leader s

*බුද්ධි මට්ටමේ අඩුවක් නොව මොළයේ ක්‍රියාකාරිත්වය හා බැඳුණු ස්නායු සංවර්ධන අබලතාවයක නීතිමය හා සමාජීය විග්‍රහය

*විභාග කඩුලු පැනීමේ "කෘතිම උත්තේජන" ක්‍රමවේද සහ දරුවන් මුහුණදෙන සැබෑ අධ්‍යාපනික අභියෝගය

 

කුඩා ගණිත ගැටලුවක්වත් විසඳාගත නොහැකි දරුවා “මෝඩයෙක්” යැයි හුදකලා කර මුද්‍රා තැබීමේ අසාධාරණ ජන සම්මතය අදටත් අප සමාජයේ ගැඹුරින් මුල් බැස තිබේ. අතීතයේදී මෙම තත්ත්වය කෙතරම් බරපතල ලෙස පැවැතියේ ද යත්, යන්තම් හයක් හතරක් තේරෙන දා සිටම බොහෝ දරුවන්ට මෙන්ම මට ද ඒ “මෝඩ ලේබලය” නොමසුරුව ඇලවිණි. පන්තියේ අන් ළමයින් වේගයෙන් ගණන් හදන විට මා වටපිට බලමින්, ඇඟිලි ගණිමින් සිටීම, ගුණ කිරීමේ වගු මතක තබා ගැනීමට නොහැකි වීම, කාලය සහ මුදල් භාවිතය පිළිබඳ අවබෝධයේ තිබූ අපහසුව – මේ සියල්ල මගේ මෝඩකමක්, උත්සාහයේ අඩුවක් හෝ කම්මැලිකමක් ලෙස දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම මුළු සමාජයම වටහා ගත්හ. සාමාන්‍ය ගණිත ගැටලුවක් කෙරෙහි පවා මනස යොමු කිරීමට උත්සාහ කරන විට, පරිගණකයක අධික වැඩප්‍රමාණයක් (Heavy workload) සිදු වන විට එහි RAM එක රත් වන්නාක් මෙන් මගේ හිසට මහත් බර ගතියක් සහ හිසරදයක් දැනුණු අතර, එය මගේ ඉනික්බිති දෛනික කටයුතුවලට ද විශාල බාධාවක් විය. අදට ද එම තත්ත්වය යම් තාක් දුරට පවතී. 

ruler calculator 2023

 

ඒ කෙසේ හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් වීම නිසා උසස් පෙළ හැදෑරීමට මට ඉඩක් නොලැබුණි. ඉන්පසුව, මා උගත් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ගණිත ආචාර්යවරයකු වූ ගණේමුල්ලේ, පහළ යාගොඩ ජයසූරිය මහතාගෙන් පෞද්ගලිකව අංක ගණිතය ඉගෙනීම ආරම්භ කළෙමි. එහිදී මගේ පසුබෑමේ ස්වභාවය නිවැරදිව වටහාගත් එතුමා, සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ එන ගණිත ආකෘතීන් කිහිපයක් පමණක් මුල් කරගනිමින් මට විශේෂ ඉගෙනුම් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. ඒ අනුව “Yes / No, Thank you” වැනි වචන කිහිපයක් මත පිහිටා ඉංග්‍රීසි කතාවට පිවිසෙන්නෙකු මෙන්, ජයසූරිය සර් උගන්වනු ලැබූ ගණිත ආකෘතීන් කිහිපය පමණක් මනාව පුහුණු වී මා නැවත සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නෙමි. යන්තම් සාමාන්‍ය සාමාර්ථයක් (S) අපේක්ෂා කළ මට එවර අංක ගණිතය සඳහා සම්මාන සාමාර්ථයක් (C) හිමිවීම අදටත් අදහාගත නොහැකි සිදුවීමකි. එදා ජයසූරිය සර් මට ලබා දී තිබුණේ සාමාන්‍ය පෙළ කඩුල්ල පැන උසස් පෙළට පිවිසීමට අවශ්‍ය වූ “කෘතිම ගණිතමය උත්තේජනයක්” බව පසුව මට වැටහිණි. මා අදහස් කරන අන්දමට මෙය වත්මන් ජනකාන්ත ටියුෂන් ගුරුවරුන් අනුගමනය කරන ක්‍රමයකි. නමුත් එතුමා එදා මා එලෙස ගොඩ නොදැම්මේ නම් මගේ උසස් පෙළ අධ්‍යාපනය හුදු සිහිනයක් පමණක් වනු ඇත. නමුත් මේ වන විට ශ්‍රී ලාංකේය සමස්ත අධ්‍යාපන රටාවම එම ළකුණු ඉලක්ක කොට ගත් උත්තේජක ක්‍රමය මත පදනම් වීම මේ වන විට බරපතල සමාජ අර්බුදයක් නිර්මාණය කොට තිබේ.නමුත් පසුකාලීනව මා විද්‍යාත්මකව දැනගත් අන්දමට එය මගේ කම්මැලිකමක් හෝ බුද්ධි මඳකමක් නොව ඩිස්කැල්කියුලියාව (Dyscalculia) නම් වූ ස්නායු සංවර්ධන තත්ත්වයයි.

