මලික් තුසිත ගුණරත්නගෙ පළමු කෙටිකතා සංග්‍රහය නිකුත් වෙන්නෙ 1997 වසරෙ. ඒ, ‘‘ප්‍රේම ආතුරයන්ගෙ කතාව’’ නමැති කෙටිකතා සංග්‍රහය.

අනතුරව ඔහු 2006 වසරෙ ‘‘සඳරේඛා’’ නමැති කෙටිකතා සංග්‍රහය පාඨක ප්‍රජාව අතරට පත් කරනවා. ඔහුගෙ තෙවන කෙටිකතා සංග්‍රහය නිකුත් වෙන්නෙ 2009 වසරෙ. ඔහු එය නම් කරන්නෙ ‘‘රත්තරන් දත’’ යන මැයෙන්. හතරවන කෙටිකතා සංග්‍රහය නිකුත් වෙන්නෙ 2012 වසරෙ. එය නම් කරන්නෙ ‘‘චන්දරේ! මචාං!! යන මැයෙන්.

kiththa baisikale wikka malik thusitha gunarathna 228x228ඔහුගෙ පස්වන කෙටිකතා සංගහය තමයි ‘‘කිත්තා බයිසිකලේ වික්කා’’ මේ කෘතිය නිකුත් වෙන්නෙ 2014 වසරෙ. ඒ කෘතිය 2015 වසරෙ පවත්වපු ගොඩගේ ජාතික සම්මාන නිර්දේශිත කෘතික් ලෙස නම් කෙරෙනවා. ඒ එක්ක ම මේ කෘතිය 2015 වසරෙ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යංශය සමක එකතු වෙලා සංවිධානය කරපු ‘කියවන්නෝ දිනන්නෝ’ තරගයට අදාළ කරගෙන සරසවි ශිෂ්‍ය ප්‍රජාවට කියවන්න කියල නිර්දේශ කරනවා.

samanayaතුසිත ඔහුගෙ හයවන කෙටිකතා සංග්‍රහය වන ‘‘සමනයා’’ කෘතිය නිකුත් කරන්නෙ 2019 වසරෙ.

1997 වසරෙ අරම්භ කරපු මේ ගමනෙදි 2019 වසර වෙද්දි... ඒ කියන්නෙ වසර දහනවයක් අතරතුර ඔහු කෙටිකතා සංග්‍රහ හයක් නිකුත් කරනවා. 2022 වසරෙදි තමයි ඔහුගෙ අභිනව කෙටිකතා සංග්‍රහය වුණ ‘‘ලොකු ‘ර’ යන්න’’ නිකුත් කරන්නෙ.

පසුගිය දවසක මම තුසිතට කතා කරේ වෙනත් වුවමනාවකට. ඒ වෙලාවෙ තමයි තුසිත කිව්වෙ ‘‘ලොකු ‘ර’ යන්න’’ ගැන Zoom සාකච්ඡාවක් 18 තියෙනව පුළුවන් නම් සහභාගි වෙන්න කියල. ඇත්තට ම මම පොත කියවලා නොතිබුණ නිසා ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරා. හැබැයි පැයක් ඇතුළත තුසිත මට කෘතියෙ PDF පිටපතක් Mail කරා. ඒ මට මතක විදියට පසු ගිය ඉරිද හෝ සඳුද (02 හෝ 03) වෙන්න ඕන. හැබැයි මම හිතුවෙ නැහැ මට මේ වැඩේට සම්පත් දායකයෙක් විදියට සම්බන්ධ වෙන්න ලැබෙයි කියල. නමුත් අඟහරුවාදා හෝ බදාදා අදාළ වැඩසටහන ගැන FB එකේ පළ කරපු පෝස්ට් එකක සම්පත් දායකයෙක් විදියට මගේ නමත් තිබුණම මම ආයෙත් තුසිතට කතා කරල කිව්ව මම තවමත් පොත කියවල නෑ කියල. ඒකට තුසිත දීපු උත්තරේ වුණේ ඉක්මනට කියවල වැඩේට සහබාගි වෙන්න කියල. ඒ නිසා පොත කියවලා මගේ අදහස්ටික කියන්න ඊයෙ (08) තිබුණ වැඩසටහනට සහභාගි වුණා. ඇත්තට ම කියන්න කනගාටුයි වැඩේට සහභාගි වෙලා තිබුණෙ දෑතෙ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක්. නමුත් ඒ පිරිසත් එක්ක සාර්ථක සාකච්ඡාවක් කෙරුණ. ඒක වෙනම කාරණාවක්. නමුත් මම හිතුව ‘‘ලොකු ‘ර’ යන්න’’ මගේ කියවීම තව වැඩි පිරිසක් එක්ක බෙදාගන්න ඕන කියල.  
 


