ශ්‍රී ලංකාවේ පොදු ජනතාව ගේ ජීවන තත්ත්වය නංවාලීමට යොදාගත හැකි මුදල් ගිල දමන සපුගස්කන්ද පිරිපහදුවේ සැබෑ තත්වය අතිශයින්ම ඛේදජනයකය. ඒ සම්බන්ධයෙන් මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම

මාධ්‍යවේදීන් විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබේ.

රට බරපතල ආර්ථික අර්බුදයක ගිලි තිබියදී, ඇතැම් පටු දේශපාලන කල්ලි කණ්ඩායම්, අනේකවිද උප්පරවැටිටි හරහා ජනතාව මුලාකරමින්, ජන සමාජය උසි ගන්වමින් සිටිති. එම තත්ත්වය තුළ සපුගස්කන්ද පිරිපහදුවෙන් පමණක් වාර්ෂිකව මෙරට ලක්ෂ 220 ක ජනතාවට අහිමි කරන මුදල රුපියල් මිලියන 8400 කටත් වඩා අධික බවට ගණන් බලා ඇත.  

ජනතාවට අත්‍යවශ්‍ය බෙහෙත් පෙත්තක් හෝ නිසිපරිදි රටින් ගෙනවිත් දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති මේ මොහොතේ, සපුකස්කන්ද තෙල් පිරිපහදුවේ 1100ක් පමණ වන කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට පමණක් මාසිකව රුපියල් මිලියන 700කට අධික මුදලක් වැය කරයි.

සම්මත ගෝලීය දර්ශක අනුව ශ්‍රී ලංකාවේ සපුකස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය වසර 23 ක කාලය තුළ ආසියාවේ අකාර්යක්ෂම ම පිරිපහදුව ලෙස ශ්‍රේණිගත කර ඇත.

අඛණ්ඩ බොරතෙල් සැපයුමක් නොමැතිකම හේතුවෙන් බොහෝ විට සපුගස්කන්ද පිරිපහදුව වසරේ බොහෝ කාලයක් වසා දැමීමට සිදුව ඇත. මේ වසර පුරාවටම ලංකාවට පැමිණ ඇත්තේ බොරතෙල් නැව් 3ක් පමණි. මෙම නැව් තුනේ පැමිණි බොරතෙල් පිරිපහදු කර දැනට මාස 8කට වැඩි කාලයක් සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇත. පවතින ආර්ථික දුෂ්කරතා, ඩොලර් ප්‍රශ්න මත මෙම සීමා කිරීම් සිදුව තිබේ.  එසේම මෙම පිරිපහදුව කාර්යක්ෂමතාව අතින් ඉතා පහළ මට්ටමක පවතින අතර තාක්ෂණය යල්පැන ගොස් ඇත. එය නවීකරණය කර සක්‍රීයව තබා ගැනීමේ වැඩපිළිවෙළක් ගැන අවධානයක් හෝ යොමුකර නොමැත.

 Apugaskanda 2022.11.12
නමුත් මෙහි සීමිත සේවක පිරිසක් හැම විටම උත්සාහ ගන්නේ පණ අදින පිරිපහදුවේ එල්ලී එල්ලී එය දේශපාලන කුමන්ත්‍රණ වලට පාවිච්චි කරමින් රටේ වෙනස් ජනමතයක් මවා පොදු ජනතාව නොමග හැරීමටමය. නමුත් මේ වන විට පැන නැගී ඇති තත්ත්වය තව දුරටත් මේ සපුගස්කන්ද පිරිපහදුවේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් අලුත් කතාබහක් සිදුවිය යුතුමය.



මහ බැංකුවටත් හිසරදයක් වෙලා ! -
රටටම ඇලජික් වූ ඇන්ටික් රිෆයිනරේ !!


 මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව දැඩි තීරණයකට එළඹ සිටින ශ්‍රී ලංකා මහ බැංකුව, තව දුරටත් බොරතෙල් ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.

සපුගස්කන්ද පිරිපහදුව ආසන්න වශයෙන් වසර 50 කට වඩා පැරණි ය. මෙහි ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් ව්‍යුහය ද ඒ අනුව සැකසී ඇත්තේ ඒ කාලයට සරිලන ආකාරයෙනි.

