ලබන මැයි 11 වන දින පාසල් වාරය නැවත ආරම්භ කෙරෙන බව ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයෙන් නිවේදනය කරනු ලැබූයේ පසුගිය 11 වන දිනය.

“කෝවිඞ්-19 පාලනය කිරීමේ කාර්ය සිදු කෙරෙන අතර, සිසුනගේ ආරක්ෂාව ගැන සලකා බලා එලෙසින් තීන්දු කළ බව” නිවේදනයෙහි සඳහන්ව තිබිණ.

ඒ අතර සනාථන මණ්ඩලවල තීන්දු අනුව විශ්වවිද්‍යාලද අදියර කිහිපයකින් එදිනම ආරම්භ කළ හැකි බවත් වාර්තා විය.

හැකි ඉක්මනින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ තාවකාලික ආණ්ඩුවේ නායකත්වයට ඇත. විසුරුවා හරිනු ලැබූ තමන්ට බහුතරයක් නොමැති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කල් තැබුණු මැතිවරණය ඉදිරි දිනක පැවැත්වීම ඔවුන්ගේ අදහසය.

ඒ ගැන දැක්වෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන සහ සීමා කෙසේ වූවත් මැතිවරණයක් පැවැත්වීමට මේ කෝවිඞ්-19 වසංගත තත්ත්වය යථා ලෙස පාලනය කෙරුණු සාමාන්‍ය ජන ජීවිතයක් අවශ්‍ය වන්නේය. එවැන්නක් ඇතැයි පහසුවෙන් සමාජගත කළ හැක්කේ පාසල් විවෘත කිරීමෙන් යැයි ඔවුන් සිතුවා විය යුතුය.

''මැතිවරණයක් පැවැත්වීමට මේ කෝවිඞ්-19 වසංගත තත්ත්වය යථා ලෙස පාලනය කෙරුණු සාමාන්‍ය ජන ජීවිතයක් අවශ්‍ය වන්නේය. එවැන්නක් ඇතැයි පහසුවෙන් සමාජගත කළ හැක්කේ පාසල් විවෘත කිරීමෙන් යැයි ඔවුන් සිතුවා විය යුතුය.''

එනමුත් කෝවිඞ්-19 වසංගතයට මුහුණදීම සඳහා පසුගිය මාර්තු 20 වන දා සිට ඇඳිරි නීතිය යටතේ පවතින රටක පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීමේ තීන්දුව හදිසියේ ගත හැකි තීන්දුවක් නොවේ. එය අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල පරිපාලනයත් පළාත් සභා අධ්‍යාපන අධිකාරීනුත් හවුල් නොකරගෙන ගත යුතු තීන්දුවක්ද නොවේ.

එලෙසින්ම එය කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ වැඩපිළිවෙලින් ක්‍රමයෙන් “ඉවත්වීමේ මූලෝපායක්” නොමැතිව ගතහැකි තීන්දුවක්ද නොවේ.



කොරෝනා වෛරසය - ඉවත්වීමේ මූලෝපාය (Exit strategy) මොකක්ද ?

අප්‍රේල් මාසයේ අග සිට එවැනි ඉවත්වීමේ මූලෝපායක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීන්දුකර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවත් එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. ඒ වෙනුවට ඉකුත් 15 වන දා ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ නමින් (අත්සනක් නොදුටිමි) “ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය…” මැයෙන් අමාත්‍යාංශ වෙත යොමු කරනු ලැබූ ලිපියක සමාජ ක්‍රියාකාරිත්වය යළි සාමාන්‍යකරණය කිරීම සඳහා වන උපදෙස්, නිර්දේශ, යෝජනා, විධාන සමූහයක් විය.

ඒවා සාධාරණීකරණය කර තිබූයේ “ජනතාවට ඒකරාශීවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු කරගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ” යැයි වන සටහනෙනි. ඒ කිසිවක් වැඩ බලන ඇමති මණ්ඩලය විසින් හෝ අනුමත කරනු ලැබිණැයි එහි කිසිදු සඳහනක් නොවිණ.