මතු දැක්වෙන්නෙ ඒ අදහස් ගොන්න. එහෙමත් නැතිනම් ‘‘ලොකු ‘ර’ යන්න’’ ගැන මගේ විමංසනය.    

අර වැඩේ මොකද පුතේ...?

කතුවරය මේ කතාවෙ ඉම් කිහිපයක් ම ස්පර්ශ කරනව.
 
අපි හැමෝට ම හීන තියෙනව. ඒ වගේ ම ඒ හීන හැබෑ කරගන්න හුඟක් මහන්සි වෙනව. ජීවිතේ එක් සැතපුම් කණුවක් ළඟදි මවපු හීනෙට ළඟා වෙන්න බැරි වුණා ම හීනෙ වෙනස් කරගන්නව; ලොකු හීනෙ මධ්‍යම ප්‍රමාණෙට ගන්නව. තව ටිකක් ජීවන කණු පහු කරද්දි ඒ මධ්‍යම ප්‍රමාණෙ හීනෙ තවත් කුඩා කරගන්නව. දිගින් දිගට ම හීනෙ හැබෑ කරගන්න ම උත්සාහ කරනව. මේ නිර්මාණයේ ඉන්න සුනේත්‍රත් එහෙම කෙනෙක්.
තවත් පිරිසක් ජීවිත ගමනෙ එක සැතපුම් කණුවක් ළඟදි හීන දැකල, තව කණු කිපයක් පහු කරල යද්දි ඒ හීන හැබැ කරගෙන ඒකෙ ඉහළට ම යන්න උත්සාහ කරනව. ෂෙනු කියන්නෙ එහෙම කෙනෙක්.

තවත් අය ඉන්නව එයාල දකින්නෙ සාමාන්‍ය හීන. ඒක අසීරුවෙන් හරි හැබෑ කරගත්තට පස්සෙ ආයෙ වෙන හින පස්සෙ දුවන්නෙ නෑ. ඒ හීනෙං නතර වෙනව ඉමේෂ කියන්නෙ එහෙම කෙනෙක්.

කතුවරය චරිත තුනක හීන ගැන කියන අතර ම නූතන පරම්පරාව වැලඳගන්න උත්සාහ කරන විවිධ සමාජ බලපෑම් ගැනත් කතා කරනව. හිතන්න...ඇත්තට ම ඉමේෂ ජිම් ගියේ ඉමේෂගෙ වුවමනාවට ද...? සුනේත්‍ර ජිම් ගියේ සුනේත්‍රගෙ වුවමනාවට ද...? නෑ... මේ දෙන්න ම ජිම් ගියේ අනෙකෙකුගෙ වුවමනාවට; ඒ අනෙකා සතුටු කරන්න. මං හිතන්නෙ කතුවරය අපිට කියන්නෙ අනෙකාට බම්බු ගහගන්න කියල තමන් තමන්ට ඕන විදියට හැදෙන්න කියල; තමන් තමන්ගෙ ගමන යන්න කියල

Good Morning
 
magritte 300x210
මිනිස්සුන්ගෙ ජීවිතේ ඒකාකාරි වෙද්දි ඒ අයට ජීවිතේ ගැන කලකිරීමක් ඇති වෙනව. ඒ වගේ ම කලකිරීමක් තමයි මේ නිර්මාණයේ ඉන්න සුරේනිගෙ මනසටත් වද දෙන්නෙ. හැබැයි ඒක කඩන්න පුළුවන් විදියක් තියනව. ඒ තමයි චන්නගෙ ඇමතුම. චන්න කවදාවත් Good Morning නොකියන එක ම තමයි සුරේනි චන්න කෙරෙහි බැඳෙන්නෙ. ඒකෙන් පැහැදිලියි සුරෙනි වෙනසක් බලාපොරොත්තු වෙන බව; ඒකාකාරිත්වයෙන් මිදෙන්න කැමති බව

