පසුගිය සතියේද නොයෙකුත් පුවත් අසන්නට දකින්නට ලැබුණත්, ඒ අතරින් මගේ වඩාත් සිත් ගත්තේ ඉදිරියේදී කොළඹ බේරේ වැව සුද්ද කිරීමට යාමේ කතාවය.
අපේ වහරේ සුද්ද කිරීම යන්නට නොයෙක් තේරුම් ඇත. වංචාව, සොරකම යන තේරුම්ද ඒ අතර ඇත. වංචාව, සොරකම යන තේරුම්ද ඒ අතර ඇත. එහෙත් මෙතනදි අදහස් වන්නේ ඒ ''සුද්ද''ය නොව, පිරිසුදු කිරීමය.
මට මෙය මුලින්ම පැහැදිලි කිරීමට සිදුවූයේ, බේරේ වැව වුණත් සුද්ද කළ හැකි ටොප් ක්ලාස් සුද්දවන්තයන් මේ රටේ සිටින බැවිනි.
ඒ කෙසේ වෙතත්, මෙවර සිදුවීමට යන්නේ බේරේ වැවේ අපවිත්‍ර ජලය ශුද්ධ පවිත්‍ර කර, එය සුනිල දියෙන් පිරි සුන්දර ජලාශයක් බවට පත් කිරීමය. එය බාර දී තිබෙන්නේ ජපන් ආයතනයකටය. කොමිස් කේස් හරස් නොවුණොත්, ජපනා නියමෙට වැඩේ කර දෙනු ඇත.
පිරිසුදුකම කෙසේ වෙතත්, කොළොම්පුරයට බේරේ වැව අලංකාරයකි. දැනට අක්කර 160 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරෙන එය, පෘතුගීසින් විසින් නිර්මාණය කරන ලද 16 වැනි සියවසේදී දැනට වඩා දෙගුණයක් විශාලව තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය ඉදිකිරීමේ අරමුණ වූයේ සිංහල සේනාවන්ගේ ආක්‍රමණයන්ගෙන් ගැලවී සිටීමය. ඒ අතින් බැලූ විට, මෙය ''ආරක්ෂක ප්‍රාකාරයකි''. ඊට අරක් ගත් කිඹුලෝද, සතුරන් බියපත් කළෝය.
හොඳ වෙලාවට, අපේ රටේ අරගල කාලයේ බේරේ වැවේ කිඹුලන් සිටියේ නැත. සිටියේ නම්, එහි බැස්සවූ පිරිමින්ගෙන් හරි අඩක් අද වන විට නපුංසකයෝය. එසේත් නැත්නම් මළවුන් අතරය.
බේරේට පයක්වත් නොතැබූ බොහෝ දෙනකුට එදා, කරවටක් එහි ගිලෙන්නට සිදුවූ අයුරු ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රෑපවාහිනී තිරයෙන් බලා සිටියහ. එදා සමහරු පැවසුවේ, බේරේ බැසගත් හෝ බැස්සවූ උදවියට හත් අවුරුද්දක් නෑවත්, ගත - සිත පිරිසුදු කරගත නොහැකි වනු ඇති බවය. තවත් විදිහකින් කියනවා නම්, ගලේ ගසා සේදුවත් බේරේ ගඳ නෑරේමය.
ඉදිරියේදීද අරගල, ජනතා උද්ඝෝෂණ සිදුවනු ඇත. තව තවත් අයට බේරේ දඬුවමට මුහුණ පෑමට සිදුවනු ඇත. එහෙයින් කල් තියාම බේරේ පිරිසුදු කර තැබීම, කාගේ හෝ සිතට නැඟුණු වටිනා සංකල්පයකි. ඉන්පසු, කාට කාටත් ''බැස සීතල බේරේ, පීන පීන නාමුකෝ අපි'' යනුවෙන් ජල ක්‍රීඩා කරමින් සතුටු විය හැකිවනු ඇත.
මා දන්නා තරමින් පව් සමාකර ගැනීමේ ක්‍රම ඇතත්, දේශපාලන සාපයන්ට නම් එය අදාළ නැත. බේරේ නොව, අනෝතත්ත විලේ බැස සිටියත්, ඒ පව් සෝදාගත නොහැක.
පව් සමාව ගැන උපහාස කතා ද බොහෝය. (කරුණාකර එය උපහාසය හෝ හාස්‍ය මිස, ආගමික අර්ථයෙන් නොසලකන්න.)
එක් කාන්තාවක් දේවස්ථානයට ගොස්, පූජකතුමකු හමුවී තමාට පව් සමාකර ගැනීමට අවශ්‍ය බව කීවාය. එවිට පූජකතුමා මෙසේ කීය.
''හොඳයි. ඔබ මෙහි එන බව මට කලින්ම තේරුම් ගොස් තිබුණා.''
''ඒ කොහොමද පියතුමනි? මම තාම පාපොච්චාරණයක් කළෙත් නෑනෙ.''
''ඒ වුණාට මං ඔබේ ෆේස්බුක් එක බලල තියෙනවනෙ.''
කාන්තාව නිරුත්තර වූවාය.
තවත් අවස්ථාවක ධනවත් ව්‍යාපාරිකයෙක් පූජකතුමකු හමුවට ගියේ, පව් සමාකර ගැනීමේ අදහසිනි.
''පියතුමනි... මං පහුගිය මාස තුනේ, ප්‍රසිද්ධ නිළියන් තුන් දෙනෙක් එක්ක යහන්ගත වුණා.''
ව්‍යාපාරිකයා කීවේ ලජ්ජාවෙනි.
''කවුද ඒ තුන්දෙනා?''
පියතුමා ඇසුවේ සැලෙන හඬිනි.
ව්‍යාපාරිකයා රෑමත් හින්දි නිළියකගේද, මලයාලම් නිළියකගේද, ශ්‍රී ලාංකික නිළියකගේද නම් කීවේය.
පියතුමාගේ ඇස් උඩ ගියේය.
''ඉතින් ඕකේ මොනවද සමාකර ගන්ඩ තියෙන්නෙ. ඔහේ හරි ලක්කාරයෙක්නෙ.''
තවත් දේවස්ථානයක් ඉදිරියේ සවිකර තිබූ පුවරුවක මෙසේ සඳහන් කර තිබුණි.
''දේශපාලනඥයන්ගේ පව් සමා කිරීමේ කුටිය තාවකාලිකව වසා දමා ඇත. හදිසි අවශ්‍යතා සඳහා අපායේ කුටියක් විවෘත කර ඇති බව කරුණාවෙන් සලකන්න. RIP
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - deshaya.lk)