ටෙක්සාස් වෙතට වැටී ඇති පාලම දිගේ උදෑසන එහා මෙහා ගමන් කරමින් සිටි ජනයා පසුකරමින් දිව යද්දී මීරියම් රොද්‍රිගේස් සිය පසුම්බියේ තිබූ පිස්තෝලය තරයෙන් අල්ලා ගත්තා ය. 
හුස්ම අල්ලා ගන්නටත් ඇගේ ඊළඟ ඉලක්කය වූ මල්කරුවාගේ ඡායාරූපය පිරික්සා බලන්නටත් එසේ දිව යන අතරතුර ඇය කිහිපවිටකම නැවතුණා ය.
 
වසරක් තිස්සේ ඇය ඔහු ලුහු බැඳ ගියා ය.
 
 අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ වගතුග සොයමින්, ඔහු සමඟ ගනුදෙනු කළ අපරාධකරුවන්ගෙන් විමසමින්, ඔහු ආගිය තැන් ගැන හෝඩුවාවක් සොයාගන්නට නොදන්නා ගානට ඔහුගේ ඥාතීන් සමඟින් පවා මිතුරු වුණා ය. 
 
අවසානයේ ඇයට හෝඩුවාවක් හමුවුණි.
 
 ඔහු දේශසීමාවේ මල් වෙළඳාම් කරමින් සිටින බවට වැන්දඹුවක් ඇයට කතා කර පැවසුවා ය. 
 
සිය 20 හැවිරිදි දියණිය කැරන්, පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුතු පුද්ගලයින් පසුපස ඇය 2014 සිට ලුහු බඳින්නී ය. 
 
ඝාතනයට වගකිව යුත්තන්ගෙන් අඩක්ම මේ වනවිට සිරගතකර තිබෙන්නේ බලධාරීන් විසින් අපරාධයේ සුලමුල සොයාගිය නිසා නොව, සූක්ෂම අන්දමින් ඔවුන් කරඇර සිටිය දී ඇය විසින්ම අපරාධකරුවන් හඹා ගිය නිසා ය.
 
සිය කෙස්වැටිය කපා දමා, ඉතිරිය වර්ණ ගැන්වූ මීරියම් අපරාධකරුවන්ගේ නම් සහ වාසදේස ලබාගැනීම සඳහා ජනමත විමසන්නියක, සෞඛ්‍ය සේවිකාවක මෙන්ම ඡන්ද නිලධාරිනියක ලෙස ද වෙස් මාරු කර ගත්තා ය.
 
 ලබාදෙන තොරතුර කෙතරම් කුඩා එකක් වූවත් ඔවුන්ගේ පවුලේ උදවිය එනම්, සැකයක් උපදවා නොගන්නා ආච්චිඅම්මලා, ඥාති සොහොයුරු, සොහොයුරියන් මුණ ගැසීමට ඇය නොයෙකුත් හේතු හදාගත්තා ය. 
 
ඒ සියල්ලම සටහන් තබා ගනිමින් සිය කළු පැහැති පරිගණක බෑගයේ අඩුක් කරගත් ඇය විමර්ශනය අඩියෙන් අඩිය ගොඩ නගමින් එක එකා බැගින් හසු කරගනිමින් සිටියා ය.
 
ඇය ඔවුන්ගේ හැසිරීම් විලාසය, හිත මිත්‍රාදීන්, ගම්බිම්, ළමා කාලය ආදී සියල්ල දැන සිටියා ය. 
 
සෙටා කල්ලියට බැඳී සිය දියණිය පැහැරගැනීමේ අපරාධයට සම්බන්ධ වීමට පෙර මල්කරුවා වීදිවල මල් විකිණූ බව ඇය දත්තා ය. දැන් ඔහු සිටියේ පලා යමිනි, පුරුදු රස්සාවේ නියෙලෙමින් සිය බඩ වියත රැක ගැනීම සඳහා රෝස මල් විකුණමිනි.
 
නෑමට හෝ නතර නොවී පිජාමා ඇඳුම උඩින් ලොකු කබායක් ද, රක්ත වර්ණ කෙස් වැහෙන්නට බේස්බෝල් තොප්පියක් ද, පසුම්බියට තුවක්කුවක් ද දමාගත් ඇය මල්කරු සොයා දේශසීමා ආසන්නයට පිවිසියා ය. 
 
පාලම උඩ සිට, මල් කරත්ත රැගත් වෙළෙන්දන් සිටිනවා ද යන්න අස්සක් මුල්ලක් නෑර ඇය සොයා බැලූ නමුත් එදින ඔහු මල් වෙනුවට විකුණමින් සිටියේ අව් කන්නාඩි ය. 
 
අන්තිමේ දී ඔහු හමුවූ විට ඇය ඕනවට වඩා කලබල වූ අතර දෙදෙනාම සිටියේ ඉතා සමීපයෙනි. ඇය හඳුනාගත් ඔහු දුවන්නට පටන් ගත්තේ ය.
 
පටු පදික මාර්ගය දිගේ ඔහු වේගයෙන් දුව යන්නට වුණේ පලායාමේ අරමුණෙනි. 
 
එවකට 56 හැවිරිදි වියේ පසුවූ රොද්‍රිගේස් මහත්මිය, ඊට ඉඩ නොදී ඔහුගේ කමිසයෙන් අල්ලා අත් වැටට සිර කරගෙන තුවක්කුව ඔහුගේ පිටට තබා තද කළා ය.
 
"හෙලවුණොත් මම තමුන්ට වෙඩි තියනවා," යැයි එම අවස්ථාවේ දී ඇය ඔහුට පැවසූ බව එදින මල්කරු අල්ලා ගැනීමේ ක්‍රියාදාමයට එක්වූ ඇගේ පවුලේ සාමාජිකයින් පවස යි. 
 
පොලිසිය පැමිණ අත්අඩංගුවට ගන්නා තෙක්ම පැයකට ආසන්න කාලයක් ඇය ඔහු රඳවාගෙන සිටියා ය.
 
නැවත උපන් (ආත්මිකව) කිතුණුවෙක්, කුලී රථ රියදුරෙක්, මෝටර් රථ අලෙවිකරුවෙක්, ළදරුවන් බලා ගන්නියක් ලෙසින් සිය ජිවිත අලුතින් ආරම්භ කිරීමට උත්සහ කළ, කප්පම් ගැනීමට සිය දියණිය පැහැරගත්, ඒ මැර කල්ලියේ අපරාධකරුවන් අතරින් ජිවත් වන සියලු දෙනාම පාහේ වසර තුනක් වැනි කාලයක් ඇතුලත අල්ලා ගැනීමට රොද්‍රිගේස් මහත්මියට හැකි විය.
 
සමස්තයක් වශයෙන් බැලූ විට පුද්ගලයින් 10 දෙනකු කොටු කරගැනීමට ඇය මූලික විය. 
 
යුක්තිය උදෙසා පිපාසයෙන් මෙහෙයවූ මේ ව්‍යාපාරය නිසා ඇය ප්‍රසිද්ධියට පත්වූවත් ඇගේ ජීවිතය තිබුණේ අනතුරුදායක අඩියක ය.
 
 කිසිවෙක් සංවිධානාත්මක අපරාධවලට අභියෝග කළේ හෝ එම කල්ලිවල  සාමාජිකයින් සිරගත කිරීම ගැන තැකුවේ නැත.
 
මැර කල්ලි තමන්ගේ අවසානය දකින්න බලාසිටිනවා යැයි බියෙන් සන්නද්ධ ආරක්ෂකයින් ලබාදෙන මෙන් ඇය රජයෙන් ඉල්ලා සිටියා ය.
 
සිය අවසන් ඉලක්කවලින් එකක් හඹා ගොස් අල්ලාදීමෙන් සති කිහිපයකට පසුව, 2017, මව්වරුන්ගේ දිනය දා සිය නිවෙස ඉදිරිපිටදීම වෙඩි තබා ඇය මරා දැමුණි. 
 
නිවෙස ඇතුලේ රුපවාහිනී නරඹමින් සිටි සැමියාට ඇය හමුවන්නේ පිස්තෝලය බහාලු පසුම්බිය ඇතුලට අත දමාගත් වනම මහපාරේ මුනින් අතට වැටී සිටිය දී ය.
 
 

1මීරියම් රොද්‍රිගේස්ගේ නිවසේ (දැන් ඇගේ සැමියාට අයත් නිවසේ) බිත්තියක එල්ලා ඇති ඇගේ ඡායාරුවක්

 
උතුරුදිගට වන්නට පිහිටි ශාන්ත ෆර්නැන්ඩෝ හි වෙසෙන බොහෝ දෙනකු නියෝජනය කරන ඇයගේ කතාවෙන් මෙක්සිකෝවට අත් වී ඇති ඉරණම මෙන්ම රජයේ නොසැලකිලිමත්කම හමුවේ පවා ජනතාවගේ දැඩි උත්සාහය පෙන්නුම් කර යි. 
 
සිය දියණියගේ අතුරුදහන් වීම ගැන තැවෙමින් සිටින මවකට ඒ අපරාධය ගැන තමන්ටම සොයන්නට සිදුවීම සහ ඒ වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සිදුවීම දක්වා ප්‍රචණ්ඩත්වයෙන් සහ සාහසිකත්වයෙන් රට දෙකඩ වී ඇත.
 
ඇය විසින් දියත් කළ මේ සටන - නඩු ලිපිගොනු නැවත පෙරලා බැලීම්, සාක්ෂි ලබාගැනීම්, ඇය විසින් කොටුකළ අපරාධකරුවන්ගේ පාපොච්චාරණ, ඥාතීන්, පොලිස් නිලධාරීන්, යහළුවන්, බලධාරීන් සහ අසල්වැසියන් විශාල සංඛ්‍යාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡා - ශාන්ත ෆර්නැන්ඩෝ නුවර ටික කාලයකට හෝ කණපිට පෙරළනු ලැබී ය. 
 
ජනතාව ඇගේ සටන කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබාගත් අතර ඇගේ මරණය ඔවුන් තුළ ඇති කළේ කෝපයකි. 
 
ඇයට ගෞරව දැක්වීම පිණිස නගර මධ්‍යයේ ඔවුහු ලෝහ ඵලකයක් තැම්පත් කළ හ. 
 