මෙතනදි කතුවරය හරි ප්‍රබල මානව හැඟීමක් මතු කරනව. ඒ තමයි ලිංගික සතුට. සුරේනිටයි කමල්ටයි තමන්ගෙ ගෙදරදි මොකක් හෝ ඒතුවක් නිසා ලිංගික තෘප්තිය ලබාගන්න තරං අවස්ථාවක් නෑ. ඇත්ත... දරුවො හතරදෙනෙකුගෙ වැඩයි මිනිහගෙ වැඩයි කරන්න ගියාම සුරේනිට වුනත් ලිංගික සතුට ඉල්ලගන්නවත් හිතෙන්නෙ නැතුව ඇති. හැබැයි සුරේනි කල් යල් බලල චන්න එක්ක ගිහින් ඒ සතුට ලැබුවට පස්සෙ කොහොමද සුරේනිගෙ මානසික පීඩාව පහව යන විදිය; කමල්ව වුනත් ආයෙ ලිංගික සම්භෝගයට පොළඹවාගන්න පුළුවන් වෙන විදිය. ඒ තමයි පවුල් කුටුම්බ ඇතුළෙ පවතින යථාර්ථය.
 
අනෙක් පැත්තෙන් ගත්තම ඇත්තට ම මේක තමයි ලයිෆ් එකේ රියල් එක. මේක සිග්මන් ෆ්‍රොයිඩ් හරි ලස්නට විග්‍රහ කරල තියෙනව. එයා කියනව ඕනම සැමියෙකුටයි බිරිඳකටයි ජීවිතේ එක්තරා කාල සීමාවකදි තමන්ගෙ ම සෙක්ස් ලයිෆ් එක අමතක වෙනව කියල. එයා කියන්නෙ ඇත්තට ම අමතක වෙනව නෙවෙයි නීරස වෙනව කියල. එතනදි එයා කියන්නෙ එක්කො මේ දෙන්න ටික කාලයක් වෙනම ම ඉඳල ආයෙ නැවුම් වෙන්න ඕන කියල. එහෙම නැත්නම් දෙන්න ම පිටස්තර සම්බන්ධයකට යන්න ඕන කියල. ඒ ඛණ්ඩනය තමයි සුරේනි සහ චන්න අතර වෙන්නෙ. කතුවරය මෙතනදි කමල්ගෙ පාර්ශ්වයෙන් එහෙම යමක් ඉදිරිපත් නොකරට බොහෝ විට කමල්ටත් එහෙම සහකාරියක් ඉන්න ඇති. ඒක මගේ උපකල්පනයක්.
ඊළඟට කතුවරය මතු කරන්නෙ ඒකෙම දෙවෙනි පියවර. ඒ කියන්නෙ හැමදාම තමංට Good Morning කියපු දරුවන්ට පවා ජීවිතේ එක් අවධියකදි ඒක වහකදුරු වෙන බව. මේකත් ජීවිතේ රියල් එකක්. මෙන්න මේ රියල් එක කතුවරය හරියට ම අල්ලගන්නව. ඒක මොන තරම් දුරට සංස්කෘතික ද, එහෙම නැතිනං අසංස්කෘතික ද, සදාචාරවාදී ද කියන එක නෙවෙයි බලන්න ඕනෙ. ඒ මිනිස් ජීවිතේ හැංගිලා තියෙන ගූඪත්වය මතු කරන එක. කතුවරය ඒක ඉතා මැනවින් කරල තියෙනව.

මේ කතාව සුනේත්‍රගෙයි, කමල්ගෙයි, ඒ දෙන්නගෙ දරුවන්ගෙයි චන්නගෙයි කතාව විතරක් නෙවෙයි. අපි හැමෝගෙ ම කතාව. අපි කවුරුවත් පිළිගන්න අකමැති, ප්‍රකාශ කරන්න අකමැති ඇත්ත කතාව. අපි හැමෝට ම පුළුවන් නම් මේ වගේ නිර්මාණයක් කියවල හරි මේ ඇත්ත වටහාගන්න. අන්න එතනදි කතුවරය දිනුම්. හැබැයි කතුවරය වුනත් මේ ඇත්ත ඒ විදියට ම දකින්න ඕන සහ පිළිගන්න ඕන. ඒ වගේ ම ප්‍රායෝගික තලයෙදිත් එහෙම ම වෙන්න ඕන. මං දන්නෑ ඒ යථාර්ථයට මූණ දෙන්න නිර්මාණ කරන පුද්ගලයො වුනත් කැමති ද කියල. එහෙම කැමති නම් මරු.

