මෙරට කම්කරු ව්‍යාපාරයේ  කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සනිටුහන් වන බාලා තම්පෝ සහෝදරයාගේ හයවෙනි අනුස්මරණය  ඉකුත් සැප්තැම්බර් පළමු වෙනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු නායකත්වය

හෙබවූ ලංකා වෙළඳ  කර්මාන්ත හා පොදු සේවක සංගම් මුලස්ථානයේදී පැවති සමරුවේදී මේ දින වල කථා බහට ලක්වෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු බවක් දක්නට ලැබිණි. 

1978 දී ජේ.ආර්  ජයවර්ධන ආණ්ඩුව  විධායක බලතල සහිත මෙම ව්‍යවස්ථාව හදුන්වා දීමේදී වෘත්තීය සමිතියක් ලෙස බාලා තම්පෝ ප්‍රමුඛ ලංකා වෙළඳ  කර්මාන්ත පොදු සේවක සංගමය දැක්වූ  විරෝධය ඉහළින්ම සනිටුහන් කළ බවත් එතැන් පටන් අද දක්වාම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රමුඛ ජේ. ආර්ගේ  ව්‍යවස්ථාවට එම වෘත්තීය සමිතිය සිය ප්‍රතිපත්තියක් ලෙසින් විරෝධය දක්වන බවත් මෙහිදී අවධාරණය කෙරිණි. 


Bala
1978 දී ජේ.ආර් විධායක බලතල සහිත ව්‍යවස්ථාව හදුන්වා දීමේදී බාලා තම්පෝ ප්‍රමුඛ ලංකා වෙළඳ  කර්මාන්ත පොදු සේවක සංගමය දැක්වූ  විරෝධය ඉහළින්ම සනිටුහන්විය. 

එහෙත් ඒ ගැන විමර්ශනයේදී අද එම වෘත්තීය සමිතියේ සාමාජිකත්වයට පමණක්  නොව සමස්ත කම්කරු  ව්‍යාපාරයම තුළ විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි විරෝධයක් හෝ ඒ සඳහා විටින් විට ගෙන එනු  ලබන සංශෝධන කෙරෙහිවත් දැනුවත් බවත් තියේ යැයි සැක සහිතය. 

 ලලිත්- ගාමිණී වෙඩි මුරය:

විධායක ජනාධිපතිධුරයේ කෘරත්වය  කෙසේද යන්න මෙරට කම්කරු ව්‍යාපාරය 1980  ජුලි වැඩවර්ජනයේදී  මනාව අත් විඳි බවට සැකයක් නොමැත. 

ඉන්පසු පැනනැගී කම්කරු හා සමාජ අරගලවලදීද මේ අසීමිත බලතල සහිත විධායක ජනාධිපතිධුරයේ පල විපාක ඔව්හු අත්දුටුහ.  

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී විධායක ජනාධිපති සතුවූ අසීමිත බලතල වලට එරෙහිව පළමු වෙඩිල්ල පුපුරා ගියේ ඔහුගේම පක්‍ෂ සගයන්වූ ලලිත් -ගාමිණි ඇතුළු පිරිසගේ බිඳීයාම මගිනි. 

ඉන්පසු විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම මැතිවරණ දේශපාලනයේ ප්‍රමුඛතම සටන් පාඨයක් විය. 

1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංගත් ඇගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ගාමිණී දිසානායකත් සිය මැතිවරණ වේදිකාවේ සපථ කර සිටියේ මේ අසීමිත බලතල හිමි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය. 

චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඒ පිළිබඳව ලිඛිත පොරොන්දුවක් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ජනාධිපති  අපේක්ෂකයා වූ ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති වෙත ලබා දුන්නාය. 



CBK 12චන්ද්‍රිකා විසින් ලිඛිත පොරොන්දුවක් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ජනාධිපති  අපේක්ෂකයා වූ ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති වෙත ලබා දුන්නාය. 

එහෙත්  මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඇය එම පොරොන්දුව ඉවත දැමුවාය. 

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ජාතික ප්‍රශ්නයට විසදුම් පෙරට දමා සියලු විධායක බලතල  අගමැතිවරයා වෙත පැවරූ  තව දුරටත් බලයේ සිටීමේ ඇගේ උත්සහාය පරාජය වුයේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා සෙසු  සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයන්ගේ විරෝධය හමුවේය.

''නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ජාතික ප්‍රශ්නයට විසදුම් පෙරට දමා සියලු විධායක බලතල  අගමැතිවරයා වෙත පැවරූ  තව දුරටත් බලයේ සිටීමේ ඇගේ උත්සහාය පරාජය වුයේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා සෙසු  සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයන්ගේ විරෝධය හමුවේය.''

