මේ කතාව ඇහුණේ පුත්තලම මැතිවරණ බල ප්‍රදේශයේ උලුක්කාපල්ලම ග්‍රාමයෙන්.
එහි ජීවත්වන මාන්තෙයි ප්‍රාදේශීය සභාවේ සභික මොහොමඩ් ලාෆීර් මේ කතාව කියද්දී ඔහුගේ දෙනෙත් තෙත් වන අයුරු ද දැකගන්නටද ලැබිණ.
 
එයින් ඇඟවුණේ ඔවුන්ගේ ජීවිතවල වචනවලින් නොකියවුණු වේදනාබර කතාන්දරයයි.
 
ලාෆීර් ඇතුළු පිරිස පුත්තලමට පැමිණියේ 1990 වර්ෂයේදීය. ඒ පැය 24ක් තුළ තමන් පදිංචි නිවාස අතහැර යන ලෙස එල්ටීටීඊ සංවිධානයෙන් ලැබුණු නියෝගයක් හේතුවෙනි. 
 
''පැය 24ක් තුළ තමන් පදිංචි නිවාස අතහැර යන ලෙස 1990 වර්ෂයේදී එල්ටීටීඊ සංවිධානයෙන් ලැබුණු නියෝගය මත, මන්නාරමේ ජීවත් වූ සිංහල හා මුස්ලිම් වැසියන්ට පරම්පරා ගණනක් ජීවත් වූ නිවාස හා ගම් බිම් අතහැර යාමට සිදු විය. ''
 
 
මෙහිදී මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් පුත්තලම හා කල්පිටිය යන ප්‍රදේශවලටත් සිංහල ජනතාව මැදවච්චිය හා අවට ප්‍රදේශවලටත් සංක්‍රමණය වූහ. 
 
මේ ජනතාව එදා සිට වසර ගණනාවක් කුඩා බිම් කඩකට කොටුව දුෂ්කර ජීවිතයක් ගත කළ අතර, පසුව මේ පිරිසෙන් සමහරෙක් ක්‍රම ක්‍රමයෙන් තම ජීවිතය ගොඩනඟාගන්නට සමත් වූහ. ලාෆීර් එවැන්නෙකි.
 
 
 
තිස් වසරක කතාවක්:
 
යුද්ධය නිමාවෙන් පසු ලාෆීර් යළි මන්නාරමට පැමිණියේ සිය නිජ බිමේ අයිතිය ආරක්ෂා කර ගැනීමට හා තම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර දීමේ අරමුණෙනි. 
 
ඔහු දැන් මාන්තෙයි ප්‍රාදේශීය සභාවේ සභිකයෙකි.
 
"යුද්ධය අවසන් වුණාම අපි තරම් සතුටු වුණ වෙන කවුරුත් මේ ශ්‍රී ලංකාවේ නැතුව ඇති. මොකද යුද්ධය නිසා වැඩියෙන්ම බැට කෑ පිරිස අපි. මම එහෙම කියන්නේ..." ලාෆීර් කියාගෙන යයි ... ඔහුගේ කතාවේ නැවතීමේ තිතක් පෙනෙන මානයක නොතිබිණි. 
 
කෙසෙල් කැනක් අතැතිව උලුක්කාපලම අතුරු මාර්ගයකදී හමු වූ ලාෆීර් ඔහුගේ නිවසට පැමිණෙන ලෙස අපට අරාධනා කළේය.
 
 115050096 puttalamschool
 
"මේ ගේ මගේ නෙමෙයි. මට පුත්තලමේ ගෙවල් නැහැ, මට මන්නාරමේ අක්කර හතරක් තියනවා. එයින් අක්කර තුනක් වගා කරන්න පුළුවන්. මට මෙහෙ එක බිම් අඟලක් නැහැ. 
 
