අධිනීතිඥ ලාල් විජේනායක චරිතාපදානයේ උදෘතයක් මුල් කොට, ජවිපයේ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශය සහ ගමන් මග විමසූ  'සීනුවෙන් මාලිමාවට මාරු වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය' නම්  ලිපියේ දෙවැන්න සහ
අවසාන ලිපිය මෙයයි. 
 
 
 
පටු මත වාදයෙන් මිදී පොදු සතුරාට එරෙහිව පෙළ ගැසෙන, පලදායි පෙරමුණකට එකතුවීම හැර විකල්පයක් ජාතික ජන බලවේයේ අතීත දේශපාලනය හරහා පෙනේද? 
 
ජීවිත කිහිපයක් බිලිගෙන අගමැතිවරයෙකු පළවා හැරිය 1953 හර්තාලයේ ජවය, 1956දී මහජන එක්සත් පෙරමුණ සමග නිතරඟ ගිවිසුම් ගැසීමෙන් අවසන් විය. 
 
වමේ දේශපාලනය, 1966 ජනවාරි 8 වෙනිදා ''ඩඩ්ලිගේ බඩේ මසල වඩේ'' කියමින්  ශ්‍රීලනිපය සමග වීදි බැස්සේ ජන වාර්ගික අරගලයේ ජයග්‍රහණයක්වූ දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිවය. 
 
1970 මහ මැතිවරණයේදී හඳෙන් හෝ හාල් ගෙන එනවා කී මැතිනියගේ කතාවට අත්පොලසන් දුන්නේ එජාප ආණ්ඩුව එළවා බලය ඇල්ලීමටය. 
 
1973 පළමු ජනරජ ව්‍යවස්ථාවේ සකල වගකීම සමසමාජයට පැවරිණ.  ඔවුන් සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය ඉවත් කිරීමට තරම් ආත්මාර්ථකාමි විය. 
 
 
 
 
ඒ අපි නොවේ යයි ජවිපෙට කිව හැකිය. එහෙත්  ජවිපෙය  සිය දේශපාලනය තුළ සාර්ථක වීද? 2005දී රාජපක්ෂ කෙලින් කිරීමෙන් අදටත් අඛණ්ඩව සිදුවන  හානිය පිළිබඳව වගකිව යුතුවේ. 
 
2012දී ආරම්භ කොට, 2015දි දේශපාලන ජයග්‍රහණයක් වාර්තා කළ සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ යහ පාලන අතු ඉති  අදටත් බිඳ හෙළිය නොහැකි තරම් ශක්තිමත්ය. 
 
තොරතුරු දැන ගැනීමේ පනත.....? ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය සහතික වීම, යහ පාලන ජයග්‍රහණයකි.  
 
මහින්ද අගමැති කරවූ ජනාධිපති සිරිසේනගේ තක්කඩිකම දිනවීමට, පාර්ලිමේන්තු බහුතරයට මිරිස් කුඩු ගහලාවත් නොහැකි විය. 
 
සාධාරණ සමාජයක් ව්‍යාපාරය හෝ යහ පාලනය දිනා දුන් ඒ ජයග්‍රහණ වෙනුවෙන් ලාල් විජේනායකලා දහදිය කඳුළු හෙලුහ. 
 
 
maha 
 
 
 
2015 රාජපක්ෂලා බිම හෙළු 'සාධාරණත්වය සඳහා ව්‍යාපාරය' සමග රටක් පාරට බැස පෙළ ගැසෙද්දී ජවිපෙය ඉරටුවෙන් ආඳ මාළු කෑ කමින් කල්මැරූ හේතුවමය.  සටනේ නායකත්වය තමන් නොවේ නම්  මඟ හැර යාමේ ජවිපේ උක්‍රමයට සරිලන හොඳම උපහැරණය තවම අසා නැත.  
 
2021දී ධර්මරාජ වේදිකාවේදී, ලාල් ගැන තක්සේරුවක් කළ අනුර කුමාර දිසානායක 2015දී සටන මඟ හැර යාමත්, ලාල් විජේනායක සද්භාවයෙන් ඒ සටනේ කොටස් කරුවෙකු වීමත් අතර පරස්පරය, විමසිය යුතුවේ. 
 
2012දී 'සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ' මුල්ම සාකච්ඡාවට සහභාගි වීමට සමසමාජයේ ලාල් විජේනායක, එජාපයේ හරින්ද්‍ර දුනුවිල, හිටපු මහාධිකරණ විනිසුරු පී.බි.වරාවැව යන එකට ගමන් නොකරන සමාජ ධාරාවන් තුනක නියෝජිතයන් තිදෙනා කොළඹ ගියේ එකම වාහනයෙනි. 
 