 ඉන්පසුව ද විධායක ජනධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය දේශපාලන  වේදිකාවේ මතු වුවද  එය යටපත් වුයේ දෙමළ ඊලාම් අරගලයට එරෙහිව දියත් කෙරුණු යුද ප්‍රහාරයන් හේතුවෙනි. 

යුද්ධය ඉදිරියට කරගෙන යාමට නම්  විධායකය සතු බලතල ප්‍රයෝජනවත් බව බලයේ සිටියවුන් පමණක් නොව  විධායකය හදුන්වාදීමේදී ඊට එරෙහි වූ වාමාංශිකයන්  ඇතුළු  සෙසු  ආණ්ඩු විරෝධීන් ද කියන්නට විය. 

ජනපති බලතල කප්පාදුව :

යළිත් විධායක ජනාධිපති සතු බලතල පිලිබඳ කතාබහක් වුයේ යුද්ධය අවසන්ව, ඇරඹි  මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේදීය.

ජනාධිපති සතු මෙකී අසීමිත බලතල හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා අධිකරණය වෙත වූ බලපෑම් ද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ එතෙක් ජනාධිපති ධුර කාලය දෙවරකින් අවසන් වන්නට නියමිතව තිබු නියමයන් වෙනස් කරමින් තෙවැනි ධූර කාලයක් දක්වා යෑමට හැකි පරිදි නීති සැකසීම  හේතුවිය. 

පැන නැගි විරෝධයේ ප්‍රථිපලයක් ලෙසින් බලයට පැමිණි රනිල් - මෛත්‍රී හවුල් පාලනයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් අගමැති ට හා පාර්ලිමේන්තුවට බලතල හිමිවෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමය. 

Ranil maithriඑහි අතර මැද පියවරක් ලෙසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිධුරය සතු අසීමිත බලතල කප්පාදු කළේය. 

එතෙක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කෙරෙන්නට යෙදුණු මැතිවරණ, රාජ්‍ය සේවා, අධිකරණ, පොලිස්  ආදී කොමිෂන් සභාවල වගකීම පාර්ලිමේන්තුවට පැවරිණි.  

ජනාධිපතිගේ ධුර කාලය වසර පහකට සීමා කෙරුණු අතර වසරක කාලයකින් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ද අහෝසි වී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළ යම් තුලනයක් ඇති විය.

20 වැනි සංශෝධනය :

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සතු ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගෙන එනු ලබන 20 වැනි සංශෝධනය මගින් යළිත් ස්ථාපිත කෙරෙනුයේ 2015 ට පෙර පැවති අසීමිත බලයක් හිමි ජනාධිපතිධුරයක් සඳහාය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සතු ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගෙන එනු ලබන 20 වැනි සංශෝධනය මගින් යළිත් ස්ථාපිත කෙරෙනුයේ 2015 ට පෙර පැවති අසීමිත බලයක් හිමි ජනාධිපතිධුරයක් සඳහාය.

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරනු ලැබූ යම් බල  තුලනයක් වේ නම් එය යළිත් 20 වැනි සංශෝධනය ඔස්සේ එක් පුද්ගලයෙක් අත කේන්ද්‍ර වනු ඇත. 

මෙරට  වැඩකරන ජනතාව ඇතුළු බහුතරයක් වූ ජනයා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අසුනට ඔසවා තබන්නෙත්, මහ මැතිවරණයෙන් ඔහුගේ පාර්ශවයට තුනෙන්  දෙකේ බලයක් ලබා දෙන්නේත්,  නීතිය හා සාමය අකුරට ක්‍රියාත්මක කරමින් විනය ගරුක සමාජයක් ස්ථාපිත කරනු ඇතැයි යන පුර්ණ විශ්වාසය මතය. 

20130213 SecretaryDefence51Division 5           දෙමල ඊළාම් අරගලය යුධමය වශයෙන් පරාජය කිරීමේ යුධ වීරයා ලෙසින්...

දෙමල ඊළාම් අරගලය යුධමය වශයෙන් පරාජය කිරීමේ යුධ වීරයා ලෙසින් රටවටා යමින් “වියත් මග” නම්  ඔහුගේම වූ ව්‍යාපාරයක් ගොඩ නැගුවේ ඇතැම් වෘත්තිකයන් හා බහුතරයක් වූ සන්නද්ධ හමුදා නිලධාරීන්ගෙන්  සමන්විතවය. 

ජනාධිපති රාජපක්ෂ කිසිදු දේශපාලන පක්ෂයක් සෘජුව නියෝජනය නොකරයි. මෙතෙක් විධායක ජනාධිපතිධුරය  අන්තනෝමතිකව හෙබවූ එහි  නිර්මාපකයා ද වූ ජේ.ආර් ජයවර්ධන මෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයන්  තුළ අත්දැකීම් විරළ ඔහුට මිලිටරිමය නිලධාරියෙකු සතු විනය හා වැඩ රටාව සිවිල් හා ප්‍රජාත්නත්‍රවාදී ව්‍යුහයන් තුල වැඩ කිරීමේදී කෙතරම් දුරට බලපානු ඇත්දැයි මේ මෙහොතේ විනිශ්චය කළ නොහැකිය.  

එහෙත්  පුද්ගලයා කෙතරම් යහපත් වුවද ඔහුට අසීමිත බලයක් ඒක රාශි වීම තුළ අගතිගාමී බොහෝ දේ සිදුවිය හැකි  බව කළාපීයව මෙන්ම ජාත්‍යන්තරව ද ඕනෑ තරම් නිදසුන්  සොයා  ගත හැකිය.  

කම්කරු  ව්‍යාපාරය:

20 වැනි  සංශෝධනය ඔස්සේ එක් පුද්ගලයෙක් වෙත කේන්ද්‍ර වන බලය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ තත්වයක් විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති කොමිෂන් බවට පත් වීම ගැන වත් ප්‍රජාත්නත්‍රවාදය අගයන කොටස් වල අවධානය යොමු විය යුතුය. 

විධායක ජනාධිපතිධුරය ගෙන එන විට ඊට විරෝධය දැක්වූ ලිබරල් වාදීන්, මාක්ස්වාදීන්, ලෙනින්වාදීන්, ස්ටලින්වාදීන්, ට්‍රොස්කිවාදීන්, මාඕවාදීන්, චේගවෙරාවාදීන් ඇතුළු සියල්ලම අද නිහඬය. 

බොහෝ අවස්ථාවාදීන් විධායකයේ බලය කප්පාදු කෙරුණු 19 වැනි සංශෝධනයටත් දෑත් ඔසවා විධායකයේ බලය  යළි ස්ථාපිත කෙරෙන 20 වැනි සංශෝධනය ටත් දෑත් ඔසවති. 

''බොහෝ අවස්ථාවාදීන් විධායකයේ බලය කප්පාදු කෙරුණු 19 වැනි සංශෝධනයටත් දෑත් ඔසවා විධායකයේ බලය  යළි ස්ථාපිත කෙරෙන 20 වැනි සංශෝධනය ටත් දෑත් ඔසවති. ''

මේ  අතර  කම්කරුවන්ට බලපාන සේවක අර්ථ සාධක පනත ඇතුළු පනත් පහක් සංශෝධනය කරන බව පසුගිය දිනෙක කම්කරු ඇමති වරයා  ප්‍රකාශ කර තිබුණි. 

සංශෝධනය ගැන වැඩි විස්තර සදහන් කර නොතිබුන ද පසුගිය  රජය මගින්  ආයෝජකයන්ට හා හිමිකරුවන්ට  වාසි සහගත ලෙස කම්කරු පනත් සංශෝධනය කරමින් නව කම්කරු පනතක් ගෙන එන්නට දැරූ උත්සහාය හකුලා ගනු ලැබුවේ කම්කරු විරෝධය හමුවේය. 

මේ ඒකරාශී වන බලය හමුවේ නව ආණ්ඩුව යටතේත් එම පනත යළි නොඑනු ඇතැයි විශ්වාස කළ නොහැක. 

එබැවින්  වැඩ කරන ජනතාව ලෙස  මෙරට කම්කරු ව්‍යාපාරය 20 වැනි සංශෝධනය ඔස්සේ දිග ඇදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ  බිඳ වැටීම කෙරෙහි පුළුල් විරෝධයක් නොදැක්වුවත්, ඒ පිළිබඳව සමාජය තුල, කම්කරු ව්‍යාපාරය තුල පුළුල් කතිකාවක් ගොඩනැගීම මේ  මොහොතේ වැදගත් වනු ඇත. 

ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය යළිත් ඉහලින් ඔසවා තබන්නට හැකිය.  

ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ එවන් සංවාදයක් වැඩ කරන ජනයාගේ දේශපාලන පක්ෂ පිහිටුවීමේ අවස්ථාවාදීන්ගේ රංචු ගැසීම් වලට වඩා කම්කරු ව්‍යාපාරයට ප්‍රයෝජනවත්ය. 


(ඉෂංඛා  සිංහආරච්චි)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

subscribeYT

නවතම පුවත්