1978 දී අලූතෙන් අපේ සමාජ සංවාදයට එක් වූ කාරණා දෙකක් තුබුණි. එකක්, රටේ ආර්ථීකය විවෘත වීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ.

දෙවැන්න, විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කිරීමයි.

1978 න් පසු ආසන්නතම ඉතිහාසය ගැන සොයා බැලූවොත් කෙනෙකුට පෙනී යන ප්‍රධාන දෙයක් තිබේ. එනම්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හැරුණු කොට රටේ සෙසු සියලූ දේශපාලනික සහ සමාජ බලවේග ජේ.ආර්. ගේ ජනාධිපති ක්‍රමයට මාරාන්තික විරෝධයක් දැක්වූ බවයි. එහිදී පෙරමුණේ සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ ඒසටනේ සිටියේය.

එපමණක් නොව, එදා ජනාධිපති ජේ. ආර්. ගේ අගමැතිවරයා වශයෙන් සිටි ආර්. ප්‍රේමදාස පවා වරක් කියා සිටියේ තමා පියන් කෙනෙකුගේ තත්වයට වැටී ඇති බවයි.

කාලය ගෙවී ගියේය. ජේ. ආර්. ජයවර්ධනගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පවා ඒ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුව ඇතැයි යන තීන්දුවට ආවේය. ඒ අනුව, 90 දශකය වන විට, මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ සියලූ දේශපාලන පක්ෂ, මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිටියේ එක මතයකයි.

2009යුද්ධය ජයගත්තේ ජනාධිපති ක්‍රමයක් පැවති නිසා ය යන මතයක් සමාජගත කෙරුණි.

ඒ එකඟත්වය වෙනස් වන්නට පටන්ගත්තේ යුද්ධයත් සමග ය. විශේෂයෙන් යුද්ධයේ නිමාවත් සමග ය. යුද්ධය ජයගත්තේ ජනාධිපති ක්‍රමයක් පැවති නිසා ය යන මතයක් ඉන් අනතුරුව යම් පිරිසක් විසින් සමාජගත කෙරුණි.

එය මුළුමනින්ම සාවද්‍ය මතයක් බව ඉතා දීර්ඝ වශයෙන් මේ කොලමේ මීට කලින් පෙන්වා දී තිබේ. ඒ කරුණු දැක්වීම සංක්ෂිප්තව දක්වතොත් මෙසේ ය:

#  යුද්ධය ජයගැනීම සහ විධායක ජනාධිපති ක්‍රමය අතර සහසම්බන්ධයක් ඇත්නම්, එවැනිම සහසම්බන්ධයක් යුද්ධය හටගැනීම සහ විධායක ජනාධිපති ක්‍රමය අතරත් තිබිය යුතුය.

මන්ද යත්, ඒ දෙකම සිදුවන්නේ, මේ කියන එකම ජනාධිපති ක්‍රමය යටතේම වන බැවිනි.

# දෙවැනුව, යුද්ධය ජයග්‍රහණය කෙළේ ජනාධිපති ක්‍රමයක් පැවති නිසා නම්, 1978 සිට 2009 දක්වා වන වසර 31 ක් වැනි දීර්ඝ කාලයක් ඒ සඳහා ගතවූයේ මන්ද යන්න පිළිතුරු නැති ප්‍රශ්නයක් වන්නේය.

 

ඇත්ත කතාව මේකයි:

ඇත්ත කතාව මේකයි. යුද්ධය ජයගැනීමත් සමගම, පෙර නොවූ විරූ පන්නයේ ජාතිකවාදයක් තුළ පවුල් පාලනයක් මෙරටේ ස්ථාපිත විය. පවුල් පාලනය යනු, එක පවුලේ කිහිප දෙනෙකු බලගතු තානාන්තර දැරීම පමණක්ම නොවේ. ඊට වඩා වැදගත් වන්නේ, බලය පිළිබඳ පරවේණිය හුදෙක් ලේ නෑකමකින් තීන්දු වීමයි.

