ලංකා දේශපාලනය අද පවතින්නේ ඉතා භයානක අවධියක බව මගේ වැටහීමයි.

වසර ගණනාවක් තිස්සේ ආර්ථික, සමාජ මෙන්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින රට එම අර්බුදයට ගෙනයාමට වගකිවයුතු අයට එරෙහිව නැගී සිටි බලවේගයන් පැත්තකට තල්ලු කරමින් පැරණි දූෂිත බලවේග ම වෙනත් ස්වරූපයකින් තිබුණාටත් වඩා නරක ආකාරයකින් බලය තම අතට ගෙන ඇති බව මගේ වැටහීමයි.

පසුගාමී දූෂිත රාජපක්ෂ කණ්ඩායම අත තිබූ දේශපාලන බලයට එරෙහිව රටෙහි ජනතාවගෙන් පැන නැගුණු විරෝධතාවය හමුවේ රාජපක්ෂලා ජනතා විරෝධී පසුගාමී ගතානුගතිකවාදී රනිල් සමග සන්ධාන ගත විය. එතුලින් සිදු වූයේ ජනතා බලය ඉදිරියේ ඇද වැටී සිටි අධිපති අධිකාරී බලවේග නැවත බලය තම අත සුරක්ෂිත කර ගැනීමයි.  

අද එය හැඩ ගස්වා තිබෙන්නේ එහි පෙනුම සහ මුහුණුවර හැඩයෙන් වෙනත් ස්වරූපයක් පෙන්නුම් කරමිනි. එනම් රාජපක්ෂ පසුගාමී කල්ලිය අත තිබූ බලය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් වෙනත් මූණක් පෙන්වමින් මතුව තිබීමයි.

පළමු අවස්ථාවේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂලා විසින් රනිල් වික්‍රමසිංහට අගමැතිකම පවරන විට එයට එරෙහි වීමේ ක්‍රියාදාමයක් පෙරට නොගැනීමේ ප්‍රතිවිපාකය අද විඳවන්නට සිදුවී තිබේ. එදා කල යුතුවල තිබුණේ එවැනි බල හුවමාරුවකට ඉඩ නොලැබෙන පරිදි අරගලය තීව්‍ර කිරීමයි. එහි විපාකය වූයේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලියේ පෙරමුණු සටන්කරු ලෙස ජනාධිපති බවට පත්වීමයි.



මා  විශ්වාස කරන්නේ ලංකාවේ ඉදිරිගාමී දේශපාලන බලවේගයන් රට විනාශ කළ දේශපාලන බලාධිකාරය ට එරෙහි වූවා වුවත් රට ගමන් කරවිය යුතු තැන කුමක්ද යන්න වටහා ගෙන නොතිබුණු බවයි. එසේ නොවී නම් එදා රාජපක්ෂ කල්ලිය තම පෙරගමන්කරුවා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරාගන්න මොහොතේ එක හඬින් එයට විරුද්ධ වී, ඒ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගැනීමේ විභවයක් බවට පත් කර ගැනීමට අවස්ථාව කරගත යුතුව තිබුණි.

 

එසේ නමුත් ලංකා දේශපාලනයේ ප්‍රගතිශීලී බලවේග මෙන්ම රාජපක්ෂ විරෝධී සියලු දේශපාලන බලවේග වැරදි දේශපාලනයට විරුද්ධ වෙනවා මිස තමන් යායුතු ඉලක්කය කුමක්ද යන්න හරියට වටහා ගෙන තිබුණේද යන්නත් ඒ සඳහා සාමූහික ක්‍රියාදාමයක අවශ්‍යතාවය තේරුම් ගෙන තිබුණේද යන්නත් අප හැම කල්පනා කළ යුතු කරුණකි.

අවසානයේ දී රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කණ්ඩායමේ නායකයා ලෙස පැරණි කූඨ මජර දේශපාලනය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් අනුගමනය කරමින් සිටී. ජනතාව දේශපාලන වශයෙන් අවදිවනවාට එරෙහිව සියලු ප්‍රතිගාමී බලවේග එකට සන්ධාන ගත වී ඇත.

