'දිවයින' හා ' දිවයින ඉරිදා සංග්‍රහය' සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් ‍රණසිංහ මහත්තයා ගැන කියන්න මට කතාවක් තිබේ.


ඒ කතාව කියන්න සයිබර් අවකාශය තෝරාගත්තේ දිවයිනේ ඇත්තන් ගෙන්ම ඊට ඉඩක් නොලැබෙන බව දන්නා නිසයි.

මේ කතාව පටන් ගන්නේ 80 දශකය මැද භාගයේ විතර ඉඳන්.

ලංකාවේ පළමු වැනි වතාවට පාසල් පුවත්පතක් ඕෆ්සෙට් මුද්‍රණයක් ලෙසින් එළියට ආවේ "ආනන්දය" පුවත්පතයි.

රුපියල් 10,000 කට ඒ වැඩේ කොහොම හරි කරලා දුන්නේ බන්ධුල පද්මකුමාර විසින්.

පත්තරේ මුද්‍රණය කළේ මල්ටිපැක්ස් ආයතනය හරහායි.

මේ පත්තරේ එඩ්මන්ඩ් ‍රණසිංහ මහත්තයාට පිළිගන්වන්න ගිය පිරිසෙන් කෙනෙක් මමත්.

අපි දිවයින පත්තරේ පිළිගැනීමේ කවුන්ටරේ අසල ඉන්න කොට එතැනින් ගයිරික පේරුසිංහ යන්න ආවා.

ඔහු දැක්කා අප අතේ තිබ්බ පත්තරේ.

පත්තරේ බලපු ගයිරික අපෙන් අහපු පළමු ප්‍රශ්නය " ඔයගොල්ලෝ දන්නවද මේ පත්තරේ මුළින්ම කළේ කවුද කියලා ?" යන්නයි.

අප නොදන්නා බව කිව්වා.

" මේක මුළින්ම සංස්කරණය කළේ මම"

එසේ පැවසූ ඔහු අපව රණසිංහ මහත්තයා ළඟට කැඳවාගෙන ගියා.

ඒ තමයි එඩ්මන්ඩ් ‍රණසිංහ මහත්තයාව මුලින්ම දුටු දවස.

ඔහුට තිබූ පෞරුෂය අද දක්වාම කිසිදු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු වෙතින් දකින්න නම් ලැබෙන්නේ නෑ.

එඩ්මන්ඩ් ‍රණසිංහ මහත්තයා ගේ පෞරුෂය හැදිලා තියෙන්නේ ඔහුගේ ප්‍රතාපවත් රූපයෙන් විතරක් නෙවෙයි, ඔහුගේ නායකත්වය, දැක්ම, දැනුම හා විචාරශීලි බව යන මේ සියල්ලම ඊට බලපෑවා.

ඒලෙවල් විභාගය ඇනගත්තට පස්සේ දිවයින පත්තරේට එකතු වෙන්න මං තීරණය  කළා.

ගයිරික එවර මා නතර කළා.

" උඹ වගෙ එකෙක් කැම්පස් යන්න ඕන "

ඔහුගේ නිගමනය වූයේ එයයි.

නැවත මා දිවයින පත්තර කන්තෝරුවට ගොඩ වෙන්නෙ කොළඹ සරසවියේ පළමු වසර ශිෂ්‍යයෙක් හෑටියටයි.

ඒ 1991 අවුරුද්දේ.

ඒ කාලේ මට දවසකට රුපියල් 75/- ක පඩියක් ගෙව්වා.

PHOTO 2023 10 03 10 48 42 2
දිවයිනේ වැඩට ගිය පළමු දවසෙම රණසිංහ මහත්තයා මාව කාමරයට කැඳෙව්වා.

ඒ වනවිට කුවේට් යුද්ධය පටන් අරන්.

 ශ්‍රී ලාංකික පවුලක් කුවේට් සිට ගොඩබිම ඔස්සේ ඉන්දියාවේ කොචින් බලා එනවා.

ඒ කාලේ රවිනාථ ආරියසිංහ හිටියේ කොචින් තානාපති කාර්යාලයේ.

