වෝහාරික වාර්තාවලින් (Forensic Audit Report) බරපතළම ප්‍රහාරය එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවට නොව ඊට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවට බව මේ වෙද්දී දේශපාලන සමාජය තුළ පක්ෂ විපක්ෂ භේදයක් නැතිව හුවමාරු වන කතාවක්.

මේ වෙද්දී එම වාර්තාවල පිටපත් පාර්ලිමේන්තුවේ, මුදල් අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ සතුව, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ තියෙනවා. 

අගමැති මහින්ද රාජපක්ෂ සතු පිටපත දෑසින් දුටු ආණ්ඩුවේ නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගෙන් පිටවෙලා, ආණ්ඩුවේ නායකයන් අතර මේ වෙද්දී වෝහාරික වාර්තාවෙහි ඇති උවදුර ගැන ආරංචිය පැතිර ගිහින් හමාරයි.

2008 සිට 2015 දක්වා කාල සීමාව තුළ ඍජු ක්‍රමයට සිදුකළ බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවුණ වංචා ගැන ඒ වාර්තාවෙහි තිබෙනවාලූ. ඊටත් අමතරව එම කාල සීමාව තුළ ඊපීඑෆ් හෙවත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම්වලදීද වංචා සිදුවූ බවත් වෝහාරික වාර්තාවෙන් පෙන්වාදෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියනවා.

මේ සටහනේදී අප කතා කරන්නේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීම ගැන ඇති චෝදනාව ගැන. වෝහාරික වාර්තාව පිට නොවුණාට එම ආයෝජන ගැන වසර ගණනක් තිස්සේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වූවා.

 එම දෙපාර්තමේන්තුව නිකුත් කළ 2011 – 2015 වාර්ෂික විගණන වාර්තාවල එම ගනුදෙනු ගැනත්, ගනුදෙනුවලින් සිදුව ඇති පාඩුව ගැනත් පෙන්වා තියෙනවා.EPF text1

EPF පාඩුව වෝහාරික වාර්තාවෙන් එලියට !

ශ්‍රී ලංකාවේ විශාල අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවක නායකයන් උත්සාහ කරනවා. මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව සතු අරමුදලක්. 2017 දෙසැම්බර් 31 වැනිදා වනවිට සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රි‍ලියන 2.02ක් තිබුණා. එනම්, රුපියල් බිලියන 2,020ක්. මිලියන 2,020,782ක්. එහි ඇති මුදලි 2017 වසරේදී ශ්‍රී ලංකාවේ රජය ලැබූ වාර්ෂික ආදායමට වඩා වැඩියි.

මෙහි ප්‍රමාණය ක්ෂණිකව මනසට ග්‍රහණය කරගත නොහැකි තරම්. ඒ නිසා ලංකා බැංකු සේවක සංගමයේ පර්යේෂණ අංශය මේ අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය හා ලංකාවේ මෑත කාලයේ ක්‍රියාත්මක වූ දැවැන්ත ඉදිකිරිම් ව්‍යාපෘති කිහිපයක් සංසන්දනය කර තිබුණා. 

එයට අනුව මෙහි ඇති මුදලින්,

# හම්බන්තොට වරාය වැනි වරාය 30ක් සෑදිය හැකියි. 
# මත්තල ගුවන්තොටුපොළ වැනි ගුවන් තොටුපොළ 48ක් නිර්මාණය කළ හැකියි. 
# සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වැනි ක්‍රිකට් ක්‍රීඩාංගණ 449ක් නිර්මාණය කළ හැකියි.

එය එතරම් විශාල වුව, එහි ඇති මුදල්වල හිමිකරුවන් වන්නේ සාමාන්‍ය වැඩ කරන ජනතාව. ඔවුන් කෝටිපතියන් නොවෙයි. එහි සමස්ත ගිණුම් මිලියන 17කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතර අක්‍රිය වූ ගිණුම් මිලියන 15ක් පමණ තිබෙනවා. සක්‍රිය ගිණුම් මිලියන 2.4කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව මේ දැවැන්ත අරමුදලෙහි හිමිකරුවන් සංඛ්‍යාව මිලියන 18ක්.