කවිය ඔබ

මම දකින විදියට මේ කෙටිකතාවෙ කෙටිකතා ලක්ෂණ අඩුයි. වැඩි වැඩියෙන් දැනෙන්නෙ නවකතාමය ස්වරුපයක්. ඒ එක්ක ම මේ නිර්මාණෙ තව විශේෂත්වයක් තියෙනවා. ඒක මං මෙහෙම කියන්නං.
 
කවියේ නව මාන සොයන 'සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්' - (ජයසිරි අලවත්ත)
 
මලික් තුසිත ගුණරත්න
 
මට මලික් මුලින්ම හම්බ වෙන්නෙ කෙටිකතාකරුවෙක් විදියට. මං මේ කියන්නෙ මලික් තුසිත කියන භෞතික ශරීරය නෙවෙයි. සාහිත්‍යකරුවා. ඊට පස්සෙ නවකතාකරුවෙක් විදියට. ඊටත් පස්සෙ තමයි මට මලික් තුසිත කියන කවිය හම්බවෙන්නෙ. මං මේ කියන්නෙ මට සම්මුඛ වුණ විදිය. මේ කෙටිකතාව ඇතුළෙ මං මේ කියපු තුන් දෙනා ම ඉන්නව. ඒක හරිම සුවිශේෂයි.

මේ කතාවෙ ප්‍රස්තුත දෙකක් තියෙනව. ඒ එක ප්‍රස්තුතයක් නං අපි අනන්තවත් කියල තියෙන ප්‍රස්තුතයක්. ඒ කියන්නෙ... ප්‍රේමය, වියෝගය, ප්‍රේමයට දෙමාපියන්ගෙන් එල්ල වෙන බලපැම්. ඊට පස්සෙ විවාහ නොවී ඉන්න එක. ඊටත් පස්සෙ අවිවාහක පුද්ගලයගේ දේපළ එයාගෙ සහෝදරයෙකුගෙ හරි සහෝදරියකගෙ හරි දරුවන්ට ලියන එක. ඒව අපි අනන්තවත් කියවල තියෙනව.
 
අපි අනෙක් ප්‍රස්තුතය ගමු. ඒක වැදගත්. ඇත්ත... සමහර ආචාර්ය මහාචාර්යවරු ඉන්නව සමහර වචන, අදහස්, සංකල්ප, අත්දැකීම් අයිති ඒ සම්බන්ධයෙන් පළමුවෙන් ලියපු කෙනාට විතරයි කියල හිතෙන. කතුවරය පරාක්‍රම කොඩිතවක්කුගෙ කවියට සමපාත කවිය ගැන කතා කරද්දි පරාක්‍රම භාවිත කරපු වචන ඒ විදියට ම පාවිච්චි කරපු එක හැරුණ ම අනෙක් කිසිම තැනක විජේවික්‍රම කියන කවියගෙ අනන්‍යතාවට හානි වෙලා නෑ. හැබැයි මේක කියවල කවි ලියන අයටත් යම් අදහසක් ගන්න පුළුවන්. එක ම ප්‍රස්තුතය වුනත් වෙනත් වචනවලින් ලියන්න පුළුවන් වෙන්න ඕන; වෙනස් ආකෘතියකින් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න එතනදි නම් මහාචාර්යවරය වැරැදි නෑ. ඒ වගේ ම කවියා වැරදිත් නෑ. ඒකට ඔහු උදාහරණයකුත් දෙනව නෙ... රුවන් බන්දුජීවගෙ කවියට සමපාත කවිය තමයි හොඳම උදාහරණය. ඇත්තට ම එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියල විජේවික්‍රමගෙ කවිය ප්‍රතික්ෂේප කරන්න අපිට බෑ. ඒ වගේ ම නව්‍යමය නිර්මාණයක් කියල බාරගන්නත් අපිට බෑ.
කාහොම වෙතත් අවසානෙදි විජේවික්‍රමගෙ කවි විදියට එළියට එන්නෙ හුදෙක් ආදරය ගැන ලියවුණ කවි සහ මහාචාර්යවරය අනුමත කරපු කවි විතරයි නෙ. ඇත්තට ම මේක හරිම අසාධාරණයක් නෙ. මට හිතෙන්නෙ කතුවරය ඒ අසාධාරණය තමන්ගෙ නිර්මාණයක් තුළින් ඉදිරිපත් කරපු එක හරි වටිනව. මේ නිර්මාණය ගැන අවසන් නිගමනයකට එනව නම් මට කියන්න තියෙන්නෙ ඒකෙ වටිනාකම තියෙන්නෙ කෙටිකතාවක් විදියට නෙවෙයි. නිර්මාණාත්මක පාර්ශ්වයෙ. මොකද ඒ නිර්මාණයෙ කවිය, කෙටිකතාව සහ නවකතාව යන ඉම් පෙදෙස් තුනම ස්පර්ශ කරල තියෙන නිසා.

