නීතීඥකම වෘත්තියක ලෙස ලංකාවේ මුලින් ම පිළිගැනෙන්නේ 1802 වසරේ ස්ථාපිත වූ චාටර් ඔෆ් ජස්ටිස් හෙවත් යුක්ති සන්නස / ප්‍රඥප්තිය මගිනි.
මුල් කාලය තුල නීතිඥ වෘත්තියේ යෙදුණේ පෙරකදෝරු (ප්‍රොක්ටර්) හා අද්වකාත් (ඇඩ්වකේට්) යන දෙකොට්ඨාශයට බෙදී ය. අද්වකාත්වරුන්ගේ වෘත්තීය ව්‍යුහය ශ්‍රී ලංකා බාර් කවුන්සිලය වූ අතර පෙරකදෝරුවරු ලෝ සොසයටි ඔෆ් ශ්‍රී ලංකා ලෙස ව්‍යූහගත වූ හ. 1973 වසරේ ගෙන ආ වැදගත් නීති ප්‍රතිසංස්කරණයක (1973 අංක 44 දරන යුක්තිය පසිඳලීමේ පනත) ප්‍රතිඵලයක ලෙස යට කී දෙකොට්ඨාශය එක්කාසු කොට නීතීඥ හෙවත් ඇටර්නි-ඇට්-ලෝ යන තනි වෘත්තීක කැටිගරියක නිර්මාණය කළේ ය.
ඒ අනුව 1974 දී මේ ප්‍රති-සන්නාමිත නීතීඥවරුන්ගේ මුදුන් වෘත්තීය ව්‍යුහය හෙවත් ඒපෙක්ස් බොඩිය ලෙස පිහිටුවා ගත්තේ ගත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෙවත් බාර් අසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා ය. එහි ආරම්භක සභාපති වූයේ රාජ නීතීඥ එච්. ඩබ් ජයවර්ධන ය. ඔහු හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධනගේ සහෝදරයා ය.
නීතීඥ සංගමයේ ගව(ර්)නන්ස් හෙවත් සංවිධානය පවත්වාගෙන යන ආකාරය සෙසු ලාංකීය ආයතන හා සසඳන විට පැසසිය යුතු මට්ටමක පවතී. සංගමයේ සභාපති තනතුර හෙබවිය හැකි කාල වාරය වසර දෙකකි. මෙය 1975 සිට මේ වන තුරු අනුගමනය කර ඇති පිළිවෙතකි. කුමන තත්ත්වක් යටතේ හෝ සභාපති කෙතෙක් විශිෂ්ඨයෙකු වූවත් එම ධුර කාලය වසර දෙක ඉක්මවා දීර්ඝ කරගෙන නැත. එක ම පුද්ගලයා දෙවරක් සභාපති වී ඇත්තේ එක ම වරකි. එය ද පළමු ධූර කාලය නිම කර වසර 13කට පසු ව ය.
එසේ කරන ලද්දේ ජනාධිපති නීතීඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු 1989-1991 හා 2005-2006 කාලවාරයන් හී සභාපති තනතුර හෙබ වූ විට ය. දක්ෂ නීතීඥයෙකු ද වූ බාලා තම්පෝ මහතා 1928 දී ස්ථාපිත සී.ඇම්.යූ වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස පත්වන්නේ 1948 ය. එදා සිට 2014 දී ඔහු මිය යනතුරු ඒ තනතුරේ වසර 66ක් එල්ලී සිටියේ නායකත්වය යනු මාරු විය යුතු දෙයක් යන මුලධර්මය නොදැන විය යුතු ය. රජයේ වෛද්‍යවරුගේ වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස වෛද්‍ය පාදෙණිය වසර 11 ක් එහි එම තනතුරේ ඇළී සිටියේ ය. මේ හා සසඳන විට නීතීඥ සංගමය ආදර්ශවත් ආයතනයකි.