නිවේදනවලට සීමා වූ වැඩපිළිවෙළ හැර වෙනත් කිසිවක් නැහැ !

මේවායේ ඇති බරපතළකම තේරුම් ගතහැක්කේ නිවේදනවලට සීමා වූ වැඩපිළිවෙළ හැර වෙනත් කිසිවක් නොමැතිව ගන්නා තීන්දු අතරේ කෝවිඞ්-19 වසංගතයේ පැතිරීම දෙස බැලූ විටය.

පාසල් විවෘත කිරීමේ නිවේදනය නිකුත් කළ අප්‍රේල් 11 වන දින කෝවිඞ්-19 වෛරසය ආසාදනය වූ බවට සනාථ කෙරුණු සංඛ්‍යාව වූයේ 197 කි. ඉන් දින 03 ට පසු අප්‍රේල් 14 වන දින රාත්‍රි වනවිට අලුතින් එකතු වූ 36 ක් සමග ඒ සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගොස් තිබිණ. මේ ලිපිය අවසන් කරන විට 238 කි.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් එදිනම එක් ආසාදිත පුද්ගලයෙකු හමු වූ හෙයින් ජාඇල පොලිස් වසමට අයත් ප්‍රදේශයම වසා දැමිණ. ගම්පහ දිස්ත්‍රික්කයේ මායිම්ද වසා දැමිණ. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු යැයිද වාර්තා විය. ඔහු හා සම්බන්ධකම් තිබුණේ යැයි පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ 28 දෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යවනු ලැබිණ. ඉන් 06 කුද ආසාදිතයින් යැයි සනාථ විය.

මේ සියල්ල ගැන සමාජය හමුවේ ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකය, පොලිස් සහ හමුදා මාධ්‍ය ආරංචි මාර්ග මගින් කෙරෙන තොරතුරු ප්‍රකාශ සහ ආණ්ඩුවේ නායකයින් කරන ප්‍රකාශ පමණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ඒ අතර ඉතා ප්‍රවේසමෙන් කෙරෙන තොරතුරු ප්‍රකාශයන්ද ඇත. මේවා අතර පරස්පරද නොපෑහීම්ද ඇත.


ලොව අඩුවෙන්ම කෝවිඞ්-19 වෛරස ආසාදන පරීක්ෂා කෙරෙන රටක්

coronavirus testing
ලොව අඩුවෙන්ම කෝවිඞ්-19 වෛරස ආසාදන පරීක්ෂා කෙරෙන රටක් ලෙස අපව හඳුන්වනු ලැබේ. එහෙත් අපගේ වෛද්‍ය පර්යේෂණාගාර හා ඒවායේ සම්පත් අනුව දිනකට එවැනි පරීක්ෂණ 1,200 ක් පමණ කළ හැකිමුත් තවමත් දිනකට කෙරෙන්නේ පරීක්ෂණ 200ත් 220ත් අතර යැයි වාර්තා වේ. එවැනි සීමා තියා ගැනීමේ අවශ්‍යතාවක් අපට නැත.

පසුගිය මාර්තු මස අවසානයේ ලොව යෝධ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන චීනයේ අලිබබා සමාගම හිමිකරු විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක්ද පුද්ගල ආරක්ෂණ උපකරණ සමග පරීක්ෂණ ඒකක 1,000 ක්ද ඔවුන්ගේ පළමු ආධාර තොගය ලෙස ශ්‍රී ලංකාවට එවනු ලැබීය.

හුවාවෙයි සමාගම ශල්‍ය මුහුණු ආවරණ 10,000 ක් සමග පුද්ගල ආරක්ෂණ උපකරණ සමග පරීක්ෂණ ඒකක 200 ක්ද පරිත්‍යාග කර ඇත.

 මාර්තු 20 වන දින වැඩ බලන චීන තානාපති ඔහුගේ ආණ්ඩුව වෙනුවෙන් ශල්‍ය මුහුණු ආවරණ 10,000 ක් සහ පරීක්ෂණ ඒකක 20,000 ක් පොරොන්දු විය.

