පසුගියදා ඉන්ධන මිළ යළිත් ඉහළ ගියේය. සරදම්ජනක ලෙස (සහ ශෝකජනක ලෙස) එය ඉහළ ගියේ තරඟකාරී ලෙසය.

සිපෙට්කෝ, අයි.ඕ.සී සහ සිනොපෙක් යන සමාගම් තුනම එම තරඟයට එක් විය.

මේ කාරණයේදී චීනය සහ ඉන්දියාව අතර පවතින භූ-දේශපාලනික අභිලාෂයන්ගේ ගැටුම අදාළ වූයේ නැත. වීරවංශවාදීන් කල්පනා කරන ආකාරයට චීන ප්‍රාග්ධනය සෙසු ප්‍රාග්ධනයන්ට වඩා ප්‍රගතිශීලී වූයේද නැත. සරලව, වෙළඳ ඒකාධිකාරීන් අතර පැවති තරඟයක ප්‍රතිපලයක් ලෙස පාරිභෝගික භාණ්ඩයක මිළ පහත වැටීම වෙනුවට සිදු වූයේ සපුරාම එහි අනෙක් පැත්තයි.

මෙසේ වන්නේ ඉන්ධන සඳහා ඇති ඉල්ලුම සාපේක්ෂව ස්ථාවර එකක් වීම නිසා යැයි ලිබරල් ආර්ථික විද්‍යාඥයෙකු අපට පවසනු ඇත. හොඳයි. අපි එය පිළිගනිමු. නමුත්, අද දවසේ මිළ ඉහළ යමින් පවතින භාණ්ඩ හා සේවාවන් බොහොමයකගේ තත්ත්වය මෙය නොවේද? ආහාර, බෙහෙත් හා සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහනය, විදුලිය, ජලය, අධ්‍යාපනය යන මේ කිසිවක් අපට පාරිභෝජනය එතරම් අඩු කළ හැකි දේවල් නොවේ. එබැවින් ඒවායෙහි ඉල්ලුම සාපේක්ෂව ස්ථාවරව පවතී. දැන් පාරිභෝගිකයින් හට සාධාරණය ඉටු කිරීම සඳහා වඩ වඩාත් පෞද්ගලීකරණය කළ යුතු යැයි ගතානුගතික ආර්ථික ලිබරල්වාදීන් යෝජනා කරන්නේ සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන මෙවන් භාණ්ඩ හා සේවාවන් සමූහයක් නොවේද? ඒවායෙහි ගැණුම්කරුවන් බවට පත් වන්නට සූදානමින් සිටින්නේ ගෝලීය ඒකාධිකාරී සමාගම් සහ ඔවුනගේ දේශීය ඒජන්තවරුන්ය.

psoak785psd

වෙළඳපළ තරඟය මගින් සාධාරණ මිළක් තීන්දු වේය යන ධර්මය සිහිපත් කරමින් ඇතැම් ආර්ථික ලිබරල්වාදීන් යෝජනා කරන්නේ සමාගම් කිහිපයක් අතර බෙදී යන ලෙස ඒවා විකුණාදැමිය යුතු බවය. නොඑසේනම්, එම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සම්බන්ධයෙන් පවතින රාජ්‍ය ඒකාධිකාරීත්වය අහෝසි කළ යුතු යැයි ඔවුහු යෝජනා කරති (ඒකාධිකාරීත්වය යන්න රාජ්‍යයට අදාළව පමණක් යොදන්නට ඔවුන් ඉතාම ප්‍රවේසම් වේ!). නමුත්, සැබවින්ම පවතින ධනවාදය තුළ ඒකාධිකාරී සමාගම් අතර 'තරඟය' වෙනුවට ආදේශ වී ඇත්තේ ඒකාධිකාරීන් සහ ජනතාව අතර තරඟයක් බැව් ඉන්ධන මිළ ඉහළ දැමීමේ ආසන්න අත්දැකීම අපට ඉඟි කරයි.    

