leader s

*ජේ.ආර්.ගෙන් පටන් ගෙන මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් බිලිගත් 78 ව්‍යවස්ථාවේ නොපෙනෙන මාරක උගුල!


*තමන්ගේ බලය රැකගන්න ගෙනා සංශෝධනවලින්ම පාලකයින් වැනසුණු හැටි සහ 22 ගැන මතුවන භීතිය!


‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ශුද්ධ වූ ලියවිල්ලක්. ඒකත් එක්ක සෙල්ලම් කරන්න එපා. තමුන්නාන්සේලාට ශාප වෙයි…’
ආනන්ද දසනායක
1979.02.22
පාර්ලිමේන්තු හැන්සාර්ඩ්

ආනන්ද දසනායක කියන්නේ ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ විපක්ෂයක් නැති පාර්ලිමේන්තුව දෙවනත් කළ ශ්‍රීලනිප මන්ත්‍රීය. එකල විපක්ෂය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණය. ශ්‍රීලනිපය විපක්ෂයේ සුළු පක්ෂයක් විය. ආසන ගණනින් සුළු වුණත් ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රධාන විපක්ෂය වූයේ ශ්‍රීලනිපයය.

ආනන්ද දසනායක මෙහෙම කීවේ ජේ.ආර්.ගේ ආණ්ඩුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවැනි සංශෝධනය සම්මත කරගන්න විවාද කරන විටදීය. 1978 සම්මත කළ ව්‍යවස්ථාවට දෙවැනි සංශෝධනය ගෙන ආවේ 1979දීය. 1978 ව්‍යවස්ථා ක්‍රියාත්මක කළේ සැප්තැම්බරයේය. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 1979 පෙබරවාරියේය. මේ ව්‍යවස්ථා සංශෝධනයට කීවේ රාජද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධනය කියාය.

1978 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැති මාරුකිරීම තහනම් කොට තිබිණි. පැති මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වීමට නියමිතව තිබිණි. චෙල්ලයියා රාජදුරෙයි පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ 1977 මහ මැතිවරණයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන්ය. ඔහු තේරී පත්වුණේ මඩකළපු ආසනයෙන්ය.

යූ.ඇන්.පී.යට නැගෙනහිර පළාතේ ආසන 12න් ආසන 8ක් තිබිණි. යූ.ඇන්.පී. ආණ්ඩුවට ඒ වනවිටත් උතුරු-නැගෙනහිර ඇවිළෙමින් තිබූ ඊළාම් රාජ්‍ය සංකල්පය බිඳින්න ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අවශ්‍ය විය. උතුරෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු බාගත නොහැකි වුවත් නැගෙනහිර යූ.ඇන්.පී.ය දිනාගත් ආසන 8 වැඩිකර ගැනීම යූ.ඇන්.පී.යේ බලාපොරොත්තුව විය. නමුත් යූ.ඇන්.පී.ය සම්මත කළ 1978 ව්‍යවස්ථාවෙන් පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ආසනය අහිමි විය යුතුව තිබිණි.

යූ.ඇන්.පී.ය 2 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ චෙල්ලයියා රාජදුරෙයිට විපක්ෂයෙන් ආණ්ඩුවට පැමිණීමට හැකි වන ලෙසය. එනම් විපක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි නොවන ලෙස දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. සංශෝධනය සම්මත විය. රාජදුරෙයි ආණ්ඩුවට පැන කලාපීය සංවර්ධන ඇමැති ධුරය ලබාගත්තේ දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පින් සිදුවන්නටය.

රාජදුරෙයි පන්නන්න ගෙනා ‘දෙක’ යූ.ඇන්.පී.ය දෙකඩ කළ හැටි

යූ.ඇන්.පී.ය කළ මේ විහිළුවට ආනන්ද දසනායක කී ශාපය එල්ල වූයේ හරියටම දශකයකට පමණ පසුවය. 1994 චන්ද්‍රිකා සහ 2005 මහින්ද බලයට ඇවිත් යූ.ඇන්.පී. මන්ත්‍රීවරු දුසිම් ගණන් බාගෙන යූ.ඇන්.පී.ය විනාශ කර දමනු ලැබීය. ඊටත් කලින් 1991 යූ.ඇන්.පී.යේ නායකයන් වූ ලලිත් සහ ගාමිණී ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයක් ගෙනැවිත් යූ.ඇන්.පී.ය දෙකඩ විය.