මහා ජයග්‍රහණයක් වූ ඒ පෙළ ගැස්ම අපතයන් දෙදෙනෙක් විනාස කළහ.
 
 එදා යහ පාලන ආණ්ඩුවට ජවිපෙය එකතු වුණා නම්.....? 
 
ඒවා කතා කර පලක් නැත. 
 
 
 
ලංකා දේශපාලනය යනු කසිප්පු තිත්පොළකි. එහි සගයෝ තම වඩිය ගැන පමණක් කල්පනා කිරීම නිසා, කොපමණ හැන්ඩ්සම් වෙන්න හැදුවත් හැසිරිමෙන් සමහරු ලකුණු කපා ගනිති. 2015දීත් තම ළිං මැඩි වෘතයෙන් හැසිරුණ ජනතා විමුක්ති පෙරමුණ, අදටත් කල්පනා කරන්නේ එසේමය. 
 
1988-89 අඳුරු හෝ භීෂණ කාල පරිච්ඡේදයෙහි ජීවිතාරක‍ෂාව පිණිස සමසමාජයේ ලාල් විජේනායකලා, එජාපයේ අමාත්‍ය ෂෙල්ටන් රණරාජලා, කොමියුනිස්ට් පක්ෂයේ රාජා උස්වැටකෙයියාවලා පන්ති පක්ෂ පාට භේදයෙන් තොරව මරණ භයෙන් සැඟවී පන කෙන්ද බේරා ගත් යුගය, කෘතියේ පිටු පෙරළා යළි උපුටා දක්වා ඒ අතීතය සිහිපත් කළ අනුර, මොහොතක් නතරව, සභාවෙන් මෙසේ විමසීය. 
 
''ලාල් සහොදරයා 88-89 කාලයේ සැඟවී ජීවිත ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළේ කාගෙන්ද? කාගේ තර්ජනයෙන්ද? කාට බියෙන්ද? මෙසේ ඇසූ අනුර යම් විරාමයක් තබා ඉතා නිහතමානීව මෙසේ කීය.
 
''ඒ අපෙන්.......'' එසේ කී ඔහුම තම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බැරෑරුම් මුහුණක බැරෑරුම් පෙනුමක් ආරූඪ කර ගත් ආකාරය ඛෙහෙවින් හැඟීම්බර මෙහොතක් විය. ඒ පිළිගැනීමෙන් පමණක් අනුර කුමාර දිසානායකලා ඉතිහාසය විසින් නිදොස් කොට නිදහස් නොකරනු ඇත. 
 
එදා එජාප, සමසමාජ, කොමියුනිස්ට් භේදයෙන් තොරව එක රොත්තට සැඟවී අභය සෙවීමට ජවිපෙය සිදු කළ මැදිහත්වීම  අදටත් ඒ ලෙසම සිදු කරමින් සිටින්නාහ. 
 
 
 
Lal w2021 1
 
              ලාල් විජේනායක - හරින්ද්‍ර දුනුවිල - ටී.එම්.පී.බී වරාවැව 
 
 
 
1988-89 අඳුරු හෝ භීෂණ කාලයේ විවෘත ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තුළ ක්‍රියා කළ ප්‍රතිපාක‍ෂිකයන් නැවත දුනුවිල, විජේනායක, වරාවැව ආදිහූ එක වාහනයෙන් කොළඹ ගොස් එක තැනක 2012දී රැස්වූහ.  1971, 1988-89දීත් තාප්පයට පිටින් තනිව ගමන් කළ අනුරලා 2015දීවත් එසේම හැසිරුණාහ. 
 
එහෙත් ලාල්  2019දී අනුරලාගේ වේදිකාවට ගොඩවූ බව සිය චරිත කතාවේ දක්වා ඇත. එයින් අප තේරුම් යුත්තේ කුමක්ද?  අපේ වේදිකාවට නොඑයි නම් කිසිවක් සුම්මාය යන්න ජවිපය මත වාදය සහ ලාල්ගේ භාවිතය අතර පවත්නා ගැලපිය නොහැකි වෙනසය. 
 
