සිය දේශපාලන අසරණභාවය වසන්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වයට නිගරුකරමින් ස්වාධීනව පවත්වා ගතයුතු එම ආයතනය පාවා දුන්නේය.


බ්‍රහස්පතින්දා (පෙබරවාරි 23) පාර්ලිමේන්තු සැසියට සහභාගී වූ ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය (මාර්තු 09) සඳහා, මූල්‍ය ප්‍රතිපාදනය සම්පාදනය නොකළ සිය මුදල් ලේකම්වරයා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වගකීම 'හිනාවකින්' සැහැල්ලුවෙන් බැහැරකළ රජයේ මුද්‍රණාලයේ අධිපතිවරිය ආරක්ෂා කරමින් සියලු වැරදි මැතිවරණ කොමිසම මත පැටවීය.

ඉතා තීරණාත්මක විවාදවලදී සභාව ගැලරියක් බවට පත්කර ගනිමින් ප්‍රශ්නයෙන් පළායාමේ පුරුද්දක් සහිත ජනාධිපති වික්‍රමසිංහ ඔහු අගමැති පදවිය දරද්දී සිදු වූ මහ බැංකු කොල්ලයේ දී හැසිරුණ ආකාරය බ්‍රහස්පතින්දා විවාදයේ දී යළිත් සිහිපත් කළේය.

HE Parliament 740x463

මහබැංකු බැඳුම්කර හොරකම සම්බන්ධයෙන් එදා විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කරද්දී වික්‍රමසිංහ තම සගයා වන මහබැංකු බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරමින්, විපක්ෂය ''භාණ්ඩාගාර බැඳුම්කර සහ ජේම්ස් බොන්ඩ්'' (Treasury bond from James Bond) අතර වෙනස හඳුනන්නේ නැතැයි සරදම් කරමින් විවාදයෙන් පැන දිව්වේය.

සංවිධානය වෙමින් පවතින මහජනය මතය මගහැර යාම සඳහා වික්‍රමසිංහ ඔහු අත ඇති අන්තිම තුරුප්පුවත් පාවිච්චි කළේය. මෙය ඔහුට දේශපාලන වශයෙන් ලැජ්ජාවකි. ඔහු තමාගේම රටේ ජනතාව මෝඩයන්ට අන්දවමින් කිසිදු සංයමයකින් තොරව බොරු කියමින් ජනතාවට අවමන් කරයි. අපගේ ඇතැම් මිතුරන් පවසන පරිදි ජනාධිපතිවරයා පළාත්පාලන ඡන්දය අවලංගු කිරීමේ අන්තිම තුරුම්පුව පාවිච්චි කිරීමට හේතුව මුදල් නොමැතිකමද? එසේනම්, ඔහුගෙන් ඇසීමට ප්‍රශ්න කීපයක් ඇත.

පළමුව, මැතිවරණ කොමිසම පළාත්පාලන ඡන්දය ප්‍රකාශයට පත්කරමින් ඡන්දය පැවැත්වෙන දිනයක් ද ප්‍රකාශකර තිබියදී ඔබ නිහඬව සිටියේ කුමක් නිසාද? එවැනි මැතිවරණ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවක් ඔහු නොදැන සිටියේද?

දෙවනුව, තමා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය එම පළාත්පාලන ඡන්දය සඳහා තරඟකරන බවක් හෝ ඔබ නොදැන සිටියේද?

අදාළ තවත් ප්‍රශ්න කීපයක් ද අපි ජනාධිපතිවරයා වෙත යොමුකරමු.



(අ) ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතරතුර ආණ්ඩුවට මහමැතිවරණයක් කැඳවන ලෙස කියා සිටියේ රටේ මුදල් තත්වය ගැන හරි අවබෝධයකින් තොරවද ?

(ඇ) හැත්තෑ පස්වෙනි නිදහස් උත්සවය සඳහා රුපියල් කෝටි හතළිහකට අධික මුදලක් වැයකරන ලද්දේ රටේ මුදල් තත්වය සංදර්ශන පැවැත්වීමට තරම් ශක්තිමත් නිසාද ?

