මනුස්ස වර්ගයා මෙලොව පහලවන්නේ වසර මිලියන පහත් හතත් අතර කාල පරාසය තුළ බව නූතන විද්‍යාත්මක පිලිගැනීමයි .
අඳුරු අෆ්රිකානු වැසි වනාන්තර තුළ මුලින්ම දෙපයින් සිටගත් ආදී මානවයාගේ පටන් මෙම ලියමන කියවන මේ මොහොත දක්වා ඔබ මා ගෙවා ආ ගමන මානව පරිනාමයේ ආශ්චර්යමත් කතාන්දර ගොනන්නකි . අපි විවිධ වූ යුග පසු කළෙමු . ගංගා , ඇල,දොල , කදු වැටි සහ සප්ත මහා සාගරය තරණයකොට ලෝකයේ මහද්වීප පහ පුරාම අපි අපේ අණසක පතුරුවාගෙන සිටිමු . අද වන විට අපි සඳ තරණය ආදී වූ විවිධ විද්‍යාත්මක වැඩපිළිවෙල හරහා අප ජීවත්වන පෘතුවියෙන් ඔබ්බට වූ විශ්වය ආක්‍රමණය කිරීම සඳහා නොඉවිසිළිමත්ව සිටිමු.

මෙපමණ පැරණි මානව ඉතිහාසයේ කියැවුන කතාන්දර වලට වඩා නොකියැවුන කතාන්දර බොහොමයක් ඇති බව අවිවාදිතය . ලොව පුරා මානව ඉතිහාසය විස්තර කරන විවිධ වූ ග්‍රන්ත ලියැවී ඇත. නමුත් මනුස්ස වර්ගයා මුහුණදුන් සැබෑ මානව ඛෙදවාචක පිළිබඳව අපේ දැනුවත් බව පිළිබඳව සෑහීමකට පත්විය නොහැක. ගිණි කදු පුපුරා යාම්, ගං වතුර, භූමි කම්පා වැනි ස්වාභාවික විපත් පිළිබඳව ශුද්ධ වූ ග්‍රන්ත ඇතුළු නොයෙක් පැරණි ලෙඛන වාර්තා කොට ඇතත් මිනිසුන්ට එදිරිව මිනිසුන් විසින්ම නිර්මාණයකොට ක්‍රියාත්මක කළ මානව ඛේදවාචක බොහොමයක් ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී ඇත.

xfgfgt
 
බලවත් මිනිසුන් විසින් දිළිඳු මිනිසුන් අළෙවිකිරීම, වහළුන් ලෙස සේවයේ යෙදවීම,  බලවත් මිනිසුන් විසින් දිළිඳු මිණිසුන්ගේ ශ්‍රමය හා සම්පත් සූරා කෑම ඉතිහාසයක් ඇති මානව ඛෙදවාචකයකි. එය ඉතිහාසයේ පටන් මේ දක්වාම විවිධ ස්වරූප වළින් ක්‍රියත්මක වන, මනූස්ස වර්ගයාට එරෙහිව, මනුස්සයන් විසින්ම සැළසුම් කොට පවත්වාගෙන යනු ලබන මනුස්සත්වයට එරෙහි සංවිධානාත්ම අපරාධයකි.

මිනිස් ජාවාරම පිළිබදව ඔබ ඇතැම් විට දැනුවත්ව සිටින්නට පුළුවන. නමුත් ඒ පිළිබදව වූ මගේ කියවීම ඕබේ දැනුමට තවත් බොහෝ කරුණු එක්කරනු නියතය. විසි එක්වන සියවසේ නූතන තාක්ෂණික මානයන් තුළ අදටත් සක්‍රීය ලෙස මිනිස් ජාවාරම සිදුවන ලොව අඳුරු බිම්කඩ හරහා ඇවිද ගොස් ලද අත් දැකීමෙන් යුතුව මම මගේ කතාව මෙසේ ඔබට ඉතා විශ්වාසවන්ත ලෙස කියමි.
 