 
 
ජනතා විමුක්ති පෙරමුණ කිසිදාක අපේ වේදිකාවට නොඑයි නම් කිසිවක් සුම්මාය ස්ථාවරයෙන්  නිදහස් විය හැකිද?  හේතුව 1982 ප්‍රජාතන්ත්‍රවාදි වීමේ පටන් මේ මොහොත තෙක්ම, ජවිපෙය මුග්ධ මමත්වයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පෙළ ගැස්මට අඛණ්ඩව වින කටිමින් සිටිති.   
 
 
මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් පවා  මේ මුග්ධ මමත්වයෙන් ක්‍රියා කරති.  තමන්ට පොදු අපේක්ෂකත්වය නොලැබේ නම් එජාපයේ වෙනත් කිසිවෙකුට පොදු අපේක‍ෂකයා  වීමට  රනිල් වික්‍රමසිංහ ඉඩ නොදීම ඊට උදාහරණයකි.  
 
මේ මුග්ධ මමත්වයෙන් කිසිවෙකු ඉදිරි ජනාධිපති මැතිවරණය ජය ගැනීමට සිතයි නම් එය මුලාවකි. 
 
 අවසාන මොහොත තෙක් කණ්ඩායම් හැඟීමෙන් ශක්තිමත්ව, තීරණාත්මක චරිතයක් තෝරා ගැනීම  අභියෝගයට මුහුණ දීමේ එකම විකල්පය විය හැකිය. 
 
බොහෝ විට ඒ චරිතය යම් කෙටි කාලයකින් විධායක ක්‍රමය අහෝසි කර ගෙදර යන්නෙකු විය යුතුමය. මේ කොටස අවධාරණය කරන්නේ ඇයි? උක්ත  දේශපාලන මුග්ධ මමත්වයෙන් ජනතා ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම පිණිසය. 
 
සත්තකින්ම ඇහින්දාස් කෙනෙකු වූ සිරිසේන  විධායක ජනාධිපතිවී මුලින්ම ගෝඨාභය බැහැදැකීම, තම මළයා ටෙලිකොම් සභාපති කරවීම සමග රනිල් වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍රන් හෑන්ඩ් පික් කිරීම වැනි දේ නැවත සිදුවිය නොහැකිද? 
 
 
 
 image c59f6e236a
 
 
අනේක සාර්ථකත්වයන් අත්පත් කරගත් යහ පාලන ජයග්‍රහණය අවතක්සේරු වුණේ මේ දේශපාලන රෝගීන් දෙදෙනාගේ මන්ද බුද්ධික හැසිරිම් නිසාය. 
 
පොළොන්නරුවේ සිරිසේන රනිල් දුටුවේ රෝයල් කොලේජ් දෘෂ්ටියෙනි. දෙදෙනාටම යහ පාලන දැක්මක් තිබුණේම නැත. 
 
සිරිසේන ශ්‍රීලනිපය බදා නොගෙන සෝබිත හාමුදුරුවන් අනුගමනය කළා නම් රනිල් අව්වට හසුවූ ඉදි පන්දමත් සේ දිය වී යාමට ඉඩ තිබිණ. අදටත් රනිල් හෝ සිරිසේන යහ පාලනය ගැන කතා කරයිද? නැත. 
 
සජිත් යහ පාලන ජයග්‍රහණ ගැන කතා කතා කරයිද? නැත. ජවිපෙය හෝ පෙරටුගාමින් හෝ  නැත. නැත. 
 
හේතුව අහේතුවය. සත්තකින්ම එකට සිටියා නම්, එදා අනුර කුමාරටත් ජනාධිපති වීමේ අවස්ථාව සමහර විට ලැඛෙන්නට ඉඩ තිබිණ. එහෙත් අනුරලාගේ දර්ශනය සමාජශීලි නොවූ උද්දච්ඡ එමෙන්ම හුදෙකලා එකකි.
 
 කෙටි කාලයකින් විධායක ක්‍රමය අහෝසි කර ගෙදර යන්නෙකු සෙවීමට ජවිපෙය කැපවිය යුතුවේ. ඊට පොලිට් බියුරෝව නම් එකඟ නොවනු ඇත. 
 
වර්තමානයේ ලාල් විජේනායක අනුර කුමාර දිසානායකලා සමග සිටීම ගැන ආඩම්බර විය හැක්කේ කාටද? ලාල්ලා ගරු කළ සමසමාජයටද? රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයටද? මේ විමසීම් විවෘතව තබා, පොත දොරට වැඩීමේ උත්සවය අවසානයේ මා තුළ යම් තිගැස්මක් ඇති කළ යම් සිද්ධියක්  උපුටා දක්වනු කැමැත්තෙමි. 
 