EPF මුදල් ආයෝජනය කිරීමේ බලය :

සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙස ක්‍රියාකරන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයායි. අරමුදලට මුදල් එකතු කරන්නා ඔහු. එහෙත් එහි ඇති මුදල් ආයෝජනය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට හිමිවෙනවා. ඒ අනුව කළමනාකාරීත්වය මූල්‍ය මණ්ඩලයට හිමියි. එලෙස මුදල් ආයෝජනය කිරීමේදී මූල්‍ය මණ්ඩලයට විශාල වගකීමක් පැවරෙනවා.

එහි ඇති මුදල් රජයට අයිති නැහැ. සුවහසක් සේවකයන්, තමන්ගේ අනාගතයෙහි සුරක්ෂිතභාවය වෙනුවෙන් එහි මුදල් ආයෝජනය කර තිබෙනවා. ඒ නිසා එහි ඇති මුදල්වලින් හිතුමතේට හෝ අවදානමක් ඇතිව ආයෝජනය කළ නොහැකියි. 

EPF text2
එහි ඇති මුදල් ආයෝජනය කර, එම ආයෝජනයකින් පාඩුවක් ලැබුණොත් එය මූලිකව බලපාන්නේ අරමුදලෙහි ආයෝජනය කළ සේවක ප්‍රජාවටයි. එහෙත් මේ අරමුදලේ පැවැත්ම වැදගත් වෙන්නේ සේවකයන්ට පමණක් නෙවෙයි. රටේ සමස්ත ආර්ථිකයට එම අරමුදල දැවැන්ත බලපෑමක් කරනවා. ආර්ථික තුලනය පවත්වාගෙන යන්නට ඒ අරමුදල වැදගත්.


රතු සංඥා දැල්වී තිබුණ කොටස් වෙළඳපොළ:

මේ කතාවේ අනෙක් පැත්ත නියෝජනය කරන්නේ කොළඹ කොටස් වෙළඳපොළ. කලෙක එය මාෆියාකරුවන්ගේ රජදහනක්ව ඇති බව ව්‍යාපාරික ලෝකයේ ප්‍රසිද්ධ රහසක්. කුඩා සමාගම්වල කොටස් අගය වැඩි කර මවා පෙන්වමින්, ලාභ ලබාගත් අය කොටස් වෙළඳපොළේ සිටියා. දේශපාලනඥයන්ගේ කළු සල්ලි සුදු කරන්නටද කොටස් වෙළඳපොළ පාවිච්චි කෙරුණු බව පදනම් සහගතව චෝදනා එල්ලවුණා.

එහෙව් කොටස් වෙළඳපොළෙහි සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කරන්නට පටන්ගනිද්දීම වෘත්තීය සමිති ආදි පාර්ශ්වයන් ගණනාවකින් රතු සංඥා දැල්වී තිබුණා. එහෙත් එය ගණනට නොගෙන, රාජපක්ෂ ආණ්ඩුව සමයේ වැඩි වැඩියෙන් සේවක අර්ථසාධක අරමුදලෙහි මුදල් ආයෝජනය කර තිබුණා.

ඇතිවූ සංවාදවලට ප්‍රධානම හේතුවක් වී තිබුණේ එම මුදල් සුදුසු තැන්වල ආයෝජනය නොකරනු ඇතැයි එල්ලවූ චෝදනාව. ඇත්තෙන්ම 2011 පමණ කාලයේ සිටම එම සැකය තහවුරු වෙන්නට පටන්ගෙන තිබුණා. විගණකාධිපතිවරයා නිකුත් කළ විගණකාධිපති වාර්තාවලින් එම සැකය තහවුරු වී තිබුණා.

අගය අඩුවීම: පාඩුව බිලියන ගණනක් !

මෙතැන් සිට අප උපුටා දක්වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව 2011 සිට 2015 දක්වා සේවක අර්ථසාධක අරමුදලට අදාළව නිකුත් කර ඇති කරුණු. ඇත්තෙන්ම එම වාර්තාවලින් දීර්ඝ ලෙස කතාකරන්නට තරම් කරුණු ඉදිරිපත් කර ඇතත්, අප මෙහි දක්වන්නේ එම කරුණුවල සංක්ෂිප්තයක් පමණයි.