(ඉ) කොළඹ මහ නගරසභාවට තරඟ වැදීමේ අරමුණින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්නොවෙන ලෙස තමා මුජිබර් රහුමන් මන්ත්‍රීවරයාට දැනුම්දුන් බව ඔබ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට කල්තබාම තීන්දු කර තිබුන නිසා නොවේද ?

ඇත්තෙන්ම අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙය අන් කිසිවක් නොව මහජන මතයට බියපත් ශ්‍රී ලංකාවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් නිදහසින් පසු මහජන කැමැත්ත සමඟ සිදුකරන කුප්‍රකට සෙල්ලමේ අළුත්ම විකාරරූපී නාඩගමයි. වසර කීපයකට පෙර 1982 දී  මහ මැතිවරණයකට බිය වූ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණයක් මගින් රට මහා ව්‍යසනයකට ඇද දමන ලදී. අද රනිල් වික්‍රමසිංහත් ජයවර්ධන මාවතේ යමින් මැතිවරණ සිතියම අකුලා දමමින් සිටියි.

JR 2023

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය විපරම් කරනවිට පිළිගතහැකි හේතුවක් නිසා මැතිවරණයක් නොපවත්වන ලද එකම අවස්ථාව 1941දී පැවැත්විය යුතුව තිබුන තුන්වෙනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය කල්තබනු ලැබීමය. 1931 සහ 1936 වසරවල දී පළමු සහ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ පවත්වන ලද අතර, වසර පහක අවෑමෙන් ඊළඟ මැතිවරණය  කැඳවිය යුතුව තිබුණේ 1941 දීය. එහෙත් 1939 දී  දෙවැනි ලෝක මහා සංග්‍රාමයට බ්‍රිතාන්‍ය හවුල්වීමත් සමඟ ලංකාවත් යුද්ධයේ ගොදුරක් බවට පත්වූ අතර, එවකට යටත් විජිත පාලකයන් 1941 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය කැඳවීමට පියවර ගත්තේ නැත. පැවතුන යුද්ධය හමුවේ එම පියවර යුක්ති සහගත කරගැනීම අධිරාජ්‍ය පාලකයන්ට අපහසු කරුණක් ද නොවුනි.

ඡන්ද මගඩි ඉතිහාසය


මහජන ඡන්ද අයිතිය උදුරාගැනීම ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ අලුත් දේශපාලන සූදුවක් නොවේ. මහජන ඡන්ද අයිතිය අපවිත්‍ර කරනු ලැබීම  ස්වයං-පාලනයට අතගැසූ දවසේ පටන්ම ඔවුන් විසින් අනුගමනය කරන ලද pg9 4 5අපකීර්තිමත් උපාය වී ඇත. ඔවුන් ඡන්ද කොල්ලයට පුරුදු පුහුනුවුනේ නිදහස ලැබීමට පෙර පටන්ය. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස්වීමට පෙර(1931) ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබුනත් ප්‍රභූ පන්තිය මැරබලය පාවිච්චි කරමින්, කුල පීඩිතයන්ගේ දේශපාලන අයිතිය පාගා දමමින් මහජන ඡන්දය කොල්ල කෑ බව වාර්තා වී ඇත.


1936 මැතිවරණයේ දී සියපුතා වූ ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුලත් කර ගැනීමට එවකට දේශපාලන බලවතකුව සිටි ඩී.එස්. සේනානායක ප්‍රචන්ඩ බලය පාවිච්චි කළේය. විපක්ෂයේ ආධාරකරුවන් වැලක්වීමට සංවිධානාත්මක සහ සැලසුම් සහගත ආකාරයට පියවර තබමින් බලය පාවිච්චි කරන ලද පළමු බිහිසුණු මැතිවරණය ලෙස 1936 දැදිගම මැතිවරණය ඉතිහාසගතවී ඇත.