සිය සමීපතමයන් අතුරුදහන් වූ, එනුවර පවුල් ගණනාවක් පංගුකාරයන් වූ, ඇය ආරම්භ කළ සටනට දැන් පෙරමුණ ලබාදෙන්නේ ඇයගේ පුත්‍රයා ලුයිස් විසිනි. 
 
ඇයගේ ඝාතකයින් අල්ලා ගන්නා බවට ද රජය සපථ කර ඇත.
 
දශකයක ප්‍රචණ්ඩත්වයේ කැළැල්වලින්, මැර කල්ලි අතර දරුණු යුද්ධවලින්, සංක්‍රමණිකයින් 72ක් ඝාතනයෙන් සහ රොද්‍රිගේස් මහත්මිය මරා දැමීම වැනි තමන්ගේම ඛේදජනක ඉතිහාසයෙන් හෙම්බත් වූ ශාන්ත ෆර්නැන්ඩෝ නුවර ටික කාලයක් නිසොල්මන්ව සිටියේ ය. 
 
මේ වසරේ ජූලි මස දී ලුසියානෝ ලීල් ගාසා නම් 14 හැවිරිදි පිරිමි ළමයෙක් ප්‍රසිද්ධියේ මහමගදී පැහැරගෙන යනතෙක් එය එසේ විය. 
 
මෙය රොද්‍රිගේස් මහත්මියගේ දියණියගේ පැහැරගැනීමෙන් පසුව කප්පම් ගැනීම සඳහා කළ පැහැරගැනීම්වලින් වඩාත් ප්‍රසිද්ධි වූ සිදුවීම යි.
 
රොද්‍රිගේස් මහත්මියගේ 36 හැවිරිදි පුත්‍රයා ලුයිස්ට, මෙම පැහැරගැනීම හා සිය සොහොයුරියගේ පැහැරගැනීම අතර සමානකම් නොදැක සිටීමට නොහැකි වූ අතර සිදුවීම ආරංචියෙන් ඔහු කම්පාවට පත්විය. 
 
රොද්‍රිගේස් මහත්මියගේ දියණිය හා සමානවම ලුසියානෝ ද පැහැර ගෙන තිබුණේ සිය පවුලට අයත් ට්‍රක් රථයක් තුළ දී ය. 
 
රොද්‍රිගේස් මහත්මියගේ පවුල කැරන් මුදා ගැනීම සඳහා ආසාර්ථක උත්සහයන්වල යෙදුන ලෙසින්ම ලුසියානෝගේ පවුල ද තමන්ගේ පුතා මුදා ගැනීමට දෙවතාවක් කප්පම් ගෙවා තිබුණි. 
 
එය නැවත සිදුවෙමින් තිබේ.
 
ලුසියානෝ වෙනුවෙන් සාධාරණය ඉල්ලා නගර වැසියෝ පෙළපාලි ගිය හ. ඔහු ගැන හෝඩුවාවක් සොයමින් භට කණ්ඩායම් මුඩු බිම් පිරික්සා බැලූ හ. 
 
නිර්භීත තැනැත්තියක වන ඔහුගේ මව, ඇනබෙල් ගාසා, මෙක්සිකෝව තුළ දී ආගිය අතක් නැතිවූ විශාල සංඛ්‍යාවකගේ - රට පුරා 70,000 වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත- හඬ බවට පත්විය.
 
 
 

2

මැර කල්ලි අතර දශකයක පමණ කාලයක් ඇදී ගිය ගැටුම් නිසා  ශාන්ත ෆර්නැන්ඩෝ නුවර බියෙන් ඇලලී තිබුණි.
 
 
 3
ශාන්ත ෆර්නැන්ඩෝ හි උද්‍යානයකට ඇදගෙන ගොස් පැහැරගත් ලුසියානෝ ලීල් ගාසා ගැන දීර්ඝ සෝදිසි කිරීම් කරන කාලයේ දී ශාන්ත ෆර්නැන්ඩෝ නුවර පුරා ප්‍රදර්ශනය කරතිබූ පුවරු  
 
 
 
නමුත් මෙවර සටන බොහෝ සෙයින් වෙනස් මුහුණුවරක් ගනු ලැබී ය. අධිෂ්ඨානයෙන් සහ ධෛර්යයෙන් සිය දියණිය සොයාගිය රොද්‍රිගේස් මහත්මිය, වසර ගණනකට පසුව ලුසියානෝ සොයායාමේ සටනට මඟපෙන්වීමක් මෙන්ම ඕනවට වඩා බලපෑම් කිරීමේ දී විය හැකි දේ ගැන අනතුරු ඇඟවීමක් ද විය. 
 
රොද්‍රිගේස් මහත්මිය, සිය දියණියගේ ඝාතකයන් නිර්දය ලෙස හඹා ගිය ආකාරයෙන් නොව ලුසියානෝගේ දෙමව්පියන් බලවත් මැර කල්ලිවලට දඬුවම් කිරීමට උත්සහ කළේ නැත. 
 
සිය පුතු නැවත ගෙන්වා ගැනීම යන මුලික කාරණය ගැන ඔවුන් බලාපොරොත්තු තැබී ය. 
 
"බලන්න, අපි හැමෝටම මීරියම් කරපු දේ කරන්න ඕන," යනුවෙන් ලුසියානෝ යන නමම ඇති පිරිමි ළමයාගේ පියා පවස යි. 
 
ඔහු මෙසේ කියා සිටින්නේ තමන්ගේ පුතා අතුරුදහන් වී තුන්මසක් ගතවූ තැන ය. "ඒත් බලන්න අවසානයේ ඇයට වෙච්ච දේ. මරණය."
 
"ඒකයි අපේ බය," ඔහු කිය යි.
 
 
දියණිය උදෙසා මවගේ ලුහු බැඳ යාම:
 
 
 
දියණිය නැවත බාරදෙන මෙන් රොද්‍රිග්ගේස් මහත්මිය අයැද සිටිනා අතරතුරදී, පැහැරගැනීම සිදුකළ එක් පුද්ගලයකුගේ බඳ පටියෙන් පහලට එල්ලෙන වෝකි-ටෝකිය ඇයට බාධා පමුණුවමින් නිතරම හඬ නැංවීය.
 
කැරන් පැහැරගත්තාට පසු සති කිහිපය පිළිකුල් සහගත දුරකථන ඇමතුම්, තර්ජන සහ බොරු පොරොන්දුවලින් අඩුවක් නැතිවිය. 
 
පළමු කප්පම් මුදල ගෙවීම සඳහා රොද්‍රිගේස් මහත්මියගේ පවුල ණයක් ගත්තේ, එවැනි ගෙවීම් සිදු කිරීමට වැල් ණය ලබාදෙන බැංකුවකිනි.     
 
රොද්‍රිගේස් මහත්මියගේ පවුල සෑම උපදෙසක්ම අකුරටම පිළිපැදී ය. මුදල් පිරවූ මල්ල සුව සායනය ආසන්නයේ තැබූ කැරන්ගේ පියා කප්පම්කරුවන් විසින් සිය දියණිය නිදහස් කරන තුරු කනත්ත අසල නිෂ්ඵල හැඟීමෙන් බලා සිටියේ ය.  
 
තවත් නැතිවෙන්න දෙයක් නොතිබූ  බැවින් රොද්‍රිගේස් මහත්මිය සෙටා කල්ලියේ සාමාජිකයින් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. පුදුමයට මෙන් ඔවුන් ඊට එකඟ විය. 
 
ඒ අනුව, නගරයේ ඇති එල් ජූනියර් නම් ආපනශාලාවේ දී ඇය තරුණ හීන්දෑරි මිනිසෙකු මුණගැසුණි. 
 
 
 4 රොද්‍රිගේස් මහත්මිය මැර කල්ලි සාමාජිකයෙක් මුණගැසීමට ගිය ශාන්ත ෆර්නැන්ඩෝ හි අවන්හල
 
 
2014 වසර, ශාන්ත ෆර්නැන්ඩෝ නුවරට සැබවින්ම භයානක කාලයක් විය. වෙඩි තැබීම්වලට බියෙන් බීමහල් සහ ආපනශාලා බොහොමයක් වසා දැමුණි. මළකඳන් 20කට අඩුවෙන් හමුවීම කලාතුරකින් පුවත් සිරස්තලයක් වූ ඒ අවදියේ සමූහ මිනීවළවල් සුලබ විය.
 
කලකදී, ගල්ෆ් කල්ලියට සම්බන්ධ ආයුධ සන්නද්ධ පාර්ශවයක් වූ සෙටා කල්ලිය, වසර ගණනක් තමන්ට නායකත්වය සැපයු එම කල්ලියට විරුද්ධව සටන් මෙහෙයවමින් සිටියේ ය. 
 
ඔවුන්ගේ සටන්වලට මුදල් සොයාගැනීමේ අරමුණින් අහිංසකයින් පැහැරගෙන කප්පම් ඉල්ලීම හෝ කල්ලියට බලෙන් බඳවා ගැනීම සිදු කෙරුණි. 
 
සමහර අවස්ථාවල දී ඔවුන් විනෝදය උදෙසා සිරකරුවන් දම්මවා මරණීය ක්‍රීඩා පැවත්වී ය.
 
කැරන්ගේ වැඩිමහල් සොහොයුරා ලුයිස්, මෙම අනතුරින් බේරීමට වෙනත් ප්‍රදේශයකට පලා ගියේ ය. 
 
නමුත්, පාසල් අධ්‍යාපනය අවසන් කරන්නත්, රෝඩියෝ බූට්ස් නම් සිය මවගේ කුඩා ගොපලු ඇඳුම් සාප්පුව පවත්වාගෙන යාමට උපකාර කරන්නත් කැරන් එහිම නැවතුණි.
 
ජනවාරි 23 වැනිදා පිකප් ට්‍රක් රථය පදවාගෙන ගිය කැරන්, මාර්ගයේ ගමන් කරන අනෙකුත් වාහන අතරට එකතුවීමට උත්සහ කරනවත් සමඟ තවත් ට්‍රක් රථ දෙකක් දෙපසින් පැමිණ ඇයට ඉදිරියට යාමට ඉඩ නොතබා අවහිර කර තිබුණි. 
 
