වර්තමාන සමාජ ආර්ථික හා දේශපාලනික මතවාද අරගල සහ විචාර අතර තෙරපෙන රනිල් රාජපක්ෂ ලිපියෙහි මා රනිල්ට කඩේ යන්නෙකු ලෙස හඳුන්වා ගැනීම ගැන බොහෝ කතා අසන්නට ලැබිණ.

මතයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකු සතු විනය සහ රටාව තීරණය කිරීමට පිටස්තර සමාජයට අයත් ඉඩ නො දිය යුතුවේ. යහ පාලන ආණ්ඩුවේ ආයතනයක් නියෝජනය කරමින් සිටියදී  ලියූ මගේ ලිපියක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ කෙනෙකු සඳුදා උදෑසනම  මා ඇමතීය.

“මේ ගමන ලිපිය නම් අප්සෙට්.....” එය ඇසූ සැනින් මට දැනුණේ  මෙතෙක් කල් මා කඩේ ගියා වැනි හැඟීමකි. “කාට අප්සෙට් වුණත් කියන්න තියෙන්නේ අපි එහෙම තමයි කියලා විතරයි.” මගේ පිළිතුර ඇසුණ සැනින්  දුර කතනය විසන්ධි විය. හැමදාමත් රනිල්ගේ භාවිතය හා බද්ධ  සංස්කෘතික ප්‍රති විරෝධයන් පිළිබඳ මට බොහෝ විවේචන පැවතිය ද, ඔහුගේ පාලන හා කළමනාකරණ ශක්තිය ගැන ගැටළුවක් තිබුණේම නැත. ඒ බව තහවුරු කෙරෙන 2020-04-10 අනිද්දා වෙබ් පිටුවේ  “අබුකාසීම් .... නමින් පළ මගේ ලිපිය මෙසේ ආරම්භ වේ.

“එජාප නායක රනිල් වික්‍රමසිංහ ලංකා දේශපාලනයේ ඉවත් කළ නොහැකි සපත්තුවකි. තනි සපත්තුවකින් ඇති ප්‍රයෝජනයක් නැත. එක්කෝ ඉවතට විසි කළ යුතුය. නැතොත් එවැනි තවත් සපත්තුවක් සොයා ගත යුතුවේ. තනි සපත්තු විකිණීමට නැත. තනි සපත්තුවක් හදන්නේ ද නැත. හේතුව සපත්තු යනු ජෝඩු මිස, එකක් පමණක් නොවන හෙයිනි. එහෙත් රනිල් වික්‍රමසිංහ මේ වසංගත අර්බුදය හමුවේ අබු කාසිම්ගේ සපත්තුව මෙන් බැහැර කළ හෝ නොතකා හැර යා  නොහැකි ලෙස ඉස්මතු වෙමින් පවතී.’‘ උපුටා ගැනීම අවසන්ය. 2022 ජූලියේ “අබුකාසීම්ගේ තනි සෙරෙප්පුව” හරහා මා කළ විග්‍රහයට වටිනාකම කෙතෙක්ද?

 

 අරගලය අපේක්ෂා කළ පරිදි රාජපක්ෂලා ගෙදර යැවීමෙන් ඇද වැටුණ රටේ වගකීම, රනිල් භාර ගත් අතර, ඒ නිමේෂයෙහි  සජිත්ලා අනුර කුමාරලා වගකීමෙන් මග හැර ගොස්, රාජපක්ෂලාට එරෙහි අරගලය රනිල් ඉලක්ක කොට ප්‍රති නිර්මානය කළහ. පක්ෂ දේශපාලනයෙන් කිළිටි වූ පශ්චාත් නූතන අරගලයෙන් රට මුදා ගැනීමට, හුදෙකලා රනිල් වෙනුවෙන් කඩේ යා යුතුවේ. කොවිඩ් වසංගතයේදී සජිත්ලා කාසි උඩ දමා නෝනා පොල්ල බලද්දීත් “පාලකයා ශක්තිමත් කරනු හැර විකල්පයක් නැත” යන්න, 2020-04-02 දින අනිද්දා මගේ ලිපියේ තේමාව විය. 2022 මාර්තුවේ ගෝඨාගේ සර්ව පාක්ෂික සමුළුවට රනිල් යාම මගේ කියැවිම අනුව නිවැරදි තීරණයකි.