මා කියන්නට යන කතාව නීරස නමුත් කිව යුතුවම ඇති එකකි. ඒ වනාහී එදා මෙදා තූළ මානව සංහතිය මුහණ දී ඇති දරුණුම ඛේදවාචකය එය වන බැවිනි. 
 
 
               ************************************
 
මගේ කතාවට ඉතිහාසයක් ඇත. එය ඔබ සිතනවාට වඩා දුර එකකි. ඒ කෙතරම් දුරද යත් ක්‍රිස්තුස්වහන්සේගෙ උපතටත්, අවුරුදු දෙසීයයක් පමණ දුර ඈතට දිවයයි. ඒ වනාහී රෝම අධිරාජ්‍යය  යුරෝපය පුරා බලවත්ව පැවති අවධියයි. එතැනින් ඔබ්බට  වූ  දුර අතීතයට මේ කතාවේ අක් මුල් දිව යා හැකි උවද මා ඔබ එතරම් දුරාතීතයට රැගෙනයාමට නොසිතමි. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ සිට ඇරඹීම ප්‍රමාණවත් යැයි මම සිතමි. 
        
රත්පැහැ ගැන්වුන ලොකු ඇස් ඇති, ඊට සරිළන පිම්බුණ ලොකු නහයකින් හා එල්ලා වැටුන ඝනකම් තොල්පෙතිවලින් යුතු දේහදාරී අප්‍රිකානුවෙක් දෑතට විලංගුලා සිටියේ කොන්ස්තන්තිනෝපලයේ (Konstantinopel -වර්තමාන තුර්කියෙ ස්තාන්බූල් අගනුවර) ජනාකීර්ණ වීදියක කෙලවරකය. ඔහුට යාබදව ඔහු වැනිම තවකෙකි. ඔහුටත් යාබදව තවත් එකෙකි. කොටින්ම කියතොත් එතැන පනහක් හෝ හැටක් පමණ  වූ  අප්‍රිකානු මිනිස්සු එක පෙළට රඳවා සිටියහ. ඔවුන්ට ඔබ්බෙන් මස් සඳහා විකුණන කුකුළන්, එළුවන්, බැටළුවන් වැනි සතුන් කූඩු තුළ රඳවා තිබිණි. 
 
vhjgjj
       
මොහොතකින් එතෙනට පැමිණි ධනවත් රෝමන්වරු කිහිප පළක් අප්‍රිකානු සිරකරුවන්ගේ දේහ  විලාශයන්  පරීක්ෂා කර බලන්නට වූහ. ඔවුන්ට සිරකරුවන් එකිනෙකාගෙ මුඛයෙහි පිහිටි දත් ප්‍රමාණය ගැන බලන්නට ද උවනා විය. තැරුවුකරු විසින් එකින් එකා  බැගින් වූ සිරකරුවන්ගේ හනූ ආයාසයෙන් ඈත් මෑත් කොට සිටුවරුන් සඳහා සිරකරුවන්ගෙ දත් ගණන් කිරීම පහසු කරවන ලදී. මොහොතක ඇවෑමෙන් සිටුවරුන් තම තමන් රිසි සිරකරුවන් වෙනුවෙන් තැරුවුකරුවන් වෙත මුදල් ගෙවා දමන ලදි. ඉක්බිතිව සිරකරුවො අසුන් පිට  ගමන්ගත් තම නව රෝමානු හාම්පුතුන්  පසුපසින් කොන්ස්තන්තිනෝපලයේ මාර්ග ඔස්සෙ ඇවිද ගොස් ඈතින් නොපෙනී ගියහ.
   
ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ සිට සියවස් බොහෝ ගණනක් ගතවනතුරුත් මේ ආකාරයට කොන්ස්තන්තිනෝපලයේදී ධනවත්  රෝමනුවන්ට, පර්සියානු සිටුවරුන්ට ආදී වූ අනේකවිද රදළයන්ට දිළිඳු අප්‍රිකානුවන් වහලුන් ලෙස විකිණීම සිදුවිය. කොන්ස්තන්තිනෝපලයේදී පමණක් නොව ඊජිප්තුවේ “ඇලෙක්සෙන්ඩ්‍රියා”  (Alexandria-Egypt) නුවරත්,  ටැන්සානියාවේ “සෙන්සිබා” (Zanzibar-Tanzania)  ආදීවූ ඉපැරණි සේද මාවතේ පිහිටි බොහෝ අප්‍රිකානු නගරවල වහල් වෙළඳාම සිදු වූ බව ඉතිහාසය සඳහන් කොට ඇත. 
       
ඉඩම් හා මහා  පරිමාණ ව්‍යාපාර හිමි සිටුවරු සිය  ප්‍රවේණි දාසයන්ගෙ අතිරික්තය පිරිමසා ගැනීම සඳහා අප්‍රිකාවෙ දිළිඳු  මිනිසුන් වහලුන් ලෙස යොදාගැන’මට පෙළැඹී සිටියහ. ඔවුන් වෙත වහලුන් සැපයිම සඳහා අප්‍රිකානු ගෝත්‍රික ගම්මානවලට වැදී මිනිසුන් දඩයම් කරන සංවිධානාත්මක කණ්ඩායම්  එකල සිටින්නට ඇත. ඔවුහු මෙම ව්‍යාපාරය හරහා ඉහළ ලාභ ලබන්නට ඇත.  ගැම්බියාව වැනි අප්‍රිකානු රටවල අදත්  දැකගත හැකි ඉපැරණි වහල් කඳවුරු මෙලෙස අතීතයෙ වහල් වෙළෙඳාම  සංවිධානාත්මක ව්‍යාපාරයක්ව පැවති බවට සාක්ෂි සපයයි. පිරිමින් පමණක් නොව, ගැහැනුන් පවා ලිංගික වහලුන් ලෙස හෝ ගෘහස්ත සේවිකාවන් ලෙස රෝම අධිරාජ්‍යය වෙත විකුණා  දැමූ බව ඉතිහාස සටහන් කියාපායි. එතකුදු නොව ඇතැම් දිළිඳු මිනිසුන් තම කුඩා දරුවන් රදළයන් හට ගෘහස්ත සේවකයන් සේ විකුණා දැමූ බවද සඳහන් වේ. මේ මිනිස් ගනුදෙනුව සිදුවන්නෙ එකල  පෙර අපර දෙදිග ගොඩ බිමින් යාකළ  “සේද මාවත ” (Silk Road) ඔස්සේය. 
       
මේ කතාව අවබෝධ කරගැනීම සඳහා ඉපැරණි “සේද මාවත” පිළිබඳව අවබෝධක් ලබාගැනීම පහසුවක් වනු ඇත. සේද මාවත යනු පැරණි ලෝකයෙ මහද්වීප කීපයක් එකින් එකට සම්බන්ධ කරමින් රටවල් ගණනාවක් හරහා ඇඳීගිය, සැතපුම් දහස් ගණනක් දුරට විහිදුන අන්තර් මහද්වීපික ගොඩබිම් වෙළඳ මාර්ගයි. ක්‍රිස්තුපූර්ව තුන්වන සියවසේ පමණ සිට  අරාබි ජාතින්, පර්සියානුවන් සහ යුරෝපීයයන් වැනි ලොව බටහිර අර්ධයේ විසූ විවිධ ජාතීන්, පෙරදිග ආසියාවේ සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි චීනය දක්වා ගමන් කිරීම සඳහා  භාවිතා කරනු ලැබුවේ සේද මාවතයි. යුරෝපයේ දකුණු දිගින් වූ රටවල්, අප්‍රිකානු කලාපයේ නැගෙනහිරට වන්නට පිහිටි රටවල්, පර්සියාව (Iran)  මැදපෙරදිග රටවල්, මධ්‍යම ආසියාතික රටවල් හරහා පෙරදිග ආසියාවේ පිහිටි චීනය තෙක් මේ වෙළඳ මාර්ගය විහිදී ගියේය. මූලිකවම චීනයෙ නිපැයුණ අලංකාර සේද රෙදි හා ඒ ආශ්‍රිත වෙනත් විසිතුරු ඇඟලුම් වලට ලොල් වූ රෝම අධිරාජ්‍යයයේ විසූ ධනවත් ගැහැනුන් වෙතින් වූ විශාල ඉල්ලුම සැපයිම සඳහා පර්සියන් වෙළෙන්දෝ නිරන්තරව මෙම මාර්ගය ඔස්සේ චීනයත් මැදපෙරදිග කලාපයත් රෝමයත් අතර ගමන් කළහ. යුරෝපීය වෙළෙන්දෝ පර්සියානුවන් වෙතින් පාර අසාගෙන සේද මාවතේ වෙළඳාමට වන්හ. 
 
zdfdse
         
පැරණි සේද මාවත ඔස්සේ සිදුවූ ජාත්‍යන්තර ගනුදෙනුව නූතන ලෝකයේ හැඩ තල අද පවතින ආකාරයට එළෙස නිර්මාණය කිරීම සඳහා දායක වූ අයුරු වටහා ගැනීම වටී. ලෝකයේ තැන තැන හුදකලාව විසූ මිනිස් ප්‍රජාවන් අතර තිබූ දැනුම, ආගම් හා දර්ශන, සාහිත්‍යය සහ සංස්කෘතිය වැනි දේ මෙන්ම වසංගත, ලෙඩරෝග හා මත් ද්‍රව්‍ය වැනි දෑ ද සේද මාවත හරහා පෙරදිගින් බටහිරටත්, බටහිරෙන් පෙරදිගත් ගමන් ගත්තේය. 
         
අරාබීන් විසින් අතීතයේදී චීනුන්ට අබිං හඳුන්වා දුන්නෙ ද සේද මාවත ඔස්සේ ඇවිද ගොසිනි. එළෙසම දුරාතීතයේ බෞද්ධ, හින්දු, කොන්ෆියුසියස්, තාඕ ආදී ආගම් හා දර්ශන ඇදහූ පෙරදිග රටවළට මැද පෙරදිග සිට ඉස්ලාම් දහම කාන්දු වෙන්නේ ද, පසුකාලීනව කිතු දහම, බටහිර අර්ථ ක්‍රම, අධ්‍යාපනය, අධිකරණය සහ බටහිර  නීති ආදිය යුරෝපීයයන් විසින් ආසියානු හා අප්‍රිකානු කලාපයේ පතුරුවාහරින්නේ ද මෙම සේද මාවත ඔස්සේ විවිධ යුග තුළ සිදුවූ ජාත්‍යන්තරව මිනිස් සංක්‍රමණ වල ප්‍රතිඵලයක් ලෙසය. 
        
එතකදු නොව, ඇතැම් රටවල භූගෝලීය හැඩ තල පවා වෙනස් කිරීමට සේද මාවත හරහා සිදුවූ මිනිස් ක්‍රියාකාරකම් හේතු වී තිබෙන් අයුරු දැක ගත හැකිය. ඉතිහාසයේ නම ලියැවුන ලොව ප්‍රකට ආක්‍රමණිකයන් වූ ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් (ක්‍රිස්තු පූර්ව 356‐323- Alexander the Great ), රෝමයේ ජුලියස් සීසර් (ක්‍රිස්තු පූර්ව  100 – 44 - Julius Caesar), මොන්ගෝලියාවේ චින්ගිස් කාන් (ක්‍රිස්තු වර්ෂ - 1162 – 1227-  Genghis Khan), ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් (කිස්තු වර්ෂ 1769- 1821 Napoleon Bonaparte) ආදීන් සශ්‍රීක දේශයන් සොයා තම සේනා මෙහෙයවන්නෙද සේද මාවත ඔස්සේ හුවමාරු වූ තොරතුරු ආරංචි හරහාය. 
 