ආයුධ රැගත් පුද්ගලයින් බලහත්කාරයෙන් වාහනයට ඇතුල්වී ට්‍රක් රථය සමඟින් ඇය පැහැරගෙන ගොස් තිබුණි.
 
 

5             රොද්‍රිගේස් මහත්මියගේ දියණිය කැරන් පැහැගත් ස්ථානය

 
 

6රොද්‍රිගේස් මහත්මියගේ ගොපලු ඇඳුම් සාප්පුව පිහිටි, දැන් අත්හැරදමා තිබෙන වෙළඳපොල  

 
 
ඔවුන් ඇය රැගෙන පැමිණ තිබුණේ, ළමයි බලාගන්නියක ලෙසින් ටෙක්සාස් හි සේවය කළ රොද්‍රිගේස් මහත්මිය නිවසින් බැහැර ගොස් ඇති විටදී, කැරන් කාලය ගත කළ පවුලේ නිවසටම ය. 
 
කැරන්ගේ කට බැඳ, අත්පා ගැටගසා සාලයේ දමා සිටිය දී පවුලේ ට්‍රක් රථයේ සේවය කිරීමට පැමිණි ඇයගේ මාමාගේ යන්ත්‍ර ක්‍රියාකරවන්නා දොරට තට්ටු කර තිබුණි.  
 
කලබලයට පත්වූ කප්පම්කරුවන් පලාගොස් තිබුණේ ඔහු ද අල්ලා ගෙන ය.
 
දැන්, රොද්‍රිගේස් මහත්මිය ඔවුන්ගෙන් එකකු සමඟ වාඩි ගෙන සිටින්නී ය. ඔහුගේ රේඩියෝව නොනවත්වා හඬ තලන අතරතුර ඇය ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ කැරන් මුදා හරින ලෙස ය. 
 
ඇයගේ දියණිය මැර කල්ලිය සන්තකයේ නැති බව ඔහු ස්ථිර ලෙස කියා සිටි නමුත්, ඩොලර් 2000ක මුදලක් දෙනවා නම් දියණිය සොයා දීමට උදව් වන බව කියා සිටියේ ය. රොද්‍රිගේස් මහත්මිය එම මුදල ගෙවා දැමුවා ය. කිසියම් කෙනෙක් ඔහුට "සැමා" නමින් ඇමතු බව අතරින් පතර ඇයට ඇසුණි.
 
සතියකට පසුව ඔහූ දුරකතනයට පිළිතුරු දීම නවතා දැමුවේ ය. පැහැරගත් පුද්ගලයින් බව පවසමින් වෙනත් පුද්ගලයෝ ඇමතුම් ලබා දුන් හ. ඔවුන්ට තව මුදල් ටිකක් වුවමනා විය. තව ඩොලර් 500ක් ඔවුන් පැවසී ය. එසේ කිරීමෙන් කැරන් ආපිට ඒවි යැයි පවුලට දෙගිඩියාවක් තිබූ නමුත් කෙසේ හෝ මුදල් ගෙවී ය.
 
සෑම ගෙවීමක්ම රොද්‍රිගේස් මහත්මියට අලුත් බලාපොරොත්තුවක් විය. කැරන් ආපසු ගෙන්වා ගැනීමට කරන සෑම මුදල් ලබාදීමක්ම ඵල රහිත වනවිට ඇයගේ බලාපොරොත්තු එන්න එන්නම කඩ විය.
 
"බලාපොරොත්තුව" යන්න අතුරුදහන් වූවන්ගේ පවුල් බොහොමයකට හලාහල විස කි. එක්කෝ, ඔවුන් සිය ආදරණියන් නැවත පැමිණේ යයි බලාපොරොත්තු අත්හැර ඉදිරියට යාමට උත්සහ කර යි, නැතිනම් බලාපොරොත්තු රඳවා ගනී යි, එයින් ඔවුන් විනාශ වෙයි.
 
ඒ වනවිටත් ස්වාමි පුරුෂයාගෙන් වෙන්වී සිටි රොද්‍රිගේස් මහත්මිය සිය වැඩිමහල් දියණිය අස(z)ලියා, සමඟින් විසුවා ය. 
 
අවසන් ගෙවීම සිදුකර සති කිහිපයකට පසු එක් උදැසනක, පහල මාලයට පැමිණි ඇය, කැරන් නැවත නොපැමිණෙන බව තමන් දැනසිටි බවත් ඇය බොහෝවිට ජීවතුන් අතර නැති බවත් අස(z)ලියාට පැවසුවා ය. ඇය එය පවසා තිබුණේ නින්දෙන් දොඩවනවා මෙනි. 
 
කැරන් උදුරාගෙන ගිය මිනිසුන් සොයාගන්නා තෙක් තමන්ට නිවනක් නැති බව ඇය අස(z)ලියාට පවසා තිබුණි. 
 
මියයන දිනය තෙක්ම ඇය ඔවුන් එකා බැගින් හසුකර ගත්තා ය. සිය මවගේ ශෝකය ක්‍රමයෙන් දැඩි අධිෂ්ඨානයක් බවට පරිවර්තනය වන අයුරු අස(z)ලියා දුටුවා ය, ඇගේ බලාපොරොත්තුව වාඩුව ගැනීමට පාර කියුවා ය. 
 
ඉන් පසුව ඇගේ මව වෙනස්ම තැනැත්තියක් වූවා ය.
 
 
ලුසියානෝගේ පැහැර ගැනීම:
 
 
ශාන්ත ෆර්නැන්ඩෝ හි ජිවත් වනවා කියන්නේම සමහර නියමයන් පිළිගැනීම යි.
 
විසල් නගරවල වැසියන් වාහන තදබදය නැතිනම් පරිසර දුෂණය දරා සිටිනවා හා සමානවම මෙම පවුල්, පැහැරගැනීම් සහ මැර කල්ලි විසින් පනවනු ලැබූ ඇඳිරි නීතියෙන් පීඩා විඳ ඇත. 
 
ප්‍රචණ්ඩත්වයෙන් රාමුගත වුණු බොහොමයක් ජිවිතවලට ඇත්තේ කෙටි ආයුෂ කාලය කි. අතුරුදහන් වූ පුත්තු, තම ආදරණියන් මරාදැමූ පවුල්, අත්හැර දැමු නිවෙස් නැති නිවාස සංකීර්ණයක් සොයාගැනීමට නොහැකි තරම් ය. 
 
60,000 ක් පමණ ජිවත් වන ශාන්ත ෆර්නැන්ඩෝ නගරය අවාසනාවකට, සිය වර්ග ප්‍රමාණයටත් වඩා අපකීර්තිය විඳ ඇති නගරයකි. 
 
තමවුලිපාස් ප්‍රාන්තය හරහා උතුරට වැටෙන ප්‍රධාන මාර්ගයේ මෙම නගරය පිහිටා ඇත. නගර සීමාවෙන් පිටත එක්සත් ජනපද දේශසීමා වෙත යොමුවෙන අධිවේගී මාර්ග පොකුරක් පිහිටා ඇත. අධිවේගී මාර්ගවලින් පිටත පිහිටි මුඩු බිම්වල දුහුවිලි පිරුණු පාරවල්, ජාවාරම්කරුවන්ට සිය ජාවාරම් කරගෙන යාම සඳහාම ගැලපෙන මාර්ග ජාලයක් නිර්මාණය කර ඇත.      
 
 
 

7මැර කල්ලි හොර රහසේ එහා මෙහා ගමන් කිරීම සඳහා යොදා ගන්නා මෙක්සිකෝවේ රේනොසා හි පිටත දුෂ්කර ප්‍රදේශයක් පොලිස් නිලධාරීන් සෝදිසි කරනා ආකාරය 

 
 
2010 දී, නගරය ආසන්නයේ විශාල ගොවිපොලක තිබී මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයන් 72 කගේ මළ සිරුරු ෆෙඩරල් නිලධාරීන් විසින් සොයාගත් අතර මැර කල්ලියක් විසින් මෙතෙක් සිදු කළ අතිශය මිලේච්ඡ ඝාතන සිදුවීම එය බව විශ්වාස කෙරුණි.    
 
බස් මගීන් පැහැරගෙන යාමේ සිදුවීමක් ඔස්සේ විමර්ශන කර බැලීමේ දී ශාන්ත ෆර්නැන්ඩෝ නගර සීමාවේ සමූහ මිනිවළකින් සිරුරු 200කට ආසන්න ප්‍රමාණයක් ඊට පසු වර්ෂයේ දී සොයාගැනීමේ සිදුවීම වනතෙක් අවම වශයෙන් එය එසේ පැවතුනි.
 
බොහොමයක් දෙනා මෙම ප්‍රචණ්ඩත්වය මගහැර පලා යාමට කටයුතු කළ ද, සමහරක් එහිම සිර වුයේ ඔවුන් ශාන්ත ෆර්නැන්ඩෝ තුල වෙනම ජිවිතයක් ගොඩනගා ගෙන තිබු නිසා සහ වෙනත් පුද්ගලයින් හේතුවන් එම ජීවිතය අතහැර යාමට අකමැති වූ නිසා ය. ලුසියානෝගේ පවුල එහිම නැවතුණි. 
 
ලුසියානොගේ සීයා, ලුසියානෝ, සාර්ථක බ්ලොක් ගල් ෆැක්ටරියක් පවත්වාගෙන ගියේ ය. නම ලුසියානෝ වුණු ඔහුගේ පියා ද සාර්ථක ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලක් පවත්වාගෙන ගියේ ය. 14 හැවිරිදි වියේ පසුවූ පුංචි ලුසියානෝ ද පාසල් නොයන කාල සීමාවේ දී ඔවුන් දෙදෙනාට උදව් කළේ ය.   
 
කැරන්ගේ පැහැර ගැනීම සහ රොද්‍රිගෙස් මහත්මියගේ වික්‍රමයේ ඛේදජනක අවසානය පිළිබඳව නගරයේ වෙසෙන සියලු දෙනාම මෙන් ලුසියානෝගේ ඥාතිහු ද දැන සිටිය හ. 
 
තමන් සතු සම්පත් නිසා සිය පවුල රොද්‍රිගෙස් පවුලටත් වඩා ලොකු ඉලක්කයක් බවට පත් වී ඇති බව ඔවුහු දැන සිටිය හ. 
 