එහෙම තියෙද්දී එහෙ නිලධාරීන් එකතු වෙලා මාව මෙහෙට ඇදලා දාලා. මගේ එහෙ ඡන්දේ කටු ගාලා (ලේඛනයෙන් ඉවත් කරලා) මාව බලහත්කාරයෙන් පුත්තලමට දාලා තියනවා. මම ගමේ මන්ත්‍රී වෙලා මටත් එහෙම කළා නම් ගමේ අනික් අයට කොහොම කරලා ඇද්ද?," ඔහු ප්‍රශ්න කරයි.
 
"මේ වැඩේ, එල්ටීටීඊ එක 1990දි අපිව පැය 24 න් එළෙව්වට වඩා බරපතළයි. ඇයි අපිව මන්නාරමෙන් පැන්නුවේ කියලා ඇහුවම නිලධාරීන් කියන්නේ ගෙදර පිහිය තිබුණේ නැහැ, මිරිස් ගල තිබුණේ නැහැ ඒ වගේ කතා. හැබැයි මන්නාරමේ තියන මගේ ගෙයි ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල ඒ තුනම තියෙන්නේ මගේ නමින්."
 
"මේ වැඩේ, එල්ටීටීඊ එක 1990දි අපිව පැය 24 න් එළෙව්වට වඩා බරපතළයි. ඇයි අපිව මන්නාරමෙන් පැන්නුවේ කියලා ඇහුවම නිලධාරීන් කියන්නේ ගෙදර පිහිය තිබුණේ නැහැ, මිරිස් ගල තිබුණේ නැහැ ඒ වගේ කතා.''
 
 
දෙතැනම අහිමි ජීවිත:
 
 මෙය ලාෆීර්ට පමණක් සිදු වූ අසාධාරණයක් නොවේ.
 
සෙයියදු තම්බි සිෆායා එලෙස ජන්ද අයිතිය මේ වන විට අහිමිව ඇති කාන්තාවකි. 
 
ඇයට, ලාෆීර් තරම් ජන්දය ගැන වුවමනාවක් නැති වුවත් කොරෝනා සමයේ රුපියල් පන්දාහ නොලැබී යෑම හේතුවෙන් ජන්දයේ වටිනාකම මේ වන විට ඇයට අවබෝධ වී තිබේ. 
 
නැවතත් කොරෝනා හිස එසවීම හමුවේ ඒ තත්වය තව තවත් දැනී ඇති සෙයක්ද ඇගේ කතාවෙන් වැටහිණ.
 
"කොටි කලබල ඉවර වුණාට පස්සේ අපි ආපහු මන්නාරමට ගියා. නමුත් එහෙ කිසිදු පහසුකමක් නැති නිසා පහසුකම් ලබා දෙනකල් ආපහු පුත්තලමට ආවා. අපට දැන් එහෙත් ඡන්දය නෑ. මෙහෙත් නෑ. පවුලේ අට දෙනෙක් ඉන්නවා. කාටවත් ඡන්දය නෑ. ඒ නිසා කොරෝනා කාලේ ලැබුණු මුදල්වත් අපිට ලැබුණෙ නෑ."
 
 115050098 manarhouses
 
ඡන්දය පිළිබඳව විමසීම සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සිෆායා ට ලැබුණු දැනුම් දීමට ඇය එහි ගොස් නැත.
 
ඊට හේතු වී ඇත්තේ සිෆායාගේ සැමියා එදිනෙදා කුලී වැඩ කර ජීවත් වීමයි.
 
"අපිට මන්නාරමේ ජී ඒ කන්තෝරුවෙන් එන්න කීවා ඡන්දේ ගැන කතා කරන්න. අපි ඇහුවා ආයේ මොකටද එන්නේ යුද්දේ තියෙද්දිත් අපිට ජන්දේ තිබුණෙ මන්නාරමටනේ කියලා. එතකොට කිව්වා අනිවාර්යෙන් එන්න ඕනෑ නැත්නම් ඡන්දේ කටු ගානවා කියලා. 
 