" තමුසෙට පුළුවන්ද රවිනාථට කතා කරලා මේ කතාව හෙට පත්තරේට ගන්න ...?"

 රණසිංහ මහත්තයා ඇහුවා. 

" පුළුවන් ...!"

කිව්වා වගේම වැඩේ කළා.

පහුවදා පත්තරේ ලීඩ් නිවුස් එක වුණේ ඒ පුවත.

ඒ තමයි රණසිංහ මහත්තයා මට දීපු පලවෙනි හා එකම පරීක්ෂණය.

ඔහොම කාලයක් ගත වුණා. 

දවසක් රණසිංහ මහත්තයා ඔහුගේ කාමරයට මාව කැඳවනවා.

" අයිසේ, තමුසෙ ළඟ අමුතු වචන සෙට් එකක් තියෙනවා නේද? අන්න ඒ වචන ටික දාලා කොළම් එකක් පටන් ගන්නවකෝ..."

මාත් පටන් ගත්තා.

ඒ පටන් ගැන්මේ ප්‍රතිඵලයක් හැටියට තමයි 
' කිංබානට් ' දිවයිනට එන්නේ.

කිංබානට් ලියද්දී රණසිංහ මහත්තයා මගෙන් ඉල්ලා සිටියේ එක දෙයයි.

" අයිසේ,  තමුසෙ කවදාවත් රනිල් ගැන ලියන්න එපා..."

ඒ ඇයි කියලා දැනගන්න මං දවසක් රනිල් ගැන ලිව්වා.

ඒක දැකපු ගමන් රණසිංහ මහත්තයා මට කතා කළා.

" තමුසෙ මං එපා කියපු දේම කළා නේද? අයිසේ, රනිල් ගේ තාත්තා තමයි මට ලේක්හවුස් එකේ පළවෙනි රස්සාව දුන්නේ ... මං ඒ ගුණේ තියන්න ඕන ... ඒකයි මං රනිල් ගැන ලියන්න එපා කිව්වේ ..."

ඒ තමයි රණසිංහ මහත්තයලාගේ පරම්පරාව.

edmond ranasingheඒ තමයි අපට හිටිය කෙළෙහිගුණ දත් අවසන් පරම්පරාව.

මනුස්සකමින් අපට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්න පරම්පරාව.

කිංබානට් ලියද්දී පත්තරකාරයොයි, දේශපාලකයොයි කියලා දෙකට බෙදුවේ නෑ.

වැරැද්ද වැරැද්දක්මය යන පදනමේ සිටයි කිංබානට් ලිව්වේ.

පත්තරකාරයන් අත් දිග කමීස ඇදිය යුතුය කියලා හිතපු "බොට්ල් ජානිස්ලා" ගැනත් කිංබානට්ට ලියන්න සිද්ධ වුණේ ඒ නිසායි.

කාලයක් ගතවුණා.

අවස්ථා 3 කදී මාව දිවයින පත්තරේ නිත්‍ය කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට නිර්දේශ කෙරෙනවා.

ඒ අවස්ථා 3 දීම රණසිංහ මහත්තයා මගේ නම කපා දමනවා.

තුන් වැනි අවස්ථාවේ දී මං ඔහුගෙන් මේ ගැන විමසනවා.

" අයිසේ, මං නැති කාලෙක මේ මිනිස්සු තමුසෙට මෙතන ඉන්න දෙන්නේ නෑ... ඒ නිසා ඉගෙන ගෙන මෙතනින් හොඳ තැනකට යනවා..."

රණසිංහ මහත්තයා හරි කියලා අද මං දන්නවා.

රණසිංහ මහත්තයා ගැන ලියැවුණු පොතේ පිටුවක් කිංබානට්ට නොදෙන මිනිස්සු පත්තර කන්තෝරුවේ පුටුවක් දෙයිද...?

මං ගැන විතරක් නෙවෙයි, අපි හැමෝම ගැනම වෙන වෙනම කියැවීමක් රණසිංහ මහත්තයාට තිබුනා. 

අපි හැමෝටම තම තමන්ගේ ගමන් මාර්ග හොයාගෙන යන්න පුළුවන් වුණේ ඔහුගේ ඒ නිවැරැදි කියැවීම නිසයි.