පසු ගිය 11 වැනි දින පෙ.ව 9.45 ට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මීළඟ නිලධර මඬුල්ල පත් කර ගැනීම සඳහා නාම යෝජනා බාර ගැනීමට නියමිත ව තිබිණ. එම සංගමයේ වත්මන් සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ කාල වාරය මාර්තු මාසයේ අවසන් වන බැවින්, ඔහුගේ අනුප්‍රාප්තිය කාගේත් අවධානය යොමු වූ කාරණය යි. මීට වසර දෙකකට පමණ පෙර පීරිස් මහතා සභාපති ලෙස පත් වුණු නිලවරණය දැඩි උණුසුම් වාතාවරණයක් යටතේ කෙරුණා මතක ය.
පීරිස් මහතා හා සභාපතිත්වයට තරඟ කළේ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා ය. එකල දේශපාලන පසුබිම කුමද යී විමසීම වටී. ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ නායකත්වය යටතේ පැවැති ආණ්ඩුව, කෝවිඩ් තත්ත්වයෙන් තෙරමක් පසු බෑමකට ලක් වී තිබුනත්, තම බලය පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මනා ලෙස ස්ථාපිත කරගෙන සිටියේ ය.
විපක්ෂ බලවේග ඒ තරම් ශක්තිමත් ව හා ප්‍රාණවත් ව නොතිබිණ. පීරිස් හා සොයිසා අපේක්ෂක දෙපල ම දේශපාලන පක්ෂ හා ඍජු සම්බන්ධයක් නොතිබුණ ද, නිල නොවන ආකාරයට ඔවුන් දෙදෙනාගේ අපේක්ෂකත්වය එක මට්ටමකින් අර්ථ නිරූපනය කෙරුණේ පක්ෂ/විපක්ෂ බලවේගවල අපේක්ෂා නියෝජනයක ලෙස ය. ක්‍රියාකාරී ජන්ද අට දහසකින් පමණ කෙරෙන මේ නිලවරණය ජාතික මට්ටමේ අවධානයක් ආකර්ෂණය කර ගති. වෘත්තියට නොගැළපෙන ආකාරයේ මඩ ප්‍රචාර කෙරුණේ සාමාජිකත්වය අතර පමණක් නොව පොදු ජන සමාජය ද ආඳා ගෙන ය. නිලවරණයේ අවසාන දිනය ටී විස්ස තරඟයක අවසාන ඕවරයක මෙන් විය.
පීරිස් මහතා ජන්ද 5,162 ලද අතර සොයිසා මහතාට ලැබුණේ 2,807 පමණි. වෘත්තීයභාවය අනුව පීරිස් මහතාගේ ජ්‍යෙෂ්ඨත්වය, කැරිස්මටිකභාවය හා පිළිගැනීම පක්ෂ/විපක්ෂ ගතික අභිබවා ක්‍රියාත්මක වුවා යී කීමේ වරදක් නැත. එහෙත් ඔපොසිෂනල් ඩයිනමික් හෙවත් විපක්ෂ ගතිකත්වය (හුදු දේශපාලන පක්ෂ මට්ටමින් නොව, ක්‍රමයකට ඇති අපුලත්වය ලෙස ) පීරිස්ගේ ජයග්‍රහණයේ දී යම් අනුප්‍රාණයක් හා ජවයක් නිලවරණයට එන්නත් කළ බව රහසක් නොවේ. මේ ගතික දෙක ම එනම්, පීරිස්ගේ පුද්ගලික ප්‍රතිරූපය ද එකල එක්තරා ආකාරයකයට මෝදු වෙමින් තිබු ක්‍රමය කෙරෙහි ඇති අපුල හා විරෝධාත්මක හැඟීම ද, එම ජයග්‍රහණයට හේතු වුනා යී මට සිතේ.