2022.03.06 දින පළවූ පාටලීගේ දුර්වාදි හෘදය විදාරණය නම් මගේ ලිපියට සාපේක්ෂව,  2022.04.03 දින පාඨලී මනුෂලා... ලිපියෙන් අසීරු තත්වයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය යයි පාඨලී අවධාරණය කළ නිර්පාක්ෂික හැරවුම අගය කළද, අද ඔහු නිර්පාක්ෂික නැත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරහා රනිල්ට බලය දීම, ටෙනිස් ක්‍රිඩා කරමින් සිටි ශල්‍ය වෛද්‍ය වරයෙකු හදිසියේ රෝහලට කැඳවීමක් වැනි ය. ඩලස් ජනාධිපති නොවීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක්ද?


Remembering Lee Kuan Yew        පරිසර හිතකාමි වාතාශ්‍රයට බදු ගැසීමට අවශ්‍ය බව කී ලී ක්වාන් යූ ට යළි යළි රට භාර දීමෙන් සිංගප්පූරුව රටක් ලෙස ශක්තිමත් වූ බව අප තේරුම් ගත යුතුවේ.



අරගලයට නො පැවති, මැතිවරණ දොළදුක රනිල් රටේ පාලකයා වූ පසුව, විපක්ෂයට වැළඳිණ. මුජිබර් රහමන්ට අනුව, සජබය මැතිවරණ ඉල්ලන්නේ ආණ්ඩුවේ මර්ධනය ගැන ජන මතය දැන ගැනීමටය. අරගලය විසින් සෝදා දිය කළ ලංකාවේ අපිරිසිදු අමෝව් හාජි යනු රාජපක්ෂ පවුල බව මහින්දලාට පෙරහැර පැවැත්වූ  ඩලස් අලහප්පෙරුම තවමත් දන්නේ නැත. බඩගින්නට, සාගතයට, භාණ්ඩ හිඟයට වි රැකියාවට මන්ද පෝෂණයට කිසිදු විසඳුමක් මැතිවරණ ඡන්ද පොරොන්දු මල්ලක කවදාවත් තිබුණේ නැත. පරිසර හිතකාමි වාතාශ්‍රයට බදු ගැසීමට අවශ්‍ය බව කී, ලී ක්වාන් යූ ට යළි යළි රට භාර දීමෙන් සිංගප්පූරුව රටක් ලෙස ශක්තිමත් වූ බව අප තේරුම් ගත යුතුවේ.

හොරකම් කළ ධනයෙන් අනාගතයේ දවසක සජිත්ලා අනුරලා රට ගොඩ නගන තෙක් ජනතාව කන, බොන, යන එන, ජීවත් වන පහසුව සහ ක්‍රම වේද සැකසීමට රනිල් ශක්තිමත් කළ යුතුවේ. අරගලය හමුවේ රාජපක්ෂලා පළා යතී යයි විපක්ෂය තබා අරගල කරුවන් හෝ විශ්වාස කළේ නැත. වැඩේ ගැස්සුණ තැන, ඇඟ බේරා ගත් විපක්ෂය අභියෝගය භාර ගත් ජනාධිපති රනිල් විනාස කිරීමට හැම උපායම යොදති. රාජපක්ෂලා විනාස කළ රට ගඩොලින් ගඩොල තබා ගොඩ නගන රනිල් අරගලයෙන් හීලෑ කළ නොහැකි ශක්ති ප්‍රභවයකි.

 

 පාලනය වෙනස් කළ හැකි මැතිවරණයක් අත ළඟක නැත. ප්‍රදේශීය සභා මැතිවරණ හරහා ආණ්ඩු පෙරළි සිදු කිරීම යනු අට දඟර විහිළුවකි. හුදෙකලා රනිල් තනි නො කළ යුතුය යන අවබෝධය බහුතර ජනතාව අතර පවතී. රටේ වගකීම භාර නො ගැනීම හපන්කමක් සේ දකින, සජිත් ප්‍රේමදාස, 2020දී එජාපය කඩාගෙන ගොස්  යහ පාලනයේ සියළු ජයග්‍රහණ රාජපක්ෂලාට කොල්ල කෑමට ඉඩ හැරියේය. 2015දී ඔහු තිස්ස අත්තනායක රාජපක්ෂ වෙත යැවුවේ තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය නො ලැබුණ නිසාය.


