සම්පූර්ණ නම                       තොටගමුවගේ සුජිකා නිල්මිණී


අධ්‍යාපන සුදුසුකම්              අ.පො.ස (උ/පෙළ) - කලා අංශයෙන්

වෘත්තීය                            රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස වැඩ කරනවා/ ප්‍රාදේශීය සභා මන්ත්‍රී

 දේශපාලන පවුල් පසුබිම    සැමියා දේශපාලනයේ නිරත වීම

නියෝජනය කරන කොට්ඨාශය - බෙලිදෙණිය  දික්වැල්ල. ප්‍රාදේශීය සභාව



 ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

දේශපාලනයට  කැමැත්තක් තිබුණා. මහත්තයා දේශපාලනයට සම්බන්ධ නිසා මුලදි ඉඳලම අදහසක් තිබුණා. ඒ නිසා කාන්තා නියෝජනයට ප්‍රතිශතයක් එක්වුනාම මටත් අවස්ථාවක් ලැබුනා.

ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
කාන්තාවට ඉඩක් නැහැ. මේ  අවස්ථාවන් කාන්තාවන් සටන් කරලා ගත්ත අවස්ථාවක්. හරි අමාරුයි මේ වෘත්තියේ නියැලෙන්න අනිත් පාර්ශවයත් එක්ක. කාන්තාවන්‍ට තියෙන උත්සහයත් එක්ක තමයි මේ අභියෝග ජය ගන්නේ.

 

මොනවද ඒ අභියෝග?

අපිට ඇහුම්කන් දෙන්නෙ නෑ පිරිමි පාර්ශවය කාන්තාවන්ව පහළට දමා කතා කරනවා. කාන්තාවන් ට දේශපාලනයේ කරන්න පුලුවන් දෙයක් නෑ කියලා තමයි එයාලා නිතරම කියන්නෙ. නමුත් මේ වනවිට අපි එම තත්ත්වය වෙනස් කරමින් යනවා. අපි මේ අභියෝගය ජය අරන් තියෙනවා. දැන් සෑහෙන වෙනසක් ඇතිකරල තියෙනව.

දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව්ද?

කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ..පක්ෂවලින් නම් ප්‍රතිවිරුද්ධවාදියාගෙන් පොඩි විරෝධතා ආව. වෙනත් නම් නැහැ.



ඔබ විශ්වාස කරනවද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?

කාන්තාවන් අනිවාර්යයෙන් දේශපාලනයේ  නියැලෙන්න ඕන. වංචාව , දූෂණය නැති කරන්න පුලුවන් කාන්තාවන්ට විතරයි. කාන්තාවන්ට තමයි සියුම් දේවල් දකින්න පුලුවන්. වැරදි නිවැරදි කරන්න පුලුවන් හැකියාවක් කාන්තාවන්ට තියෙනවා. පිරිමින්ට වඩා කාන්තාවන් බලන කෝණය වෙනස්. ඒ නිසා කාන්තාවන් සිටිය යුතුය. මොකද කාන්තාවන්ගේ ඉල්ලීම් දිනාගන්න, කාන්තාවන් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න, කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න කාන්තාවන් සිටිය යුතුමයි කියලා මං හිතනවා. වංචාව, දූෂණය කාන්තාවන් අතින් සිද්ධ වෙන එක අඩුයි. අඩුයි නෙවෙයි වෙන්නෙ නැහැ. අපි කවදාවත් කොමිස් අරන් නෑ. කවදාවත් වංචා, දූෂණ සිදු කරල නෑ.

 

ඔබේ දේශපාලන ගමනට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මට්ටමින් යම් දැනුවත්භාවයක් ලබාදිලා තියෙනවද?

රාජ්‍ය මට්ටමෙන් නම් බොහොම අඩුයි. සිවිල් සංවිධානවලින් නම් ගොඩක් දැනුම ලබා දීලා තියෙනවා. OTI ආයතනය සහ ශ්‍රී ලංකා පලාත් පාලන සංසදය තුළින් මේ වසර 5 පුරාම දැනුවත්වීම් කරලා තියෙනවා. පුහුණු වීම් දීල තියෙනව. අපිට ඒවාගෙන් සමාජීය, නීතිමය, දේශපාලනමය වශයෙන් පුළුල් දැනුවත්භාවයක් ලැබුණා. පළාත් සභාවක අයවැය කියන්නෙ මොකක්ද? ඒව ඉදිරිපත් කරන්නෙ කොහොමද වගේ දේවල් පවා කියල දීල තියෙනව.


නායකත්ව ගති ලක්ෂණය, ඒ පෞරුෂය පිරිමින්ට හදපු පිරිමි පෞරුෂයක් කියල මම කිව්වොත් ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

 අනිවාර්යයෙන් නායකත්වය කාන්තාවන්ට ගන්න  පුලුවන් හැකියාවක් තියෙනවා. පිරිමින්ට වඩා ඒ හැකියාව කාන්තාවන්ට තියෙනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය උනෙත් කාන්තාවක්. ඇය ලංකාවේ වීමම විශේෂයි. අනිත් එක ගෙදර උනත් නායකත්වය ගන්නෙ කාන්තාව. සමිති සමාගම්වල උනත් කාන්තාව නායකත්වය දරනවා. පිරිමි එළියෙ සමාජයේ නායකත්වය පිටින් පෙන්නනවා විතරයි.


කාන්තා මන්ත්‍රීවරියන් සමඟියෙන් වැඩ කටයුතු කරගෙන යනවාද?

තීන්දු තීරණ ගද්දි එකට එකතු වෙලා වැඩ කරනවා. සමහර කාන්තාවන් තුළ ඉරිසියාව  තියෙනවා. අළුතෙන් දේශපාලනයට එන කාන්තාවන් පිළිබඳව හොඳ ආකල්පයක් දක්වන්නේ නෑ.

 
ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනවද?

ඉගෙනගත යුතුයි. ඉදිරියට යන්න නම් දේශපාලනය ගැන ඉගෙනගන්න ඕනි. නැත්තම් විවිධ උඟුල්වල පැටලෙන්න පුලුවන්.

 

ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවාද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම ගොඩක් සතුටුයි. මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් උන එක ගැන සතුටුයි. ඒත් කාන්තාවන්ට තියෙන තැන අඩුයි. සමාජයක් විදිහට කාන්තාවන්ට මීට වඩා තැනක් ලබා දිය යුතුයි.

 

ඔබට සහායෝගය දීපු අය ගැන සහ ඔබේ යෝජනා ගැන  සඳහන් කළොත්?

ස.ජ.බෙ හිටපු  මගේ නායකතුමා, සංවිධායකතුමා දැන් ඉන්නෙ විරුද්ධ පක්ෂයේ. ඔහු තමයි උදව් කරේ. ඇත්තටම මාධ්‍ය වලින් අපි මීටත් වඩා සහයෝගය ලැබෙනවනම් අපි කැමතියි. අපිට මාධ්‍යවලින් සහායයක් ලැබෙන්නෙම නැති තරම්. අපි කාන්තාවො අතර ලොකු තරගයක් නැහැ. ඒත් පොඩි ඊර්ෂ්‍යාවක් සමහර අය ලග තියෙනවා.කාන්තා ප්‍රතිශතය තවත් වැඩි කරනවානම් හොඳයි. මොකද වැඩි ප්‍රමාණයක් කාන්තා ඡන්දදායකයො ඉන්නෙ. ඉතිං ඒ තත්වය ඇති වෙනවනම් කැමතියි.


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්