කැරට් අලයේ දේශපාලන, රනිල් වික්‍රමසිංහගේ උපක්‍රම වලින් එකක් බව පැහැදිලිය. පසුගිය කාලයේ පලාත් පාලන ඡන්ද පිළිබඳව අදහසක් ඉදිරිපත් කරමින් සියලුම දේශපාලන පක්ෂවල සහ දේශපාලන බලවේග වල අවධානය ඒ දෙසට යොමු කරවනු ලැබීය. ඒ තමන් එවැනි ඡන්දයකට යාමේ අරමුනින් නොවේ.  ඔහුගේ ක්‍රියාදාමයන් මේ ඡන්දය පිළිබඳ ව කිසි තැකීමකින් තොරව කරගෙන යන අතර අනෙකුත් දේශපාලන බලවේග ඔහුගේ කැරට් අලේ එල්ලී ඒ දෙස බලාගෙන ගමන් කරවනු ලැබීය. අන්තිමට අවස්ථාව පැමිණුනු මොහොතේ ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේ “කල්දාන්න ඡන්දයක් කොහෙද තියෙන්නෙ” කියායි.

 

මේ දෙවන අවස්ථාවේදී ද සියලු දෙනා තුෂ්ණිම්භූතව බලා ගෙන සිටියා මිස ඔහුගේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා දාමය පැරදවීමට සියලු බලවේග එකතැනකට ගනිමින් මෙම කූට බල දේශපාලනය පෙරළා දැමීමට එය අවස්ථාවක් කර ගන්නවා වෙනුවට ඈලි මෑලි දුබල ගතියකින් තනි තනිව විරෝධතා හෝ යම් යම් ප්‍රකාශයක් නිකුත් කරමින් බලාගෙන සිටියේය.



කළ යුතුව තිබුණේ නැවත සියලු ම ජන කණ්ඩායම් සහ ජනතාව පාරට ගෙන ඡන්දය පැවැත්වීම සඳහා රජයට බලපෑම් කිරීමයි. නමුත් මීට ඉහතින් සිදු වූවා සේම, සිදු කළා සේම අපේ දේශපාලන පක්ෂ සහ බලවේග වලට තමන් යා යුතු අරමුණ පිලිබඳ නිශ්චිත භාවයක් නොතිබූ  හෙයින් සහ විශේෂයෙන්ම සාමූහික දේශපාලන ක්‍රියාකාරිත්වයන් පිළිබඳව අදහසක් නොතිබූ බැවින් විවිධ කතා කියමින් යම් යම් ප්‍රකාශයන් කරමින් කල් බැලීය.

අන්තිමට සිදු වූයේ ඡන්දය පිළිබද අද වන විට කතාවක් නැති තත්ත්වයට පත්ව තිබීමයි. ඒ වෙනුවට අද කතා කරමින් පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන ණය පිළිබඳ කාරණයයි. එසේ ජාත්‍යන්තරව ලබා ගන්නා යම් නය සහනයන් තුළින් රටක්ම ණයකරුවන් වූවා වුවත් ජනතාවගෙන් කුඩා කොටසක් රනිල් වික්‍රමසිංහගේ මේ කූට උපායන් තුළ සතුටින් සිටිනු පෙනේ.



දැන් කියවෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් දෙන ණය ගැනීමට අවශ්‍ය කොන්දේසි සැපයීමේ කාර්ය ගැනයි. සියලුම දේශපාලන බලවේග සහ පක්ෂ අද කතා කරමින් සිටින්නේ මේ කාරණය ගැන වන අතර ඇත්තෙන්ම කතා කළ යුතු ‍ප්‍රධාන ප්‍රශ්නය වන කූට ධනවාදී බලඅධිකාරය එලවීම පිළිබඳ අදහස මග හැරී තිබෙන බව මගේ අදහසය.



ලංකා ආණ්ඩුව නැතිනම් අද දේශපාලනය බලයේ සිටින කණ්ඩායම් විසින් ලෝකය පුරා ගෙන ඇති ණයවල ප්‍රමාණය ඩොලර් බිලියන 50 ඉක්මවන බව අපි දන්නෙමු. එසේ ණය මුදල් වරින් වර ගත්තා වුවත් එම මුදල් වලට සිදු වූ දෙයක් හෝ ඒවායින් කළ දෙයක් රට තුළ ඉතුරුව නොමැත.

ඒවාගේම එසේ ණය වී තිබුනා වුවත් රට බංකොලොත් වී හමාරය. ඒ සියල්ල සිදුවූයේ  අදටත් බලයේ සිටින දේශපාලන බලධරයින් යටතේ බව අප අමතක නොකළ යුතුය. ඩොලර් බිලියන 50ක් වරින් වර ණය ගෙන කල දෙයක් නැත. එම මුදල් නාස්ති කර ඇත. යටිමඩි ගසා ඇත. මෙම නාස්තිකාර කණ්ඩායමට තවත් ණය ගත්තා යයි ප්‍රශ්නය විසඳිය හැකිද?

