ඉරානයේ බොහෝ කතුන් ඔවුන්ගේ හිස් ආවරණ සදහටම ගලවා දමා ඇත


ඉරානයේ උණුසුම් දහවලක, ඉණ ප්‍රදේශය පිටතට නිරාවරණය වන පරිදි ඉරුණු ජීන්ස් කලිසමක් ඇඳ, හිසකෙස් ද වසා නොගත් තරුණ කතක් ටෙහෙරාන් නුවර වීථියක් දිගේ ඇවිද යයි. අවිවාහක තරුණ යුවලක් ද අත්වැල් බැඳගෙන ඇවිද යනු පෙනෙයි. කලක් ඉරාන ජනයා තුළ මහත් බියක් දැනවූ එරට සදාචාර පොලීසිය විසින් තවත් තරුණ කතකට හිස වසා හිජාබ් පළඳින්නැ යි කිව්කල, ඊට අවනත නොවනා ඇය ඔවුනට මෙසේ පිළිතුරු දෙන්නීය: "බම්බු ගහගනිල්ලා!"

ටෙහෙරානයේ වෙසෙනා කීපදෙනෙකු පසුගිය මාසය පුරාවට මට පවසනා ලද මෙවැනි නිර්භය, විප්ලවීය ක්‍රියාවන්, පසුගිය වසරේ මේ කාලය වන විට නම් ඉරාන වැසියන්ට සිතාගැනීමටත් නොහැකි වූ අන්දමේ ඒවා ය. නමුත් ඒ, හිජාබය නිසි පරිදි නොපැළැන්දේ ය යන චෝදනාව පිට සදාචාර පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 22 හැවිරිදි මහ්සා අමීනි පොලිස් අත්අඩංගුවේ දීම මියයෑමට පෙර ය.

 

කඩතුරා නීතිය 'කඩ කෙරෙයි'


ඇගේ මරණයෙන් පසු ඉරානය තිගැස්මට පත්කරමින් ඇවිළීගිය මහා පරිමාණ විරෝධතාවන් රජයේ කුරිරු මර්දනය හමුවේ මාස කීපයක් තුළ නිවී ගිය ද, ඒ විරෝධතාවන් ඇවිළුමට මුල්වූ මහත් කෝපය නිවීගියේ නැත. පවතින රෙජීමයට එරෙහිවීම සඳහා නව උපක්‍රම සොයාගැනීමට කාන්තාවන්ට සිදුවූවා පමණි.

සාමාන්‍යයෙන් රට පුරාම කාන්තාවන්ගෙන් 20%ක් පමණ හිස් ආවරණ නොපළඳා වීථියට බැසීම හරහා ඉස්ලාමීය ජනරජයේ නීති කඩකරමින් සිටිනබව, ටෙහෙරානයේ වෙසෙන බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අනුමාන කරයි.

හිජාබ නීති කඩකළ බවට අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය මහ්සා අමීනි :'මට මගේ දුවව බලන්න ඕනි උනා,ඒත් එයාලා ඒකට මට ඉඩ දුන්නේ නෑ'
ඉරාන විරෝධතා: සදාචාර පොලිසිය මතභේදාත්මක ලෙස යළි වීදි බසී
"ගිය අවුරුද්දෙන් පස්සෙ සෑහෙන දේවල් වෙනස් වුණා," ටෙහෙරානයේ වෙසෙන 20 හැවිරිදි සංගීත ශිෂ්‍යාවක පවසයි. ආරක්‍ෂිත සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝමයක් හරහා අප හා කතාබහ කරන ඇය අපි 'ඩොන්යා' ලෙස හඳුන්වමු. ඇය, පොදු ස්ථානවල හිස් ආවරණය පැළැඳීම ප්‍රතික්ෂේප කරනා තවත් බොහෝ කාන්තාවන්ගෙන් අයෙකි. "මට දැන් කරන්න හයියක් තියෙන දේවල් ගැන මට තාමත් හිතාගන්න බෑ. අපි දැන් හිටියට වඩා ගොඩක් නිර්භීත වෙලා, එඩිතර වෙලා."