 
 
WhatsApp Image 2021 08 21 at 9.42.48 AM
 
සභාව අවසානයේ සියල්ල ශාලාවෙන් එළියට එමින් සිටියහ. මා අසල සිටි කෙනෙකු තවකෙකු අමතා මහත් තෘප්තියෙන් මෙසේ කීය. 
 
''මරු නේද? කතා දෙක....ඒ සමග දෙවැන්නාගෙන් වහා නැගුණ ප්‍රතිචාරයෙන්  මම ගල්වී ගියෙමි. හේතුව ලාල් නම් සත්‍ය ගවේශී තීර්ථයාත්‍රීකයා බැහැ දැකීමට පැමිණි පිරිස අතර, යහ පාලනය සිහි කිරීමත් කුණුහරුපයක් ලෙස කල්පනා කරන්නෙකු සිටීම ගැනය. 
 
''මොකක්ද අර යහ පාලනයක් ගැන කියපු කුණුහරුපේ. මෙතන දේශපාලනය කතා කරන තැනක් ද?  ආවේගයකින් කතා කළ දෙවැන්නා පිට කළේ පත්තරයකවත් ලියන්න තරම් වචන ය. (යහ පාලනය ගැන කතා කළේ අනුර නොවේ. කේ.ඩබ්ලිව්. ජනරංජන ය) මම අර දෙදෙනා පසුපස යාමට පටන් ගතිමි.
 
 මට අවශ්‍ය වූයේ දෙවැන්නාගේ නියෝජනය තේරුම් ගැනීමටය. ඔවුන් කෙලින්ම ගොස් අනුර කුමාර දිසානායක හමුව ආ ගිය තොරතුරු කතා කරන්නට විය. එකී හමුව නිසා දෙවැන්නා ජවිපෙය කීමට මම සහාසික නොවෙමි. 
 
අපේ අරමුණ රට ගොඩ ගන්නා අරමුණකට සහාය වීම මිස, දේශපාලනමය අත්තුක්කංසනයෙන්  පරවම්මනයෙන් එකිනෙකා හංවඩු ගැසීම නොවේ.  
 
මම ලාල්ගේ පොතේ 272  පිටුව පෙරළා ගනිමි.
 
 
''මහ නඩුවෙන් නිදහස්ව පැමිණී ජේවීපී නායකයන් 1980 වැඩ වර්ජනයට කලින් වම නැවත එකතු විය යුතුය එකට රැස්විය යුතුය යන අදහසින් රැස්විම් මාලාවක් පැවැත්විණ. ඉන් එක් රැස්වීමක් නුවර නගරයේදී පැවැත්විණ. එහි මුලසුන සිටියේ ලාල් විජේනායකය. ඒ රැස්වීම් මෙහෙයවීමත් හරිම දරදඬු විය. රැස්වීමේදී වමේ එක් කතිකයෙකුට ලැබුණේ විනාඩි විස්සකි. යම් කිසි කථීකයෙක් විනාඩි විසි එකක් කතා කළොත්,ජේවීපී කාරයො කෑ ගහනවා ඇයි අරයට විනාඩි විස්සත් දුන්නේ කියලා. ඒ රැස්විම් මාලාව වැඩිකල් නොපැවතිණ. පැවති මුළු රැස්වීම් ගණන 6කට සීමා විය. 
 
272 පිට (උපුටා ගැනීම අවසන්ය.) 
 
 
රැස්වීමේ  මූලාසනය දැරූ ලාල් එදා සභාව හැසිරවීමට ගියා නම්......? කුමක් විය හැකිව තිබුණාද?  ඉහතින්  කී දෙවැන්නාගේ හැසිරීමත්, ජවිපෙය 1980දීත් හැසිරුණ ආකාරයත් එක වාගේම  නේද?
 
පොතේ දැක්වෙන ලාල්ගේ සගයෙකු වන දයානන්ද කුලසේකර කළ  ප්‍රකාශයක්ද මෙහිලා වැදගත් වේ.  ''කොහොමත් ඒ වමේ එකතුව ගැන ජේවීපී එක අවංකව වැඩ කරා කියන්න අමාරුයි. එයාලා කොහොමත් වම තමයි සතුරා විදියට සැලකුවේ.'' 
 
ජවිපෙයට පැරණී වෘතීය සමිති නායකයන් ''මුට්ටි කාසි කාරයන්'' විය. 
 