ඊට අමතරව සිංගප්පූරු ටෙමාසෙක් පදනම සෞඛ්‍ය බලධාරීන් වෙත පරීක්ෂණ ඒකක 5,000 ක් මාර්තු 22 වන දින පරිත්‍යාග කළේ ය. කෝවිඞ්-19 ආසාදන පරීක්ෂණ දෛනිකව විශාල සංඛ්‍යාවක් කළ යුතුව තිබියදී සෞඛ්‍ය බලධාරීන් ඊට අනුමැතිය නොදෙන්නේ යැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේය. මේවා සම්බන්ධ කිසිදු නිල පැහැදිලි කිරීම් නැත.



අගමැති ජාතිය අමතා කළ කතාවෙත් අවුලක් !

පසුගිය අප්‍රේල් 07 වන දින අගමැති මහින්ද රාජපක්ෂ ජාතිය අමතා කළ කතාවෙහිද අවුලක් තිබිණ. ඔහු රටට කියුවේ, කෝවිඞ්-19 ආසාදන මධ්‍යස්ථාන 40 ක් ආණ්ඩුව විසින් ස්ථාපිත කර ඇති බවකි. එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි සියලු තොරතුරු බැලුවද සොයා ගත හැක්කේ ආසාදන මධ්‍යස්ථාන 18 කි.

ඊට අමතරව තෝරාගත් විශේෂ පුද්ගල කාණ්ඩ සඳහා සුඛෝපභෝගී මධ්‍යස්ථාන තුන හතරක් තිබිය හැකිය. එහෙත් ඒ සියල්ල ගත්තද, මේ තොරතුරු අතර ඇති පරතරය පියවිය නොහැකිය.



සක්‍රීය එන්නතක් වෙළෙඳපොළට පැමිණෙන තෙක් ....

අපේ තත්ත්වය එසේ වූවත් අවිවාදිත මූලික කාරණාව නම්, සක්‍රීය එන්නතක් වෙළෙඳපොළට පැමිණෙන තෙක් කෝවිඞ්-19 වසංගතය සහමුලින් තුරන් කළ නොහැකි බවය. “කෝවිඞ්-19ට එරෙහි එන්නත් වර්ධනය සඳහා හවුල්වීම” මැයෙන් අප්‍රේල් 13 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ප්‍රසිද්ධ නිවේදනයෙන් ඔවුන් දන්වා තිබූයේ, “කෝවිඞ්-19 ට එරෙහි එන්නත් වර්ධනය කිරීම වෙනුවෙන් විවිධ ශක්තීන් සහිත විශේෂශඥ කණ්ඩායමක් සම්බන්ධීකරණය කරන්නේය” යන්නය.

විද්‍යාඥයින්, වෛද්‍ය විශේෂඥයින්, ආයෝජකයින් හා නිෂ්පාදකයින් ඇතුළත් මේ කණ්ඩායම, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ “සාමාන්‍ය භාවිතය සඳහා එන්නතක් වර්ධනය කිරීමට කාලයක් ගතවන අතර, අවසාන වශයෙන් මෙම ගෝලීය වසංගතය තුරන් කළ හැකි වන්නේද එන්නතක් මගින්ම විය හැකිය” යනුවෙනි.

එහි කියවෙන සැබෑ කතාව නම්, එන්නතක් වෙළෙඳපොළට එන තෙක් කෝවිඞ්-19 පැතිරීම පාලනය කර ගැනීම හැර වෙන විකල්පයක් නැති බවය.



“ඉවත්වීමේ මූලෝපායකට” මාරු විය යුතුය:

Immunity

සාමාන්‍ය ජීවිතයට ආසන්න වශයෙන් හෝ සමීප වන්නට කාලයත් සමග අවශ්‍ය වනවිට, කෝවිඞ්-19 පැතිරීම පාලනය කරගැනීමේ පිළිවෙතින් “ඉවත්වීමේ මූලෝපායකට” මාරු විය යුතුය.

