ලංකා රාජ්‍යයේ කටයුතු සිදුවන අකාරය විවේචනාත්මක ව බලාසිටි විචාරකයෙකු වශයෙන්

අභයන්තර යුද්ධයේ අවාසනයෙන් පසු අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ නැතුව රට යමින් තිබුණ ගමන මට පෙනුනේ මහා විනාශයක් කරා යන ගමනක් ලෙසය. ඒ ගමන අවසන් වනු ඇත්තේ රටේ ක්‍රියාකාරිත්වය මුලුමනින් බිඳ වැටීමට හේතුවන ලෙස රට බංකොලොත් හා අරාජික තත්වයකට තල්ලු වීමෙන් බව මගේ මතය විය.

dfwer32

"ලංකාව ගලවා ගැනීම" යන මාතෘකාවෙන් පිටු 262 පොතක් 2011 වසරේදී මා ලියන ලද්දේ "රට අරාජකත්වයකට තල්ලු වෙමින් තිබීම" පිළිබඳ මාගේ එම තීසිසය පැහැදිලි කිරීම සඳහාය. ඉන්පසු 2013 දී "ජාතියේ ඛේදවාචකය" යන මාතෘකාවෙන් පිටු 107 ක පොතක් ලීවේද රටට සිදුවන්නට යන එම අනතුර ලංකාව කල්පනාකරන අකාරය හෙවත් ලංකාවේ චින්තනය ආශ්‍රයෙන් පැහැදිලි කිරීම සඳහාය. මෙම කෘතිය සුසිල් සිරිවර්ධන හදුන්වා තිබෙනුයේ ලංකාවේ දේශපාලන චින්තනය ගැන ලියවී තිබෙන විශිෂ්ට කෘතියක් ලෙසය. ඉන් තවත් වසර 07 කට පසුව එනම් 2020 දී පොතක් ලෙස පළ කළ මගේ තෝරාගත් ලිපි එකතුවකට මා යොදා ගනු ලැබූ මාතෘකාව වුයේ "ලංකාවේ කුණුවීම" යන්නයි. එහි පළමු ලිපිය වෙන්කර තිබුණේ රට අරාජකත්වය කරා යන ගමන විග්‍රහ කෙරෙන අරාජිකත්වට යන ගමන" යන හිසින් ලියන ලද ලිපියකටය. ඊට ඇතුළත් අනෙකුත් සියලු ලිපි සමස්ත රාජ්‍ය හා එහි ආයතන ක්‍රමයේ ඇතිවී තිබුණ ගරාහැලීම විග්‍රහ කෙරෙන ලිපි විය.

 

ලංකාව බිහිසුනු අගාධයකට ඇද වැටුනේ ඒ බව කලතියා කිසිදු දැකීමකින් තොරවය. සමහර විචාරකයින් කියන්නේ මේ ඇදවැටීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැරදි කළමණාකරන ප්‍රතිපත්ති නිසා සිදුවූ දෙයක් මිස නොවැලැක්විය හැකි සංසිද්දියක් නොවන බවය. තවත් සමහර විචාරකයින් කියන්නේ යහපාලන කාලයේ අනුගමනය කල වැරදි ප්‍රතිපත්ති ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කිරීමට හේතුවූ බවය. ගෙවුම් ශේෂ විෂයෙහි රට අර්බුදයකට යමින් තිබෙන සමහර ලක්ෂණ 2000 වසරෙන් පසුවත් පෙන්නුම් කරමින් තිබුණි.

