මට සුමීරව මුනගැහුනෙ සැබෑ දේශප්‍රේමියෝ ප්‍රෙස් එකට ගිය දවසෙ. ආබාධිත අය ගැන නිවැරදිව හිතන මානසිකත්වයක් මේ රටේ තියෙනවද අයියෙ කියල ඌ මගෙන් ඇහුවා.
 ඒකෙන් සුමීර අදහස් කළේ ආබාධිතයො පව්, උදව් කරන්න ඕනි, අසරණයි වගේ සාම්ප්‍රදායික අනුකම්පක දෘෂ්ටියකින් බැහැරව ඒ අයත් සමාන පුරවැසියො විදිහට දකින්න මේ රටේ මිනිස්සුන්ට පුළුවන්ද කියන එකයි. 
 
ඒක සෑහෙන අමාරු දෙයක් වෙන්න පුළුවන්. ආබාධිත කියන්නෙම එක විදිහකට වැරදි වචනයක්. ඒක සම්මත මිනිස් රූපයක් ඔලුවෙ තියාගෙන ඒකට වෙනස් අය දුර්වලයි, අඩුවක් සහිතයි කියන දැක්මෙන් යොදපු එකක්. ඒ වෙනුවට ඒක තමයි ඒ ගොල්ලොන්ගෙ ඩිෆෝල්ට් මෝඩ් එක කියල දකින පිළිගන්න මනසක් අවශ්‍යයි. ඒ අයට තියෙනවා වෙනස් අවශ්‍යතා. 
 
 
 
සමාජයක් කකුල් දෙකේ මිනිස්සු ගැන හිතද්දි කකුල් නැති මිනිස්සු ගැනත් හිතන්න ඕන. ඒක උදව්වක් නෙමෙයි ඒ අයගෙ අයිතියක්.
 
මේ ආබාධිත දෘෂ්ටිය හොඳටම පැහැදිලි වෙන තැනක් තමයි ආබාධිතයන්ගෙ සෙක්ස් ගැන අපි හිතන විදිහ. පොදු සමාජ අදහසට අනුව ආබාධිත අයට ලිංගික ජීවිතයක් අහිමියි. ආබාධිතයෙක්ව සළකන්නෙම ඒසෙක්ෂුවල් විදිහට. 
 
එයාගෙ ලිංගික අනන්‍යතාවය, ලිංගික ප්‍රකාශනය හෝ ලිංගික අයිතිය ගැන අදහසක් අපිට නෑ. ඒ අදහසක් නැතිවීම ඇතුලෙම අපි ආබාධිතයන්ට ඒ අයගෙ ලිංගික පුරවැසිභාවය අහිමි කරනවා. ආබාධිත අයට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ඒ අයට ලැබෙන්නෙ නෑ. 
 
ආබාධිත නොවේ යැයි සැළකන සමාජයටත් ලිංගික අධ්‍යාපනය නොලැබීමේ ගැටලුව තිබුනත්, ආබාධිත වීම නිසා මේ පිරිසට ඇසුරු කරන කණ්ඩායම්වලින්, පරිසරයෙන් පවා ලැබෙන දැනුම අඩු වෙනවා. ආබාධිත වීමත් එක්ක සෙක්ස් ගැන සිතීමත් ස්ටිග්මා එකක් තහංචියක් වගේ මානසිකත්වයක් පිටත සහ ඇතුළත නිර්මාණය වෙනවා. 
 
මේ නිසා ඒ අය තමන්ගේ ලිංගිකත්වය ගැන දැනීමෙන්, ප්‍රකාශනයෙන් වගේම හැකියාවන්ගෙනුත් දුර්වල වෙනවා. ආබාධිත දරුවන් මේ නොදැනුම ඇතුලෙ විවිධ බලහත්කාරයන්ට සහ ප්‍රචන්ඩත්වයන්ට ලක්වෙනවා.Disabled1
 
 
 
  
කෙනෙකුට අවශ්‍ය ලිංගික ආස්වාදය ලබාගැනීම ඒ පුරවැසියාගේ අයිතියක්. ඒත් ආබාධිත පිරිස්වලට මේ අයිතිය තියෙනවා කියල අපේ සමාජය පිළිගන්නවද? 
 
