ශ්‍රී ලංකාව රටවල් ගණනාවක්  සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීමට යන බව මෑතකදී වාර්තා වුණා.

 

වෙනත් රටවල් සමඟ එසේ වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද?

ශ්‍රී ලංකාව විවිධ රටවල් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම සම්බන්ධයෙන් කතිකාවක් යලිත් මතුව තිබේ. 2024 පෙබරවාරි මස මුල් සතියේ ශ්‍රී ලංකාව තායිලන්තය සමඟ එවැනි වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන ලද අතර මෙම වසර අවසානය වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර ඇති බව  ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා මෑතකදී ප්‍රකාශ කරන ලදී.

 



රටක්  ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වෙළෙඳාමට අවතීර්ණ වීම මගින්  ආර්ථිකයන්හි නිෂ්පාදනය උපරිම කරගත හැකි බවත් ඒ තුලින් වෙළඳාමට සම්බන්ධවන සෑම රටකම ජනතාවගේ සුභසාධනය වැඩි කරගත හැකි බවත් විවිධ ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.  

කෙසේ වෙතත් ලෝකයේ සෑම රටක්ම පාහේ නිදහස් වෙළෙඳාමට විවිධාකාර වූ බාධාවන් පමුණුවන බව ප්‍රායෝගිකව දැකිය හැකි අතර ඒවා තීරු බදු සහ තීරු බදු නොවන බාධා වශයෙන් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම විදේශීය භාණ්ඩයන් හමුවේ තරඟ කිරීමට අපහසු දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම උදෙසාත්, ඉදිරි විභවතා පවත්නා නැගීඑන හෙවත් ලදරු කර්මාන්ත ආරක්ෂණය සඳහාත්, දේශීය සේවා නියුක්තිය ආරක්ෂා කර ගැනීම සඳහාත්, ආනයන වියදම අඩුකර ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම උදෙසාත්, සහ තීරු බදු වශයෙන් රජයේ ආදායම් වැඩි කරගැනීම සඳහාත් මෙවැනි බාධා පනවනු දක්නට ලැබේ.

වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම මගින් සාමාන්‍යයෙන් රටවල් අතර නිදහස් වෙළඳාමට පවතින බාධා සම්පූර්ණයෙන්ම හෝ කොටසක් වශයෙන් හෝ අඩු  කර සාමාජික රටවල් අතර නිදහස් වෙළෙඳාම පුලුල් කිරීමක් අපේක්ෂා කරයි. මේවා ආර්ථික සංකලන (economic integration) ලෙස හැඳින්වෙන අතර ඇතැම් සංකලනයන් හරහා සාමාජික රටවල් අතර ශ්‍රමය සහ ප්‍රාග්ධනය නිදහසේ සංචලනය වීමට ඉඩ සලසන අතර (උදා; European Union) මූල්‍ය සහ පිස්කල් ප්‍රතිපත්ති  පවා ඒකාග්‍රව පවත්නා ගෙන යයි (උදා: Benelux Union).

uj

 

ලංකාව සහ ඉන්දියාව අතර  මීට පෙරත් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා නේද?

fta 21ලංකාව ඉන්දියාව සමග ද්විපාර්ශ්වික මෙන්ම ඉන්දියාවද ඇතුලත්ව වෙනත් රටවල් කීපයක් සමඟ බහුපාර්ශ්වික වශයෙන්ද වෙළෙඳ ගිවිසුමි ඇති කරගෙන තිබෙනවා. එසේ ඇති කරගත් පලමු බහුපාර්ශ්වික ගිවිසුම වනුයේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (SAARC) සාමාජික රටවල් සමඟ1995 දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක වූ දකුණු ආසියා වරණීය වෙළෙඳ ගිවිසුමයි (South Asian Preferential Trade Arrangement -SAPTA).  

