සිංහල සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් විශිෂ්ටත ම උත්තමාචාරය පිදෙන, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’’ පසුගිය 08 (2023/09/08) වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

මෙවර පැවැවැත්වූයේ 17වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ය.  එය ඇරඹි 2007 වසරේ සිට 2023 වසර දක්වා පැවැත්වූ උළෙල අතුරෙන් මා හට සම්බන්ධ විමට නොහැකි වුයේ උළෙල තුනකට පමණි. එලෙස සම්බන්ධ වු සැම උළෙලක් සඳහා ම ලංකාවේ විවිධ වෘත්තිය ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයෙක් උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය; ඔහු හෝ ඇය දේශනයක් ද පැවැත්විය. 

1 3 0

මෙවර ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර මහතා ය. යට සඳහන් කළ පරිදි එදා මෙදාතුර මා සහභාගි වූ උළෙල අතුරෙන් ක්ෂේත්‍රයට අදාළව මෙන් ම ඉතා හරවත් ම දේශනය කළේ මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර මහතා බව මගේ පුද්ගලික හැඟීම ය. මට සහභාගි වීමට නොහැකි වූ සම්මාන උළෙල ත්‍රිත්වයට සහභාගි වූ ප්‍රධාන අමුත්තා හෝ අමුත්තිය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ දේශනයට වඩා හරවත් අර්ථවත් දේශනයක් කළේ නම් ඒ සම්බන්ධයෙන් මම මගේ සමාව අයැද සිටින අතර ම 17වන ස්වර්ණ පුස්තක සම්මාණ උළෙලේ දී එයට සහභාගි වු ප්‍රධාන අමුත්තාගේ කතාව වැඩි පාඨක පිරිසකගේ අවධානය පිණිස ලියා තැබිමට අදහස් කළෙමි.

මතු දැක්වෙන්නේ එම උළෙලේ දී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා දැක්වූ අදහස් ඇසුරෙන් (ඔහුගේ අනුමැතිය සහිතව) සම්පාදිත ලියවිල්ලකි.

කියවීම ද චිකිත්සාවකි

Screenshot 2023 09 15 at 13.31.32

මා කලකට පෙර මෙම සම්මාන උළෙල වෙනුවෙන් ඉදිරිපත් කළ පොත් කියවන කමිටුවල කටයුතු කළේ ය; ඇතැම් අවස්ථාවල එහි සභාපති ධුරය ද දැරී ය. එම අත් දැකීම් ද පවතින බැවින් මේ දුෂ්කර ව්‍යායාමය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. වර්තමානයේ ග්‍රන්ථ ප්‍රකාශනය වේගවත්ය; මුද්‍රණය වේගවත් ය. නවතම තාක්ෂණික මෙවලම් කරණකොට ගෙන සියල්ල වේගවත් ය. රිද්මය වේගවත් ය; අපගේ ජීවිත ද වේගවත් ය. ජනමාධ්‍ය ද වේගවත් ය; සියල්ල ම වේගවත් ය.
 
මෙම වේගවත් රිද්මය හේතුවෙන් මිනිසුන්ට ප්‍රතිභාව අවශ්‍ය වී ඇත. චිකිත්සාව අවශ්‍ය වී ඇත. එම චිකිත්සාව ද වර්ග කිහිපයකි. ඒවා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ: වෝටර් තෙරපි, මියුසික් තෙරපි, ආර්ට් තෙරපි, ධම්ම තෙරපි, කලර් තෙරපි ආදි වශයෙනි. මේ සියලු චිකිත්සා එකතු වෙන ස්ථානයක් පවතී. ඒ, බිබ්‍රියෝ තෙරපි ය. එනම් හොඳ පොත් කියවීම ය. ප්‍රතිකාරයක් ලෙස පොත් කියවීමට කැමති පුද්ගලයන් කුඩා අවධියේ සිට පොත් කියවා රස විඳින්නට පුරුදු වීම හේතුවෙන් ඇතිවන්නේ විශාල ජීවිත පෙරළියකි. ඒ පෙරළිය අපිට හිමි ද අහිමි ද යන්න ගැටලුවකි. මෙම ගැටලුව ඉදිරියේ විශ්වවිද්‍යාලයේ අත් දැකීම් සමග අප සිටින්නේ වික්ෂිප්ත භාවයෙනි.
Screenshot 2023 09 15 at 13.43.24
 
