මීට අවුරුදු නවයකට පමණ පෙර මා රාවයට ලියූ ලිපියක තේමාව වුයේ "කුරුලු හදවත සහ සමකාලීන ඉතිහාසය කලාවට නැගීම ගැන සිතිවිලි

කිහිපයක්" යන්න ය. 

එහි දී මා සාකච්චා කළේ ලියනගේ අමරකීර්ති හා රාජිත දිසානායක ගේ පිළිවෙලින්, ප්‍රබන්ධ හා නාට්‍ය නිර්මාණ ගැන ය. මා විශේෂයෙන් අවධානය යොමු කළේ සාහිත්‍ය සම්මාන කිහිපයකින් ම පිදුම් ලද අමරකීර්තිගේ කුරුළු හදවත නව කතාව ගැන ය. 

la ga

මා එහි සඳහන් කළේ, එක් පසෙකින් ගුණදාස අමරසේකර තම නව කතා සමකාලීන දේශපාලනය අළලා ඒ වටා ඇති සැබෑ චරිත තම ප්‍රබන්ධයේ චරිත කරමින් එක්තරා වාර්තා කිරීමක් හා ලේඛනගත කරණ අතර තම මතවාදී ම ය පදනම මත එම චරිතවලට වීර හෝ ද්‍රෝහීභාවයක් ආරෝපණය කරන ලෙස ම තවත් පසෙකින් අමරකීර්ති ද අමරසේකරගේ මතවාදී ම ය ස්කීමයෙන් බැහැර පදනමක සිට එම කාර්ය ම වෙනත් ආකාරයකට කරන බවකි.  සමකාලීනත්වයේ දේශපාලන මානයට වැඩි බරක් දෙනු ලැබීම මේ නිර්මාණයන්හී දක්නට ලැබෙන අතර, බොහෝ විට පාඨකයා හෝ ප්‍රේක්ෂකයා ව නිර්මාණකරු යොමු කරන්නේ "මේ අහවලා ද" යන අනුමාන ක්‍රීඩාව කිරීමට ය. යට කී ධාරා දෙකෙන් ම පසු ගිය වසර දහය වැනි කාලය තුල ප්‍රතිචක්‍රීයකරණය කෙරුණේ එක ම වට්ටෝරුවකට සමකාලීනත්වය අළලා ලියැවුණු ප්‍රබන්ධ ය. පසුගිය වසර තුන හතර කාලය තුල මේ තත්ත්වය උත්සන්න වූ අතර, එම නිර්මාණ අතිශයින් "කලින් කීමට හැකි"  හෙවත් ප්‍රෙඩික්ටබල් තත්ත්වයකට හා එක්තරා පිළුණු ස්වභාවයකට පල්ලම් බැස ඇති බව පෙනෙයි.

20141014 11180415555
සමකාලීනත්වය ම ස්පර්ශ කරන -- මින් මා අදහස් කරන්නේ මේ මොහොත හෝ මාස කිහිපය ගැන නොව නොව දශක දෙක තුනක පරාසයක් ගැන ය -- තවත් නිර්මාණ රැල්ලක් අර්ධ ප්‍රබන්ධ හා / හෝ අර්ධ ස්වයං චරිතාපාදන ලෙස මතුවුණු හැටි මතක ය. නවක නිර්මාණ වුව ද නදීකා බණ්ඩාරගේ දියෝනිස් දෙවොල පාමුල (2014, සංහිඳ ප්‍රකාශන) අනෝමා ජනාදරීගේ පුනරුක්ති මගේ කතාව (2011, කර්තෘ ප්‍රකාශනයකි) සාහිත්‍ය සමාජයේ යම් කතා බහක් ජනනය කළ බව ද මතක ය. 


Unknownකාන්තාවක සමාජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට හා සුරාකෑමට හසුවන අයුරු විචිත්‍ර හා විස්තරාත්මක ලෙස මේ කෘති දෙකෙන් ම කෙරිණ. සාහිත්‍ය ම ය ආටෝප සායමෙන් රහිත ව 'අමු' ලෙස මේ කෘති දෙක ම කාන්තා අත්දැකීම් ඉදිරිපත් කළ නිසා යම් ආන්දෝලනයක් ද විවේචනයක් ද මේ කෘති වෙත එල්ල විණි. 

Screenshot 2023 12 03 at 09.49.12

අන්තර්ගතයෙන් වෙනස් වුව ද අර්ධ ප්‍රබන්ධ / අර්ධ ස්වයං චරිතාපාදන රටාවෙන් ආ තවත් අවධානයට පාත්‍ර වූ කෘතියක වුයේ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා (සංහිඳ ප්‍රකාශන, 2014). සන්නස්ගලගේ කෘතිය වඩා බර වූයේ ස්වයං චරිතාපාදානයක් ලෙස වූවත් එහි කේන්ද්‍රීය චරිතය වුයේ ඔහුගේ මව ය.  

3 auth

මේ කෘති තුනේ ම කාලික වපසරිය වන්නේ දශක තුනක පමණ දිවෙන සමකාලීනත්වයත් ය. ඒ තුල දිවෙන ප්‍රධාන පොදු හුයක වන්නේ ආන්තිකත්වය ය. නදීකා බණ්ඩාර හා අනෝමා ජනාදරී ආන්තිකත්වයට ස්ත්‍රී-පුරුෂ සමජභාවී හෙවත් ජෙන්ඩර් අවධාරණයක් දෙන අතර සන්නස්ගල ආර්ථික හා දරිද්‍රතා අවධාරණයක් දෙනු ලබයි. එහෙත් අඩු වැඩි වශයෙන් මේ කෘති තුන ම එක්තරා ආකාරයක වින්දිත හෙවත් වික්ටිම් පටලයකින් වැසී තිබේ. ඍජුව නොකියැවුණත්, අනේ මහතුනේ මට වුණු වියෝයාකාරයේ ස්වරයක් වරින් වර මතු වීම දැක ගත හැකි වුන ද කාන්තාවන් දෙදෙනාගේ ආඛ්‍යානයේ අසාධාරණයට එරෙහි ව දැඩි සටනක් දියත් කරන බව ද කිව යුතු ය. යම් අතවරයක් සුරාකෑමක් වූ පමණින් පරාජය භාරගෙන කඳුළු සැළීමක් කිසිදු ලෙසක නොවේ.

සමකාලීනත්වය වට්ටෝරු ක්‍රමයට ප්‍රතිචක්‍රණය කරමින් ආන්තිකත්වය හා එමගින් ගොඩනැගෙන වින්දිතභාවය ඕනෑවට වඩා උරච්චි කෙරෙන  නීරස හෝ පිළුණු ප්‍රබන්ධවලින් බැහැර වන පාඨකයාට නැවුම් කෘතියක් ලෙස මෑතක කෘතියක එලිදැක්විණ. ඒ කුමුදු කුමාරසිංහගේ 'කොළඹ මතක' (විදර්ශන ප්‍රකාශකයෝ, 2023) ය. 

කුමුදු මතක කොළඹ'- (මංජුල වෙඩිවර්ධන)

 

ලාංකීය මෑත ඉතිහාසයේ දශක තුන හතරක් හරහා දිවෙන, කොළඹ නාගරීක ජනාකීර්ණ ප්‍රදේශයක ජීවත් වූ කතුවරියගේ ම අත්දැකීම් ස්මරණය කරමින් ලියන ලද කෘතියකි කොළඹ මතක. තම ජීවන අත්දැකීම (lived experience) අළලා ලියැවෙන නිසාත් පොත ලියැවෙන්නේ පළමු පුද්ගල ආරෙන් වූවත්, එය  ස්වයං චරිතාපාදානයක් ලෙස නොලියන්නට කතුවරිය කුමන හෝ හේතුවකට වග බලාගෙන ඇති බව පෙණේ.  එසේ නොවූවා නම් මේ කෘතිය ද යට කී අනේ මහතුනේ මට වුණු වියෝයා හෝ මා පින් කර නැත මහතුනි ඔහෙල තරම් තාලයට ලියැ වී කතුවරියට ආත්මානුකම්පාවේ (self-pitying) කිමිදෙමින් පාඨකයාගේ අනුකම්පාව ද නොඅඩුව ලබා ගත හැකි ව තිබිණ. 