 images 10

 

ඩිස්කැල්කියුලියාව (Dyscalculia) යනු සංඛ්‍යා තේරුම් ගැනීමට සහ ගණිතමය සංකල්ප ප්‍රගුණ කිරීමට ඇති හැකියාවට බාධා පමුණුවන, ජීවිත කාලය පුරාම පවතින ස්නායු සංවර්ධන ඉගෙනුම් දුර්වලතාවයකි (Neurodevelopmental Learning Disorder). මෙය බොහෝ විට “ගණිතමය ඩිස්ලෙක්සියාව” (Mathematical Dyslexia) ලෙස ද හඳුන්වනු ලබයි. මෙහිදී තේරුම් ගත යුතු වැදගත්ම නිගමනය වන්නේ මෙය කිසිසේත්ම බුද්ධියේ අඩුකමක් හෝ උත්සාහයේ අඩුවක් නොවන බවත්, එය මොළයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය හා බැඳුණු තත්ත්වයක් බවත්ය.

 a18b75f3 7a03 42ab 8725 61cc5ebaa0c5

ඩිස්කැල්කියුලියාව සහ බුද්ධිමය ඌනතාවය අතර පැහැදිලි වෙනසක් පවතී. ඩිස්කැල්කියුලියාව යනු බුද්ධිමය ඌනතාවයක් (Intellectual Disability) නොව, නිශ්චිත ඉගෙනුම් අබලතාවයකි (Specific Learning Disability – SLD). එහිදී බලපෑම එල්ල වන්නේ ගණිතමය සංකල්ප, අංක, සහ ගණනය කිරීම් තේරුම් ගැනීමට පමණක් වන අතර, එම තැනැත්තාගේ බුද්ධි මට්ටම (IQ) සාමාන්‍ය අගයක හෝ ඊටත් වඩා ඉහළ අගයක පැවැතිය හැක. එසේම භාෂා හැකියාව, කලාත්මක හැකියාවන් සහ තාර්කික සිතීම වැනි වෙනත් ක්ෂේත්‍රයන්හි ඉහළ කුසලතා පෙන්වීමට ද ඔවුන්ට පූර්ණ ඉඩකඩ ඇත. නමුත් බුද්ධිමය ඌනතාවයකදී සිදුවන්නේ සමස්ත බුද්ධි මට්ටම (IQ) සහ එදිනෙදා ජීවිතයේ හැඩගැසීමේ හැකියාවන් (Adaptive Behavior) යන දෙකෙහිම පුළුල් සීමාසහිත බවක් දක්නට ලැබීමයි. එහිදී බුද්ධි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගන්නා අතර, සියලුම ක්ෂේත්‍රවල පාහේ සීමාසහිත බවක් පෙන්නුම් කරයි. ඒ අනුව ගණිතමය කටයුතුවලදී අදක්ෂ මා බුද්ධිමය ඌනතාවයන් නොමැත්තකු වීම පිළිබඳව අතිශයින් සතුටු වෙමි. ඒ අනුව ඩිස්කැල්කියුලියා තත්ත්වයෙන් පෙළෙන දරු දැරියන්ගේ මවුපියන්ට මා දෙන විශේෂිත උපදෙසක් තිබේ. ඒ, ඔබේ දරුවා සතු ඩිස්කැල්කියුලියාව ඔහුගේ මෝඩකමක් සේ නොසිතන ලෙසයි. මක්නිසාද යත්, එවිට ඒ මෝඩකම දරුවාට නොව ඔබටම ආරෝපණය කර ගැනීමට සිදුවන බැවිනි.

 

Thilak Senasinghe

(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම- vinivida.lk)

 

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්