2011 වසරට අදාළව නිකුත් කළ විගණකාධිපති වාර්තාවෙන් පෙන්වාදී තිබුණේ 2013 ජනවාරි වන විට සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන වටිනාකමෙන් රුපියල් බිලියන 1100ක් අඩුවී ඇති බව. ඒ අනුව නිසි පරිදි ආයෝජනය නොකිරීම නිසා ආයෝජනය කළ මුදල් අහිමි වී තිබෙනවා.

එලෙස ආයෝජනය කළ සමාගම්වල වටිනාකම අඩුවීම ඊට පසු වසරවල විගණන වාර්තා නිරීක්ෂණය කරද්දීත් පෙනෙනවා.

2013 වසරේ සේවක අර්ථසාධක අරමුදලෙහි මුදල් සමාගම් 93ක ආයෝජනය කර තිබුණා. ඒ අතරින් සමාගම් 57ක කර තිබුණු රුපියල් මිලියන 45,533ක් ආයෝජනවල කොටස් වෙළඳපොළේ අගය 2014 ජුනි 30 වෙද්දී රුපියල් මිලියන 9,679කින් අඩුවෙලා. 

2014 වසරේ සමාගම් 46ක කර ඇති රුපියල් මිලියන 35,227ක් වූ අයෝජනවලින් 2015 සැප්තැම්බර් 09 දිනය වෙද්දී කොටස් වෙළඳපොළ අගය අඩුවීම රුපියල් මිලියන 6,924ක් බව කියනවා.

එලෙස අගය අඩුවීම දැවැන්ත පාඩුවක්. අගය අඩුවීමෙන් සිදුව ඇති පාඩුව පමණක් සමස්තයක් ලෙස ගණනය කළොත්, එය බිලියන ගණනක් වේවි.

2015 සහ 2016 වර්ෂවලදී සිදුකළ මහබැංකු බැඳුම්කර වංචාවේදී සිදුවූ පාඩුව තවමත් නිසි පරිදි ගණනය කර නැහැ. එම පාඩුව ගැන තොරතුරු තිබෙන්නේද වෝහාරික විගණන වාර්තාවේ. ඉහත කී විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී තිබෙන ආයෝජනවලින් සිදුව ඇති පාඩුව මහබැංකු බැඳුම්කර වංචාවේදී සිදුවුණායැයි කියන පාඩුවට වඩා වැඩි වීමේ ඉඩක් තිබෙනවා.

සමස්ත ආයෝජන ප්‍රමාණය:

අප කලින් උපුටා දැක්වුවේ කොටස් වෙළඳපොළේ කළ ආයෝජන සියල්ලෙහි එකතුව නොවෙයි. ඒවායින් තෝරාගත් සමාගම් ගණනාවක කොටස්වල අගය අඩුවීමෙහි එකතුව ගැන පමණයි.

සමස්තයක් ලෙස කර ඇති ආයෝජන මෙසේයි.

 2008 සිට 2014 වර්ෂය අවසාන වන තුරු සේවක අර්ථසාධක අරමුදලේ සමස්තයක් ලෙස රුපියල් 332,657,367,841ක් ආයෝජනය කර තිබුණා. එනම්, මිලියන 332,657ක්. මේ කියන සමස්ත ආයෝජනයෙන් ලැබී තිබුණු ප්‍රතිලාභ සීයට 2.67 සිට සීයට 22 අතර පරාසයක තිබෙනවා. 

ඒ අනුව සමස්ත ආයෝජනවලින් ලැබී ඇත්තේ අඩු පරාසයක ලාභයක් බව පැහැදිලියි. වැඩිපුර සිදුව ඇත්තේ පාඩු ලැබීමයි. කර ඇති ආයෝජනයෙහි අතිශය දැවැන්ත නිසා සිදුව ඇති පාඩුවෙහි තරම අපට සිතාගත EPF text3නොහැකියි. එය කළ හැක්කේත් වෝහාරික වාර්තාවකට.

කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීම මුදල් විනාශ කිරීමක් බවට පත්වීමට තවත් ක්‍රම තිබෙනවා. අඩුවෙන් ලාභ ලැබීම, ලැබෙන ලාභ මුදල් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලට නොලැබීම හා කිසිම ලාභයක් නොලැබීම නිසා පාඩු ලැබීම ඒ ක්‍රම අතර තිබෙනවා.