අපි කොහොමද එහෙ යන්නේ? ඒ ගමනට රුපියල් තුන් හාර දාහක් යනවා. දවස් දෙක තුනක් කුලී වැඩ නැතුව යනවා. ඉතින් අපි ගියේ නැහැ. අන්තිමට මන්නාරමේ අපේ ඡන්දේ කටු ගාලා දාන්න ඒ නිලධාරීන් කටයුතු කළා. ඒ නිසා අපේ ඡන්දෙ කටුගාලා. අපිට දැන් එහේ ජන්දෙත් නැහැ. මෙහෙ ජන්දෙත් නැහැ."
 
 
මූලික අයිතිවාසිකම් කඩ කරලා:
 
උලුක්කාපල්ලම ග්‍රාමයේ වීදි දිගේ ඇවිද යද්දී අපට මොහොදීන් අමීනා මුණගැසිණි.
 
"මගේ දුව ගුරුවරියක්. එයා වැඩ කරන්නේ මන්නාරමේ. කොරෝනා නිසා පාසල් නිවාඩු නිසා මම දුවත් සමග පුත්තලමේ හිටියේ. ඒ නිසා මේ පාර ඡන්දේ දැම්මේ පුත්තලමේ. මොකද අපේ අය ගිය පාර ජන්දේ දාන්න මන්නාරමට යද්දී බස් වලට වෙඩි තියලා, ගහලා ලොකු ප්‍රශ්නයක් වුණා. 
 
ඒ නිසා මේ පාර මැතිවරණ කොමිසමෙන් අපිට විශේෂ අවස්ථාවක් දුන්නා පුත්තලමේ ඉඳලා මන්නාරමේ ඡන්දය ප්‍රකාශ කරන්න. නමුත් අපිට දැන් ඒ හොඳ අවස්ථාව නරකට බලපාලා," මොහොදීන් අමීනා පැවසීය.
 
''මේ පාර මැතිවරණ කොමිසමෙන් අපිට විශේෂ අවස්ථාවක් දුන්නා පුත්තලමේ ඉඳලා මන්නාරමේ ඡන්දය ප්‍රකාශ කරන්න. නමුත් අපිට දැන් ඒ හොඳ අවස්ථාව නරකට බලපාලා,'' මොහොදීන් අමීනා පැවසීය.
 
"බලධාරීන් කියනවා දැන් දිගටම පුත්තලමේම ඡන්දය භාවිත කරන්න කියලා. ඒ කියන්නේ අපිට පුත්තලමේ ස්ථිර පදිංචිය ගන්න කියලයි. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. 
 
මේ තත්වය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. කැමති තැනක ජීවත් වෙන්න තියන අයිතිය නැති කිරීමක්. අපි කැමැත්තෙන් නෙමෙයි පුත්තලමට ආවේ. ඇයි අපිව බලෙන් මෙහාට දාන්නේ?"
 
Wipathu 3
 
1990 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචියට පැමිණි ලක්ෂයකට ආසන්න පිරිසෙන් සැලකිය යුතු කොටසක් පුත්තලමේ ස්ථිර ලෙසම පදිංචිව ඇත. 
 
එලෙස පදිංචි වූ අයෙකි මොහොමඩ් අසාම්. පුත්තලමට පැමිණෙන විට අත දරුවෙකු වූ ඔහුට මන්නාරමේ සුවඳට වඩා පුත්තලමේ සුවඳ හුරු පුරුදුය.
 
"මට පුත්තලම හොඳයි. මන්නාරමේ ගිහින් මොනවා කරන්නද? අපේ තිබුණු ඉඩම් වල් වැදිලා. ඒවා කපන්න ගිහින් පරිසරය විනාශ කරනවා කියලා අහගන්නවට වැඩිය හොඳයි මෙහෙට වෙලා ඉන්න එක. මම හොඳට ඉගෙන ගත්තා, උපාධියක් ගත්තා. 
 
