මෙම යෝජනාව ගෙන එන්න පුළුවන්.
විසිදෙවෙනි සංශෝධනයට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටුවීම ඇතුලළත් කිරීම යෝජනා කරමින් අවශ්‍ය නම් ප්‍රධාන විපක්ෂයට තමන් ජනප්‍රිය දේශපාලනය නොව මානව සංහතියේ යහපත වෙනුවෙන් කැපවෙන බව ඔප්පු කරන්නත් පුළුවන්.
(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.