leader s

"මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන

එකත් මාස හතරකට නතර වුණා," වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක් කළ කාන්තාවක බීබීසී සිංහල සේවය සමග සිය අදහස් බෙදා ගත්තාය.

"අදාළ ටෙස්ට් කළ පසු මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියන රෝග තත්වය තියෙනවා කියලා දොස්තරලා හඳුනාගත්තා. මම ඊට කලින් එහෙම දෙයක් ගැන කවදාවත් අහල තිබුණේ නැහැ. නමුත් මේක කාන්තාවන් අතර අතිශය බහුල, ඒ වගේම උපදෙස්, ප්‍රතිකාර අවශ්‍ය රෝගයක් කියලා පසුව දැනගත්තා."

පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය(Polycystic ovary syndrome /PCOS) යනු කුමක්ද?

පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි.

කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන් දැන ගැනීම අපහසුය. නමුත් සෞඛ්‍ය සේවා දත්තවලට අනුව එය ඉතා සුලභ යැයි සිතන අතර ලෝකයේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකු තුළම මෙම තත්වය දැකිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් නිසි ගණනයක් සිදු කර නොමැති නමුත්, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තුළවත් මෙම තත්වය දැකිය හැකි යැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.

''ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් නිසි ගණනයක් සිදු කර නොමැති නමුත්, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තුළවත් මෙම තත්වය දැකිය හැකි යැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.''

මෙම තත්වය දැරියක මල්වර වීමේ සිට ආර්ථව හරණය දක්වා ඕනෑම අවස්ථාවක ඇති විය හැකිය.

කෙසේනමුත්, මෙම කාන්තාවන්ගෙන් අඩකට වඩා පිරිසකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැත.

මෙහිදී සිදුවන්නේ ඩිම්බකෝෂ වල මිලිමීටර් 8 (දළ වශයෙන් අඟල් 0.3ක්) දක්වා වූ හානිකර නොවන කුඩා බිබිළි (follicles) විශාල ප්‍රමාණයක් අඩංගු වී තිබීමය.

මේ හේතුවෙන් ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවන අතර, නිසියාකාරව ඩිම්බ මෝචනය නොවේ.

'ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීම නැත්නම් ඉදිමීම' යනුවෙන් ද මෙම තත්වය සාමාන්‍යය ව්‍යවහාරයේ හඳුන්වයි.
Polycystic ovary syndrome


Keshani Randima 2020.10.03"බටහිර වෛද්‍ය විද්‍යාවේ Polycystic Ovary Syndrome/ Disease (PCOS/PCOD) යනුවෙන් සඳහන් රෝගී තත්ත්වය ඩිම්බ නොමේරීමේ රෝගී තත්වයක් වන අතර, ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල එක් නිශ්චිත නමක් සඳහන් කර නැහැ," යැයි සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසීය.

"මෙය ස්ත්‍රියකගේ ආර්තව චක්‍රය හා බැඳුනු රෝගී තත්වයක් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් "ආර්තව ව්‍යාපත්" අතර "ආර්තව ක්ෂය" යටතේ මෙම රෝගයට අදාල රෝග ලක්ෂණ පිළිබඳව විස්තර කෙරෙනවා."

"ආයුර්වේදයේ ආර්තව යන වචනයෙන් ස්ත්‍රී බීජ (ඩිම්බ), ස්ත්‍රී අම්බු (හෝර්මෝන) සහ ඔසප් වීමේදී පිටවන රුධිරය නිරූපනය කරනවා. මෙම රෝගී තත්වයේදී ස්ත්‍රී බීජ, ස්ත්‍රී අම්බු සහ ඔසප් රුධිරය යන ත්‍රිත්වයේම වෙනස් කම් සිදුවන නිසා ආර්තව ව්‍යාපත් යටතේ සඳහන් කර තිබෙනවා," ආයුර්වේද වෛද්‍යවරිය තවදුරටත් පැහැදිලි කළාය.

PCOS හි ප්‍රධාන ලක්ෂණ තුන නම්:

    # අක්‍රමවත් ඔසප් වීම් හෝ ඔසප් වීම සිදු නොවීම - මෙයින් අදහස් වන්නේ ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීම සහ නිසියාකාරව ඩිම්බ මෝචනය නොවීමය. 