2019 ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ එජාප මතභේදයේදී සජිත් මගේ දැඩි විවේචනයට ලක් විය. ඒ අතර, මහනුවර උත්සවයකට සහභාගි වන අගමැති වික්‍රමසිංහට වෙන් කළ අසුනට පසුපෙළේ අසුනක් මා සඳහා වෙන් කර තිබිණ. සභාව ඇමතීමට කිරිඇල්ල වේදිකාවට කැඳ වූ වහාම මා කිරිඇල්ලගෙන් හිස් වූ  අසුනට යා යුතු විය. ආරක්ෂක අංශ දැනුවත්ව, තමන් සමීපයට පැමිණි මා ඇමතූ අගමැති වික්‍රමසිංහ “සජිත්ට ගැහිල්ල නවත්තන්න. එයා අපේ අපේක්ෂකයා වෙනවා.” යයි මට කීවේ නායකයෙකු දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙන ආකාරය, ප්‍රදර්ශනය කරමිනි. මේ සිද්ධිය සුදර්ශන ගුණවර්ධනට මතක තිබිය යුතුවේ.  ජනපති සටන අතර, සජිත් වෙනුවෙන් සුසිල් සිරිවර්දනගෙන් උදව් ඉල්ලන තරමට මා සජිත්ටත් කඩේ ගිය බව කිව යුතුවේ. ආර්.ප්‍රේමදාස සමග සිටි සුසිල්ටවත් සජිත් ගැන විශ්වාසයක් නො තිබුණ බව මට වැටහිණ. කරු ජයසුරියට එජාප නායකත්වයට තරග කරන ලෙස සජිත්ලා ඉම්තියාස්ලා අමරසේකර මාවතේදී ඉල්ලා සිටි අවස්ථාවේ මටද සහභාගි වීමට සිදුවිය. පසු දින පාතරාසය අතර, කරු ජයසුරිය “මොකද හිතෙන්නේ...? යයි ඇසීය. “උගුලක්... මගේ පිළිතුර එය විය. එය අවබෝධ කර ගැනීමට මා යෝජනා කළ උපක්‍රමය ඇසූ කරු ජයසූරිය “එකට කාලා බීලා එහෙම කරන්න හොඳදැයි විමසීය.

මා එදා යෝජනා කළේ බෝම්බ තියන්න නොවේ. සජිත් කණ්ඩායමේ ඉදිරි උපක්‍රමයන් දැන ගත හැකි ක්‍රමවේදයකි. කරු, දේශපාලන නො දරුවෙකු වූ සජිත්ට රැවටිණ. 2020දී එජාප පූර්ව මහ මැතිවරණ අර්බුදය ගැන මගේ යෝජනා අසා සිටි කරු, “මගේ තින්ක් ටෑන්ක් එක කියන්නේ මෙහෙමයි” කියා ඉදිරි දේශපාලනය සාරාංශ කළේය. සජිත්ට සුසිල් සිරිවර්දනලා දිනා ගැනීමටත්, කරු ජයසුරියට කොළඹ තින්ක් ටෑන්ක් එකෙන් මිදීමටත් නොහැකි වීමෙන් එජාපය සීසී කඩව, රාජපක්ෂලාට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමි විය. එදා එජාපය භේද නො කළා නම් අදටත් 19 රටේ නීතිය නොවේද? මේ විනාසය කළ සජිත්ගේ බලලෝභි දේශපාලනය අදටත් සක්‍රිය වේ.


