“මට අවශ්‍ය ක්‍රිකට් ගොඩ දාන්න. අයි.සී.සී එකත් බලාගෙන ඉන්නේ. චිත්‍රසිරි කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ.”

ඉකුත් බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ජනාධිපති වික්‍රමසිංහ පැවැත්වූ සාකච්ඡාවකදී එසේ කියා තිබිණැයි ආණ්ඩුවේ පුවත් පතක පළමු පිටුවේ ප්‍රධාන පුවත ලෙස වාර්තා විය. 



ඊට පහළින් තිබුණු තවත් පුවතක් වූයේ ක්‍රීඩා සම්බන්ධව ජනාධිපති පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුව ඔවුන්ගේ වාර්තාව එදින ජනාධිපතිට බාර දුන් වග ය. එයට අනුව ප්‍රතිපත්තීන් හා සංවර්ධන කටයුතු ජාතික ක්‍රීඩා අධිකාරයකට බාර විය යුතු අතර එය යටතේ සියලු ක්‍රීඩා සම්මේලන පිහිටු විය යුතුය. 

ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීමට ජනාධිපති වික්‍රමසිංහ තවත් කමිටුවක් පත් කරන්නට බොහෝ දුරට ඉඩ ඇති හෙයින් ඊට පෙර මෙය ලියා තැබිය යුතු යැයි සිතුවෙමි. එහෙත් ඉන් තවත් පැය කිහිපයක් යත්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බවට වාර්තා ලැබිණ. 

IMG 20231110 WA0015
මේ සාමාජිකත්ව තහනමට අවුරුදු 27 ට ඉහතින් 1996 මාර්තු 17 වන දින ලාහෝරයේදී පැවති සය වන ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියෙහි අවසාන මහ තරගයේදී කඩුළු 07 කින් ඕස්ත්‍රේලියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය රැගෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි විට, ඔවුන් පිළිගැනුමට රටම ඔල්වරසන් නගමින් පාරට පැමිණියහ. ශ්‍රී ලංකාව එවන් ලෝක ජයග්‍රහණයක් ලබනු ඇතැයි කිසිවකු බලාපොරොත්තු නොවූවත් ඒ තරගාවලියට ගිය ලාංකීය කණ්ඩායම අර්ජුනගේ නායකත්වයෙන් වූ අරවින්ද, ගුරුසිංහ, වාස්, කලූ, සනත් වැනි දැවැන්තයින්ගේ කණ්ඩායමක් විය.

“ලෝක කුසලාන” ජයග්‍රහණය යැයි කියූ විට එය සමස්ථ ලෝකයම පරදා ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම ක්‍රිකට් කණ්ඩායම වූයේ යැයි සමාජ මතයක් වහා හැදින. එයට එක්තරා ආකාරයක දේශප්‍රේමයක්ද එකතු කෙරිණ. දසකයකට වැඩි කලක් එල්.ටී.ටී.ඊය පරාජය කරගත නොහැකිව දිගු ඇදෙන යුද්ධයක පැටලී ඉන්නා රටේ අයිතිකාරයින් යැයි සිතා ගන්නා බහුතර සිංහල-බෞද්ධයින්ට, ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීම මහ ජාතියේ ජයග්‍රහණයක් ලෙස ඔසවා ගැනීමේ අලංකාර තෘප්තියක් තිබිණ. ඒ හේතුවෙන් ක්‍රිකට් ලෝකයේ ලොකු රටවල් දෙක තුන සමස්ථ ලෝකය යැයි සිතමින් කතා කිරීමට පෙළඹුණා මිස මේ කුසලානය රටවල් 12 ට සීමා වූ තරගයක කුසලානයක් බැව් නොතැකූවකි.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට ලංකාව පත්වන විට, අපට ජාතික ක්‍රීඩාවක් යැයි කීමට තරම් අපේම ක්‍රීඩාවක් නොවුනි. ඇත්තම කතාව නම්, “නච්ච ගීත වාදිත විසූඛ දස්සන” යැයි කියූ බෞද්ධ සමාජයේ සෞන්දර්යාත්මක සංස්කෘතිකාංග දියුණු නොවුනා වාගේම, විනෝදය සඳහා ක්‍රීඩා නිර්මාණය වූයේද නැත. එබැවින් ලංකාවේ පාසල් වලට හඳුන්වා දෙනු ලැබූයේ බ්‍රිතාන්‍යයින්ගේ ක්‍රිකට් ක්‍රීඩාවය. 

senegama
ක්‍රිකට් ක්‍රීඩාව නාගරික මැදපංතික මහත්මා ක්‍රීඩාවක් වශයෙන් ආරම්භයේදී ජනප්‍රිය වෙන්නේ කොළඹ, ගාල්ල, මහනුවර සහ යාපනය නගරවල ජනප්‍රිය පාසල් දුසිම් දෙක තුනක පමණිය. 50 - 60 දසක වලදී ඒ අවට පාසල් වලට ක්‍රිකට් ක්‍රීඩාව පැතිර ගියත් ඒ බොහෝ පාසල් වලට ක්‍රිකට් ක්‍රීඩාව නඩත්තුකර ගැනීමට නොහැකි වූයේ එය පෞද්ගලිකවද සැළකිය යුතු මුදලක් වැය කළ යුතුවූ ක්‍රීඩාවක් වූයෙනි. දැනටත් පාසල් ක්‍රිකට් අතර දැවැන්තයින් වන්නේ පොහොසත් ආදි ශිෂ්‍ය සංගම් ඒ වෙනුවෙන් වියදම් කරන කොළඹ ජනප්‍රිය පාසල් කිහිපය පමණි. අපේ වැනි රටවල පමණක් නොව, එංගලන්තය, ඕස්ත්‍රේලියාව, ඉන්දියාව වැනි රටවලද ක්‍රිකට් ක්‍රීඩාව නාගරික මැදපංතියට සීමා වූයේ එය විශාල වශයෙන් මුදල් වැය කළ යුතුවූ ක්‍රීඩාවක් වූයෙනි. 

Sri Lanka cricket getty

එහි මුදල්මය සාධකය ක්‍රීඩකාගාර ඇති විශාල පිට්ටනි නඩත්තුවට සහ ක්‍රීඩා උපකරණ සඳහාවන වැය කිරීම්වලට පමණක් සීමා නොවුනකි. ක්‍රිකට් සඳහා ක්‍රිඩකයින්ට මෙන්ම නරඹන්නන්ටත් අවම වශයෙන් සම්පූර්ණ දින දෙකක් ඒ වෙනුවෙන් පූර්ණකාලීනව වැය කළ යුතු විය. ටෙස්ට් ක්‍රීඩා තරග සඳහා පූර්ණ දින 05 ක් වැය කළ යුතු විය. දෛනිකව ආදායම් උපයන, අඩු ආදායම්ලාභී බහුතර සාමාන්‍ය පහළ ජන සමාජයට ක්‍රීඩාවක් වෙනුවෙන් එවැනි දිගු කාලයක් වැය කළ නොහැකිය. එහෙත් නාගරික ජනප්‍රිය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩා කළ ළමුන් පසුව ක්‍රීඩා පිට්ටනිද සමග ක්‍රිකට් සමාජ හදා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව මැදපංතික ක්‍රීඩාවක් ලෙස නඩත්තු කළහ. එවැනි ක්‍රිකට් ක්‍රීඩා සමාජ, කොළඹ මහ නගර සභා සීමාවෙන් පිටත ඇත්තේ කිහිපයකි. 

මේ සීමා තුල 1996 ලෝක ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය සමග අපේ රටේ ක්‍රිකට් ලෝක දෙකක් නිර්මාණය වන්නේය. එකක් අද මහ විශාල ගෝසාවක් කෙරෙන, ආණ්ඩුවද විපක්ෂයද එය දේශපාලන වගකීමක් කර ගෙන ඉන්නා, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක යාන්ත්‍රණයෙහි සිදුවන්නාවූ දැවැන්ත දූෂණ වලට විරුද්ධවන නාගරික මැදපංතික සමාජය වන්නේය. අනෙක, ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ සමගින් ආඩම්බරවන සහ එය නොකඩවා පවත්වා ගැනීමට අපේක්ෂා කරන නමුත් පරාජයවීම් හමුවේ ඒ ජාතිකත්ව අභිමානයද අහිමි වූයේ යැයි සිතන සාමාන්‍ය සිංහල සමාජය වන්නේය. වචනයකින් දෙකකින් කිවහොත් ක්‍රිකට් දූෂණ ගැන කතා කරන සහ ක්‍රිකට් ජයග්‍රහණ ගැන උදම් අණන ලෝක දෙකක් නිර්මාණය වී ඇත.  

මේ දෙගොල්ලන්ම ක්‍රිකට් යැයි බදාගෙන ඉන්නා වර්තමාන ක්‍රිකට් කර්මාන්තයේ 50 - 60 දසකවල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ “ඩබ්ලියු ත්‍රිත්වය” (3Ws) ලෙස හැඳින්වුනු “වොරල්-වීක්ස්-වෝල්කොට්” වැනි විශිෂ්ටයින් දැන් නැත. ඕස්ත්‍රේලියාවේ බ්‍රැඩ්මන්ලා දැන් නැත. එංගලන්තයේ ටෲමන්ලා, ලෙන් හට්න්ලාද දැන් නැත. දැන් ඉන්නේ සියලු පහසුකම් හා තාක්ෂණය සමග දියුණු වූ හා දියුණු කෙරෙන කර්මාන්තයකට ඔබින ආකාරයෙන් හරඹ කරන ඩොලර වැටුප්ලාභීන්ය. 

ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් බවට පත් කෙරෙන්නේ ඕස්ත්‍රේලියාවෙහිය. 70 දසකය වනවිටත් ඝණ කොහු පැදුරක් දිගෑලිකර (Matting wicket) ඒ මත ක්‍රීඩා කළ යුගය අවසන් වෙමින් ඒ වෙනුවට ඉහළ වියදමක් දරමින් විශේෂ තණ නිල්ලක් මත(Turf wicket) ක්‍රීඩා කිරීම් ව්‍යාප්ත වෙමින් තිබිණ. එවැනි විශේෂ ක්‍රීඩා පථයක් නඩත්තු කිරීමේ තාක්ෂණයක්ද දියුණු කරමින් තිබිණ. එහි ඊළඟ පියවර ලෙස නව තාක්ෂණය සමග ශ්‍රම විභජනයක් ඇතිව පුහුණු ක්‍රම දියුණු කෙරෙන්නේ ඕස්ත්‍රේලියාවෙහිය.

murali accused 
දසක ගණනාවකට පෙර සිටි පුහුණුකරුවන් ක්‍රීඩාවේ සියලු හැකියාවන් දියුණු කළ නමුත් 80 දසකය වනවිට පිතිකරුවන්, වේග පන්දු හා දඟර පන්දු යවන්නන්, කඩුළු රකින්නන්, පන්දු රකින්නන් වැනි හැම කුසලතාවක්ම වෙන් වෙන් වශයෙන් පුහුණු කිරීමේ පුහුණුකරුවන් හදනු ලැබිණ. ඒ සමග ශරීර ව්‍යායාම, ආහාර වට්ටෝරු විශේෂඥයින් මෙන්ම විශේෂඥ වෛද්‍ය සේවාද එකතු වින. ක්‍රිකට් එළෙස කර්මාන්තයක් බවට පත් වන්නේ අලුත් වෘත්තීන් ගණනාවක් හා තාක්ෂණයක්ද සමගින්ය. මතක තිබේ නම්, පන්දුව “විසි කිරීමට” 1995-96 වසරවල විශේෂයෙන් ඩැරල් හෙයා විනිශ්චයකාරවරයා විසින් මුරලිදරන්ව නම් කරනු ලැබුවේය. එවැනි නම් කිරීමක් නැවත පිරික්සීමේ හැකියාවක් අතීතයේ තිබුණේ නැත. එහෙත් මුරලිට තිබූ වාසිය වූයේ ඕස්ත්‍රේලියාවේ එවැනි පන්දු යැවීම් ජෛවයාන්ත්‍රික තාක්ෂණයෙන් පරීක්ෂ කළ හැකිව තිබීමය. අනතුරුව බටහිර ඕස්ත්‍රේලියා විශ්ව විද්‍යාලයයෙහි කරනු ලැබූ පරීක්ෂණ අනුව 1996 සහ නැවත 1999 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුව නිදොස් කරනු ලැබුවේය. 

එවගේම, වේග පන්දු යැවීම වඩ වඩා දියුණු කිරීමත් සමග, පෙර නොතිබූ ශරීරාරක්ෂක පැළඳුම්ද ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කෙරිණ. හිස් ආවරණ, පපු ආවරණ, පන්දු යවන්නාගේ පැත්තට විවෘතවන අතේ වැළමිටෙන් පහළ කොටසේ ආවරණ දියුණු තාක්ෂණය සමගින් නිෂ්පාදනය විය. ඒ සමග 90 දසකය වනවිට ක්‍රිකට් කර්මාන්තය සඳහා විශාල පරාසයක අලුතින් විශාල ආයෝජන එකතුවෙමින් තිබිණ. ඒ වෙනුවෙන් ලාභ ලබන්නට නම්, වාර්ෂිකව කෙරෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශීය ක්‍රීඩා තරග ප්‍රමාණවත් නොවුනි. ගෝලීය විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ව්‍යාපත්ත වූ නාගරික මැදිපංතියට ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට ඔවුන්ගේ තරගකාරී ජීවන රටා ඉඩ දුන්නේද නැත.

එනිසා ඔවුනට අලුත් ක්‍රීඩා ආකෘතීන් අවශ්‍ය විය. එයට අත තැබුවේද ඕස්ත්‍රේලියාවේම යෝධ ව්‍යාපාරිකයෙකි. මාධ්‍ය ආයතන හිමිකරුවකු වූ කෙරී පැක විසින් 1979 ජනවාරියෙහි පළමු වරට එක් කණ්ඩායමකට ඕවර් 50 ක සීමාක් තැබූ පළමු රාත්‍රී ක්‍රිකට් තරගය ඕස්ත්‍රේලියානු හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් අතර සංවිධානය කෙරුණි. අනතුරුව අද එක් දින තරගවල දැකිය හැකි බොහෝ ලක්ෂණද ඇතිව ලෝක ක්‍රිකට් තරගාවලිය (World Series Cricket) ඔහු 1979 අග භාගයේදී ආරම්භ කෙරුවේය. ඒ සමග වෙනත් රැකියාවක් කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් වෙනුවට පූර්ණකාලීන වැටුපක් සඳහා ක්‍රිඩා කළ වෘත්තීය ක්‍රීඩකයින් බිහි විය. වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන් වලට වාගේම ක්‍රිකට් ක්‍රීඩාවටද නාගරික මැදපංතික දෙමාපියන් තම පුතුන් සඳහාවන තෝරා ගැනීමකට ඉඩ තැබූවේ එහි තිබූ මුදල් වලට අමතරව මැදපංතික ආටෝපයද නිසාවෙනි. 



මේ වනවිට එක් දින සීමිත ඕවර තරග ආකෘතීන් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නීති සම්පාදනය කර, රටවල කණ්ඩායම් ශ්‍රේණිගත කර තිබිණ. බොහෝ රටවල්වල 2005 වනවිට සීමිත ඕවර තරගාවලි ආරම්භකර තිබිණ. 2007 සැප්තැම්බරයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය “විස්සයි-20” ලෝක තරගාවලිය පැවැත්වූ පසු ඉන්දීය ක්‍රිකට් පාලක සභාව (Board of Control for Cricket in India) ඔවුන්ගේ “ඉන්දීය ප්‍රිමිය ලීග” (IPL) තරගාවලිය වාර්ෂිකව නගර 10 ක වරලත් ක්‍රීඩා කණ්ඩායම් සමගින් ආරම්භ කළේය. ඉන්දීය ක්‍රිකට් පාලක සභාවට අනුව ඔවුන්ගේ 2015 IPL තරගාවලිය විසින් ඩොලර් මිලියන 140 ක දායකත්වයක් ඉන්දීය ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනයට එකතු කර ඇත. 2022 වනවිට ඔවුන්ගේ IPL සන්නාහ නාමයේ වටිනාකම ඩොලර බිලියන 10.9 ක් විය. 2023 - 2027 IPL තරගාවලි රූපවාහිනි විකාශන අයිතිය ඩොලර බිලියන 6.4 ට ප්‍රධාන මාධ්‍ය ආයතන 02 ට අලෙවිකර ඇත. පසුගිය 2023 IPL තරගාවලියේ අවසාන මහ තරගය මෙතෙක් ඉතිහාසයේ යුටියුබ්හි මිලියන 32 ක් සජීවීව නැරඹූ එකම විකාශනය වේ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතයේ මෙන් ක්‍රීඩා පිටියට රොක්වන නරඹන්නවුන් සතු වටිනාකම වර්තමානයෙහි බාල්දු වූවකි. දැන් නරඹන්නවුන්ගේ වටිනාකම ඇත්තේ පැය කිහිපයකට රට රටවල් වල රූපවාහිනි ඉදිරිපස අසුන් ගන්වන මිලියන ගණනකගේ ය. දැවැන්ත රූපවාහිනි විකාශන නාලිකා ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතියට පොර බදන්නේ ඒ වෙනුවෙන් ඔවුන්ට එකතුකර ගත හැකි වෙළඳ ප්‍රචාරක ගාස්තු හා ප්‍රතිවිකාශන ආදායම වෙනුවෙනි. එය ක්‍රමයෙන් යූටියුබ් වෙතටද ගලා ඇත.   

maxresdefault

මේ IPL තරගාවලියේ එතෙක් ඉතිහාසයේ වැඩිම මුදලකට වෙන්දේසි වූ ක්‍රීඩකයා වූයේ දඟර පන්දු යවන්නකු වන ලාංකීය ක්‍රීඩක වනිදු හසරංග යැයිද සඳහනක් ඇත. පසුගිය අවුරුද්දේ බැංගලෝ රෝයල් චැලෙන්ජස් විසින් ඔහුව මිල කරනු ලැබූයේ ලාංකීය රුපියල් මිලියන 422.6 ටය. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් 26 කු ගිය වර IPL තරගාවලියේ ලොකු මුදල් වලට වෙන්දේසි විය. IPL තරගාවලිය පැවැත්වෙන අප්‍රේල් ආරම්භයේ සිට ජුනි ආරම්භය දක්වා කාලයේ “ශ්‍රී ලංකා ක්‍රිකට්” විසින් ලංකාවෙහි සීමිත ඕවර තරග සැළසුම් නොකරන බවටද ඉන්දීය ක්‍රිකට් පාලක සභාවට දන්වා ඇත. IPL තරගාවලිය සඳහා පිහිටුවා ඇති සංවිධානය සමග පසුගිය වසර 15 ක කාලයේ වෙනත් රටවල ක්‍රිකට් පාලක සභාද ක්‍රීඩකයින්ද සම්බන්ධීකරණය කෙරෙන නිල නොවන තැරැව්කරුවන් අනෙක් ලාභදායි ව්‍යාපාරවල මෙන්ම හැදී වැඩී ඇත. එංගලන්තයේ ඇස්කොට් අශ්ව රේස් වලට මෙන් ඔට්ටු ඇල්ලීමේ පොහොසත් අතුරු ක්‍රිඩාවක් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලි සඳහාද සංවිධානාත්මකව ක්‍රියාත්මක වන්නේය. 

ක්‍රිකට් තව දුරටත් විනෝදය සඳහා ජය පරාජය සතුටින් විඳ ගන්නා මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවේ. විනෝදය සඳහා ක්‍රිකට් නැරඹූ පැරණි පරම්පරාවද අද නැත. ක්‍රිකට් දැන් ඉදිකිරීමේ කර්මාන්තය වාගේම ඊට ආයෝජනය කරන, හවුල්වන ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රීඩකයින්ද ඇතුළත් පාර්ශව සඳහා ලාභදායි කර්මාන්තයකි. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ලාභ ලැබීමේ සදාචාර සම්පන්න හැදියාවක් නැත. දේශපාලනයද රාජ්‍ය නිලධරයද ජාවාරම්කාරයින් සමග හවුලේ ලාභ සොයන දූෂිත සමාජ ආර්ථික ක්‍රියාවලියක ක්‍රිකට් ක්‍රීඩාවද දැවැන්ත කර්මාන්තයකි. නාගරික මැදපංතිකයින්ට කළ හැක්කේ අනෙක් සියලු ක්ෂේත්‍ර සඳහා ඉදිරිපත් කරන දූෂණයෙන් තොර පාලක සභා ක්‍රිකට් සඳහාද ඉල්ලීම පමණි. 

ඒ වෙනුවෙන් ඇත්තේ පාලක ආකෘති දෙකකි. ඉන් එකක් පුද්ගල මුහුණු වෙනස් කරමින් අප පවත්වා ගන්නා අන්ත දූෂිත, අකාර්යක්ෂම පාලන ආකෘතිය වේ. අනෙක ඉන්දීය ක්‍රිකට් පාලක සභාවේ මෙන් අමිත් ෂා වැනි ප්‍රබල ඇමතිවරයෙකුගේ ආවරණය සහිත ජේ අමිත්භායි ෂා වැනි ව්‍යාපාරික පුත්‍රයකු ස්වාධීන ප්‍රතිරූපයක් ඉදිරිපත් කරමින් දූෂිත වූවත් ජනප්‍රිය, කාර්යක්ෂම ව්‍යාපෘති මගින් අධි ලාභ ලැබීමය. එවැන්නකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අත පොවන්නේ නැත. ඔවුන් අත පොවන්නේ අපගේ වැනි මහ පරිමාන දූෂණ දේශපාලනය සමග විවෘතව දෝරේ ගලන විටය. 

ඉන්දියාවට වැනි හැකියාවක් අපට නැත්තේ එවැනි ආයෝජන කළ හැකි යෝධ මාධ්‍ය ව්‍යාපාරයක් හා ආයෝජකයින් මෙහි නොමැති හෙයිනි. එනිසා අපට නැවත වරක් සිදුවන්නේ මැතිවරණයෙන් ආණ්ඩු මාරු කරන්නාක් මෙන් පුද්ගලයින් වෙනස් කෙරෙන සිල්ලර සංශෝධන කිහිපයක් සඳහා කෑ කෝ ගැසීමට පමණි. 

මගේ ශෝකය “ජැකා” නම් කලාකරුවාට පමණි - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 නොවැම්බර 11 වන දින




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්