leader s

“මොන කෙහෙල්මලක් කරන්නද ඇඳිරි නීතිය එක්ක දිග සති අන්තයක් ගෙදෙට්ට කොටු වෙලා?”

යැයි ඉංග්‍රීසියෙන් අසමින් මගේ මිත්‍රයෙකු බියර් කේස් දෙකක් රැගෙන බදාදා හවස කීල්ස් සුපමාකට් එකෙන් පිටව ගියේ “We are buggering off to Galle machaang” (අපි ගාලු යන්න යනවා මචාං) යැයි කියමිනි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් බදාදා දහවල කටුනායකින් පිටත්ව ගිය වහා ඊළග ප්‍රවෘත්තිය වූයේ බස්නාහිර පළාතට බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රී සිට සඳුදා අළුයම 05 වනතෙක් ඇඳිරි නීතිය පනවන බවය. 

ඒ නැතත් මේ සති අන්තය සිකුරාදා (ඔක්.30) පෙහොය නිවාඩුව සමගින් දිගු සති අන්තයක් විය.

 එහෙත් සති අන්තයේ කොළඹින් බැහැරව යන්නට පෞද්ගලික අංශයේ මූල්‍ය කලමනාකරුවකු වන මගේ මිත්‍රයා තීන්දු කර ඇත්තේ ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව ය. එය කොළඹ ඉහළ මැද පංතියේ පොදු තීන්දුවක් බඳු විය.

ඊයේ හවස් වරුවේදී හිතවතෙකුගේ දුරකතන ඇමතුමකට මඳ කාලයක් වැඩිපුර ගෙවන්නට සිදුවූයේ ඔහුගේ විස්තරයක් හේතුවෙනි. 

“මිනිස්සු තොගේට ගමේ යනවා.....ගිහින් කෝවිඞ් තියලා එයි” කියා ඔහු කළ චෝදනාත්මක කතාව හේතුවෙන් ය. 

ඒ හේතුවෙන් මම ඔහු සමග දිගු වාදයක පැටලුනෙමි. 

ඒ වාදයේ මගේ තර්කය හා පැහැදිලි කිරීම සාරාංශගත කළහොත් එය මෙවැනිය.

සාමාන්‍ය කතා බහේ අප “ඒ මිනිස්සු....මේ මිනිස්සු” යැයි හඳුන් වන්නේ නගරයේ සහ ගමෙන් නගරයට පැමිණි අඩු ආදායම්ලාභි සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවන මිනිසුන්වය. 

නගරයේ ඉහළ මැද පංතියෙහි “මහත්වරු - නෝනාමහත්වරු” මිස “මිනිස්සු” නැත. 

එනිසා “මිනිස්සු තොගේට ගමේ යනවා.....” යැයි කියූ විට ඉන් කියැවෙන්නේ අර අඩු ආදායම්ලාභි සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවන මිනිසුන් කොළඹ නගරය අත හැර නැවත ඔවුන්ගේ ගම් බලා යන බවය.

“මිනිස්සු තොගේට ගමේ යනවා.....” යැයි කියූ විට ඉන් කියැවෙන්නේ අර අඩු ආදායම්ලාභි සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවන මිනිසුන් කොළඹ නගරය අත හැර නැවත ඔවුන්ගේ ගම් බලා යන බවය.

එහෙත් මෙවර පසුගිය මාර්තුවේ පළමු රැල්ලේදී මෙන් එළෙස තොග පිටින් ගම් බිම් බලා යන්නට එවැනි විශාල පිරිස් ඉතිරිව නොසිටියහ. 

ගම්පහ සහ කළුතර මෙන් පසුගිය සතියෙහි කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් හුදකලාකර වැසූ විට ඉතිරිව සිටි එවැනි බොහෝ පිරිස් හෙමිහිට ගම් බලා ගියහ.  පසුගිය අඟහරුවාදා වනවිට පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පල කිහිපයම වසා තිබිණ. 

දුර ගමන් බස් කොළඹට නොපැමිණියේය. ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම සමග ගියවර පළමු රැල්ලේදී මෙන් ගම් බලා යාමට විශේෂ බස් හෝ දුම්රිය ධාවනය නොවුනි. එහෙත් “මිනිස්සු තොගේට ගමේ යනවා.....” යැයි කීම හුදෙක් අවිඥාණික ප්‍රකාශයක්ම නොවේ. එය ගිය වරද කෙරුණකි. 

සමාජ දුරස්ථ භාවය නොතකන්නේ යැයි, බඩු ගන්නට පොර කන්නේ යැයි දෛනික ආදායමකින් ජීවත්වන පහළ සමාජයට චෝදනා නැගුවේ සුපමාකට් හිස් කළ, ඇඳිරි නීතිය නොතකා උදේ හවස ශරීර සෞඛ්‍ය සඳහා උද්‍යාන මං තීරුවල කල්ලි ගැසී ඇවිදින්නට යන මහත්වරුන් සහ නෝනාමහත්වරුන් ය. 

තමන් වරදක් කරන්නේ යැයි පිළිගැනීමට සූදානමක් නැති නාගරික මැදපංතික මානසිකත්වය එවැනිය.

 “මිනිස්සු තොගේට ගමේ යනවා.....” යැයි කීමෙන් සමාජගත කෙරෙන්නේ නගරයේ ඉහළ මැද පංතිකයින් කොළඹ හැර ගොස් දිගු සති අන්තය පිට පළාත්හි ගතකර ඒමෙන් කෝවිඞ්-19 පැතිර යාමේ අසාමාන්‍ය ඉහළ යාමක් ඇති වුවහොත් එහි වරද සාමාන්‍ය මිනිසුන් පිට පැටවීමේ කුහක, ආත්මාර්ථකාමී පූර්ව සූදානමකි.

Galle

“මිනිස්සු තොගේට ගමේ යනවා.....” යැයි කීවාට ඊයේ මධ්‍යම රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නට පෙර නුවර පාරේ කඩුගන්නාව, පිළිමතලාව ප්‍රදේශ පසුකර මාර්ග තද බදයක් හැදුනේ නාගරික මැදපංතික මහත්වරුන් පවුල් පිටින් විවේක ගැනීමට කන්ද උඩරට හෝටල් වලට යාමට සහ තමන්ගේ පාරම්පරික “මහ ගෙවල්” වලට යාමට තිබූ හදිස්සිය නිසාය. 

ඊයේ හවස් වනවිට දකුණු අධිවේගී මාර්ගයේ අසාමාන්‍ය තද බදයද එනිසාවෙන්ම විය. ආණ්ඩුව අද සිට නුවරඑළියේ සියලු සංචාරක හෝටල් සහ නිකේතන වසන්නට යැයි කියන විට ඒවා ඇණවුම්කර තිබූ මැදපංතිකයින් ඊයේ රාත්‍රී වනවිට ඒවායේ ලැගුම් ගෙන තිබිණ.

පළමු වටයේ ඉතාලියේ ලොම්බාඩි ප්‍රානන්තයේ බෙර්ගාමො ප්‍රදේශය මාර්තු ආරම්භ වනවිටම කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගිය ප්‍රදේශයක් විය.  එය පාලනය කිරීමට බලධාරීන් ලොම්බාඩි ප්‍රාන්තය හුදකලාකර වසා දැමීමට තීරණය කළ විට, එහි වත්පොහොසත් මධ්‍යම පංතිකයින් ප්‍රාන්තය හැර පිට වූයෙන් ඉතාලියේ සෙසු ප්‍රදේශ වලටද කොරෝනා වයිරසය පැතිර ගියේ යැයි නිගමනයක් ඇත.

මෙවර නාගරික මැදපංතිකයින් කොළඹ ලොම්බාඩියක් කළ හැක.  ඒ අනුව සාමාන්‍ය මිනිසුන්ට ඔවුන්ගේ වරදක් නැතිව ඉදිරි සති කිහිපයේ අසාමාන්‍ය කෝවිඞ්-19 පැතිරීමක අසීරුකම්, අග හිගකම් විඳින්නට සිදුවුවහොත් එහි වගකීම බාරගත යුත්තේ “ගමේ ගිය මිනිස්සු” නොව, කොළඹින් බැහැරව දිගු සති අන්තයේ සැප ගන්නට ගිය මැද පංතිකයින්ය.

එහෙත් රටේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් එවැන්නක් නොවේවා යැයි මා ප්‍රාර්තනා කරන බව, මා සමග දුරකතනයේ වාද කළ මිතුරාට මම කීවෙමි.

Kusal Perera jකුසල් පෙරේරා 

(දේශපාලන හා සමාජ විශ්ලේෂක)

2020 ඔක්තෝම්බර 30



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්