නිදහස සැමරීම, ආර්ථික අර්බුදය නොසලකා හරින ලද නිර්ර්ථක ක්‍රියාවක් ලෙස සළකා එය විරෝධතා දිනයක් ලෙස දකුණෙහි විරෝධතාකරුවන් විසින් සලකුණු කෙරෙන මොහොත වූ පෙබරවාරි 4වැනිදා,
උතුරු-නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීම් වලට යුක්තිය ඉල්ලා දෙමළ මාතාවන් පුමුඛ ඥාතීන් සිදුකරන අරගලය අඛන්ඩතාව 2176වැනි දිනය ලෙස සනිටුහන් කෙරිණ. නිදහසේ ඊනියා දිනට දින කිහිපයකට පෙර යාපනය සරසවියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ.
එහිදී යාපනය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඒ. විජයකුමාර් කීවේ දකුණ නිදහස සමරන දින උතුරට ‘කළු දිනයක්’ බවත් එ දින සියලුම කඩා සාප්පු ආයතන වසා දමා, ගමනාගමනය නවතා රජයට එරෙහි හර්තාලයකින් සිය විරෝධය සලකුණු කරන බව ය.
මෙය පළමු වතාවට සිදුවූවක් ලෙස හුවා දක්වන ඇතැම් මාධ්‍ය සෑම වසරකම පාහේ මෙය සිද්ධ වූ බව දන්නේ නැත. යාපනය සරසවියේ උස් යකඩ වැටේ සෑම වසරකම එල්ලෙන බැනරය වන්නේ ‘කළු නිදහස් දිනය’ යන්න ය. මෙවර උතුරේ ‘නිදහස්’ විරෝධයේ වැදගත් ලකුණක් වූයේ එය දින හතරක අඛන්ඩ පාගමනකට ආරම්භය ලබා දීම ය. එකී තීන්දුව මුළු උතුරු නැඟෙනහිර ම ඒකාබද්ධ විරෝධයකට ගොනු කිරීමකි.
දස දහස් සංඛ්‍යාත පීඩිත දෙමළ ප්‍රජාවක් විශේෂයෙන් ම 2009 මැයි මහා සංහාරයේ ලෙයින් තෙත්වූ මුල්ලිවෛක්කාල් භූමියද පසුකරමින්, සිව් දිනක් තිස්සේ යාපනයේ සිට මඩකලපුව දක්වා පයින් ම ගමන් ගත් හ. මෙකී පා ගමන අවධාරණය කළ කේන්ද්‍රීය කාරණා තුනකි. පළමුවැන්න ආක්‍රමණකාරී හමුදාව තමන්ගේ භූමියෙන් ඉවත් කර ගත යුතු යන්න ය.
සිංහල මිලිටරි හමුදාවන් බලහත්කාරී ලෙස අත්පත් කරගෙන සිටින ඉඩකඩම් නිදහස් කළ යුතු ය යන්න එහිම එක් පැතිකඩකි. ‘ලංකා ෆයිල්ස්’ ට්විටර ගිනුම, මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව සමුපකාර සමිතියේ සභාපති රත්නරාජා මයුරන් සමඟ කළ සංවාදයකදී, ‘සෑම කිලෝමීටර තුනක් පාසාම හමුදා මුරකපොල්ලක් හමුවන භූමියක පවතින්නේ කවර නිදහසක්දැ’යි ඔහු ප්‍රශ්න කරයි.
අනෙක් ප්‍රධාන විරෝධතා අවධාරණයන් වූයේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම මෙන් ම උතුරේ මාතාවන් අඛන්ඩව නිරත රාජ්‍ය අපරාධකාරීත්වයට ඍජුවම අදාල බලහත්කාරී අතුරුදහන් කළවුන්ට යුක්තිය ඉල්ලා සිටීම ය.
කළු නිදහස් දිනය උතුරේ එසේ වේදනාබරව සැමරෙද්දී දකුණේ ද ‘මෙවර’ නිල නිදහස් උළෙලට විරෝධය පානා ‘කළු නිදහස් දිනක්’ නිවේදනය කර තිබිණ. නිදහස්ව පැමිණ වසන්ත මුදලිගේ ප්‍රමුඛ අන්තරේ එහි වැඩි බරක් කරට ගන්නා බවක් පෙනෙන්ට තිබුණු අතර අරගල අවදිය පුරා ගෝල්ෆේස් සුළඟේ ළෙලවුණු සිංහ කොඩිය ‘තාවකාලිකව’ අත් හැර දැමූ තත්වයක් ද පෙනෙන්නට විය.
