“උසස් අධ්‍යාපනයට යන්නේ skills-සුත් දියුණු වෙච්ච, වැඩ ලෝකෙට අවශ්‍ය දේවල් දන්න ළමයෙක්.
අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනයේ තියෙන්න ඕනෙ..... university එකේ තියෙන්න ඕනෙ, advance learning එකක්...........හැමෝටම NVQ qualification එකක් හම්බ වෙනවා ඉස්කෝලේ අධ්‍යාපනය අවසන් වෙන කොට. කැමති නම් campus යන්නත් පුළුවන්. If you don't go to campus" මේක හම්බ වෙනවා නෙවෙයි. This will be the basic qualification everyone gets '''the NVQ-4. එතකොට ඒ ළමයා job ready. ඕනනං යන්න පුළුවන්. ඕනනං රැකියාවක් කරන ගමන් distance learning වලින් Open University එකේ vocational training, higher education යන්නත් පුළුවන්.....”
අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය -
මේ දිනවල අධ්‍යාපනය ගැන වැඩියෙන් කතා කරන්නට මා පෙළඹෙන්නේ, මේ රට යම් පමණකට හෝ යහපත් ශිෂ්ට රටක් බවට පත්කර ගන්නට නම්, සියල්ලට ප්‍රථම අධ්‍යාපනය ගොඩ දමා ගත යුතු යැයි මා තුල ඇති දැඩි විශ්වාසය වන්නේ ය.
මේ ලිපිය ආරම්භ කරමින් ඉහතින් උපුටා දක්වා ඇත්තේ අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මේ දිනවල නිරන්තරව ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව කරන පැහැදිලි කිරීමක, “රැකියාභිමුඛ” අධ්‍යාපනයක් සඳහා තබන අවධාරණය වේ.

ඇය කියන්නේ, ඇයගේ මූලිකත්වයෙන් සම්පාදනය කෙරුණු සහ 2026 සිට පළමු වසර හා 06 වන ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග, පාසලෙන් පිට වන ළමුන් සියල්ලන්ටම ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය පූර්ව අධ්‍යාපන සුදුසුකම ලෙස පිළිගනිමින් NVQ-4 සහතික ලබා දෙන හෙයින් ඔවුන්ට කුසලතා පුහුණුවක් ඇතිව රැකියා වලට යා හැකි යැයි කියා ය. ඔවුන්ට පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් කිරීමට, නැවත වෘත්තීය පුහුණුවකට යෑමට අවශ්‍ය නොවන බවය.

ඇය කියන NVQ-4 සහතිකය ලබා දෙන පාඨමාලා දැනට ඇත්තේ සීමිත ක්ෂේත්‍ර කිහිපයක පමණි. ඒවා රට පුරා රැකියා කළ හැකි, අසීමිත රැකියා අවස්ථා ලබා දෙන පාඨමාලා නොවේ. දැනට එම සහතිකය ලබා ගත හැකි පාඨමාලා කිහිපයක් වන්නේ විදුලිසංදේශ කාර්මික, රූපලාවන්‍ය, සුවසත්කාරක, වාහන වායු සමීකරණ කාර්මික, බේකරි වැඩ, විදුලි කාර්මික, පරිඝණක දෘශ්‍ය නිර්මාණකරණය (Graphic Designing) වැනි පාඨමාලා ය. එම පාඨමාලා උගන්වන ආයතන විසින් සකස්කර ගෙන ඇති අන්තර්ගතය අනුව, ඒවා ආයතනයෙන් ආයතනයට වෙනස් වන්නේය. නිදසුනක් ලෙස, පෞද්ගලික ආයතනයක රූපලාවන්‍ය පාඨමාලාවක සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පාඨමාලාව අතර වෙනස් මට්ටම් දෙකක් ඇත.
අනෙක් කාරණය නම්, NVQ-4 සහතිකය ලබා දෙන එවැනි පාඨමාලා ඉගැන්වීමට, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ සියලු පාඨමාලා වලට අදාල විෂය පථ සඳහා “තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ” පූර්ව අනුමැතිය ලබා සිටිය යුතුය. ඒ මූලික කාර්ය හෝ සිදුව නැති බව පැහැදිලිය. එයද සැළකිය යුතු කාලයක් වැය වන, රූපලාවන්‍ය ගුරුවරියකට විදුලි කාර්මික පුහුණුව සදහා පාඨමාලා හැදිය නොහැකි, සෑම පාඨමාලාවක් සඳහා වෙනම විශේෂඥ කණ්ඩායම් අවශ්‍යවන හර බර කාර්යකි. දෙවැන්න, එම පාඨමාලා ඉගැන්වීමට පිළිගත් සුදුසුකම් ඇති ගුරුවරුන් පාසල්වල සිටිය යුතුය. පාසල්වල එවැනි ශක්‍යතාවක් හැදීමට යන කාලය කොපමණද යන්නත් ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමට යන මුදලත් තවම ගණන් හදා නැතැයි මම කියමි.

මෙහි ඇති ලොකුම පරස්පරය සහ නොගැලපීම නම්, ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මල්ල යෝජනා කෙරෙන්නේ අවුරුදු 45 ට වැඩි කාලයක් අසාර්ථක වූ සහ උපතින්ම දූෂිත, විවෘත නැතිනම් නිදහස් වෙළදපල ආර්ථිකයක් සඳහා වීමය. විවෘත වෙළදපල ආර්ථික සැළසුම් නොකරන්නකි. න්‍යායිකව කියන්නේ, වෙළඳපලට ඉල්ලුම හා සැපයුම මත ක්‍රියාත්මක වන්නට ඉඩ තැබිය යුතු යැයි කියා ය.
එනිසා විවෘත වෙළඳපල ආර්ථිකයක වෙළද භාණ්ඩ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමේ සැළසුම් හැර වෙනත් කිසිවක් සැළසුම් කළ නොහැක. නියාමනය කළ නොහැක. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි රජයේ වගකීම් වාණිජකරණය කිරීමේ සැළසුම් මිස, ඒවා රාජ්‍ය සේවා ලෙස දියුණු කිරීමේ සැළසුම් මේ විවෘත වෙළදපල ආර්ථිකයෙහි ක්‍රියාත්මක කළ නොහැක. අවුරුදු 40 ට වැඩි විවෘත වෙළඳපල ආර්ථිකයේ ඉතිහාසය හරියට කියවා ගන්නේ නම්, එය තේරුම් ගත හැකිය.
මේ වැනි විවෘත වෙළඳපලක උත්පාදනය වන රැකියා සම්බන්ධ නිශ්චිත ගණන් හැදිල්ලක් කළ නොහැක්කේද ඒ නිසාම ය. ඉදිරි අවුරුදු 05 ක 06 ක කාලයේ වැඩියෙන්ම රැකියා උත්පාදනය වන ක්ෂේත්‍රය ගැන කිව හැක්කේ අනුමානයක් පමණි. එවැනි අනුමාන සඳහා පාසල් අධ්‍යාපනයෙහි රැකියාභිමුඛ පාඨමාලා සංවිධනය කළ නොහැක. පසුගිය කාලයේ තොරතුරු තාක්ෂණය ගැන තිබුණේ එවැනි අනුමානයකි. තොරතුරු තාක්ෂණයෙහි සීඝ්‍ර වර්ධනය සමග කුසලතා විභජනනයක් ඇති වූ අතර, එහි අලුත් විශේෂඥ කාණ්ඩද හැදින. ඒ කිසිත් අපට අපගේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුල කල් තබා සැළසුම් කිරීමට, කල් තබා නිශ්චිතව හඳුනාගත නොහැකි විය.
අපට කළ හැකි වූයේ තොරතුරු තාක්ෂණයෙහි ප්‍රාථමික දැනුම පාසල් විෂය මාලාවට ඇතුළුකර, එය රැකියාවකට වඩා පෞද්ගලික භාවිතය වෙනුවෙන් ඉගැන්වීමය. එයට ඇති බරපතලම සීමාව වන්නේ, තොරතුරු තාක්ෂණයේ මෘදුකාංග වර්ධනය වැනි ඉහළ දැනුමක් ලබා දිය හැකි ගුරුවරුන් දහක් දෙදාහක් වසරකින් දෙකකින් පුහුණු කර ගැනීමට ඇති බාධාවන්ට අමතරව, එවැනි වෘත්තිකයින් රජයේ ගුරු වැටුපට නොපැමිණීම ය.

අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, පාසලෙන් පිටවන සියලු ළමුන්ට NVQ-4 සහතික ලබා දීම ගැන කියන්නාවූ කතාවෙන්ම එය සනාථ කෙරෙන්නකි. ඔවුන්ට නැවත වෘත්තීය පුහුණුවකට නොගොසින් NVQ-4 සහතිකය මත රැකියාවකට යා හැකි යැයි ඇය කියන්නේ, ඒ ළමුන් “වැඩ ලෝකෙට අවශ්‍ය දේවල් දන්න” ළමයින් යැයි කීමෙනි. ඇය කියන “වැඩ ලෝකය” කුමක්ද? ඇය කියන “වැඩ ලෝකය” තාක්ෂණ ශිල්පීන්ගේ හා වෘත්තිකයින්ගේ වැඩ ලෝකය නොව, “අර්ධ පුහුණු” (semi-skilled) ශ්‍රමිකයින්ගේ ශ්‍රම වෙළද පලය. NVQ-4 සහතිකයෙන් ඉන් එහා රැකියාවකට සුදුසුකම් ලැබෙන්නේ නැත.
නැවතත් ප්‍රශ්නය මතු වන්නේ වාර්ෂිකව එවැනි රැකියා කොපමණ උත්පාදනය වන්නේද හා NVQ-4 සහතිකලාභී පාඨමාලා හැදෑරීම, ළමුන් හා පාසල් අතර බෙදී යන්නේ කෙසේද යන්නෙහි ය. උදාහරණයක් ගතහොත් සුවසත්කාරක, වාහන වායු සමීකරණ කාර්මික, බේකරි වැඩ සඳහා දිස්ත්‍රික්කයක් ඇතුළත උත්පාදනය වන පුරප්පාඩු සංඛ්‍යාව හා දිස්ත්‍රික්ක අතර ඒ පුරප්පාඩු බෙදී යාම ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිව අධ්‍යාපනය සැළසුම් කළ නොහැක. එවගේම, කොළඹ දිස්ත්‍රික්කයේ ළමුන් තෝරා ගන්නා පාඨමාලා, වන්නිකරයේ හා ගිරුවාපත්තුවේ ළමුන්ට තෝරා ගැනීමේ නිදහසක් හා හැකියාවක් තියේදැයි තවත් ප්‍රශ්නයකි.

එක් කාරණාවක් ඉතා පැහැදිලිය. හරිනි අමරසූරියත් ඇයගේ අධ්‍යාපන විශේෂඥයින් පිරිසත් "1972 නව අධ්‍යාපන ක්‍රමය" ගැන කිසිවක් දන්නේ නැත. පළමු වරට වෘත්තියාභිමුඛ පාඨමාලා පාසල් අධ්‍යාපනයට ඇතුළු කරනු ලැබුවේ 1972 නව අධ්‍යාපන ක්‍රමයෙහි ප්‍රතිසංස්කරණ සමගින් ය.
ප්‍රාග්-වෘත්තීය ලෙස ඉදිරිපත් කෙරුණු විෂය සමූහයෙන් එදා සමාජය දැන සිටි තාක්ෂණය මත කොළඹ පාසල් ළමුන් තෝරා ගත් වාහන අළුත්වැඩියාව, ගුවන් විදුලි සන්නිවේදනය, සබරගමුවේ හා ඌවේ ළමුන්ට තෝරා ගත නොහැකි විය. වාහන උපකරණ, ගුවන් විදුලි උපකරණ, අමතර කොටස් සොයා ගැනීමේ අපහසුවට වඩා, අදාල ශිල්ප දන්නා ගුරුවරුන් සොයා ගැනීම ලොකුම ප්‍රශ්නය වූයෙනි. ඊළඟට, තමන්ගේ දරුවන්ට එවැනි කාර්මික ශිල්ප ඉගැන්වීමට විශේෂයෙන් නාගරික මැදපංතික දෙමාපියන් විරුද්ධ වීම ය.
අවසන් වශයෙන් කිව යුත්තේ, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියත් ඇයගේ අධ්‍යාපන විශේෂඥයින් පිරිසත් ඉදිරිපත් කරන 2026 වසරේ සිට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කර ඇත්තේ අපගේ සමාජයට, අපගේ අනාගත පරම්පරාවන්ට සදාචාර සම්පන්න දියුණු සමාජයක් සදහා පදනම සැකසිය හැකි අධ්‍යාපනයක් නොවේ. ජා.මූ. අරමුදල හා ලෝක බැංකුව අවධාරණය කරන, විදේශ ආයෝජන සමග පුළුල් කිරීමට මේ මාලිමා ආණ්ඩුව සැළසුම් කෙරෙන අපනයන නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය වන්නේ යැයි අනුමාන කරන, “අර්ධ පුහුණු” ශ්‍රම බලකායක් හැදීමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිහිපයකි.

“අර්ධ පුහුණු” ශ්‍රම අතිරික්තයක් සිටීම, ජාවාරම්කාර ආයෝජකයින්ට වාසි ය. එවිට සේවක සේවිකාවන්ට වැටුප් හා වෙනත් දීමනා කේවල් කළ නොහැක. ශිල්පීය හා වෘත්තීය අධ්‍යාපනය පෞද්ගලික වෙළදපලට බාර කෙරුණකි. එය විශාල මුදල් අය කෙරෙන ව්‍යාපාරයක් වන හෙයින්, එමගින් ශිල්පීන් හා වෘත්තිකයින් අතිරික්තයක් හැදීම පාලනය වන්නකි. එබැවින් ඔවුන්ගේ ආදායම් පහත වැටෙන්නේද නැත.
සමාජ කතිකාවකට නොතබා, ලිඛිත කෙටුම්පත් නොමැතිව, පාර්ලිමේන්තුවටද ඉදිරිපත් නොකර, 2026 සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කෙරෙන මේ අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවුරුන් සඳහා දැයි තේරුම් ගැනීම, ඔබට දැන් අපහසු නොවිය යුතුය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
2025 ජූලි 16 වන දින