ඉන් අනතුරුව  2000 මාර්තු මස සිට ක්‍රියාත්මක වූ ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමත් (The Indo - Sri Lanka Free Trade Agreement -ISFTA),  නැවත සාර්ක් රටවල් සමඟ 2006 ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන ලද දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුමත් (South Asian Free Trade Area-SAFTA) ඇති කර ගන්නා ලදී.

මීට අමතරව කලින් බැංකොක් ගිවිසුම ලෙස හඳුන්වන ලද ආසියානු පැසිෆික් වෙළෙඳ ගිවිසුම (Asia - Pacific Trade Agreement - APTA), 2006 සැප්තැම්බර් මස සිට බලාත්මක කොට ක්‍රියාත්මක වන ලෙස ගිවිසුම් ගත වන ලදී. වසර 2000 සිට ක්‍රියාත්මක වන ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) එකම ද්විපාර්ශ්වික ගිවිසුම වන අතර අනෙක් ඒවා බහු පාර්ශ්වීය ගිවිසුම්ය. මේ අනුව පෙනෙන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ මේ දක්වා වසර 27 ක්  වෙළෙඳ ගිවිසුමි යටතේ භාණ්ඩ ආනයන සහ අපනයන කටයුතු සිදු කොට ඇති බවයි.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා වෙළෙඳාමේ මෑත කාලීන ප්‍රවණතාවන් කවරේද?

පසුගිය දශක දෙකක කාලය තුල ලංකාව සහ ඉන්දියාව අතර සිදු වූ වෙළෙඳ කටයුතු පරීක්ෂා කර බැලුවහොත්, 2001 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවූ මුලු වෙළෙඳාම (ආනයන සහ අපනයන වල එකතුව) ඇමරිකානු ඩොලර් මිලියන 670.12 ක් වූ අතර 2022 දී එය ඩොලර් මිලියන 5435.43 ක් දක්වා 7 ගුණයකින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාවට කළ අපනයන සලකා බැලුවහොත් 2001 වසරේදී අපනයනය කළ භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 70.18 ක් වූ අතර එය 2011 වසරේ ඩොලර් මිලියන 521.59 ක් දක්වාත් 2022 වසරේ ඩොලර් මිලියන 854.88 ක්  දක්වාත් වැඩි වී ඇත. 

මුල් දශකයේදී අපනයන වටිනාකම 6.4 ගුණයකින් වැඩි වී ඇති අතර දෙවන දශකයේදී එය වැඩි වී ඇත්තේ 0.6 ගුණයකිනි. 

 

20 6
තවද 2001 වසරේ ලංකාව ඉන්දියාවෙන් ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 601 ක් වූ අතර 2011 දී එය ඩොලර් මිලියන 4349.43 දක්වාත්, 2022 දී ඩොලර් මිලියන 4580.55 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

පලමු දශකයේදී ආනයන වටිනාකම 6.2 ගුණයකින් වැඩි වූ අතර දෙවන දශකයේ දී එය වැඩිවී  ඇත්තේ 0.05 ක් ගුණයකින් නැතහොත් 5% කින් පමණි. 

කෙසේ වෙතත් මෙම කාලය තුළ ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ශේෂය ඩොලර් මිලියන - 531 සිට ඩොලර් මිලියන -3726 දක්වා ආසන්න වශයෙන් 7 ගුණයකින් පමණ වැඩිවී ඇත. රටවල් දෙක අතර ආනයන අපනයන අනුපාතය ගත්තොත් 2001 දී එය 8.5 ක් වූ අතර 2011 දී 8.3 ක් දක්වාද , 2021 දී එය  5.4 දක්වාද අඩු වී ඇත. මින් අදහස් වන්නේ වෙළඳ ශේෂය දුර්වල වුවද එහි සාපේක්ෂ පරතරය ක්‍රමයෙන් අඩුවන බවයි. නැතහොත් ආනයන වැඩීමේ වේගයට වඩා අපනයන වැඩිවීමේ වේගය වැඩි බවයි.