වතුකරය ඩී. එස්ගේ දේශපාලන ගිලටීනයට



1947 මැතිවරණයෙන් අනතුරුව අගමැති  ඩී.එස්. සේනානායකගේ ආණ්ඩුව විසින් මහජන ඡන්ද අයිතිය කාබාසිනියා කර දැමීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද ?  විපක්‍ෂයේ වාදභේද හේතුවෙන් අගමැති පදවිය ලබාගත් ඩොමීනියන් ලංකාවේ පළමු අගමැතිවරයා තම රටේ සුළු ජාතීන්ට සංග්‍රහ කළේ පුරවැසි පනත් දෙකක් සම්මත කරගනිමින් ඉන්දියානු සම්භවයක් සහිත ලක්ෂ ගණනක් දමිළ ජනයාගේ පුරවැසි අයිතිය සමග  ඡන්ද බලය අහිමිකර දැමීමෙනි.

අගමැති සේනානායක විසින් එවැනි පියවරක් ගන්නා ලද්දේ 1947 මහ මැතිවරණයේ දී කඳුකර කලාපයේ ඡන්ද කොට්ඨාශ අටකින් ඉන්දියානු සම්භවයක් සහිත දමිළ නායකයන් පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසා හටගත් දේශපාලන භීතිය හේතුවෙනි. දෙමළ අපේක්ෂකයන් ජග්‍රහණය කළ  ආසනවලට අතිරේකව තවත් ඡන්ද කොට්ඨාශ කීපයක ප්‍රතිපල මගින්ද වතුකරයේ දමිළ ජනතාවගේ දේශපාලන බලපෑම  ප්‍රදර්ශනය විය. දෙමළ ජනයාගේ විරෝධය පමණක් නොව වාමාංශික දේශපාලන පක්ෂ ඇතුළුව සිංහල පාර්ශ්වයෙන් එල්ල වූ විරෝධය පළමු සේනානායක ඇතුළු එවකට ආණ්ඩුවේ බැහැර කිරීමට ලක්විය.

D DS

අගමැති ඩී.එස්. සේනානායකගේ ඊනියා පුරවැසි පනත් මගින් පෙන්නුම් කෙරෙන්නේ වතුකරයේ හැඩගැසෙමින් තිබුණ වමට නැඹුරු කම්කරු  දේශපාලන ප්‍රවනතාව බව කිසිවකුට රහසක් නොවුණි. කම්කරු නායක එන්. ෂන්මුගදාසන් විසින් පසුකලක ඉතා නිවැරදිව තක්සේරු කරනලද පරිදි ''ප්‍රසිද්ධියේ කිසිදාක ජාතිවාදියකු නොවූ අගමැති ඩී.එස්. සේනානායක'' පාලක පන්තියට මුහුණ දීමට සිදුවෙන ඉදිරි දේශපාලන අනතුර කල්තබා තේරුම් ගනිමින් දමිළ වතුකම්කරු ජනයාගේ පුරවැසි අයිතිය අහිමි කරමින් ඔවුන් රටක් නොමැති අසරණ ජනතාවක් බවට ඇද දැම්මේය.

මහජන ඡන්ද අයිතිය උදුරා ගැනීම යනු රනිල් වික්‍රමසිංහ රඟ දක්වමින් රටට කියාසිටින ආකාරයට මැතිවරණ කොමිසමේ තාක්ෂණික දුර්වලතාවක් හෝ    දේශපාලන අහම්බයක් නොව අනතුර කල්තබා වටහා ගැනීමේ විපාකයක් බව පළමු අගමැතිවරයාගේ පුරවැසි පනත් ක්‍රියාවලිය තුළින් මෙන්ම අද පළාත් පාලන මැතිවරණයට ඇණය ගැසීම මගින්ද සනාථ වෙයි.


හොරු සමඟ හෙළුවෙන්


මහජන ඡන්ද අයිතිය උදුරා ගනිමින් රනිල් වික්‍රමසිංහ රඟ දක්වන විරූපී නාටකය මැතිවරණ කොමිසමේ තාක්ෂණික දුර්වලතාවක් හෝ අහම්බයක් නොව, පළමු අගමැති සේනානායක වාම අනතුරක් කල්තබා දකිමින් පුරවැසි පනත් සම්මත කරගනිමින් ක්‍රියාත්මක වූ ලෙසට වත්මන් දේශපාලන අනතුරක් කල්තබා වටහා ගැනීමෙන් ගන්නා ලද තීරණයක් බව පළාත් පාලන මැතිවරණයට ඇණය ගසමින් රනිල් සිදුකළ පාර්ලිමේන්තු ප්‍රකාශය මගින් සනාථ වෙයි.