අත් දෙකක් අහිමි කෙනෙක් තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පිරිමසා ගන්නවා ඇත්තෙ කොහොමද? අඩුම තරමෙන් ස්වයං වින්දනයෙ යෙදෙන්නවත් බැරි නම් ඒ අයට ජීවිතේ දැනෙන අසහනකාරීත්වය කොහොම වෙන්න පුළුවන්ද? 
 
අතපය හතර තියෙන අංග සම්පූර්ණ මිනිස්සු ගැන අධිතක්සේරුවක පවතින සමාජයක ඒ අයට පෙම්වතුන් පෙම්වතියන් හොයාගැනීමත් දුෂ්කර වෙන්න පුළුවන්. 
 
අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය වගේ දේවල් තහනම් කරන්න කියල කෑ ගහන සදාචාරවාදියො කිසි දවසක මේ වගේ මනුස්සයෙකුට එවන් සේවාවක තියෙන වැදගත්කම තක්සේරු කරන්නෙ නෑ. වෙන රටවල ආබාධිතයන් වෙනුවෙන්ම ගෙදරට ඇවිත් ලිංගික අවශ්‍යතා ඉටු කරලා දෙන සෞඛ්‍ය සේවා පවා පවතිනවා. ඒ මිනිස්සු එහෙම හිතනවා.
 
 
 
 
ආබාධිත කෙනෙකුගේ ලිංගික ප්‍රකාශනය බාරගන්න සමාජයට පුළුවන්ද කියන ප්‍රශ්නය අපි ඉස්සරහ තියෙනවා. ආබාධිත කියන්නෙත් අනිත් ඕනම කෙනෙක් වගේම විෂම ලිංගික, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික ඕනෑම පිහිටීමක් ගන්න පුළුවන් කෙනෙක්. ඒ අය තමන්ගේ ලිංගිකත්වය එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. 
 
 
ලිංගික අනන්‍යතාවය පිළිබඳ ගැටලුවට අමතරව ආබාධිතයෙක් වීම කියන කාරණයත් එකතු වුනාම අපි සමාජයක් හැටියට ඒක බාරගන්නෙ කොහොමද? ඒ විවෘතභාවය අපි ළඟ තියෙනවද? අපේ ඉස්කෝලවලින් උගන්නලා තියෙනවද?
 
ආබාධිත කියන්නෙ වෙනස් වූ සෞන්දර්යයක්, අපූර්වත්වයක් විදිහට දකින ඒ අයට ආදරය කරන, ඒ අය එක්ක ලිංගිකව හැසිරෙන්න කැමති අය මට මුනගැහිලා තියෙනවා. හැබැයි ඒ වෙන රටවල අය. 
 
අපේ වගේ රටවල ආබාධිතභාවය දුර්වලකමක් විදිහටයි පොදු මනසෙ තැන්පත් කරලම තියෙන්නෙ. එතනදි සමානයෙක් විදිහට ගන්නවට වඩා අනුකම්පා හෝ ප්‍රචන්ඩ ආකාරයකින් තමයි ඒ අයට සැලකිල්ලක් ලැබෙන්න නියමිත.
 
 
 
 
 
28c0a61a a755 497b b0aa 15890322be732012දි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය ගෝලීය එකක් කියල. ලිංගිකත්වය පිළිබඳ කාරණය මානව සංවර්ධනයෙදි කේන්ද්‍රීය තැනක් විදිහට සළකන්න අවශ්‍යයි කියල. ඒ කියන්නෙ ලිංගික අයිතීන් ආරක්ෂා කිරීම වගේම ලිංගිකත්වය යනු පොසිටිව් දෙයක් විදිහට දකින්න සමාජයේ දෘෂ්ටිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය.
 
අපි පුරුද්දට කිව්වට ලිංගිකත්වය කියන්නෙ පුද්ගලික දෙයක් නෙමෙයි. පුද්ගල ලිංගිකත්වයට බලපාන සමාජ ආයතන සහ සමාජ වටිනාකම් තියෙනවා. ඒවා හරහා අපේ ලිංගිකත්වය පාලනය කරනවා. 
 
ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් තමයි ලිංගික පුරවැසිභාවයක් නිර්මාණය වෙන්නෙ. 
 
 
 
 
ලිංගික පුරවැසියෙක් කියන්නෙ තමන්ගෙ ලිංගික අයිතීන් සහ නිදහස ගැන දැනුවත් පුරවැසියෙක්. ආබාධිත වීම කියන්නෙ ලිංගික පුරවැසිභාවය අහිමිවීමක් නෙමෙයි, අහිමිකිරීමක්. ඒ අයටත් ආදරය කිරීමේ, ලිංගික ආස්වාදය ලැබීමේ සහ ප්‍රජනනයේ අයිතිවාසිකම් තියෙනවා කියල එක පැත්තකින් ඒ අය දැනුවත් කරන්න ඕන. අනෙක් පැත්තෙන් සමාජය දැනුවත් වෙන්න ඕන.
 
imagesසෙක්ස් කියන වචනෙ ගනිද්දිම ඒක ආබාධිතභාවය ඇතුළත් නොවෙන සංකල්පයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. සෙක්ස් ඇතුලෙ ඉතිහාසයක් පුරාම ආබාධිතබව අවතක්සේරු කරලයි තියෙන්නෙ. 
 
මේක සංස්කෘතික වියමනක් විදිහට අපි කාලයක් තිස්සෙ පවත්වාගෙන එන තත්වයක්. අපි ලියන කියන කතාවල, නරඹන චිත්‍රපටවල ආබාධිතබව සහ ලිංගිකත්වය නිර්මාණය වෙලා තියෙන්නෙ කොහොමද? 
 
 
 
 
ඩී එච් ලෝරන්ස් තමන්ගේ සුප්‍රකට චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කතාවෙ පවා ආබාධිත වීම නිසා සැමියාගෙන් බාහිර ලිංගික ආස්වාදය හොයාගෙන යන ආර්යාවක් නිර්මාණය කරනවා. අපි සමස්ත සාහිත්‍ය සහ කලාව ඇතුලෙම ආබාධිතයන් ලිංගිකත්වයෙන් දුර්වල කොට නෙරපා හැරලා තියෙනවා.
 
මේකෙන් වෙන්නෙ ආබාධිත පිරිස් තවත් දුර්වල වෙන එක. අසහනකාරී වෙන එක. නිරෝගී පුරවැසිභාවයෙන් දුරස් වෙන එක. අනිත් පැත්තෙන් කාට හෝ බරක් වෙන එක. සමාජයට පීඩාකාරී වෙන එක. 
 
ඒ අය සතුව පවතින අවශ්‍යතාවයක්, හැකියාවක්, ශරීරයේ වෙනස්කමක් නිසා අහිමි කරන සමාජයකයි ඒ අය ජීවත් වෙන්නෙ.
 
 මේ හින්ද ආබාධිත දරුවන්ට ලිංගික අධ්‍යාපනය විශේෂයෙන් ලබාදීම අවශ්‍යයි. පාසැල් අධ්‍යාපනයේ පටන්ම ආබාධිතභාවය ගැන පොහොසත් දැක්මක් නිර්මාණය කිරීම අවශ්‍යයි. අපේ චිත්‍රපටිවල, කතාවල අතපය හතරෙ, තුනේ, දෙකේ වෙනස් වෙනස් මිනිස්සු ජීවත් වෙන්න අවශ්‍යයි.
 
ආබාධිතයන්ට වගේම සිතීමෙන් ආබාධිත සමාජයටත් ලිංගික පුරවැසිභාවය ගැන දැනීමක් අවශ්‍යයි.
 
 
 
 
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 
THE LEADER TV 
THE LEADER TV 
 
ඉෂාලිනිගේ මරණය ගැන ඔබ නොඇසු කතා !
 
 
 
දයාසිරි පැන්නීමට බැසිල්ගෙන් තවත් වෙඩි මුරයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image