පසුගිය යහපාලන රජය සමයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින්

ඉටු කරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හිමිකම මෙරට පුරවැසියන්ට හිමි විය.

එහි ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපතිවරයා විසින් ඉටුකරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක්ම ගොනු කර තිබෙන අතර ඊට අදාළව නඩු තීන්දු කීපයක්ද නිකුත් වී තිබේ.

එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය හඳුන්වාදීමෙන් පසුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිම වාර සංඛ්‍යාවක් වරදකරු කෙරුණු ජනාධිපතිවරයා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත්ව සිටියි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහු තුන් වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර තිබේ.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 103 ක පමණ මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටත් අධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන ට නියෝග කරනු ලැබ තිබේ.

මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව පැවරුණු මූලික අයිතිවාසිකම් නඩු මොනවාද? ඔහුට එරෙහිව නිකුත් කෙරුණු තීන්දු කවරේද? මේ විමසා බැලීම ඒ පිළිබඳවය.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අහෝසි කිරීම



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එනම් 2018 වසරේ නොවැම්බර් මස 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කළේය.

ඒ අනුව 2018 වසරේ නොවැම්බර් මස 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර මහ මැතිවරණය 2019 වසරේ ජනවාරි මස 5 වැනිදා පැවැත්වීමටද නියම කර තිබුණි.

ජනාධිපතිවරයා විසින් සිය බලය අතික්‍රමණය කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත් තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.

2018 වසරේ නොවැම්බර් මස 12 වැනිදා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලන ලදි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එම පෙත්සම් විභාගයට ගැනීමට තීන්දු කළ අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙරට අධිකරණ ඉතිහාසයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද විධානයක් ක්‍රියාත්මක කරවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැකිය.


2018 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ය.


maithri12018 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ය

ඉන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුළුල් විභාගයක් පවත්වන ලදී.

එම විභාගයෙන් අනතුරුව 2018 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ය.

එම තීන්දුව තුළින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකළ හැකි ආකාර පිළිබඳව කරුණු පැහැදිලි කර තිබුණි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල පිළිබඳව 70, 70(1) සහ 70(3) ව්‍යවස්ථාවන්හි පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. එම ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලය හිමිවන්නේ අවස්ථා දෙකකදී පමණයි. එනම් පාර්ලිමේන්තුවක් තේරී පත්වී ම් වසර හතරහමාරක් ගතවීමෙන් පසුව එය විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවෙනවා. දෙවන අවස්ථාව වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තුනෙන් දෙකකට නොඅඩු බහුතරයකින් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවක එය විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා. එහෙත් මෙම නඩුවට පාදකවන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාවලියේදී එම නීතිමය අවශ්‍යතා දෙක සම්පූර්ණ වී තිබුණේ නෑ." යනුවෙන් සඳහන් කළ විනිසුරු මඩුල්ල ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් සඳහන් කළේය.


මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ට හිමි නොවන බලයක් ක්‍රියාවේ යොදවා අදාළ විසුරුවා හැරීම කර ඇති බවත් එය නීතිය ඉදිරියේ බල රහිත බවත් විනිසුරුවරු තීන්දු කළහ.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරවා හරිමින් 2018 වසරේ නොවැම්බර් මස 09 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බල රහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයක් අධිකරණය විසින් අහෝසි කළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය.



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම....



පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි චෝදනා කොට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව පාර්ශව 12 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණි.

එම පෙත්සම් පිළිබඳව දීර්ඝ විභාගයක් සිදු කළ අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළේය.

 

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කළ අග විනිසුරු ජයන්ත ජයසූරිය "ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායකයා ලෙස රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම මෛත්‍රිපාල සිරිසේන වෙත පැවරී තිබෙනවා. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥාපනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමේ පනත යනාදී රටේ ජාතික ආරක්ෂාව හා බැඳුනු අතිශය සංවේදී පනත් ක්‍රියාත්මක කිරීමේ බලයත් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේනට හිමිවී තිබුණා.