ඇත්ත කතාව මේකයි. යුද්ධය ජයගැනීමත් සමගම, පෙර නොවූ විරූ පන්නයේ ජාතිකවාදයක් තුළ පවුල් පාලනයක් මෙරටේ ස්ථාපිත විය. පවුල් පාලනය යනු, එක පවුලේ කිහිප දෙනෙකු බලගතු තානාන්තර දැරීම පමණක්ම නොවේ. ඊට වඩා වැදගත් වන්නේ, බලය පිළිබඳ පරවේණිය හුදෙක් ලේ නෑකමකින් තීන්දු වීමයි.

දෙවරක් ජනාධිපති තනතුරට පත්ව සිටි මහින්ද රාජපක්ෂට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා, නැවත වරක් 2020 දී ජනාධිපති තරගයට ඉදිරිපත් වීමේ හැකියාවක් නොවුණි. ඒ  නිසා ඔහු වෙනුවට, එම පක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් කෙරුණි.

ගෝඨාභය යනු මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වූවත්, එය පවුල් පාලනයක් ඔප්පු කිරීමට උදාහරණයක්ද? අනිවාර්ය නැත.

ගෝඨාභය රාජපක්ෂ යුද්ධයේ අවසාන කාලයේ, එම යුද්ධයේ ජයග්‍රහණය සඳහා, මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාට අමතරව, තීරණාත්මක දායකත්වයක් සැපයූ කෙනෙකු බව පැහැදිලියි.

ඊට අමතරව, යුද ජයග්‍රහණය නිසාම දකුණේ ඇති වෙමින් තිබූ ප්‍රබෝධමත් ජාතිකවාදයක නිල නියෝජනයක් ඔහු හිමි කරගනිමින් සිටියේය.

Gotabaya 2009ගෝඨාභයට නාමයෝජනා ලැබීම හුදෙක් පවුල්වාදයේ ලක්ෂණයක් වශයෙන් සැලකීම අසීරු ය.

ඊටත් අමතරව, යහපාලනය තුළ ගොඩනැඟෙමින් තිබූ, මිනිසුන්ට එපා වෙමින් තිබූ එක්තරා අරාජකවාදී තත්වයක් පිළිසකර කළ හැකි පුද්ගලයෙකු බවට විශ්වාසයක් ජනිත කරන පෞරුෂයක් ඔහු වටා ගොඩනැඟෙමින්  තිබුණේය.

ඒ නිසා, එලැඹෙන ජනාධිපතිවරණයකින් ඒ පාර්ශ්වයෙන් ජයග්‍රහණය කිරීමේ වැඩිම හැකියාව ඇති පුද්ගලයා වශයෙන් ඒ  අවස්ථාවේ ඔහු කැපීපෙනුනි.

 ඒ සුදුසුකම්, ලේ නෑකමට උඩින්, ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුට තිබුණු බව මධ්‍යස්ථව බැලු විට කෙනෙකුට පෙනේ.

මේ නිසා, ඔහුට නාමයෝජනා ලැබීම හුදෙක් පවුල්වාදයේ ලක්ෂණයක් වශයෙන් සැලකීම අසීරු ය. හරියට, එක්සත් ජාතික පක්ෂයේ පැරැන්නන්ට උඩින් සරත් ෆොන්සේකා ජනාධිපති තනතුරට ඉදිරිපත් කිරීමට 2010 දී තීරණය කිරීම මෙනි.  

chamalR Nominationචමල් ජනාධිපති අපේක්ෂකයකු ලෙස: රාජපක්ෂ පවුල්වාදය පිළිබඳ බිඳහෙලිය නොහැකි සාක්ෂිය ...

එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ නාමයෝජනාව, ඒ දිනවල ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ගැන අභියාචනාධිකරණයේ පැවති නඩුවක් තුළින් නිෂ්ඵල වී යාමේ අවදානමක් පැනනැඟුනි. එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීම සහ නාමයෝජනා භාරගැනීමේ අවසාන දිනය වැටී තිබුණේ එකම දවසකටයි.

එබැවින්, යම් හෙයකින් ඔහුට අවාසිසහගත අයුරින් නඩු තීන්දුව ලැබුණොත් ය යන අඩමානය නිසා, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් වෙනත් කෙනෙකුගේ නමක් පොහොට්ටුවෙන් වහා ඉදිරිපත් කළ යුතු විය. එසේ ඉදිරිපත් කෙරුණු පුද්ගලයා කවුද? රාජපක්ෂ පවුලේ වැඩිමලා වූ චමල් රාජපක්ෂයි.

පොහොට්ටු පක්ෂයේ සභාපති වශයෙන් සිටි මහාචාර්ය ජී. ඇල්. පීරිස් හෝ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වශයෙන් සිටි, දීර්ඝ කාලීන දේශපාලනික අත්දැකීම් ඇති, දිනේෂ් ගුණවර්ධන හෝ නිමල් සිරිපාලද සිල්වා වැනි පුද්ගලයන් ඈත මායිමකින්වත් සලකා බැලූණේ නැත.

චමල් රාජපක්ෂගේ සුදුසුකම්, ඉහත කී ගෝඨාභයගේ සුදුසුකම් සමග සැසඳීමේදී අහසට පොළොව මෙනි. එසේ වූවත්, ලේ සම්බන්ධය බලගතු විය. බලය ආරක්ෂා කරගැනීමේ රාජපක්ෂ පවුල්වාදය පිළිබඳ බිඳහෙලිය නොහැකි සාක්ෂිය එයයි.

''ජේ. ආර්. ජයවර්ධන මේ ක්‍රමය ගෙනාවේ පවුල්වාදයක් රජ කරවීමට නොවන බව ඔහුට කරන ගෞරවයක් වශයෙන් කිව යුතුය. ඔහුට අවශ්‍ය කෙළේ, පාර්ලිමේන්තුවට වගනොකියන, හිතුවක්කාර පුද්ගල අධිකාරී ක්‍රමයකි. එය, ප්‍රංශයේ වර්තමාන ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කරගත් චාල්ස් ඩිගෝල්ට සමාන තත්වයකි.''

ජේ. ආර්. ජයවර්ධන මේ ක්‍රමය ගෙනාවේ පවුල්වාදයක් රජ කරවීමට නොවන බව ඔහුට කරන ගෞරවයක් වශයෙන් කිව යුතුය. ඔහුට අවශ්‍ය කෙළේ, පාර්ලිමේන්තුවට වගනොකියන, හිතුවක්කාර පුද්ගල අධිකාරී ක්‍රමයකි. එය, ප්‍රංශයේ වර්තමාන ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කරගත් චාල්ස් ඩිගෝල්ට සමාන තත්වයකි.

(එවැනි පාලන ක්‍රමයක්  ජේ. ආර්. ට අවශ්‍ය කෙළේ මන්ද යන්න වෙනම දේශපාලනික කතාවක් නිසා ඒ ගැන කතා කිරීමට මෙය ස්ථානය නොවේ). කෙසේ වෙතත්, යුද්ධයක් ජයගැනීමේ කීර්තිය මත, මෙවැනි ක්‍රමයක් තුළ පවුල්වාදයක් ස්ථාපිත විය හැකි බව ජේ. ආර්. එදා දැන සිටින්නට නැතිව ඇති.

අප අද කතා කරන අවුලේ මූලය ඇත්තේ, 19 වැනි සංශෝධනය තුළ නොවන බවත්, එය උපන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමයෙන්ම බවත් පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

''අප අද කතා කරන අවුලේ මූලය ඇත්තේ, 19 වැනි සංශෝධනය තුළ නොවන බවත්, එය උපන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමයෙන්ම බවත් පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි. ''

19 වැනි සංශෝධනයේ කිසි අවුලක් නැතැයි මෙයින් නොකියැවෙයි. 19 තුළ ඇති අවුල වන්නේ, තුවාලයට නිසි ප්‍රතිකාර නොකර, ඛෙහෙත් පැලැස්තරයකින් තුවාලය සුව කිරීමට බැලීමයි. එය, සද්භාවය පිළිබඳව හෝ රාජපක්ෂලාට විරුද්ධ කුමන්ත්‍රණයක් පිළිබඳව හෝ කාරණයක් නොවේ.

 

''විධායක ජනාධිපති ක්‍රමයේ ඇමරිකානු නිර්මාතෘවරුන්ගේ අභිප්‍රාය ..''

විධායක ජනාධිපති ක්‍රමය පවතින රටවල, ජනතා ස්වෛරීත්වය අභ්‍යාස කෙරෙන ඡන්ද දෙකක් පැවැත්වෙයි. එකක්, ජනාධිපතිවරණයයි. අනික, පාර්ලිමේන්තු ඡන්දයයි. 


මේ ආයතන දෙක, එනම් විධායක ජනාධිපති තනතුර සහ පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) එකකට එකක් පසමිතුරු ආයතන දෙකක් නොව, අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා වෙත යැපෙන සහ එකිනෙකාගෙන් තුලනය වන ආයතන දෙකක් විය යුතු බව, විධායක ජනාධිපති ක්‍රමයේ ඇමරිකානු නිර්මාතෘවරුන්ගේ අභිප්‍රාය විය.

විධායකය කී පමණින් අපේ හිසට එන්නේ ජනාධිපතිවරයා ය. නැත, කැබිනට් මණ්ඩලයත් ඒ විධායකයට අයත් වෙයි. ලංකාව වැනි විධායක ජනාධිපති ක්‍රමයක් ඇති රටක, ඒ කැබිනට් මණ්ඩලය තෝරාගැනෙන්නේ පාර්ලිමේන්තුවෙනි. එනම්, විධායකය තුළ ව්‍යවස්ථාදායකයත් නියෝජනය වන බවයි.

ඊටත් අමතරව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අපේ ව්‍යවස්ථාවේ දැක්වෙයි. එහෙත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට වගකිව යුතු බවක් එහි නොදැක්වෙයි. එනම්, මේ ආයතන දෙක අතරින් (විධායකය සහ ව්‍යවස්ථාදායකය අතරින්) පාර්ලිමේන්තුව උත්තරීතර වන බවයි.

''ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අපේ ව්‍යවස්ථාවේ දැක්වෙයි. එහෙත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට වගකිව යුතු බවක් එහි නොදැක්වෙයි. එනම්, මේ ආයතන දෙක අතරින් (විධායකය සහ ව්‍යවස්ථාදායකය අතරින්) පාර්ලිමේන්තුව උත්තරීතර වන බවයි.''

එසේ වෙතත්, මේ ආයතන දෙක සඳහා වෙනම ඡන්ද විමසීම් දෙකක් පවතින සෑම රටකම, ජනාධිපතිවරයාගේ පක්ෂය, පාර්ලිමේන්තුව තුළ බහුතරය බවට පත් නොවන සෑම අවස්ථාවකම, ඒ පාර්ශ්ව දෙක අතරේ ගැටුමක් හටගනී.

Jacques Chirac François Mitterrandප්‍රන්ශුවා මිතරොං හා  ජැක් ෂිරාක් ප්‍රංශ ජනාධිපතිවරුන් ..

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ නිදර්ශනාත්මක දියුණු රටවල් දෙකක් වශයෙන් ගැනෙන ඇමරිකා එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ පවා, ඒ විදිහට ආයතන දෙකේ බලය ප්‍රතිපාර්ශ්ව දෙකකට හිමිව ඇති අවස්ථාවල, එම ගැටුම දකින්ට ලැබුණි.