සමාගමෙන් කිසිම ලාභයක් නොලැබීම නිසා ඒ ආයෝජනය සම්පූර්ණයෙන්ම වතුරේ යනවා. 2013 දෙසැම්බර් 31 වෙද්දී සමාගම් 27ක රුපියල් මිලියන 14,093ක් ආයෝජනය කර තිබුණා. ඒවායින් කිසිම ලාභයක් ලැබුවේ නැහැ. 2011 දී සමාගම් 11ක කළ රුපියල් මිලියන 3,555ක අයෝජනවලින් කිසිම ලාභයක් ලැබුණේ නැහැ. 2012 වර්ෂයේදී සමාගම් 14ක කළ රුපියල් 8,793ක ආයෝජනවලින් ලාභයක් ලැබී නැහැ.

සමස්තයක් ලෙස 2008 සිට 2014 දක්වා කොටස් වෙළඳපොළේ ආයෝජනය කර තිබුණු මිලියන 19,127ක් වටිනා සමාගම් 30කින් අරමුදලට කිසිම ලාභයක් ලැබී තිබුණේ නැහැ.

ඥාති හිතමිත්‍රාදීන්ගේ පාඩු සමාගම් :

අපේ පෞද්ගලික ධනය යම්කිසි සමාගමක ආයෝජනය කරද්දී, එම සමාගම ගැන විපරම් කර බැලීම සාමාන්‍ය කාරණයක්. එසේ විපරම් කරද්දී, යම් සමාගමක් පාඩු ලබන එකක් බව දුටුවොත් එක රුපියලක්වත් එවැනි සමාගමක අප ආයෝජනය කරන්නේ නැහැ. එහෙත් මහ බැංකුවෙ මූල්‍ය මණ්ඩලය පාඩු ලබන සමාගම් පමණක් සොයමින් ගියාදැයි සිතෙන තරම්.

2013 දෙසැම්බර් 31 වැනිදා වෙද්දී අරමුදලෙන් ආයෝජනය කර තිබුණු සමාගම් අතරින් සමාගම් 08ක් එම වර්ෂයේදී පාඩු ලැබූ සමාගම් බව විගණකාධිපති වාර්තාව කියනවා. එසේ කියන්නේ එම සමාගම්වල වාර්ෂික ගිණුම් වාර්තා ඇසුරින්. ඒ අතරින් රුපියල් මිලියන 711ක් අයෝජනය කළ සමාගම් දෙකක් ඊට පෙර සිටම වසර දෙකතුනක් තිස්සේ අලාභ ලැබූ ඒවා. 

2014 විගණන වාර්තාව අනුව 2014 දෙසැම්බර් 31 දිනට කෙටිකාලීනව හා දිගුකාලීනව රුපියල් මිලියන 3001ක් ආයෝජනය කර තිබුණු සමාගම් 13ක් එම වර්ෂයේදී අලාභ ලබා තිබුණා. එලෙස ආයොජනය කළ එක් එක් සමාගම්වල කළ ආයෝජන ගැන විස්තර විගණකාධිපති වාර්තාවල තිබෙනවා. ඒවායින් උදාහරණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

එම සමාගම්වල නම් විගණකාධිපති වාර්තාවෙහි සඳහන් කර නැහැ. ඇත්තෙන්ම සේවක අර්ථසාධක අරමුදලෙහි වාර්ෂික වාර්තාවල පවා තමන් ආයෝජනය කළ සමාගම්වල නම් නැහැ. එහෙත් ඒ සමාගම අයත්වන ක්ෂේත්‍රය ගැනත්, ආයෝජනය කර ඇති මුදල ගැනත් සඳහන් වෙනවා.

ගුවන් සමාගමක්

පාඩු ලැබූ එක් ගුවන් සමාගමක 2010 ජුලි මාසයේදී මිලියන 500ක් ආයෝජනය කර තිබුණා. 2012 ජුනි 30 දක්වා එම සමාගමෙන් කිසිදු ලාභයක් ලැබී තිබුණේ නැති බව 2011 වසරට අයත් විගණකාධිපති වාර්තාවෙහි සඳහන් වුණා. එම ආයෝජන ගැන විමසද්දී 2012 දී මහ බැංකුව පිළිතුරු දී තිබුණේ අලාභ ක්‍රමයෙන් අඩුවෙන නිසා එම සමාගම අනාගතයේදී ලාභ ලැබිය හැකි බව විශ්වාස කරන බව.