වසර ගණනාවක සිට ලුසියානෝ පවුලේ කිහිපදෙනෙක්ම කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් තිබුණි. 2012 වසරේ දී ඔහුගේ පියා පැහැරගෙන ගොස් දින 33ක් රඳවාගෙන තිබුණි.
 
ඥාතීන් ප්‍රවේසම් වීය, අවධානයෙන් දරුවන් ගැන සොයා බලමින් ඔවුන් මුර කෙරුණි. නමුත් පහර දිය යුතු ආකාරය ගැන කප්පම්කරුවෝ හරියටම දන සිටිය හ.
 
තරුණ කෙල්ලකගේ ෆේස්බුක් ගිණුමක් ආධාරයෙන් ලුසියානෝ උගුලට හසු කරගන්න ඔවුන් සති ගණනක් කල් මැරී ය.
 
"ඔයා හරිම කඩවසම්," එම ගිණුමෙන් ඔහුට පණිවිඩයක් තැබී ය. "දවසක ඔයා මුණගැහෙන්න මම හරි කැමති යි."   
 
උද්‍යානයේ දී ඉක්මන් හමුවකට කතිකා කරගැනුණු ඒ දිනය 2020 ජුලි 8 වැනිදා ය. ලුසියානෝ ඔහුගේ එක් නැගණියක් බලා ගනිමින් සිටි අතර හමුවී දිගු වෙලාවක් සිටිය නොහැකි බවට සඳහන් කරමින් පණිවිඩයක් යැවී ය.
 
නගරය වටා යාමට පවුල විසින් ලබාදුන් ට්‍රක් රථයේ නැගී යමින් සිටිය දී, තත්පර කිහිපයක් ඇතුලත ආයුධ රැගත් මිනිසුන් බලහත්කාරයෙන් කඩා වැදී, ඔහු සමඟින් වාහනය පැහැරගෙන ගොස් තිබුණි. ඒ ඉන් වසර හයකට පෙර කැරන් පැහැරගෙන ගිය ලෙසින්ම ය. 
 
 
 8
           ලුසියානෝ පැහැරගත් උද්‍යානය  
 
 
 9
ලුසියානෝ මුදාගැන්මට පළමු කප්පම් මුදල තැබූ දුහුවිලි පාර
 
 
එතැන් සිට පැය ගණනාවක් ලුසියානෝගේ පවුලේ උදවිය නගරය පුරා උමතුවෙන් මෙන් ඔහු සොයමින් ගිය හ. ඔහුගේ සොහොයුරිය ෆේස්බුක් ගිණුම විවෘත කළ පසුවයි සිදුව තිබුණේ කුමක් ද යන්න ඔවුන්ට වැටහී ගියේ. 
 
ලුසියානෝ රැගෙන ගොස් ටික වෙලාවකට පසුව කප්පම්කරුවන් ඔහුගේ පියා අමතා ලුසියානොට දුරකථනය ලබා දී තිබුණි. ඔහු පළමුවෙන්ම විමසා තිබුණේ සිය කුඩා නැගණියන් දෙදෙනා ආරක්ෂිතව ඉන්නවා ද යන්න යි. 
 
කැරන්ගේ පියා මින් වසර ගණනකට පෙර දී සිදු කළ අයුරින්ම ඊට පසුව දා, ලුසියානොගේ පියා සල්ලි පිරවූ මල්ලක් අධිවේගී මාර්ගයට ලම්භකව පිහිටි අතහැර දමා තිබූ දූවිලි පාරක තබා පැමිණියේ ය. එදිනට පසුවදා කප්පම්කරුවන් පැවසුවේ ඔවුන්ට මීට වඩා මුදල් උවමනා බව යි.
 
දෙවැනි කප්පම් මුදල සඳහා, ලුසියානෝගේ පියා පැය දෙකක් වාහනය පදවා ගෙන ගොස්, අතහැර දැමූ ඉන්ධන හලක ගෙවී ගිය ටයර් දෙකක් අතරමැද මුදල් බෑගය තබා පැමිණියේ ය. ඔහු නැවත ශාන්ත ෆර්නැන්ඩෝ වෙත වාහනය පදවන විට දී කප්පම්කරුවන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. 
 
එදින රාත්‍රියේ පුංචි ලුසියානෝ පවුලේ නිවසට ගෙනත් ඇරලවන බව ඔවුන් පැවසී ය. කිසිවකුටත් නින්දක් නොවී ය. මාර්ගයෙන් එන සෑම හඬකින්ම පාහේ ඔවුන් තිගැස්සුණි.
 
ඊළඟ උදැසන කප්පම්කරුවන් දුරකතනයට පිළිතුරු දීම නවත්වා තිබුණි. ලුසියානෝ ගෙදර නොඑන බව පවුලට වැටහුණි.
 
පොලිසියට යාමෙන් අත්වන ප්‍රතිවිපාකය ගැන එමොහොතේ පවා  ඔවුහු සිතමින් සිටිය හ. නමුත් තමන්ට අහිමිවීමට කිසිවක් නොමැති බව ඔවුන්ට වැටහුණි.
 
"දෙමව්පියන් වශයෙන් කෙනකුට අත්විය හැකි ලොකුම බිය වන්නේ දරුවෙකු අහිමි වීම යි," යනුවෙන් ඔහුගේ මව, ගාසා මහත්මිය පවසන්නී ය. "ඔවුන් දැනටමත් අපිට එය සිදුකර තිබෙනවා."
 
  
සන්ධිස්ථානය:
 
 
සෑම කෙනෙක්ම පාහේ සමාජ මධ්‍යයවල සිය ඡායාරූප පළ කර යි. පොඩි පහේ මැරයින් පවා. රොද්‍රිගේස් මහත්මියට අවශ්‍ය කළේ සැමාගේ එවැනි පොඩි අත්වැරැද්දක් පමණ යි. 
 
කැරන්ගේ පැහැරගැනීම පසුපස ඔහු ඉන්නා බව ඇය දැනටමත් තහවුරු කරගෙන තිබුණි. ඒ, එදින රාත්‍රියේ සිය දියණිය සමඟින් පැහැරගෙන ගිය යන්ත්‍ර ක්‍රියාකරවන්නාට ස්තූති වන්නට ය. 
 
ඔහු රඳවා ගන්න මැර කල්ලියට උවමනාවක් නොවූ අතර ඔවුන් ඔහුට යන්න දුන් පසු රොද්‍රිගේස් මහත්මිය ඔහු දුටු, ඇසූ දේ ගැන සියලු මතකයන් හාර බැලී ය. 
 
හෝඩුවාවක් සොයා ගැනීමට කැරන්ගේ ෆේස්බුක් ගිණුමේ පැය ගණන් ගත කරමින් ඇය සමාජ මාධ්‍ය රහස් පරික්ෂකයකු බවට පත්ව සිටියා ය.
 
එක් උදැසනක සෝෆාවේ දිගඇදී සිටිය දී, සැමාගේ නම ෆේස්බුක් ඡායාරූපයකට ටැග් කර තිබෙනු ඇගේ ඇස ගැටුණි. හොඳින් රැවුල බෑ, හීන්දෑරි පෙනුමැති ඔහු එසැනින් හඳුනා ගැනීමට ඇයට හැකිවිය. 
 
පැය දෙකක පමණ දුරින්, සියුඩාඩ් වික්ටෝරියා හි පිහිටි අයිස්ක්‍රීම් වෙළඳසලක නිල ඇඳුම ඇඳගත් තරුණ කාන්තාවක් ඔහු පසෙකින් හිටගෙන සිටිනු ඡායාරූපයේ දක්නට ලැබුණි.
 
තරුණ කාන්තාව වැඩ කරන පැය ගණන කටපාඩමින් කීමට හැකිවන තෙක්ම රොද්‍රිගේස් මහත්මිය වෙළඳසල අසල සති ගණන් කරක්ගැසුවා ය. සැමා එනතෙක්ම ඒ සෑම වැඩ මුරයක්ම රැකගෙන සිටියා ය. අවසානයේ ඔහු පැමිණි විට ඇය ඔවුන් දෙදෙනා ලුහුබැඳ ගොස් ලිපිනය සටහන් කරගත්තා ය.  
 
පොලිසිය ක්‍රියාත්මක කරවීමට නම් ලිපිනයකට එහා ගිය දෙයක් ඇයට අවශ්‍ය විය. ඇයට නම දැනගන්න වුවමනා විය. එය ලබා ගැනීමට නම් ඔවුන්ට වඩාත් සමීප විය යුතු ය.
 
ඇය සිය කෙස්වැටිය කපා දමා, සැමාට තමන් හඳුනාගැනීමට නොහැකි වන ලෙසින් ඉතිරි කෙස් තද රතු පැහැයෙන් වර්ණ ගැන්වූවා ය. 
 
සෞඛ්‍ය අමාත්‍යංශයේ පහළ පෙළේ රැකියාවකින් ඉතිරි කරගත් පැරණි රජයේ නිළ ඇඳුමක් ද උඩින් ඇඳ ගත්තා ය. 
 
බැලූ බැල්මට රාජකාරි හැඳුනුම්පතක් ලෙසින් පෙනෙන හැඳුනුම්පතක් ද අතේ තබාගෙන සිය දියණිය පැහැරගත් පුද්ගලයකුගේ මූලික විස්තර ලබාගන්නා තෙක් දවසේ වැඩි කාලයක් ඇය ගත කළේ අසල්වැසියන්ගෙන් ව්‍යාජ මත විමසීමක් සිදුකරමිනි.
 
 10
  
දියණිය කැරන් පැහැරගත් සහ මරාදැමූ පුද්ගලයින්ගේ විස්තර අඩංගු සාක්ෂි එක්කාසු කර තිබූ සිය මවට අයත් කළු බෑගය රොද්‍රිගේස් මහත්මියගේ පුත් ලුයිස් විසින් පිරික්සමින්, ඔහු අල්ලාගෙන සිටින ඡායාරූපයේ දකුණු පස සිටින්නේ සැමා ය.
 
 
ඇය ප්‍රාදේශීය, ප්‍රාන්ත මෙන්ම ෆෙඩරල් බලධාරීන් වෙත ද ගියා ය. නමුත් කිසිවෙක් ඇයට උපකාර කළේ නැත. "නැහැ" යන වචනය කවදාවත් අවසානයක් ලෙස නොගත්, ගෙන් ගෙට යන අලෙවි නිලධාරියෙක් මෙන්, ඇය සිය ලිපිගොනු තොගය ද යන යන තැනට රැගෙන ගියා ය.
 