රනිල්වාදියකු විසින් මෙම තක්සේරුව බැහැර කරනු ලැබීමේ ඉඩක් නැත්තේ නොවේ. එහෙත් ජනාධිපති වික්‍රමසිංහගේ මුවින්ම සැබෑ හේතුව එළියට ආවේ  ‘හොරු සමඟ හෙළුවෙන්’ නාට්‍ය ජවනිකාවක් සිහිපත් කරවමිනි. ඔහුගේ වචනයෙන්ම කියවමු.

‘’මේ මන්ත්‍රීතුමන්ලා කිව්වා ඡන්දෙ කල්දාන්න කියල. විපක්ෂෙ ඉල්ලුව ඡන්දෙ කල්දාන්න කියල. මට එව්වා පණිවිඩේ. මගෙන් ඉල්ලුව.
..හොඳයි, නැද්ද? තමුන්නාන්සෙත් ඉල්ලුව..තමුන්නාන්සෙත්... ඉල්ලුව, ඔබතුමාටත් කිව්වා නේද? ඔබතුමාටත් කිව්වා නේද? ඔබතුමාටත් කිව්වා නේද? …… ජනතා විමුක්ති පෙරමුණ වළක්වන්න ඡන්දෙ නවත්තන්න කියල කිව්වා. ඔබතුමා කිව්වා හෙලිකොප්ටරේ බාන්න බැහැයි කියල. තමුන්නාන්සෙත් ඉල්ලුව. හොඳයි, කිව්වේ නැද්ද? කිව්වා නේද?’’

‘’Shut up – sit down..’’(ජනාධිපතිවරයා විවාදය අතරතුර  තමන්ට බාධා කළ මන්ත්‍රීවරුන් නිහඬ කරමින් )

               

 
එසේනම්, ඔහුම පවසන පරිදි ජනාධිපතිවරයා  ඡන්දයක්  නොතියන තැනට කටයුතු කළේ පොදුජන පෙරමුණේ සහ විපක්ෂයේ එක්තරා කොටසක ඉල්ලීම සැලකිල්ලට ගනිමින්ද?


කෙසේවුවද, ජනාධිපති වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ප්‍රකාශය මගින් එක කරුණක් පැහැදිලිය. එනම්, ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය සහ ඔහුට රැකවරණ සලසන පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් දැවැන්ත දේශපාලන පරාජයක් ලබන බව ඔහු තේරුම්ගෙන ඇති බවය. ජනාධිපතිවරයා හරියටම තම මූලාශ්‍ර හෙළිනොකරමින් කළ ප්‍රකාශය ඇත්තක් නම්, සමගි ජන බලවේගය මෙන්ම 'හෙලිකොප්ටර් කණ්ඩායමත්' දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටියි. ඒවා ඇත්තනම්, වැඩි වාසිය සහිත කණ්ඩායම හැටියට ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ලැබී ඇති බුද්ධි අංශ වාර්තාවලින් පෙන්වන්නේ ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවකි.

                         


මාධ්‍ය වාර්තා අනුව ජාතික ජන බලවේගය කෙරෙහි මහජන අවධානය යොමුවෙමින් පවතින අතර ඔවුන් දේශපාලන වශයෙන් මෙම පළාත් පාලන ඡන්දයේ දී ඉදිරියෙන් සිටින ආකාරයක් ඕනෑම කෙනෙකුට දැනෙන කාරණයක් විය හැකිය. එහෙත් ඔවුන් ලබන එම ජනතා සහයෝගයේ තරම අප දකින්නේ අනුමානයෙනි. එම අනුමානය හරි හෝ වැරදි වන්නේ පළාත් පාලන ඡන්දය පැවත්වුනහොත් පමණි. එහෙත් දැන් සිදුව පවතින්නේ තවමත් අනුමාන මට්ටමේ පවතින ප්‍රවනතාවක් ජනාධිපති වික්‍රමසිංහ විසින් නියත ප්‍රතිපලයක් ලෙස ගනු ලැබ කල්තබාම ඡන්ද  මධ්‍යස්ථානවල දොරටු වසා දැමීමය.