ඒ සඳහා දැනට සාකච්ඡා වන මූලෝපායන් තුනෙන් දෙකක්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් ඉවතලන මූලෝපායන් ය.

1 -  ඉන් එකක් වනුයේ පුද්ගලයින්ගේ ස්වභාවික ප්‍රතිශක්තීකරණ වර්ධනය වෙනුවෙන් වෛරසයට පැතිර යාමට ඉඩදීමය. “රංචු ප්‍රතිශක්තිකරණ වර්ධනය” යැයි එය හඳුන්වනු ලැබේ. එහි ප්‍රතිඵලය වනුයේ මියයෑම් සමග සමාජයෙන් සියයට 30-40 ක් පමණ අතිශය බරපතළ අවදානමකට ගොදුරු කරමින් ඔරොත්තු නොදෙන පීඩනයක් හා බරක් සෞඛ්‍ය සේවාව මත පැටවීමය.

2 - දෙවැන්න පළමුවැන්නෙහි දිගුවකි. වයස අවුරුදු 60 ට වැඩි පිරිස් වෛරසයට ගොදුරුවීමේ වැඩි ඉඩක් ඇති හෙයින් ඔවුන්ව සහ විශේෂ රෝග තත්ත්වයන් නිසා ආසාදනයවීමේ ඉඩ ඇති දරුවන් හා වැඩිහිටියන් සමාජයෙන් ඉවත්කර අනෙක් වැඩිහිටියනට සාමාන්‍ය කටයුතුවල නිරත වන්නට ඉඩදීම මේ දෙවැනි මූලෝපාය වන්නේය. එයද “රංචු ප්‍රතිශක්තිකරණ වර්ධනයම” වන්නේය. එහි ප්‍රශ්නය වන්නේ වයස 16 ත් 60 ත් අතර කොපමණ මරණ සංඛ්‍යාවක් අනුමාන කෙරෙන්නේද යන්නය.

එයට පිළිතුරු දෙන මලයාසියාවේ විශේෂඥ වෛද්‍ය අමාර්-සිං සහ විශේෂඥ වෛද්‍ය ලිම් ස්වී අනුමාන කරන්නේ ඔවුන්ගේ සමාජයෙහි 50,000 ක් පමණ මිය යා හැකි යැයි කියා ය. (බෝර්නියෝ පෝස්ට් පුවත්පත /2020 මාර්තු 31) එබැවින් එහි අර්ථයක් නැතැයි ඔවුන්ගේ මතය වන්නේය.


3 - තෙවැන්න සඳහා පොදු ආකර්ෂණයක් ඇත. එහි මූලික කොන්දේසි වනුයේ,

(1) ඉතා දැඩි සමාජ (ශාරීරික) දුරස්ථකරණය නව ජීවන රටාව බවට පත්කර ගැනීම
(2) දෙඅත් නිතර සෝදා පිරිසිදු කර ගැනීම
(3) මුහුණු ආවරණ පැළඳීම පුරුද්දක් කරගැනීම
(4) කෝවිඞ්-19 ට ප්‍රතිචාර දැක්වීමේ ක්ෂණික පිරික්සුම් කණ්ඩායම් ප්‍රාදේශීයව ඇති කිරීම
(5) දෛනිකව විශාල සංඛ්‍යා පරීක්ෂා කිරීමේ හැකියාව වර්ධනය කිරීම හා එලෙසින් පරීක්ෂා කිරීම් ආරම්භ කිරීම
(6) ආසාදිත “සම්බන්ධතා” සෙවීම වේගවත් හා කාර්යක්ෂම කිරීම සමග ඒ වෙනුවෙන් නවීන තාක්ෂණ පහසුකම් යොදා ගැනීම
(7) රටට පැමිණෙන අමුත්තන් ගුවන් තොටුපළේදීම පූර්ණ පරීක්ෂාවකට බඳුන් කිරීම වේ.

මේවා සිදුකෙරෙන්නේ ප්‍රදේශ හෝ රට වශයෙන් වසා ගැනීමක් සමගය. අප ඇඳිරි නීතිය සමගින් 4-5-6 වැනි මූලික කාරණා හැර ඉතිරිය කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ සඳහා හෝ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් නොකර ය.



පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමේ කතාව !

දීමනා ගෙවීම් ගැටලුවක් නිසා ගුරුවරු ...දෙමාපියන් තම දරුවන් පාසල් යැවීම කල් තැබුවත් ගුරු පිරිස සේවා වාර්තා කිරීමට බැඳී සිටිති


පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා මැයි 11 වන දින නියම කෙරෙන කතාව එතැනින් පටන් ගන්නකි. එය හුදෙක් පාසල් හා විශ්වවිද්‍යාල සිසුනට සීමා වන්නක් නොවේ.

එවගේම ළාබාල තරුණයන්ට කෝවිඩි-19 ආසාදනයවීමේ ඉඩක් ඇත්තේ නැතැයි වැනි ඉතාම වැරදි උපකල්පනද ඇත. පාසල් විවෘත කිරීම යනු ළමුන් සම්බන්ධ කතාවක් පමණක් නොවේ.

එය මූලිකවම රජයේ පාසල් ගුරුවර ගුරුවරියන් 2,41,591 ක් සේවා වාර්තා කිරීමට කැඳවීමකි. දෙමාපියන් තම දරුවන් පාසල් යැවීම කල් තැබුවත් මේ ගුරු පිරිස සේවා වාර්තා කිරීමට බැඳී සිටිති.

දැනට වැඩි අවදානමක් ඇතැයි මාර්තු 24 වන දින සිට අඛණ්ඩව ඇඳිරි නීතිය පවත්වාගෙන යන බස්නාහිර පළාතේ පමණක් 46,000 ට ආසන්න ගුරු පිරිසක් ඇත. එලෙසින්ම අඛණ්ඩ ඇඳිරි නීතිය ඇති මහනුවර දිස්ත්‍රික්කයේ 17,500 ක්ද, යාපනය දිස්ත්‍රික්කයේ 9,000 ක් පමණද, පුත්තලම දිස්ත්‍රික්කයේ තවත් 8,000 ට වැඩියෙන්ද ගුරු පිරිස් ඇත.

පාසල් ආරම්භ කෙරෙනවා යැයි කියන්නේ ළමුන් හා ගුරුවරුන්ට සීමා වන්නක්ද නොවේ. විදුහල්පතිවරුන්ද ඇත. ලංකාව පුරා කලාප අධ්‍යාපන කාර්යාල ඇත. ඒවායේ සේවය කරන අධ්‍යාපන පරිපාලන සේවාවේ සහ විදුහල්පතිවරුන්ගේ සේවාව ගත් විට තවත් 20,000 ක් පමණ ඇත.



පාසල් ළමුන් ප්‍රවාහනය ?

ඒ සියල්ලන්ට අමතරව ගණන් නැති විශාල පිරිසක් සම්බන්ධ වන්නේ පාසල් ළමුන් ප්‍රවාහනයට ය. ඉන් වඩාත්ම කැපී පෙනෙන පිරිස වන්නේ මෙරට සියල්ලන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව කෙරෙන විශාලම වංචාව වන ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම හේතුවෙන් දුර ඈත ප්‍රදේශවල සිට නගරයේ ජනප්‍රිය පාසල් වෙත ළමුන් රැගෙන එන පාසල් සේවා වාහනවල රියැදුරන් සහ සහායකයින්ය.

කොළඹට පමණක් පිට ප්‍රදේශවල සිට එවැනි දරුවන් දහස් ගණනක් ප්‍රවාහනය කරන වාහන සිය ගණන් ඇත. ඊටත් අමතරව එවැනි ජනප්‍රිය පාසල් වෙත තම පෞද්ගලික වාහන මගින් දරුවන් ප්‍රවාහනය කරන දෙමාපියන්ද, පාන්දරින් පිටත්වන දරුවන්ගේ උදේ ආහාරය වෙනුවෙන් සැකසූ කෙටි ආහාර සපයන වෙළෙඳ ජාලයක්ද ඇත. එවැන්නක් නැතිව බොහෝ නාගරික දෙමාපියන්ට දරුවන් පාසල් යැවීමටද නොහැක.