බීබීසී සිංහල වෙබ් අඩවිය පිටකොටුවේ වාර්ෂිකව ‘සිංහ කොඩි’ විකුණන මොහොමඩ් රිස්වාන් නම් කොඩි වෙලෙන්දාගෙන් අලෙවිය ගැන ඇසූ විට ඔහු දී තිබුණේ ආකර්ෂණීය පිළිතුරකි. ‘’මම අවුරුදු පහක් තිස්සෙ කොඩි විකුණනවා. මේ පාර තමයි අපි කොඩි විකුණලා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නෙ. හැමෝම ඉල්ලන්නෙ ජාතික කොඩි නෙමෙයි කළු කොඩි’’
හැත්තෑ හතර වසරක් තිස්සේ නිදහස් දිනය ලෙස නම්කළ පෙබරවාරි 4වැනිදා අඛන්ඩව සැමරුම් උත්සව තිබිණ. හැකි සෑම නිවසක ම, කඩ සාප්පු වෙළඳ සංකීර්ණයක ම, කාර්යාලයක ම, ආයතනයක ම මතු නොව හැකි සෑම රථයක ම සිංහ කොඩි ළෙල දෙමින් තිබිණ. එබැවින්, මකරු ගහන චීනයෙන් ආනයනය කළ ද, සිංහ කොඩියට ලොකු මාකට් එකක් තිබිණ.
සියල්ල වෙනස් වී ඇත්තා සේ ය. දැන් නිදහස් දිනය ගැන දකුණේ පොදු හඬ; බීබීසී සිංහල ශීර්ෂ පාඨයකින් ම උපුටන්නේ නම් මෙබඳු ය. ‘’රටේ නිදහසක් නැතුව උත්සවයක් පවත්වන එකම රට ලංකාව වෙන්න ඇති’’.
බීබීසී සිංහලය මේ ශීර්ෂය උපුටාගෙන ඇත්තේ බොරුල්ලේ සංජු නම් ත්‍රී රෝදක්කරුගේ ප්‍රකාශයෙනි. බහුතර මතය මෙය ම බව බැලූ බැල්මට ම පෙනෙන අතර නිදහස් දින දකුණේ වූ විරෝධතා උණුසුම තුළ එය භෞතිකව දක්නටද ලැබිණ.
නමුත් මේ ආකර්ශනීය ශීර්ෂයෙන් මඟ හැරුණු බරපතල කරුණක් තිබේ. මෙහි ‘රටේ නිදහස’ ලෙස කියවෙන්නේ උතුර අතෑරුණු භූමි කලාපයේ නිදහස බව ය.
නිශ්චිතව බෙදුම් රේඛාව සලකුණු කර උතුර සහ දකුණ වෙන වෙන ම පෙන්වන්නට නිදහස නම් දවසේද දකුණ යළි වරක් සමත් වී ඇත. මේ තාක් දකුණේ කිසිම දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් නිදහස් දින ‘උතුරට නැති නිදහසක් අපට එපා’ යැයි කියා සිංහ කොඩි දැමීම වර්ජනය කළේ නැත. උතුර නො තකන බව තවමත් එලෙසින් ම බලාත්මකය. දකුණේ සටන් වල නියාමකත්වයට කැඳවුම් ලද අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය තුළ පවා යාපනයේ හෝ නැගෙනහිර මුඛ්‍යතම ප්‍රශ්නවලවත් නියෝජනයක් නැත. යාපනයේ හා නැගෙනහිර සරසවි සිසුන්ට තමන්ගේම මිනිසුන් සමඟින්, තමන්ගේම භූමි වපසරිය තුළ නිදහස පිළිබඳ තමන්ගේ ම සටන් පාඨ ළෙලවන්නට සිදුවන්නේ එබැවිනි.
තරුණ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඔහුගේ ‘සටහන් රේඩියෝ’ යූ ට්‍යුබ් නාලිකාව වෙනුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ සංවාදයක් සිදු කර ඇත. ඒ ඉකුත් මාර්තු 7වැනිදා ය.
එහිදී, ශිෂ්‍ය ව්‍යාපාරයට සටන් ජයගත නොහැකි බව කියන්නට ආණ්ඩුව උත්සාහ කරන නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ සියලුම සටන් ජයග්‍රහණයෙන් අවසන් කළ බවත්, ජයග්‍රහණයෙන් තොරව අවසන් කළ කිසිඳු සටනක් නැති බවත් වසන්ත පවසයි. ඔහු තවදුරටත්, තමන් හමුවේ පවතින සිව්වැදෑරුම් අරගල ගැන පවසයි. ඒවා නම් මර්දනයට එරෙහි අරගලය යි; ත්‍රස්තවාදය වැළැක්විමේ පනතට එරෙහි අරගලය යි; ජීවත් වීමේ අයිතිය දිනා ගැනීමේ අරගලය යි; බඩුමිළ-බදුබර වැඩිවීමට රෙහි අරගලය යි. මේ සියල්ලේ ඓක්‍යය ලෙස ආණ්ඩුව පන්නා දැමීමේ අරගලය පවතින බව ඔහු පවසයි.
වසන්ත පවසන ජීවත් වීමේ අරගලය යනු උතුරේ අරගලයේ කේන්ද්‍රයයි. නමුත් වසන්ත මුදලිගේ මේ කතාකරන්නේ මුළුමනින්ම උතුර අත්හරිමිනි.