ලොකු ‘ර’ යන්න
 
ලොකු ර යන්න
මේ නිර්මාණය මට දැනුණෙ මිනිස්සුන්ගෙ භාව චංචලත්වය ගැන කිසියම් කතිකාවක් මතු කරනව කියල. විශේෂයෙන් ම ජීවිතේ එක් එක් අවධිවල දි වගේ ම එක් එක් අවස්ථාවලදි තමන්ගෙ ඒකායන අරමුණු එක්ක ජීවිතේ ගැටගහද්දි ඊට අදාළ විදියට ජීවිතේ හැඩය වෙනස් කරගන්න මිනිස්සු පෙලඹෙන විදිය.

සෙව්වන්දි තරුණියක් විදියට රැකියාවකට ප්‍රවේශ වෙන තැන ඉඳල අවසානෙ තමන්ගෙ දරුවගෙ අනාගතය ගැන කිසියම් තීරණයක් ගන්න තැන වෙනකන් එයා එයාගෙ ජීවිතේ මොන තරම් නම් වෙනස් කරගන්නව ද...? එතනදි එයා අනෙකාගෙ හදවතට, මනසට දැනෙන හොඳ හරි නරක හරි මායිම් කරන්නෙ නෑ. එයා එයාගෙ ගමන යනව. ඒක පෘතග්ජන මිනිස් ජීවින්ගෙ ස්වභාවය

අනන්ත හමුවීමේ ඉඳල ඇය ගුවන් විදුලි නාලිකාවෙන් ඉවත් වෙතුරු ඔහු සමග පත්වපු සබඳතාව, නීතිඥවරියකත් වුණාට පස්සෙ සිදුවුණ වෙනස්කම්, ඒ එක්ක ම අනන්තට සමාජයේ සිවිල් බලයක් තියෙනව කියල දැනගත්තට පස්සෙ ඇගේ මනස කොහොමද ක්‍රියා කරන්නෙ...? මිනිස්සු එහෙම තමයි. තමන්ට වුවමනා තැනදි කලකදි තමන්ට අවශ්‍ය නොවුණ කෙනා වුනත් තමන්ගෙ ජීවිතයට සමීප කරගන්න උත්සාහ කරනව. ඒක මිනිස් සිතේ පවතින ප්‍රබල හැඟීමක්. අවසානෙදි ඇය තමන්ගෙ ගූඪ ආසාවක්, වුවමනාවක් සපුරගන්න භාවිත කරන්නෙ තමන්ගෙ ම දියණිය. කතාවෙ ප්‍රබලත්වය මතු වෙන්නෙ එතන කියලයි මට හිතෙන්නෙ.  

සමනලයෝ ඉගිළ ගියහ
 
මේ කතාවෙ වැලි ගොඩ දාන සේන ගැන කතා කරාට, විප්ලවවාදී සංවිධානයක ක්‍රියාකාරිකයෙක් ගැන කතා කරාට, මධ්‍යම ගමනා ගමන මණ්ඩලයෙ බස් රථ රියදුරෙක් ගැන කතා කරාට හමුදා සෙබළෙක් හෙවත් රණ විරුවෙක් ගැන කතා කරාට මම මේ කතාවෙ දැකපු යටි පෙළ තමයි සම සරාගිකත්වය.
 
සම සරාගිකත්වයත් එක්ක ම විප්ලවාදින්ගේ ජීවිතයෙ නොපෙනෙන, නෙපෙන්වන පැත්ත. නොපෙනෙන පැත්ත කිව්වම මෙතනදි ඔවුන්ගෙ ලිංගික ජීවිතය ඉතාම වැදගත්. මොකද රංජිත් පීරිස් නමැති පුද්ගලය ලියපු  ‘‘පණ ඇති දෙවිවරු’’ නමැති අමුද්‍රිත පොතක විප්ලවවාදින් සිරගෙදරදි තමන්ගෙ සහකාරය බොදාගන්න බැරුව ඇනකොටාගත්ත විදිය ලියල තියෙනව. ඒ වගේ ම මොහාන් රාජ් මඩවලගෙ පළමු කෙටිකතා සංග්‍රහය වන ‘‘බෝදිලිමා’’ කෘතියෙත් මේ සම්බන්ධයෙන් ලියල තියෙනව. සරත් ආරියරත්නගෙ ‘‘මේ කාගේ මේ කමතා’’ කෘතියෙත් මේ සම්බන්ධයෙන් ලියවෙනවා. පුදුමෙ කියන්නෙ මේ විප්ලවවාදි සංවිධානයෙ යාව ජීව සාමාජිකයො ලියපු අත්දැකීම් ඇතුළත් පොත්වල මේ ගැන නොලියවුණ එක.
People with raised fists at a demonstration in the city. Multi-ethnic group of people together on strike.
 
ඒ වගේ ම තමයි සේන ගංජා හෙවත් කංසා බොන එක. මේ සම්බන්ධයෙන් වුනත් විප්පලවාදීන් ඇත්ත හංගනව. හැබැයි මම දන්න, දැනටත් ඒ ඒ සංවිධානවල ක්‍රියාකාරි විප්ලවාදියො ඉන්නව මත්පැන්, දුම් වැටි වගේම ගංජා හෙවත් කංසා උරන අය. ඒ ගැන අපේ විරුද්ධත්වයක් නෑ. වැරද්ද තියෙන්නෙ ඒ ඇත්ත ජීවිතය හංගන එක. මට හිතෙන්නෙ මේ කෙටිකතාව එහෙම චරිතවලට එල්ල කරපු අතුල් පහරක් කියල.
ඔවුන්ගේ ඒ සැඟවුණ ලිංගික ජීවිතය පිළිබඳ කෙරෙන හොඳ ම ඉඟිය තමයි පණ්ඩක පුත්‍ර වස්තුව සහ අර්ධනාරී නමැති කෘති දෙක කතාව ඇතුළට රැගෙන ඒම. මෙහි එන සේනපුර, තිස්ස වගේම අජන්ත කියන්නෙ අලුත් චරිත නෙවෙයි. ඒ අය මේ අපි අතර ම ඉන්න චරිත. හැබැයි අපිට එයාලව හඳුනගන්න ටිකක් විතර අමාරුයි. ඇත්තට ම ඒකට වැරැදිකාරයො එයාලම විතරක් නෙවෙයි. සමාජයක් විදියට මමයි ඔබයි අපි හැමෝම ඒකට වැරදිකාරයො.

සූරියා සහ කුරුසයා
 
අපි ජන කියමනක් තියෙනව අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද අයින් කරන්න කලිං තමන් ඇහේ තියන පොල් පරාලය අයින් කරගෙන ඉන්න කියල. මේ කතාවෙ සරල අදහස මට දැනුණෙ එහෙමයි. ඇත්තට ම මේ වගේ ම කාන්තා චරිතයක් මම දැකල තියෙනවා විතරක් නෙවෙයි දැනටත් දකිනවා. ඇය ඇවිදින්න යනව ද එහෙමත් නැත්නම් විදුලි පහන් නිවන්න යනවද කියල කියන්න මම දන්නෙ නෑ. හැබැයි එයා එයාගෙ නිවස පිහිටපු තැන ඉඳල පාර දෙපැත්තට අවම කිලෝමිටර් දෙකක් විතර ඇවිදිනව. ඒ ගමන් සියලු විදුලි පහන් නිවාගෙන යනව. හැබැයි එයාගෙ නිවස ඉස්සරහ තියෙන විදුලි පහන තමයි අන්තිමට නිවන්නෙ. සුරියසේනත් හරියට ඒ වගේ.
 