පහුගිය කාලේ ආණ්ඩුවේ රස්සාවක් ඉල්ලලා අඬන්නේ නැතුව මම සිංගප්පූරුවට ගිහින් එහෙ මුස්තාපා බිස්නස් සෙන්ටර් එකේ වැඩ කළා. මම ලොකු පඩියක් ගත්තා. දැන් මෙහෙ ලොකු කඩයක් හදනවා. මට දැන් මෙහෙ තමයි ඡන්දේ තියෙන්නේ. තාත්තා නම් මෙහෙට එච්චර කැමැත්තක් නැහැ. නමුත් මම නිසා ඒ අයත් දැන් සතුටින්."
 
 
'මේක කුමන්ත්‍රණයක්'
 
 අසාම් එලෙස පැවසුව ද බහුතරයකගේ කැමැත්ත තමන් උපන් බිමට ගොස් ජීවත් වීමයි. මෙය නිමක් නැති වාදයකි. 
 
එහෙත් වඩා වැදගත් වන්නේ බලධාරීන්ගේ කැමැත්ත නොව අදාළ ඡන්දදායකයන්ගේ කැමැත්තය. 
 
මේ ගැන පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනකදී කතා කළ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මැතිවරණ කොමිසමට ද මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. 
 
ඔහු පවසන ලෙස මෙය කුමන්ත්‍රණයක ප්‍රතිපලයකි.
 
Rishad Ba
'' මේක පැහැදිලිව ම කුමන්ත්‍රණයක් '' - මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් 
 
"මම මේ ගැන මුලින්ම මන්නාරම දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් වරයා සමග කතා කළා. නමුත් පැහැදිලි පිළිතුරක් නැහැ. ඒ නිසා මම මේ ගැන මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා. ඒ අයගෙනුත් පිළිතුරක් මේ දක්වා ලැබී නැහැ. 
 
මන්නාරමේ ජීවත් වන දේශපාලකයන් හා ජනතාවගෙන් කීප දෙනෙක් මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කළා. එකෙනුත් මේ දක්වා පැහැදිලි පිළිතුරක් නැහැ.
 
 මම පැහැදිලිව කියනවා මේක කුමන්ත්‍රණයක්. ඒ නිසා මම මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් කියන්න තීරණය කළා."
 
''මම පැහැදිලිව කියනවා මේක කුමන්ත්‍රණයක්. ඒ නිසා මම මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් කියන්න තීරණය කළා.'' - රිෂාඩ් බදියුද්දීන් මේ බව කියා සිටියේ අත්අඩංගුවට පත්වීමට දින කීපයකට ඉහතදීය. 
 
රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අත්අඩංගුවට පත්වීමට දින කීපයකට ඉහතදීය. 
 
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ද මේ ඡන්ද දායකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම පිණිස රජයේ අරමුදල් භාවිත කළ බවට චෝදනා කරමිනි.
 
රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයා නියෝජනය කරන්නේ මන්නාරම දිස්ත්‍රික්කයයි.
 
මන්නාරමේ තාරපුරම් ගම්මානයේ මුල් පදිංචිකරුවෙකු වන අතර ඔහුද 1990 වර්ෂයේ රුපියල් දෙකේ සිලි උරයකට ඇඳුම් කැබලි කීපයක් දමා ගෙන පුත්තලමට පැමිණි අයෙකු ලෙස ප්‍රකටය.
 
 
මන්නාරමේ පුනරීක්ෂණ:
 
මන්නාරමේ ජීවත්වන ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳව පුනරීක්ෂණයක් මේ දිනවල සිදු කරයි. 
 
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ අංශය සිදුකරන මෙය අවසන් වන දිනයක් නිශ්චිතව නොමැත. 
 
මෙහි කටයුතු භාරව ක්‍රියා කරන මන්නාරම සහකාර මැතිවරණ කොමසාරිස් ජේසුදාසන් ජෙනිටන් ප්‍රකාශ කළේ මේ දිනවල මේ වසරේ හිමිකම් පරීක්ෂණ සිදු කරන බවයි.
 