අමතක නොවන පාඩම්


e140keරනිල් වික්‍රමසිංහගේ දේශපාලන භීතිය විසින් අප කැඳවාගෙන යනු ලබන්නේ අන් කිසිවක් කරා නොව රනිල්ගේ දේශපාලන ගුරුවරයා වන ජේ.ආර්. ජයවර්ධන විසින් 1982 වසරේ පැවැත්විය යුතු මහ මැතිවරණය නොපවත්වා ඊනියා ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකින් දීර්ඝ කර ගනිමින් සමස්ත රටකට මහා විනාශයක් අත්කර දුන් භීෂණ සමය වෙතයි.

 

එදා ජනාධිපති ජයවර්ධන කිසිදු පැකිලීමකින් තොරව කියාසිටියේ ''මැතිවරණයකට ගියහොත් 'නක්සලයිට් කණ්ඩායමක්' විසින් පාර්ලිමේන්තුව තුළ බලය අල්ලා ගැනීමේ අනතුරක් පැවති බවකි.’’ ජනාධිපති ජයවර්ධන ඔහුගේ වචන මගින් කියාසිටියේ  ''1982 ජනාධිපතිවරණයේ දී ඔහුට එරෙහිව තරඟ වැදුන හෙක්ටර් කොබ්බෑකඩුව වෙනුවෙන් පෙනීසිටි විජය කුමාරතුංග ඇතුළු නක්සලයිට් කණ්ඩායමට පාර්ලිමේන්තුවේ දොරටු වසා දැමීමක්'' සිදුකළ බවය.ජනාධිපති ජයවර්ධනගේ දේශපාලන භීතිය හෝ දේශපාලන පළිගැනීමේ චේතනාව හේතුවෙන් 1982 මහර අතුරු මැතිවරණයේ දී විජය කුමාරතුංග පරදින තෙක් (එසේ නැත්නම් සිය  එ.ජා.ප. අපේක්ෂක කමලවර්ණ ජයකොඩි ජයගන්නා තෙක්) ඡන්ද ගණන් කිරීම දවස් එකහමාරක පමණ කාලයක් නොනවත්වා දිගටම කරගෙන ගියේය.

ඉතින්,එදා ජනාධිපති ජයවර්ධන ඇතුළු ආණ්ඩුව විජය ඇතුළු බලවේගයට බියපත් ආකාරයටම අද රනිල් වික්‍රමසිංහ පාලනයත් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් තමන් පෙළෙන බිය අනුන් මත පටවමින් වෙනස් වචනවලින් සභාගත කළේය.



ප්‍රතිවිපාක අමිහිරියි


මහ මැතිවරණ මගහැර යාම ශ්‍රී ලාංකික සමාජයට අළුත් අත්දැකීමක් නොවනවා මෙන්ම එවැනි පියවර ගත් දේශපාලකයන්ට අත්වූ ඉරණමත් ඛේදවාචක වෙති. 1970 දී බලයට පත් පාර්ලිමේන්තුව 1975 දී විසුරුවා හරිමින් මැතිවරණයකට යා යුතුව තිබුනත්, අගමැතිනි සිරිමා බණ්ඩාරනායක ඊට පිටුපෑවේ 19782 පළමු ජනරජ ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රීය නොවන වගන්තියක් ඇතුළත් කර ගනිමිනි. වාමාංශිකයන් ද ඇතුළත් එම ආණ්ඩුවේ බලධාරීහු  පළමු ජනරජ ව්‍යවස්ථාව නීතිගත කරන ලද 1972 පටන් අවුරුදු පහකට ගණන් හදාගනිමින් අවුරුදු හතක කාලයක් පාර්ලිමේන්තු බලය භුක්ති වින්දෝය . ඒ අනුව පවත්වන ලද ඊළඟ  මැතිවරණයේ දී (1977) එම නායකයන්ගෙන් අතිබහුතරය පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තැබීමට මහජනතාව නොපසුබට විය.