1980- 2021 අතර හතළිස් එක් වසර තුළ ජවිපේ වෙනස් නොවුණද ලාල් ලා නිරන්තරව තම මතය වෙනුවෙන් කැපවී යකා සමග හෝ වැඩ කිරීමට උත්සාහ කළේය. ඔහු සිය මතය දිනවීමේදී ලාදුරු කාරයා සමග වුවද ඉඳ ගත්තේ සත්භාවයෙනි. 
 
 
 
Lal12
 
වසර 50ක් පිරුණාට, ජවිපෙ හිස් මුදුණේ පිහිටි ඉත්තෑ කූරු වැනි කෙස් ගස් එකක්වත් තවම පීනසටවත් ඉදිලා සුදු වෙලා නැත. ලාල් විජේනායකලා මෙසේ වන අතර,  අනුර කුමාරලා  යවෙස් ලු මිනිසා (Man in the Iron Mask) සේ හුදෙකලා වෙමින් මතවාදි බැස්ටිලයේ සිර වී සිටිති. 
 
 
 
අද කාගේ මෙහෙයුමෙන් වීදි බැස්සද, ගුරු සංහතිය නිරුපද්‍රිතව සවසට ගෙදර යන පාදම සැකසුණේ යහ පාලනය නිසාය. 
 
කවුදෝ පොලිසියට කියන දේ ක්‍රියාත්මක කිරීමට වර්තමාන අධිකරණය සූදානම් නැති හැටියකි. ඒ නිසාම, රාජපක‍ෂලා හිරවී සිටිති. 
 
ජනතාව යහ පාලන පන්නරයෙන් ශක්තිමත්ව සිටිනා බව තේරුම් නො ගන්නා දේශපාලනයට වැඩි ආයුෂ නැත. ඉබේම ඇහැවි යනු ඇත. 
 
ව්‍යක්ත කතාවලින් ගොඩ නැගූ රටක් නැත. කතාවෙන් අවංක සමහරුන්ගේ භාවිතය  කුහකය. මේ නිසා ලැබූ  පරාජයන් බොහෝය. රාජපක්ෂලා තරමටම, සජිත්ට මෙන්ම, ජවිපෙයටද යහ පාලනය අරහං ය. රනිල් නායකව සිටිනා තාක් කල් එජාපය යහ පාලනය ගැන තහනම් වචනයකි. රනිල් කියන්නේ යහ පාලනය මරාගෙන උපන් කුමාරාය.
 
යහ පාලනය තවමත් බිඳ නොවැටී පවත්නා බව දන්නෝ දනිති.  ඉහත දෙබසින් කියැවෙන්නේ යහ පාලනයේ සාර්ථකත්වය සිහි කිරීමට ජවිපෙ හිතවාදීන් පවා අසතුටු බවය. 
 
 
 
යහ පාලනය  කිසිදු දේශපාලන පක්ෂයක සන්නාමය නොවේ. එය සෝබිත හිමියන් රටක් අවදි කොට රාජපක‍ෂලා දන ගැස්වූ හස්තිකාන්ත මන්ත්‍රය විය. යහ පාලනය දේශපාලනයට මිශ්‍ර වූ සැනින් කිල්ලට හසු වුණා සේ කිළිටි වේ. 
 
 
2015 පෙරළියට මුල්වූ නිදහසේ වේදිකාවට ලාල් නැගීම ගැන සමසමාජ කාරයන් දිගින් දිගටම ප්‍රශ්න කළහ. ලාල් පෙරළා විමසා ඇත්තේ එජාපයේ රනිල් සමග වාඩි නොවිය යුත්තේ ඔහු ලාදුරු කාරයෙක් නිසාද කියාය. 
 
මේ ආරවුල මටද මතකය. මේ ගැන ලාල් මා සමග කතා කළ අවස්ථාවේ ඔහු කීවේ වැඩිම වුණොත් මාව පක්ෂයෙන් එළවයි කියාය. ලාල් සිටියේ එවැනි කැප කිරිමක් කළ හැකි ඔරොත්තු දෙක හයියකිනි. ලාල් තුළ මුලින් කී  මුග්ධ මමත්වය තිබුණේම නැත.
 
එසේම, 2019 ජනාධිපති මැතිවරණ සමයේ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණීස යාපනේ පැවති ප්‍රචාරක රැස්වීමේ සමහර සිද්ධි අනුර දිසානායක අපට සිහිපත් කළේය.  ඒ රැස්වීමට සහභාගිවීමට ලාල් මහනුවර සිට සිය වාහනයෙන් යාපනේ බලා ගිය බව සිහිපත් කළ අනුර කුමාර දිසානායක, සිංහල කතා දෙමළට පරිවර්තනය කිරීම නිසා කථීක ලැයිස්තුව කෙටි කළ යුතුව තිබිණ. තත්වය ඉවෙන් තේරුම් ගත් ලාල් විජේනායක, අනුර තට්ටු කර මෙසේ කියා තිබිණ. 
 