මෙම දත්ත වලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳාම අඛණ්ඩව වැඩි වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩිවීමේ වේගය ආනයන වියදම් වැඩිවීමේ වේගයට වැඩි බවත්, මුලු වෙළඳාම වැඩිවීමේ වේගය මෑත වසරවලදී අඩුවී ඇති බවත්, සහ රටවල්  දෙක අතර වෙළඳ පරතරය (වෙළඳ ශේෂය) ශ්‍රී ලංකාවට මුල සිටම අවාසිදායක වූ අතර එහි පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බවත්ය.

 

ඉන්දියාව ලංකාවේ ප්‍රමුඛ වෙළඳ හවුල්කරුවෙකු ලෙස සැලකිය හැකිද?

 

fcd38606a5f212238d204220b319fb2cf9f0a755
රටවල් දෙක අතර වෙළඳාමේ  දිශානතිය සලකා බැලුවොත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයනකරු බවට ඉන්දියාව පත්ව ඇති අතර අපනයන සම්බන්ධයෙන් ඉන්දියාවට හිමිවන්නේ තුන්වන ස්ථානයයි. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන ඩොලර් බිලියන 13.1 ක් වූ අතර ඇමරිකාවට කල අපනයන මුළු අපනයන වලින් 25.3% ක් වන අතර, එක්සත් රාජධානියට කළ අපනයන 7.4 % ක් වේ.  

ඉන්දියාවට කළ අපනයන මුළු අපනයනයන්ගෙන් 6.7% ක් නැතහොත් ඩොලර් බිලියන 0.855 ක් පමණ වේ. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ මුලු ආනයන ඩොලර් බිලියන 18.3 ක් වූ අතර ඉන්දියාවෙන් කල ආනයන ඩොලර් බිලියන 4.5ක් නැතහොත් මුලු ආනයන වටිනාකමින්  26% ක් වූ අතර චීනයෙන් කළ ආනයන කොටස 20% ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කල කොටස 5.4% ක් පමණ විය. 

ඒ අනුව ඉන්දියාව ලංකාවේ ප්‍රමුඛ ආනයන කරු බවට පත්ව ඇති අතර අපනයන සම්බන්ධයෙන් ඉන්දියාවට හිමිවන්නේ තෙවන ස්ථානයයි. මෙහිදී  දැකිය හැකිවන වැදගත් කරුණක් වන්නේ ලංකාව ඉන්දියාව සමග විවිධ වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබෙන තත්ත්වයක් තුළ සහ භූගෝලීය වශයෙන් ආසන්නව පවතින තත්ත්වයක් තුල පවා ඉන්දියාවට කරන අපනයන සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවයි.

අනෙක් අතට ඉන්දියාව ලංකාව සමඟ කරන වෙළඳ ගනුදෙනු අනුව, ඉන්දියාවට ලංකාව වැදගත් වෙළඳ හවුල් කරුවෙක් ලෙස නොපෙනෙන බව සඳහන් කල හැකිය. මන්ද යත් ඉන්දියාව ලංකාව සමඟ කරන අපනයන සහ ආනයන ගනුදෙනු ඉතා අවම මට්ටමක පවතින නිසාවෙනි. විශේෂයෙන්ම ඉන්දියාව ලංකාවෙන් මිලදී ගන්නේ වසරකට ඩොලර් බිලියනයකටත් වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයක්ය (ඉන්දියාව ලංකාවට විකුණන ප්‍රමාණය ඩොලර් බිලියන 4 කට වඩා වැඩි වෙද්දි).

උදාහරන වශයෙන් 2022 වසරේ ඉන්දියාවේ මුලු අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 417.81 ක් වූ අතර එයින් 18.2% ක් වටිනා අපනයන  ඇමරිකාවටද, 6.7% ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයටද,  5.1% ක් වටිනා අපනයන චීනයටද සිදු කර ඇත. 

මෙම වසරේම ලංකාවට අපනයනය කර ඇත්තේ ඩොලර් බිලියන 4.62 ක් වටිනා අපනයන නැතහොත් 1.1% ක් පමණ වටිනා අපනයන වේ. 