වම්මුන් ලෙස පෙනී හිඳිමින් ‘දකුණට කැඩුණු’ සිංහ කොඩිම ළෙලවූ අන්තරේ පූර්වගාමීන්ගේ ආත්ම ප්‍රකාශකයකු නොවී වසන්ත මුදලිගේ තරුණ සහෝදරයා කළ යුත්තේ වහා ‘වමට වැටුණු’ දුෂ්කර මාවත තෝරා ගැනීමය. එහි පළමු පියවර වන්නේ යාපනය සහ නැගෙනහිර සරසවි සිසුන්ගේ අරගල පදනම හා ඒකබද්ධ වීම ය.
දකුණේ වරනැඟෙන ජීවත් වීමේ සටන් පාඨය සමස්ථ රටේ ම පොදු සටන් පාඨය වන්නට නම් උතුරේ ‘ජීවත් වීමේ අයිතිය’ දිනා ගැනීම නම් වන විශේෂ සටන් පාඨය විශේෂ ලෙස බාර ගැනීමට තරම් පළල් භාවිතයකට යා යුතු ය. සිංහ කොඩිය අත් හැර කළු කොඩිය අතට ගත යුතු වන්නේ මෙකී පළල් දේශපාලන අරුතිනි.
සිංහල දේශපාලනයේ තක්කඩි ස්වරූපය නිසා ජාතික ප්‍රශ්නයේ වන ලියැලීම සහ එහි අනාගතය මුල් අවධියේදීම අවබෝධකර ගත් ආචාර්ය එන්.එම්. පෙරේරා 1951 සිංහ කොඩියේ කොළ තැඹිලි තීරු පිළිබඳ විවාදයේදී සිදුකළ හැන්සාඩ්ගත අභිශාපී ප්‍රකාශයෙහි වූයේ ‘සිංහ කොඩිය’ යනු රැවටිල්ලක්, වංචාවක් සහ මගෝඩියක් බව ය. ඒ තාක් පැවති අමු සිංහ කොඩිය වෙනුවට දෙමළ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන මෙකී වර්ණ තීරු ඔවුන් අවතක්සේරු කිරීමක් බව ය.
කළු කොඩි විරෝධය 2023 ඇරඹූවක් නොවන බවත් එය දෙමළ ජනතාවගේ නිදහස සහ අයිතීන් කප්පාදු වුණු ඉතිහාසය පුරාම දක්නට ලැබුණු විරෝධතා සංඛේතයක් බවත් සිංහ කොඩි වනන අතරෙහි කළු කොඩියට ඇවිස්සෙනසුළු මහකළු සිංහලයන් වටහා ගත යුතු ය. අතීතයේදී ම දෙමළ තරුණ්‍යයට ‘සිංහ කොඩිය දැනුණේ තමන් කුපිත කරවනසුළු බරපතල හිංසනයක සංඛේතයක් ලෙස ය.
1957 පෙබරවාරි 4වැනිදා සමස්ථ උතුරු නැඟෙනහිර ම කළු කොඩි එසැවූ හර්තාල් කලාපයක් විය. කළු කොඩි අතැතිව ත්‍රිකුණාමලයේ නගර සභාව දෙසට පැමිණෙමින් සිටි දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර සිටි ෆෙඩරල් පක්ෂයේ තරුණ ආධාරකරුවකු වූ 22 හැවිරිදි නඩරාජන් ත්‍රිකුණාමලයේ ඔරලෝසු කණුවේ කළු කොඩි දමන්නට යාමේදී සිංහල තුවක්කුකරුවකුගේ වෙඩිපහරකින් ඝාතනයට ලක්විය.
දෙමළ සමාජය තවමත් සිංහ කොඩියෙන් අධිනිෂ්චය වූ මෙකී සමාජ යාන්ත්‍රණයට ස්වකීය විරෝධය දියත් කරයි. මෙලෙසිනි.
මේ අපේ ධජය නෙවෙයි
මේ අපේ හමුදාවෙ නෙමෙයි
මේ අපේ ජනාධිපති නෙමෙයි
මේ අපේ රාජ්‍යය නෙවෙයි
ඉතින් මේ අපේ නිදහස වන්නේ කොහොමද?
ඒ අනුව හදිසියේ සිංහ කොඩිය අතැරි දකුණේ ප්‍රගිතිශීලින් තේරුම් ගත යුත්තේ පෙබරවාරි 4 දෙමළ ජනතාවට ගෙන දෙන පීඩාවේ පරිමාණය ආර්ථික බංකොලොත්භාවයෙන් ව්‍යුත්පන්න සටන් පාඨයක් නොවන බව ය. එය ජීවත් වීම පිළිබඳ සමානාත්මතාවය සහ යුක්තිය දිනාගැනීමේ හැඟීම් ප්‍රකාශනයක් බව ය.
උතුර අතැර දමා නිදහස දිනා ගන්නට දකුණට නො හැකි බව දේශපාලනිකව තේරුම් නොගතහොත්, ‘13’ බඳු කණු වටේ උලාකමින්-වමාරමින්-කැරකෙමින් ‘විනාශයේ පරිපාකයට ළඟාවීමේ ප්‍රමෝධය’ අත්විඳින්නට සමාජයක් වශයෙන් අපට හැකිවනු ඇත.
(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 පෙබරවාරි 12)