තනි මන්ත්‍රී අසුනකට හැකිළුන එජාපයේ රනිල්, රටේ අගමැති ජනාධිපති වී 20 වෙනි සංශෝධනය අහෝසි කළේය. වර්තමානයේ සජිත් අනුර කුමාර පොන්සේකා මෙන්ම, (සමහර විට ? පාඨලී ද) තම පාලනයෙන්  බිහිවන සමෘධිමත් රටක සිහින දකින්නාහ. හුදෙකලා රනිල් මහත් අසීරුවෙන් සාගත, පෝලිම්, අග හිඟ නැති රටක් ගොඩ නගමින් සිටියි. රනිල් ආරම්භ කළ ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ කෙරෙහි ජනතාව යම් තරමක අස්වැසිල්ලකින් පසුවන බව වෙරිටේ රිසර්ච් ආයතන වාර්තා කරයි. ඒ රනිල් ශක්තිමත් කිරීම කඩේ යාමක් ද?


ගිය සතියේ අනිද්දා පත්‍රයේ  මා නමින් පළ වූ රනිල් රාජපක්ෂ නම් ලිපියේ “ෆාමසි කාරයාට අනුව රටේ විනාසයට ජනතාවත්  වගකිව යුතු වේ. මැතිවරණ ගැන මම ඍජුව විමසා සිටියෙමි. “මොකටද අළුත් පාර්ලිමේන්තුවක්. 22 සම්මත කෙරුවෙත් 19 සංශෝධනය එපා කී මිනිස්සුමනේ. දැන් ඕනැ ඡන්ද නොවේ. ඊළඟ ඡන්දෙට ඉස්සර පාර්ලිමේන්තුව 100කට අඩු කළොත්, පාර්ලිමේන්තුවට යන රටේ වියදම 55%කින් අඩුවෙයි. එහෙම අරගලයකට නම් රටේම මිනිස්සු එකතු වෙයි.” යනුවෙන් සඳහන් වේ. රනිල්ගේ බදු යෝජනා සහ  අපනයන සීමාවන්ට එරෙහිව  විපක්ෂයට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වැය බර නො දැනේ. මොකටද අළුත් පාර්ලිමේන්තුවක් යනුවෙන් ඇසූ පාමසි කාරයා කඩේ යන්නේ රනිල් වෙනුවෙන් නොවේ. 2019දී රාජපක්ෂලා යළි කැඳවූ  හැට නව ලක්ෂයක ජනතාව,  කඩා වැටුණ රට රනිල්ට භාර දීම  නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විකෘතියක් නම් සහන අයවැය පරදවා මැතිවරණයක් අපේක්ෂා කිරීමත් එපමණටම  විකෘතියකි.


WhatsApp Image 2022 11 04 at 7.58.19 AM


සර්ව ජන ඡන්දයට ලංකාව මුහුකුරා ගොස් නැතැයි ඩී.එස්.සේනානායක නවසිය තිස් එකේදී කළ ප්‍රකාශය ඍෂී භාෂිතයක් වී නැද්ද? ඩී.එස්ට තිබුණේ සාම්ප්‍රදායික ලංකාවට ඔරොත්තු දෙන කොන්සර්වේටිව් කල්පනාවන්ය. අගමැති ඩී.එස්. සේනානායකට විදේශ සංචාරයක් සඳහා අතේ වියදමට ආණ්ඩුවෙන් ලැබුණ පවුම් 150න්  වියදම් නොවූ පවුම් 101ක ඉතිරිය ආපසු රාජ්‍ය භාණ්ඩාගාරයට භාර දීමෙන් තහවුරු කළ ප්‍රභූ දේශපාලනය හතළිස් වසරක් පුරා ප්‍රතික්ෂේප කළ ජනතාව බලයට පත් කළේ පල් හොරුන් නො වේද?  ඇම්.ඩි. බණ්ඩලා, වන්නිනායකලා තෝරා පත් කළ කුරුණෑගල ජනතාව අද පොහොට්ටුවේ අරක්කු කාරයන් සහ සජබයේ ෂෙඩ් මුදලාලිලා පසුපස යති.