රණසිංහ මහත්තයා තරම් පත්තර, සඟරා කියවන මනුස්සයෙක් මං දැකලා නෑ.

අපි ඔහුගේ කාමරයට ගියත් කියවන සඟරාවෙන් ඇස් එළියට ගන්නේ ටිකක් වෙලා ගිහින්.

PHOTO 2023 10 03 10 48 42කාලයක් රණසිංහ මහත්තයා වෙනුවෙන් දේශපාලන ලියුම්කරු තීරුව ලියන්න මට සිද්ධ වුණා. 

ඔහු බණ්ඩාරනායක මැතිණියට වරක් ලිව්වේ කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට දී ගෙදර යායුතු බවයි.

මං ඔය කතාව ලිව්වේ කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට බාර දී චුත වී යායුතු බවයි.

මේකට ‍බණ්ඩාරනායක පවුලෙන් ප්‍රශ්නයක් ආවා.

" තමුසෙ මිසිස් බණ්ඩාරනායකට චුත වෙලා යන්න කිව්වාද..?"

" ඔව්"

" තමුසෙ හරි අයිසෙ..."

 රණසිංහ මහත්තයා හිනාවෙලා කිව්වා. 

ඒත් හැමදාම මේ වසන්තය තිබුනේ නෑ.

" තමුසෙත් එක්ක මේ වැඩේ කරන්න බෑ... අයිසෙ මට තැනකට යන්න බෑ තමුසෙ ලියන ඒවා නිසා..."

එහෙම කිව්වත් තවත් කාලයක් රණසිංහ මහත්තයා එක්ක ‍රණ්ඩු වෙවී මට මේ කොළම ලියන්න පුළුවන් වුණා. 

දිවයින පත්තරේ කියන එක හරියට නෞකාවක් වගේ.

මේ නෞකාවේ නැව් කප්පිත්තා වුණේ රණසිංහ මහත්තයා.

මේ නැව ඇතුලේ පත්තරකාරයන් , බෝතල් පත්තරකාරයන් , බේබද්දන්, පොලී මුදලාලිලා , මංකොල්ලකාරයන්, ජෝකර්ලා, බ්‍රෝකර්ලා, බිස්නස්කාරයන්, සාහිත්‍යය ව්‍යාපාරිකයන්, NGO කාරයන්, විවිධ පක්ෂවල ගැත්තන් ඇතුළු මහ පිරිසක් හිටියා.

මෙ සියලු දෙනා සමග කුණාටුවලින් බේරී, ගල් පර මග හැර පරිස්සමින් නෞකාව ගෙනියන්න රණසිංහ මහත්තයාට හැකි වුණා. 

පසු කාලීනව මේ නැව ලොරියක් වුණා. 

ශූර නැව් කප්පිත්තකු වූ රණසිංහ මහත්තයා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කැමැති වුණේ  නෑ.

ඔහු දිවයිනට සමු දුන්නා.
PHOTO 2023 10 03 10 48 43
පත්තරේ වැඩට කොළඹින් පිට යනකොට රණසිංහ මහත්තයා උපදෙස් දෙන්නේ මෙහෙමයි.

" තමුසෙලා සල්ලි ටිකක් වැඩිපුර අරන් යනවලා...ඒ සල්ලි සේරම වියදම් කරන්නේ නැතුව කීයක් හරි ඉතුරු කරලා ආපහු ගෙනැල්ලා දෙනවලා... එතකොට මේ මිනිස්සුත් සන්තෝසයිනේ.."

 කවුරු හරි රුපියල් 4500 ක් වගෙ රවුම් ගානක බිලක් දාලා තිබුනොත් රණසිංහ මහත්තයා කිව්වේ මෙහෙමයි.

" ඕයි, මෙහෙම රවුම් ගානක් දාපු ගමන් තේරෙනවනේ මේක බොරුවක් කියලා ... දානවා අයිසේ 4427.36 වගෙ ගානක්"

‍රණසිංහ මහත්තයා ගේ කාමරේට පිටිපස්සේ  පැත්තේ කාමරේ තිබුනේ නවලිය පත්තරේ.