අපේ ක්‍රමය වඩාත් කිට්ටු වන්නේ ප්‍රංශයටයි. එහි ජනාධිපති ප්‍රන්ශුවා මිතරොං යටතේ දෙවරක්ද (1986-88 සහ 1993-95), ජැක් ෂිරාක් ජනාධිපතිවරයා යටතේ එක් වරක්ද (1997-2002) ජනාධිපතිවරයාගෙන් වෙනස් ප්‍රතිපාර්ශ්වයකට පාර්ලිමේන්තු බලය ලැබී තිබුණි.

මේවා හැඳින්වුණේ 'සහවාස' වකවානු වශයෙනි. ඒ කාල වකවානු, මේ ආයතන දෙක අතරේ ගැටුම් පැවති වකවානු වශයෙන් සටහන්ව ඇත.  

ඒ නිසා, ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ගැටුමේ, නැත්නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමේ මූලාශ්‍රය වන්නේ, ඒ දෙන්නා හෝ ඒ ආයතන දෙක සඳහා වෙනම ඡන්ද දෙකක් පැවැත්වීමය යන්න, පැහැදිලිව පෙනෙන්ට ඇති කාරණයකි.

ලංකාව සම්බන්ධයෙන් ගත් විට, ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තු බහුතරය එකම පක්ෂයකට අයත් වූ ජේ. ආර්. ජයවර්ධනගේ හෝ ආර්. ප්‍රේමදාසගේ කාලයේදී මෙය ප්‍රශ්නයක් නොවුණි. (ලලිත් ඇතුලත්මුදලි/ගාමිණි දිසානායක කැරැල්ලට ඇත්තේ වෙනත් මානයකි).

මන්ද යත්, ඒ හැම අවස්ථාවකම ජනාධිපතිවරයාගේ පක්ෂයම පාර්ලිමේන්තුවේ බහුතරයත් වූ බැවිනි. එහෙත්, 2002 දී, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වශයෙන් සිටියදී පාර්ලිමේන්තුවේ වැඩි බලය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට ලැබුණු අවස්ථාවේ ඒ ගැටුම අපට දක්නට ලැබුණි.

අනතුරුව, මහින්ද රාජපක්ෂගේ ජනාධිපති කාලය තුළ (2005-2015) පාර්ලිමේන්තු බලයත් ඔහුගේ පාර්ශ්වය සතු වූ නිසා එවැනි ගැටුම්කාරී තත්වයක් ආයතන දෙක අතරේ ඇති නොවුනි.

Maithri ranilජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති රනිල්ගේ බලය යටතේ පැවති පාර්ලිමේන්තුව අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.

එහෙත් නැවත වරක්, 2015 න් පසු, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ බලය යටතේ පැවති පාර්ලිමේන්තුව අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.

දැන් කෙනෙකු ප්‍රශ්නයක් මතු කළ හැකිය. මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ධුරයට පත්වුණේත්, අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බලයට පත්වුණේත් එකම සභාගයකින් නිසා, ඒ දෙන්නා වෙනම ඡන්දයකින් බලය ලබාගෙන තිබීම ප්‍රශ්නයක් වුණේ කෙසේද යන්නයි.

මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත, ඔහු විසින් ජනාධිපතිවරණයේදී පරාජයට පත්කොට තිබූ රාජපක්ෂ සන්ධානය සමග, පළමුව රහසින්ද පසුව ප්‍රසිද්ධියේමද, අන්‍යොන්‍ය හැඳිනීමක් ඇති කරගත් බව කවුරුත් දනිති.