පසුගිය සමයේ විශ්වවිද්‍යාල වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන්නට යෙදිණ. ඒ මෘදු කුසලතා දියුණු කිරීම වෙනුවෙනි. මෘදු කුසලතා දියුණු කළ යුත්තේ: නිවසේ දී, පාසලේ දී සහ දහම් පාසලේ දි වන අතර පොත් පත් සහ සෞන්දර්ය කලාව ද මීට අයත් විය යුතු ය. නමුත් වර්තමානයේ මෙරට ජනාධිපතිතුමා ඇතුළු රජය ද, අධ්‍යාපන ඇමතිතුමා ද අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ විවිධ සාකච්ඡාවල දි පවසන්නේ: සයන්ස්, ටෙක්නොලජි, ඉංජිනියරින්, මැතමැක්ස් යනාදි අංග වර්ධනය කළ යුතු බවයි. එය නරක නැත. මන්ද අප ලෝකය සමග ගමන් කළ යුතු ය. ඒ සඳහා: විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය, ගණිතය සහ තෙරතුරු තාක්ෂණය හැදැරිය යුතු ය. නමුදු එයට ම කලාව, සාහිත්‍ය සහ සෞන්දර්ය ද එකතු කළ යුතු ය. මේ අංග රසවිඳිය නොහැකි නම් එම වාතාවරණය තුළ සංවේදී පුරවැසියෙකු බිහිවීම දුෂ්කර ය. මෙම අදහස එකල සොක්‍රටීස් පවා ප්‍රකාශ කර ඇත.
සාහිත්‍යය සහ සඟ පරපුර
 
1860 වසරේ දී ලංකෝපකාරය නමින් මුද්‍රණාලයක් ආරම්භ කෙරිණ. ලංකාවේ පළමු (සිංහල) පුවත් පත ලෙස සැලකෙන ලංකාලෝක පුවත්පත ගාල්ලේ බුලත්ගම ධම්මාරාම සාරතිස්ස හිමිගේ ප්‍රධානත්වයෙන් මුද්‍රණය කෙරෙන්නේ මෙම මුද්‍රණාලයේ ය. මෙම පුවත්පත මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රය ලංකාවට රැගෙන ආවේ සියම් රජතුමාගේ උපකාරයෙනි. ඊට පෙර ලන්දේසින් පුවත්පත් මුද්‍රණය කර තිබිණ. නමුත් ඒවායේ ඇතුළත් බොහෝ කරුණු අපිට අවාසිදායක තත්ත්වයක පැවතිණ. අනතුරුව දෙවන මුද්‍රණ ආයතනය කොටහේන දීපදුත්තාරාම පංසලේ පිහිටුවන්නේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිගේ ප්‍රධානත්වයෙනි. උන්වහන්සේ ආරම්භ කළ එම වැඩපිළිවෙළ යටතේ: ජාතක පොත, මිලින්ද ප්‍රශ්නය, කාව්‍යශේඛරය යනාදි පොත් සහ තවත් විවිධ පොත් පත් මුද්‍රණය කෙරිණ. එදා මෙදා තුර ලක්ෂ සංඛ්‍යාත පොත් ප්‍රමාණයක් රට තුළ සංසරණය විය; ලක්වැසි ප්‍රජාව එම පොත් සහ පුවත් පත් කියවී ය.
 
bt 0431

මුද්‍රණයෙන් නිකුත් වීමට පෙර මෙම පොත් බෙහොමයක් ලියැවී තිබුණේ පුස්කොළ පොත්වල වීම සුවිශේෂය. මේ සියල්ල සංස්කරණය කළේ මෙරට භික්ෂු පරපුර ය. ඒ අතුරින් ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළේ හික්කඩුවේ සුමංගල හිමි බව ද සිහිපත් කළ යුතු ය.
 
වර්තමානයේ අප බරපතළ ප්‍රශ්නයක පැටලී ඇත. එනම් සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ ප්‍රශ්නය යි. නූතන සිංහල පරපුර සිංහල භාෂාව ඉගෙනගැනීමට වැඩි කැමැත්තක් නොදක්වති; සිංහල සාහිත්‍ය හැදෑරීමට ද එතරම් කැමැත්තක් නොදක්වති. දෙමළ භාෂාවේ පවා එම ප්‍රශ්නය පවතින බව දෙමළ ආචාර්ය මහාචාර්යවරු පවසති. එසේ වුව ද සිංහල භාෂා විද්වතුනට වඩා දෙමළ භාෂා විද්වතුන් තම මවු භාෂාවට ආදරය කරන බව පැහැදිලි ය.
රාජ්‍ය සහ සාහිත්‍යය
 