 

13 amendent

විපක්ෂයේ විරෝධය නොතකා ජේ.ආර්.ගේ ආණ්ඩුව ගෙන ආ ඊළඟ ව්‍යවස්ථා සංශෝධනය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ පළාත් සභා පිහිටුවන්නටය. 13ට පක්ෂව අත් උස්සන යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන්ට ශාප වේවා යැයි එදා ශ්‍රීලනිප මන්ත්‍රීවරු කීහ.


යූ.ඇන්.පී.යට ඒ ශාපය වැදුණේ 1993 පළාත් සභා ඡන්දයෙන්ය. වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුව පරාජය කරන්න ශ්‍රීලනිපයෙන් චන්ද්‍රිකා මතුවූයේ 1993 බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිනිය වෙලාය.

13 සහ 15 කැරකිලා ඇවිත් 17 වසරක ආණ්ඩුව පෙරළූ හැටි

ඊළඟට යූ.ඇන්.පී. ආණ්ඩුව ගෙන ආවේ 15 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. ඒ, 1988 දෙසැම්බර් 17ය. හරියටම 1988 ජනාධිපතිවරණය කට ළඟ තියලාය. මේ වෙනකොට අෂ්රොෂ්ගේ මුස්ලිම් කොංග්‍රසය අලුතින් පිහිටුවාගෙන නැගී එන පක්ෂයකි. 1988 ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂිකා බණ්ඩාරනායක මැතිනිය අෂ්රොෆ්ගේ පක්ෂයේ සහාය ලබාගන්න සමත් විය. අෂ්රොෆ් යූ.ඇන්.පී.යේ මුස්ලිම් ඡන්ද කඩයි යැයි බියෙන් ලලිත් ඇතුලත්මුදලි අෂ්රොෆ්ව යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස ළඟට රැගෙන ආවේය. අෂ්රොෆ්ගේ ඉල්ලීම වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දිනාගන්න 1978 ව්‍යවස්ථාවෙන් පනවා තිබූ 12.5% මායිම 5%ට අඩු කරවා ගැනීමය. 1978 ව්‍යවස්ථාවට අනුව හදපු සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව පක්ෂයක් මන්ත්‍රී ආසන දිනාගන්න 12.5%කට වඩා ඡන්ද ගත යුතුය. අෂ්රොෆ්ට ඊළඟ මහ ඡන්දයේ මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කොට මන්ත්‍රී ආසන දිනාගන්න මේ 12.5% මායිමට අනුව හීනයකි. අෂ්රොෆ් එය 5%ට අඩු කරගත්තේ ප්‍රේමදාස සහ ලලිත් හරහා ජේ.ආර්.ට බලපෑම් කරලාය. වැඩේ කරගත්තාට පසු අෂ්රොෆ් ප්‍රේමදාස සහ ලලිත් සමග නැගෙනහිර සංචාරය කළහ.

එදා ශ්‍රීලනිපය මේ ව්‍යවස්ථා සංශෝධනයට ශාප කළේය. ඒ ශාපය යූ.ඇන්.පී.යට වැදුණේ 1994දීය. 1994 මහ ඡන්දයේදී ආණ්ඩු පිහිටුවන්න යූ.ඇන්.පී.යටත් ශ්‍රීලනිපයටත් බහුතර බලයක් ලැබුණේ නැත. ආණ්ඩු පිහිටුවන්න අෂ්රොෆ්ගේ සහාය තීරණාත්මක විය. අෂ්රොෆ් මන්ත්‍රී ආසන දිනාගත්තේ 15 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පින් සිදුවන්නටය. අෂ්රොෆ් චන්ද්‍රිකාට සහාය දෙන්න තීරණය කළේය. වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුව වැටුණි. ජවිපෙ 1994දී එක මන්ත්‍රී ආසනයක් දිනාගත්තේද මේ 15 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසාය. අවසානයේ ජවිපෙ යූ.ඇන්.පී. ආණ්ඩු පෙරළන්න ශ්‍රීලනිපය සමග සන්ධානගත විය.

තුන්වැනි වරට කෙළි ‘18’ සහ යහපාලනය දෙදරුම් කෑ ‘19’

ඊළඟ ව්‍යවස්ථා සංශෝධනය 2010 මහින්දගේ ආණ්ඩුව ගෙන ආ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. මහින්ද ඒ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 78 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයකුට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි සේ පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නටය. මහින්දට තුන්වැනි වරටත් ජනාධිපති වෙන්නටය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට එවක විපක්ෂය වූ යූ.ඇන්.පී.ය ශාප කළේය. මහින්ද යූ.ඇන්.පී. මන්ත්‍රීවරු බාගෙන තුනෙන් දෙක හදාගෙන 18 සම්මත කරගත්තේය. මහින්ද ව්‍යවස්ථා සංශෝධනයක් කරලා තරග කරපු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය. පරාජයට පත්වූයේ ඔහුගේ පක්ෂයේ ලේකම් මෛත්‍රීපාලටය. ඒක එසේ මෙසේ ශාපයක් නොවේ.

ranil maitreepala 260811

ඊළඟට 2015 ජනාධිපති වූ මෛත්‍රීගේ විධායක බලය අගමැතිට පවරා ගන්න යූ.ඇන්.පී.ය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. අවසානයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිට අහිමි කළ බලය බෙදාගන්න බැරිව ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් හැප්පී යහපාලන ආණ්ඩුව වැටුණි.


බැසිල්ගේ 20 සහ රනිල් හිරේට දක්කපු 21

එක පුද්ගලයකුට පාර්ලිමේන්තු එන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේ ගෝඨාභයය. ඒ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. බැසිල්ට පාර්ලිමේන්තු පැමිණ මුදල් ඇමැති වෙන්න ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට තේරී පත්විය නොහැකි සේ පනවා තිබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. මේ ව්‍යවස්ථා සංශෝධනයට ශාප වේවා යැයි එදා විපක්ෂය වූ සමගි ජන බලවේගය සහ ජවිපෙ කීහ.

බැසිල් මන්ත්‍රී විය. මුදල් ඇමැති විය. ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි විය. අර්බුදයක් ආවේය. බැසිල්ට පමණක් නොව රාජපක්ෂ පවුලටම බලය අතහැර පලායන්න සිදුවිය.

ranil wikrama 250826

ඊළඟට රනිල් ජනාධිපති වී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ හොරු අල්ලන්නටය. හැබැයි 21න් හොරු අල්ලන්න පටන් ගත්තේ ජවිපෙය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ රනිල්ටත් අන්තිමේදී හිරේ යන්න සිදුවිය. 21ට අත ඔසවපු පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරු දැන් ඉන්නේ 21න් හිමිවුණු බලය සියතට ගෙන ජවිපෙ ඔවුන්ව හිරේ දමනවාට බයේය.


මෙහෙම බලනකොට 78ට සංශෝධන ගෙන ඒම පිටුපස ගුප්ත අබිරහසක් තිබේ. ඒ, සංශෝධන ගෙන එන්නේ ඒ සංශෝධන ගෙන එන ආණ්ඩු ශක්තිමත් කරගන්නටය. හැබැයි වෙන්නේ ඒ සංශෝධනවලින්ම ඒ ආණ්ඩුව හෝ ආණ්ඩු කරන පක්ෂය විනාශ වී යෑමය.

22 වැනි සංශෝධනය අනුරට සහ ජවිපෙටත් මර උගුලක් වෙයිද?

‘එතකොට විපක්ෂයේ විරෝධතා මැද අනුරගේ ආණ්ඩුව ගෙන එන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනුර සහ ජවිපෙම විනාශ වෙයිද…?’

කියන්න දන්නේ නැත. හැබැයි 78 ව්‍යවස්ථාව, 78 එක්ක සෙල්ලම් කරන්න එන කාවවත් යහතින් තියන්නේ නැත. 78 ගුප්ත බව නම් බලය සඳහා 78 පාවිච්චි කරන හැමෝම පසුපස කර්මය සේ 78ම වෙස් වළාගෙන ඒමය.



(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්