මහ බැංකුව අනාගතය යැයි කීවේ ඉන්පසුව එළඹෙන වසර දෙක තුන ගැන බවට සැකයක් නැහැ. එහෙත් ඇත්තෙන්ම 2015 ඔක්තෝබර් 31 වන විටත් එම සමාගමේ ලාභාංශ ලැබී තිබුණේ නැති බව පසුව නිකුත් වූ විගණකාධිපති වාර්තාවක තිබෙනවා.

මූල්‍ය සමාගමක්

2011 පෙබරවාරි සිට 2011 නොවැම්බර් දක්වා කාලසීමාව තුළදී රුපියල් මිලියන 205ක් ගෙවා මූල්‍ය සමාගමක කොටස් මිලදී ගෙන තිබුණා. එවායින්ද කිසිදු ප්‍රතිලාභයක් ලැබී තිබුණේ නැහැ. කොටස් මිලදී ගන්නා මොහොත වන විටත් අවසන් වතාවට ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශනවලින් එම සමාගම රුපියල් 4,285ක අලාභයක් ලබා තිබුණා. එය සලකන්නේ නැතිවම ආයෝජනය කර තිබුණා. 

2013/ 14 මූල්‍ය වර්ෂය අවසන් වෙද්දී එම සමාගමේ සමුච්චිත අලාභය රුපියල් මිලියන 14,340ක්ව තිබුණා. අන්තිමේදී සමාගමේ රුපියල් 40.36ට මිලදී ගත් කොටසක මිල රුපියල් 16.20 දක්වා අඩුවී තිබුණා. එම මූල්‍ය සමාගමෙන් 2015 ඔක්තෝබර් 31 දක්වා කිසිදු ලාභයක් නැති බව පසුව නිකුත් වූ විගණන වාර්තාවක සඳහන් වුණා.

මෙලෙස කොටස් අගය තීරණාත්මක ලෙස කඩාවැටුණු සමාගම් කිහිපයක් ගැනම එම වාර්තාවල සඳහන් වෙනවා.

පරිගණක සමාගමක් !

2013 අප්‍රේල් මාසයට ආසන්න කාලසීමාවක් තුළදී සේවක අර්ථසාධක අරමුදල පරිගණක සමාගමක රුපියල් මිලියන 43ක් ආයෝජනය කර තිබුණා. එම කොටස් මිලදී ගැනීමට කලින් සමාගමේ ද්‍රවශීලතාව ගැන හොයාබලා තිබුණේ නැහැ. එම සමාගම ඊට පෙර අවුරුද්දේ රුපියල් මිලියන 478ක් පාඩු ලැබූ සමාගමක්. එම සමාගමේ විගණකයන් පවා කියා තිබුණේ සමාගම පවත්වාගෙන යෑමත් අවිශ්වාස බව. 

සූදු කෙළිනවාක් මෙන් එතරම් අඩමාන සමාගමක වැඩකරන ජනතාවගේ මුදල් ආයෝජනය කරන්නට මූල්‍ය මණ්ඩලය කටයුතු කර තිබුණා.

EPF42014 වර්ෂයේදී එම සමාගමේ කොටස් මිල සීයට 92කින් පහත වැටී තිබුණා. ඒ නිසා එම සමාගමේ ආයෝජනය කළ මුදල් නැවත ගැනීමත් අසීරු වී තිබුණා.

හෝටල් ක්ෂේත්‍රය:

හෝටල් ක්ෂේත්‍රයේ සමාගම් ගණනාවක දැවැන්ත ආයෝජන සිදුකොට 2010 පමණ කාලයේ සිට සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදුවී තිබුණා. ඒ පාඩුව ගැන 2012 විගණන වාර්තාවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව මහබැංකුවෙන් විමසද්දී කියා තිබුණේ, ඉදිරි වසර කිහිපය තුළ සංචාරක කර්මාන්තයේ දැවැන්ත වර්ධනයක් සිදුවීමට නියමිත බවයි. 

ඒ නිසා හෝටල් ක්ෂේත්‍රය ලාභදායක බවත් ඉදිරි වසර කිහිපය තුළ ඒ පාඩුව වෙනුවට ලාභ ලැබෙනු ඇති බවත් කියා තිබුණා. එහෙත් සංචාරක ක්ෂේත්‍රයේ නැගීමක් සිදුවුණේ නැහැ. පසු වර්ෂවලදී නිකුත් වූ වාර්තාවලින් හෝටල් ක්ෂේත්‍රයේ ආයෝජනවලින් සිදුව ඇති පාඩුව පෙන්වා තිබුණා.