මේ නිර්මාණයේ තියෙන වැදගත්ම තැන තමයි අනෙකා පිළිබඳ අවතක්සේරුවෙන් බලන එක සහ එසේ බැලීමෙන් සහ ක්‍රියා කිරීමේ අවසානයේ තමන් බරපතළ අර්බුදයකට ලක් වෙන බව. ඒක තමයි කෘස් හෙවත් කුරුසයා අවසානෙදි කරන්නෙ. ඒක එයා හිතා මතා නොකළත් ස්වයංවම සිද්ධ වෙනවා. මෙතනදි තමන්ට නැති යමක් අනිකා සතුවීම සම්බන්ධයෙන් සිතේ පැන නගින ඊර්ෂ්‍යාව ක්‍රෝධය වගේ ඉඟියකුත් පිළිබිඹු වෙනවා. තවත් පැත්තකින් බැලුවම කතුවරය මේ චරිත දෙක් නම් තියල තියන විදියට ආගම් භේදය පිළිබඳ පොඩි ඉඟියකුත් එනවා. මොකද තොරණ සහ වෙසක් තිබුණට අපිට නත්තලක් දකින්න ලැබෙන්නෙ නෑ. මේක සමහර විට කතුවරයාගේ අවිඥානය පොළා පැනීමක් වෙන්නත් පුළුවන්. මේක මගේ උපකල්පනය. ඒ ගැන කතුවරය අහිතක් හිතන්න එපා. කොහොම වුනත් මතු පිටින් තමන්ගෙකම ගැන කියවන සහ ප්‍රදර්ශනය කරන පාර්ශ්වයට වඩා එසේ නොකරන අය සමාජශීලියි කියල මේ කතාවෙන් ප්‍රකට කෙරෙනවා.
උන්මාද සිතුවම්
 
මේ කතාවෙ නම් මට යටි පෙළක් කියවන්න තරම් දෙයක් ලැබුණෙ නෑ. හැබැයි මංගලිකා නමැති චරිතය ‘‘දෝන කමලාවතී’’ කෙනෙක් කරන්න උත්සාහ කරාද කියල නම් පොඩි සැකයක් ඇතිවුණා. ඒ එක්ක ම ඒ චරිතයේ හැඩරුව... විශේෂයෙන් ම ඇගේ ස්ථුල භාවය නිසා ම අතීතයේ දි එයාට අකමැති වුණ රවින්ද්‍ර පසු කලක දි එයාගෙ ශාරීරික පහස පතන්න... සරලව ම කිවොත් ඇයත් එක්ක සම්භෝගයේ යෙදෙන්න යොමු වෙච්ච එක මොන තරම් උත්ප්‍රාස ජනකද කියලත් හිතුණ. ඒ එක්ක ම එතනදි ආයෙත් මට සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ නියාමය සිහිපත් වුණා.

විදුහල්පතිතුමාගේ චාරිකාව
 
kasds
 
ඇත්තට ම ‘‘විදුහල්පතිවරුගෙ කතා’’ අපි වුවමනාවටත් වඩා අහල තියෙනව නෙ... ඒ නිසා මේ කතාවෙ පළමු අර්ධය ඒ තරම් බර සාර නැහැ. හැබැයි විදුහල්පතිවරයා වෙනුවෙන් ම සූදානම් කරන පාටියෙදි එදා පාසලේ හොඳ ම ශිෂ්‍යයා ලක්ෂාන්ගෙ පැමිණීම ම ඔහුගෙ පැවැත්ම පිළිබඳ පුංචි ඉඟියක් දෙනවා. මං හිතන්නෙ අපිට මේ කතාවෙ ගන්න තියෙන සාරයත් ඒක ම තමයි. පාසලේ දි විනීත ම ශිෂ්‍යයා වුණ කෙනා කොහොම ද චණ්ඩියෙක් හෝ මැරයෙක් හෝ පාතාල නායකයෙක් වුණේ...? එයා දහම් පාසල් ගියාද නැද්ද කියලත් ඉඟියක් දීල තිබුණ නම් මේ කතාවට තව ආලෝකයන් ලැබෙනවා. මගේ උපකල්පනය නම් එයා දහම්පාසල් නොගිහින් ඉන්න විදියක් නෑ.
 
ඒ කොටසෙන් පස්සෙ තමයි මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රශ්න කරන්නෙ... හැබැයි විසඳුම් හෝ යෝජනා නැහැ. හරියට දැන් විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂ වගේ. පවතින ආණ්ඩුව පට්ටගහනව. හැබැයි විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නෙ නෑ. එයාල බලයට ආවම කරන්නං කියල තමයි කියන්නෙ. ඒක සමස්ත දේශපාලනයෙ ම තියෙන දුරුවලතාවක්.
පාසලෙන් පිටවුනාට පස්සෙ ඒ බොහෝ තරුණ පිරිමි පහසුම රැකියාව විදියට එක කාලයක් යුද හමුදාවට බැඳුණ වගේ පස්සෙ පස්සෙ පහසු ම රැකියාව විදියට තෝරගත්තෙ ත්‍රී රෝද රථ රැකියාව. දැන් පරම්පරාවෙ හුඟ දෙනෙක් ආහාර ඩිලිවරි රැකියාවලට යොමු වෙලා. මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කියල කතුවරය කියනව කියලයි මට හැඟුණෙ.

අවසන් නිගමනය

දැන් මම පොත ගැන සමස්ත අදහසක් දක්වන්නම්. මේ නිර්මාණ අතර ‘‘අර වැඩේ මොකද පුතේ?’’, ‘‘සමනලයෝ ඉගිළ ගියහ’’ සහ ‘‘Good Morning’’ නිර්මාණ ත්‍රිත්වය ඇරුණහම අනෙක් නිර්මාණවල හුගක් දුරට කෙටිකතාමය ලක්ෂණ අඩුයි. ඒ වගේ ම කතුවරයා කෙටිකතා කලාව පිළිබඳ යාවත්කාලීන වෙලා නැහැ වගේ දැනෙනවා. සමහර කතා කතුවරයා මීට පෙර ලියපු කතාවලටත් වඩා පසුපසට ගිහින් කියල දැනෙනවා. හැබැයි කතුවරයගෙ හැම නිර්මාණයක ම නිර්මාණයට අදාළ: රූපක, සංකේත, ව්‍යංගාර්ථ සහ වක්‍රෝක්ති හරි අපූරුවට පාවිච්චි කරනව. ඒක නිර්මාණකරුවගෙ හොඳ දක්ෂතාවක්.
 
swdwd
 
අනුරසිරි හෙට්ටිගේ - ප්‍රින්ස් සේනාධීර - අනිල් හේරත් - කාන්චනා ප්‍රියකාන්ත - උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක
 
ලේඛකයෙක් හෝ ලේඛිකාවක් පරිණත වෙන්න වෙන්න පාඨකයො බලාපොරොත්තු වෙන්නෙ නව්‍ය නිර්මාණ. එහෙම නිර්මාණාත්මක කෙටිකතා රචකයො දෙන්නෙක් මට මතක් වෙනව. එක්කෙනෙක් අනුරසිරි හෙට්ටිගේ. හැබැයි එයාගෙ අලුත් පොත මම තවම කියවල නැහැ. අනෙක් කෙනා තමයි ප්‍රින්ස් සේනාධීර. මං හිතන්නෙ එයා තවම පළ කළේ කෙටිකතා සංග්‍රහ දෙකක් විතරයි. ඒ දෙක අතරින් දෙවන කෙටිකතා සංග්‍රහය පළමු කෙටිකතා සංග්‍රහයට වඩා හුගක් ඉදිරියෙන්. තව මම කියවපු හොද කෙටිකතා පොතක් තමයි අනිල් හේරත්ගෙ ‘‘සැණෙළි වියුම්’’ එයාගෙත් අලුත් පොත මට කියවන්න බැරි වුණා. හැබැයි එයා තමන්ගෙ පළමු පොතෙන් ම ලොකු පිම්මක් පැන්න කියල කියන්න මං ලෝබ නෑ. කාන්චනා ප්‍රියකාන්තගෙත් අලුත් පොත තවම කියෙව්වෙ නැති වුණාට එයා ‘‘කර්මක්ෂ’’ කෙටිකතා පොත තුළින් ඉදිරි පියවරක් තිබ්බ. මේ මෑතක මම තව හොඳ කෙටිකතා පොතක් කියෙව්ව. ඒතමයි උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලකගෙ ‘‘රුයිත හාරත කතන්දර’’ කෙටිකතා සංග්‍රහය. මම දන්න තරමට ඒ කෙටිකතා පොත එයාගෙ පළමු කෙටිකතා පොත. හැබැයි ඒකත් ඉදිරි පියවරක්. ඇත්තට ම දැං අපි කෙටිකතා කියල කතන්දර කියෙව්ව හොඳට ම ඇති. මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ කතන්දර නැති කෙටිකතා තියෙනව හරි වුවමනා හරි කියල. හැබැයි කෙටිකතාවෙ නව්‍යතාවක් තියෙන්න ඕන. අනාගතයෙ කෙටිකතා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න ලේඛක ලේඛිකාවොයි දැනට ලියමින් ඉන්න ලේඛක ලේඛිකාවොයි මේ ගැන අවධානය යොමු කරනවා නම් අපේ කෙටිකතාව නව්‍යමය ඉසව්වකට අරගෙන යන්න පුළුවන්.


මතඟනා' : සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/07/09

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්