එහෙත් මහජනතාව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පවරාදී තිබූ වගකීම එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පැහැර හැර ඇති බව පැහැදිලි වෙනවා. රටේ ජාතික ආරක්ෂක තත්ත්වය පිළිබඳව සමාලෝචනය කෙරෙන ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සතිපතා සෑම බදාදා දිනකම 2015 වසර දක්වා නොකඩවා පැවැත්වී තිබෙනවා. එහෙත් 2015 න් පසුව එම ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් පෙර පරිදි ඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා ක්‍රියාකර නැහැ .

පසුකාලීනව අග්‍රාමාත්‍යවරයා සහ පොලිස්පතිවරයාද එම රැස්වීම්වලට සහභාගී කර නොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. මෙවැනි ක්‍රියා තුළින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිය වගකීම ඉටු කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකීමකින් තොරව සහ නොසැලිකිලිමත් ආකාරයෙන් කටයුතු කර තිබෙන බව නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණුවලින් පැහැදිලි වෙනවා.” යැයි පැවසීය.

“පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එවැන්නක් කිසිවකු තමන්ට දැනුම් නුදුන් බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකියි. සේනාධිනායකයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඔහුට එවැනි වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ." යනුවෙන් සඳහන් කළ විනිසුරු මඩුල්ල ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන සිය වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත් තීන්දු කළේය.

maithri2ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන සිය වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත් තීන්දු කළේය

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අගතියට පත් වූවන්ට ගෙවිය යුතු බවත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නියෝග කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සිට මාස හයක් තුළ එම මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය.

තීන්දුව නිකුත්වී මාස කීපයකින් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ට නියම වූ වන්දි මුදලින් රුපියල් ලක්ෂ 150 මුදලක් ගෙවීමට පියවර ගත්තේය.

පසුව සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සම්පූර්ණ මුදල තමන්ට එකවර ගෙවීමට අපහසු බවත් ඉතිරි මුදල් ප්‍රමාණය වාර්ෂිකව රුපියල් ලක්ෂ 85 බැගින් වසර දහයක් තුළ ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙතෙක් නියෝගයක් නිකුත් නොකළ අතර හිටපු ජනාධිපතිවරයා සතු වත්කම් හා බැරකම් පිළිබඳ වාර්තාවක් දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙසත් මේ වන විට නියෝග කර තිබේ.



රොයල් පාක් මිනී මැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීම නීති විරෝධීයි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණියක ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීම තුළින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි විත්තිකරුට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2018 වසරේ ඔක්තෝම්බර් මස සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

අදාළ විත්තිකරු නිදහස් කිරීමේදී ජනාධිපතිවරයා අනුගමනය කළ යුතු පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බැවින් එම සමාව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.

එම පෙත්සම එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරු තුන්දෙනා වෙන් වෙන් වශයෙන් තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ.

එම නඩු තීන්දුව පිටු 306 කින් යුක්ත දීර්ඝ නඩු තීන්දුවක් බවට පත්ව තිබීම විශේෂත්වයකි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා ප්‍රකාශ කළේ අධිකරණය මගින් මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා මෛත්‍රිපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර තිබෙන බව ය.

එම අවස්ථාවේදී මෙම විත්තිකරු සමඟ තවත් විත්තිකරුවන් 69 දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් තීන්දුවේ පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව 2019 වසරේ ඔක්තෝබර් මස 30 වන දා මෙම විත්තිකරුට නියම ව තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්‍රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවී දඬුවම් නියම වූ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත්ව තිබෙනවා. අධිකරණය මගින් වරදකරුවී දඬුවම් ලැබුවෙකුට සමාව දීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීති පටිපාටියක් තිබෙනවා. තීන්දුව ලබාදුන් අධිකරණයේ විනිසුරුවරයාගේ වාර්තාවක් කැඳවීම, නීතිපතිවරයාගේ වාර්තාවක් සහ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම යනාදිය එම සමාව දීමේ නීතිමය පටිපාටියට ඇතුළත්. එහෙත් මෙම විත්තිකරුට අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් එම නීතිමය පටිපාටිය ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නැහැ. ඒ හරහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන චේතනාවිතවම උල්ලංඝණය කර තිබෙන බව පෙනී යනවා. මහජනතාව සතු පරමාධිපත්‍ය බලය මෙන්ම විශ්වාසයද බරපතළ ලෙස බිඳ හෙළීමට ඔහු කටයුතු කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යයක් බිඳ හෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය ජනාධිපතිවරයාට අනන්‍ය බලයක් බවත් එය අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවටත් වග උත්තරකාර පාර්ශ්වය මූලික විරෝධතාවක් මතුකර තිබුණා. එම තර්කය මා ප්‍රතික්ෂේප කරනවා. සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය විධායක ක්‍රියාවක් ලෙසයි සඳහන් කළ යුත්තේ. එවැනි අවස්ථාවක එම විධායක ක්‍රියාව අධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැකියි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්තනෝමතික ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ලබා දී තිබෙන බලය අතික්‍රමණය කොට කටයුතු කිරීම නිසා මෙම නඩුවෙන් මියගිය තරුණියගේ පවුලේ සාමාජිකයින්ට වසර ගණනාවක් දැඩි මානසික පීඩාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔවුන්ට සිදු වූ මානසික පීඩාව මුදලින් ගණනය කිරීමට හැකියාවක් නැති බව අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලබනවා. මෙවැනි බලයක් ක්‍රියාවේ යොදවන විට ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පැවතීම වැදගත්. එවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මෙම නඩුවේ පෙත්සම්කරු හෝ කිසිදු පාර්ශවයක් අධිකරණය හමුවේ ඉල්ලීම් කළේ නැහැ."යනුවෙන් විනිසුරු තුරෙයි රාජා සිය නඩු තීන්දුවේ සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් " පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, මෙහි විත්තිකරුගේ දෙමව්පියන් සහ විත්තිකරු විසින් පෞද්ගලිකවම කරන ලද ඉල්ලීම් පදනම් කරගෙන සමාව ප්‍රදානය කළ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් කර තිබුණා. එහෙත් විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පැහැදිලියි. ඔහු වගකීම් විරහිත ආකාරයට සහ අතනෝමතික ලෙස සිය බලය අභිබවා කටයුතු කර තිබෙනවා. ඒ අනුව අවස්ථා දෙකකදී මෙම විත්තිකරුට ප්‍රදානය කළ සමාව බල රහිත මෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළ යුතුයි.

එහෙත් මෙම විත්තිකරුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කරමින් 2016 වසරේ මැයි මස 17 වනදා ප්‍රදානය කරන ලද සමාව නීති විරෝධී බවට අධිකරණය විසින් තීන්දු කළත් එහිදී එම සමාව ලද සෙසු සිරකරුවන් 69 දෙනාට මෙම තීන්දුව අදාළ නොවන බවත් විනිසුරු කෝදාගොඩ සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

විනිසුරු ජනක් ද සිල්වා සිය තීන්දුව තුළින් සඳහන් කර සිටියේ "මෙහි විත්තිකරුට ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් ඊට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අසමත් වී තිබෙනවා. ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම් අඩංගු සටහන් පවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හමුවුණේ නැහැ. මෙහිදී ජනාධිපතිවරයා බරපතල ලෙස සිය බලය අවභාවිතා කොට තිබෙන ආකාරය පෙනී යනවා. සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන සුවිශේෂී බලයක්. එය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කිරීමට හැකියාවක් නැහැ." යනුවෙන් විසුරුවරයා පැවසීය.


ඉන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් මෙම නඩුකරයේ පෙත්සම්කරුට සහ මියගිය තරුණියගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙසත් අධිකරණය විසින් මෛත්‍රිපාල සිරිසේනට නියෝග කරන ලදී.

(BBC සිංහල සේවය)


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්