cfghyu
         
විශ්ව සාහිත්‍යයේ මහා නිර්මාණකරුවෙකු වන විලියම් ක්ශේස්පියර් විසින් ක්‍රිස්තු වර්ශ 16 වන සියවසේදී නිර්මාණය  කරන  ලද  “වැනීසියේ වෙළෙන්දා ” (Merchant of Venice), ක්‍රිස්තුවර්ශ 18 වන සියවසේදී ලියැවුනේයැයි සැළකෙන මැදපෙරදිග ජනකතා එකතුවක් වූ අරාබි නිසොල්ලාසයේ එන “ අලි බාබා සහ හොරු හතලිහ” (One Thousand and One Nights - Ali Baba and the Forty Thieves) “ ඇලඩින් සහ පුදුම” (Aladdin and the Wonderful lamp) ආදී පැරණි ලෝක සාහිත්‍ය නිර්මාණ බිහිවීම කෙරෙහිද මෙම සේද මාවතේ සිදුවූ මානව ක්‍රියාකාරකම් බලපෑම් කොට ඇති බව ඒවා පරිශීලනයෙන් වටහා ගත හැකිය.
      
පැරණි සේද මාවතේ විකිණී ගියේ චීනුන්ගේ සේද රෙදි  පමණක්ම නොවේ. චීනයේ මැටි බඳුන් හා ලාක්ෂා නිර්මාණ, ඔවුන් අතින් නිමැවුන ඇඟලුම්, ඉන්දියාවෙ අලි ඇතුන්, ලංකාවේ කුළුබඩු, මුතු මැණික්, ඇෆ්ගනිස්තානයේ අශ්වයන්, මැදපෙරදිග  නිපැයුන මුතු හා ඔටුවන් ද මෙලෙස සේද මාවතේ අළෙවි විය. අප්‍රිකානු කලාපයෙන්  රත්‍රං, දියමන්ති, වටිනා දැව වර්ග වළට අමතරව “ශක්තිමත් වහල්ලු” ද සේද මාවතේ අළෙවි වූහ. ධනවත් රදළයෝ   ක්‍රිස්තුපූර්ව යුගයේ සිටම තම  කෘෂිකාර්මික  කටයුතු සඳහා මෙන්ම වෙනත් මිනිස් ශ්‍රම ශක්තිය සපුරා ගැනීමේ  වූ අවශ්‍යතාවයන්හිදී අප්‍රිකානු වහලුන් යොදා ගෙන තිබූහ. 
      
සේද මාවත දිගේ රටින් රටට ගොස් වෙළඳාම් කළ තවලම් පන්නයේ වෙළෙන්දෝ  සිය  බඩු පිරවූ ගැල් ගෙනයන ඔටුවන්ගේ හා බූරුවන්ගේ සහයට ද අප්‍රිකානු මිනිසුන් වහලුන් ලෙස හාවිතා කළහ. සේද මාවතේ තැන තැන වූ නවාතැන්පොළ වල ද’  දිළිඳු ගැහැනුන් කැමැත්තෙන් හෝ බලකිරීමෙන් ගණිකාවෝ ලෙස වෙළෙන්දන්ට විකිණී ගියහ. ක්‍රිස්තුපූර්ව යුගයේදි වහල් වෙළඳාම මේ ආකාරයැයි අපට මවා ගත හැකි චිත්‍රය එයයි. මෙම ක්‍රියවලිය ශතවර්ෂ ගණනාවක් පුරා සිදුවන්නට ඇත. 
 
 
රසික එස් චන්ද්‍රසේකර
 
FB IMG 1660744664414
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58