සම්භාව්‍ය ක්‍රමයට වෙනස්ව මෙහිදී සිදුවුණේ, ජනාධිපතිවරයා බලයට ගෙනා ඡන්දදායකයාගෙන් ඉවත් වී, තමන් විසින් පරාජයට පත්කරන ලද ඡන්දදායකයාගේ ජනාධිපතිවරයා බවට මෛත්‍රීපාල සිරිසේන පත්වීමයි.

''සම්භාව්‍ය ක්‍රමයට වෙනස්ව මෙහිදී සිදුවුණේ, ජනාධිපතිවරයා බලයට ගෙනා ඡන්දදායකයාගෙන් ඉවත් වී, තමන් විසින් පරාජයට පත්කරන ලද ඡන්දදායකයාගේ ජනාධිපතිවරයා බවට මෛත්‍රීපාල සිරිසේන පත්වීමයි. ''

දැන්, මා මුලින් කී සමීකරණයට නැවත වරක් අප පැමිණ ඇත. එනම්, ඒ තත්වය (2015 න් පසු තත්වය) සමාන වන්නේ, ජනාධිපතිවරයාගේ මතවාදයට වෙනස් මතවාදයක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් බලයේ සිටීම යන කාරණයටයි.

මෙයින් පෙනී යන සත්‍යය වන්නේ, ජනාධිපතිවරයා තෝරාගැනීමට එක ඡන්දයක්ද, පාර්ලිමේන්තුව තෝරාගැනීමට තවත් ඡන්දයක්ද සහිත පාලන ක්‍රමයක් පවතින ඕනෑම රටක, විධායකය (ජනාධිපති) සහ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) එකම පක්ෂයක බලයකින් සමන්විත නොවන ඕනෑම අවස්ථාවක, විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය හැකි බවයි.

එසේ වන්නේ, හුදෙක් පුද්ගලයන්ගේ වරදින් නොව. (මෛත්‍රීපාල සිරිසේන වැන්නන් සම්බන්ධයෙන් එයද වැදගත් සාධකයක් වුණු බව ඇත්ත).  සත්තකින්ම ප්‍රශ්නය ඇත්තේ, ස්වෛරී බලය පිළිබඳ අයිතිය තුළ ය.

2015සත්තකින්ම ප්‍රශ්නය ඇත්තේ, ස්වෛරී බලය පිළිබඳ අයිතිය තුළ ය.

මෛත්‍රීපාල සිරිසේනවම උදාහරණයට ගතහොත්, 2015 දී ඔහුට ලැබුණු ඡන්ද හැට දෙලක්ෂයේ 'ස්වෛරී' අයිතිය තමාගේ යැයි ඈතින් හෝ කියාගැනීමේ හැකියාවක් ඔහුට තිබුණි.

අනිත් අතට, ඊළඟ අගෝස්තු මහ මැතිවරණයෙන් ඡන්ද පනස් දෙලක්ෂයක් ලබාගත් 'යහපාලන' සන්ධානයටත්, පාර්ලිමේන්තුවේ 'ස්වෛරී' අයිතිය තමන්ගේ යැයි කියාගැනීමේ සෑම හැකියාවක්ම තිබුණි.

 ඇත්ත වශයෙන්ම, 2015 ජනාධිපතිවරණයේදී 'යහපාලන' වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටි ඉතිරි පාර්ශ්ව දෙක වන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ වසරේ අගෝස්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයත් ඊට එකතු කළ විට, එය සිරිසේන 2015 ජනවාරියේ ලබාගත් ඡන්ද ප්‍රමාණයට සම විය.

ඉතිං, මෙතැන එක හා සමාන 'ස්වෛරී අයිතීන්' දෙකක් තිබේ. බලය උපදවන උල්පත් දෙකක් ඇති විට, ඇතැම් තත්වයන් යටතේ, ඒ බලය තුළ ගැටුමක් ඇති වීම අනිවාර්ය වන්නේය. (ඉතිරි කොටස ඉදිරි සතියට)

(ගාමිණි වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

subscribeYT

නවතම පුවත්