අප ඇසිය යුතු ප්‍රශ්නය එයයි.

නමුත් අප අපට ණය දීමට මොන කොන්දේසි මත හෝ සූදානම් වෙන ණය දෙන්නාටම චෝදනා කිරීම වෙනුවට අපි චෝදනා කළ යුතු වන්නේ අද බලයේ සිටින මෙම කූට ජාවාරම්කාර ධනපති කල්ලියට නොවේද? එසේනම් ඔවුන්ව බලයේ තබා ගැනීමට ඉඩ දී බලා සිටින රටෙහි සියලු දේශපාලන බලවේග යම් දුරකට හෝ මෙම වැරදිකරුවන් නොවන්නේද?  

සිදු විය යුත්තේ මෙම වැරදි දේශපාලන කූට ධනවාදී කල්ලිය බලයෙන් පහ කිරීමයි. ඒ සඳහා ජනතාව පෙරට ගැනීමයි. එසේ නැතුව අපට ණයක් දෙන්නට සූදානම් වන්නාට චෝදනා කිරීමෙන් පමණක් ප්‍රයෝජනයක් තිබේද? ඔවුන්ගේ මොන වැරදි තිබුණත් ඔවුන් අපට දෙන්නට යන්නේ අප ඉල්ලන ණයකි. අප අපේ වරද දකිනු වෙනුවට වෙන අයකුගේ වරද දැකීමට පුරුදුව ඇත්තෙමු.



ලාංකිකයින්ට ඇති තවත් එක ප්‍රශ්නයක් නම් ලෝකයෙන් ඉගෙන ගැනීමට අප සූදානම් නැතිකම යැයි මම සිතමි. අද ලංකා දේශපාලකයින් ලෝකය දෙස ඇස් ඇර බලනවා නම් ඔවුනට ලොව විවිධ රටවල වැරදි දේශපාලන බලාධිකාරයන් ට එරෙහිව, තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට ජනතාව බල ගැන්වී ඇති ආකාරය, සියලු බලවේග එක්ව මහ පාරට විත් ඇති ආකාරය, දිගින් දිගටම ඒවාට එරෙහිව බලපෑම් කරන ආකාරය දැකිය හැකිය. නමුත් අප ලෝකයෙන් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත.



ඊශ්‍රායලයේ නෙතන්යාහු රජය විසින් අධිකරණයේ බලය කප්පාදු කිරීමට සම්මත කිරීමට ඊයේ පෙරේදා ගෙන ආ නීති විරෝධී පනතට එරෙහිව පාරට බට ජනතාව දිගින් දිගටම කළ උද්ඝෝෂණයන් වල ප්‍රතිඵලයක් ලෙස නෙතන්යාහු රජයට එම පනත ඉවත් කර ගැනීමට සිදුවිය. එයින් නොනැවතී මහජනයා මේ වන විට මිලියන ගණනින් මහපාරේ උද්ඝෝෂණ කරන්නේ නෙතන්යාහු රජයට ඉවත්ව යන ලෙසයි. ඒවායින් අප යමක් ඉගෙන ගන්නවා ද යන්න අප රටෙහි දේශපාලන බලවේග දේශපාලන පක්ෂ ඒවා මෙහෙයවන අය ඒවායින් යමක් ඉගෙන ගන්නවා ද යන්න අප කල්පනා කළ යුතුය. එවැනි අත්දැකීම් වලින් ඉගෙන ගත යුතුය.

අප දේශපාලන බලවේගයන් අද එකට එක් වී මෙම කූට කල්ලියෙ හි බල ව්‍යාපෘතිය බිඳ නොදමන්නේ නම් හෙට ලංකාව මීට වඩා බිය ජනක තත්ත්වයකට ගමන් කරනු නොඅනුමානය.