මේ අතර ඉන්දියාව 2022 වසරේ කර ඇති මුළු ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 892 ක් වන අතර ඉන්දියාවේ ප්‍රධාන  ආනයන හවුල්කරුවන් වනුයේ චීනය (15.43%), එක්සත් අරාබි එමිර් රාජ්‍යය (7.31%) සහ ඇමරිකා එක්සත් ජනපදයයි (7.07%). ලංකාවෙන් කර ඇති ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 0.855 ක් පමණ වේ.

මෙය ඉන්දියාවේ මුළු ආනයන වල ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 0.1% කි. මින් අදහස් වෙන්නේ ඉන්දියාවට ලංකාව වැදගත් වෙළඳ හවුල්කරුවෙකු නොවන බවත්, වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබියදී පවා ඉන්දියාව ලංකාවෙන් සැලකිය යුතු ලෙස භාණ්ඩ මිලදී නොගන්නා බවත්ය.

වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම දෙරටේ වෙළෙඳාමට කවර බලපෑමක් කර ඇත්ද?

 

benefits of importing and exporting
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වඩාත් ක්‍රියාකාරීව වෙළෙඳ කටයුතු කරනු ලබන්නේ 1998 දෙසැම්බර් මස 28 වන දින අත්සන් තබන ලදුව 2000 මාර්තු 1 වන දින බලාත්මක කොට ක්‍රියාත්මක වූ ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) යටතේය.  

පසුගිය වසර 5 තුළ (2017 -2021) ලංකාව ඉන්දියාවට කල මුලු අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3635.67 කි. එයින් ඩොලර් මිලියන 2299.94 (63%) ISFTA යටතේත්, අනෙක් බහු පාර්ශ්වික ගිවිසුම් 3 න්ම, එනම් SAPTA, SAFTA සහ APTA යටතේ අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 258.35 (7.11%) වටිනා අපනයන පමණි. 

ආනයන සම්බන්ධයෙන් ගතහොත් අදාළ වසර 5 තුල ඉන්දියාවෙන් කල මුලු ආනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 19908.43 ක් වන අතර ISFTA යටතේ කල ආනයන ඩොලර් මිලියන 1070.17 (5.3%) ක් ද, අනෙක් ගිවිසුම් 3 යටතේ ආනයනය කල භාණ්ඩ වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 26.75 (0.125%) කි. 

මේ අනුව ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) රටවල් දෙක අතර කෙරෙන වෙළඳාමට ඉහළ දායකත්වයක් ලබාදෙන අතර එය ඉන්දියාවට කළ මුළු අපනයන වලින් 63% කටත් ඉන්දියාවෙන් කරන ආනයන වලින් 5.3% කටත් පමණ දායකත්වය ලබා දෙයි. අනෙක් ගිවිසුම් තුනෙන් වෙළඳාමට දක්වන්නේ ඉතා අඩු දායකත්වයකි.

මෙයින් පෙනෙන්නේ වෙළඳ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වැඩි වැදගත්කමක් ඉසිලුවත් ආනයන සඳහා දක්වන්නේ සාපේක්ෂව අඩු වැදගත්කමක්ය. එසේම ලංකාවේ ප්‍රධාන ආනයනකරු ඉන්දියාව වුවත් ඉන්දියාවෙන් කරනු ලබන බොහෝ ආනයන සඳහා තීරු බදු සහන රහිතව සිදු කරන බවත් මෙයින් පෙන්නුම් කරයි.


ශ්‍රී ලංකාව ඉන්දියාව සමග යළිත් වෙළඳ ගිවිසුමකට එළඹෙන්නේ නම් එහිදී සලකා බැලිය යුතු විශේෂ කරුණු  මොනවාද?

Spices

 

ශ්‍රී ලංකාවට භූගෝලීය වශයෙන් ආසන්නතම රට ඉන්දියාව වන අතර වෙළඳාමේදී දැරීමට සිදුවන ප්‍රවාහන පිරිවැය අඩුවීමටත්, ඉන්දියාව විශාල ජනගහනයක් සිටින නැතහොත් දැවැන්ත වෙළඳපොලක් සහිත ආර්ථිකයක් නිසාත් ඉන්දියාව සමඟ වෙළඳාම පුළුල් කෙරෙන විශේෂයෙන්ම අපනයන වර්ධනය කර ගත හැකි කවර හෝ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවට වැදගත්ය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග යළිත් වෙළඳ ගිවිසුමකට එළඹෙන්නේ නම් කළ යුතු වැදගත්ම කාර්යයක් වන්නේ තමන්ට ඉන්දියාව සමඟ අපනයන විභවතාවන් ඇති භාණ්ඩ හඳුනා ගැනීමයි. මේ සඳහා වැදගත් මූලාශ්‍රයක් වන්නේ ITC Export Potential Map වෙබ් අඩවියයි. මෙහි  ලංකාවට විභවතාවක් පවතින අපනයන පිළිබඳව තොරතුරු දැක්වේ. ගම්මිරිස්, කළු තේ, නිම් ඇඳුම්,  කුරුඳු, විවිධ ඇට වර්ග, ලිහිසි පොල් වැනි භාණ්ඩ විශාල ප්‍රමාණයක් සඳහා අපනයන විභවතාවන් පවත්නා බව එහි සඳහන් වේ. 

export

 

මීට අමතරව ADB ආයතනයට අනුබද්ධ South Asia Subregional Economic Cooperation, වසර 2019 නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියාවට අපනයන කල හැකි භාණ්ඩ 100 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර භාණ්ඩ 27 ක් කිසිසේත්ම ඉන්දීය වෙළඳ පොලට ප්‍රවේශවී නොමැති බව සඳහන් කරයී. 

විශේෂයෙන් විදුලි උපාංග සහ උපකරණ (HS 25), සකස් කල ආහාර (HS 16- 20), රෙදිපිළි සහ ඇඟලුම් (HS 61- 62) වැනි භාණ්ඩ සඳහා ඩොලර් මිලියන 505 ක පමණ අපනයන විභවතාවක් පවත්නා බව එහි වැඩි දුරටත්  සඳහන් කෙරේ.

තවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ වාණිජ දෙපාර්තමේන්තුව සතුව  ඇති එවැනි අපනයන විභවතාවන් ඇති භාණ්ඩ සහ ලංකාවට සාපේක්ෂ වාසි ඇති වෙනත් භාණ්ඩයන් හඳුනාගෙන තීරු බදු සහ අපනයන පංගු (quota) වැනි සීමාවන් උපරිම අයුරින් අඩු කර ගැනීමට ඉන්දියාව සමඟ එකඟතාවන්  ඇතිකරගැනීම වැදගත්ය. 

උදාහරන වශයෙන් දැනට ISFTA යටතේ ගම්මිරිස් සඳහා ඇති කෝටාව වසරකට මෙට්‍රික් ටොන් 500 කට සීමා කර ඇත. ගම්මිරිස් සඳහා දනට සත්‍ය වශයෙන්ම කරන අපනයන වටිනාකම ඩොලර් මිලියන 68 ක් වන අතර ගම්මිරිස් සඳහා විභවතාව ඩොලර් මිලියන 112 ක් පමණ වේ. එලෙසම නිමි ඇඳුම්, කළු තේ, දිසිදි පොල්, වනස්පති වැනි භාණ්ඩ සඳහා අපනයන කෝටා වැඩි කර ගැනීමට සහ තීරු බදු අනුපාත අඩු කර ගැනීමට එකඟතා ඇති කර ගැනීම වැදගත්ය. 

coconuty

 

තවද තීරු බදු නිදහස් භාණ්ඩ සංඛ්‍යාව වැඩි කරගැනීම, සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතා, ගුනත්වය පිළිබඳ අවශ්‍යතා සහ පරිපාලන ක්‍රමවේද වැනි තීරු බදු නොවන බාධා අවම කර ගැනීමට සාකච්චා කල හැකිය.  