2010 වසරේ සිට 2014 අවසානය දක්වා හෝටල් ක්ෂේත්‍රයේ ආයෝජනය කළ අරමුදල් සඳහා ලැබී තිබුණේ සීයට 1.45 සිට 2.86 අතර වූ ඉතාම අඩු මට්ටමේ ආදායමක්. 2013 සහ 2014 වර්ෂවල හෝටල් සමාගම් 8ක යොදවා තිබුණු රුපියල් මිලියන 3000කට අධික දිගුකාලීන හා කෙටිකාලීන ආයෝජන සඳහා අරමුදලට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු බව එම වාර්තාවෙන් කියනවා.

පාඩු ලබන සන්නිවේදන සමාගම්, පරිගණක සමාගම් ආදියෙහි ආයෝජනය කරන්නට හේතු ලෙස දක්වා තිබුණේත්, ඒ ක්ෂේත්‍ර අනාගතයේදී දියුණු වන බව. ඒ ක්ෂේත්‍ර දියුණුවීම සැබෑවක් වුණත්, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළ සමාගම් දියුණු වී නැති බව පෙනෙනවා.

පාඩුවක්ද? අපරාධයක්ද?

කොටස් වෙළඳපොළෙහි ආයෝජන සිදුකිරීමෙන් පාඩු සිදුව ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇතත්, 2008 සිට 2014 දක්වා සිදුව ඇති සමස්ත පාඩුවෙහි ඓක්‍යය ගණනය කර නැහැ. එම කටයුත්ත වෝහාරික විගණන වාර්තාවකින් සිදු කරනු ඇති.

ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වන්නේ මෙය හුදු පාඩුවක් පමණද, නැතිනම් සිතාමතා කර ඇති වංචාවක්ද යන්න. බොහෝ අය චෝදනා කරන්නේ විගණකාධිපති වාර්තාවෙන් වත් නම් හෙළි කර නොමැති ඉහත කී සමාගම්වල සැබෑ හිමිකරුවන් එවකට සිටි ආණ්ඩුවේ හිතවාදීන්ගේ සමාගම් බව. 

පාඩු ලබද්දී එවැනි සමාගම්වල ආයෝජනය කිරීමෙන්, එම සමාගම්ල හිමිකරුවන් අතට මුදල් ගිය බව. ඒ අනුව මෙය පාඩුවක් පමණක් නොව, සූක්ෂ්ම මූල්‍ය අපරාධයක් බව. EPF 5


එම චෝදනා සැබෑවක් නම්, ලංකාවේ ලොකුම වංචාව ලෙස වසර ගණනාවකට කලින් අප දැන සිටි වැට් බදු වංචාව ලිලිපුට්ටෙකු මෙන් පෙනී යාවි. මහබැංකු බැඳුම්කර වංචාව අත දරුවෙකු වේවි. එක් එක් සමාගම්වලට සම්බන්ධව සිටි චූදිතයන් සිය ගණනක් බිහිවේවි.

එම චෝදනා නිසාම වෝහාරික වාර්තාව හංගන්නට ආණ්ඩුව උත්සාහ කරනු ඇති බව පැහැදිලියි. ඒ නිසාම ජනතාවට එම වාර්තාව විවෘත විය යුතු බවත් පැහැදිලියි. ආණ්ඩුව හෙළි නොකළොත්, එය හෙළිකිරීම විපක්ෂයේ වගකීමක් බවත් පැහැදිලියි.

(තරිඳු උඩුවරගෙදර - අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

VIDEO :
මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? VIDEO -01

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? VIDEO -02

සබැඳි පුවත් :

කතානායක, නීතිපතිගේ ඉල්ලීම පසෙකලයි : බැඳුම්කර වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට යයි !

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !

කබ්රාල් බයවෙලා ඇයි ? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද ?

බැඳුම්කර වෝහාරික වාර්තාව : මන්ත්‍රීවරුන්ට දෙන්නද? එපාද? -කථානායක යළි නීතිපතිගෙන් අහයි

ඊපීඑෆ් පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...