2010 සැප්තැම්බර් 10 වන දින පාකිස්ථානය සහ එංගලන්තයේ සමර්සෙට් කණ්ඩායම අතර පැවැති තරගයේදී බුකි කරුවන්ට වාසි වන අන්දමට නිපන්දු යැවීමේ චෝදනාව හේතුවෙන් (Spot- Fixing)
පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් අසීෆ් ට වසරක කාලයක් සිරගත වීමට සහ වසර හතක ක්‍රීඩා තහනමකට ලක් වීමට සිදු විය. පාකිස්තානයේ සලිම් මලික්, මොහොමඩ් අමීර්, දිනේෂ් කනේරියා, ඉන්දියාවේ මොහොමඩ් අසරුදීන්, අජේ ජඩේජා දකුණු අප්‍රිකාවේ හැන්සි ක්‍රොන්යේ, හර්ෂල් ගිබ්ස් වැනි ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය නිමාවූයේ හෝ දඬුවමට ලක් වූයේ බුකි කරුවන් සමග පැවැත්වූ සබඳතා හේතුවෙනි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මාලන් සැමුවෙල්ස් තහනමට ලක් වූයේ බුකි කරුවන්ට කණ්ඩායමේ තොරතුරු ලබාදීමේ හේතුවෙනි. ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටින්නේ ද එවැනිම චෝදනාවකටය.
නමුත් අද පැවැත්වෙන ඉන්දීය ශ්‍රී ලංකා තරඟයේ කණ්ඩායම් දෙකේම ඇඟලුම් වල අනුග්‍රහකයා ලෙස සන්නාමය ප්‍රදර්ශනය කර ඇත්තේ අන්තර්ජාල ඔට්ටු අල්ලන සමාගම් දෙකකි. ඉන්දීය කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වන Dream 11 සමාගම මේ වන විට පරිශීලකයන් මිලියන 160ක් සිටින ඩොලර් බිලියන 8 ක වටිනාකම ඇති සමාගමකි. කෙසේ වුවත් ඉන්දියාවේ තෙලන්ගනා, ආන්ද්‍රා ප්‍රදේශ් වැනි ප්‍රාන්ත කිහිපයකම මෙම සමාගමේ නෛතිකභාවය පිළිගෙන නැත. 2021 ඔක්තෝබර් මාසයේ කර්ණාටක ප්‍රාන්තයේ තහනමට ලක්වූ මෙම සමාගම අධිකරණ තීන්දුවක් මත 2022 පෙබරවාරි මස සිට එම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහකත්වය සපයන onex Bet සමාගම සයිප්‍රසයේ ලියාපදිංචි රුසියානු හිමිකාරීත්වයක් ඇති ඩොලර් බිලියන 52 ක වත්කම් ඇති සමාගමකි. එල් .පි.එල් තරගාවලියටද අනුග්‍රාහකත්වය දක්වා ඇති මෙම සමාගමේ බලපත්‍රය 2019 වසරේ දී මහා බ්‍රිතානයේ දී නියාමන අධිකාරිය මගින් තහනමට ලක් කලේ (UK Gamblin commission) ළමුන්ට ක්‍රීඩා තරඟ අතුරතුර නුසුදුසු ලිංගික දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නිසාය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩකයන්ගේ ඇඳුම් ආයිත්තම් සහ උපකරණවල සන්නාමකරණය කිරීමට ඔට්ටු කරුවන්ට අවසර ලබා දුන්නේ 2023 අප්‍රේල් මාසයේ සිටය. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති පද්ධතියට අනුව (2021 ජනවාරි පළවෙනිදා දක්වා සිදුකොට ඇති සංශෝධනවලට අනුව) එහි 2.2.1 වගන්තියේ දැක්වෙන්නේ ඔට්ටු තැබීම තුන්වන පාර්ශව සමඟ හෝ ඔට්ටු තැබීමට අනුබල දීම වරදක් වන බවයි. මේ අනුව පෙනී යන්නේ ඉන්දියාවේ මුදල් බලයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටවී ක්‍රියාකරන බවයි.
2019 අංක 24 දරණ ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ ද දෙවන වගන්තියේ ක්‍රීඩා තරග පාවා දීම, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම අර්ථ නිරූපනය කර තිබේ. නමුත් නීතියේ හිඩසක් ඇත. තරඟ පාවාදීම සිදු වන්නේ නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව ඔට්ටු ඇල්ලීම සිදුකරන නිසාය. තවමත් ලංකාවේ ගමේ මළ ගෙදරක බූරුවා ගැසුවොත් පොලිසියෙන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි. නමුත් බූරුවා ගසන්නේ ඔන්ලයින් නම් ගැටළුවක් නැත.
ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත අනුවද තුරඟ තරඟ ඇතුළු තරඟ සඳහා ඔට්ටු ගන්නා ආයතන වලින් බදු මුදල් රජය අයකර ගත්තද තවමත් ඒවා නීත්‍යානුකූල ව්‍යාපාර ද යන්න පිළිබඳව ගැටලුවක් ඇත. කම්කරු නීතිය යටතේ ලබාදී ඇති නඩු තීන්දු දෙස බැලීමේදී බුකි හිමිකරුවන්ට එරෙහිව සේවකයන් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් නඩු මගට ගොස් සිටින අවස්ථාවලදී එම ව්‍යාපාරය නීත්‍යානුකූල ව්‍යාපාරයක් නොවන හෙයින් සේවක අයිතිවාසිකම් ඔවුන්ට ලැබී නැත.
බුකි කරුවන්ට ක්‍රිකට් තහනම් වූ අතීතය වෙනුවට සන්නාමය ප්‍රදර්ශනය කරමින් ප්‍රධාන අනුග්‍රාහකයා වීමේ හැකියාව ඔවුන්ට ලැබී ඇත. විකාශන අයිතිය සහ අනුග්‍රහක මුදල් මත ක්‍රීඩාවේ සියළු ජීව ගුණයන් අවසන් කිරීමට ක්‍රීඩා පරිපාලකයන් කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණකි.
සටහන :නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.