"මන්නාරමේ හෝ පුත්තලමේ හෝ කොහේ හරි ඡන්දේ තියා ගන්න ඕනෑ. ගිය වසරේ අපි පවත්වපු හිමිකම් පරීක්ෂණයට ආවේ නැත්නම් ඒ අයට ඡන්දේ නැති වෙන්න පුළුවන්. ඒ ගාණ1500 කට වැඩියි. 
 
ඒ වගේම මේ දිනවල නැවත රිවිෂන් කරන නිසා මෙවර ඉවත් කරන ගාණ කියන්නත් අමාරුයි. මේ ගණන් සියල්ල මැතිවරණ කොමිසමට දෙනවා. මේ දවස්වල අපේ ග්‍රාම නිලධාරී මහත්වරු ගෙවල් ගානේ යනවා. විසි වෙනිදායින් පස්සේ මේ වසරේ තොරතුරු දෙන්න පුළුවන්."
 
පසුගිය වසරේ මන්නාරමේ ඉවත් කළ මුළු ඡන්ද දායකයන් ප්‍රමාණය පිළිබඳව බීබීසී සිංහල සේවය සහකාර මැතිවරණ කොමසාරිස් වරයාගෙන් වාචිකව තොරතුරු ඉල්ලා සිටියද ඔහු කියා සිටියේ තොරතුරු දැනගැනීමේ පණත අනුව එම තොරතුරු ලිඛිතව ඉල්ලන ලෙසයි. 
 
ඒ අනුව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලිඛිත ඉල්ලීම් දෙකක් යොමු කර ඇත.
 
 
මැතිවරණ නිරීක්ෂණ:
 
 115050100 houses
ජානධිපතිවරණයේදී ඇතිවූ තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙවර මහා මැතිවරණයේදී උතුරු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයන්ට පුත්තලමේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබිණි. 
 
ඒ අනුව මධ්‍යස්ථාන 12 කදී උතුරු පළාතේ ඡන්ද දායකයන් 6275 දෙනෙකුට පුත්තලමේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවිණි.
 
මේ පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්ද අයිතිය පිළිබඳව අදහස් දැක්වූ පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ, මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අදාළ පුරවැසියාට තමන්ගේ අභිමතය පරිදි පදිංචියට ඉඩ ලබා දිය යුතු බවය.
 
Rohana Hettiarachchi''මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අදාළ පුරවැසියාට තමන්ගේ අභිමතය පරිදි පදිංචියට ඉඩ ලබා දිය යුතුයි.''
-පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂක
රෝහණ හෙට්ටිආරච්චි
 
 
"එය රාජ්‍ය නිළධාරීන්ටවත්, දේශපාලන අධිකාරියටවත් අවශ්‍ය පරිදි සිදු කළ නොහැකියි. මේ හරහා දේශපාලන අවශ්‍යතා වලට ජනතාව එහෙට මෙහෙට හුවමාරු කිරීම හරහා ඡන්ද දායකයින් ප්‍රමාණය ආවරණය කර ගන්න කටයුතු සිද්ධ වෙනවා නම් එය ගැටලුවක්. 
 
නීතියට අනුව මන්නාරමේ සිට පුත්තලට ඇවිත් අවුරුදු 20ක් පදිංචි වී සිටි කෙනෙකුට ලබන වසරේ ජුනි මාසයට කලින් ඔවුන්ට මන්නාරමේ නිවසක් තිබේ නම්, ඔවුන් මන්නාරමේ පදිංචි වෙනවානම් ඒ අදාල බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා ඔවුන්ට මන්නාරමේ ලියාපදිංචිය ලබා දීමට බැදී සිටිනවා," ඔහු පැවසීය.
 
 
දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවයක් ද ? 
 
"පුද්ගලයෙක් යම් ග්‍රාම නිළධාරී වසමක ජුනි මාසයේ පළමු වැනි දින වන විට පදිංචි වෙලා ඉන්නවා නම් නීත්‍යානුකූලව ඔහුට ලියාපදිංචිය ලබා දිය යුතුයි. අවුරුදු විස්සක් පමණ මේ ජනතාවට මන්නාරමේ ඡන්ද අයිතිය ලබා දුන්නා. 
 