එදාට වඩා අද ක්‍රමය කෙරෙහි ඇති කළකිරීම, අපුලභාවය හා විරෝධය වෙනදාට වඩා ඉහලින් තොරම්බල් වේ. ඔපොසිෂනල් ඩයිනමිකය ප්‍රාණවත් ය. විරෝධය එළිපිට මහා පාරේ ප්‍රකාශ වන දේශපාලන පසුබිමක් නිර්මාණය වී ඇත. අද බඩ පිණුම් ගසන්නේ විපක්ෂ කොටස් ය. මෙය පක්ෂ හා නිර්පාක්ෂික මට්ටමකින් ද කෙරේ. සමාජ මාධ්‍ය අධි-යථාර්ථයේ මේ කොටස් තම නව ජපපතිවරු, ආණ්ඩු හා කැබිනට් මණ්ඩල පත් කර අවසන් ය.
පසුගිය වසරේ මාස පහක් හයක් පුරා කෙරුණ අරගලය ලෙස වර නැගෙන සමය තුල නීතීඥ සංගමය කැපී පෙණෙන භූමිකාවක් ඉටු කළේ ය. එහිලා, සභාපති ව සිටි පීරිස් මහතාගේ අභීත නායකත්වය තීරණාත්මක විය. එක්තරා කාලයක ඔහුගේ නම භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා ලෙස ද ඉහල තලයේ සාකච්චාවට බඳුන් විය. පීරිස් මහතා පරිණතභාවයකින්, වගකීමකින් හා සංයමයකින් තම නායකත්වය දැරූ නමුදු සමහර නීතීඥ කොටස් අරගලයේ උණුසුමෙන් විවිධාකාර කස්තිරම් ඇල්ලු හ. උසාවියේ ඔවුන් නොගැසුවේ බල්ටි හා විසිල් පමණි. ඒ රැල්ලේ ම ගසා ගොස් එක නීතීඥයෙක් බෝක්කුවකට නැග කීවේ ව්‍යවස්ථාවට වඩා වැදගත් වන්නේ අරගලය බව ය. එකල නිල මන්ධිර හා කාර්යාල කිහිපයක් අනීතික ව හා බලහත්කාරයෙන් අල්ලා ගැනුණු අතර ඒ කඩා වැදුණු පිරිස් අතර මේ කස්තිරම් නීතීඥයෝ පිරිසක ද සිටි බව කියැවේ.
මේ ආකාරයට, විධිමත් හා වැදගත් ලෙස ද වෘත්තියට නොගැලපෙන රස්තියාදු ලෙසකින් ද පීඩන කණ්ඩායමක් ලෙස නීතීඥ ප්‍රජාව දේශපාලන කරලියේ පෙරමුණට පැමිණියේ ය. එහෙත් මේ වෘත්තික ප්‍රජාවේ විරෝධාත්මක මුවහත මේ වන විට තරමක් මොට්ට වී, කස්තිරම් රණකාමීත්වය හීනියට හීලෑ වී ඇත් ද යන්න මට සිතුණේ එක අපේක්ෂකයෙක් පමණක් ඉදිරිපත් වී ඔහු නිතරඟයෙන් නීතීඥ සංගමයේ සභාපති වුණු ඇල්මැරුණු නිද්‍රාශීලී අවස්තාවේ ය.
විරෝධාත්මක රණකාමී පෙරමුණු හා අරමුණු නියෝජනය කරන අපේක්ෂයෙක් තරඟ බිමට නාවේ මන්ද යන්න ඒ තරම් පැහැදිලි නැත. එය එසේ සිදු වුණේ, වැල යන අතට මැස්ස ගැසීම, ගලක ඔලුව හප්පා ගැනීමට වඩා ඇඟට ගුණ බව ඉවෙන් මෙන් දැනුණ නිසා ද කියා දන්නේ එම තීරණය ගත් පිරිස ම පමණි. එසේත් නොමැති නම් පසු ගිය වසරේ තමන් ඇල්ලූ කස්තිරම් හුදු රැල්ලකට හසු වී කළ ත්‍රාසජනක ඇඩ්වෙන්චරයක ජවනිකාවක් පමණකි යන පරිණත හැඟුම නීතීඥ බුද්ධියට නව වසරේ පතිත වුණු නිසා කියා ද නිශ්චිත නැත.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )