ආර්එම්වී හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන මහජනයාගේ ඇති අදහස සහ අත්දැකීම වන්නේ එය හොර ගුහාවක් යන්නය. 

ඒ සඳහා බොහෝ පිරිසකට අත්දැකීම් සපයා ඇත්තේ රියදුරු බලපත් ලබා ගැනීමේ ක්‍රියාවලියයි. ඊට අමතරව මෝටර් රථ ලියාපදිංචිය හා මාරු කිරීම ආදියයි.

යමෙකු රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ නම් නියම කර ඇති මුදල පමණක් ගෙවා එය ලබා ගැනීමේ හැකියාවක් ලැඛෙන්නේ නැත. ඒ සඳහා අනිවාර්යය ගාස්තුව හෙවත් මහජන භාෂාවෙන් කියන 'ජරාව' ලබාදිය යුතුමය. 

අප රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා යොමු වන්නේ ලර්නර්ස් හෙවත් රියදුරු පුහුණු ආයතනයකින් වුවත්, නිල අයකරන ගාස්තුව, එම ආයතනයේ ගාස්තුව හා අතිරේක වශයෙන් 'ජරාවේ' ගාස්තුව ඒ තූළ අඩංගුවේ. ලර්නර්ස් වැනි පෞද්ගලික ආයතනවලින් රියදුරු බලපත් ලබා ගන්නන්ට පමණක් නොව ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් රියදුරු පුහුණුව ලබා රියදුරු බලපත් ලබා ගන්නවුන්ට පවා එම 'ජරාව' අදාළ වේ. 

මීට වසර ගණනාවකට පෙර ලියුම්කරුගේ මිතුරෙකු ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ඔහුට එම අත්දැකීමට මුහුණ දීමට සිදුවී තිබුණු අතර පරීක්ෂණය සඳහා යන දිනයේදී ඔවුන්ට දන්වා තිබුණේ 'ජරාවේ' ගාස්තුව රැගෙන එන ලෙසය. ඒ පරීක්ෂකවරුන්ට සහ ඊට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන්ට ලබාදීම සඳහාය. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී කියා තිබුණේ රජයේද, පෞද්ගලිකද යන්න රියදුරු බලපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ පුද්ගලයින්ට වැඩක් නැති බවත්, එම ගාස්තුව ගෙවිය යුතු බව හා නොඑසේ නම් අසමත් වී රියදුරු බලපත්‍රය නොමැතිව හැමදාම සිටිය හැකි බවය. එහි තේරුම වන්නේ එම අතිරේක ගාස්තුව නොගෙව්වොත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි බවය. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ගොස් රියදුරු බලපත්‍රයක් නොලැබුණ කිසිවෙක් ගැන මෙතෙක් ලියුම්කරුට අසන්නට ලැබී නැති අතර එවැන්නෙක් සිටීනම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපට දැන්වනවා නම් මැනවි.  

රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති තත්වය වන්නේ කිසිවකු අසමත් නොවීමය. එහෙත් එය විගණනයට හසු නොවීම සඳහා කරන්නේ සෑම පරීක්ෂණ වාරයකදීම යම්කිසි ප්‍රතිශතයක පිරිසක් අසමත් කිරීමත්, ඊළඟ වාරයේදී එම පිරිස සමත් කර තව පිරිසක් අසමත් කිරීමත් ලෙස සියයට සියයක පිරිසක් කවදාකවත් සමත් නොකිරීමය. එසේ වුවද දිගටම අසමත් වන කිසිවකු ඉතිරි වන්නේ නැත. මෙයම විගණනය සැකයට කරුණක් වශයෙන් ගත යුතුය. මන්ද සියයට සියයක් සමත් වන අවස්ථා මෙන්ම විශාල පිරිසක් අසමත් වන අවස්ථාද තිබිය හැකි බැවිනි.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිටියි ! - කොමිස් කතාවක් කරලියට !!

මෙම පොදු කතාව යළි සිහිපත් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අලූතින්ම ගැනීමට යන තීරණය නිසාය. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේ දැනට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙහෙයවනු ලබන රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කාර්යය එම දෙපාර්තමේන්තුවට අගෝස්තු 31 වැනිදා සිට යළි පවරා ගන්නා බවයි. එමෙන්ම එම කාර්යයන් පුහුණු වීම සඳහා එම දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් යොදවන බවයි. 

මේ තීරණයට හේතුවක් ප්‍රකාශයට පත් නොවූවත්, මහජනයා තුළ දැනෙන්නට හැරි හැඟීම වූයේ යුද හමුදාව විසින් සිදුකරන රියදුරු බලපත් මුද්‍රණය කිරීම එක්කෝ අසාර්ථක බවයි. නැත්නම් ඒ තුළ විශාල වංචාවක් සිදුවන බවයි. මෙය ඇත්තක්ද? මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ එයයි. 

ඉහතින් සඳහන් කරන ලද කරුණ ගැන වූ සාකච්ඡාවක් අගෝස්තු මස 14 වැනිදා පැවැත්වී ඇති අතර ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්එම්පීකේ මාදුන්න ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ද, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී තිබේ.

එහිදී යුද හමුදාවෙන් මෙම කටයුත්ත ගැනිමට හේතුව ලෙස සඳහන් වී ඇත්තේ මෙට්‍රොපොලිටන් සමාගම මගින් එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 857ක් යෝජනා කරද්දී, යුද හමුදාව මගින් එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 4710ක  මුදලක්  වැයවන බවට වූ සාවද්‍ය තොරතුරයි.

image 00d0907ecb

එම තොරතුරට පදනම් වී ඇත්තේ යුද හමුදාවෙන් යලි මෙට්‍රොපොලිටන් ආයතනයට මෙම කටයුත්ත ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාවක තිබූ තොරතුරුයි. එම කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කරමින් අවසන් අනුමැතිය ලබා දී ඇත්තේ ජනාධිපතිවරයා විසිනුයි. ඒ මුදල්, ආර්ථීක ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙසයි. වැරදි තොරතුරු අඩංගු කැබිනට් පත්‍රිකාවකට, එම තොරතුරු නිවැරදි යැයි සිතමින් නිරීක්ෂණ ඉදිරිපත් කරමින් අනුමැතිය ලබාදීම ජනාධිපතිවරයාගේ අවුලක්ද, නැත්නම් වැරදි තොරතුරු දීම මගින් ඔහුව නොමඟ යැවීමක්ද, නැතහොත් මේ සියල්ලන් දැනුවත්ව කළ වැඩක්ද යන්න දන්නේ ඔවුන්ම පමණී. 

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී යුද හමුදාව පාර්ශවයෙන් අමාත්‍යාංශ ලේකම් එම්එම්පීකේ මායාදුන්න දැනුවත් කරමින් පවසා දී ඇත්තේ යුද හමුදාවට ඒ සඳහා වැය වන්නේ රුපියල් රුපියල් 600ක පමණ මුදලක් බවයි. කැබිනට් මණ්ඩල අනුමැතියට පදනම් වූ එම සාවද්‍ය තොරතුර සම්බන්ධයෙන් එම රැස්වීමේදී දැනුවත් වුවද, අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍ය මණ්ඩල තීරණයට උඩින් යා හැකිද යන්න ප්‍රශ්නයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යළි දැනුවත් කිරීමේ වගකීමක් රාජ්‍ය නිලධාරියකු වශයෙන් ඔහුට ඇති බව අපි විශ්වාශ කරමු. 

මේ ආකාරයට ව්‍යාජ තොරතුරු මත පදනම්ව කැබිනට් මණ්ඩල තීන්දු රැගෙන තිබීම හා ඒ හේතුවෙන් මෙට්‍රොපොලිටන් සමාගමට රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව යළි ලබාදීමට යෑම ගැන පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට නම් අපට එහි නිධාන කතාව ගැන අවබෝධයක් ලබා ගැනීමට සිදුවනු ඇත.  

98093ce9 bc7664aa untintledddd 850x460 acf cropped

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය මත මෙම රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට බාරදී තිබුනේ 2021 ජනවාරි මාසයේ සිටය. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබී ඇත. එම අවබෝධතා ගිවිසුමට අනුව රියදුරු බලපත්‍රය මුද්‍රණයට අදාළ සියලූ මිලදී ගැනීම් යුද හමුදාව විසින් කළ යුතුව තිබී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණයට හේතු වී තිබුණේ ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට නිරීක්ෂණ චාරිකාවක නිතර වූ අවස්ථාවක එහි පෝලිමිවල සිටි පිරිස් කළ පැමිණිලිය. 



මෙට්‍රොපොලිටන් සමාගම විසින් සිදුකරමින් පැවති රියදුරු බලපත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාද නිරීක්ෂණ ඉදිරිපත් කර තිබී ඇති අතර රුපියල් මිලියන ගණනක පාඩුවක් ඒ මගින් රජයට සිදුවන බව පෙන්වා දී තිබුණි. එසේම විගණකාධිපතිවරයා ප්‍රශ්න කර තිබුණේ අඛණ්ඩව එම කොන්ත්‍රාත්තුව මෙට්‍රොපොලිටන් සමාගමට ලබාදීමේ තාර්කිකභාවය ගැනයි. ඒ සඳහා හේතු වී තිබුණේ එම සමාගම එක් රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 1000ක පමණ මුදලක් ඒ වනවිට අය කරමින් තිබීමය.  

යුද හමුදාවට රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුත්ත බාරදීමෙන් පසු සිදුවී ඇත්තේ ඒ සඳහා මෙට්‍රොපොලිටන් සමාගම යොදවා තිබූ කාර්ය මණ්ඩලය හමුදාගත කර සිවිල් සේවකයින් ලෙස යුද හමුදාවට අනුයුක්ත කර යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුකිරීමය. එතෙක් රුපියල් 1000ක් වූ රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමේ වැය ආනයන වියදම් තුන් ගණයකින් වැඩිවීමේ තත්වය තුළ පවා රුපියල් 500ත් 600ත් අතර මිලකට මේ වනවිට අඩුවී තිබේ.. මෙම මිල අඩුවීමට රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කාර්යයට සම්බන්ධ වී සිටි නිලධාරීන් හා ඔවුන් සම`ග සම්බන්ධවන දේශපාලනඥයින් කැමති වී නැති බව ඉහත තීන්දු තීරණවලින් හා සිදුවීම්වලින් පෙන්වා ඇත.

මේ අතර දැනට පවතින මුද්‍රණ යන්ත්‍ර වෙනුවට අලූතින් යන්ත්‍ර 6ක් මිලදී ගැනීමටද, ඒ මගින් දැනට ගොඩ ගැසී ඇති රියදුරු බලපත්‍ර මාස 6ක කාලයකදී මුද්‍රණය කර අවසන් කිරීමටද යුද හමුදාව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් කර ඇත. එහෙත් නොදන්නා හේතුවකට රුපියල් මිලියන 167කට මිලදී ගැනීමට නියමිතව තිබූ එම මුද්‍රණ යන්ත්‍ර මිලදී ගෙන නැත. ඉහත සඳහන් කළ කැබිනට් මණ්ඩල තීරණය පැමිණ ඇත්තේ ඒ සඳහා විකල්පයක් වශයෙන් විය යුතුය. විකල්පය ලාභදායි එකක් වීම වෙනුවට වියදම් අධික එකක් වීම ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ සුපුරුදු චර්යාව කුමක්ද යන්න යළිත් අපට පැහැදිළි කර ඇත.