මෙහි සේවය කරන සාතිශය බහුතරයක් කාර්ය මණ්ඩල සේවකයින් ගෙන් ඵලදායි සේවාවක් ජාතික ආර්ථිකයට එකතු කිරීමට වඩා වර්තමානයේ සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනවශ්‍ය බරක් එකතු කිරීම පමණි. ඔවුන්ගේ චර්යා රටාද අතිශය පසුගාමී වන අතරම භාවිතාව ද උදාසීනය. කිසිඳු යාවත්කාලින වීමකට හෝ නව්‍යකරණයකට ලක්වීමේ කිසිදු උනන්දුවක් හෝ උත්සාහයක් ඔවුන් තුළ දක්නට නොමැත. ඔවුහු හුදෙක්ම සිය පුද්ගලික වාසි තකා මාසික වේතනය වෙනුවෙන් පුටු රත් කරන නිකමුන් පිරිසක් බවට පත්වෙමින් සිටිති.  

 
ඔවුන්ට නව වෙනස්කම් ගැන ඉවක් දැනුනත් තිබුන ද ඉතා සංවිධානාත්මක පිරිස් ඊට අතිශය විරෝධී ආකල්ප මතු කර නවීකරණයන්ට ඉඩ නොතබයි. සරලවම වර්තමාන ලෝකයේ යම් කාර්‍යයක් විනාඩියෙන් කරන්නට තාක්ෂණය භාවිතා කිරීමට ක්‍රමවේද තිබුණත් ඊට පැය ගාණක් ගත කරන්නට මෙම සේවකයින් දක්වන්නේ අතිශය රුචිකත්වයකි.



වාසි අතට කියන දිව දෙකේ කතා !


මෙහි පහත සඳහන් වන්නේ, පිරිපහදුව අභ්‍යන්තරයෙන් ප්‍රකාශිත තවත් ෆැන්ටසි කතා කිහිපයකි.

   
 
1969 සිට 2022 දක්වා වකවානුවේ මෙම ආයතනයේ වෘත්තීය සමිති නායකයින් මෙන්ම එහි ඇතැම්  විශේෂඥයින් එකහෙලාම කියා සිටියේ, සපුගස්කන්ද පිරිපහදුවට භාවිතා කළ හැක්කේ ඉරාන්ලයිට් (Iran Light ) බොරතෙල් පමණක් බවයි. ගෝලීය දේශපාලනික ක්‍රියාකාරකම් මත පැනවුණු සම්බාධක හේතුවෙන් ඉරානයෙන් සෘජුව තෙල් ආනයනය කිරීමට නොහැකි වූ එවක රජය මෙමගින් දැඩි අපහසුතාවයට පත්විය. පසුව පිරිපහදු කාර්ය මණ්ඩලය අබුඩාබි බොරතෙල් වලට හුරු වූ අතර පසුගිය වසර 20 තුළ ඉන් එහා වෙනත් විකල්පයක් සොයා ගැනීමට හෝ වෙනත් බොරතෙල් කාණ්ඩයක් අත්හදා බැලීමට ඔවුන්ට වුවමනාවක් ද නොවීය.  

මේ පිරිස් අඩුවෙන් වැඩ කරන්නත්, මිල අධිකම බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවට මිල දී ගෙන ධනාත්මක සංඛ්‍යා දත්ත කිහිපයක් මවා පෙන්වමින් ඔවුන්ට අවශ්‍ය රැවටීම දිගින් දිගටම බොරුව ඇත්ත කරමින් පවත්වාගෙන යාමේ අරමුණිනි. මේ රටේ ආර්ථික අර්බුද ගැන හෝ අතිශයින් පිඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව වගේ වගක් නොමැතිබව පැහැදිලිවම ප්‍රදර්ශනය වේ.

ඔවුන් මෙසේ අන්ධයින් සේ හැසිරෙමින් වංචාකාරී ලෙස පිරිපහදුවේ ක්‍රියාවන් සිදු කරන්නේ වෙනත් අලුත් දෙයක් සොයා ගන්නට උත්සාහ කළහොත් , ක්‍රමවේදයන් නව්‍යකරණය වුවහොත් ඔවුන්ට වැඩිපුර වැඩ කරන්නට සිදුවේය හා ඔවුන් විසින් මවා පෙන්වන බොරුව හෙළිවී රැකියාවන් නැති වීමේ අවදානමක් ඇති වීමට ඇති ඉඩකඩ ගැන ඔවුන් තුල පවතින සැකය නිසාය.  

සමස්තයක් වශයෙන් ගත් කල, මෙහි වෘත්තීය සමිති මෙන්ම සේවකයින්, රටේ බලශක්ති සුරක්ෂිතතාවයට කිසිදු ලෙසකින් දායක නොවන බව සක් සුදක් සේ පැහැදිලිය.


people 2022.5.19
 සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් විදී බැස විරෝධතා පවත්වන අරගලකරුවන්, රටේ ආර්ථිකය දිය කරන, ඩොලර් සංචිත වෑස්සෙන සිදුරු වසා දමීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන්නේ නම්, ලංකාවේ හෙට දවස යහපත් කිරීමට එම මහෝපකාරයක් වනු නියතය.
 

නව ලෝක ප්‍රවණතා සමග ඉදිරියට යනවාද වංසෙ කබල් ගගා වැළලෙනවාද?



සුබ සාධක රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් තව දුරටත් මේ රට වැඩී ඇති අගාධයෙන් ගොඩ ගන්නවා බොරුය. රටේ ආර්ථික ප්‍රතිපත්ති ඉතා ශක්තිමත් විය යුතු අතර ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පොදු ජන යහපත උදෙසා වන වඩාත් විනිවිදභාවයකින් යුත් දැඩි තීරණයන් විය යුතුමය.

  
 ඉදිරි මාස ගණනාවකට කිසිදු බොරතෙල් ඇණවුමක් ගැන සේයාවක් වත් නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද බොරතෙල් පිරිපහදුවේ ඇති අඩුපාඩු ගැන විමර්ශනය කර බොරතෙල් ආනයනයට මුදල් ලබාදීම ද ප්‍රතික්ෂේප කර ඇති කාලයක කිසිදු සැලසුමක් නොමැතිකම නිසා වසරේ වැඩි කාලයක් වසා දමන්නට සිදුව ඇති සපුකස්කන්ද තෙල් පිරිපහදුවේ සමස්ත කාර්ය මණ්ඩලයම වෙනත් ඵලදායි දේකට යොමු කිරීම වැදගත් නොවේද ? ඒ අනුව කාලය හා තවදුරටත් මහජන මුදල් අපතේ නොයවා පිරිපහදුව වසා දැමීම සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගැනීමට රටේ ජනාධිපතිවරයාට සහ බලශක්ති  ඇමැතිවරයාට කාලය එළැඹ ඇත. එම තීරණය ජනප්‍රිය එකක් නොවුවද දේශපාලන රාමුවෙන් පිටත ගොස්, ජනප්‍රිය දේශපාලන තීරණයකට එහා ගිය ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් එඩිතර තීරණයක් ගැනීම වත්මන් දේශපාලන නායකත්වය කටයුතු කළ යුතුමය.
 
මෙම තෙල් පිරිපහදුව අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 500-600 අතර ලංසුවකට ඉල්ලුම්කරුවෙකුට ලබාදිය හැකි අතර ඔවුන් විසින් එය නව තාක්ෂණික ජාත්‍යන්තර ප්‍රමිතියේ පිරිපහදුවක් බවට පරිවර්තනය කිරීමෙන් පසු අතිශය ඉහළ කාර්‍යක්ෂමතාවයකින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් සැකසූ පසු මේවනවිට ජනතාවගේ සල්ලි ගිලින මැෂිමක් බවට පත්ව ඇති සපුගස්කන්ද පිරිපහදුව, අපේ රටට අවශ්‍ය විදේශ විනිමය අවශ්‍යතා සපුරාලන  ජාත්‍යන්තර තලයේ අපනයන ව්‍යාපාරයක් බවට මෙය පත් කරගත හැකිය. එවිට මිලියන 8400ක මහා ධනස්කන්ධයක් මේ රටේ පිඩාවට පත්ව සිටින අසරණ ජනතාවගේ පොදු සෙත සැලසීමටත් ජීවන තත්ත්වයන් උසස් කිරීමටත් වාර්ෂිකව යෙදවිය හැක.

දිගු කලක් තිස්සේ බලයට පත් ආණ්ඩු හා විෂයය භාර ඇමතිවරුන් විසින් සිය පාක්ෂියකින් සඳහා රැකියා තවානක් ලෙසින් අවභාවිතාකරමින් වලපල්ලටම යැවූ සපුගස්කන්ද පිරිපහදුව හරහා රටේ ආර්ථිකයට වන දැවැන්ත නාස්තිය වළක්වා ගතහොත් රටට ඉන් අත්වන වාසි බොහෝ වනු ඇත. එමෙන්ම ඒ හරහා ඉන්ධන මිල ද විශාල ලෙස අඩු කර ගැනීමේ හැකියාව ද පවතී.


( විශේෂ ලියුම්කරුවෙකුගේ සටහනකි)
# සංවාදය සඳහා විවෘතයි....

Sapugaskanda swallows the people of Sri Lanka

සබැඳි පුවත් :
තෙල්වලින් ඩීල් දාන 'රාජපක්ෂලා' කව්ද ?
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්