ආර්ථිකය විවෘත කිරීමෙන් මද කලකට පසුව 2000 වසර දක්වා කිසියම් දීර්ඝ කාලයක් ලංකාවේ අපනයන ඉපයීම් ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස සියයට 30 ක් හෝ ඊටත් වැඩි මට්ටමක තිබණි. වසර 2000 න් පසු එම පංගුව පහළ යමින් 2018 වන විට එය සීයට 13.4 දක්වා පහත වැටී තිබුනි. 1977-2000 දක්වා වන අවුරුදු 23 තුළ සියයට 10.7 ක් පමණවූ සාමාන්‍ය වාර්ෂික අපනයන වර්ධනය 2000-2018 දක්වා වන අවුරුදු 18 තුළ සීයට 5.6 මට්ටමකට පහත වැටී තිබුණි. මගේ මතය නිදහසේ සිටම ලංකාව වැඩි අවධානයක් යොමු කර තිබෙනුයේ අනාගත යහපතට හේතුවන දේවලට වඩා කෙටිකාලින වශයෙන් ජන්ද දායකයින් සතුටු කිරීමට හේතුවන දේවලටය. 1971 තරුණ කැරැල්ලෙන් පසු ලංකාවේ සේවානියුක්ති ඉඩ ප්‍රස්ථා ගැන සොයා බලා වාර්තා කිරීම සදහා ලංකා ආණ්ඩුවේ ඉල්ලීමක් අනුව අන්තර් ජාතික කම්කරු සංවිධානය (ILO), මහාචාර්ය ඩඩ්ලි සියර්ස්ගේ ප්‍රාධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවීය. ඔවුන් ගේ අධ්‍යන වාර්ථාව 1971 අගෝස්තුවලදී ලංකා ආණ්ඩුව වෙත බාර දෙන ලදී. එය ලංකාව ගැන ලියවුන හොඳ වාර්ථාවක් ලෙස සැලකිය හැකිය.

zfsdwer

එහි 42 වන ජේදයේ මෙසේ සදහන්වේ."ලංකාව තමන්ගේ හැකියාවේ ප්‍රමාණයට වඩා ඉහලින් ජීවත් වී තිබෙන රටකි." 60 වන ජේදයේ මෙසේ සඳහන් වේ . "1970 මැද භාගය වන විට සේරුවක් නොමිළයෙත් අනිත් සේරුව අඩු මිළකටත් සලාක සහල් දීමේ වියදම, රුපියල් කෝටි 60 ක් විය. මේ මුදල සෑම මට්ටමකම අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනලද මුදල් ප්‍රමාණයට වඩා වැඩි විය ."

 

නිදහසේ සිටම රටට යහපත් ආර්ථික ඉදිරි දර්ශනයක් තිබුණේ නැත. නිදහසත් සමග ජාතිය ගොඩනගා ගැනීමට හා රාජ්‍යය නිදහසේ වුවමනාවන්ට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කර ගැනීමක් සිදු නොවීය. ඒ නිසා රාජ්‍යයේ ප්‍රශ්න තිබුණා සේම සමාජ ක්‍රමයේද ප්‍රශ්න තිබුණි. වර්ගය, කුලය හා ආගම මුල්කරගත් භේද වර්ධනය වී පසුව ඒවා මහා පරිමානයෙන් ලේ වැගිරීම්ද මනුෂ්‍ය ඝාතන ඇති කිරීමටද හේතු විය. එම බිහිසුණු සමාජ වටා පිටාව සමාජ ක්‍රමය කැබලි කොට බෙලහීන කළේය. ආර්ථික ක්‍රමයේ හා දේශපාලන ක්‍රමයේ පැවති දූෂණය හා අකාර්‍යක්ෂමතව වැනි ලක්ෂන විශාල ලෙස වර්ධන වී රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය බෙලහීන කොට ජරාජීර්න වීමේ ක්‍රියාදාමද වර්ධනය කොට ලංකාව මහා අගාධයක් කරා තල්ලු වී යමින් තිබෙන රටක් බවට පත් කිරීමට හේතුවී තිබුණි. ගෝඨාභය ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ඇතිවූ කෝවිඩ් වසංගතය හා එම ආණ්ඩුව අනුගමනය කල නොමනා ප්‍රතිපත්ති ලංකාව අගාධය කරා යන එම ගමන වේගවත් කොට රට අගාධයට ඇද වැටීම ඉක්මන් කළේය.

මා ජනාධිපතිවරණයේදී ගෝථාභය රාජපක්ෂට එරෙහිව පෙනී සිටි පුද්ගලයෙකු මිස ඔහුට පක්ෂව පෙනී සිටි පුද්ගලයෙකු නොවෙමි. එහෙත් රට බංකොලොත් තත්වයට පත්වූ අවස්ථාවේදීද මගේ පරණ විවේචනයන් නොසලා රටේ ඇතිවූ බිඳ වැටීම කල් තියා දකිනලද පුද්ගලයෙකු වශයෙන් රට ඇද වැටී තිබුන එම අවාසනාවන්ත තත්වයෙන් රට ගොඩගැනීම සදහා හා තිබුණ දූෂ්ඨ හා යල් පැනගිය ක්‍රමයේ යහපත් ගැඹුරු වෙනසක් සඳහා යොදා ගතහැකි මාගේ යෝජනා ඇතුලත් ප්‍රතිසංස්කරන වැඩ සටහනක් මම ඔහු වෙත ඉදිරිපත් කලෙමි. ඊට එම ජනාධිපති වරයාගෙන් ලැබුණ ප්‍රතිචාරය ඉතා යහපත් විය .ජනාදිපතිවරයා රනිල් වික්‍රමසිහ අගමැති ධූරයට පත් කිරීමෙන් පසු මා ගේ ප්‍රතිසංස්කරණ යෝජනා ගැන අගමැතිටද කියා තිබෙන අතර අගමැති ඒ ගැන මා සමග සාකච්චා කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත් වීමෙන් පසුද එම වැඩ සටහන ගැන මා සමග සාකච්චා කරන ලද අතර සියලු දේසපාලන පක්ෂ සම්බන්ධ කර ගනිමින් එම ක්‍රියාත්මක කිරීමට තමන් එකඟ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනට ඇතුලත්ව තිබූ පළමු කොන්දේසිය මෙසේය.

sferwer

"1(1) වැඩ සටහන ආරම්භයේම ගැඹුරු ප්‍රතිසන්ස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කිරීමට ඇති අවංක සූදානම සංකේතාත්මකව පළකරන මාර්ගයක් වශයෙන් ජනාධිපතිවරයා තමන් නීතියට ඉහලින් සිටින තත්වය අහෝසිකිරීමට හේතුවන හා ජනාධිපති නීතියට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් බල රහිත කිරීමට අධිකරණයට බලය ලබා දෙන ව්‍යවස්ථා සංසෝධනයකින් වැඩ සටහන ආරම්භකළ යුතුය. ඒ සමඟ අත්අඩංගුවේ සිටින හෝ රඳවා තබාගෙන සිටින සියලු දේශපාලන සිරකරුවන්ද, අධිකරණ අපාහාස නීතිය යටතේ සිරගත කර සිටින රංජන් රාමනායකටද නිදහස ලබා දිය යුතුය."

 

එම ප්‍රතිසංස්කරණ වැඩ සටහන සකස් කර තිබුනේ ඊට එකසත් ජාතින්ගේ සංවිදානයද නිරීක්ෂක තත්වයකින් සම්බන්ධ කරගන්නා ආකාරයටය. එසේම එම වැඩ සටහන සකස් කර තිබුණේ වැඩ සටහන අතරතුර මැතිවරණද පැවැත්විය හැකි අකාරයටය. ආණ්ඩු වෙනසක් ඇතිවුවද ඊලඟට පත්වන ආණ්ඩුවද එම වැඩ සටහනේ ඉතිරි කොටස අඛන්ඩව ඉදිරියට ගෙනයාමට ව්‍යවස්ථාපිත බැඳීමක් ඇති කෙරෙන ආකරයටය. ප්‍රතිසංස්කරණ වැඩ සටහන අවසන් කිරීමට නියමිතව තිබුණේ මහජනයාද ක්‍රියාකාරි ලෙස සම්බන්ධ කරගන්නා විවස්තා සම්පාදන වැඩ සටහනකිනි.

ක්‍රමයේ ගැබුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට ජනාධිපතිවරයා ඇත්ත උනන්දුවක් දක්වන බව පෙනුනු විට මා ඒ ගැන තෝරගත් වෙනත් පිරිසක් සමගද සාකච්චා කොට එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනට විරුද්ධ පක්ෂ කැමති කරවා ගැනීම සදහා එම පක්ෂ සමග සාකච්චා කරන තැනකට යොමු වුනෙමු. අපි සියලුම දේශපාලන පක්ෂ නොවේ නම් බොහෝ පක්ෂ සමග ඒ ගැන කතා කළෙමු. එම වැඩ සටහන සදහා යන සියලු වියදම් දරන ලද්දේ අපේ කණ්ඩායමේ අය විසිනි. කිසිම වියදමක් ආණ්ඩුවෙන් හෝ ජානාධිපතිවරයා ගෙන් ලබා ගත්තේ නැත.

xfgfdg

අපගේ එම සාකච්චාවලට බෝහෝ පක්ෂ සැලකිවයුතු කාලයක්ද ලබා දුන්නේය. එම ප්‍රතිසංස්කරණ යෝජනාවලට ඔවුන් ගේද කැමැත්ත්ක් මිස විරෝධයක්ද නොතිබුණි.එහෙත් සජබෙ හෝ ජවිපෙ තමන් ගේ ආණ්ඩුවක් යටතේ මිස වෙනත් අකාරයකට එවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක වනවා දකින්නට කැමති නැති බවද පෙනෙන්නට තිබුණි. රටක ප්‍රතිසංස්කරණවලට යාමට සියලු පක්ෂ වලට බලකරන අවකාශයක් පහල වනුයේ ඉතාමත් කලාතුරකිනි.

 

ඇතිව තිබුන විපත සැපතක් බවට හරවා ගැනීමට හැකි වන ලෙස සිදුවී තිබුන සියලු බරපතල වැරදි නිවරදි කරගැනීමට එය අවස්තාවක් කරගැනීමේ හැකියාව තිබුණද ලංකාව ඒ සඳහා ලැබී තිබුණ එම ඓතිහාසික අවකාශයෙන් නිසි ලෙස ප්‍රයෝජනය ගැනීමට අසමත් විය.

 

ඉදිරි ජනාධිපතිවරණයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ කරයිද නැද්ද යන්න මම නොදනිමි. තරඟ කළ හොත් ඔහුට ලැබෙන ප්‍රතිඵලය ගැනද මම නොදනිමි. ඔහු බලයට පත්වූයේ ඔහු ගේ පක්ෂයට ඔහු හැර පාර්ලිමේන්තුවේ කිසිදු නියෝජනයක් නොතිබූ අවස්ථාවකදීය. ගෙවුම් ශේෂ අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීම පාර්ලිමේන්තුව ඔහු වෙත පවරාදෙන ලද ප්‍රධාන වගකීම වී යැයි කිව හැකිය. ඔහු එම තනතුරට පත්වන අවස්ථාව වන විට රට තිබුනේ ගිනිගෙන දැවෙන හා බිහිසුනු අරාජකත්වයකට තල්ලු වී යන තත්වයකය. මහජනයා සිටියේ ඔවුන්ගේ ජීවන මාර්ග කඩා බිඳ වැටී කෝපයෙන් ක්‍රියා කරන තත්වයකය. ඒ සියල්ලටම අතිරේක වශයෙන් ජනාධිපති ගෝඨාභය එලවා ගත් ආකාරයටම රනිල් ද තනතුරෙන් පලවා හැර එම තනතුර අල්ලා ගැනීම සදහා ප්‍රති පක්ෂ තරඟකාරි ලෙස සිය ආධාර කරුවන් වීදි බස්සවා පවාත්වාගෙන ගිය ව්‍යාපාරක්ද තිබුණි. ඒ සියල්ල පාලනය කරන අතර ඉතා කෙටි කාලයකින් රට මත පැටවී තිබුණ බංකොලොත් හංවඩුව ගලවා නැවත ලෝකය සමග ගනු දෙනු කල හැකි තැනකට ලංකාව ගැනීම සැලකිය හැක්කේ රාජ්‍ය නායකයෙකු විසින් කරනලද ඉතා දුෂ්කර,සංකීර්ණ හා දැවැන්ත කාරියක් ලෙසිනි.

 

බංකොලොත් තත්වයට පත්වූ රටක් එවැනි තත්වයකට ගැනීම රට බංකොලොත් තත්වයට පත්වන්නට පෙර පැවති තත්වයකට ගැනීමක් ලෙස සැලකිය නොහැකිවුවද එය අර්බුදය ජයගැනීම සදහා යන ගමනේ වැදගත් සංධිස්ථානයකට පැමිණීමක් ලෙස සැලකිය හැකිය. එම අතර මැදි ඉලක්කය වෙත මාස 16 ක් තරම් කෙටි කාලයක් තුළ ලඟාවීමට හැකිවීම විශ්ම ජනක බවද කිවයුතුය. ඒ සියලු දේ දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවයකින් කරන්නට හැකිවී නම් වැරදි අවම කරගන්නට හැකිවන්නට ඉඩ තිබුණා සේම එසේ වී නම් ආර්ථික මූල්‍ය ප්‍රතිසංස්කරණවලට අතිරේඛ වශයෙන් සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණවලටද යොමු වීමට පුලුවන්කම ලැබීම තුළ ලංකාවේ තත්වය මීටත් වඩා බොහෝ ශක්තිමත් වන්නට ඉඩ තිබුණි.

fgdfgre

ජනාධිපති වරයා ඉතා දුෂ්කර හා සංකීරණ වැඩ සටහනක් කර ගසාගෙන මෙවැනි දුරක් පැමිණියේ සමාන අදහස් දරණ තමන්ගේ ලොකු දේශපාලන කණ්ඩායමක් නැතිව වෙනස් අදහස් දරණ අනුන්ගේ දේශපාලන කණ්ඩායමක් සමගය. එවැනි සංකීර්ණ තත්වයක් තුළ සිදුවන දේවල් තුළ පරස්පර විරෝධි හා අවලස්සන දේවල්ද තිබිය හැකිය. එහිදී වඩා වැදගත් කොට සැලකිය යුත්තේ රටට හා ජනතාවට ලැබී තිබෙන ප්‍රතිඵලවල හොඳ නරක මිස නොවැදගත් අන් දේවල පරස්පර හෝ අවලස්සන පෙනුම නොවේ. මගේ මතය වන්නේ ජනාධිපරයා කෙටි කාලයක් තුළ දක්ෂ ලෙස කරවටක් ගිලී තිබූ රට එම තත්වයෙන් ගොඩ ඒමට පුලුවන් වැදගත් අතර මැදි තැනකට ගෙන ඒමට සමත් වී තිබෙන බවය.

 

එහිදී දෘෂ්ටිමය අර්ථයනේ ජනාධිපතිගේ ලිබරල් වාදි ප්‍රතිසංස්කරණ වැඩ සටහනට ආධාර කල යුතුව තිබුණ විරුද්ද පක්ෂයේ ලිබරල් අදහස් දරන මන්ත්‍රී වරුන් ජනාධිපති ගේ එම වැඩ සටහනට බාධා කරන විට ලිබරල් විරෝධි ආකල්ප වලින් යුතු පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් රනිල් ගේ එම වැඩසටහනට ආධාර කිරීම මගින් එම වැඩ සටහනට ඵලදායක ලෙස දායක වී තිබෙන බවද කිවයුතුය.

අවසාන විග්‍රහයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන සාක්ෂරතාව උසස් තත්වයක නොපවත්නා රටේ දේශපාලන පක්ෂවලට හා සමාජයට විසඳා ගැනීම පහසු නැති උභතෝකෝටික ප්‍රශ්නයක් ඉතිරි කර තිබෙන බවද කිව යුතුය. එනම් ඔබට මෙම බිහිසුණු අර්බුදයේ ඉතිරි අධියරය ජයගැනීමට අවශ්‍ය නම් මා විසින් ආරම්භකොට ක්‍රියාවට නඟන ලද වැඩ සටහන ඒ අකාරයෙන්ම හෝ ඊටත් වඩා හොඳින් ඉදිරියට ගෙන යන්න සූදානම් පාලකයෙකු සහිත පාලනාධිකාරියක් පත් කරගන්න. එසේ නොවී දෙවැනි වරටත් රට බංකොලොත් තත්වයකට ඇද වැටුන හොත් රට එම තත්වයෙන් නැවත ගොඩ ගැනීම ඉතා දුෂකර වේවී කියන අභියෝගයයි.

ගැලවීම වෙනුවට විනාශය තෝරා ගැනීම! - (වික්ටර් අයිවන්)(වික්ටර් අයිවන්)
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්