 "සදාචාර පොලිස්කාරයො ළඟින් ඇවිදන් යන හැම වතාවෙම මට මර බයක් දැනුනට, මම දැන් ඔළුව කෙලින් තියාගෙන, එයාලා දැක්කෙ නෑ වගෙ යනවා," ඇය පවසයි. "මම දැන් එළියට යද්දී මට ඕන ඇඳුමක් ඇඳන් යනවා." නමුත් මෙහි විපාක බරපතල විය හැකිබවත්, ඇය අනවශ්‍ය අවදානමක් නොගන්නාබවත් ඇය ඒ සමගම පවසයි. "මං කොට කලිසම් අඳින්නෙ නෑ. ඒ වගෙම, තත්ත්වෙ බරපතල වුණොත් කියලා, මම ඔලුව වහන්න රෙද්දක් හැම තිස්සෙම බෑග් එකේ දාගෙන යනවා."

පොලිස් අත්අඩංගුවේ දී බරපතල ලිංගික අඩත්තේට්ටම් වලට ලක්වූ කාන්තාවන් ගැන අසා ඇතිබව පවසන ඇය, හිජාබය නොපැළැඳීමට දඬුවමක් වශයෙන් මළ සිරුරු සෝදන්නට සිදුවූ කාන්තාවන් ගැන වාර්තා උපුටා දැක්වූවා ය. මා හා කතාබහ කළ සියලුම කාන්තාවෝ, ඇඳුම් පැළැඳුම් පිළිබඳ නීති කඩ කරන්නන් හසුකර ගැනීම හා දඩ නියම කිරීම සඳහා මාර්ගයේ පිහිටුවා ඇති නිරීක්ෂණ කැමරා ගැන සඳහන් කළහ.

 

40681520 530c 11ee a312 b99ac17e5cbaටෙහෙරානයේ හිජාබ් නීති උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කරන CCTV කැමරා

උතුරු ටෙහෙරානයේ ධනවතුන් වෙසෙන ප්‍රදේශවල, ප්‍රසිද්ධියේ හිජාබය නොපළඳින කාන්තාවන්ගේ ප්‍රතිශතය 20%ට වඩා ඉහළබව බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයා ඇස්තමේන්තු කරයි. නමුත් ඔහු විප්ලවය අගනුවරටම සීමාවී නැතැ යි ද පවසයි.

"ඒක භූගෝලීය හැසිරීමකට වඩා, [අලුත්] පරම්පරාවත් එක්ක බැඳුණු හැසිරීමක්... එහෙම කරන්නේ උගත්, බුද්ධිමත් කට්ටිය විතරක් නෙවේ, ස්මාට්ෆෝන් එකක් තියෙන ඕනෑම තරුණ වයසේ කෙනෙක් එහෙම කරන්න පුළුවන්... ඒ හරහා තමයි මේ දේවල් ගම්වලටත්, හැම දිහාටමත් පැතිරෙන්නේ."

දශක හතරක් තිස්සේ කාන්තාවන් අඳින පළඳින හා හැසිරෙන ආකාරය පාලනය කිරීමට වෙර දැරූ රෙජීමයට, මහ්සා අමීනිගේ මරණය නිසාවෙන් ඇවිළුණු විරෝධතාවන් විශාලා හා තීරණාත්මක "හැරවුම් ලක්ෂ්‍යයක්" වූ අයුරු බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයා විස්තර කළේ ය.

"ඒවායින් [රෙජීමය] ඉදිරියෙන් අවසන් වෙන වන් වේ පාරක්බවට හැරෙව්වා," ඔහු පවසයි. "අපි නොදන්නා එකම දේ තමයි, මේ පාර කොච්චරක් දිග ද කියන එක."

 1979 වසරේ විප්ලවයෙන් පසු, ඉරානයේ පූජකතන්ත්‍ර රෙජීමයට එල්ලවූ බරපතලම අභියෝගය වූයේ, කාන්තාවන් විසින් මෙහෙයවන ලද මේ නැගී සිටීම යි. එය මර්දනය කිරීමේ දී රෙජීමය පුද්ගලයින් 500කට වැඩි පිරිසක් ඝාතනයකර ඇතැ යි මානව හිමිකම් කණ්ඩායම් පවසයි. මින් දහස් ගණනක් දෙනා තුවාල ලැබීය - මුහුණට වැඩි තැබීම නිසා තවත් පිරිසක් අඳභාවයට පත්විය. අවම වශයෙන් 20,000ක් පමණ ඉරාන ජාතිකයින් සිරභාරයට පත්කෙරුණු අතර, බන්ධනාගාරයේ දී වධහිංසා හා ලිංගික අඩත්තේට්ටම් සිදුවූබවට වාර්තා ඉදිරිපත් විය. විරෝධතාකරුවන් හත්දෙනෙකුට මරණ දඬුවම ලබාදුණි. ඉන් අයෙකු මරා දමන ලද්දේ ප්‍රසිද්ධියේ දොඹකරයක එල්ලීමෙනි. රෙජීමය බලාපොරොත්තුවූ පරිදිම, මෙය ජනයා තුළ බියක් ඇතිකළේ ය.