   #  ඇන්ඩ්‍රොජන් වැඩිවීම - ඔබේ ශරීරයේ "පිරිමි" හෝමෝන ඉහළ මට්ටමක පවතින අතර එමඟින් මුහුණ හෝ ශරීරයේ අධික ලෙස රෝම වර්ධනය වීම වැනි ශාරීරික සංඥා ලබා දෙනු ඇත. 

    # පොලිසිස්ටික් ඩිම්බකෝෂ - ඔබේ ඩිම්බකෝෂ විශාල වී ඒවා මත දියර පිරුණු බිබිළි විශාල ප්‍රමාණයක් තිබීම (නමුත් මෙය ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීමක් ලෙස හැඳින්විය නොහැකිය)

අවම වශයෙන් මෙම ප්‍රධාන රෝග ලක්ෂණවලින් දෙකක් හෝ තිබේ නම්, ඔබට PCOS යන රෝග තත්වය තිබෙන බවට වෛද්‍යවරුන් විනිශ්චය කරනු ඇත.

 114703362 gettyimages 903787512                                              Polycystic ovary syndrome ( Getty Images)

PCOS තවත් රෝග ලක්ෂණ තිබේ ද?

පොලිසිස්ටික් ඩිම්බ ප්‍රදාහය හේතුවෙන් කාන්තාවකට පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතිවිය හැකිය:

    #  හිසකෙස් තුනී වීම හා ගැලවී යාම

    #  සිරුරේ බර වැඩිවීම

    #  මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම

    #  කුරුලෑ ඇති වීම

    # ගෙල මහත් වී කළු පැහැ ගැන්වීම

    # භාවමය ගැටලු, සාංකාව හා විෂාදය වැනි තත්ත්වයන් 

    # ගැබ් ගැනීමට අපහසු වීම 

    # ගබ්සා වීම

    # දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමේ ඉහළ අවදානම 

කෙසේනමුත්, මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, කාලයත් සමග ද රෝග ලක්ෂණවල වෙනස්කම් සිදු විය හැකිය.

එමෙන්ම, මේ කිසිදු ලක්ෂණයක් මතු නොවුණු PCOS රෝගීන් ද සිටින බව වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.


 114703364 gettyimages 145062490                   Polycystic ovary syndrome( Getty Images)

"දරුවෙක් හදාගන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා. මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් තත්වය තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. මේක අපි සාමාන්‍යයෙන් කියනවා වගේ වඳ තත්වයක්ම නෙමෙයි, නමුත් දරුවෙක් පිළිසිඳ ගැනීම ටිකක් අපහසු වෙන තත්වයක් කියලා මට ඔවුන් පැහැදිලි කළා," මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිදිරි කාන්තාවක පැවසුවාය.

"දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට තියෙන රෝග ලක්ෂණය තමයි ඇඟ සහ මූණ පුරා මයිල් සෑහෙන්න වැවෙන එක. පීරියඩ්ස් වල දී ලේ පිට වුණේ බින්දුවක් වගේ. හැබැයි දරුවෝ හදන්න ලෑස්ති වෙනකම්ම මම දොස්තර කෙනෙකුට පෙන්නුවේ නැති නිසා තත්වය ටිකක් නරක අතට හැරුණා," ඇය තවදුරටත් පැවසුවාය.

PCOS ඇතිවීමට හේතුව කුමක්ද?

PCOS ඇතිවීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් නොදන්නා නමුත් එය බොහෝ විට පාරම්පරික ජානවලින් ඇති විය හැකියි.

මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් විශාල පිරිසට PCOS රෝගී තත්වය ඇති මවක්, ඥාතීවරියක් හෝ සහෝදරියන් සිටීමට ඉඩ ඇත.

එමෙන්ම, එය ශරීරයේ අසාමාන්‍යය හෝමෝන මට්ටම් සහ ඉන්සියුලින් ඉහළ යාම ද මෙම තත්වය ඇතිවීම හා සම්බන්ධ වේ. ඉන්සියුලින් යනු ශරීරයේ සීනි මට්ටම පාලනය කරන හෝමෝනයකි.

PCOS ඇති බොහෝ කාන්තාවන්ගේ ශරීරය ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධී වන අතර මෙය මඟහරවා ගැනීම සඳහා ඉහළ ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමක් සිදුවේ.

මෙය ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන නිෂ්පාදනය හා ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට දායක වේ.

එමෙන්ම, අධික බර හෝ තරබාරු වීමෙන් ද ඔබේ ශරීරය නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවේ.


 114703486 gettyimages 1134654869 170667a                                       Polycystic ovary syndrome ( Getty Images)

"තරබාරු කෙනෙක්ගේ ශරීරයේ කොටස්වල, විශේෂයෙන්ම උදරයේ මේදය තැන්පත් වෙනවා. එවිට වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය වෙනවා. එහෙම ඉන්සියුලින් අවශ්‍යතාව වැඩි වෙනකොට එහි ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධයක් ඇතිවෙනවා. එතකොට ශරීරය තව ඉන්සියුලින් නිපදවන්න ගන්නවා. එයින් තවත් ශරීරය මහත් වෙනවා," වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැහැදිලි කළේය.

PCOS ඇත්දැයි දැනගන්නේ කෙසේද?

වෛද්‍යවරයා ඔබේ සිරුර සහ රෝග ඉතිහාසය ගැන අවධානය යොමු කරන අතර, රුධිරය පරීක්ෂාව සහ 'අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan)' පරීක්ෂණයක් ද සිදු කරනු ඇත.

"අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කියන්නේ කිසිම සංකූලතා නැති පරීක්ෂණයක්. ඩිම්බකෝෂවල මෝරලා නැති, පිට වී නැති බිත්තර බිබිළි විදිහට තිබෙන ආකාරය මේ පරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. සමහර විට ඩිම්බකෝෂ මහත් වෙලා තියෙනවා නැත්නම් වතුර පිරිණු ගැටිති වගෙත් තියෙන්න පුළුවන්."

"අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් අපිට ගොඩක් දුරට මේ රෝගී තත්වය විනිශ්චය කරන්න පුළුවන්, හැබැයි ඒක මතම තීරණයකට එන්න අපහසුයි. අපිට අනික් ලක්ෂණත් අනිවාර්යයෙන් සොයා බලන්න වෙනවා. හෝමෝන් පරීක්ෂණයක් ද සිදු කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඉන්සියුලින් තත්වයේ බලපෑම නිසා ඉන්සියුලින් පරීක්ෂණයක් ද සිදු කර මේ රෝගය සොයා ගන්න පුළුවන්," වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසුවේය.

බුබුලු ලෙස පෙනෙන ගැටිති යම් ප්‍රමාණයක් තිබීම ගැටලුවක් නොවන අතර, ඔබේ වයසට සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් තිබීම මෙම රෝගී තත්වය යැයි සැක කිරීමට ඉඩ ඇත.

PCOS සුව කළ හැකිද?
මෙය සුව කළ නොහැකිය. නමුත් එය පාලනය කර ගත හැකිය.

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගැනීම ඉතා වැදගත්ය. එම උපදෙස් අනුව රෝගය පාලනය සඳහා යම් පියවර අනුගමනය කළ හැකිය:

    # ඔබ උසට සාපේක්ෂව ශරීරයේ බර වැඩි නම්, එය අඩුකර ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකිය. ඒ සඳහා නිසි ව්‍යායාම සහ ආහාර පාලනය අත්‍යවශ්‍ය වේ.

    # අක්‍රමවත් ඔසප් වීම, හෝමෝන උපත් පාලන පෙති හා වෙනත් ඖෂධ මගින් කළමනාකරණය කළ හැකිය. නමුත්, මෙය ලබා ගත යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණි.

    # ශරීරයේ අධික රෝම ඉවත් කිරීමේ ක්‍රම භාවිත කළ හැකිය. උදාහරණ: වැක්ස් කිරීම, ලේසර් කිරීම හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රම. එමෙන්ම, මෙය ඖෂධ මගින්ද පාලනය කළ හැකිය. 

    # අධික ලෙස හටගන්නා කුරුලෑ බිබිලි ද ඖෂධ මගින් පාලනය කළ හැකිය. 

    # නිරෝගීමත් ජීවන රටාවක් අනුගමනය කිරීම, සමබර ආහාර වේලක් නිසි වෙලාවට ගැනීම. 

 114703488 gettyimages 590682540                    Polycystic ovary syndrome (Getty Images)

"මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියලා දැනගත්තේ අවුරුදු දහ අටේදී. ඒ කාලේ දීපු කිසි බෙහෙතක් මම ගත්තේ නැහැ. ඒ වගේම කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැද්දේ නැහැ. අද මට වයස 35ක්. ලෙඩේ සෑහෙන වැඩි වෙලා දැන් මට බොහොමයක් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන්න වෙලා. මම ඉල්ලන්නේ හැමෝගෙන්ම මේ ගැන දැනුවත් වෙන්න, සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වාගෙන යන්න කියලා," මේ වන විට විදෙස් රටක දිවිගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

මෙය 'වඳ' තත්වයක් ද?

PCOS රෝගී තත්වය සහිත කාන්තාවෝද එවන් තත්ත්වයක් නොමැති කාන්තාවන් ලබන දරුවන් ගණනම ලබති.

එහෙත් ගර්භණී වීමේ දී ඔවුනට අතිරේක වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර අවශ්‍යය වන බව වෛද්‍යවරු පවසති. 

එහෙයින්, රෝගය කළින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.

මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසුවේ, "මේ රෝගය නොසලකා හැරියොත් හෝ නිසි ප්‍රතිකාර නොකලහොත් ඒ නිසා කෙනෙකුට මදසරුභාවය හෝ වන්ද්‍යභාවය (subfertility or infertility), ගර්භනී කාලයේ ඇතිවන දියවැඩියාව (Gestational diabetes), ගබ්සා වීම් හෝ නොමේරු දරු උපත් සිදුවීම (abortions or premature childbirths) මෙන්ම අධිරුධිර පීඩනය (Hypertension ), හෘද රෝග (Heart diseases) වැනි රෝග රාශියකට මුහුණ දීමට ද ඉඩ තිබෙනවා," යනුවෙනි.

 114703490 101582770 gettyimages 686152552                                   Polycystic ovary syndrome (Getty Images)

ආයුර්වේද උපදෙස් මොනවාද?

ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළාය:

ඩිම්බ නොමේරීමේ රෝගයෙන් වැලකීමට පිළියම් වශයෙන්,

    # දිනපතා සමබර ආහාර වේලක් ගැනීම

    # ආහාර වේල සදහා වැඩිපුර එළවළු, පළා වර්ග සහ පලතුරු වර්ග එකතු කරගැනීම

    # දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම

    # සතියකට වරක් වත් කොල කැද පානය කිරීම

    # හැකිතරම් උෂ්ණ, අම්ල හා විදාහී ආහාරවලින් වැලකීම (ඉස්සෝ ,දැල්ලෝ ,බල මාලු, අන්නාසි, අච්චාරු වැනි)

    # ශරීරය සිසිල් කරන ආහාර පාන ගැනීම

    # හැකිතරම් මානසික නිදහස්බව සහ සුවතාවය පවත්වා ගැනීම

    # ක්ෂණික ආහාර සහ පෙර පිසින ලද මස් වර්ග ආහාරයට ගැනීම හැකිතරම් සීමා කිරීම

"එක් එක් පුද්ගලයා සඳහා විශේෂිතවූ චිකිත්සා පද්ධතියකින් සමන්විත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර පවතිනවා. ඒ අතර එක් එක් පුද්ගලයගේ ප්‍රකෘතිය, දෝෂ තත්ත්වය සහ රෝග ලක්ෂණ අනුව සිදුකරන මෘදු ශෝධන ප්‍රතිකාර, නස්‍ය ප්‍රතිකාර, වස්ති ප්‍රතිකාර, ශරීරයේ අග්නි දීපනය සදහා වන ප්‍රතිකාර, හෝමෝන අසමතුලිතතාවය නිවැරැදි කිරීම සඳහා ඖෂධ ලබාදීම, ඩිම්බ මේරීම සදහා ශරීරය තුළට ඖෂධ ලබා දීම හා බාහිරින් සිදුකරන ප්‍රතිකාර විශේෂ වෙනව," වෛද්‍යවරිය පැවසුවාය.


(දැහැමි රණවීර -BBC සිංහල)



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්