සහය දැක්වීමට කැමති ෆෙඩරල් පොලිස් නිලධාරියෙක් අවසානයේ දී, ඇයට හමුවිය.
 
"ඇය සිය ලිපිගොනු මේසය මතට ඇද දමන විට, එවැනි දෙයක් මම මින් පෙර දැක තිබුණේ නැහැ," යනුවෙන් අණදෙන නිලධාරියකු ලෙසින් ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින නිලධාරියා කියා සිටියේ ය.
 
 ප්‍රසිද්ධියේ මත පළ කිරීම සඳහා අවසර ලබාදී නැති බැවින් සිය නම සඳහන් නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය. "මේ කාන්තාව විසින් තනියම එක්රැස් කර තිබූ තොරතුරු වගේම විස්තර ප්‍රමාණය, පුදුම සහගත යි."
 
"යන්න පුළුවන් රජයේ සෑම තැනකටම ඇය ගිහින් තියෙනවා, ඒ හැම තැනකින්ම ඇයට හව්හරණක් හිමිවුණේ නැහැ," යනුවෙන් ඔහු පවස යි. 
 
"ඇයගේ දියණියගේ ජීවිතය උදුරාගත් මිනිසුන් අල්ලාගැනීමට උදව් කරන්නට ලැබීම, මගේ රාජකාරී ජිවිතය තුළ හිමිවූ සුවිශේෂී අවස්ථාවක්."   
 
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව රජය විසින් නිකුත් කරන විට සැමා නගරයෙන් පලාගොස් තිබුණි. 
 
අපේක්ෂා භංගත්වයෙන් රොද්‍රිගේස් මහත්මිය, කප්පම් කල්ලියේ සෙසු සාමාජිකයින් හඳුනාගැනීමේ උත්සාහයන් දෙගුණ කළ අතර වැඩි කල් යාමට මත්තෙන් සැමා සෙස්සන් සමඟින් පෙනී සිටි ඡායාරූප ගොන්නක් හොයාගැනීමට ඇයට හැකිවිය. 
 
ඉන්පසු, සැමා අහම්බෙන් මෙන් ඔවුන් ඉදිරියටම පැමිණියේ ය.
 
එය 2014 සැප්තැම්බර් 15 වැනිදා මෙක්සිකෝවේ නිදහස් සැමරුම් දිනය යි. 
 
රොද්‍රිගේස් මහත්මියගේ පුත් ලුයිස්, සැමරුම් උත්සවයට සහභාගී වීම පිණිස සියවුඩාඩ් වික්ටෝරියා හි පිහිටි සිය සාප්පුව වසා දමමින් සිටියේ ය. 
 
ඔහුගේ අවසන් පාරිභෝගිකයා වුයේ හිස්වැසුම් තෝරමින් සිටි කෙට්ටු, තරුණ හාදයෙකි. ලුයිස් තමන් කරමින් සිටි කාර්ය මදකට නතර කළේ, ඔහු දෙස වඩාත් ලංව බැලීමට ය. වෙන කවුරුවත් නොව එහි සිටියේ සැමා ය.
 
සිය මව ඇමතූ ලුයිස්, ඔහු පසුපස පරිස්සමින් ලුහු බැඳ ගියේ පොලිසිය පැමිණීමට පෙර ඔහු මඟ හැරෙන්නට ඉඩක් නොතබා ය. 
 
නගර මධ්‍යයේ දී පොලිස් අත්අඩංගුවට පත්වන විට සැමා, පයින් ගසමින් තමන් හෘද රෝගියෙක් යයි බෙරිහන් දී තිබුණි. රොද්‍රිගේස් මහත්මියට ලබාගැනීමට නොහැකි වූ අපරාධකරුවන්ගේ නම් සහ ස්ථාන පිළිබඳ විස්තර අත්අඩංගුවේ පසුවන විට දී ඔහු විසින් වමාරා තිබුණි.
 
ක්‍රිස්ටියන් හොසේ සපාටා ගොන්සාලේ නම් තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔහු යන්තම් 18 සම්පුර්ණ කර තිබුනා පමණි. මැර කල්ලිවල පිළිගත් වයසටත් වඩා ඔහු තරුණ විය. 
 
ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු බියට පත්වී සිටියේ ය. රොද්‍රිගේස් මහත්මිය ප්‍රශ්න කිරීම් සිදුකරන කාමරයෙන් පිටත වාඩි වී සිටින විට දී, සිය මව මුණගැසීමට හැකිදැයි මේ ගැටවරයා විමසුවේ ය.
 
"මට බඩගිනියි," ඔහු නිලධාරියාට පැවසුවේ ය. 
 
රොද්‍රිගේස් මහත්මියට අනුකම්පා සිතී, කාමරයට පැමිණ තමාගේ දිවා ආහාරය වූ බැදපු කුකුළු අඬුවක් ඔහුට පිරිනැමුවා ය, ඉන්පසු ඔහුට කෝක් බෝතලයක් ගැනීමට ගියා ය. නැවත පැමිණි විට සිතමින් සිටින්නේ කුමක් ගැන දැයි නිලධාරියා ඇගෙන් විමසි ය.
 
"මොකක් කළත් ඔහු තවමත් පොඩි ළමයෙක්, ඒ වගේම මම තාමත් අම්මා කෙනෙක්," යැයි රොද්‍රිගේස් මහත්මිය පැවසු බව එම අවස්ථාවේ දී ඇය සමඟ සිටි ඇගේ යෙහෙළිය ඉඩලියා සල්දිවර් විලවිසෙන්සියෝ සඳහන් කළා ය. "දැන් ඔහු කතා කරන විට මට මගේ දරුවෙක් කතා කරනවා වගේ ඇහුණේ." 
 
බාගදා ඇයගේ කරුණාවන්තකම නිසා, ක්‍රිස්ටියන් ඔවුන්ට සියලුම දේ ප්‍රකාශ කළේ ය.
 
"ඔවුන් මරා දැමූ සහ ඔවුන්ගේ සිරුරු වළ දැමූ ගොවිපොළ අසලට ඔබ කැඳවාගෙන යාමට මම කැමතියි," යනුවෙන් කප්පම් කල්ලියේ ගොදුරු බවට පත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය වෙත ඔහු ලබාදුන් ප්‍රකාශයේ සඳහන් විය.
 
 
සෙවිල්ල:
 
 
කිලිටි පාර කෙලවරේ පිහිටි දිරාගිය ට්‍රැක්ටරය, අත්හැර දැමු ගොවිපොළේ පිහිටි සොහොනේ මායිම් සලකුණු කර යි. මෝඩ ගඩොලින් හැදූ නිවසේ පිටත බිත්තිවල තිබෙන වෙඩි වරුසාවකින් සැදුණු සිදුරු ඊට මාස  කිහිපයකට පෙර සිදුවූ වෙඩි හුවමාරුවක ප්‍රතිඵල ය. මෙක්සිකානු නාවික හමුදා විසින් අපරාධකරුවන් 6 දෙනකු මරාදැමූ බව ක්‍රිස්ටියන්ගේ ප්‍රකාශයේ සඳහන් වේ. 
 
කප්පම්කරුවන් විසින් දමාගිය සුන්බුන් අතරින් මේස අතුරනවල ඇති අවලස්සන පැල්ලම්, විවිධ ප්‍රමාණයේ අස්ථි, සමහර කැබලි, පැරණි ගසක අත්තක එල්ලා ඇති තොණ්ඩුවක් රොද්‍රිගේස් මහත්මියගේ අවධානයට යොමුවී තිබුණි.  
 
 
 

11n           රොද්‍රිගේස් මහත්මියගේ පුත් ලුයිස්, සිය සොහොයුරියගේ අවශේෂ හමුවූ ගොවිපොළේ දී 

 
 
 12
මව විසින් නිර්මාණය කරන ලද,  අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අයත් බඩු එකතුවක්
 
 
ගොඩගසා තිබූ පෞද්ගලික බඩු බාහිරාදිය තොගයක් දුටු ඇය ගල්ගැසී ගියා ය. කැරන්ට අයිති සාළුවක් සහ ඇයගේ ට්‍රක් රථයේ ආසන කවරයක් බඩු ගොඩ උඩට වන්නට දක්නට ලැබුණි.
 
ගොවිපොළෙන් හඳුනාගත් මළ සිරුරු අතර කැරන්ගේ සිරුර  නොමැති බව අධිකරණ වෛද්‍ය නිළධාරීන් තහවුරු කර තිබුණි. 
 
නමුත් රජය විසින් ඉදිරිපත් කළ වාර්තාවට එරෙහිව රොද්‍රිගේස් මහත්මිය සටන් කළ අතර, එසේ සිදු කිරීමට ඇයට සාධාරණ හේතු තිබුණි. ඊට පසු වසරේ දී විද්‍යාඥයින් කණ්ඩායමක් කැරන්ගේ කලවා අස්ථි කොටසක් සොයාගෙන තිබූ බව රොද්‍රිගේස් පවුල ප්‍රකාශ කර සිටි යි.
 
ඇයගේ රළු භාෂා භාවිතයට මෙන්ම කලහකාරී ගති පැවතුම් සම්බන්ධයන් බොහොමයක් නිලධාරීන් මැසිවිලි නැගුව ද ඔවුහු ඇයට ගරු කළ හ.
 
"හැමෝම ඇය සමඟින් ඇසුරට ගියේ නැහැ," ප්‍රාන්ත රජයේ නිලධාරිනියක වන ග්ලෝරියා ගාසා පවසන්නී ය. "ඒත් ඇගේ සටනට ගරු කළා."
 
ගොවිපොළේ සිට ආපසු එනවිට, කිලිටි පාරට ඇතුල්වන ස්ථානය අසල පිහිටි බාබකිව් අවන්හලක් ඇය පසු කළා ය.   
 
කැරන්ගේ පැහැර ගැනීමෙන් දින දෙකකට පසු ඇය සහ අස(z)ලියා මේ අවන්හලෙන් ආහාර ගෙන තිබුණි. ඇය හොඳින්ම හඳුනන අසල්වැසි කාන්තාවක වන එල්වියා යුලිසා බෙටන්කොට් එදින අවන්හලේ මේසයක හිඳ සෝඩා වීදුරුවක් තොල ගාමින් සිටියා ය. 
 