image 60caaf5dfe
 
1955 වසරේ දී සර් ජෝන් අගමැතිධුරය දරන සමයේ ඉතා වැදගත් තීරණයක් ගෙන තිබිණ. එනම් සාහිත්‍ය සඳහා සම්මාන උළෙලක් පවත්වා හොඳ ම සාහිත්‍ය කෘති සඳහා සම්මාන පිරිනැමීම ය. මූලාශ්‍රවල සඳහන්වන පරිදි එහි ප්‍රචාරක කටයුතු බාර දී තිබුණේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා වෙතය.එහි ප්‍රචාරාත්මක කටයුතු සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ සිළුමිණ පුවත්පත ය. නමුත් 1956 වසරේ දී රාජ්‍ය බලය වෙනත් දේශපාලන කණ්ඩායමක් අතට පත්විය. ඒ, එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතු දේශපාලන කණ්ඩායමට ය. සර් ජෝන් කොතලාවල මහතාගේ සංකල්පය සහ යෝජනාව සඵල කරමින් බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ පැවති ආණ්ඩුව සංස්කෘතික අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව පිහිටුවා මෙරට සාහිත්‍ය සම්මාන උළෙල ඇරඹී ය.
 
ar1003282                   පී. නිශ්ශංකඒ අනුව ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ නවකතාව ලෙස පී. නිශ්ශංක මහතා විසින් රචිත ‘‘ගිනි සිසිල’’ ඉතිහාස ගතවිය. දෛවයක මහිමයක් ලෙස මගේ පියා වෙත ද සම්මානයක් හිමි විය. ඒ: විචාර, ගීත සහ ගීත නාටක ඇතුළත් ‘‘නිශාදි’’ නමැති කෘතිය සඳහා ය. මපියාණන් එම කෘතියේ පිදුම සඳහන් කර තිබුණේ ද මා වෙනුවෙනි.
 
පසු කලක දී දොන් පේද්‍රික් මහතා වෙනුවෙන් ද සාහිත්‍ය සම්මාන උළෙලක් පවත්වා එම සම්මාන උළෙලවල දී: ගුණදාස අමරසේකර මහතාගේ කරුමක්කාරයෝ, සිරි ගුනසිංහ මහතාගේ හෙවණැල්ල, කේ. ජයතිලක මහතාගේ චරිත තුනක්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ කල්පනා ලෝකය, මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ විරාගය යන කෘති සම්මානයට පාත්‍ර විය.
Screenshot 2023 09 15 at 13.56.29
 
මේ ආකාරයට ඇරඹි සාහිත්‍ය සම්මානෝත්සව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පමණක් නොව පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ද විවිධ සාහිත්‍ය සම්මානෝත්සව ඇරඹිණි. ඒ ආකාරයට ම දිවයින පුරා මුද්‍රණාල ද ඇරඹිණි; පොත් අලෙවිසල් ද ඇරඹිණ; පොත් ප්‍රකාශන ආයතන ද ඇරඹිණි. පසු කලක දී රාජ්‍ය සේවයේ නියුතු අය වෙනුවෙන් ම වෙන් වූ රාජ්‍ය සාහිත්‍ය තරගාවලියක් ද ඇරඹිණි.

මේ ආකාරයට පොත් කර්මාන්තය දියුණු වෙමින් පවතින විට මුද්‍රිත මාධ්‍ය තුළ ද පොත් පිළිබඳ විවිධ ලිපි ලේඛන මෙන් ම ප්‍රචාරාත්මක කටයුතු ද සිදුවිණ. රූපවාහිනිය හඳුන්වා දීමට පෙර ගුවන් විදුලි නාලිකා තුළින් ද රුපවාහිනිය පැමිණි පසු එම මාධ්‍ය තුළින් ද පොත් පිළිබඳව විවිධ වැඩසටහන් ප්‍රචාරය විය. ඒ සියලු වැඩසටන් හේතුවෙන් පොත් රසවින්දනය ද ඇති විය.
 