මෙට්‍රොපොලිටන් ආයතනය යළි ඔවුන්ට රියදුරු බලපත් මුද්‍රණය කිරීම සඳහා ලබාදෙන ලෙස වූ යෝජනාවක් 2023.01.12 දින ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව 2023.03.20 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එහිදී කැබිනට් මණ්ඩලය කියා ඇත්තේ යුද හමුදාවේ හා මෙට්‍රොපොලිටන් ආයතනයේ මුද්‍රණයන් සම්බන්ධයෙන් සන්සන්දනාත්මක පිරිවැය විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලෙසය. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව තාක්සණ කමිටුවක් පත්කර ඇති අතර ඒ මත පදනම්ව කැබිනට් මණ්ඩල යෝජනාවක් 2023.06.12 දින ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

20210101 maofficelice 20

ඒ මගින් ඉල්ලා ඇත්තේ දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව අතර රියදුරු බලපත් මුද්‍රණය සඳහා ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුම අවසන් කිරීම, මෙට්‍රොපොලිටන් ඇඩ්වාන්ස් ටෙක්නොලොජීස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ගොඩ ගැසී ඇති රියදුරු බලපත් මුද්‍රණයට අවසර ලබාදීම, මෙට්‍රොපොලිටන් ආයතනය ඒ සම්බන්ධයෙන් 2023.01.12 දින ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම, මාස 24ක කාලයක් සඳහා හෝ නව රියදුරු බලපත් මුද්‍රණය කරන තෙක් එම ආයතනයට ඒ සඳහා අවසර ලබාදීම යන කරුණුය. 

එම කරුණු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථීක ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙස 2023.06.22 දින නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ පළමු යෝජනාව වන යුද හමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුම අවසන් කිරීමට ඔහු එකඟ  වන බවයි. එම එකඟතාව ඔහු ලබාදෙන්නේ රියදුරු බලපත් මුද්‍රණය සඳහා යුද හමුදාවට සහ මෙට්‍රොපොලිටන් සමාගමට යන වියදම් සම්බන්ධයෙන් ඔහුට ලබාදී ඇති මිල සංසන්දනය පදනම් කරගනිමින්ය. 

එමෙන්ම දෙවන හා තුන්වන යෝජනාවටද කිසිදු පැහැදිලි කිරීමකින් තොරව එකඟ වන ඔහු හතරවන යෝජනාව සම්බන්ධයෙන් කියන්නේ මෙට්‍රොපොලිටන් සමාගමට ගොඩගැසී ඇති රියදුරු බලපත් මුද්‍රණය කිරීමට වසරක කාලයක් ප්‍රමාණවත් බව හා අලූත් රියදුරු බලපත් මුද්‍රණය කිරීම සඳහා සැපයුම්කරුවකු තෝරා ගැනීමට විවෘත යෝජනා කැඳවා වසරක කාලයක් තුළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කළ යුතු බවයි. 

කැබිනට් පත්‍රිකාවට අනුව ලක්ෂ 7ක් වන ගොඩගැසී ඇති රියදුරු බලපත් ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 9ක ප්‍රමාණයට ඉහළ ගොස් ඇත. එම රියදුරු බලපත්වලට අදාළ ලිඛිත පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, ඡායාරූප සකස් කිරීම ඇතුළු සියළු කටයුතු අවසන්ව තිබේ. එක් රියදුරු බලපත්‍රයක් සඳහා යුද හමුදාව එම කාර්ය සිදුකිරීමේදී  රුපියල් 600ක පමණ මුදලක් යන්නේ ඉහත සියලු කටයුතු සඳහාය.  දැන් මෙට්‍රොපොලිටන්  සමාගමට ඇත්තේ බොත්තමක් ඔබා කාඩ් පත්‍ර මුද්‍රණයෙන් ලබා ගැනීමට පමණය. එම එක් කාඩ් පතක් මුද්‍රණයට ලබාදීමට යන මිල වශයෙන් සඳහන් වන්නේ රුපියල් 150ක මුදලකි. වැඩිපුර මුද්‍රණය සඳහා මුද්‍රණ යන්ත්‍ර ලබාදෙන්නේ නම් එම එක් කාඩ් පතක් රුපියල් 35ක මුදලකට මුද්‍රණය කළ හැකි බව යුද හමුදාව පාර්ශවයේ ගණන් බැලීම වී ඇත. 