උදාහරනයක ලෙස, කතුවරියගේ නැගෙණියක් තම ඔසප් සමයේ සැමියා අතින් දුෂණය වීම හා පස්සට පිහියෙන් ඇනීමේ සිද්දිය ඉදිරිපත් කරන්නේ හොටු පෙරා ගනිමින් හෝ හූල්ලමින් හෝ පපුවට තඩි බා ගමිනින් හෝ නොවේ. ආන්තිකත්වයේ විවිධ පැතිකඩ නියෝජනය වන කොළඹ පරිවාරීය සාපේක්ෂ ව අඩු ආදායම්ලාභී ජනාවාසයක් කතුවරියගේ මතක හෙවත් මෙමුවා (memoirs) ස්ථාන ගත වන සංදර්භය වේ. එහෙත් මේ ආන්තිකත්වය කළු-සුදු ආකාරයෙන් චිත්‍රණය නොවේ. කෘතිය අපට බොහෝ අළු ප්‍රදේශ කරා රැගෙන ගොස් අපගේ මනසේ ඇති ආන්තිකත්ව අර්චනකාරී අපේක්ෂා බිඳ දමයි (එහෙත් කෘතියට පෙරවදනක් ලියන අයෙකුගේ ඇස, කානුවකට පාත් වී මළපහ කරන කුඩා දැරිවියන්ගේ අත ඇති ජංගියට යොමුවන්නේ මේ නොතිත් ආන්තිකත්ව අර්චනය නිසා විය හැක). 

නිර්ප්‍රභූ විය සිදුරෙන් පමණක් සමාජය දකින ශාස්ත්‍රඥයින්ට හා දේශපාලන විචාරකයින්ට  බැලු බැල්මට මෙවැනි අවකාශයක් තම ශාස්ත්‍රීය හා දේශපාලන විග්‍රහ සනාථ කරනට හැකි පාරාදීසයකි; නැතහොත් රන් ආකාරයකි. එහෙත් කෘතිය ආවරණය කරන පුළුල් අත්දැකීම් හා චරිත සමුදාය නිර්ප්‍රභූ සිහින ද බිඳ දමයි.  

කුමුදු මතක කොළඹ'- (මංජුල වෙඩිවර්ධන)කොළඹ මතක කෘතිය දේශපාලනය හා දේශපාලන ක්‍රියාධරයන්  හසු කරගන්නා හා ඉදිරිපත් කරනාකාර ය නැවුම් ය. දේශපාලනය කරඬුවක ලෙස මුඳුනක තබන සාමාන්‍ය පිළිවෙත (ඔර්තෝඩොක්සිය) කොළඹ මතක කෘතිය පැත්තක තබා ක්ෂුද්‍ර හා සාර්ව මට්ටමේ දේශපාලනයත් ඒවා කරන කියන ඇත්තනුත් ඇති සැටියෙන් දකින්නේ කරඬු හා පාවඩ ඉවත් කර ය. අදාළ ජනාවාසයේ සිටින කරන සෑම පාටක ම නියෝජනය දේශපාලන චරිත ඉදිරිපත් කරන්නේ මැතිතුමා හෝ සහෝදරයා වැනි අප ම තනා ගත් රාමු හරහා නොව සාමන්‍ය ඇන්ටි - අංකල් වශයෙනි. 

කොළඹ නිරුවත් කරන 'කොළඹ මතක'- (ජයසිරි අලවත්ත)

කතුවරිය කුඩා කල මොවුන් හඳුනාගත්තේ මේ අකාරයෙන් විය හැකි අතර, පසු කලෙක දේශපාලන පන්නරයක් ලද ඔවුනට අතීතයට බලපාන පරිදි සහෝදරයා හෝ සහෝදරිය ලෙස නාමකරණයක් කෘතියේ කෙරී නැත. මේ චරිත අතර 'අර පටි බොඩියක් හැඳ වත්තේ කඩිසර ව හැම තැන ම දුවන, සිරි ලංකා ඇන්ටි' මට කෘතිය විසින් හඳුන්වා දෙන ලද විචිත්‍ර ම දේශපාලන චරිතය යි. යම් හෙයකින් කතුවරියට කිතලන්ගමුවේ මර්තෙලිස් (නිර්මාල් රංජිත් දේවසිරිගේ එම නමින් ම කෙරුණු කෘතියේ ප්‍රධාන දේශපාලන චරිතය) හමු වුවා නම් අපට ඒ කතාව අසා ගැනුමට ලැබෙන්නේ වෙනස් ම ආකාරයකට විය හැකි ය. මර්තෙලිස් සහෝදරයා සමහර විට මර්තෙලිස් අංකල් ලෙස කුමුදු හරහා අපට හමුවිය  හැක. එය හුදු ආමන්ත්‍රණයකින් ඔබ්බට ගොස් මර්තේලිස් චරිතය වෙනස් ම ආකාරයකට අභිමුඛ වීමට ද ඉඩ තිබිණ.

සංවර්ධන සංදර්ශන - උදන් ප්‍රනාන්දු(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්