එසේම දැනට  තීරු බදු සහන නොදෙන සෘණ ලැයිස්තුවේ  පවතින භාණ්ඩ යළි සමාලෝචනය කර සහන ලැබෙන භාණ්ඩ සංඛ්‍යාව පුළුල් කරගැනීමත් සලකා බැලිය හැකිය. 

තවද දැනට ඉන්දියාව සමග කරන වෙළඳ ගිවිසුම් යටතේ වෙළඳාම් කරන්නේ භාණ්ඩ පමණි. එයට බැංකු රක්ෂණ, මුල්‍ය, ප්‍රවාහනය වැනි සේවා ද ඇතුලත් කළ හැකිය. මෙවැනි සේවා අපනයන පුලුල් කර ගැනීම සඳහා ඩිජිටල්කරනය සහ විද්‍යුත් වාණිජ්‍යය උපයෝගී කරගත හැකිය.  

මීටත් අමතරව සම්ප්‍රදායිකව කෙරෙන අපනයන වලට අමතරව සංකීර්ණ සහ ඉහළ තාක්ෂණයෙන් යුතු භාණ්ඩ අපනයනය සඳහා සහන කොන්දේසි ඇතුලත් කිරීම වැදගත්ය. අපනයන සදහා අය කරන සෙස් බදු සහ වරාය හා ගුවන් තොටුපල ගාස්තු අපනයන අධෛර්යමත් කරන බවද මෙහිදී සඳහන් කළ යුතුය. 

දැනට ඉන්දියාවෙන් කරන ආනයන බොහොමයක් භාණ්ඩ ආනයනය කරන්නේ තීරු බදු සහන රහිතව නිසා ඒවාට තීරු බදු සහන  ඉල්ලා සිටිය හැකිය.

 

insr
මෙහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා සේවා නියුක්තියට බලපෑමක් නොවන ආකාරයටත් ලංකාව ඉන්දියාවේ ආර්ථික  ආධිපත්‍යයට ( economic dominance) යටත් විය හැකි සහ ඉන්දියාවේ භූ දේශපාලනික අරමුණු (geo-political motives)  සැපිරෙන කොන්දේසි ඇතුළත් වන්නේද යන්නත් පිළිබඳවද සැලකිලිමත් වෙමින් ශ්‍රී ලංකාව නව ගිවිසුම් වලට යා යුතුය.

කෙසේ වෙතත් තිරසාර අපනයන සංවර්ධනයක් උදෙසා ලංකාවේ නිෂ්පාදනය ප්‍රසාරණය කෙරෙන සහ ඒ මගින් අපනයන ධාරිතාව පුළුල් කරන දිගුකාලීන  වැඩපිළිවෙළවල් සහ උපක්‍රම වෙත රජයේ අවධානය යොමුවීම අවශ්‍යය.

දැනට පවත්නා ආර්ථික තත්ත්වය අනුව ලංකාවේ පවතින්නේ නිෂ්පාදනය සංකෝචනයවන පරිසරයකුයි. විශේෂයෙන්ම අධික බදු අනුපාත, ඉහළ විදුලිය මිල සහ ඉන්ධන මිල ගණන්, ඉහළ ණය පොලි අනුපාතයන්, යෙදවුම් සපයා ගැනිමේ දුෂ්කරතා ආදී ගැටළු නිසා පෙර නොවූ පරිදි නිෂ්පාදන කර්මාන්ත තර්ජනයකට ලක්ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව දේශීය නිමැවුම වැඩි කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග  ගත යුතු අතර ඒ හරහා අපනයන ශක්තිමත් කර ගැනීමට පියවර ගැනීම වැදගත් වේ.


Semasinghe(මහාචාර්ය සේමසිංහ දිසානායක)
වාණිජ හා මුල්‍ය කලමනාකරණ අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සංලාපය :  රුවන් පුෂ්ප කුමාර, මාධ්‍ය ඒකකය, කැළණිය විශ්ව විද්‍යාලය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්