1977 දී බලයට පත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගනිමින් (හතර වැනි ව්‍යවස්ථා සංශෝධනය) මෙහි ඉහත සඳහන් කරන ලද ජනමත විචාරණය මගින් තවත් වසර හයකට පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගත්තත් ඔහුට සිය දේශපාලන ජීවිතයේ අවසන් කාලය ගතකිරීමට සිදුවුනේ නිවාස සිර අඩස්සියේ තබන ලද තත්ත්වයකය.

උදාහරණ සඳහන් කරන්නේනම්, එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ආක්‍රමණ ලැයිස්තුව බොහෝ දීර්ඝ එකක් වනු ඇත. 1980 යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද පෙට්ටි කොල්ලයේ පටන් වයඹ පළාත්සභා මැතිවරණයේ මැරක්‍රියා ඇතුළත් දීර්ඝ සාපරාධී ක්‍රියා ලැයිස්තුවක් ඊට එක්වෙනු ඇත.


අවසානය කුමක්ද ? leviathan the matter forme power of a common wealth ecclesiastical and civill

 

ඉංග්‍රීසි සමාජ සම්මුතිවාදියකු වන තෝමස් හොබ්ස් ගේ සුප්‍රකට 'The Leviathan'(1651) කෘතියෙහි 'රාජ්‍යය' සාදෘෂ්‍ය කරන ලද්දේ බියකරු රකුසකු හෝ අද්භූත සත්වයකු සමඟය. හොබ්ස් විග්‍රහ කරන පරිදි ජනතාව පාලකයාට රාජ්‍ය බලය පැවරූ පසු ආපසු ලබාගැනීම කල නොහැක්කකි. තෝමස් හොබ්ස් සිය සමාජ සම්මුතිවාදී විග්‍රහය අනුව අනම්‍ය රාජ්‍යයක් නිර්මාණය කරන්නේ ඔහුගේ සමකාලීන ඉංග්‍රීසි සමාජයේ දේශපාලන වියවුල්වලට සමාන්තරවය. ඉන් අනතුරු අවධියේ ස්ථානගත වන්නේ රූසෝ සහ වෙනත් දේශපාලන දාර්ශනිකයන් සහ බලය සංවර කරනු ලැබීමට අදාළ න්‍යාය ධර්මයන්ය.


පුරවැසි මනාපයෙන් පදවියට පත්නොවුනත් පූර්ණ විධායක බලතල ආරෝපණය කරගත් රාජ්‍ය නායකයකු හැටියට රනිල් වික්‍රමසිංහගේ හැසිරීම මගින් පෙන්නුම් කරනු ලබන්නේ කුමක්ද? තෝමස් හොබ්ස් විසින් සංකේතවත් කරන සකලවිධ බලතල තමන් මත ආරෝපණය කර ගත් ඒකාධිකාරී පාලකයා 'දේශපාලන මෘගයකු'  බවට පත්වෙන බවද? සංවරණ සහ තුලන (Check and balance) මූලධර්මය අගුපිලට විසිකර දමමින් නිර්මාණය කරන ලද 1978 ජයවර්ධන ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති බලතල නිර්දය විවේචනයට ලක්කරමින් ආචාර්ය එන්. එම්. පෙරේරා විසින් කරන ලද විශ්ලේෂණය මගේ වචනයෙන් මෙහි ඇතුළත් කරමි.

 
''අසීමිත බලතල සමුදායකට හිමිකම් කියන මෙම විධායක ජනාධිපති පදවියට උන්මත්තකයකු පත්වුවහොත් ඉදිරි ප්‍රතිවිපාක කුමක්විය හැකිද?''

 
upali Gajanayake new

 

 

 


(උපාලි ගජනායක)
බීබීසී සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්