 

7da5b9b0 530c 11ee a312 b99ac17e5cbaරෙජීම-විරෝධී ග්‍රැෆිටි මකා දැමෙන නමුත් යළි යළිත් අඳිනු ලබන බව, 'ඩොනියා' පවසයි

 

මහ්සා අමීනි සංවත්සරය


මහ්සා අමීනිගේ මරණ සංවත්සරය නිමිතිකොට ගෙන තවත් කලබල සිදුවීම වැළැක්වීමේ ප්‍රයත්නයක් ලෙස, ඉරාන බලධාරීන් තවත් අත්අඩංගුවට ගැනීමේ රැල්ලක් ක්‍රියාවට නංවා තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, ගායකයින්, සහ විරෝධතා අතරතුරේ ඝාතනය කෙරුණු තැනැත්තන්ගේ ඥාතීන් ද වෙයි. රෙජීමයට පක්ෂපාතී නැතැයි සැලකෙන ශාස්ත්‍රඥයින් ඔවුන්ගේ රැකියාවලින් පහකර දමා තිබේ.

නමුත්, අසාමාන්‍ය ලෙස සුවිශේෂී නිහඬ විරෝධතාවන් දිනපතා ක්‍රියාත්මක වෙයි.

ටෙහෙරානයේ ජනතාව රජයේ දැන්වීම් පුවරු විකෘති කරනබවත්, තාප්පවල හා බොහෝවිට උමං දුම්රියේ #මහ්සා සහ "කාන්තාව, ජීවිතය, නිදහස" (විරෝධතාවන්හි සටන්පාඨය) යනුවෙන් ලියනබවත් ඩොනියා පවසයි.

"ආණ්ඩුවෙන් ඒවා මකලා දානවා. ඒ වුණාට මකන මකන සැරේට ඒවා ආපහු ලියවෙනවා."

මෙය කාන්තාවන් විසින් තනිව ගෙනයන සටනක් නොවනබව ඇයත්, මා හා කතාබහ කළ අනෙකුත් කාන්තාවනුත් අවධාරණය කරයි. ඔවුනට සහාය දක්වන බොහෝ පිරිමින් ද සිටියි.

"සමහරු [පිරිමි] පාරට යද්දී අත් නැති ඇඳුනුයි කොට කලිසමුයි අඳිනවා, එහෙම නැත්නම් මේකප් දාගෙන යනවා, මොකද මෙහෙ පිරිමින්ට ඒ දේවල් කරන එක තහනම්. තමන් කැමති නැති දෙයක් අඳින්න බල කළාම ඒක කොච්චර විකාරයක් වෙනවා ද කියලා පෙන්නන්න බලාගෙන සමහර පිරිමි පාරට බහිද්දී හිජාබ් එකක් දාගෙන යනවා."

 

සදාචාර පොලීසිය


මහ්සා අමීනිගේ මරණයෙන් පසු ඇතිවූ විරෝධතා සමග තාවකාලිකව නවතා දමා තිබූ සදාචාර පොලිසියේ වීථි සංචාරයන් පසුගිය සති කීපයේ දී නැවතත් ඇරඹී තිබේ. නමුත් නැවතත් මහා පරිමාණ උද්ඝෝෂණ ඇරඹේයැ යි බියෙන්, ඔවුන් සෘජු ගැටුම් ඇතිකර ගැනීමට පසුබට වනබවක් පෙනෙන්නට ඇතැ යි ඩොනියා පවසයි.

නමුත් පසුගිය වසරේ දී බලධාරීන් වෙනත් ආකාරයන්ගෙන් පාලනය පවත්වාගැනීමට තැත්කර තිබේ. ඔවුන්, හිස වසා නොගත් කාන්තාවන්ට සේවා සැපයූ ව්‍යාපාරයන් සිය ගණනක් බලහත්කාරයෙන් වසා දමා ඇති අතර, හිස වසා නොගත් කතුන් පදවන වාහනවලට දඩ ගැසීම හා රාජසන්තක කිරීම සිදුකර ඇත.