''මිනිස්සු ඇවිත් ඉන්නේ ඔයාගේ කතාව අහන්න. දැන් ඔයා කතා කරන්න.''
 
ලාල් නොකියා කීවේ අවස්තානුකූලව තමන් කතා කළ යුතු නැති බවය. ලාල්ගේ එවැනි බොහෝ පරිත්‍යාග ගැන ඔහුගේ සමීපතමයන්ට පුදුම නැත.  එහෙත් අනුර සිහිපත් කළ ඒ සිද්ධිය ලාල්ගේ පොතේ හෝ නො දැක්වේ. හේතුව ලාල්ට ඒ සිද්ධිය තවත් නොවැදගත් එකක් නිසා විය හැකිය. 
 
 
 
Lal wije 1 
 
මට මෙහිදි මතුවන්නේ ලාල් එවැනි පරිත්‍යාග කිරීම ගැන විමතියක් නොවේ. දේශපාලනය වැනි සු පවිත්‍ර ව්‍යාපාරයකට එක්වන බහුතරයකට මෙවැනි ශික්ෂණයන් නැත්තේ ඇයිද කියාය.
 
තම අයිතිය පිළිබඳ අභිමානයෙන් සියලු අභියෝග මැඩගෙන ප්‍රභාකරන්ට අභියෝග කරමින් ඡන්ද පොළට ගිය කිලිනොච්චියේ එකම දමිළ පුරවැසියාගේ අත ප්‍රභාකරන් විසින් කපා දැමීම ගැන රනිල් වික්‍රමසිංහ හෝ වචනයක් කතා කළේ නැත. මහින්ද ඒ ජයග්‍රහණය ලබා ගත්තේ  තුවක්කුව හරහා ය. 
 
යහ පාලන යුගයේ ජයග්‍රහණයන්ට එරෙහිව වෛද්‍ය සාපි සහ වඳපෙති පාවිච්චි කළ රාජපක්ෂවරුන්ට, පාස්කු ප්‍රහාරයේ අගමුල යටපත් කිරීමේ අවලාදය ගොනු වෙමින් පවතී.  
 
තුනෙන් දෙකෙන් ශක්තිය ලබා ගැනීමට, රිෂාඩ් බදූර්දීන් සිර කර ඔහුගේ පක‍ෂයේ බහුතරය රාජපක‍ෂලා උරා ගනිමින් සිටිති. 
 
එපමණක්ද දස දහසක් වෛද්‍ය විශේෂඥයන්ට මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට පිටින් කොවිඩ් වසංගතය ගැන රාජපක්ෂලා තීන්දු ගනිමින් සිටිති. 
 
මේ විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රතිපල වෙති. හදිසි අනතුරකින් ඇද වැටී තදින් ලේ ගලන තත්වයක රටත් රටේ දේශපාලනයත් පත් වෙමින් පවතී. 
 
මෙවැනි සිද්ධිමය අවස්ථාවක ඇඳි වතෙන් රෙදි කෑල්ලක් ඉරා නෑකම නොබලා ලේ වහනය වීම නතර කරන විනයක් අපේ රටේ ගැහැනුන්ටද පවතී. එහෙත් තම උවමනාවම මුල් කොට හැසිරෙන ජනතාව විමුක්ති පෙරමුණ පැරණි ගීතයම ගයමින් සිටිති. 
 
මම ඔබව කඩා බිඳ දමා අලූතින් නිර්මානය කරමි කවියා සමාජයට කීය. මහගම සේකරට අනුව, සමාජය ඒ උත්තරයම කවියාට කී බව හෙට ඉරක් පායයි කෘතියේ දැක්වේ. 
 
 
 
 Chandrasiri Senevirathne 21
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක 
 
(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)
 
 
 
 
(මේ මතවාද පිළිබඳ යම් සංවාදාත්මක කතාබහක් වේ නම් ඊට අනිද්දා පුවත්පතේ ඉඩ ලැඛෙනු ඇත. )
 
 
 
සබැඳි ලිපිය :
 
 
 
THE LEADER TV 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
වකුගඩු රෝගීන්ට වසංගත සමයේ අවදානමෙන් මිදෙන උපදෙස් 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්