මෙසේ ලක්ෂ 9ක පමණ රියදුරු බලපත් ප්‍රමාණයක් ගොඩගැසී ඇත්තේ ඒ සඳහා අලූත් හා ප්‍රමාණවත් මුද්‍රණ යන්ත්‍ර නොමැතිවීම නිසාය. දැනට රියදුරු බලපත් මුද්‍රණය සඳහා ඇත්තේ මුද්‍රණ යන්ත්‍ර 4ක් වන අතර ඉන් 2ක් ඇත්තේ වේරහැරය. එකක් හම්බන්තොට හා අනෙක අනුරාධපුරයේය. එම යන්ත්‍රවලින්ද දෙකක් ඇත්තේ එහි මුද්‍රණ පිටපත් ප්‍රමාණයට වඩා වැඩියෙන් මුද්‍රණ කටයුතු සිදුකරමින්ය. මෙම යන්ත්‍රයක මුද්‍රණ කළ හැකි පිටපත් ප්‍රමාණය ලක්ෂ 8ක් වන අතර යන්ත්‍ර දෙකක් පිටපත් ලක්ෂ 12ට වැඩියෙන් මුද්‍රණය කර ඇත. තවත් යන්ත්‍රයක් පිටපත් ලක්ෂ 8ක වැඩියෙන් මුද්‍රණය කර ඇත. 2021 වර්ෂයේ මිලදීගත් යන්ත්‍රය පමණක් පිටපත් ලක්ෂ 1කට මදක් වැඩියෙන් මුද්‍රණය කර ඇත. දිනකට සාමාන්‍ය වශයෙන් අයදුම්පත් 4000ත් 4500ත් අතර ප්‍රමාණයක් ලැබුණද දැනට ඇති යන්ත්‍රවලින්ද දිනකට මුද්‍රණය කළ හැකි වන්නේ පිටපත් 2000ත් 2250ත් අතර ප්‍රමාණයක් පමණය. ඒ අනුව සෑම දිනකම අයදුම්පත් 2000ක පමණ ප්‍රමාණයක් ගොඩ ගැසීම සිදුවේ. 

image 33632dac90

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් එම කටයුතු සඳහා පුහුණු වනවා යැයි කීවද, එහි අමාරුම කාර්යයන් සඳහා ඔවුන් පුහුණු වී නැති බව අපට වාර්තාවේ. එමෙන්ම දැනට ඔන්ලයින් සේවා නැති දිස්ත්‍රික්කවල මැනුවල් හෙවත් අතින් කරන කටයුතු සඳහා පමණක් ඔවුන් යම් පුහුණුවක් ලබා ඇති බවද තවදුරටත් වාර්තාවේ. ඒ අනුව ඉදිරියට සිදුවිය හැකි යැයි සිතිය හැකි වන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත් මුද්‍රණය කිරීම කෙසේ වෙතත්, ගොඩගැසී ඇති රියදුරු බලපත් මෙන්ම දෛනිකව මුද්‍රණය වන රියදුරු බලපත්ද මුද්‍රණය ගොඩ ගැසී ඇති රියදුරු බලපත් මුද්‍රණය නාමයෙන් මෙට්‍රොපොලිටන් ආයතනයට මුද්‍රණයට ලබාදෙනු ඇති බවය. 