දැනට, හිස වසා නොගත් කාන්තාවෝ රියාල් 5,000 - 500,000 [රු. 435000 - කෝටි 4.3] අතර දඩයකට හෝ දින දහයේ සිට මාස දෙකක් දක්වා වන සිර දඬුවමකට යටත්වීමේ අවදානමට ලක්ව සිටිති.

ටෙහෙරානය තුළ හිස් ආවරණය නොමැතිව රිය පදවනු CCTV කැමරාවන්ට හසුවීමෙන් පසු, දැනටමත් බලධාරීන්ගෙන් ඇගේ දුරකතනයට අනතුරු ඇඟවීමේ කෙටි පණිවුඩ තුනක් ලැබී ඇතැ යි 32 හැවිරිදි 'බැහෝරේ' පවසන්නී ය. ඔවුන් ඇය නැවත වරක් හසුකර ගතහොත් ඇගේ රථය රාජසන්තක කරනු ඇතැ යි ඇය කියයි.

 

b9a8e270 530c 11ee bb35 018b118380ceපළමු වරට ප්‍රසිද්ධියේ හිජාබය ගලවා දැමීමෙන් පසු මහත් උද්යෝගයක් දැනුනේයැ යි බැහෝරේ පවසයි

 

නැගෙනහිර අසර්බයිජාන පළාත තුළ පමණක්, හිජාබ් නීති කඩකිරීම නිසා අගෝස්තු 11 දා වන විට රාජසන්තක කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 439ක්බව ප්‍රාන්ත පොලීසිය පවසයි.

 

හිජාබය ගලවා දැමීම


බැහෝරේ ද, නගරයේ වේග උමං දුම්රියේ ගමන් කිරීමට හා වෙළඳ සංකීර්ණ වෙත පිවිසීමට තැත්කිරීමේ දී නවතා ඇත. ඇයට සියල්ලටම වඩා අපහසු දෙය වී ඇත්තේ, ඇගේ පුත්‍රයා පාසැලේ පළමු වසර සම්පූර්ණ කිරීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට සහභාගීවීමෙන් ඇය වැළැකීම යි.

නමුත්, පසුගිය වසරේ සැප්තැම්බරයේ දී පළමු වරට ප්‍රසිද්ධියේ හිජාබය ගලවා දැමීමෙන් ඇය ලද මහත් උද්යෝගය සිහිපත් කරන ඇය, ආපසු හැරීමක් නම් නැතැ යි යන තිර අදිටනෙන් පසුවන්නී ය.

"මගෙ පපුව හයියෙන් හයියෙන් ගැහුණා. ඒක හරිම උද්යෝගයක්. මට දැනුනා මං මහා තහංචියක් කැඩුවා කියලා."

දැන් එයට හොඳින් හුරුවී සිටින ඇය ගමන්බිමන්හි යෙදීමේ දී හිජාබයක් ගෙනයන්නේ ද නැත.

 

 "හිජාබ් එකට විතරක් නෙවේ, මේ ඒකාධිපතිත්වයේ හැම නීතියකටම, පහුගිය අවුරුදු 43 දී ඉරානෙ මිනිස්සු විඳපු හැම දුක් කන්දරාවකටම මගෙ විරෝධය, අකීකරුකම පෙන්නන්න තියෙන එකම මෙවලම ඒක අඳින්නේ නැති එක යි. තමන්ගෙ දරුවන් [ගේ මරණ] ගැන ශෝකයෙන් කළු අඳින්න සිද්ධවෙලා ඉන්න හැම අම්මෙක් තාත්තෙක් වෙනුවෙන්ම මම මේක දිගටම කරගෙන යනවා." 

ඉස්ලාමික ජනරජයේ අවසානය දැකීමට කොතරම් ජනකායක් කැමැතිදැ යි මැනීමට ක්‍රමයක් නැතත්, ඇගේ හිජාබය ගලවා දැමීම හා ඉරානයේ උත්තරීතර නායකයා විවේචනය කිරීමෙන් පසු පසුගිය ඔක්තෝබරයේ දී සිව්මසකට සිරගත කෙරුණු සිනමාවේදිනී මොජ්ගාන් ඉලන්ලූ පවසන පරිදි, රෙජීමය කෙරෙහි වන ක්‍රෝධය පුළුල්ව පැතිරීගොස් තිබේ. පසුගිය මාසයේ දී ද, ඇය පවසන පරිදි බියගැනීමේ උත්සහයක් ලෙස, නැවතත් කෙටි කලකට ඇය රැඳවුම්භාරයට ගෙන ඇත.

f4f73a20 530c 11ee bb35 018b118380ceමොජ්ගාන් ඉලන්ලූ, විරෝධතාවල දී මියගිය තැනැත්තන්ගේ සොහොන් අසල

"ඉරාන කාන්තාවො බය කියන සීමාව දැන් පහුකරලා ඉන්නෙ,"යි ටෙහෙරානයේ පිහිටි ඇගේ නිවසේ හිඳ පවසන ඇය, එනමුදු, මෑතක දී පැමිණි මර්දනයේ නව රැල්ල කෙතරම් "බිහිසුණු" ද යත් පසුගිය මාසයේ දී දින 10කට ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඩිඇක්ටිවේට් කිරීමට කටයුතු කළබව ද පවසයි. ඇය ඈ පොදු තැන්වල දී හිජාබය රහිතව සිටින ඡායාරූප එහි නිතර පළකරයි.

මෙය, රෝසා පාර්ක්ස් එක්සත් ජනපදයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය අවුළුවාලමින් බස් රථයක දී ඇගේ අසුන සුදු මිනිසෙකුට ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවට සමාන කරන ඇය, "මේක කෙටිදුර ධාවනයක් නෙවේ, මැරතන් එකකැ,"යි පවසයි.

 

'ආකල්ප වෙනස්වෙනවා'


නමුත් මෙය ප්‍රතිඵලදායකබව ඉලන්ලූ කියයි. ඇය පවසන පරිදි, රටේ වඩාත් ගතානුගතික ප්‍රදේශවල පවා කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ ආකල්ප වෙනස්වෙමින් පවතියි. සමාජීය විප්ලවයක් සිදුවෙමින් තිබෙන්නේ ය.

 

 "සමාජෙ ආපහු පූර්ව-මහ්සා තත්ත්වෙට යන එකක් නෑ," ඇය විශ්වාස කරන්නී ය. "පාරෙ දී, මෙට්‍රො එකේ දී, බසාර්වල දී දැන් පිරිමි ගෑනුන්ව අගය කරනවා, ගෑනුන්ගෙ ධෛර්යයට ප්‍රශංසා කරනවා... අපූරු දේ තමයි, කෝම්, මාෂ්හාද්, ඉස්ෆෙහාන් වගෙ සමහර දැඩි ආගමික නගරවල පවා ගෑනු අය තවදුරටත් හිජාබ් අඳින්නේ නැති එක."

ටෙහෙරානයේ රාජ්‍ය තාන්ත්‍රිකයා මෙන්ම ඇය ද අවධාරණය කරන්නේ, මෙය සියලු සමාජ පන්ති හරහා දිවෙන විප්ලවයක්බව යි. වීථි වෙළෙන්දියන් හිජාබ් රහිතව උමං දුම්රියේ ගමන් කරන අයුරු ඈ විස්තර කරයි. පසුගිය වසරේ කාර්චක් බන්ධනාගාරයේ දී, හිජාබය පැළඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිරගත කෙරුණු වයස අවු. 11 දී මවකබවට පත්වූ ද දුප්පත් හා ළාබාල කාන්තාවක් සමග උකුණන් ගහණ, තදබද සිරකුටියක් බෙදාගත් අයුරු ඈ මට පැවසුවා ය.

එසේම මෙය හිජාබය ගැන පමණක් ද නොව. ඇතැම් කාන්තාවන් දැන් විවාහ ගිවිසුමක දී සමාන අයිතිවාසිකම් ලැබීම වැනි වෙනත් ඉල්ලීම් ද ඉදිරිපත් කරනබව ඉලන්ලූ පවසයි.

නමුත්, හිටපු කර්මාන්ත ශාලා කළමනාකාරිණියක වන ඉලාහි තවක්කොලියාන් වැනි සමහරුන්ට කැප කරන්නට සිදුව ඇති දේ බොහෝ ය. ඈට ඇගේ දරුවන් වන 10 වයස් නිවුන්නුන් නොමැතිකමින් පාළුවක් දැනෙයි.

ඇය දැන් වෙසෙන්නේ මිලාන් නගරයට තදාසන්නව, ණයට ඉල්ලාගත් අමතර කාමරයක ය. ඈ ඈට හැකි හැමවිටම දරුවන්ට ඇමතුම් ලබාදෙයි.

දරුවන් ගැන කතා කරද්දී, ඇගේ වම් ඇසින් වැටුණු කඳුලක් කම්මුල දිගේ ගලා යයි.

පසුගිය සැප්තැම්බරයට පෙර කිසිදා උද්ඝෝෂණ සඳහා සහභාගී නොවූ ඉලාහිට, උතුරුදිග ඉරානයේ ඉස්ෆරායෙන්හි දී ඉරාන ආරක්ෂක අංශ විසින් වෙඩි තබනු ලැබුණි.

 

67078390 530d 11ee bb35 018b118380ce
ඉතාලියේ දී සිදුකළ සැත්කමකින් පසු දැන් ඉලාහිට වීදුරු ඇසක් තිබේ

 

"මං හිටියේ දරුවො දෙන්නත් එක්ක. අපි ඉස්කෝලෙ පටන් ගන්න නිසා ඕනෙ කරන බඩු ගන්න ඇවිත් හිටියෙ. ඒ දෙන්නා මගෙ ලේවලින් නෑවුනා."

තුර්කියට පළාගිය ඇය ඉතාලියට ගමන් කිරීම සඳහා වෛද්‍යමය වීසා බලපතක් ලබාගත් අතර, එරට ශල්‍ය වෛද්‍යවරු ඇගේ දකුණු ඇස ද, එය විනිවිද ගොස් තිබූ උණ්ඩය ද ඉවත් කළහ.

ඇගේ නව වීදුරු ඇස ඇසිපියෙන් වසාගනු හැකිවනු පරිදි තවත් ශල්‍යකර්මයකට මුහුණදීමට ඇයට සිදුව තිබේ.

එමෙන්ම, ආපිට ඉස්ෆරායෙන් වෙත ගොස් ඇගේ දරුවන් දකින්නට තරම් තත්ත්වය ආරක්‍ෂිත වනු ඇත්තේ කවදාදැ යි ඇය නොදනියි.

"අපි කතා කරන හැම වතාවෙම, කවදාහරි හොඳ කාලෙක ඉරානෙදි අපට ආපහු එකතුවෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව ගැන යි අපි හැමතිස්සෙම කතා කරන්නේ."

නමුත් දැනට, ඒ හොඳ කාලය ඉතා ඈත අනාගතයක පවතිනබව පෙනෙයි. මහ්සා අමීනිගේ මරණය හා ඉන්පසු පැමිණි මර්දනය සඳහා කිසිදු ඉරාන බලධාරියෙකුට වගකීම පවරා නැතැ යි මානව හිමිකම් කණ්ඩායම් පවසයි.

ඉරාන රජය ‘වෙනස්වීම ප්‍රතික්ෂේප කරයි’

 

1670211108 1670211108 kssi1neas6za

 

 
එසේම රෙජීමය ද පසුබසින්නේ නැත - එය ඊට ප්‍රතිලෝමයෙහි යෙදෙයි. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති ඊනියා 'හිජාබ සහ ධර්මචර්යා' පනත් කෙටුම්පත මඟින් හිජාබය රහිතව යන කාන්තාවන්ට එරෙහිව නව දඬුවම් හඳුන්වා දී ඇත. "මීට සංවිධානාත්මක ආකාරයෙන් අවනත නොවෙන තැනැත්තන්ට හා අවනත නොවීම සඳහා අනෙකුන් පොළඹවන තැනැත්තන්ට" රියාල් මිලියන 500 සිට බිලියනය දක්වා දඩ හා වසර දහයක් දක්වා සිර දඬුවම් ද ඊට ඇතුළත් ය. එය, එක්සත් ජාතීන් විසින් පත්කෙරුණු මානව හිමිකම් විශේෂඥයින් විසින් "ලිංගභේදවාදයේ ආකාරයක්" ලෙස හඳුන්වා තිබේ. 

එක්සත් ජනපදයේ නිව් යෝක්හි පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන The Center for Human Rights in Iranහි (ඉරානයේ මානව හිමිකම් සඳහා වන මධ්‍යස්ථානය) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජැස්මින් රැම්සේට අනුව, ඉරාන රජය "වෙනස්වීම ප්‍රතික්ෂේප කරයි".

නමුත් ඉරාන ජනයා යටත්වීම ද ප්‍රතික්ෂේප කරනබව ඇය පවසයි.

"ඉරානෙ, ඕනෑම වෙලාවක ගිනි ඇවිලෙන්න සූදානම් පිදුරු ගොඩක් විදියට තවදුරටත් පැවතෙනවා."

(BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්