2009 සහ 2017 වසරවල එක් රැස් කළ නිදර්ශක පදනම් කරගෙන ඩ්රයෝකැලමස් චිත්‍රසේකරයි (Dryocalamus chithrasekerai) ලෙස නාමකරණය කළ සර්ප විශේෂයක් ශ්‍රී ලංකාවේ දකුණු දිග බටහිර කඳුකර පෙදෙසෙහිදී සොයා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂයකු ලෙස සැලකෙන නාගාමුල්ල හේවගේ චිත්‍රසේකරට ගෞරවයක් ලෙස චිත්‍රසේකර ගැට කරවලා/ ගැට රදනකයා (පොදු නාමය) ලෙස නම් කරනු ලැබූ මෙම සර්පයා එම කාණ්ඩයට අයත් අලුතින්ම සොයා ගත් සර්ප විශේෂය බව පර්යේෂකයෝ පවසති. 

ඔවුනට අනුව විද්‍යාත්මක වර්ගීකරණයේ දැක්වෙන පරිදි චිත්‍රසේකර ගැට කරවලා ට  සමාන ලංකාවේ දැනට සොයාගෙන ඇති Lycodon ( දාර කරවලා) ගෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි වෙනස්කම්, එම සර්ප විශේෂයට ඇත.

එසේම දැනට පවතින වාර්තා වලට අනුව ඩ්රයෝකැලමස් කාණ්ඩයට අයත් සර්ප විශේෂයක් වන D. gracilis, සාවද්‍ය විද්‍යාත්මක හඳුනාගැනීමක් වන අතර එම සර්ප විශේෂය ලංකාවේ දක්නට නොමැති බව එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

මරා දමා තිබී එක්රැස් කරගත් සර්ප මල සිරුරකින් අභිරහස හෙළි වූ හැටි..

වැරදි සහගත හඳුනාගැනිම්, අජීවි නිදර්ශක, කිසිකලෙක එවැනි සර්පයකු ලංකාවේ නොසිටි බවට කළ උපකල්පන නිසා වසර 150 කට ආසන්න කාලයක් මෙම ජීවියා, ජිව විද්‍යාත්මකව වර්ගීකරණය තුළ අභිරහසක්ව පැවතුණි. 

නමුත් වසර එකොළහට පමණ ඉහතදී, සිරිපාද වනජීවි අඩවියේ පාරක් අද්දර මරා දමා තිබී එක්රැස් කරගත් සර්ප මල සිරුරක සාම්පලයක් නිසා එම අභිරහස හෙළි වීමේ ක්‍රියාදාමය ඇරඹිනි.

උභයජීවි සහ උරගයන් පිළිබඳ පර්යේෂකයන් වන එල්. ජේ මෙන්ඩිස් වික්‍රමසිංහ සහ දුලාන් රංග විදානපතිරණ  යන දෙදෙනා සැක පහළ කළේ ඒවා ජීව විද්‍යා දැනුමට අලුතින් එක්වුණු විශේෂයක නිදර්ශන ලෙසිනි. 

නමුත් පාරේ කිසිවකට යටවී මිය ගොස් සිටි ගැහැණු සත්වයාගේ අජීවි නිදර්ශකය, සාපේක්ෂව හොඳ තත්වයේ පැවතුණද ඔවුන්ට ඉන් ඉදිරියට පර්යේෂණ කටයුතු කරගෙන යාමට නොහැකි විය. 

ඉන් අනතුරුව 2017 වසරේදි ඔවුනට වාසනා මහිමය උදා විය. මෙවර ඔවුනට සජීවි පුරුෂ ලිංගික සර්පයකු කන්නෙලිය වන රක්ෂිතයෙන් සොයා ගැනීමට හැකි විය.

කැපී පෙනෙන ලක්ෂණ ;

මෙන්ඩිස් වික්‍රමසිංහ ‘ලංකාවේ ඩාවින්’ ලෙස ප්‍රකට වී සිටී. ඒ ඔහු සත්ව විශේෂ සියයක් පමණ අනාවරණය කර ගෙන ඒවා ජිව විද්‍යාවට හඳුන්වා දී  ඇති නිසාය. 