artigala toons 10
පොදු ජන අවබෝධය 'වමට' (ඒ නමින්ම නොකියවුණද) දෝලනය වෙමින් පවතින බවට මේ ගැටළුවට අදාළ සමාජ මාධ්‍ය පෝස්ටු කිහිපයක් තුළම නිරීක්ෂණය කළ හැකි විය. නිදහස් වෙළඳපල තරඟය පිළිබඳ ලිබරල්වාදී ප්‍රවාදය උපහාසයට ලක්කෙරෙන පෝස්ටුද විය. අවන්ත ආටිගල විසින් ඇඳ තිබූ එක් කාටුනයක් ඒ අතුරින් අතිශයින්ම ජනප්‍රිය වූ බැව් පෙනේ. එම කාටුනය කොටු දෙකකින් සමන්විත විය. පරිකල්පනය නමින් හඳුන්වා තිබූ ඉහළ කොටුවේ දැක්වුණේ සිපෙට්කෝ, අයි.ඕ.සී සහ සිනොපෙක් යන සටන් ක්‍රීඩකයින් තිදෙනා එකිනෙකා සමග සටන් කරන අතර දුගී පාරිභෝගිකයා ඒ දෙස බලා සිටින දර්ශනයකි. යථාර්තය නමින් හඳුන්වා තිබූ පහළ කොටුවේ දැක්වුණේ ඉහත සටන් ක්‍රීඩකයින් තිදෙනාම එක් වී පාරිභෝගිකයා හට පහරදෙන දර්ශනයකි. අවන්තගේ කාටුනය ඇසුරින් පොතේ තිබෙන නිදහස් වෙළඳපලවාදයත් සැබෑ ලෝකයේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරයත් අතර වෙනස අපට මනාව පැහැදිලි කරගත හැකිය.

ලිබරල් වෛරසය 

libeeral virus
samir aminශුද්ධ ආර්ථික විද්‍යාව තුළ සාකච්ජා කෙරෙන නිදහස් වෙළඳපල යනු හුදෙක් පරිකල්පනීය ගොඩ නැංවීමක් පමණක් බව සමීර් අමීන් ඔහුගේ 'ලිබරල් වෛරසය' (The Liberal Virus: Permanent War and the Americanization of the World - 2004) නමැති කෘතිය තුළ තර්ක කරයි. මෙහිදී ඔහුගේ විචාරයට ලක්වන්නේ දේශපාලන ලිබරල් අයිතීන් නොව ආර්ථික ලිබරල්වාදයේ මූලික පෙර සිතා ගැනීම්ය.

කෘතියේ හැඳින්වීම තුළ ඔහු රූපිකව දක්වන පරිදි විසිවන සියවසේ අගභාගය වනවිට ලෝකයම වසංගතයකින් පීඩා විඳින්නට පටන් ගත්තේය. ඒ දහසයවන සියවසේදී පැන නැගී විකාශනය වූ 'ලිබරල් වයිරසය' මගින් නිර්මාණය වූ වසංගතයකි. මුල් කාලීනව පැරිස්-ලන්ඩන්-ඇම්ස්ටර්ඩෑම් යන තිකෝණය තුළ එම වයිරසය ව්‍යාප්ත වන විට එය එතරම් හානිකර නොවූ බැව් පෙනිණ. එයට මුහුණ දීමේ ප්‍රතිදේහ තනාගන්නට යුරෝපීය සමාජයන් සමත් විය. නමුත්, ඉන්පසුව අත්ලාන්තික් සාගරය තරණය කොට ලිබරල් වයිරසයට මුහුණදීමේ ප්‍රතිදේහ රහිත කලාපයක් - එනම් එක්සත් ජනපදය - සොයාගන්නට එය සමත් විය.

දැන් එය විපරිවර්තනයට ලක් වී, නොහොත් ඇමෙරිකානුකරණය වී, යළිත් යුරෝපයට (සහ සමස්ත ලෝකය වෙතට) පැමිණ ඇත්තේ එයට එරෙහි සියලු ප්‍රතිදේහ නසන්නට තරම් බලයක් අත්පත් කොටගෙනය. සමීර් අමීන් කතා කරන ලිබරල් වයිරසයේ කාර්යය වන්නේ මානවයින්ගේ ආර්ථික ජීවිතය නියාමනය කිරීමේ ස්වයංක්‍රීය බලයක් වෙළඳපල සතුව තිබේ යැයි එය වැළඳුණ මිනිසුන් හට ඒත්තු ගැන්වීමය. එසේම, ඔවුනගේ දේශපාලන ජීවිතයට අදාළ තරඟ රීතීන් නිර්මාණය කිරීමේ වගකීම නිෂ්ක්‍රීය ජන්ද පෙට්ටි තුළට බහාලීමට සැලැස්වීමය.