අප පුරුදුව ඇත්තේ තනි තනිව සටන් කර තනි තනිව විනාශ වීමට මිස එක්ව සටන් කර පොදුවේ ජයග්‍රහණය කිරීමට නො වන බව අපි තවදුරටත් තහවුරු කරමින් සිටිමු. ඒ අන් කිසිවක් නිසා නොව අප තුළ ඇති තමන් පමණක් රජුන් වීමේ තණ්හාව නිසා බව මගේ වැටහීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයට මුවා වෙමින් අද රනිල් වික්‍රමසිංහ කරමින් සිටින්නේ රාජ්‍ය දේපල තම හිතවතුන්ට හෝ තමන්ගේ කොටස්වලට අයිති කර ගැනීමට ඉඩ ලබා දෙන (crony capitalism) කූට ධනවාදී ක්‍රියාදාමයයි.

දැන් අප තුන්වැනි අවස්ථාවට පැමිණ ඇත්තමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුවාවෙමින් ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් සම්මත කිරීමේ කූට උපායක රනිල් වික්‍රමසිංහ යෙදී සිටි. මෙම යෝජිත ත්‍රස්ත විරෝධී පනත ‍ප්‍රජාතන්ත්‍රවාදයේ යම්කිසි හෝ අයිතියක් රට තුළ තිබේ නම් එය නැත්තට නැති කිරීමේ උපායකි. ගෙන ඒමට උත්සාහ කරන්න ත්‍රස්ත විරෝධී පනත තුළින් කරනු ලබන්නේ ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති  මූලික අයිතිවාසිකම් වන කතා කිරීමේ, සංවිධානය වීමේ ආදී සියලු අයිතීන් ‍ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස නම් කිරීමයි. ආණ්ඩුවට එරෙහි සියලු ම ආකාරයේ දේශපාලනයන් ජනාධිපතිවරයා කැමති ආකාරයට ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම් කර ජනයා අත්අඩංගුවට ගැනීමට මග පාදා ගැනීමයි. එනම් අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට එමගින් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්කිරීමයි.



ඒකාධිපති වියරුවකින් පෙළෙන වික්‍රමසිංහ මෙම පනත ගෙන ඒමෙන් කරන්නට උත්සාහ කරන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම හෙලීමයි.  ජාත්‍යන්තරයට ඔහු කියා සිටින්නේ මෙම පනත ගෙන එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම නිසා බවයි. එ මෙම පනතට එරෙහිව ජාත්‍යන්තරව නැගෙන හඬ ඒ තුළ යටපත් කිරීමේ අරමුණිනි. අනෙක් අතින් ඒකාධිපති “පොලිස් රාජ්‍යයක්” ගොඩනගා ගැනීමේ ප්‍රතිගාමි කූට චේතනාව එනම් සියලුම ජනතා නැගිටීම් කුඩුපට්ටම් කිරීම  අරමුණයි.



මෙය පැහැදිලිවම පොලිස් රාජ්‍යයක් ඇති කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වීමකි. දැන් මේ මොහොතේ මෙයට එරෙහිව මහ පාරේ උද්ඝෝෂණ තුළිනුත් නීතිය ඉදිරියේ අභියෝග කිරීම තුළිනුත් මෙය ගෙන ඒම වැළැක්වීමට නොහැකි වූවවොත් හෙට ප්‍රමාද වී වැඩි වනු ඇත. හෙට ඒ ගැන කතා කිරීමම නීති විරෝධී ක්‍රියාවකි. ත්‍රස්තවාදී ක්‍රියාවකි.

එනිසා අද රටේ පවතින සියලු ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී දේශපාලන බලවේගයන්, සිවිල් සමාජය සහ වෘත්තිය සමිති ඇතුලු සියලු කණ්ඩායම් එක මිටකට එක්වී මෙම පනත ගෙන ඒම වැළැක්වීමට ක්‍රියාත්මක නොවුණහොත් ඔවුනට සිදුවන්නේ පොලිස් රාජ්‍යයක් තුළ මුව වසාගෙන තුෂ්ණිම්භූත බලා සිටීමටයි.

එනිසා අද මෙම තුන්වැනි අවස්ථාවේ වත් රටෙහි දේශපාලන බලවේග මේ ඇතිවී ඇති භයානක තත්ත්වයෙන් මිදීමට එකට එක්වේවා යි මගේ පැතුමයි. එක් වීමට බුද්ධිය ලැබේවා යි මගේ පැතුමයි.

වීදි බැස මහපාරේ උද්ඝෝෂණ කිරීම ජනතාවගේ සටන් ක්‍රමවේදයයි. මහපාරේ උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අයිතියි.


ranjith henayakaarachchi(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

04.04.2023

 
 
 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්