ඔවුන් සොයා ගත් එම සර්ප නිදර්ශකය ලංකාවේ දැනට සොයා ගෙන ඇති සර්ප විශේෂ සියල්ලටම වඩා වෙනස් ලක්ෂණ දරන බව වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ කණ්ඩායමට ප්‍රත්‍යක්ෂ වි තිබිණි.  සිරුරේ කැපී පෙනෙන තද සුදු පැහැති වලයාකාර පැල්ලම්, කළු සහ සුදු මිශ්‍රිත පැල්ලම් සහිත සිරුරේ යටි පැත්ත සහ වලිගයේ යටි පැත්ත සුදු පැහැයට වඩා කළු පැහැති පැල්ලම් කැපී පෙනීම වැනි ලක්ෂණ සහිතව පැහැදිලිව වෙනස් කොට හඳුනා ගත හැකි වර්ණ රටාවක් එම සර්ප නිදර්ශක වල  දැක ගත හැකි විය. 

serpent 1වෙනත් සර්ප විශේෂ වලින් මෙම නව සර්ප විශේෂය පැහැදිලි ලෙසම වෙන් කරගත හැකි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එම නව සර්ප විශේෂයේ සිරුරු පෘෂ්ඨය මත පේළි 15 කට සැකසුණු මෘදු කොරපොතු දක්නට ලැබීමය.

මාර්තු මාසයේ එළි දැක්වුණු   Zootaxa නම් සඟරාව තුළින්, ඔවුන් සොයා ගත් සර්ප විශේෂය පිළිබඳ ජීව විද්‍යාත්මක  දත්ත ප්‍රකාශයට පත් කරන ලදි. 

එම පර්යේෂණ පත්‍රීකාව ඉදිරිපත් කළ සම කතෘවරුන් දෙදෙනා විසින්, කන්නෙලිය වන රක්ෂිතය රැකගැනීමට ක්‍රියා කළ පරිසර සංරක්ෂක නාගාමුල්ල හේවගේ චිත්‍රසේකරට කරන ගෞරවයක් ලෙස එම සර්ප විශේෂය ඩ්රයෝකැලමස් චිත්‍රසේකරයි  හෝ චිත්‍රසේකර ගැට කරවලා/ ගැට රදනකයා(පොදු නාමය) ලෙස නම් කරන ලදී.

පර්යේෂකයන් විසින් පෙන්වා දි ඇති පරිදි  මෙම සර්ප විශේෂය ලංකාවේ දකුණු දිග බටහිර තෙත් කලාපයේ ස්ථාන හතරකදී  පස් වතාවක් නිරීක්ෂනය කර ඇති අතර එම ප්‍රදේශයේ සිදුවන වන විනාශයත්, සත්ව වාසභූමි විනාශයත් රථවාහන ගමනාගමනයත් එම සතුන්ගේ පැවැත්මට තදබල තර්ජනයක් වී ඇත.

නව සර්ප විශේෂයේ පුනර්වර්ගීකරණය :

පර්යේෂණ පත්‍රීකාවේ සඳහන වන පරිදි ඩ්රයෝකැලමස් (Dryocalamus) කාණ්ඩය නව සත්ව කාණ්ඩයක් මිස, 2016 ප්‍රකාශ කළාක් මෙන් Lycodon කාණ්ඩයට සමාන පදයක් නොවේ. 

චිත්‍රසේකර ගැට කරවලා ට ප්‍රථම ලංකාව තුළ ඩ්රයෝකැලමස් කාණ්ඩයට අයත් සර්ප විශේෂ දෙකක් (D. gracilis and D. nympha) සහ Lycodon කාණ්ඩයට අයත් සර්ප විශේෂ හතරක් (L. anamallensis, L. aulicus, L. striatus and the endemic L. carinatus.) හඳුනාගෙන තිබුණි.

 “ඩ්රයෝකැලමස් කාණ්ඩයට අයත් සර්ප විශේෂ වලට තියෙන්නෙ පිටතට නෙරුනු ඇස්, අනික හැසිරීමෙත් වෙනස්කම් තියෙනවා” වික්‍රමසිංහ පවසයි. 

“ ඩ්රයෝකැලමස් සර්ප විශේෂ රුක්වාසී ජීවින් වන අතර ලයිකොඩන් සර්ප විශේෂ වැඩි වශයෙන් ගැවසෙන්නෙ පොළව මතුපිට. ඒවගේම ඩ්රයෝකැලමස් සර්ප විශේෂ වල දක්නට ලැබෙන හැසිරීමේ තවත් අන්‍යය ලක්ණයක් තමයි ඔවුන්  ආහාරයට ගන්නේ බිත්තර පමණක් විම. ඔවුන් බිත්තරයේ ජීවි පඨක ගිල දමා බිත්තර කටුව පිටතට දමනවා. ඊට ප්‍රතිවිරුද්ධව, ලයිකොඩන් විශේෂයෙන් බිත්තරය සම්පූර්ණයෙන් ගිල දමන අතර කුඩා උරග විශේෂත් ආහාරයට ගන්නවා.”

එසේම මෙන්ඩිස් වික්‍රමසිංහ සඳහන් කර සිටින්නේ D. gracilis විශේෂය සැබවින්ම ලංකාවේ දක්නට නැති අතර මුලින් ඒ පිළිබඳ කරන ලද වාර්තා D. nympha නම් සර්ප විශේෂය සමඟ පටලවා ගැනීමක් ලෙසය.