වෘත්තිය සංස්කාරක අවශ්‍යතාව
 
පොත් පිළිබඳ කතා කිරීමේ දී පොත් කියවන විධි කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කළ හැකි ය. එනම්: උඩින් පල්ලෙන් කියවීම, එක දිගට කියවීම සහ සම්පූර්ණ අවධානයෙන් කියවීම යනුවෙනි. එමෙන් ම ඇතැම් අය සිතින් පොත් කියවන විට සමහර අය ශබ්ද නගා කියවති. මේ ශබ්ද නගා කියවීම ඇතැම් අය ශෝදුපත් කියවීමේ දී ද භාවිත කරයි. එවිට කෘතිය කෙරෙහි පවත්නා අවධානය වැඩි බවට මතයක් පවතී. මා මේ පිළිබඳව විශේෂයෙන් ම සඳහන් කළේ වර්තමානයේ නිකුත්වන බොහෝ කෘතිවල දෝෂ පවතින බැවිනි. මේ ඇතැම් පොත්වල අක්ෂර වින්‍යාස දොස් බහුල ය. මේ සඳහා ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මෙරට වෘත්තිය පොත් සංස්කාරකවරු නොමැති වීම ය. පොත් ලියනවා මෙන් ම එම පොත් වෘත්තිය සංස්කාරකවරයෙකු හෝ සංස්කාරකවරියක වෙත ඉදිරිපත් කර ගුණ දොස් නිවැරැදි කර ගන්නේ නම් ඉතා අගනා ග්‍රන්ථ සම්භාරයක් අපට කියවිය හැකි බව විශ්වාසය.
red pen editing 77942564 s
 
මීට වසර ගණනාවකට ඉහත, විශේෂයෙන් ම: ඩබ්ලියු. ඒ. සිල්වා, පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක යනාදි කතුවරුන්ගේ පොත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත. ඇතැම් කතුවරුන්ගේ පොත් පිටපත් පනස් දහස ද ඉක්මවා මුද්‍රණය කර ඇත. නමුත් අද පොත් දහසක් මුද්‍රණය කරන්නේ ද කලාතුරකිනි. කවිපොත් නම් ඇතැම් විට මුද්‍රණය කරන්නේ පිටපත් සියයකි. එමෙන් ම මේ වන විට පුවත්පත්, රුපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා තුළද පොත් පත් පිළිබඳ සාකච්ඡා නොකෙරන තරම් ය. එවැනි වාතාවරණයක් තුළ වුව ද චරණ රූපවාහිනියේ පොත් පිළිබඳ විශේෂ වැඩසටහනක් විකාශනය කෙරෙන බව මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මේ සියලු කාරණා හේතුවෙන් භාෂාව, සාහිත්‍ය සහ රසවින්දනය පිළිඳ විශාල රික්තයක් පවතී. එය සමාජයේ ඉදිරි ගමනට බලවත් බාධකයකි. මේ පිළිබඳව ද අපෙගේ අවධානය යොමු විය යුතු ය. එලෙස අවධානය යොමු වන්නේ නම්, ඒ පිළිබඳ සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් අප හට යහපත් පුරවැසියන්ගෙන් සමන්විත සමාජයක් බිහි කළ හැකි ය.

අද දින සම්මානයට නිර්දේශ වූ පොත් පහ පහ පමණක් නොව පළමු වටයට තේරුණු පොත් දොළහම මා කියවා ඇත. එපමණක් නොව වෙනත් බොහෝ පොත් කියවා ඇත. නමුදු වත්මන් ශිෂ්‍ය ප්‍රජාව පොත් කියවීමෙන් වියුක්තව සිටින බව ද මෙහි දි පැවසිය යුතු ය. ඔවුන් පොත් නොකියවන්නේ පොත් මිල අධික නිසා ද, නුපුරුදු නිසා ද, පොත් කියවිමට ඇති අකමැත්ත නිසා ද යන්න අප විමසා බැලිය යුතු ය.
 
එබඳු පුරවැසි සමාජයකට: විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, ගණිතය යන විෂයයන් ද අවශ්‍යය බව අවිවාදිත ය. ඒ අතර භාෂාව ද සුවිශේෂි ය. සංස්කෘතියේ විශිෂ්ට ම අංගය විය යුත්තේ ද භාෂාව ය. භාෂාව වෙනස් වීම වැළැක්විය නොහැකි ය. එමෙන් ම එය වෙනස් විය යුතු ය. නමුත් අප එම භාෂාවේ අනන්‍යතාව රැකගත යුතු ය. මේ වන විට කථන භාෂාවෙන් බොහෝ පොත් ලියන බව දක්නට තිබේ. නමුත් මීට වසර ගණනාවකට ඉහත මේ ආකාරයෙන් කටවහරෙන් නොලියවුණි. කටවහරෙන් හෙවත් කථන භාෂාවෙන් ලිවීම නරකය යන්න මෙයින් අදහස් නොකෙරේ. එහි ද රීති සමුදායක් පවතී. එම රීති රකිමින් සාහිත්‍යකරණයේ යෙදෙන්නේ නම් වඩාත් සුදුසු ය.
 
පරිපාලන තනතුර සහ සාහිත්‍යය
 
අපි දන්නා තරමින් එදා මෙදා තුර ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයේ නියුතු නිලධාරින් බොහෝ දෙනා මානව ශාස්ත්‍ර, සමාජීය විද්‍යාව සහ භාෂාව හදාරා තිබිණ. ලංකා බැංකුව, මහජන බැංකුව පමණක් නොව බොහෝ ආයතනවල පාලකයින් පාලි, සංස්කෘත යනාදි භාෂාවලින් උපාධි ලබාගත් අය යි. එබඳු තත්ත්වයක් යටතේ වුව ද ඔවුන් ඉතා දක්ෂ ලෙස සහ සුන්දර ලෙස එම ආයතන පාලනය කළේ ය. පරිපාලන ක්ෂේත්‍රයේ නියුතුව සිටි බොහෝ නිලධාරින් ද එබඳු අය යි. ඔවුන් සාහිත්‍ය පොත් පත් ඇසුරු කළ, සාහිත්‍යකරණයේ නියැළුණු පිරිසකි. ඔවුන් සිය රාජකාරිය මෙන් ම සාහිත්‍ය කලා රසිකත්වය ද සහෘදත්වය ද රඳවා තබාගැනීමට සමත් විය. ඔවුන් අතර සොරකම දූෂණය ද නොපැවතිණ.
 
tyye
 
මේ සියල්ල වියැකි ගිය සමාජයේ අද බරපතළ ප්‍රශ්නයක් ඉතිරිව පවතී. ඒ, ඉදිරි අනාගතයේ දී රට පාලනය කිරිමට පැමිනෙන නිලධාරින්ට සමාජීය විද්‍යාව සහ මානව ශාස්ත්‍ර විෂයය ඉගෙන ගැනීමේ ඉඩ බොහෝ දුරට අඩුවෙමින් පැවතීම ය. ඒ සඳහා ප්‍රමුඛ හේතුව ලෙස මා දකින්නේ මෙම පිරිසට දැරිය නොහැකි ප්‍රමාණයේ මෙන් ම ගෝචර නොවන තරමේ ප්‍රශ්න පත්‍ර සකසා තිබීම ය. මේ බොහෝ පිරිස් පළමු ප්‍රශ්න පත්‍ර යෙන් ම අසමත් වෙති. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව යනාදිය හැදෑරූ පිරිස් අනාගතයේ දී පරිපාලන ක්ෂේත්‍රයට පිවිසිය හැකිය. එය නරකම යැයි නොපැවසුව ද රටකට අවශ්‍ය වන්නේ හද පියුම විකසිත වු සංවේදි පරිපාලකයන් බව අප අමතක නොකළ යුතු ය.
සාහිත්‍ය පොත පත පරිශීලනය නොකිරීම හේතුවෙන් පුද්ගල චර්යා රටාවල වුව ද විවිධ ගැටලු ඇතිවිය හැකි ය. ආසන්නත ම උදාහරණයක් ගෙන එන්නේ නම් යාපනයේ සිට අප විශ්වවිද්‍යාලයට පැමිණි ශිෂ්‍යයෙක් පසු ගිය දිනෙක සිය දිවි නසාගත්තේ ය. ඔහු දක්ෂ දරුවෙකි. නමුත් මේ අයගේ ජීවිත පිළිබඳ සොයා බලන විට ඔවුන්ට ජීවිතයේ රසවින්දනය අවම බවත්, ඇතැම් පීඩාකාරි තත්ත්ව ඔරොත්තු නොදෙන බවත් කුඩා ගැටලුවක දී වුව ද මානසික මට්ටම කඩා වැටෙන බවත් දැකගත හැකි ය.

මේ සියලු කාරණා දෙස අවධානය යොමු කරන විට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විශාල වැඩ කොටසක් කර ඇති බව අවිවාදිත ය. ඒ ගෞරවය ඔවුන්ට හිමි විය යුතු අතර සාහිත්‍යකරණයේ නියැළෙන සියලු කතුවර කතුවරියන්ට,  සෑම වසරක් පාසාම ලැබෙන කෘති කියවා විනිශ්චය ලබා දෙන මහත්ම මහත්මින්ට මෙන් ම මෙම පොත් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන සමාගම් වෙත ද අපගේ ගෞරවය සහ ස්තුතිය පුද කළ යුතු ය.

පස්වන සියවස තුළින් විසිඑක්වන සියවස කියවිය හැකි 'සී රජ' - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/09/15     


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්