සමහර දාට රණසිංහ මහත්තයා ඔවුන්ට මෙහෙම කියනවා.

" තමුසෙලා කියන කුණුහරුප , මට බනින ඒවා සේරම මට ඇහෙනවා... ඒකට කමක් නෑ. .. ඒ වුණාට තමුසෙලා ඕක නිර්මාණ වැඩකට යොදාගන්න බලනවකෝ..."

පැපිලියාන පැත්තේ අහිංසක කොල්ලෙක් බොන්සායි පැල ප්‍රදර්ශනයක් තියන්න ගියා.

මේ ගැන ලිපියක් දාන්නම් කියලා දිවයින පත්තරේ හාදයෙක් ඔහුගෙන් රුපියල් 50 ක් ගත්තා.

නමුත් මේ ලිපිය ප්‍රදර්ශනය දිනය දක්වාම දැම්මෙ නෑ.

සෙවන ලොතරැයියේ අශෝක් විතාරණ මහතා මාව මේ තරුණයා ළඟට රැගෙන ගියා.

ඒ යනවිටත් මේ ගැන හිතලා හිතලා ඔහු මානසික රෝගියකු බවට පත්වෙලා.

මම ඔහු ගැන ලිපියක් ලිව්වා.

ඒ ලිපිය දාන්න කලින් රුපියල් 50 ගත්තු කෙනාටත් කියලා , ඔහුගේ නම රණසිංහ මහත්තයාටත් කියලයි පත්තරේ පළ කළේ.

" මෙහෙම මිනිස්සු එක්කද අයිසෙ අපි වැඩ කරන්නේ ...?"

රණසිංහ මහත්තයා ඔලුවේ අත තියාගෙන ඇහුවා.

Dayasena1දිවයින පත්තරේ විනාශ කිරීම ඇරැඹුණේ දිවයින පත්තරේ ඇතුළෙන්මයි.

රණසිංහ මහත්තයාත් , ගුණසිංහ මහත්තයාත් කෙටවීම එහි පළමු පියවර වුණා. 

ගුණසිංහ මහත්තයාව ඇන්දුවේ ඔයා තමයි මේකේ කර්තෘ වෙන්න ඕන කියලායි.

ගුණසිංහ මහත්තයා කියපු ටික ඊළඟට රණසිංහ මහත්තයාගේ කණේ දෙක කරලා තිබ්බා.

අන්තිමට මේ දෙන්නා මුහුණට මුහුණ නොබලන තත්ත්වයට පත් වුණා. 

ගුණසිංහ මහත්තයා ගෙදර ගියාට පස්සේ ඔහුව අන්දපු කවුරුවත් ඔහුත් එක්ක ගෙදර ගියේ නෑ.


ඉරිදා දිවයින සංග්‍රහය සංවත්සරයකදි කිංබානට්ට ඇරැයුමක් ලැබුනා කොළමක් ලියන්න.

 කිංබානට් ඒකෙදි ලිව්වෙ ‍රණසිංහයනුත්, ගුණසිංහයනුත් නැවත එක් විය යුතු බවයි.

නමුත් ගාමිණී සුමනසේකර මේ තීරු ලිපිය කුණු බක්කියට දැම්මා.

මොකද, රණසිංහයනුත්, ගුණසිංහයනුත් නැවත එක් වුණා නං සුමනසේකරයන්ටයි, සූරියආරච්චියන්ටයි යන එන මං නැති වෙනවා.

PHOTO 2023 10 03 10 48 41

වමේ සිට එඩ්මන්ඩ් ‍රණසිංහ, උපාලි තෙන්නකෝන්, ආනන්ද මාරතුගොඩ ( උපාලි ට්‍රේඩිං), ගයිරික පේරුසිංහ

 

පසු කලෙක රණසිංහ මහත්තයා දිවයිනෙන් බැහැරව ලක්බිමට ගොඩ වුණා. 

දිනක් ඔහු දිවයින පත්තරේදී තමා යටතේ සේවය කළ එක් පත්තරකාරයකු ගේ කාමරයේ දොර අසල සිට කතා කළා.

මේ පුද්ගලයා පුටුවෙන් නැගිට රණසිංහ මහත්තයාට කතා කරන්න තරම්වත් ආචාරශීලී වූනේ නෑ.

එවැනි මිනිසුන් අද සුමට, සුන්දර පද යොදා රණසිංහ මහත්තයා වෙනුවෙන් ස්තෝ‌ත්‍ර ගායනා කළත් පුදුම විය යුතු නෑ.

අපට ජීවත් වීමට සිදුව ඇත්තේ මේ බොරුව සමගය.

එහෙත් රණසිංහ මහත්තයා වූකලී ලේසියෙන් අන්දන්නට පුළුවන් පුද්ගලයකු නොවන බව බොහෝ දෙනා දන්නේ නෑ.

වරක් කිංබානට් තීරු ලිපියේ කොළඹ සරසවියේ හිටපු උපකුලපතිවරයකු ගැන ලිපියක් පළ වුණා. 

උපකුලපතිතුමා ලියුමක් ලියන්නේ ජනාධිපතිතුමිය වූ චන්ද්‍රිකාටය.

එහි එක් තැනක මෙසේ සදහන් වෙනවා.

"..... මම ඔබේ සුවච කීකරු සුනඛ පෝතකයා වෙමි.... හැබැයි කැම්පස් එකේ කොල්ලෝ නම් සුනඛ කෑල්ලට කලින් ධාතු කෑල්ලකුත් දාලයි මට කතා කරන්නේ ..."

පත්තරය නිකුත් වෙලා පැයක් යන්නත් කලින් රණසිංහ මහත්තයා ට කේළම කිව්වේ ඇතුළේම කෙනෙකි.

වහාම රණසිංහ මහත්තයා ගෙන් මට කැඳවීමක් ලැබිණි.

" තමුසෙ ....ට .... බල්ලා කියලා ලිව්වද...?"

රණසිංහ මහත්තයා අමුවෙන්ම ඇහුව.

" නෑ ...සර් කියපු වචන එකක්වත් මං ලිව්වේ නෑ.."

" එහෙනං කමක් නෑ "

රණසිංහ මහත්තයා ගේ හැටි එහෙමය.

කාලයක් දිවයින පත්තරේ සිටි සමහරුන් රණසිංහ මහත්තයාට විරුද්ධව කැලෑ පත්තර ලියා රණසිංහ මහත්මිය තැපැල් කරන්නට වුණා. 

එහෙත් ඒ කුල කාන්තාව එකී කැලෑ පත්තර ගැන එකඳු වචනයක් තම ස්වාමියා ගෙන් විමසුවේ නෑ.

මේ කැලෑ පත්තර ලියූවන් මෙන්ම ඊට උල්පන්දම් දුන් පිරිස් තාම අප අවට සිටින්නට පුළුවන.

 

රණසිංහ මහත්තයා දැන් කඩුවෙල වත්තේ සතුන් ඇති කරන්න පටන් අරන්.

කුකුළන්, තාරාවන්, පාත්තයන් ඒ අතර ඉන්නවා .

වසර ගණනක් පුරා බ්ලූමැන්ඩල් පාරේ පාලනය කළ සමහර සතුන්ට වඩා මේ සතුන් හොඳ යැයි ඔහු හිතනවා වන්නට පුළුවන.

කිංබානට් තීරු ලිපිය ආරම්භ වූ හැටි කොහේ හෝ ලිවිය යුතු යැයි රණසිංහ මහත්තයා වරින් වර මට මතක් කළා.

මේ ඉටු කළේ ඒ යුතුකමය.

ඒ කතාව විතරක් ලියලා මදි නිසා අතුරු කතාත් ලිව්වා.

තව කතා තිබේ.

ඒවා පස්සටය.

මේ දිනවල රණසිංහ මහත්තයා ගේ ගෝලයන් වීමේ තරගයක් මාධ්‍ය පුරා දැකගන්න පුළුවන්.

එහෙත් මම ඔහුගේ ගෝලයකු නොවෙමි.

ඔහුගේ හිතුවක්කාර පුත්‍රයා වෙමි.

(කිංබානට්)

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්