මැතිවරණ සංවිධායකයන් හරහා ඔවුන්ට මන්නාරමේ ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රවාහන පහසුකම් සලසා දුන්නා. මෙය ජනතාවගේ අවශ්‍යතාවයක්ද නැතහොත් දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවයක්ද යන්න ගැටලුවක් මතු වෙනවා. 
 
මේ ජනතාවට අවශ්‍ය වන්නේ ස්ථිර නිවසක් නම්, ඔවුන්ගේ ඉඩකඩම් නම්, දරුවන්ට ඉගෙන ගැනීමට හොඳ පරිසරයක් නම් මොවුන්ගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ ඡන්ද අයිතිය ලබා ගැනීම නොවේ. 
 
මන්නාරමේ නැවත පදිංචි වීමට අවශ්‍යය නම් ප්‍රධාන අරමුණ විය යුත්තේ ඔවුන්ගේ නිවාස නැවත සාදා ගැනීමට සහනයක්, ඔවුන්ගේ ඉඩම් සඳහා ඔප්පුවක්, යටිතල පහසුකම් සලසා ගැනීමට අවශ්‍යය කටයුතු ඉල්ලා සිටීමයි."
 
 "මේ ජනතාව පුත්තලමේ පදිංචිව සිටියදී මන්නාරමේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඡන්ද දායකයින්ට කිසිදු වාසියක් ලැබෙන්නේ නෑ. මේ ජනතාව පුත්තලමේ ඡන්දය ප්‍රකාශ කළ හොත් ඔවුන්ට අවම වශයෙන් ජීවත්වන ප්‍රදේශයේ යටිතල පහසුකම් හෝ සංවර්ධනය කර ගැනීමට හැකි වෙනවා. 
 
මේ ජනතාවගේ මන්නාරමේ ඡන්ද අයිතිය අහෝසි කර පුත්තලමේ ද ඡන්ද අයිතිය ලබා නොදීම කිසිසේත්ම සිදු විය නොහැකියි. 
 
ශ්‍රී ලාංකික පුරවැසියන් සියලු දෙනාටම අවුරුදු 18 සම්පූර්ණ වූ පසූ ඡන්ද අයිතිය ලබා දිය යුතුයි."
 
කොරෝනා වෛරසය හේතුවෙන් මේ ජනතාවගේ නම් ඡන්ද නාම ලේඛන වල නොතිබීම නිසා විවිධ අපහසුතා වලට මුහුණ දීමට සිදු විය. ඔවුන්ට රජයෙන් ලැබුණු සහනය පවා අහිමි විය. මේ පිළිබඳව ද රෝහණ හෙට්ටිආරච්චි අදහස් දැක්වීය.
 
 
"ඡන්ද නාම ලේඛනය භාවිත විය යුත්තේ මැතිවරණ කටයුතු සදහා පමණයි. අද ඡන්ද නාම ලේඛනය විවිධ කටයුතු වලට යොදා ගන්නවා. ඡන්ද නාම ලේඛනයේ නම තිබුනත් නැතත් ග්‍රාම නිළධාරවරයා සතුව තම බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ තොරතුරු තිබිය යුතුයි. මෙවැනි අපහසුතා වලට ලක් වූ ජනතාව සිටීනම් ඒ සදහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි."
 
 
 
'ජන සංයුතිය වෙනස් වෙනවා':
 
 මන්නාරමේ ඡන්ද අයිතිය අහෝසි කළ බහුතරයකට මේ වන විට පුත්තලම සිය දෑත් දිගු කර ඇත. ඒ අනුව පුත්තලමේ ජනගහනය වැඩි වී ඇති බව පුත්තලමේ ජනතාවගේ මෙන්ම දේශපාලකයන්ගේද මතයයි. 
 
sanath nපසුගිය මහා මැතිවරණයෙන් පුත්තලමේ වැඩිම ජනතා මනාපය ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දරන්නේ මෙවැනි අදහසකි.
 