“22 සංශෝධන සම්මතය ජයග්‍රහණයක්ද? කියා විමසූ විට, “ මම කියන්නේ නෑ මේක විශාල ජයග්‍රහණයක් කියලා. නමුත් තරමක ජයක්.” යනුවෙන් ව්‍යවස්ථා නීති විශාරදයෙකු දුන් පිළිතුර ආඳා මාළු ඉරටුවෙන් කෑම යන්න, තේරුම් කළ හැකි සරලම නිදර්ශනයකි. ගිය සතියේ මගේ ලිපියෙහි දැක්වෙන, “2001දි වසර දෙකකට නව රැකියා නො දීමට ගත් තීරණයෙන් තරුණයන් ද, 2022දී විශ්‍රාම වයස සංශෝධනය කිරීමට ගත් ගත් තීරණයෙන් වැඩිහිටියන් ද, බදු වැඩි කිරිමෙන් මුදලාලිලා ද වෛර කර ගත්තේ හෙට දවසේ මැතිවරණ ගැන නො දැන  නොවේ.” යනුවෙන් ලිවීම යථාර්ථය මහ පොළොවේ පැල කිරිමට කරන උත්සාහයක් මිස, කඩේ යාමක් නොවේ.

ජූලි 20 වෙනිදාත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලැග සිටියෝ සැබෑ අරගල කරුවන් නම් නොවේ. ඔවුන් කවුදැයි වසන්ත මුදලිගේ දනිති යයි ආරක්ෂක අංශ සැක කළොත්......? එය අධිකරණ ක්‍රියාවලියකි. ගෝඨා පළවා හැරීමෙන් විතැන් වූ අරගලය මර්ධන තේමාවට මාරු කර, වීදි බැස්සවීමට කුමන්ත්‍රණයට ජූලි 20 වෙනිදාත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලැග සිටියෝ මුල් වූහ. ඒ කවුදැයි විමසීමට ඇති අයිතිය මර්ධනය නොවේ. අරගලයේ විකෘතිය තේරුම් ගැනීමට කරන උත්සාහයකි. අරගලය කිරීම මෙන්ම, අරගලය ප්‍රශ්න කරමින් තේරුම් ගැනීමටත් නිදහස මෙන්ම, සවිමත්  කොන්දත් තිබිය යුතුවේ.


 

කඩා වැටුණ ආර්ථික පීඩනයෙන් මිදීමට, සාමාන්‍ය ජනතාව විකල්ප භාවිතා කරමින් සිටිති. ආර්ථික පරිහානිය හමුවේ කුඩා ගෙවතු හිමියන් අතිරික්ත පොල් අස්වැන්න නො විකුණා පොල් තෙල් සිඳ ගැනීම යනු නව දැක්මකි. ඩීසල් හිගය හමුවේ ගොවීන් දෑකැති වලින් ගොයම් කපා ගත්හ. කඩෙන් පොල් බෑවක් මිල දී ගත් අතීතයක් ද විය. ගැටළු අතර තෙරපෙමින් රටේ බහුතර ජනතාව නිහඬව සරල පිළියම් සොයා යන්නේ අරගලය ජීවනෝපායක් හෝ රටේ ප්‍රශ්නයට පිළියමක් නොවන නිසාය. ආර්ථික පීඩනය ඩොලර් හිඟය ජය ගැනීමට හඳුනා ගත් විකල්ප හරහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මානය කරගත හැකි නම්, අපට ගොඩ යා හැකිය.  


රටකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් මිස, මැතිවරණ ප්‍රකාශන නොවේ. ගිය සතියේ ලිපියේ රනිල් රාජපක්ෂ නම් හෙඩිම සහ අන්තර්ගතයේ වෙනස ගැන සමහරු විමසූ විට, යමෙකුට ප්‍රසිද්ධිය දීමට අකමැති නම් හෝ අන්තර්ගතය සමග එකඟ නොවේ නම්  අක්ෂර වින්‍යාසය එහා මෙහා කරන්නැයි නවසිය හැට ගණන්වල ලේක් හවුසියේදී මා ලද අභ්‍යාසයක් සිහිපත් විය. මාතෘකාවට අනුව රනිල් රාජපක්ෂ වුණාට රනිල් යනු වික්‍රමසිංහම බව තහවුරු කර නැති නම් නැවත කතා කරන්නැයි හිතවතුන්ට කීමට මට සිදුවිය.


Chandrasiri Senevirathne 21

 

 

 


(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්