මන්ද මෙට්‍රොපොලිටන් ආයතනය මුද්‍රණය කරන්නේ ගොඩ ගැසී ඇති රියදුරු බලපත් පමණක් නම් යුද හමුදාව සමග ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම අවසන් කිරීමටවත්, එම කටයුත්තෙන් යුද හමුදාව ඉවත් කිරීමටත් අවශ්‍යතාවයක් පැන නොනඟින නිසාය. එසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් එම කටයුතු සම්බන්ධයෙන් සියලූ ආකාරයේ පුහුණුව ලබාගෙන ඒ සඳහා සුදුසු විය යුතු නිසාය. 

මෙතෙක් මුද්‍රණ කටයුතු සිදුකර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු මුද්‍රණ යන්ත්‍රවලින්ය. මුද්‍රණයට අදාළ ක්‍රියාවලිය පමණක් මෙට්‍රොපොලිටන් සමාගම මෙන්ම යුද හමුදාව මෙහෙයවා ඇත. දැනට එහි තිඛෙන යන්ත්‍රවලින් නම් ගොඩ ගැසී ඇති රියදුරු බලපත් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇත. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මිල ගණන් කැඳවා යන්ත්‍ර මිලදී ගන්නවාද, නැතහොත් මෙට්‍රොපොලිටන් ආයතනය ඔවුන්ගේ යන්ත්‍ර ගෙනැවිත් එය සිදුකරනවාද යන්න පැහැදිලි නැත. 

Department of Motor Transport
කෙසේ වෙතත් ගොඩ ගැසී ඇති රියදුරු බලපත් මුද්‍රණය සඳහා පමණක් මෙට්‍රොපොලිටන් සමාගමට රුපියල් මිලියන 135ක මුදලක් ගෙවීමට සිදුවනු ඇති යන්න මෙම ගනුදෙනුවේ ඇති මතුපිටින් පෙනෙන මූල්‍යමය තත්වයයි. යුද හමුදාවේ සම්බන්ධය ඉවත් කිරීමෙන් පසු රියදුරු බලපත් මුද්‍රණයේ ප්‍රසම්පාදන කටයුතු රිසි පරිදි කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකි වනු ඇත. 

ගොඩගැසී ඇති රියදුරු බලපත් මුද්‍රණයට වසර දෙකක කාලයක් ලබාදීම යනු දැනට ඇති යන්ත්‍රවලිනුත් දිනකට මුද්‍රණය කරනු ලබන පිටපත් ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් දිනකට මුද්‍රණය කිරීමේ තත්වයකි. ගොගැසී ඇති ප්‍රමාණය අවසන් කරන්නට යන්නේ ඒ ආකාරයට නම් එම තීරණය ඇත්තටම විසඳුමක්ද යන ප්‍රශ්නයද යළි මතු කරයි. දැන් ලැඛෙන ආකාරයටම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරියටත්  ලැබුණහොත් සිදුවනු ඇත්තේ තවදුරටත් මුද්‍රණය නොවී ගොඩ ගැසෙන අයදුම්පත් ප්‍රමාණය වැඩි වීමය. 

ඉහත සඳහන් කළ කරුණු කෙසේ වුවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත්, එයට සම්බන්ධ දේශපාලනඥයින්ටත් ඉන් ප්‍රශ්නයක් නැත. මන්ද ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති යුද හමුදාවේ ක්‍රියාවලිය අවසන් වීම යනු ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුම වන නිසාය. එකක් රියදුරු බලපත් මුද්‍රණයේ මිලදී ගැනීම් සිදු කිරීමේ බලය ඔවුන්ට යළි ලැබීමය. අනෙක හමුදාවෙන් ඉවත් කර එම ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමෙන්  අතයට ගනුදෙනු කිරීමේ හැකියාව යළි ලැබීමය. 

 

lasantha ruhunage(සටහන - ලසන්ත රුහුණගේ)

උපුටා ගැනීම :  අනිද්දා පුවත්පත - 2023 අගෝස්තු 20 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image