"1990 දි යුද්ධය නිසා අවතැන් වූ විශාල පිරිසක් මන්නාරමේ සිට පුත්තලමට ආවා. ඔවුන් ආවේ කල්පිටිය හරහා බෝට්ටුවලින්. පුත්තලමේ ජනතාව ඒ අයව ආදරෙන් පිළිගත්තා. ඉඳුම් හිටුම් දුන්නා. ඒ අයට හොඳින් සැලකුවා. වසර ගණනාවක් ඔවුන් අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ අපිත් සමග එකට හිටියා. 
 
යුද්ධය අවසන් වීමෙන් පසුව, රජය නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයක් පවා ආරම්භ කරලා ඒ අයව නැවත මන්නාරමේ පදිංචි කරවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. 
 
නමුත් පුත්තලමේ පදිංචිය අත්හැර නොයන පිරිසකුත් ඉන්නවා. මේ ගැන අපි සොයා බැලිය යුතුයි. ඒ වගේම මේ වන විට ආරංචි වෙනවා ඔවුන්ට පුත්තලමේ ඡන්ද බලය ලබා දෙන්න යනවා කියලා. 
 
එහෙම වුණොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජන සංයුතිය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. 
 
ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ඒ ප්‍රදේශවලින් ආව ජනතාව නැවත ඔවුන්ගේ ප්‍රදේශවල පදිංචි කරවන්න. 
 
සාමාන්‍ය රටේ පොදු නීතිය තමයි කොහේ හෝ තැනක මාස තුනක් ස්ථිර පදිචිය තියෙනවනම් ග්‍රාම නිලධාරී හරහා කලින් පදිංචිය වෙනස් කරලා අලුත් ස්ථානයේ ස්ථිර පදිංචිය ඉල්ලන්න පුළුවන්. මම දන්න විදියට කාටවත් බලහත්කාරයෙන් පදිංචිය වෙනස් කරවන්න බෑ," යනුවෙන් ඔහු පැවසීය.
 
 
 
"ඇත්තටම මේක ගැටලුවක්. '' -පුත්තලම දිස්ත්‍රික් ලේකම් 
 
 පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර ගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු කියා සිටියේ මේ ගැන මාධ්‍ය මගින් කතා කිරීම ඉතා උචිත බවය.
 
"ඇත්තටම මේක ගැටලුවක්. පසුගිය මහා මැතිවරණයේදී මන්නාරමේ ජනතාවට පුත්තලමේ ඡන්දය ප්‍රකාශ කරන්න දුන්නා. ඒ වගේම මුලතිව්වල ඡන්ද දායකයන් තුන්දෙනෙක්ව ආරක්ෂාව මාධ්‍යයේ මුලතිව්වලට රැගෙන යන්න සිද්ධ වුණා. ලබන මැතිවරණයකට පෙර අපට මේ සඳහා පැහැදිලි පිළිතුරක් තිබිය යුතුයි. ඒ වගේම රටේ නීතිය අනුව කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා."
 
''බලධාරීන්ද පිළිගන්නා පරිදි, රටේ මූලික නීතිය අනුව මේ රටේ ජීවත් වන ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත්වීමේ හා ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. එහෙත් මේ කතාව අනුව කාට හෝ කොතැනක හෝ වැරදී තිබේ.'' 
 
බලධාරීන්ද පිළිගන්නා පරිදි, රටේ මූලික නීතිය අනුව මේ රටේ ජීවත් වන ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත්වීමේ හා ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. 
 
එහෙත් මේ කතාව අනුව කාට හෝ කොතැනක හෝ වැරදී තිබේ. 
 
මේ පිළිබඳව විධිමත් සොයා බැලීමක් කළ යුතු නොවන්නේද?
 
 
(BBC සිංහල සේවය)
 
(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)
 
 
සබැඳි පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්