 

ලිබරල් වයිරසය අපට ඒත්තු ගන්වන්නට ප්‍රයත්න දරන දේ යථාර්තය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව අමීන් පෙන්වා දෙයි. පළමුව, කිසිදු බාහිර නියාමනයක් නොමැති, එය විසින්ම නියාමනය වන නිදහස් වෙළඳපලක් ඇත්තේ කොතැනකද? දෙවනුව, ධනවාදය එවන් වියුක්ත නිදහස් වෙළඳපලක් පිළිබඳ සංකල්පයකට ලඝු කිරීමට හැකිද? ලිබරල් ආර්ථික විද්‍යාඥයින් ඉහත සඳහන් මූලධාර්මික ප්‍රශ්න මග හැර යන්නට ප්‍රිය කරයි. මන්ද යත්, ඔවුන්ගේ විශ්ලේෂණයන් පදනම් වන්නේ, පළමුව, වෙළඳපලට ස්වයං-නියාමනයක් තිබේය යන පෙර සිතා ගැනීම මතයි. දෙවනුව, වෙළඳපල නීතීන්ගේ නිදහස් ක්‍රියාකාරීත්වය මගින් ආර්ථිකයේ උපරිම සමතුලිතතාවක් නිර්මාණය වේය යන පෙර සිතාගැනීම මතයි. මේ දෙකම පරිකල්පනීය නියතීන් පමණි. එබැවින්, එම නියතීන් මත පදනම් වූ විශ්ලේෂණයක් විසින් අපව රැගෙන යනු ලබන්නේ ආර්ථිකය පිළිබඳ වියුක්තනවාදයක් වෙතය. එසේම, සාමාන්‍යයෙන් මාක්ස්වාදීන් වෙත එල්ල කෙරෙන විවේචනාත්මක යෙදුමක් භාවිත කළ හොත්, මේ වනාහී ආර්ථික ඌනිතවාදයක් කියාද කිව හැකිය. 

ලිබරල් පොතේගුරු වාදය

1970 sl
අමීන්ගේ තේරුම් කිරීමෙහි ඇති වැදගත් පැතිමානයක් වන්නේ ධනවාදය නිදහස් වෙළඳපල සමග සාම්‍ය කොට වටහාගැනීම කොතරම් සාවද්‍ය වූවක්දැයි පෙන්වාදීමයි. ශ්‍රී ලාංකීය ආර්ථික ලිබරල්වාදීන්ද නිතරම ධනවාදය තේරුම් කරන්නේ නිදහස් වෙළඳපල පිළිබඳ සංකල්පයට එය ඌණනය කරමිනි. අනෙක් අතට, ඔවුන් සමාජවාදය තේරුම් කරන්නේ රාජ්‍ය ඒකාධිකාරී ආර්ථික මොඩලයක් ලෙස අතිසරලකරණයට ලක් කරමිනි. නමුත්, 'සැබවින්ම පවතින ධනවාදයන්' අවශ්‍යයෙන්ම වෙළඳපල නිදහස ඉල්ලා සිටින්නේ නැත. ඒවා බොහොමයක් ක්‍රියාත්මක වන්නේ වෙළඳපල නිදහසට විවිධාකාර සීමා හා බාධක පණවමින්ය. 

නිදසුනක් ලෙස, ලංකාවේ ආර්ථික දක්ෂිණාංශය විසින් 1977 සිටම තොරොම්බල් කරන ලද සිංගප්පූරුව ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ධනවාදී සංවර්ධනයක් සිදු වූයේ විශාල වශයෙන් රාජ්‍ය සැලසුම්ගත කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්ය. ඔවුනගේ පූර්වාදර්ශය වූයේ පශ්චාත් යුදකාලීන ජපන් ධනවාදයයි. අමීන්ගේ වචනයෙන් කිව හොත්, සැබවින්ම පවතින ධනවාදය ක්‍රියාත්මක වන්නේ තරඟකාරී පද්ධතියක් ලෙස නොවේ (ඉහත කෘතිය, පි. 17). ඒ වෙනුවට එහි ක්‍රියාකාරීත්වය සඳහා සමස්තයක් ලෙස ප්‍රාග්ධනය නියෝජනය කරන්නා වූ සාමූහික අධිකාරීත්වයක්, එනම් රාජ්‍යය, වුවමනා වේ. රාජ්‍යය කිසිසේත් ආර්ථික ක්‍රියාවලියෙන් වෙන් කළ හැකි නොවේ.

මේ සඳහා කදිම නිදසුන් සපයන්නේ සමකාලීන වික්‍රමසිංහ පාලනාධිකාරය විසින්මය. එක් අතකින් එය රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කොට නිදහස් වෙළඳපල ක්‍රමය පන ගන්වන්නට ප්‍රතිඥාදෙයි. රාජ්‍යය විසින් ව්‍යාපාර කරන්නේ කොහේදැයි වරක් ජනපතිවරයා උපහාසාත්මක ස්වරයෙන් විමසීය.
 

නමුත්, ඒ සමගම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහා පරිමාණයෙන් බදු පැහැර හැර තිබෙන සමාගම්වලට අත නොතබා වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට පියවර ගනු ලැබුවේ රාජ්‍ය බලය භාවිත කිරීමෙන් නොවේද? ජනතා නියෝජිතයින් බහුතරයක් පවා තවමත් හරිහැටි නොදන්නා අන්තර්-රාජ්‍ය ආර්ථික ගිවිසුම්වලට එළැඹ ඇත්තේ රාජ්‍ය බලය භාවිත කරමින් නොවේ ද?

ජනපතිගේ ඉන්දීය සංචාරය: එළඹුණු ගිවිසුම් ගැන ඔබ දන්නවාද? 
දැන් මතබේදයට ලක්ව තිබෙන නමුත් ප්‍රමාණවත් තරමින් සංවාදයට ලක්ව නොමැති වික්‍රමසිංහ-මෝඩි එකඟතා මගින් ගම්‍ය වන්නේ කුමක්ද? රාජ්‍යයේ මෙම සෘජු ආර්ථික තීරණ ජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි මහත් සේ බලපායි. නමුත්, ඒ අතරම රාජ්‍යය ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත් වී සිටින බවද ඉතාම ආඩම්බරයෙන් නිවේදනය කරනු ලැබේ. ලිබරල් ආර්ථික විද්‍යාඥයින් සැබවින්ම කතා කරමින් සිටින්නේ පරිකල්පනීය ආර්ථිකයක් ගැන යැයි අමීන් පවසන විට ඔහු කොතරම් නිවැරදි දැයි සමකාලීන ලාංකීය යථාර්තය තුළ වටහාගැනීම අසීරු නැත. සැබවින්ම මේ කාරණයේදී පොතේ ගුරුවාදී වන්නේ ආර්ථික ලිබරල්වාදීන් මිස වාමාංශිකයින් නොවේ.                    
 
ලිබරල්වාදී පොතේගුරුවාදීන්ට වෙනස්ව වාමාංශිකයින් ධනවාදය හඳුනාගන්නේ නිදහස් වෙළඳපල පිළිබඳ වියුක්ත සහ පරිකල්පනීය සංකල්පයකට එය ඌණනය කරමින් නොවේ. පුද්ගලික ලාභ සමුච්චනය, ඒකාධිකාරී ප්‍රාග්ධනය, රාජ්‍ය බලය, සහ දේශපාලන අරගලය ඇතුළු සැබවින්ම පවතින ධනවාදයේ අංග ලක්ෂණ පරිශීලනය කරමින්ය. යම් ආර්ථිකයක් ධනවාදී වන්නේ ඒ තුළ නිදහස් වෙළඳපල තර්කණය කොතරම් දුරට ක්‍රියාත්මක වේද යන කාරණය අනුව නොව ප්‍රාග්ධන සමුච්චනයේ තර්කණය කොතරම් දුරට ක්‍රියාත්මක වේද යන කාරණය අනුවය. ඒ අතරම යම් ආර්ථිකයක් සමාජවාදී වන්නේ එය කොතරම් දුරට රාජ්‍ය ඒකාධිකාරය අනුයන්නේද යන්න මත නොව කොතරම් දුරට පුද්ගලික ලාභයට වඩා සමාජ යහපත සහ සමානත්වය සහතික කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කර තිබේද යන්න මතය. 

දැන් සමාජවාදය අවසන් වී තිබේය යන ප්‍රසිද්ධ ප්‍රකාශයට පිළිතුරක්ද අපට මේ සමග ඉදිරිපත් කළ හැකිය. යම් තැනෙක සමාජයීය සමානාත්මතාව සහ පොදු යහපත සැලසීම වෙනුවෙන් පුද්ගලික ලාභ සමුච්චනයට සීමා පණවන ප්‍රතිපත්තීන් ඉදිරිපත් වේද එතැන සමාජවාදී විභවයක් පවතී. ධනවාදය සහමුලින්ම ලොව කොතැනකවත් පවතින්නේ නැත. මන්ද යත්, සමාජවාදය එයට බාධා කරමින් සිටින නිසාය. එකිනෙකට පසමිතුරු ක්‍රියාවලීන් දෙකක් ලෙස ධනවාදය සහ සමාජවාදය අද දිනයේත් ජීවමානව පවතී.             