“මෙම පර්යේෂකයන් විසින් දක්වා ඇති ලක්ෂණ අනුව එම විශේෂය  නියෝජනය කරන නිදර්ශක පහ වඩාත් සමීප වන්නේ D. nympha යන විශේෂයටයි. අපගේ ක්ෂේත්‍ර අත්දැකීම් වලට අනුව, D. gracilis සර්ප විශේෂය ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. එම සත්ව විශේෂය පිළිබඳ මේ තාක් දක්වා ඇති වාර්තා එම නිසා එතරම් පිළිගත නොහැකියි.”

වැරදි හඳුනා ගැනීමක් නම්?

වික්‍රමසිංහ පිළිගන්නා පරිදි ඔවුන් 2009 දි පාරේ තිබී සොයා ගත් සර්ප මල සිරුර යනු පර්යේෂකයන් විසින් සොයා ගන්නා එම විශේෂයේ පළමු නිදර්ශකය නොවී නම්, නැතහොත් එවැනි නිදර්ශකයක් සොයාගෙන එය වැරදි ආකාරයෙන් හඳුනාගත්තේ නම් තත්වය කුමක් විය හැකිද? 

1877 දී බ්‍රිතාන්‍ය ජාතික ස්වභාවික විද්‍යාඥයෙකු වූ විලියම් ෆර්ගියුසන් විසින් ශ්‍රී  ලංකාවේ දකුනු දිග ප්‍රදේශයෙන් සර්ප විශේෂයක නිදර්ශකයක් සොයා ගත් බව වාර්තා කොට ඇති අතර පසුව එය Odontomus nympha නම් විශේෂයට (D. nympha විශේෂයට මුල් අවදියේ භාවිතා කළ නාමය) අයත් බව ප්‍රකාශ කරන ලදී. 

නමුත් එකල ෆර්ගියුසන් සැක පහළ කළේ, එය කිසිවකුත් ඒ වන විට නොදැන සිටි නව විශේෂයක් වන්නට ඇති බවකි. 

එම නිදර්ශකය ප්‍රවාහනයේ දී එය බහා තිබුණු 77/1 අංක දරන බඳුන බිඳි තිබුණු නිසා සර්පයාගේ සිරුර සුරුණ්ඩි වි තිබූ බවක් ද ඔහු විසින් නිරීක්ෂනය කොට තිබුණි. එම නිදර්ශකය නැති වීමත් සමඟ වටිනා ඉඟියක් විද්‍යාවට අහිමි වී තිබුණි. 

එම නිදර්ශකය හඳුනා ගත් ප්‍රදේශය ලෙස සඳහන් වන්නේ වර්තමානයේ දකුණු පළාතට අයත් ‘මොරවක් කෝරළේ’ ලෙසිනි.

“ඒ කාලෙත් ඩ්රයෝකැලමස් සර්පයෙක් ඒ ප්‍රදේශයේ ඉන්න බව දැන ගෙන ඉඳලා තියෙනවා. ඒත් ඒ D. nympha. සර්ප විශේෂය නොවෙයි.” මෙන්ඩිස් වික්‍රමසිංහ පවසයි. 

“ ඩ්රයෝකැලමස් චිත්‍රසේකරයි (Dryocalamus Chithrasekarai)  සර්ප විශේෂය, අප සොයා ගත් ස්ථාන පහෙන් තුනක් එනම් කන්නෙලිය, කලුබෝවිටියාන සහ මොරවක පිහිටා ඇත්තේ ‘මොරවක් කෝරළය’ සිමා මායිම් තුළ වන අතර අනෙක් ස්ථාන දෙක වන සිංහරාජ සහ රූනකන්ද පිහිටා ඇත්තේ ‘මොරවක් කෝරළේ’ සිමාවට සමීපවය,” යි පර්යේෂණ පත්‍රීකාව පෙන්වා දෙයි.

 “එම නිසා 77/1 අංකය දරණ ෆර්ගියුසන් සතු නිදර්ශකය Dryocalamus chithrasekarai සර්ප විශේෂය පිළිබඳ පළමුවෙන් සිදුකළ වාර්තා තැබීම ලෙස අපි අවසානයේ නිගමනයට පැමිණියෙමු.”
 

 

සුභාෂිණි චතුරිකා :
(මෙම ලිපිය සකස් කොට ඇත්තේ MONGABAY වෙබ් අඩවියේ මාර්තු 31, 2020 දින පළවුණු දිල්රුක්ෂි හඳුන්නෙත්ති විසින් ලියන ලද  New snake discovery in Sri Lanka is latest twist in slow-burning mystery යන ලිපිය ඇසුරිනි.)

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා