කැරලයින් ජූරි නිදහස්; බුද්ධි අංශ හා පාස්කු ප්‍රහාර විමර්ශන ගැන දැඩි අවධානයක්.
විනිසුරු වැටුපට බදු අයකිරීම තහවුරු වෙයි; ප්‍රභූන් රැසකගේ නඩු දිනයන් යළි නියම කෙරේ.
මෙරට දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි දැඩි කතාබහට ලක්වූ ප්‍රමුඛ පෙළේ නඩුකර රැසක තීරණාත්මක නියෝග සහ ඉදිරි නඩු විභාග දිනයන් පසුගිය සතිය තුළ ප්‍රකාශයට පත් විය. මෙරට අධිකරණ පද්ධතිය හමුවේ ගොනු කර ඇති මූල්‍ය අපරාධ, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් මෙන්ම ජාතික ආරක්ෂාවට අදාළ නඩු විමර්ශන ගණනාවක් සම්බන්ධයෙන් විනිසුරු මඬුලු රැසක් විසින් නිකුත් කළ නියෝග මෙරට නීතිමය ක්ෂේත්‍රයේ දැඩි අවධානයකට ලක්ව තිබේ.
රූ රැජින කිරුළ ගැලවීමේ නඩුවෙන් කැරලයින් ජූරි නිදහස්

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති 'විවාහක ලෝක රූ රැජින' තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා තුවාල සිදුකළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේ හිටපු විවාහක ලෝක රූ රැජින කැරලයින් ජූරි සහ මෑතකදී අභාවප්‍රාප්ත වූ මෝස්තර ශිල්පිනී චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන බවයි.
පැමිණිල්ල විසින් නගන ලද චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු අතර, අභාවප්‍රාප්ත චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් ඇයගේ ඇපකාරිය අධිකරණයේ පෙනී සිටියාය.
පාස්කු විමර්ශන හා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පුළුල් විමර්ශනවලට අදාළව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ප්‍රහාරය පිළිබඳව පූර්ව තොරතුරු ලැබී තිබියදී ඇතැම් හමුදා බුද්ධි අංශ නිලධාරීන් එම තොරතුරු වසන් කර ඇති බවට බරපතළ කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය. මේ අතර හිටපු බුද්ධි නිලධාරී රංජන් සෙනරත් ට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම, රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුද නැද්ද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සැප්තැම්බර් 22 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබේ.
සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව නොවැම්බර් 27 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
විනිසුරුවරුන්ගේ වැටුපට බදු අය කිරීමේ නීතිමය තීන්දුව
මෙරට බදු සංශෝධන ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුවිශේෂී තීන්දුවක් ලබාදී තිබේ. ඒ අනුව, විනිසුරුවරුන්ගේ මාසික වැටුපෙන් උපයන විට ගෙවීමේ පෞද්ගලික ආදායම් බද්ද හෙවත් APIT (Advance Personal Income Tax) කපා ගැනීම අධිකරණ ස්වාධීනත්වයට හානියක් හෝ බාධාවක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. සාමාන්‍ය වැටුප් ලබන්නන් මෙන්ම ආදායම් උපයන ඕනෑම පුරවැසියෙකු රටේ සාමාන්‍ය බදු ක්‍රමයට යටත් විය යුතු බවට වූ නෛතික මූලධර්මය මෙමගින් තහවුරු විය.
ශානි සහ රවීගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට තීන්දුවක්

දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. හිටපු පොලිස්පති දේශබන්දු තෙණ්නකෝන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන අය විසින් මෙම අයිතිවාසිකම් කඩවීම සිදුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වේ.
ප්‍රභූ නඩුකර කිහිපයක ඉදිරි දින නියම වීම්
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා:
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ බිරිඳට අදාළ නඩුවක ඇපකරුවෙකු ලෙස පෙනී නොසිටීම හේතුවෙන් අරවින්ද ද සිල්වා ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණද, පසුව මෝසමක් මගින් කරුණු වාර්තා කර එම වරෙන්තු ආපසු කැඳවා ගැනීමට පියවර ගැනිණි.
වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ:
අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-Trial Conference) සඳහා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
රාජිත සේනාරත්න:
2012 මෝදර ධීවර වරාය බදු දීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වනදාට නියම කෙරිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු:
සුඛෝපභෝගී රථයක් ළඟ තබාගැනීමේ නඩුව විභාගය සඳහා ඔක්තෝබර් 28 වනදා කැඳවීමට නියම විය.
මන්ත්‍රී අර්චුනා රාමනාදන්:
රිය අනතුරක් හා පහරදීමේ සිද්ධියකට අදාළ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය නොවැම්බර් 10 දිනට කැඳවීමට නියම විය.
මන්ත්‍රී දිලිත් ජයවීර:
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 30 වනදා ප්‍රකාශයට පත් කෙරේ.
(සටහන | විනු කරුණාරත්න)