jawan 637
 
සමාජවාදය අද දිනයේ ක්‍රියාවලියක් ලෙස, අරගලයක් ලෙස මෙන්ම පොදුජන අපේක්ෂාවක් ලෙස පවතින්නේ කෙසේදැයි 'ජවාන්' චිත්‍රපටයේ එන ජවනිකාවක් ඇසුරින් යළිත් පැහැදිලි කරන්නට මට ඉඩ දෙන්න. එහි සමාජ යුක්තිය සහ සුභසාධන අයිතීන් වෙනුවෙන් සටන් වදින වික්‍රම් රතෝර් ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් වරක් මෙසේ විමසයි. "ඉන්දියාවේ වැඩියෙන් බදු ගසන්නේ සුඛෝපභෝගී වාහනවලටද, නැත්නම් ට්‍රැක්ටර්වලටද?" නිවැරදි පිළිතුර දෙවැන්නයි. රතෝර් අවධාරණය කරන්නේ මේ බදු ප්‍රතිපත්තිය අනෙක් අතට හැරවිය යුතු බවයි. සමාජවාදී අපේක්ෂාව වන්නේ එයයි. එම අපේක්ෂාව නියෝජනය කරන පශ්චාත්-මාක්ස්වාදීන් සිටගන්නේ වික්‍රමසිංහ සමග නොව වික්‍රම් රතෝර් සමගය
ගොවිජන ප්‍රශ්නය

සැබවින්ම පවතින ධනවාදයට මිනිස් වර්ගයා විශාල ව්‍යසනයකට ඇද දැමීමෙන් තොරව තවදුරටත් ඉදිරියට යා නොහැකි යැයි ස්ලේවෝයී ශිෂෙක් ඔහුගේ 'සමාප්ත කාලයක ජීවත් වීම' (Living in the End Times - 2010) කෘතියේ පවසයි. ඒ මන්දැයි ඔහුට පෙර සමීර් අමීන් ගෙන ආ නිදසුනක් ඇසුරින්ද අපට පැහැදිලි කරගත හැකිය. අමීන් පෙන්වා දෙන්නේ ගොවිජන ප්‍රශ්නයට (agrarian question) ධනවාදය සතුව විසඳුමක් නොමැති බවයි. ධනවාදීන් සාමාන්‍යයෙන් තර්ක කරන්නේ ගොවිජන ක්ෂේත්‍රයේ ආර්ථික පලදායීතාව ඉතාම අඩු බවත් එබැවින් ග්‍රාමීය කෘෂිකර්මය ධනවාදීකරණය කළ යුතු බවත්ය. එයින් අදහස් වන්නේ කුඩා ඉඩම් හිමිකම මත පදනම් වූ සාම්ප්‍රදායික කෘෂිකර්මය වෙනුවට ප්‍රාග්ධනය සහ තාක්ෂණය මුල් කොටගත් මහා පරිමාණ ව්‍යාපාරික කෘෂිකර්මය දක්වා ගමන් කළ යුතු බවයි. 
 
ජලය නොමැතිව ගොවින් හඬද්දී වලවේ අක්කර 2000ක් ජලයෙන් යට වෙයි
කලෙක ලංකාවේ දක්ෂිණාංශික ආර්ථික විද්‍යාඥයෙකු 'වී වෙනුවට රෝස මල් වවන ආර්ථිකයකට යාම වඩා පලදායී වේය' යන අදහස ඉදිරිපත් කළේ මේ අරුතිනි. මෙවන් පරිවර්තනයකදී ඉඩම් හිමිකම කුඩා ගොවීන්ගෙන් පුද්ගලික සමාගම් අතට මාරු වන බව පැහැදිලිය. එහිදී මූලික වන්නේ පුද්ගලික ලාභ උත්පාදනයයි. ප්‍රාග්ධන සමුච්චනයයි. මෙය කළ නොහැකි දෙයක් නොවේ. නමුත්, එය කළ හැක්කේ අති විශාල වශයෙන් ගොවිජනයා 'ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් ඉවතලිය හැකි ජනගහණයක්' බවට පරිවර්තනය කිරීම මගින් පමණි. 
 
අමීන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ තවත් නූතන ගොවි පළවල් මිලියන විස්සක් ඇති කොට ඒවාට සරුසාර ඉඩම් සහ ප්‍රාග්ධන පහසුකම් ලබා දුනහොත් ලෝකයේ ගොවිජන ක්ෂේත්‍රයේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම එමගින් විතැන් කළ හැකිය (ඉහත කෘතිය, පි. 33). වෙනත් වචනවලින් කිව හොත්, එවිට ලෝකයේ සමස්ත කෘෂිකාර්මික ඉල්ලුම ව්‍යාපාරික කෘෂිකර්මය මගින් සැපිරිය හැකිය. නමුත්, ඒ සඳහා ගෙවිය යුතු සමාජයීය මිළක් පවතී. එනම්, එතෙක් ගොවිජන ක්ෂේත්‍රයේ නිරත වූ බිලියන ගණනක් ජනයාට උන්හිටි තැන් නැති වීමයි. ධනවාදයේ ආරක්ෂකයින් පවසනු ඇත්තේ යුරෝපයේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයේදී සිදු වූ පරිදි මෙම ගොවිජනයා නාගරික කාර්මික නිර්ධනීන් බවට පරිවර්තනය වනු ඇති බවයි. නමුත්, නැවතත් එය පොතේගුරුවාදී පිළිතුරකට වඩා වැඩි යමක් නොවේ. 
 
පළමුව, කාර්මික විප්ලව යුගයේ යුරෝපීය සමාජයන් ගමන් ගත් මාර්ග පථයේම විසිඑක්වන සියවසේ ගෝලීය පරිවාරයේ සමාජයන් ගමන් කළ යුතුය යන අදහසම පරිකල්පනීය වූවකි. දෙවනුව, ගොවිජන ක්ෂේත්‍රයෙන් පළවා හැරෙන ජන සමූහය අවශෝෂණය කරගත හැකි වැඩෙන කාර්මික පරිමණ්ඩලයක් පවතින්නේ කොහේද? වත්මන් යුගයේ කාර්මික නිෂ්පාදනය තාක්ෂණීකරණය වී ඇති මට්ටම අනුව ධනවාදී කේන්ද්‍රයේ රටවල පවා ඇත්තේ ශ්‍රම අතිරික්තයකි. ලෝක ආර්ථික සමුළුව පවසන පරිදි ඉදිරි වසර පහ තුළදී ස්වයංක්‍රීය තාක්ෂණය විසින් තවත් මිලියන 85ක ශ්‍රමිකයින් පිරිසකට රැකියා අහිමි වනු ඇත. මීට අමතරව, වසංගතයෙන් පසු ලෝකය තුළ නම් සමස්ත ආර්ථිකය සංකෝචනය වෙමින් පවතින තත්ත්වය තුළ නගරවලට ගලා එන විශාල නව ශ්‍රම බලකායක් සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නොමැත. වත්මනෙහි අයි.එම්.එෆ්-වික්‍රමසිංහ උපායමාර්ගය තුළ දැනුවත්ව සංකෝචනයට ලක් කෙරෙමින් පවතින ලාංකීය ආර්ථිකය තුළ තත්ත්වය කෙබඳු වනු ඇත්දැයි අමුතුවෙන් කිව යුතු නැත. අවසන් වශයෙන්, කාලගුණ විපර්යාසයේ අභියෝගය හමුවේ තවදුරටත් වෘද්ධිය (growth) පරමාදර්ශ කොටගත් සංවර්ධන මාවතක පැවැත්ම වනු ඇත්තේ මිනිස් වර්ගයාගේ සාමූහික ව්‍යසනයයි.
 
ඩීසල් අර්බුදයෙන් කඳුකරයේ එළවලු ගොවීන් දැඩි පීඩාවක
 
මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ ගොවිජන ක්ෂේත්‍රයේ පූර්ණ ධනවාදීකරණයක් පිළිබඳ අදහස ප්‍රායෝගිකව යථාර්තයක් බවට හැරවිය නොහැකි බවයි. 'වී වෙනුවට රෝස මල්' යනු දක්ෂිණාංශික ආර්ථික විද්‍යාඥයෙකුගේ මනෝරාජික අදහසක් පමණි. මෙයින් කියැවෙන්නේ ගොවිජන ප්‍රශ්නයට ධනවාදී විසඳුමක් නොමැති බවත්, එයට විසඳුමක් සෙවිය හැක්කේ සමාජවාදී පරිකල්පනයක් තුළ බවත්ය. නමුත්, දැන් වික්‍රමසිංහ පාලනය ක්‍රියාත්මක කරමින් සිටින්නේ මහා සමාජ ව්‍යසනයකින් තොරව යථාර්තයක් බවට පත් කළ නොහැකි ධනවාදීකරණ සැලැස්මකි. නමුත්, එම සැලැස්ම තුළ නොතකා හරින කාරණය වන්නේ සාම්ප්‍රදායික ගොවිජන ක්ෂේත්‍රයෙන් පළවා හැරෙන ජනයාව අවශෝෂණය කරගත හැකි වැඩෙන ආර්ථික ක්ෂේත්‍රයක්ද නොමැති තත්ත්වයක් තුළ ඔවුන් ආර්ථිකමය සරණාගතයන් බවට පරිවර්තනය වන්නේය යන්නයි.
එහි ප්‍රතිපලය වනු ඇත්තේ දැනටමත් ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමික ප්‍රජාව තවත් වර්ධනය වීමය. ණය අර්බුදයට විසඳුමක් ලෙස ආර්ථිකය සංකෝචනය කරන්නට තීරණය කළ වික්‍රමසිංහ පාලනාධිකාරය එම සියයට හැටක් වන අවිධිමත් අංශයේ ශ්‍රමික ප්‍රජාවට සහන සැලසීමට කිසිසේත්ම සූදානමක් නැත. සැබවින්ම දැන් ක්‍රියාවට නැගෙමින් පවතින 'වික්‍රමසිංහ විසඳුම' වනාහී අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ආර්ථිකමය වශයෙන් පලදායී නොවන සහ එබැවින් 'අතිරික්ත ජනගහණයක්' බවට පරිවර්තනය කරන ආකාරයේ විසඳුමකි. එවන් පාලනාධිකාරයකට සහාය දක්වන ඇතැම් ඊනියා පශ්චාත්-නූතන පඬිවරුන් තමන් සියයට හැටක් වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියාපෑම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද?

වික්‍රමසිංහට එරෙහිව වික්‍රම් රතෝර්  
 
සමීර් අමීන් පෙන්වාදෙන පරිදි පුද්ගලික ප්‍රාග්ධන සමුච්චනය සහ අවසානයක් නැති වෘද්ධිය පදනම් කරගත් ධනවාදය ගොවිජන ප්‍රශ්නය විසඳීමට අසමත් නම්, අප දැන් කළ යුත්තේ කුමක්ද? සුපුරුදු වාමාංශික පිළිතුර වන්නේ විසඳුම ඇත්තේ ධනවාදය පෙරළා දමා සමාජවාදය ගොඩ නැගීම තුළය යන්නයි. නමුත්, අප ජීවත් වන යුගයේ එවන් පිළිතුරක් ප්‍රමාණවත් වන්නේ නැත. එක් අතකින් ගොඩ නැගිය යුතු සමාජවාදය කුමක්ද සහ එය ගොඩ නැගිය යුත්තේ කෙසේද යන කාරණා ගැන නැවත සිතන්නට බලකෙරෙන තත්ත්වයක් අද උදා වී තිබේ. 
 
1990 දශකයේදී සමාජවාදීන්ගෙන් ප්‍රශ්න කිරීමට ලක් වූයේ නිර්ධන පන්ති ආඥාදායකත්වය පිළිබඳ සූත්‍රය, රාජ්‍ය නිලබල තන්ත්‍රවාදී පාලනය, තනි පක්ෂ ක්‍රමය, ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් අතහැරීම යනාදිය නම්, විශේෂයෙන්ම විසිඑක් වන සියවසේ දෙවන දශකයෙන් පසු අලුත් ප්‍රශ්නයක් එයට එක්ව තිබේ. එනම්, සමස්ත මිනිස් සහ ජෛව ගෝලයම අනතුරට හෙළන්නා වූ වෘද්ධිය පදනම් කරගත් සංවර්ධන චින්තාව අප තවදුරටත් පිළිගන්නේද යන්නයි. 'සැබවින්ම පැවති සමාජවාදය' තුළ මේ ප්‍රශ්නය ගැන ප්‍රමාණවත් තරමින් සිතා තිබුණේ නැත. ඒ වෙනුවට අවසානයක් නැති කාර්මික, තාක්ෂණික සහ න්‍යෂ්ටික තරඟයකට අවතීර්ණ වීමෙන් සොබාදහම මත සුවිසල් පීඩනයක් මුදාහැරීමට විසිවන සියවසේ සමාජවාදී පාලනතන්ත්‍ර දායක විය. එහි ප්‍රතිපලය කුමක්ද? අද වනවිට ගෝලීය කාබන් විමෝචනයෙන් 27% ක් සඳහා දායක වන්නේ කොමියුනිස්ට් පක්‍ෂ පාලනයක් යටතේ පවතින චීන මහජන සමූහාන්ඩුවයි. 

climate change345
දැන් සහශ්‍රක සමාජවාදීන් හමුවේ කාලගුණික විපර්යාසය පිළිබඳ නව අභියෝගයද ඉදිරිපත්ව ඇත. වෘද්ධිය පිළිබඳ නූතන යුගයේ සමාජ පරිකල්පනයෙන් ඔබ්බට ගමන් කරන්නට සිදුව තිබේ. සමාජවාදී සංවර්ධනය යනු කුමක්ද යන මූලධාර්මික ප්‍රශ්නය මතු කළ යුතුව තිබේ. දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා කුඩා ගොවිපළ ක්‍රම කරා ගමන් කිරීමේ සාකච්ජා ආරම්භ වී පවතින අතර කෘෂිකර්මයේ පූර්ණ කාර්මිකකරණයක් පිළිබඳ අදහසට එතරම් වලංගුතාවක් නොමැත. මෙය කිසිසේත්ම ඉපැරණි ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය පිළිබඳ රොමාන්තික මිත්‍යාව කරා ආපසු ගමන් කිරීමක් නොවේ. උග්‍ර වෙමින් පවතින පාරිසරික ව්‍යසනය හමුවේ සංවර්ධනය පිළිබඳ නව සමාජ පරිකල්පනයක් ගොඩ නැංවීම තවදුරටත් රොමාන්තික අදහසක් නොව ඉතාම ප්‍රායෝගික නිරාගමික අවශ්‍යතාවකි.
 
සහශ්‍රක සමාජවාදීන් හමුවේ පැන නගින අනෙක් ගැටළුව වන්නේ මේ කියන කවර සමාජවාදී විසඳුමක් වුව සොයාගන්නා තුරු ගොවිජන ප්‍රශ්නය සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද යන්නයි. මෙහිදී බෝල්ෂෙවික් සම්ප්‍රදායේ (ශන්තාල් මූෆ්ට අනුව, ජැකොබින් සම්ප්‍රදායේ) එක් චින්තන විධියකින් අප වෙන් විය යුතුය යන්න මගේ අදහසයි. එම චින්තන විධිය නම්, ධනවාදයේ අර්බුදය තව තවත් ඉදිරියට ගොස් මහා වියවුලක් නිර්මාණය වීම සුබවාදී තත්ත්වයක් ලෙස බාර ගැනීමයි. එම චින්තන විධිය අනුව, සමාජවාදීන්ගේ අප්‍රකාශිත ප්‍රාර්ථනය වූයේ 'ජනතාවට තව තවත් කෙළ වේවා' ය යන්නයි. මන්දයත්, එවිට සමාජවාදී සමාජ පරිවර්තනය සඳහා මග පෑදෙන බැවිනි. නමුත්, ස්ලේවෝයී ශිෂෙක් ඔහුගේ නවතම කෘතියක් වන 'Heaven in Disorder' (2021) හි පෙන්වාදෙන පරිදි, වත්මන් අර්බුදයන්ගේ ස්වභාවය කෙබඳුද යත්, මින් ඉදිරියට මේ මාවතේම ගමන් කරනවා යනු ආපසු හැරීමක් නැති මහා ව්‍යසනයක් කරා ඇද වැටීමකි. එබැවින්, මාවෝ සේතුං ප්‍රකාශ කළ පරිදි "දෙව්ලොව යට මහා වියවුලකි; තත්ත්වය ඉතා කදිමය" යැයි දැන් අපට කිව නොහැකිය. මේ මොහොතේ ව්‍යසනය කවර මට්ටමකින් හෝ පාලනය කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ද සහශ්‍රක සමාජවාදීන් පෙනී සිටිය යුතුය. සමාජවාදී සම්ප්‍රදාය තුළ එවන් චින්තන විධියක් සඳහා ආදර්ශ කොට ගත හැක්කේ ස්කැන්ඩිනේවියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය බැව් මගේ අදහසයි.     
 
මේ අරුතින් ගත් කල, ගොවිජන ප්‍රශ්නය සම්බන්ධයෙන් ධනවාදයට විසඳුමක් නොමැති වුවත් ඒ සඳහා සමාජවාදී විසඳුමක් සොයාගන්නා තෙක් කළ හැකිව ඇත්තේ ගොවිජනයා වෙත රාජ්‍යයේ සුභසාධනය ගලා යාමට සැලැස්වීම පමණි. වෙනත් වචනවලින් කිවහොත්, වික්‍රමසිංහ විසඳුමට වඩා 'වික්‍රම් රතෝර් විසඳුම' මෙහිදී යථාර්ථවාදීය.                                              

නිදහසෙන් පළායාම දේශපාලන සාධකයක් ලෙස - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Anida

පරිශීලන 

Amin, Samir, 2004, The Liberal Virus: Permanent war and the Americanization of the World, Monthly Review Press, New York.

Mouffe, Chantal, 2022, Towards a Green Democratic Revolution, Verso, London/New York.

Zizek, Slavoj, 2010, Living in the End Times, Verso, London/New York.

Zizek, Slavoj, 2021, Heaven in Disorder, O/R Books, New York. 


සබැඳි ලිපි :

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා- (පස්වන කොටස) : සුමිත් චාමින්ද 

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සිව්වෙනි කොටස) - සුමිත් චාමින්ද

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා : (තෙවන කොටස) - සුමිත් චාමින්ද 

පශ්චාත් මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (දෙවන කොටස) - සුමිත් චාමින්ද

පශ්චාත් මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා - සුමිත් චාමින්ද

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්