ආචාර කිරීමෙන් පසු ඇය කැරන් ගැන දන්නවා දැයි ඇසූ විට, සියලු දෙනාම පාහේ ඒ ගැන දැන සිටින බව පැවසු නමුත් බෙටන්කොට් මෙනවිය මුනිවත රැක්කා ය. රොද්‍රිගේස් මහත්මියට මෙය අමුත්තක් විය.       
 
අවන්හල අසලින් ආපසු වාහනය පදවාගෙන යනවිට ඇයට මෙය සිහිවිය. තරුණ කත යමක් දැන සිටියා විය හැකි යි. බැරිවෙලා හෝ පොලිසිය කඩා පනිවියි සිතා ඇය ගොවිපොළ මුරකරගෙන සිටියා ද විය හැකි යි. 
 
ඇගේ සිතේ තිබූ බිය කෝපයකට හැරුණි. ගණිකාවක විසින් මඩමක දී අතහැර ගොස් සිටියදී හමුවූ, කුඩා දැරියකව සිටි කාලයේ පටන් ඇය බෙටන්කොට් දැන සිටියා ය. කැරන්ගේ පරණ ඇඳුම් පවා ඇයට ලබා දීමට රොද්‍රිගේස් මහත්මිය පුරුදුව සිටියා ය. 
 
හැකි ඉක්මනින් ගෙදරට පැමිණි රොද්‍රිගේස් මහත්මිය නැවතත් සිය විමර්ශන කටයුතු ඇරඹුවා ය. 
 
වෙනත් අපරාධයකට සිරගත කර සිටින, කැරන් පැහැරගත් පුද්ගලයෙක් සමඟින් බෙටන්කොට් මෙනවිය ආදරයෙන් බැඳී සිටින බව ඇයට ඒ අනුව සොයා ගැනීමට හැකිවිය.
 
රැඳවියන් බැලීමට ලබා දෙන කාල වෙලාවේදී බන්ධනාගාරය අසලට ගොස්, මින් පෙර අයිස්ක්‍රීම් අලෙවි හල අසල සිටියාක් මෙන් සති ගණනක් ඇය රැක සිටියා ය. 
 
අවසානයේ දී බෙටන්කොට් මෙනවිය පෙනී සිටියා ය. පොලිසිය පැමිණ ඇය අත්අඩංගුවට ගත් අතර පසුව අනාවරණය වුයේ කප්පම් ඉල්ලා ලබාදුන් සමහර දුරකථන ඇමතුම් ඇයගේ නිවසින් පැමිණි ඒවා බව යි.
 
මාස ගණන් ගෙවී යත්ම, නඩු ලිපි ගොනුවලින් ලබාගත් සාක්ෂිවලින් රොද්‍රිගේස් මහත්මියගේ කළු මල්ල පිරෙන්නට විය. නමුත්, ගෙවීයන සෑම දිනකම ඇය ගමන් කරන මාර්ගය එන්න එන්නම අපැහැදිලි වෙමින් තිබුණි.
 
සමහර වැරදිකරුවන් මියගොස් සිටි අතර සමහරක් සිටියේ සිරගතව ය. තවමත් එළියේ ඉන්න අපරාධකරුවෝ ටැක්සි රියදුරන්, ඉන්ධන ප්‍රවාහනය කරන පුද්ගලයින් ලෙසින් අලුත් ජීවිත ආරම්භ කිරීමට උත්සහ කරමින් සිටිය හ. 
 
එන්රික් යොඑල් රුබියෝ ෆ්ලොරස්ගේ සිදුවීමට අදාලව නම් ඔහු නැවත උපන් (ආත්මිකව) කිතුණුවෙක් ලෙසින් පෙනී සිටීමට උත්සහ කර තිබුණි.
 
13,000කට පමණ නවාතැන වූ ඔහුගේ උපන්ගම වන අල්ඩාමා වෙත පැමිණි රොද්‍රිගේස් මහත්මිය ඔහුගේ ආච්චි අම්මා මුණ ගැසුණා ය. මේ මහලු කාන්තාව හූල්ලමින් ඇයට කියා සිටියේ මේ කොලුවා නිතරම කරදරවල පැටලෙන බව යි. අඩුම තරමේ ඔහු දැන් පල්ලියට හෝ යන බව යි ඇය පැවසුවේ.
 
රොද්‍රිගේස් මහත්මිය සාමාන්‍ය විදියට පල්ලියේ පූජාවට සහභාගී වීමට පටන් ගත්තා ය. එහිදී ඔහු සොයාගැනීමට හැකිවන බවට ඇයට විශ්වාස විය.
 
පල්ලිය ඇතුලේ දී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා විට පල්ලියේ දායකයන්ට එය අදහා ගත නොහැකි වූ බව ඇයගේ පවුල පවස යි. අයෙක් රොද්‍රිගේස් මහත්මිය වෙතින් ඔහු කෙරෙහි සමාව ඉල්ලා තිබුණි.
 
ඇය සමච්චලයට මෙන් පෙරලා විමසා තිබුනේ,
 
"මගේ දියණිය මරා දමන විට ඔය කියන අනුකම්පාව කොහෙද තිබුණේ?"  
 
 
අවදිවීමක්
 
 
ලුසියානොගේ පැහැරගැනීම ශාන්ත ෆර්නැන්ඩෝ නගරයම කැළඹීමකට ලක්කර තිබුණි.
 
සාමාන්‍යයෙන්, සංවිධානාත්මක අපරාධවලට විරුද්ධව නගරවැසියෝ කට නාරින නමුත් මේ අවදානම ඊට වඩා වෙනස් විය. පොලිසිය අත් පා බැඳ දැමුවා සේ සිටින විට මැර කල්ලි ඊට සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්, පළිගැනීමේ ස්වරුපයෙන් කටයුතු කළ හ.    
 
පැහැරගත් පුද්ගලයින් නීති විරෝධී ක්‍රියාවල නිරතවූ අය බව පවසමින් බොහොමයක් දෙනා සිය නිශ්ශබ්දතාවය සාධාරණිකරණය කළ හ. "ඔවුන් නරක දේවල්වලට සම්බන්ධ වෙලා හිටියා," මිනිස්සු නිරතුරුව එකිනෙකාට පැවසු හ.
 
නමුත් 14 හැවිරිදි අහිංසක පිරිමි දරුවෙක් පැහැරගැනීම, නිශ්ශබ්දතාවය බිඳ හෙලීමටත් මැර කල්ලි ශාන්ත ෆර්නැන්ඩෝ වැසියන් සමගින් කළ සෙල්ලම අවබෝධ වීමටත් හේතුවිය.
 
මෙවැනි සිදුවීම්වලදී, ගොදුරුවූ පිරිස් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න පාලනය කිරීමට පැවති කොන්දේසි රොද්‍රිගේස් මහත්මියගේ වැනි පවුල් විසින් එළිපිටම කඩ කරනු ලැබී ය. 
 
පුංචි ලුසියානෝ නැවත ලබාදෙන ලෙස ඉල්ලා කරන සටනට තමන් සමඟින් එකතු වන මෙන් ඔවුහු සිය යහළුවන්ට මෙන්ම පුරවැසියන්ට ආරාධනා කර සිටිය හ. ඔවුහු සෙවීමේ කණ්ඩායම් සංවිධානය කළහ. ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ හ.
 
සිය පුතු නැවත ලබාදෙන මෙන් ඉල්ලමින් ඔහුගේ මව විසින් ඉතා හැඟුම්බර හඬ පටයක් නිර්මාණය කළ අතර ශබ්දවාහිනී යන්ත්‍ර බැඳගත් රියදුරෝ නගරය පුරා ගමන් කරමින් ඒවා ප්‍රචාරය කළ හ.
 
 
 13 ශාන්ත ෆර්නැන්ඩෝ හි ආපනශාලාවක වීදුරුවෙහි ප්‍රදර්ශනය කර තිබූ ලුසියානෝගේ අතුරුදහන් වීම ගැන පෝස්ටරයක්
 
 
මේ වසරේ අගෝස්තුවේ ලුසියානෝ පවුල මෙක්සිකෝ නුවරට පිටත්ව ගියේ මේ සම්බන්ධයෙන් රජයට බල කිරීමට ය. නගර මධ්‍යයේ අටවා ගත් කුඩාරම්වල ඔවුහු නිදාගත් අතර මෝසම් කුණාටුවලින් බේරීමට පොන්චෝස් කබා ඇඳ ගත් හ.
 
 "අපිට වැස්ස හෝ වෙන කිසි දෙයක් අදාළ නැහැ," ලුසියානෝ ගේ මව එහි නවාතැන් ගෙන සිටියදී දේශීය රූපවාහිනී වාර්තාකරුවන්ට ප්‍රකාශ කර සිටියා ය. "අපිට අපේ පුතා ඕන."
 
බලපෑමෙන් වැඩක් විය. හමුදා භටයින්, පොලිස් නිලධාරීන් සහ විමර්ශකයින්ගෙන් සමන්විත බල ඇණියක් රජය විසින් ශාන්ත ෆර්නැන්ඩෝ නගරය වෙත පිටත් කර යැවී ය. සතියකට දෙතුන් වතාවක් ඔවුන් සෝදිසි කිරීම් සිදු කරන ලදී.
 
ශාන්ත ෆර්නැන්ඩෝ හි ශුෂ්ක මායිම් කොන් දක්වා අති විශාල ප්‍රදේශයක් පුරා කොතෙක් සෝදිසි කිරීම් සිදු කළ ද එය සම්පුර්ණයෙන් ආවරණ කිරීමට ඔවුන්ට නොහැකි විය. හඳුනාගත නොහැකි සොහොන් කොපමණ ප්‍රමාණයක් තිබෙන්නේ දැයි කාටනම් කිව හැකි ද?
 
පුද්ගලයෙක් සොයාගැනීමට ඇති එකම ක්‍රමය නම් කාගේ හෝ පාපොච්චාරණයක් බව රොද්‍රිගේස් මහත්මියගේ පුත් ලුයිස් අත්දැකීමෙන් දැන සිටියේ ය. කැරන්ගේ සිදුවීමේ දී එසේ උපකාරී වුයේ රොද්‍රිගේස් මහත්මිය විසින් ආහාර ලබාදුන් ක්‍රිස්ටියන් ය. 
 
ලුසියානෝට එවැනි කිසිවෙක් සිටියේ නැත. සැප්තැම්බර් මාසයේ ප්‍රාන්ත පොලිසිය විසින් මැර කල්ලි නායකයෙක් ශාන්ත ෆර්නැන්ඩෝ නගරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.
 
පැහැරගැනීමේ මහ මොළකරුවන් කවුද යන වග ඒ වනවිට ලුසියානෝ පවුල දැන සිටිය හ: ඒ තමන්ගේම පවුලේ සාමාජිකයන් ය. 
 
ව්‍යාජ ෆේස්බුක් ගිණුම ඔස්සේ වැඩිදුර සෙවීම් කළ පොලිසිය, ගාසා මහත්මිය දිගු කාලයක් තිස්සේ සැක කළ කරුණක් හෙළිදරව් කරගෙන තිබුණි. 
 
එනම්, ඥාති සහෝදරයින් කිහිපදෙනෙක් මේ සංවිධානාත්මක අපරාධයේ හවුල්කරුවන් වී ඇති බවත් ප්‍රදේශයේ මැර කල්ලි සාමාජිකයින් හා එක්ව පවුලේ පැහැරගැනීම් කිරීමට සම්බන්ධ වී ඇති බවත් ය. 
 
නමුත් ඥාති සහෝදරයින් ආගිය අතක් නැති විය. ලුසියානෝ සොයා කළ මෙහෙයුම් ද ඵලක් නැති විය.
 
පිළිතුරු වෙනුවට ඔවුන්ට ලැබුණේ සෙවීම් නතර කරන මෙන් අනතුරු අඟවන තර්ජන, නිර්නාමික දුරකථන ඇමතුම් සහ පණිවිඩ ය. රොද්‍රිගේස් මහත්මිය මෙන් ගාසා මහත්මිය ද ඒවා නොසලකා හළ නමුත් රජයෙන් ආරක්ෂාව ඉල්ලා සිටියා ය.
 
"මීරියම් ද කිහිප සැරයක්ම ඉල්ලා සිටි පරිදි දැන් අපි ද ඉල්ලා සිටින්නේ "ආරක්ෂාව යි," යනුවෙන් ලුසියානෝගේ පියා පවස යි. "අපිවත් මරා දමන කල් ද ඔවුන් බලා සිටින්නේ?"
 
මව්වරුන්ගේ දිනයේ සිදුවූ මරණයක්
 
 
 
අතුරුදහන් වීම් නිසා පවුලක් තුළ ඇති අන්‍යොන්‍ය බැඳීමේ පදනම බිඳ වැටෙයි. පොඩි හෝ බලාපොරොත්තුවක එල්ලී, එයටම අවේනික වූ වේදනා චක්‍රයක ගමන් කරමින්, ජීවිතයම ඊට කැප කර යි.
 
කැරන්ගේ අතුරුදහන් වීමත් සමඟ රොද්‍රිගේස් මහත්මියගේ ස්වාමි පුරුෂයා වෙනස්ම පුද්ගලයෙක් බවට පත්විය. 
 
කලකදී ඉතාමත් උද්යෝගයෙන් ජීවිතය ගෙවූ ඔහු දැන් නිවසින් පිටවන්නේ ද කලාතුරකිනි. ඔහුගේ වෙනස හඳුනාගැනීමට දරුවන් වෙහෙස වනතෙක් ඔහු සිටියේ ශාරීරිකව මෙන්ම මානසිකව ද කුඩා අවකාශයකට කොටු වෙමිනි.
 
යුක්තිය සොයායාම රොද්‍රිගේස් මහත්මියට වේදනාවෙන් මිදීමේ මගක් විය. නමුත් එයට මිලක් නියම වී තිබුණි.
 
ඇයගේ ප්‍රසිද්ධ සටන් ව්‍යාපාරය නිසා කප්පම්කරුවන් කිහිපදෙනකුට වැඩි පිරිසකට තර්ජන එල්ල විය. ශාන්ත ෆර්නැන්ඩෝ හි සුපුරුදු ක්‍රියා පිළිවෙලට ඇය තර්ජනයක් විය. 
 
ඇය සීමාව ඉක්මවා යමින් සිටින්නේදැයි ඇයගේ හිතමිත්‍රාදීන් කරදර වුණි. එය කාලය පිළිබඳ ගැටළුවක් පමණක්ම විය. 
 
"ඔවුන් මා මරා දැමුවත් මා තකන්නේ නැහැ," යනුවෙන් රොද්‍රිගේස් මහත්මිය වරක් සල්දිවර් විලවිසෙන්සියෝ මෙනවියට කියා තිබුණි. 
 
"මා මියගියේ මාගේ දියණිය මරා දැමූ දිනයේදී යි. මට මෙය අවසන් කරන්න වුවමනයි. මම මගේ දියණියට හිරිහැර කළ මිනිසුන් එළියට ඇදලා ගන්නයි යන්නේ, ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් මට කරන්න පුළුවන්." 
 
ස්ව උත්සාහයෙන් සිය දියණියගේ ඝාතකයන් රැඳවු සියුඩාඩ් වික්ටෝරියා බන්ධනාගාරයේ සිටි සිරකරුවෝ පිරිසක් 2017 මාර්තු මස දී ඉන් පලා ගිය හ.
 
කණස්සල්ලට පත්වූ රොද්‍රිගේස් මහත්මිය රජයේ ආරක්ෂාව ඉල්ලා සිටියා ය. එවිට පොලිසිය පවසා තිබුණේ විටින් විට ඇයගේ නිවෙස සහ රැකියා ස්ථානය ආසන්නයේ මුර සංචාරයේ යෙදෙන බව යි. 
 
 
 14
"මම මගේ මව කළ අත්වැරැද්ද සිදු කරන්නේ නැහැ." ලුයිස්
 
 

15

මීරියම් රොද්‍රිගේස්ගේ සොහොන    
 
 
ඇයගේ පවුල සෑහීමකට පත් වුණේ නැති නමුත්, ඇය සිය උත්සාහය අත්හැරියේ නැත. රොද්‍රිගේස් මහත්මිය මරාදැමීමට මසකට පෙර, ඇය කකුල කඩා ගත්තා ය. 
 
ඒ තමන්ගේ ලැයිස්තුවේ එක් අවසන් ඉලක්කයක් වූ, නගරය අතහැර ගොස් සියුඩාඩ් වික්ටෝරියා හි පවුලක ළමයි බලාගන්නියක ලෙසින් සේවයට බැඳී සිටි තරුණියක් ලුහුබැඳිමට ගොසි නි.
 
රොද්‍රිගේස් මහත්මිය එම නිවෙස අසල රිය නවතා තරුණිය මතුවන තෙක් දින ගණනක් රැක සිටියා ය. කෝප්පයකට මුත්‍රා කළ ඇය වාහනයේ බැටරිය නිවා දමා අඳුරේ රේඩියෝවට සවන් දුන්නා ය. ඇයට උපකාර කිරීමට හොර රහසේම වීදියට පැමිණීමට සිදුවූ බව ලුයිස් කිය යි.
 
අවසානයේ, නිවසින් පිටත දී පොලිසිය විසින් මේ තරුණිය අත්අඩංගුවට ගන්නා විට ඔවුන් දෙසට දිවගිය රොද්‍රිගේස් මහත්මියගේ කකුල පැටලී ඇද වැටී, කකුලේ අස්ථි බිඳී ගොස් තිබුණි. මව්වරුන්ගේ දිනයේ දීත් ඇය සිටියේ කකුල බැඳගෙන කිහිලිකරුවක් ආධාරයෙන් ඇවිදිමිනි.
 
රාත්‍රී 10.21ට පමණ ඇය නිවසට එමින් සිටියා ය. කලකදී කැරන් නැවතී සිටි තැඹිලි පැහැ කුඩා නිවසේ, ඇය නැවත වරක් සිය ස්වාමි පුරුෂයා සමඟින් විසීමට පටන් ගෙන තිබුණි. පාරේ වාහනය නැවතූ ඇය අපහසුවෙන් ඉන් පිටතට පැමිණියා ය. කකුලේ තුවාලය නිසා ඇය ඇවිද ගියේ ඉතා සෙමිනි.
 
පොලිස් වාර්තාවලට අනුව, බන්ධනාගාරයෙන් පලා ගිය සිරකරුවන් රැගත් සුදුපාට නිසාන් ට්‍රක් රථයක් හෙමින් සීරුවේ ඇය පසුපස පැමිණ තිබුණි. ඔවුන් 13 ගමනක් වෙඩි තබා තිබුණි.
 
ඇගේ මරණය, මෙක්සිකෝවේ එදිනෙදා ජිවිතයට බලපෑම් කළ වරදට සරිලන දඬුවමක් නොදීම යන්නට නව හැඩයක් ලබාදුනි. 
 
එමෙන්ම, මේ සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට රජයට නොහැකි විය. 
 
මාස කිහිපයක් ඇතුලත දී අපරාධකරුවන් දෙදෙනෙක් අල්ලා ගැනීමට රජයට හැකිවූ අතර එහිදී සිදුවූ වෙඩි හුවමාරුවක දී එක් අපරාධකරුවෙක් මියගොස් තිබුණි.
 
ඇය ඝාතනය කිරීමේ ප්‍රතිවිපාකවලට වඩා ඇගේ ක්‍රියාකාරිත්වයට බිය වූ, ඇය මරා දැමීමට අණකර සිටි පුද්ගලයින් එළියට නොපැමිණ සැඟවූනි.
 
ඔවුන් කව්රුන්ද යන්න ගැන ලුයිස් අවධානයෙන් සිටියේ ය.
 
"මම මගේ මව කළ වැරැද්ද කරන්නේ නැහැ," ඔහු කියයි.
 
කෙසේ නමුත්, සිය මව විසින් ආරම්භ කළ ,මවගේ අහිමිවීමත් සමග වියැකී ගිය ව්‍යාපාරයට ඔහු නායකත්වය දෙයි. 
 
සමහරක් වෙනම කණ්ඩායම් නිර්මාණය කරගෙන ඉවත්ව ගොස් ඇති අතර අනෙක් පිරිස රොද්‍රිගේස් මහත්මියගේ ඝාතනය සමඟින් ඇතිවූ නිහඬබව රකිනු දක්නට ලැබුණි.
 
රොද්‍රිගේස් මහත්මියගේ ඝාතනයෙන් හරියටම මසකට පසුව, එම වසරේ ජුනි මස දී වෙරක්රුස් හි බලධාරීන් ඇය සැපයු තොරතුරු අනුව කටයුතු කරමින් කැරන්ගේ මරණයට වගකිව යුතු තවත් සැකකාරියක් අල්ලා ගෙන තිබුණි. 
 
පැහැරගැනීමෙන් පසු ඒ ගැහැණිය කැරන් බොක්සින් බෑගයක් සේ එල්ලා පහර දී, වද හිංසා පමුණුවා තිබුණි.
 
ඉන්පසු වෙරක්රුස් වෙත පලා ගොස් තිබූ ඇය සිය කුඩා දරුවා බලා ගන්නා අතරතුර ටැක්සි රියදුරෙකු ලෙසින් ජීවිකාව ගෙන ගොස් තිබුණි.
 
රොද්‍රිගේස් මහත්මිය ඇය ද සොයාගෙන තිබුණි.
 
අඩි 100 ක් දුර නැහැ 
 
ලුයිස් මළගෙදරට පැමිණියේ, මගදිගට පෙළගැසුණු අසල්වාසීන් බලා සිටිය දී ලුසියානෝගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර කනත්ත බලා වීදියේ පහලට ද ගමන් කළ පසු තරමක් පමා වෙලා ය. 
 
භූමදානය කරන ස්ථානයේ වල වටා ජනයා රැස්ව සිටින විට ඔහු පසෙකින් හිඳ වැළපුනි.
 
ශාන්ත ෆර්නැන්ඩෝ හි උතුරු මායිමට වන්නට, ඇකේෂියා ගස් පේළියක් පසුකර යනවිට දී පිහිටි ස්ථානයක නොගැඹුරු මිනිවලක වලදමා තිබිය දී බලධාරීන්ට පිරිමි දරුවාගේ සිරුර සොයාගැනීමට හැකිවිය. ඒ පසුගිය ඔක්තෝබරයේ දී ය. 
 
සෙවීම් සිදුකරන්නන් නොමග යැවීම සඳහා ඝාතකයන් විසින් එම ස්ථානය කුණු රොඩු වලින් වසාදමා තිබුණි. ඊට සති කිහිපයකට පෙර ස්වේච්ඡා සේවකයින් විසින් එම ස්ථානය පසුකර ගොස් තිබුන ද එය මගහැරී තිබුණි.
 
සොහොන්වල සොයාගත්තේ කෙසේ ද යන්න පිළිබඳව රජය කිසිවක් ප්‍රකාශ කළේ නැත. ජංගම දුරකථන කුළුණු සංඥා අනුව අදාළ ස්ථානය ලකුණු කරගැනීමට විමර්ශකයින්ට හැකිවූ බව එක් බලධාරියෙක් තහවුරු කර තිබුණි.
 
නමුත් එය විය නොහැක්ක කි. කකුලේ වෙඩිවැදුණු තුවාල සමඟින් රෝහල්ගත කර සිටි, ලුසියානෝගේ පැහැරගැනීමට සම්බන්ධ එක් ඥාති සොහොයුරෙක් පොලිසිය විසින් අල්ලාගෙන තිබුනේ සිරුර සොයාගැනීමට පැය කිහිපයකට පෙර ය.
 
ලුසියානෝ පැහැරගැනීම සහ මරා දැමීම යන චෝදනා එහිදී ඔහුට එල්ල වී තිබුණි.
 
 
16 ඇනබෙල් ගාසා සහ ලුසියානෝ ලීල් වෙලා සිය මරා දැමුණු පුතුගේ දේහය ඉදිරිපිට වැලපෙමින්
 
 17
ලුසියනොගේ අවමඟුල් උත්සවයට සහභාගී වූ ලුයිස්
 
 
ලුසියනොගේ දේහයට රැස්ව සිටි ජනයා අවසන් ගෞරව දක්වන අවස්ථාවේ දී අවමංගල බෑන්ඩ් කණ්ඩායමක් සංගීතය සැපයී ය. 
 
දෙමව්පියන් විසින් එහිදී සිදුකළ කතාව සියලු දෙනාගේම දෑස් තෙත් කළ අතර ලුයිස් සහ ඔහුගේ සොහොයුරිය අස(z)ලියාට විශේෂයෙන් එය දරාගත නොහැකි විය. ඔවුන්ගේ සොහොයුරිය මෙන්ම මව ද ජිවතුන් අතර නැත. 
 
එසේම, මවගේ මිතුරිය වූ සල්දිවර් විලවිසෙන්සියෝ කොවිඩ්-19 වෛරසය වැළඳී මියගොස් තිබුනේ මෑතක දී ය.
 
ලුසියානෝගේ පියා සිය කෘතවේදීත්වය පළ කළේ ය. ඔහු කෙසේ හෝ සිය දරුවා නැවත ලබාගෙන තිබුණි.
 
"අපි සමඟ සිටි සෑම දිනයකදීම අප සෑම දෙනාගේම ජිවිතවලට සතුට ගෙන ආ ශ්‍රේෂ්ට පුතකු වීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා," යයි ඔහු පැවසී ය. "ඔබ අපේ හදවත් ඔබ සමඟ රැගෙන යනවා."
 
පුතු සෙවීම සඳහා තමන්ගේ ජිවිත ආරක්ෂාව පවා නොතකා උපකාර කළ සෑම කෙනකුටම- පවුලේ වේවා, යාළුවන් වේවා, ආගන්තුකයන් වේවා ඒ සියලු දෙනාටම ඔහුගේ මව ස්තුතිවන්ත විය.
 
"එකට එක්ව සටන් කළ හැකි බව ඔබ සියලු දෙනා මගේ පවුලට ඉගැන්වුවා," ඇය පැවසුවා ය. "නැගී සිට හඬ අවදි කිරීමට ඇති බිය අපි නැති කරගත යුතු යි."
 
ලුයිස්ට සහ අස(z)ලියාට ඒ හඬ තුලින් පරාවර්තනය වුයේ අඩි  සියයක තරම් දුර නොවූ ස්ථානයක වළ දමා තිබූ සිය මවගේ හඬ යි. දැන් ඇගේ සොහොන් ගැබේ සවිකර ඇති ඵලකයේ කොටා ඇත්තේ, ජීවත්ව සිටි කාලයේ නිතරම ඇගේ මුවින් පිටවූ ඒ වචන පේලිය යි.
 
අස(z)ලියා වැළපෙමින්, මිනිත්තුවකට වැඩි කාලයක් ලුසියානොගේ මව වැළඳගෙන සිටියා ය. ලුයිස් ලුසියනොගේ පියාගේ අතට අත දුන් නමුත් වචන ගලපගත්තේ අපහසුවෙනි. ඉන්පසු දෑස් පිහිදමින් ඔහු එතනින් නික්ම ගියේ ය.
 
කැරන්ගේ පැහැරගැනීම සහ මවගේ ඝාතනය පිළිබඳ විමර්ශන කළ පොලිස් නිලධාරියෙක් ලුසියනොගේ පවුලට හඳුන්වා දෙමින් ඔවුන්ට උපකාර කිරීමට ලුයිස් මුලදී උත්සහ කර තිබුණි.
 
 නමුත් මෘත සිරුරු ඉව ඇල්ලීම පිණිස, සෙවීමේ ක්‍රියාවලියට සුනඛයින් රැගෙන යා යුතු බවට යෝජනා කළ පසු ඔවුන්ගේ පවුල නොසතුටට පත්වූ බව ලුයිස් කිය යි.
 
ඒ සිය පුතු මියගොස් ඇතැයි පිළිගැනීමට පෙර, බලාපොරොත්තුව පමණක් ඔවුන්ගේ සිතේ තිබූ කාලයේ දී ය. "අපි මළ මිනියක් නෙවෙයි හොයන්නේ," යනුවෙන් ඇනබෙල් පවසා තිබුණි. 
 
එයින් පසුව විශ්වාසය පලුදු වී තිබුණු අතර ලුයිස් තමන්ගේ මාර්ගයේ ගමන් කර තිබුණි.
 
අවමංගල්‍යට පැමිණි සෙනග විසිරි යද්දී, ලුයිස් සහ අස(z)ලියා සයිප්‍රස් ගස් හෙවන දෙන පල්ලියක ආකෘතියක් මෙන් සෑදූ සිය මවගේ සොහොන වෙත පිය නැගීය. කැරන් භූමදානය කළේ ද මෙම ස්ථානයේම, ඇගේ මවට පසෙකින් ය.
 
අඩුම තරමේ මියගිය ආදරණියන් සිහි කිරීමට කොහේ හෝ ස්ථානයක් තිබෙන වාසනාවන්තයන් කිහිප දෙනා අතරේ තමන් සිටින බව ඔවුහු දැන සිටිය හ. 
 
බොහොමයක් පවුල්වලට අතුරුදහන් වූ තමන්ගේ ආදරණියන් කවදා හෝ හමුවුණේ නැත. කැරන් සහ රොද්‍රිගේස් මහත්මියට එකම ස්ථානයක සිටීම එක්තරා විදියකින් සිතට අස්වැසිල්ලකි.
 
හිරු ක්‍රමයෙන් අවරට යද්දී ලුයිස් සහ අස(z)ලියා ටික වෙලාවක් වාඩිගෙන සිටිය හ. සුසානය හිස් වූ නමුත් ඔවුහු ඒ මොහොත ස්මරණය කරමින් තවදුරටත් රැඳී සිටිය හ.
 
 
 
18
14 හැවිරිදි ලුසියානෝ ලීල් ගාසාගේ සිරුර සොයාගත් ස්ථානය
 
 
 
(අසාම් අහමඩ් විසින් නිව්යෝක් ටයිම්ස් වෙත ලියු "She Stalked Her Daughter’s Killers Across Mexico, One by One" නම් ලිපිය පරිවර්තනය කළේ අභිෂේකා වාසල බණ්ඩාර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්