එබැවින් පාසල් විවෘත කරනවා යැයි කියන්නේ ළමුන් පාසල් යැවීම පමණක්ම නොවන බැව් තේරුම්ගත යුතුය. එය කෝවිඞ්-19 පාලනය කිරීමේ මූලික ආරක්ෂණ පියවර කිහිපයම උල්ලංඝනයට හේතු වන්නකි. විශේෂයෙන්ම වෛරසය පාලනය කර ගැනීමේ පිළිවෙතින් “ඉවත්වීමේ මූලෝපායකට” මාරුවීමේදී අවධාරණය කෙරෙන “ඉතා දැඩි සමාජ (ශාරීරික) දුරස්ථකරණය නව ජීවන රටාව බවට පත්කර ගැනීම” සහමුලින් මෙන් බිඳ වැටෙන්නකි.

''පාසල් විවෘත කරනවා යැයි කියන්නේ ළමුන් පාසල් යැවීම පමණක්ම නොවන බැව් තේරුම්ගත යුතුය. එය කෝවිඞ්-19 පාලනය කිරීමේ මූලික ආරක්ෂණ පියවර කිහිපයම උල්ලංඝනයට හේතු වන්නකි. විශේෂයෙන්ම වෛරසය පාලනය කර ගැනීමේ පිළිවෙතින් “ඉවත්වීමේ මූලෝපායකට” මාරුවීමේදී අවධාරණය කෙරෙන “ඉතා දැඩි සමාජ (ශාරීරික) දුරස්ථකරණය නව ජීවන රටාව බවට පත්කර ගැනීම” සහමුලින් මෙන් බිඳ වැටෙන්නකි.''


දෙසතියක අනිවාර්ය නිරෝධායනය !

එලෙසින්ම, අලුතින් මුහුණ දෙන්නට සිදුව ඇති අතිශය බරපතළ කාරණය වී ඇත්තේ දෙසතියක අනිවාර්ය නිරෝධායනය කෙතරම් වලංගුද යන්නය. අපේ රටේම මේ වනවිට දින 14 ක නිරෝධායනය අවසන් කළ පසුද කෝවිඞ්-19 වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 02 කු සහ ආසාදනය වන්නට ඉඩ ඇතැයි සැලකූ 07 කු දින 21 ද ඉක්මවූ පසු ආසාදනය වී ඇත.

එවැනි ආසාදනයවීම් ගණනාවක්ම මේ වනවිට චීනය, දකුණු කොරියාව, හොංකොං, තායිවානය, ඉතාලිය වැනි රටවලින්ද වාර්තා වී ඇත. එබැවින් වයඹ හෙයිලොන්ජියැං ප්‍රාන්තයේ සුයිෆෙන්හෙ සහ හර්බින් නගරවලට රුසියාවේ සිට පැමිණෙන චීන ජාතිකයින්ට දින 28ක අනිවාර්ය නිරෝධායනයක් චීන ආණ්ඩුව විසින් පනවා ඇත.

 පසුගිය දිනෙක කෝවිඞ්-19 පාලනය කිරීමේ ප්‍රධාන වගකීම ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දින 21 ක නිරෝධායනයක් ගැන මාධ්‍යයට කීවේය.

එවැනි අතිශය සංකීර්ණ පසුබිමක මැයි 11 වන දින පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගනු ලැබූ තීන්දුවෙහි දැකිය හැකි වලංගු බවක් නැත. එනිසා ඒ සම්බන්ධව මැදිහත්වන්නට සිදුවන්නේ දෙගුරුන්ටය. ගුරු සංගම් නායකයින් සොයා ගැනීමට නොහැකි හෙයිනි.


කුසල් පෙරේරා
(ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

(උපුටා ගැනීම :  ravaya.lk - April 18, 2020 )


සබැඳි පුවත්

නව කොරෝනා වෛරසය - ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද? - විජයානන්ද ජයවීර

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා